Quantcast
Channel: සිංහල – Colombo Telegraph
Viewing all 2978 articles
Browse latest View live

උතුරේ නැවත පදිංචි කරවීමේ දෙපිටකාට්ටු කම: වෛරී ව්‍යාපාරය ආපසු කරලියට?

$
0
0

හිල්මි අහමඞ්

හිල්මි අහමඞ්

හිල්මි අහමඞ්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනව මුණගැසීමෙන් පසු, බොදුබල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිකුත් කළ ප‍්‍රකාශයකින්, මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ පිට පළාත්වල සිංහලයන්ව උතුරේ පදිංචි කරවූ බව පිළිගෙන තිබේ. බෝගස්වැව නැමැති ප‍්‍රදේශයේ පදිංචි කරවූ සිංහල පවුල් 4500 ක් එම පෙදෙස් අතහැර තමන්ගේ මුල් ගම්බිම් කරා යමින් සිටින බව ඔහු කීය. ඊට හේතුව විය හැක්කේ ආරක්ෂාව පිළිබඳව ඔවුන්ට ඇති ප‍්‍රශ්නයක් විය හැකිය. මේ සිංහල පවුල් පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් එලිපෙහෙලි කරන ලද්දේ ත‍්‍රිවිධ හමුදාව විසින් යැයි උන්වහන්සේ කියන නිසා, උතුරේ විශාල ප‍්‍රදේශයක් කොළණිගත කිරීමට ත‍්‍රිවිධ හමුදාව පාවිච්චි කොට ඇති බව සිතා ගත හැකිය.

බෝගස්වැව පදිංචි කරවූ සිංහල පවුල් 4500 ට අමතරව, ඉඩම් සහ වෙනත් පහසුකම් සපයන ලද තවත් බොහෝ දෙනා වෙති. වෙරතැන්න, නාමල්ගම, සෙනලීනිගම සහ නන්දිමිත‍්‍රගම වැනි තැන්වල ඔවුන්ව පදිංචි කරවන ලදි. මේ සිංහල ජානපදිකයන් ගෙනෙන ලද්දේ, හිටපු ජනාධිපතිවරයාගේ දිස්ත‍්‍රික්කය වන හම්බන්තොට සහ සූරියවැවෙන් බව, එහි වෙසෙන්නෝ කියති.

බෝගස්වැව පදිංචිකරුවන්ට ආරක්ෂාව සැපයීමට ජනාධිපතිවරයා හමුදාපතිවරයාට උපදෙස් දුන් බවත් ඥානසාර හිමියෝ කියා සිටියහ. මේ පවුල් පදිංචි කරවීම සඳහා පාවිච්චි කරන ලද්දේ, කැලෑ එළි කිරීමෙන් සපයා ගත් ඉඩම්ද නැත්නම් ඒ ඉඩම් පරම්පරා ගණනාවක් තිස්සේ එහි පදිංචි වෙනත් මිනිසුන්ට අයත්ව තිබූ ඉඩම්ද?

යුක්තිය කෝ?

තදබල පරිසර සංරක්ෂණවාදියෙකු වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, විසි වසරක් අනාථ කඳවුරුවල සිට නැවත තම ඉඩකඩම්වලට පැමිණි ජනතාව හැඳින්නුවේ, කැලෑ එළි කරන සහ වන සංරක්ෂණ ඉඩම් වට කරගන්නා පිරිසක් වශයෙනි. එම ඉඩම්වල පාරම්පරිකව ජීවත් වූ සහ එල්.ටී.ටී.ඊ. ෆැසිස්ට්වාදීන් විසින් බලහත්කාරයෙන් එම ඉඩම්වලින් පලවා හරිනු ලැබීම නිසා අවුරුදු විස්සක් අනාථ කඳවුරුවල ජීවත් වූ ජනතාවක් ආපසු තම ඉඩකඩම්වලට පැමිණීම, 2012 දී ආණ්ඩුව ගත් අත්තනෝමතික සංරක්ෂණ තීන්දුවකට මුවාවෙමින් අනුමත නොකරන ජනාධිපතිවරයා. ‘පිටස්තර’ සිංහලයන්ව උතුරේ පදිංචි කැරවීම් අනුමත කරන්නේ කෙසේද?

SRI LANKA-ELECTION-OPPOSITIONඑම ප‍්‍රකාශය කරන ලද්දේ, උතුරු පළාත් සභා මැතිවරණවලින් තිගැස්සී සිටි අවස්ථාවක, එම පළාත් සභාවේ ඉඩම් අයිතිය පැහැර ගැනීමට ය. එම ප‍්‍රකාශය යටතේ, මුස්ලිම් ජනතාවට අයත් විශාල ඉඩම් ප‍්‍රමාණයක් කැලෑ ආඥාපනත යටතට ගෙනෙන ලදි. මන්ද යත්, විසි වසරක් තිස්සේ මුස්ලිම් ජනතාව අවතැන් වී සිටි තත්වය තුළ එම ඉඩම් වල්වැදී තිබුණු බැවිනි. එහෙත් ඒ ඔවුන්ගේ ඉඩම් ය. පන්නා දැමීමට පෙර ඔවුන් ජීවත් වූ සහ වගා කළ ඉඩම් ය.

යුද්ධ කාලය තුළ මුස්ලිම් ජනතාවට ආපසු එම ඉඩම්වලට පැමිණීමට හෝ වගා කටයුතු කරගෙන යාමට එල්.ටී.ටී.ඊ සංවිධානය සහ රජයේ හමුදාවන් විසින් ඉඩ දෙනු ලැබුවේ නැත. එක පැත්තකින් බලහත්කාරයෙන් පන්නා දමනු ලැබ තිබීමත්, අනිත් පැත්තෙන් ඒ දීර්ඝ කාලය මුළුල්ලේ එම ජනතාවට නැවත එම ඉඩම්වලට පැමිණීමට ඉඩ නොදීමත් නිසා වල්වැදුණු එම ඉඩම්, වන සංරක්ෂණ වශයෙන් ප‍්‍රකාශයට පත්කිරීම කෙසේ නම් යුක්ති සහගත වන්නේද?

සටකපට ජී.පී.එස්. සිතියම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවත්, ’විශ්ව පිහිටීමේ පද්ධති සිතියම්කරණය’ (ජී.පී.එස්.) ඔස්සේ, උතුරේ විශාල ඉඩම් කොටස්, වන සංරක්ෂණ වශයෙන් ප‍්‍රකාශයට පත්කරන ලදි. එසේ කරද්දී, එම ප‍්‍රදේශවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදහස් පවා නොවිමසන ලදි. එය, බොහොමයක් ඉඩම් බලතල ඇති උතුරු පළාත් සභාවට ඉඩම් අයිතිය නොදී සිටීමට ගැසු ගැටයක් බව විශ්වාස කෙරේ. මුසාලි දකුණු භාගයේ ජීවත් වූ මුස්ලිම් ජනතාවට නැවත තමන්ගේ ඉඩම්වලට පැමිණීම මේ සිතියම්කරණය ඔස්සේ ඇහිරුණි.

ප‍්‍රශ්නය තවදුරටත්

මුස්ලිම් ජනතාව තම ඉඩම්වලට පැමිණීමේ තත්වය, විල්පත්තු අභය භූමිය එළි කිරීමක් වශයෙන් පරිසරවාදීන් විසින් අර්ථ ගැන්වීම නිසා, මුස්ලිම් ජාතික අවතැන් වූවන් නැවත පදිංචි කරවීමේ ප‍්‍රශ්නය තවත් දිග් ගැස්සෙයි. බෞද්ධ අන්තවාදීන් එය හඳුන්වන්නේ මුස්ලිම් ඇමතිවරයෙකු විසින් ගෙන යන කොලණිකරණයක් වශයෙනි. ඊට අමතරව, තවත් විශාල ඉඩම් ප‍්‍රමාණයක් අධි ආරක්ෂිත කලාප වශයෙන් තවමත් හමුදා භාරයේ තිබේ. හමුදාව මගින් අත්පත් කර ගන්නා මෙම ඉඩම් අනාගතයේ පාවිච්චි කෙරෙනු ඇත්තේ, උපායමාර්ගික හේතු පෙරදැරිව සිංහලයන් තව තවත් පදිංචි කරවීමට යැයි තවත් අය චෝදනා කරති.

මුස්ලිම් ජනතාව ආපසු පැමිණෙන ඉඩම් විල්පත්තු අභය භූමියේ ඉඩම් යැයි මුලින් කී පරිසරවාදීන්, විල්පත්තුව පිහිටා තිබෙන්නේ එම ඉඩම්වලින් බොහෝ ඈතක බව සාක්ෂි සහිතව පෙන්වා දුන් පසු, දැන් අඟවන්නේ, මුස්ලිම් ජාතිකයන් කල්ආරු සංරක්ෂිතය එළි කරන බවකි.

මුස්ලිම් ඉඩම් හරහා ගලා යන කල්ආරු හෙවත් උප්පු ගඟ, මුහුදෙන් කිලෝ මීටර් දෙකක් වැනි කෙටි දුරකින් පිහිටා තිබෙන්නකි. මේ ප‍්‍රදේශය හරහා ගලන කල්ආරු ගඟ ප‍්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යන නිසා, ඒ අවට ආරක්ෂිතයන් තිබීමේ තේරුමක් නැත. මේ ගඟ ගලන්නේ එක කාලයකට පමණි. අනිත් බොහෝ කාලවල එය තිබෙන්නේ හිඳී ගොසිනි. එවැනි තත්වයකදී මෙතරම් ඒ ගැන කලබල වන්නේ ඇයි?

මුසාලි දකුණේ පිහිටි තම ඉඩකඩම්වලට ආපසු එන මුස්ලිම් ජාතිකයන්ට එම ඉඩම්වල ඔප්පුද තිබේ. මේ ඔප්පු, එංගලන්තයේ 7 වැනි එඞ්වඞ් රජුගේ මුද්‍රාව යටතේ 1906 දී නිකුත් කරන ලද ඔප්පු ය. ඒවායින් එකකට අයත් ඉඩමක් තිබෙන්නේ, විල්පත්තු ජාතික වනජීවී සංරක්ෂණයේ සීමාවට මීටර් කිහිපයක් පමණක් ඈතින් පිහිටි කල්ආරු ගඟට යාබදවයි. එසේ වතුදු, පසුගිය රජයේ බලගතු ජනාධිපති කාර්යසාධක බලකාය විසින් අනුමත කරන ලද වර්තමාන මුසාලි මුසල්මානුවන්ගේ ඉඩම් පිහිටා ඇත්තේ විල්පත්තු ජාතික සංරක්ෂිතයෙන් කිලෝ මීටර් 1.25 ක් ඈතිනි.

වරක් සිදු වූ දෙයම නැවත සිදුවිය යුතු නැත

බොදුබල සේනා සහ වෙනත් අන්තවාදී බෞද්ධයන්ට සිය දේශපාලනය සඳහා වේදිකාවක් අවශ්‍ය කොට තිබේ. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය අවධානය දිනා ගැනීමට ඔවුන් පාවිච්චි කරන්නේ ජාතිවාදය සහ වෛරයයි. 2015 අගෝස්තු මැතිවරණයෙන් ඔවුන්ව කුණු කූඩයට වීසි වීම නිසා සිය ව්‍යාපාරය ගෙන යාම සඳහා අලුත් වේදිකා ඔවුන්ට අවශ්‍ය කෙරේ. අද සිංහල ජාතිය සහ සාසනය රැකීමේ මුවාවෙන් සිරිසේන ජනාධිපතිවරයාගේ කර උඩින් ප‍්‍රසිද්ධියක් ලබා ගැනීමට ඔවුහූ බලති.

තමා සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගේ ජනාධිපතිවරයා බව මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මතක තබා ගත යුතුය. එසේම, සමානවත්, සාධාරණවත් සළකනු ලැබීමට සෑම පුරවැසියෙකුටම අයිතිය ඇති බවත් දත යුතුය. යෝධ මහින්ද රාජපක්ෂව පෙරලා දමනු ලැබුවේ සහ මෛත‍්‍රීපාල සිරිසේනව පත්කර ගනු ලැබුවේ, පුංචියට වැටුණු සුළු ජාතික ඡන්දවලින් බවත් අමතක නොකළ යුතුය. නැවතත් එම ඉතිහාසය එයාකාරයෙන්ම සිදු වීමට ඉඩ දිය යුතු නැත.

*2016 ජනවාරි 20 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Duplicity Of Northern Resettlement – Is The Hate Campaign Back?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly

කිසිම ආගමික ව්‍යවස්ථාවකට හා ධර්මයේ කටයුතුවලට කිසිම ආණ්ඩුවකට ඇඟිලි ගහන්නට බැහැ

$
0
0

රනිල් වික්‍රමසිංහ

මේ රටේ අධ්‍යාපනය ආරම්භ කරන ලද්දේ අපේ විහාරස්ථාන හා පිරිවෙන්වලිනුයි. එම නිසා එදා සිට මේ දක්වා අපේ පැවිදි පක්‍ෂය මේ රටට උගතුන් බිහි කොට තිබෙනවා. අද විශේෂයෙන්ම කෝට්ටේ පාර්ශ්වයේ නව අනුනායක හැටියට අපේ කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ පත් කොට තිබෙන්නේ, ඒ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාම සඳහායි. උන්වහන්සේ පාලි භාෂාව පිළිබඳ විශේෂ දැනුමක් ලබා ගත්තා පමණක් නොව, මේ රටේ රුහුණු විශ්ව විද්‍යාලය, කැලණි විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාලවල සේවය කොට උසස් තනතුරු ලබා ගෙන තිබෙනවා. අද විශේෂයෙන්ම අපේ සංඝරත්නය ඒ උගත්කම හා දැනුම, බුද්ධාගම ගැන පමණක් නොව අනෙක් කටයුතු පිළිබඳවත් උපයෝගී කර ගනිමින්, අපේ ශාසනය ආරක්‍ෂා කොට ගනිමින් ඉදිරියට ගෙන යනවා. අතීතයේ අපේ දෙමව්පියන් කතා බස් කළේ, උගත් පඬිවරුන් හා උගත් හාමුදුරුවරුන් වහන්සේලා ගැනයි. එම නිසා අපේ නව අනුනායක ස්වාමීන් වහන්සේත් ඒ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන බවට අපේ කිසිම සැකයක් නොමැති අතරම, අපි උන්වහන්සේට ඒ සඳහා සම්පූර්ණ සහය ලබා දීමට ද බලාපොරොත්තු වෙනවා.

Ranilඑපමණක් නොවෙයි වර්තමානයේ අපේ සංඝයා වහන්සේලා, විදේශ රටවල්වල චාරිකා කොට ඒ රටවල විවිධ නායකයින් මුණගැසී තිබෙනවා. දළයි ළාමා හා ශුද්ධ වූ පාප් වහන්සේත් මුණගැසී තිබෙනවා. ආගම් හා නොයෙකුත් භක්තිකයන් අතර එම සම්බන්ධතාවය අත්‍යවශ්‍යයි. ඒ සම්බන්ධතාවය අපේ අනුනායක ස්වාමීන් වහන්සේ මගින් තවදුරටත් ශක්තිමත් වන බවට මගේ කිසිදු සැකයක් නැත.

විශේෂයෙන්ම මීට කළින් සිදු කළ දේශනයන්හිදී අපේ පාලි ශබ්ද කෝෂයේ ඇති අඩු පාඩු පිළිබඳව හා ඒවගේම රෝමානු අකුරුවලින් අපේ ගාථා හා පොත් පත් තවම සකස් කොට නැති බව සඳහන් කෙරුණා. ඒ සඳහා අවශ්‍ය මුදල් සහ අනෙකුත් සහයෝගය රජයක් වශයෙන් ලබාදීමට සූදානම් බව මා මෙහිදී ප්‍රකාශ කරන්නට කැමැතියි. ඔබ වහන්සේලා සාකච්ඡා කොට ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසුව මා ජනාධිපතිතුමාත් සමග ඒ පිළිබඳව සාකච්ඡා කොට ඒ වැඩ කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. එම කාර්යභාරය අප විසින් කළ යුතුයි.

ශ්‍රී ලංකාව අපේ ථෙරවාදී බුදුදහම ආරක්‍ෂා කොට අපිට ඉතිහාසයක් ලබා දුන්නා. ලංකාව යළිත් ථෙරවාදී බුදුදහමේ මධ්‍යස්ථානයක් කළ යුත්තේ කෙසේ ද කියා අපි දැන් කල්පනා කළ යුතුයි. එසේ කටයුතු කරන අතරම මහායාන බුදුදහම පිළිබඳවත් අපගේ අවධානය යොමු කළ හැකියි. ඒ කටයුතු කළ යුතු අන්දම පිළිබඳව අපේ ගරුතර මහා සංඝරත්නය අපට උපදෙස් දෙන්නේ නම් ඒ සඳහා අප විශේෂයෙන්ම කැපවී සිටින බව මා මෙහිදී සඳහන් කිරීමට කැමැතියි. අපේ මහානායක ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කිරීමට මාත් පැමිණීමට බලාපොරොත්තු වනවා. මේ සම්බන්ධයෙන් වැඩි කල් නොයවා උපදෙස් ලබා දෙන්නේ නම් අපට මේ පිළිබඳව අනෙකුත් රටවල සංඝයාවහන්සේලාද මෙරටට කැදවා ඔබ වහන්සේලා දෙන උපදෙස් අනුව කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා.

අද අපට තිබෙන්නේ ලංකාවේ මහා සංඝරත්නය තවදුරටත් ශක්තිමත් කිරීමටයි. ඒ සම්බන්ධයෙන් මෙහිදී මා විශේෂයෙන් කරුණක් සඳහන් කරන්නට කැමැතියි. අද අපි භික්‍ෂු කතිකාවතක් ඉදිරිපත් කොට තිබෙනවා. මෙය කතා නායකතුමා හා ඇමැති හැටියට විජයදාස රාජපක්‍ෂ මහතා සකස් කළ එකක් බවට සමාජයේ මතයක් පවතිනවා. එය වැරැදියි. අපි කටයුතු කරන්නේ අපේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් අනුවයි. පාර්ලිමේන්තුව සහ විධායකය හැටියට සිතා බලා ආර්ථිකය, අධ්‍යාපනය ඇතුළු අනෙකුත් අංශ ගැන නීති හදන්නට නීති සංශෝධනය කරන්නට අපේ කැමැත්ත අනුව අපට පුළුවන්. එහෙත් ආගමික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී අපි ආගමික නායකයින් සමග එක්ව කටයුතු කරනවා, මිස අපිට ඊට මැදිහත්වන්නට ඒකට අතගහන්න බැහැ.

කිසිම ආගමික ව්‍යවස්ථාවකට හා ධර්මයේ කටයුතුවලට කිසිම ආණ්ඩුවකට ඇඟිලි ගහන්නට බැහැ කියා ඩී.එස්. සේනානායක අගමැතිතුමා ප්‍රකාශ කළා. අපි මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් විමසා තිබෙනවා. ගරුතර මහා සංඝරත්නය මේ පිළිබඳව සාකච්ඡා කොට අපට දැනුම් දීමෙන් අනතුරුව ඒ අන්දමට සම්මත කරනවා. මේ අවස්ථාවේදී අපි ක්‍රියා කරන්නේ අපේ කැමැත්ත අනුව නොව මහානායක ස්වාමීන් වහන්සේලාගේ කැමැත්ත අනුව බව නැවත වරක් මා ප්‍රකාශ කරන්නට කැමැතියි.

ක්‍රිස්තියානි පල්ලියේ ප්‍රශ්නයක් පැනනැගී තිබේ නම් අපි කටයුතු කළ යුත්තේ එහි ආගමික නායකයින්ගේ කැමැත්ත අනුවයි. අපේ කැමැත්ත අනුව නොවේ. ජනතාව විටින් විට පාරට බැහැලා බඩු මිල අඩු කරන්න කියලා, නැත්නම් මානව හිමිකම් ශක්තිමත් කරන්න කියලා අපට කියනවා. ඒ ඉල්ලීම්වලට අවධානය යොමුකොට ඒවා කරනවා ද නැද්ද කියලා තීරණය කරන්න අපට පුළුවන්. ඒත් මේ කටයුත්තේදී අපට එහෙම කරන්න බැහැ. මෙවැනි කතිකාවතක් ගෙන එන විට ප්‍රශ්න ඇති වෙනවා. ඒක පුදුමයක් නොවෙයි. ඒ වගේම අපි දන්නවා සමහර සමාජ ප්‍රශ්න ගැන. කතෝලික මහ සභාවේ ප්‍රශ්න තිබුණා. ශුද්ධ වූ පාප් වහන්සේ ඒ අය රෝමයට ගෙන්වා ඔවුන් සමග සාකච්ඡා කොට ඒ ගැන විසඳුම් ලබා දුන්නා. මම හිතන්නේ නැහැ එහිදී කවුරුවත් රෝම නගරයට ගිහිල්ලා පෙළ පාලි ගියා කියලා. ඒවා කරන්නට උවමනා නැහැ. දැන් එංගලන්ත සභාවේ ඊට වඩා විශාල ප්‍රශ්න තිබෙනවා. සමහර විට මේ නිසා එංගලන්ත සභාව දෙකට කැඩෙන්නත් පුළුවන්. අප්‍රිකානු රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා එක පැත්තක, කැනඩාව අනෙක් පැත්තේ. දැන් කැන්ටබරි රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා ලැම්බට් මාලිගාවට ගෙන්වා මේ ගැන සාකච්ඡා කරනවා. මේ ගැන එංගලන්ත සභාවේ අය බලාගෙන ඉන්නවා. එංගලන්ත සභාවට සම්බන්ධ පැවිදි අය ලන්ඩන් නුවර පෙළපාලි යන්නේ නැහැ. ආණ්ඩුවට කෑගහන්නේ නැහැ. මේක විසඳන්න කියලා කැමරන් අගමැති තුමාට කියන්නේ නැහැ. එතුමාට ඒක කරන්න බැහැ. සාකච්ඡා කොට විසඳුමකට ඒමටයි තිබෙන්නේ. එවැනි සම්ප්‍රදායකුයි පවතින්නේ. ක්‍රිස්තියානි ආගමට කලිනුයි බුදුරජාණන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. අපි ඒ විදිහට ඉදිරියට යමු.

මේ ගැන අදහස් තිබෙනවා නම් ලිපි තිබෙනවා නම් පළ කරන ලෙස මම විශේෂයෙන්ම මාධ්‍යයෙන් ඉල්ලනවා. ඒ වුණාට ඇතැම් අනවශ්‍ය දේවල් පත්තරවල මුල් පිටුවේ පළ කරන්නට එපා. එහෙම කළාම ගරුතර සංඝරත්නයට තිබෙන සැලකිල්ල අඩු වෙනවා. මාධ්‍ය මේ බව මතක තබා ගන්න. මේ හැම එකක්ම විකුණන්න ගියාම හරි යන්නේ නැහැ නේද? ඒනිසා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව අපේ ථෙරවාදී බුදුදහමේ මධ්‍යස්ථානය බවට පත් කරන්නට කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන මේ අවස්ථාවේදී ඒ කටයුතු ශක්තිමත් කොට ඉදිරියට යන අන්දම පිළිබඳව සාකච්ඡා කරමු කියලා මා මෙහිදී ප්‍රකාශ කරන්නට කැමැතියි. මම මීට වැඩිය දීර්ඝ වශයෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට වෙනත් වැඩ කටයුත්තක් සඳහා ඉක්මනින් පිටවී යාමට අවශ්‍ය බැවින් මම ඔබ වහන්සේලාගෙන් ඒ සඳහා අවසර පතනවා.

*2016.01.30 වන දීන වාද්දූව තල්පිටිය බෝධිරාජාරාමයේ පැවැති කොටපිටියේ රාහුල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක පදවිය පිළිබඳ අක්තපත්‍රය ප්‍රධානය කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

Print Friendly

ලිංගිකත්වය එළිපිටට ගෙනා අපේ ජන ඇදහිලි සහ ක්‍රීඩා

$
0
0

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ ‍පොදු අදහස ය. ලිංගිකත්වය පිළිබඳ මෙම රහස්‍යභාවය සුරැකීම සම්බන්ධයෙන් බටහිර වැසියන්ටත් වඩා පෙරදිග වැසියෝ උනන්දු වෙති. ඇඳුම් පැළඳුම්, කතාබහ, ක්‍රියාකාරකම් සහ ආචාර විචාර සම්ප්‍රදායන් වෙතින් ලිංගිකත්වය සම්බන්ධ කිසිවක් ප්‍රකට නොකළ යුතුය යන මතය අප ජනසමාජයේ ද තදින්ම මුල් බැසගෙන තිබේ.

පසුගියදා ශ්‍රී ලංකාවේ පවත්වනු ලැබූ ස්පාඤ්ඤ ජාතික එන්රිකේගේ සංගීත ප්‍රසංගයක දී කිසිවකු විසින් (ඒ කාන්තාවක විසින් කරන ලද්දක් බවට පැවසීමට කිසිදු සාක්ෂියක් නැත) ප්‍රසංග වේදිකාවට තන පටක් වීසි කිරීම රටේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්වූයේ එබැවිනි. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ ඇතිවූ ‍පොදු අදහස වූයේ එහි නීති විරෝධි බව කෙසේ වෙතත් අප රටේ පවත්නා සංස්කෘතියට සහ සභ්‍යත්වයට ඉන් බරපතළ තර්ජනයක් එල්ල වූ බව ය. එහෙත්, මගේ පෞද්ගලික වැටහීම අනුව නම් එම චෝදනාවේ සැලකිය යුතු සාධාරණත්වයක් නොමැත. ඊට හේතුව දුරාතීතයේ සිට අපරදිග වැසියාට සාපේක්ෂව පෙරදිග වැසියා ලිංගිකත්වය කෙරෙහි කිසියම් විවෘත සහ සහනශීලී ආකල්පයක් දැරූ බවට නිදසුන් මානව ඉතිහාසය පුරාම පැතිර තිබෙන බැවිනි. ඒ අනුව ලිංගිකත්වය යනු ක්‍රියාකාරී සමාජය ඉදිරියේ හමස් පෙට්ටියකට දමා වැසිය යුත්තක් නොවන බවටත් අවශ්‍ය තැන්වලදී අවශ්‍ය පරිදි සංවාදයට ගත යුත්තක් බවටත් අතීත පෙරදිග වැසියා සිතා ඇති බව පෙනේ.

මානව සේම සත්ව ලිංගිකත්වය පිළිබඳ මෙම විවෘත සහ සහනශීලී ආකල්ප බෞද්ධ සාහිත්‍යයෙන් සහ කලා ශිල්ප වලින් පවා මනාව නිරූපණය කෙරෙන අවස්ථා බොහොමයකි.

දැනට ලෝක උරුමයක් ලෙස පවා ප්‍රකාශයට පත්කොට ඇති ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි කජුරාවෝ ආරාමික සංකීර්ණයේ මූර්තීන් සමහරකින් දැක්වෙනුයේ විවිධාකාර ස්ත්‍රී පුරුෂ ලිංගික සම්භෝග ඉරියව් ය. එම ආරාම සංකීර්ණයේ බාහිරට වන්නට එසේ මූර්තිමත් කොට ඇත්තේ ව්‍යත්සායන නම් සෘෂිවරයා විසින් සංස්කෘත භාෂාවෙන් ලියන ලද ලෝක ප්‍රකට ‘කාම සූත්‍ර’ කෘතියේ දැක්වෙන විවිධ සහ විෂමාකාර ලිංගික ඉරියව් බව විචාරකයන් විසින් හඳුනාගෙන තිබේ.

නමුත්, එමඟින් පළවන දාර්ශනික අදහස වනුයේ සියලු සත්වයන් ගිලගෙන ඇති කම් සැප මුල්කොට ගත් ලෝක ස්වභාවය තත්වාකාරයෙන් වටහාගෙන ආශාවන් ප්‍රහීණ කළ යුතු බවය.

එමෙන්ම පෙරදිග සාහිත්‍යයේ ලිංගිකත්වය පිළිබඳව ඇති මෙම විවෘත සහ සහනශීලී ආකල්පය ප්‍රකට කරන නිදසුන් බොහොමයකි. අප කවුරුත් හොඳින් දන්නා පන්සිය පනස් ජාතක කතා ‍පොතේ කතා බොහොමයකින් ද ඉතා නිදහස් සැහැල්ලු ආරකින් ලිංගිකත්වය විවරණය කෙරෙන බව අදත් බොහෝ දෙනෙක් නොදනිති. ඒ සඳහා මා දැක ඇති විශිෂ්ටතම උදාහරණය එහි පන්සිය විසිහය වන නලනිකා ජාතකයයි. කිසිදා ස්ත්‍රියක දැක හෝ එවැන්නියක පිළිබඳව අසා නොමැති මහ වනමැද ජීවත් වන නව යොවුන් තාපසයෙකු ජීවිතයේ මුල්වරට වනයට පැමිණි යොවුන් රාජ කුමාරියකගේ නිරුවත දැක එහි එක් එක් අංග පිළිබඳව තම තවුස් පියාණන් සමග කරන ලද විස්තරය නූතන බසින් මෙහි ලිවීමට තබා ඒ පිළිබඳව සිතීමට වත් මට නොපුළුවන. ඒ නූතන විග්‍රහයන්ට අනුව එය එතරම් ‘අසභ්‍ය’ බැවිනි.

සැබැවින්ම අතීතයේ ලොව පුරා පැවැති ලිංගිකත්වය පිළිබඳව නන් වැදෑරුම් ආකල්පවල කිසියම් ඒකමිතික ස්වරූපයක් දක්නට ලැබූනේ දහනව වන සියවසේදී ය. ඒ මහා බ්‍රිතාන්‍යයේ රජ කළ වික්ටෝරියා (ක්‍රි.ව. 1837-1901) මහා රාජිනියගේ සමයේ ලොව පුරා ව්‍යාප්ත වූ වික්ටෝරියානු සදාචාරය ඔස්සේ ය. ඒ ඔස්සේ මානව ලිංගිකත්වය සම්බන්ධ නොනිල සදාචාරාත්මක ප්‍රමිතියක් ව්‍යවහාරයට පැමිණි අතර අප ශ්‍රී ලාංකීය ජන සමාජය අද වන විටද ඒ සදාචාරාත්මක ප්‍රමිතිය තුළට අන්තර්ග්‍රහනය වී තිබේ. එහෙත් ජන සමාජයක් වශයෙන් අප තුළ ඊට පෙර ලිංගිකත්වය පිළිබඳව පැවැති නිදහස්, විවෘත, සහනශීලී ආකල්ප හඳුනාගත හැකි මානව විද්‍යාත්මක සාක්ෂි බොහොමයකි.

විශේෂයෙන් ශ්‍රී ලාංකීය ජනසංස්කෘතියට අයත් ජන ආගම (Folk Religion) සහ ජන ක්‍රීඩා (Folk Play) මගින් ලිංගිකත්වය පිළිබඳ සංකේතාර්ථ මනාව එළිදැක්විණි.

පුරාණ ඉන්දියාවේ මොහොන්දෝජාරෝ – හරප්පා ශිෂ්ටාචාරයන්හි පැවැති ස්ත්‍රී යෝනි වන්දනය සේම අදත් හින්දු ශිව ආගමේ ප්‍රධාන අභිචාර විධියක් වන පුරුෂ ලිංග වන්දනයට වඩා බහුරූපී සහ සංකීර්ණ බවක් පළ කරන ලිංගිකත්වය සංකේතනය කෙරෙන අංග රැසක් අප රටේ පැරණි ජන අභිචාරවල සහ ජන ක්‍රීඩාවල දැකිය හැකිය. විශේෂයෙන් ලෞකික සමෘද්ධිය සහ සෞභාග්‍යය අපේක්ෂාවෙන් කරනු ලබන පූජා චාරිත්‍ර සහ ජන ක්‍රීඩාවල මෙම ලිංගික සංකේත නිරූපණය දැකිය හැක.

සවිමත් දැව කඳක් පාමුල ‍පොල් ගෙඩි දෙකක් රඳවා පුරුෂ අංග ජාතයක ආකෘතිය නිරූපණය කෙරෙන කප් සිටුවීම මහනුවර යුගයේ සංවර්ධනයේ වූ ලෞකික සමෘද්ධිය අරමුණු කරගත් දෙවියන් පිළිබඳ උත්සවයක සමාරම්භක අවස්ථාව ය. එමෙන්ම දෙවියන් පිළිබඳ බොහෝ උත්සවවල සමාප්තිය හැඟවෙනුයේ දිය කැපීමෙනි. මගේ නිරීක්ෂණය අනුව සශ්‍රීකත්වය පතා කරනු ලබන මේ අභිචාර විධි යුගලය තුළම ලිංගිකත්වය ප්‍රකට කෙරෙන සංකේත තිබේ. විශේෂයෙන් රත්නපුර සමන් දේවාල පෙරහර අවසානයේ සිදු කෙරෙන දිය කපන මංගල්‍යයේදී එම ජලයට රතු පැහැති මල් පෙති මුසු කිරීම ස්ත්‍රී පුරුෂ ප්‍රථම කාම සම්භෝගයක් සංකේතනය කෙරන බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක.

ප්‍රදේශයට වර්ෂාව සශ්‍රීකත්වය සේම වසංගත රෝග ආදියෙන් අත්මිදීම අරමුණු කරගත් අංකෙළිය හෙවත් අං ඇදීම මගින් ද ලිංගික සංකේත රැසක් ඉදිරිපත් කෙරේ. කාන්තාවන්ට රහසින් පුරුෂ පක්ෂයේ පමණක් සහභාගීත්වයෙන් වැඩිපුර ජනගහනයක් නොමැති ඉසව්වකදී සිදුකෙරුණු මෙය අභිචාර ක්‍රීඩාවකි.

මෙම ජන ක්‍රීඩාව ආරම්භ වනුයේ පත්තිනි දේවියට කරනු ලබන ආරාධනයක් මුල් කොට ගත් කප් සිටුවීමකිනි.

අංකෙළි උපත නම් ජන කාව්‍යයෙහි සඳහන් වන අන්දමට ඒ සඳහා මුල්වනුයේ පත්තිනිය මිනිසත් අවදියේදී ඇගේ සැමියා වන පාලඟ (කෝවලන්) සමඟ පඩි රජුගේ සපුමල් නෙලන්නට යාම පිළිබඳ පුරාවෘත්තයකි. එහිදී විශ්ව කර්මයා ඔවුන්ට කෙකි දෙකක් ලබා දුන් අතර ඉන් එන් කෙක්කක් සහිතව පාලඟ ගසට නැංගේය. පත්තිනිය ගසයට සිටියාය. අවසානයේ මෙම සපුමල් කැඩීමේදී ඔවුන්ගේ කෙකි දෙක එකට පටලැවුණි. ඒ අනුව දෙදෙනා කෙකි දෙක එකට පටලවා ගෙන දෙපැත්තට අදින්නට වූහ. කෙසේ හෝ අවසානයේ මිහිකතගේ උදව් ලද පත්තිනිය එම සටනින් දිනුවාය. මෙය ස්ත්‍රී පුරුෂ ලිංගික සම්භෝගයක් පිළිබඳ කදිම සංකේත නිරූපණයකි. එම සිද්ධිය මුල් කොට ගනිමින් කාන්තාවන්ට රහසින් අප්‍රකටව පිරිමින් විසින් පමණක් සිදු කරන මෙම ක්‍රීඩාව බොහෝ විට කලකෝලහාලවලින් අවසන් වූ බවක් කොටගම වාචිස්සර හිමියන් විසින් රචිත ‘සරණංකර සංඝරාජ’ සමය කෘතියෙහි සඳහන් වෙයි.

අප බොහෝ දෙනකු දන්නා පරිදි මිනිසුන් සතු ප්‍රධානම ආවේගයන් දෙකක් තිබේ. එනම් ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්වයයි. ඇතැම් පුද්ගලයන් තුළින් මේ ආවේග දෙකම එක්වර පිබිදීමක් සිදුවෙයි. ලිංගික ප්‍රචණ්ඩත්වය (Aggressive Sex) වශයෙන් විස්තර කෙරෙන එය සාදිස්මය (Sadism) නම් මානසික රෝගයේ ස්වරූපයක් ද ගනී. ඒ අනුව ඉහත සඳහන් අං ඇදීමට එක්වන පිරිසක් එලෙස සිය ප්‍රතිවාදීන් හමුවේ ප්‍රචණ්ඩත්වය මුදා හරින අතරේ ඊට එක්වූ තවත් පිරිසක් එලෙසින්ම තමන් තුළම පිබිදී ඇති සෙසු ආවේගය නැතහොත් ලිංගිකත්වය බිරිඳ හමුවේ මුදා හැරීම පිණිස නිහඬව ලහි ලහියේ නිවෙස් බලා යන්නට ඇත. ඒ අනුව දැනට අප ජන සමාජයෙන් අභාවයට ගොස් ඇති ලිංගිකත්වය සංකේතය කෙරෙන මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජ සහ මානව විද්‍යාඥයන්ගේත්, සමාජ මනෝ විද්‍යාඥයන්ගේත් අවධානය මීට වඩා යොමු විය යුතු යැයි සිතමි.

දහහත්වන සියවසේ ශ්‍රී ලංකාව පිළිබඳ විශිෂ්ට සමාජ විග්‍රහයක යෙදුණු රොබට් නොක්ස්ගේ විස්තරය අනුව පෙනී යන්නේ ද මෙය පිරිමින් සතු ලිංගික ශක්තිය සංකේතවත් කෙරෙන කිසියම් අභිචාරාත්මක ක්‍රීඩාවක් බවය.

මෙය හුදෙක් විනෝදාස්වාදය ලැබිමට වඩා ගමට, රටට, සෙත ශාන්තිය පතා කරනු ලබන ජන ක්‍රීඩාවකි. එහෙත් රොබට් නොක්ස් එම ක්‍රීඩාව සම්බන්ධයෙන් කරන මතු දැක්වෙන විස්තරය අප සැම විසින් විශේෂ අවධානයට ලක් කළ යුත්තකි.

“රටවැසියන් බෙහෙවින් ප්‍රිය කරන පත්තිනි දෙවියන් උදෙසා වන තවත් ක්‍රීඩාවක් ඇත. මෙරට පවත්නා දුර්භික්ෂ සහ වසංගත බිය දුරු කිරීමේ අරමුණින් සිදු කෙරෙන මෙම ක්‍රීඩාවේ ඉතා අශික්ෂිත අශීලාචාර අංගයකුත් තිබේ. එනිසා මෙය සිදු කරනුයේ නගරයෙන් දුරබැහැර විශේෂයෙන් කාන්තාවන්ට නොපෙනෙන ඉසව්වකදීය. මෙම ක්‍රීඩාව සිදුවන්නේ මෙලෙසිනි.

වැලමිටි හැඩයෙන් යුතු කරු (හෙවත් බලටු) දෙකක් ගෙන ඒවා එකිනෙක අමුණා පිරිස දෙපිලට බෙදී ඉන් එකක් කැඩී යනතුරු අදිති. මුදල් ඔට්ටුවක් නොමැති වුවද ඉන් දිනන කණ්ඩායම නොයෙක් ආකාරයේ ප්‍රීති ඝෝෂා කරමින් විනෝද වෙති. මෙසේ විනෝද වීමේදී කියනු ලබන වදන් සහ කරනු ලබන ක්‍රියා වචනයෙන් විස්තර කිරීමට බැරි තරම් පිළිකුල්ය. කෙටියෙන් කිවහොත් මෙසේ ප්‍රීති ඝෝෂා කිරීමේදී ම්‍ලේච්ඡ තිරිසන් වෙසින් හැසිරෙන්නා තරගයේ වීරයා බවටද පත්වෙයි. මෙම ක්‍රීඩාවේ ඇති අශික්ෂිත බව වටහා ගත් රජතුමා වරක් මෙය පැවැත්වීම තහනම් කළේය. ඉන්පසුවත් මෙම ක්‍රීඩාවේ යෙදුණු ගම්පොළ ප්‍රදේශයේ පිරිසකට අධිකාරම්වරයකු යවා දඩ නියම කරන ලදී.”

එමෙන්ම අපගේ ජන ආගම් සහ ජන ක්‍රීඩා සම්බන්ධ ලිංගික සංකේත භාවිතය මින් අවසන් නොවේ. වන්නි හත්පත්තුවේ සහ නුවර කලාවියේ දැඩි නියං සමයන්හි වැසි පතා කරනු ලබන ‘වැහි බලි යාගය’ නම් යාතු කර්මයේදී වැව් පිටියක නිරුවත් ස්ත්‍රී සහ පුරුෂ බලි දෙකක් අඹා එම පුරුෂ බලිය මත ස්ත්‍රී බලිය සතපවා එක්වරම දියෙන් සෝදා හැරීම මෙබඳු ලිංගික අභිචාර ක්‍රමවලින් එකක් පමණි.

මෙහිදී මෙම පුරුෂ බලිය වැස්ස වලාහක දෙවියන් වශයෙන් ‍පොදු ජන සමාජයේ හැඳින්වෙන වැසි ලබාදෙන දෙවිඳුන් මුල් කොට අඹන ලද්දකි. මෙම වැහි බලි යාගයේදී ඔහු හඳුන්වනු ලබනුයේ ‘වැහිගම්පල මුත්තා’ යන නමිනි. මෙලෙස නිසි කලට වැසි ලබා දීමට නොහැකියාව වැහිගම්පල මුත්තාගේ දුර්වලතාවයක් බව ඔහුට දැක්වීම පිණිස ඔහුගේ නිරුවත් බලිය මත ස්ත්‍රී බලියක් තැන්පත් කිරීම ලිංගික සංකේතාත්මක ඉදිරිපත් කිරීමකි. මෙය වඩාත් පැහැදිලිව කිවහොත් ඔහුගේ වැඩ බැරි බව කියා පෑමකි. එවැනි නිග්‍රහයකින් කෝපයටත් ලැජ්ජාවටත් පත්වන ‘වැහිගම්පල මුත්තා’ කල් නොයවාම ඒ ප්‍රදේශයට වැසි ලබා දෙතැයි එම ගැමියෝ විශ්වාස කරති.

ඒ කෙසේ හෝ නූතන සමාජයෙන් වසන් වී පවත්නා මෙවන් මානව විද්‍යාත්මක තොරතුරු හා දත්තයන් ජනතාව හමුවේ ප්‍රමාණවත් ලෙස සන්නිවේදනය නොවීම ද එක්තරා ජාතික ඛේදවාචකයකි.

Print Friendly

පුරවැසියාට වැදගත් දේශපාලඥයාද? පුරවැසියාද?

$
0
0

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

දේශපාලඥයන් සහ ඔවුන්ගේ සහචරයන් හොර මැරකම් කරන විට ඊට කලින් බලයේ සිටියවුන් අතින් සිදු වූ වැරදි, අපරාධ හා සොරකම් උලුප්පා දක්වමින් තමන් වඩාත්ම කැමති අය රහසින් වත් පවු නොකරන සුදනන් බව පුන පුනා කියා පෑමට ඉදිරිපත් වන “යටත් වැසියන්” සහ තමන් ජීවත් වන රටේ ජනතාවගේ පරමාධිපත්‍යය අනිසි ලෙස යොදවමින් රට අගාධය වෙත ඇද දමන දූෂිතයන් පුද්ගලබද්ධ නොවී විවේචනය කිරීමට ඉදිරිපත් වන “පුරවැසියන්” අතර ඇති වෙනස පිළිබඳ ගැටළුව ඉක්මනින්ම ලිහාගත යුත්තකි.

නිදහසින් පසුව මේ දක්වාම බලයට පත් එජාප, ශ්‍රීලනිප ආණ්ඩු සියල්ලම තම වාසියට යොදාගත් වැදගත්ම සාධකය මේ යටත්-වැසි මානසිකත්වයයි. කිසියම් දේශපාලන පක්ෂයකට ඡන්දය දුන් පසුව ඉදිරියටත් එම පක්ෂයට සම්බන්ධ දේශපාලඥයන්ගේ ඕනෑම ක්‍රියාවක් සාධාරණීකරණය කරන්නට පෙළඹීම අප අතරින් ඇති බොහෝ දෙනෙකු අදටත් සිදු කරන්නක් බවට ඕනෑ තරම් හේතුසාධක තිබේ. යහපාලනයට ඡන්දය දුන් අය යහපාලනය වෙනුවෙන් දිවා රෑ පෙනී සිටිමින් මෛත්‍රී-රනිල් ප්‍රමුඛ ආණ්ඩුවේ සාමාජිකයන්ගේ “හොඳ කම” ඉස්මතු කළ යුතු අතර මහින්ද රාජපක්ෂට කැමති අය රනිල්ටත් මෛත්‍රීටත් වෛර කරමින් ඔවුන්ගේ සියලුම ක්‍රියා විවේචනය කරන අතර මහින්දගේ ඕනෑම ක්‍රියාවක් සාධාරණීකරණය කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතු බව අදටත් මේ දෙපාර්ශ්වයේම බොහෝ අය අදහමින් සිටීම ඛේදයකි.

Yoshithaපසුගිය වසරේ ජනවාරි 08 දින යහපාලන තන්ත්‍රයක් බිහි කිරීමේ පොරොන්දුව පිට බහුතර ජනතා ඡන්දයෙන් බලයට පත් මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව යටතේ එදා සිට මේ දක්වාම ජනමතය පාවා දීමට ලක් වූ සෑම අවස්ථාවකදීම අපි ඊට විවේචනාත්මකව එරෙහි වූයෙමු. මෛත්‍රී බලයට පත් වූයේ රටේ ජනාධිපති වීමට ඔහුට තිබූ සුවිශේෂී සුදුසුකමක් නිසා නොව ඒ වන විට මහින්ද රාජපක්ෂ නම් දුෂ්ට ඒකාධිපතියා මෙරට ජනතාව අතරින් වැඩි දෙනෙකුට තදටම අප්‍රසන්න වී තිබුණු නිසා බව ලිවීම මා ඇරඹුවේ යහපාලන ආණ්ඩුව බිහි වූ මුල් දිනවල සිටමය. ජනතා ඡන්දයෙන් ප්‍රතික්ෂේපිත මහින්ද ප්‍රමුඛ හොර නඩය මෛත්‍රීගේ පක්ෂය රැක ගැනීමේ ආත්මාර්ථකාමී මෙහෙයුම වෙනුවෙන් පස්සා දොරෙන් රාජ්‍ය පාලන යාන්ත්‍රණය තුළට යළි රිංගවා ගැනීම වැරදි බව මෙන්ම බදුර්දීන්ගේ විල්පත්තු සංහාරය හමුවේ වත්මන් ආණ්ඩුව මුනිවත රැකීමත්, හිරුනිකා අත්අඩංගුවට ගැනීම හරි අපූරු ලොජික් එකකට අනුව ඇප මත මුදා හැරීමත් ඇතුළු තවත් බොහෝ දෑ යහපාලන මූලධර්මවලට අනුකූල නොවන බව කියන්නට අපි පසුබට නොවූයෙමු. අද යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් කෑ මොර දෙන යටත් වැසියන් වෙත අප හෙළන නිර්දය උපහාසය දේශපාලනික පළිගැනීමක් ලෙස නොගත යුත්තේ එවැනි පසුබිමක බව ඇතැමුන්ට සිහිපත් කිරීමත්, මෙහි මුලින්ම සටහන් කිරීමත් වැදගත් වනු ඇත.

මේ වන විටත් සමාජ මාධ්‍යවල පළ වී ඇති එක් මහින්දවාදී ඡායාරූපයක ආබාධිත සොල්දාදුවෙකු පෝස්ටරයක් ඔසවා ගෙන සිටින අතර එහි මෙසේ ලියා ඇත: “රට බේරාගත් යෝෂිතට පුදන සම්මානය හිර කූඩුවද?”. ඊට පසුපසින් ඇති විශාල ප්‍රමාණයේ බැනරයක “කෲර පළිගැනීම්, රණවිරු යෝෂිත” වැනි වදන් ලියැවී ඇත. මා මේ තෝරාගත් උදාහරණ වැකි මහින්ද ව්‍යාධියෙන් දැඩි ලෙස පීඩා විඳින යටත් වැසියන් බොහෝ දෙනෙකුට අදාළය. මේ මොහොතේ යෝෂිත රිමාන්ඩ් කරනු ලැබීම ගැන ඔවුන් පොදුවේ නගන මැසිවිලි එකම ස්වරූපයක් ගනියි. මහින්දත්, මහින්දගේ හෙංචයියනුත් එසේ කීවාට කම් නැත. එහෙත් රටේ ජනතාව ඒ තත්ත්වයට ඇද වැටීම ජනතාවගේ පැත්තෙන්ම දැඩි ඛේදවාචකයක් බව පිළිගැනීමට මැළි විය යුතුද නැත.

යෝෂිත රාජපක්ෂ “රණවිරුවෙකු” වීමේ ඇත්ත නැත්ත නොදන්නා කෙනෙකු මේ රටේ නැත. මහින්දවාදීන් පවා පෞද්ගලිකව ඒ කටුක ඇත්ත පිළිගන්නා බවද අපි දනිමු (එළිපිට නොපෙන්නුවාට). තාත්තා ජනාධිපති වීමේ එකම සුදුසුකමින් නාවික හමුදාවට පැන ගන්නා යෝෂිත සහභාගී වූ එකම යුධ මෙහෙයුමක් ගැන මේ දක්වා වාර්තා වී නොමැත. එසේම, රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන දේශපාලඥයින් රෝහල්ගත වන පරිදිම ඔහුද ‘වැඩි හොඳට’ යුද්ධයෙන් වැඩි කාලයක් ගත කළේ ලංකාවේ නොව වෙන වෙන දීපංකරවල බවද අපට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නැත. කිසිදු සමාන්තර නිලයකට හිමි නොවන අස්වාභාවික වරප්‍රසාද සමුදායක් මැද තම ඉහළ නිලයන්ට පවා දත විළිස්සමින් නාවික හමුදා විනය හා පරිපාලනයට අදාළ නීති, රෙගුලාසි ආදිය පයිසෙකට නොතකමින් ඔහු ගෙවූ ජීවිතය අමතක වන්නට නම් මැරී ඉපදිය යුතුය. ඇත්ත ඇති සැටියෙන් පිළිගැනීමට මැළි නොවන්නෙකුට නම් යෝෂිත වඩා ලං වන්නේ ‘රණවිරුවෙකුට’ නොව ‘නූගත් රස්තියාදුකාරයෙකුට’ බව කීම දේශපාලනික පළිගැනීමක්ද මහත්වරුනි?! (භාෂාමය රීති බිඳිමින් හෝ මේ විරාම ලක්ෂණ දෙකම එක ළඟ යෙදීම වැදගත්ය). එසේම, ‘රණවිරු’ යෝෂිතට නාවික හමුදාවෙන් පඩි ගෙවුවාට ඔහු ‘රස්සාව’ කළේ වෙන වෙන තැන්වල බව දැනටමත් ඔප්පු වී හමාරය.

වඩාත්ම ඛේදනීය තත්ත්වය නම් එම පෝස්ටරය ඔසවාගෙන සිටින්නේද සත්‍ය වශයෙන්ම යුධ පිටියේදී පහර කා තුවාල ලබා ආබාධිත තත්ත්වයට ඇද වැටුණු ‘රණවිරුවෙකු’ වීමයි.

දේශපාලඥයාගේ ආවේණික ගතිය බලයට හා මුදලට ඇති කෑදරකම වෙනුවෙන් හැකි උපරිමයෙන් කැප වීමයි. ජනමාධ්‍ය ඉදිරියේ බොරුවට ඇඬීම, ජාතික කැක්කුම මතක් කර දීම, රට, ජාතිය හා ආගම බිලි ගැනීමට එතෙරින් එන බිල්ලන් ගැන කතාන්දර කියා දීම, තමන්ට එරෙහි පලිගැනීම් හා අකටයුතුකම් ගැන කේලාම් කීම ආදී මෙකී නොකී උපක්‍රම රැසක් ඔවුහු ඒ සඳහා පාවිච්චි කරති. එහෙත් පුරවැසියා ඒ තරම් පහත් තත්ත්වයට වැටිය යුතු නැත. අද තම පුත්‍ර රත්නය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන මහින්ද එදා තවත් මාපියන් රැසකට දරුවන්ද, දරුවන් රැසකට මාපියන්ද ම්ලේච්ඡ ලෙස අහිමි කරන විට ඔවුන්ගේ ඇස්වල කඳුළු ගැන වගේ වගක් නැති දුෂ්ටයෙකු (මා මහින්දට ‘දුෂ්ටයා’ කියන්නේ ටයිපින් මිස්ටේක් එකකින් නොවන බව සලකන්න) තම දරුවා වෙනුවෙන් හොටු පෙරාගෙන ඇඬුවා කියා රටේ ජනතාව එය ජාතික මට්ටමේ ශෝක කාරණාවක් කර ගැනීමට කිසිදු අවශ්‍යතාවක්ද නැත. මහින්දවාදීනි, ඔබ පෙනී සිටින්න ඔබ වෙනුවෙන්, ඔබේ දරුවන් සහ ආදරණීයයන් වෙනුවෙන්. එහෙත්, හොරුන් වෙනුවෙන් පුරවැසියන් එකිනෙකා මරා ගැනීමෙන් හොරාට වාසිය අත්කර දීමට තරම් නීච නොවන්න!

යෝෂිත අත්අඩංගුවට ගැනීම ගැන රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ හරි අපූරු සටහනක් මහින්දලා නීතිය ගැන දරන ආකල්ප මොනවට පැහැදිලි කරයි. යහපාලන කාරයින් සිංහයාගේ නැට්ට පාගා ඇති බවත්, දැන් ඉතින් සිංහයා අතින් කීතු කීතු වන්නට ඉරා දැමෙන්නට සූදානම් විය යුතු බවට අනතුරු හැඟවීමකුත් එහි දැක්වෙයි. මහින්ද රෙජීමය යටතේ රටේ නීති ප්‍රකාරව කටයුතු කරන විට තමන්ට අවාසිදායක සිදුවීම් වෙත ඔවුන් ප්‍රතිචාර දැක්වූ ආකල්පය මෙයයි. තාත්තෙකු වශයෙන් මහින්ද තම දරුවන්ට කළ ලොකුම හානිය වන්නේද මේ නූගත්, තක්කඩි මානසිකත්වය ඔවුන් තුළ ලියලා වැඩෙන්නට ඉඩ හැරීම බවද නොකියම බැරිය. අඩුම තරමින් රටේ පුරවැසියන්වත් මේ මොහොතේ ‘තමන්ගේ’ පැත්ත ගැනීම වැදගත් එහෙයිනි.

පුරවැසියා දේශපාලඥයාගේ නොව පුරවැසියාගේ පැත්ත ගන්නා තුරුම හිරුනිකාලාට, බදූර්දීන්ලාට, ඥානසාරලාට, රජගෙදර බේබිලාට (වත්මන් බේබිලාද ඇතුළත්ව) යහමින් පිස්සු නැටිය හැකි බව වටහා ගැනීම පමණක් ප්‍රමාණවත්ය.

ashanweerasinghe@gmail.com

Print Friendly

සංඝාධිකරණයක් උවමනා නම් අප එයත් ඇති කරමු

$
0
0

රනිල් වික්‍රමසිංහ

තරුණ භික්‍ෂුන් වහන්සේලාගේ ප්‍රශ්න පිළිබඳව අප සමග සාකච්ඡා කිරීම සඳහා මෙහි වැඩම කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේලාට ස්තුතිය පළ කරනවා. භික්‍ෂුන් වහන්සේලාට තිබූ ප්‍රශ්න පිළිබඳව මීට පෙරත් අප සාකච්ඡා කර තිබෙනවා. 2016 වසරේදී එම ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියා කරන බවට මා පොරොන්දුවක් ද ලබා දී තිබෙනවා.

Ranil Wතරුණ භික්‍ෂුන් වහන්සේලාගේ ප්‍රශ්න කොටස් දෙකකට බෙදා හඳුනාගත හැකියි. ඇතැම් ප්‍රශ්න නිකායේ මහානා හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාවලට විසඳිය හැකියි. අනෙක් ප්‍රශ්නවලට ආණ්ඩුවක් ලෙස අප විසඳුම් ලබාදිය යුතුව තිබෙනවා. බුදු සසුන ආරක්‍ෂා කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් තිබෙනවා. ඊට අමතරව සියලූ දෙනාටම තම ආගම නිදහසේ ඇදහීමට අයිතිය තිබෙනවා. එම ඇදහීමේ අයිතිය සදහා ඒ ඒ ආගම්වල පැවිදි පක්ෂයත් ඇතුලත් වෙනවා. ආගම්වල කටයුතු සදහා මැදිහත්වීමට රජයට නීත්‍යානුකඣල අයිතියක් නැහැ. සාමාන්‍ය කාරණාවලදී අපට පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරගත හැකියි.

බුද්ධ ශාසනය, කතෝලික, හින්දු, මුස්ලිම් ඇතුළු සියලූ ආගම්වල අභ්‍යන්තර වැඩකටයුතු සඳහා පාර්ලිමේන්තුවට මැදිහත්වීමට හැකියාවක් නැහැ. ඒ සඳහා මැදිහත්වීමට නම් එම ආගම්වලින් ඉල්ලීමක් ඉදිරිපත්වී තිබිය යුතුයි. අධිකරණමය කටයුතුවලදී සංඝයා වහන්සේලාට අවශ්‍ය නම් වෙනම අධිකරණයක් ලබාදීමට ජේ.ආර්. ජයවර්ධන සමයේ ව්‍යවස්ථාවෙන් අප කටයුතු කළා. සංඝයා වහන්සේලාගේ නඩු කටයුතු සාමාන්‍ය අධිකරණ කොමිසම මගින් විනිශ්චකාරවරුන් යොදා විසඳීමට අවශ්‍ය නැහැ. එම තීරණය ඇත්තේ ගරුතර මහ සංඝරත්නය යටතේයි.

අද අප ඉදිරිපත් කර ඇති ථෙරවාදී භික්‍ෂු කතිකාවත මහා සංඝරත්නයේ ඉල්ලීමකට අනුව ගත් තීරණයක් බව කිව යුතුයි. මහනායක හිමිවරුන් අපෙන් කළ ඉල්ලීම පරිදි එම භික්‍ෂු පනත සම්මත කිරීම අපේ යුතුකමක්. එම පනත අනුමත කරන්නට එපා යැයි මහනාහිමිවරුන් පැවසුවහොත් අප ඊට අනුකූලව කටයුතු කරනවා. මෙම කරුණේදී කැබිනට් මණ්ඩලයේ කාර්ය භාරය තැපැල් කරුවෙකුගේ කාර්යට සමානයි. බොහෝවිට මන්ත්‍රීවරුන් මේ පිළිබඳව තමන්ගේ පෞද්ගලික මතය ඉදිරිපත් කරනවා. මටත් ඒ ගැන පෞද්ගලික මතය පැවසිය හැකියි. නමුත් ක්‍රියාත්මක වන්නේ මහා සංඝරත්නයේ අදහසයි.

මෙම ථෙරවාදී භික්‍ෂු කතිකාවත ඇති කර තිබෙන්නේ ශාසනය වෙනුවෙනුයි. ථෙරවාදී භික්‍ෂු කතිකාවතක් නොමැතිව කාලයක් ගත වුණා. එවැනි කතිකාවතක් ගෙන එන අවස්ථාවේදී විවිධ ප්‍රශ්නවලට මුහුණදීමට සිදු විය හැකියි. ඒ ප්‍රශ්න විසඳාගත යුත්තේ මහනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභා සමග සාකච්ඡා කිරීමෙනුයි. තමන් සමග සාකච්ඡා කරනවාට කිසිම මහනායක හිමි නමක් විරුද්ධවේ යැයි මා සිතන්නේ නැහැ. මේ ආගමික කටයුතු ශාසනයට සීමා කර ගන්නැයි මා ඉල්ලා සිටිනවා. මෙම කරුණ සම්බන්ධයෙන් භික්‍ෂුන් වහන්සේ හරි මතයක් ඉදිරිපත් නොකළහොත් ආණ්ඩුව අසීරුතාවයට පත් වනවා. ප්‍රශ්නවලට ආණ්ඩුවේ මැදිහත්වීම නිසා කාම්බෝජයේ බුදු සසුන සම්පූර්ණයෙන්ම නැති වුණා. ඒ නිසා අප එක මූලධර්මයක් අනුගමනය කළ යුතුයි. එය රාමුව තුළ වැඩ කරනවා නම් හැමදාම බුදු සසුන ආරක්‍ෂා වනවා. දේශපාලකයන් ඒවාට මැදිහත් වෙන්න ගියොත් විශාල ප්‍රශ්නයක් ඇති වේවි.

Ranil Wiඅපේ තරුණ භික්‍ෂුන් වහන්සේලාටත් මේ යුගයේදී විශාල ප්‍රශ්න රාශියකට මුහුණදීමට සිදු වනවා. සංඝාධිකරණයක් උවමනා නම් අප එයත් ඇති කරමු. පාර්ලිමේන්තුවේදී එය සම්මත කරලා දෙන්නම්. සංඝාධිකරණයක් පැවතීම හොඳ බව මගේ පෞද්ගලික අදහසයි. එවිට භික්‍ෂුන් වහන්සේලාගේ කටයුතු සංඝාධිකරණය හරහා කළ හැකියි. එංගලන්තයේ නම් එංගලන්ත සභාවට වෙනම අධිකරණයක් තිබෙනවා. එකඟත්වයක් තිබේ නම් අපටත් සංඝාධිකරණයක් ඇති කිරීම ප්‍රශ්නයක් නොවේ.

විහාර හා දේවාලගම් පනතේ කරුණු කිහිපයක් පිළිබඳවත් අප සාකච්ඡා කර තිබෙනවා. ආණ්ඩුවට ඇත්තේ විහාර හා දේවාලගම් පනතේ එක් සංශෝධනයක් ඉදිරිපත් කිරීමට පමණයි. අධිරාජ්‍යවාදී යුගයේදී දියවඩන නිලමේ ඇතුළු අනෙකුත් නිලමේවරුන් පත් කිරීමේ බලය රටේ මහත්තයලාට, දිසාවලාට, අධිකාරම්වරුන්ට බාරදී තිබුණා. දැන් ඔවුන් නැහැ. වර්තමානයේදී දිසා ලේකම්වරුන් මෙම කටයුතු සඳහා සම්බන්ධවීමට අවශ්‍ය නැහැ. සමහර දිසා ලේකම්වරුන්ට අදාළ ප්‍රදේශයේ පදිංචියවත් නැහැ. දියවඩන නිලමේවරුන් පත් කරන්න මට ඡන්දයක් නැහැ. නමුත් මා දිසා ලේකම්වරයෙකු වෙලා ගියොත් මට එම ඡන්ද බලය ලැබෙනවා. එවැනි බලයක් අවශ්‍ය වන්නේ නැහැ. අප ඉල්ලන්නෙත් නැහැ. එම නිසා ආණ්ඩුවේ නිල බලයෙන් පත් වන නිලධාරීන් දියවඩන නිලමේවරුන් ඇතුළු සෙසු නිලමේවරුන් පත් කිරීමේ කටයුතුවලින් ඉවත් කරන්නැයි ආණ්ඩුව යෝජනා කර තිබෙනවා.

විහාර දේවාලගම් පනතට ඇතුළත් විය යුතු සෙසු සංශෝධන මොනවා දැයි මහ සංඝරත්නය සහ නිලමේවරුන් සාකච්ඡා කර පැවසූ විට ඒ අනුව කටයුතු කළ හැකියි.

මේ ප්‍රශ්න හැරුණු කළ පිරිවෙන් අධ්‍යාපනය අද තිබෙන විශාල ප්‍රශ්නයක් බව කිව යුතුයි. පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේයි. පරිවෙනාධිපතිවරුන් පත් කරන්නේ ඒ ඒ පන්සල්වලිනුයි. අදාළ රෙගුලාසි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවයි. පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ගැටලූ පිළිබඳව භික්‍ෂුන් වහන්සේ විසින් අප දැනුම්වත් කළ පසුව පිරිවෙන් මණ්ඩලය සමග සාකච්ඡා කරන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාට පවසන්නම්.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා පිටවන භික්‍ෂුන් වහන්සේලාගේ අනාගත පැවැත්ම පිළිබඳව ද අප කල්පනා කළ යුතුව තිබෙනවා. සමහර හිමිවරුන්ට ගුරු පත්වීම් ලැබෙනවා. සෙසු රැකියා අවස්ථා පිළිබඳවත් අප සාකච්ඡා කර තීරණය කරමු. ඉගෙනුම ලබන භික්‍ෂුන් වහන්සේලා මෙන්ම සෙසු ශිෂ්‍යයන් සඳහා ලැප්ටොප් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් අප මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කළා. අප නව යුගයකට ගමන් කළ යුතුව තිබෙනවා. පිරිවෙන් අධ්‍යාපනයත් නවීකරණය විය යුතුයි. ඉතා දුප්පත් ඈත ගම්දනව්වල සංඝයා වහන්සේලා සිටිනවා. එම භික්‍ෂුන් වහන්සේලාගේ මව්පියන් සඳහා නිවාස අවශ්‍ය නම් ඒවා ලබාදීමේ වැඩ පිළිවෙළක් සකසන්නැයි නිවාස හා ඉදිකරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස​ මහතා සමග සාකච්ඡා කරන්න. ඔහු ඊට සම්පූර්ණ සහයෝගය ලබාදේවි. එම වැඩ පිළිවෙළ පිළිබඳව මෙවර වෙසක් උළෙල පැවැත්වෙන තිස්ස මහාරාමයේදීම සජිත් ප්‍රේමදාස​ ඇමැතිතුමාට ප්‍රකාශයක් කිරීමට හැකියාව තිබෙනවා.

දහම් පාසල් සංවර්ධනය කිරීම පිළිබඳවත් අප විවිධ ආගම් සමග සාකච්ඡා කරනවා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික දෙපාර්තමේන්තුව සමග එකතු වී මෙරට උරුමය ආරක්‍ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසිය යුතුව තිබෙනවා. පන්සල්වල පමණක් නොවේ. ගම්දනව්වල ජනශ්‍රති, ජන කවි, ජන කතා, ආහාර විධි ක්‍රම තව වසර 20 කින් පමණ සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ අවධානමකට ලක්වී තිබෙනවා. ගමේ පන්සල මූලික එම ගැමි සංස්කෘතිය රැක ගන්නේ කෙසේ දැයි අප වැඩ පිළිවෙළක් සකසනවා. එමෙන්ම පැරණි පන්සල්වල සුරැකී ඇති කලා කෘති අප රැක ගත යුතුය. භික්‍ෂුන් වහන්සේලා මාර්ගයෙන් පන්සල්වල තිබෙන කලා කෘතීන් පිළිබඳව භික්‍ෂුන් වහන්සේලා මගින් අපට ලැයිස්තුවක් සකසන්නට හැකියාව ලැබේවි. එමෙන්ම ගම්දනව් පන්සල්වල සුරැකී තිබෙන පුරාවස්තු, නිදන් ආදිය පිළිබඳවත් ලැයිතුවක් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. මෙවැනි දේ අප රැක ගත යුතුයි.

ග්‍රාමරාජ්‍ය කේන්ද්‍ර ඇති කිරීමේදී ගම දියුණු කිරීමට භික්‍ෂුන් වහන්සේලා සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳවත් අප සාකච්ඡා කළ යුතුව තිබෙනවා. ගමේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් භික්‍ෂුන් වහන්සේලාට විශාල වැඩ පිළිවෙළක් ගෙන යාමට හැකියාව තිබෙනවා. රජයක් ලෙස අපත් ඊට උපකාර කරන්නම්. එමෙන්ම තිරසාර සංවර්ධනයේදී පරිසරය ද ආරක්‍ෂා කර ගත යුතුයි. එමෙන්ම බුදුන් වහන්සේගේ ධර්මයට අනුව මෙරට ජාතික සංහිඳිදයාව ඇති කර ගත යුතුව තිබෙනවා.

ථෙරවාදී බුදුදහම ලෝකයට ව්‍යාප්ත වුණේ ලංකාවෙන්. ලංකාව ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අපේ අරමුණයි. ඒ සඳහා සම්පූර්ණ ආධාර ලබාදීමට රජය සූදානම්. භික්‍ෂුන් වහන්සේලා සඳහා විදේශ භාෂා දැනුම ලබාදීමට ජාතික සංවාද අමාත්‍යංශය සමග සාකච්ඡා කොට වැඩ පිළිවෙළක් සැකසීමේ හැකියාව තිබෙනවා. අපගේ අසල්වැසි රට වන ඉන්දියාවේ දැන් විශාල වශයෙන් බුදු දහම ව්‍යාප්ත වෙමින් පවතිනවා. හින්දි, ද්‍රවිඩ, ඉංග්‍රිසි භාෂා දන්නවා නම් විදේශවල බුදු දහම ව්‍යාප්ත කිරීමට හැකියාව තිබෙනවා.

විශේෂයෙන් යුරෝපා රටවල බුදු දහම ව්‍යාප්ත කිරීමේදී එම පරිසරය පිළිබඳව අවබෝධයක් ලබා ගෙන කටයුතු කළ යුතුයි. බොහෝ විදේශවල බෞද්ධ මධ්‍යස්ථාන හරියාකාරව පවත්වා ගෙන යන්නේ නැහැ. යම් නිකායක් මැදිහත්වී විදේශ බෞද්ධ ආයතනත් පවත්වා ගෙන යාමට වැඩ පිළිවෙළක් සැකසිය යුතු බව මා මහනායක හිමිවරුන්ට යෝජනා කළා. මෙම ආගමික සිද්ධස්ථාන දියුණු කිරීමට අප සූදානම්.

තරුණ භික්‍ෂුන් වහන්සේලා මුල්කරගෙන කමිටුවක් පත් කොට තරුණ සේවා සභාවේ සභාපතිතුමා ද එක්කර ගෙන වැඩ කටයුතු කරගෙන යන ලෙස මා ඉල්ලා සිටිනවා. තරුණ භික්‍ෂුන් වහන්සේලාට අනාගතයට සාර්ථකව මුහුණදිය හැකි වැඩ පිළිවෙළක් සැකසීම රජයේ මූලික අරමුණයි.

නගරයේ සිටින භික්‍ෂුන් වහන්සේලාට වඩා ගම්දනව්වල සිටින භික්‍ෂුන් වහන්සේලාට ප්‍රශ්න ඇති විය හැකියි. ග්‍රාමීය ආර්ථිකය කඩාවැටීම මීට හේතුවයි. ගම්දනව්වල ජනතාවගේ දියුණුව සඳහා ප්‍රවීණ කෘෂිකාර්මික අදහස් ලබා දිය යුතුව තිබෙනවා.

*අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී 2016.02.02 දී තරුණ භික්‍ෂුන් වහන්සේලා සමග පැවැති හමුවේදී කළ කතාව

Print Friendly

‘‘ජනතාව වන අපි’’ සහ ‘‘මහා සංඝ රත්නය වන ඔවුන්’’

$
0
0

සරත් ද අල්විස්

සරත් ද අල්විස්

සරත් ද අල්විස්

‘වධබන්ධනයට පත්කිරීම කිසි ආගමක ආරම්භක ලක්ෂණයක් නොවේ. එහෙත් එය, නීතිය මගින් ස්ථාපිත කරන ලද සෑම ආගමකම හැම විටකම ප‍්‍රබල ලෙස සනිටුහන් වන ලක්ෂණයක් වන්නේය.’’-  තෝමස් පේන් (ප‍්‍රබුද්ධ යුගය)

කහ සිවුර, දාමරිකවාදයේ සුභාවිත ප‍්‍රකාශනයක් සේ නැගෙමින් තිබෙන කල්ලි-තාන්ත‍්‍රික අභිමතයේ මෙවලම බවට පත්වෙමින් තිබෙන බව, මෑතක ඇති වු සිදුවීම් මගින් පෙන්නුම් කෙරේ. වෙනත් කිසි රටක නැති ආකාරයෙන් මෙරටේ වීදි දේශපාලනය තුළ යහපත් මිනිසුන් පරයා සංඛ්‍යාත්මකව නැගී සිටින්නේ, අවිනීත සහ දඩබ්බර කල්ලියකි. නූතන ඩිජිටල් සන්නිවේදන තාක්ෂණ යුගය තුළ, අන් අයට ඉඩක් නොතබා, පාරේ දේශපාලනය තුළ ගණන්කාරයන් වන්නේ මෙකී පිරිසයි.

තමන් දන්නා ආකාරයේ ‘ථෙරවාද නීති සංග‍්‍රහයක්’ ගැන ධර්ම දේශනාවක් කළ අන්තවාදී භික්ෂුවක්, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත, හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරයට නියම කෙරුණි. ඉන් දින තුනකට පසු අපේ ජනාධිපතිවරයා, මහා සංඝ රත්නයේ මග පෙන්වීම මත කවදත් මේ රට පාලනය කෙරෙන බවට ගෞරව පූර්වකව සහතික කොට සිටියේය.

බිම වැටීමෙන් බරපතල තුවාල ලැබ චින්තාපර මනෝ භාවයක සිටි මේ ලියුම්කරුට ජෝන් ලෙනන්ගේ, ‘‘ජීවිතය යනු, වෙනත් සැලසුම් සිදුකරන අතරේ සිදුවන දෑ’’ යැයි කියැවෙන ගීය මෙනෙහි විය. හෝමාගම කලහකාරී භික්ෂූන්ගේ නෙයියාඩගම් සහ ජනවාරි 29 වැනි දා කෝට්ටේ රජමහා විහාරයේදී ජනාධිපතිවරයා මහා සංඝ රත්නයට දෙන ලද ප‍්‍රතිඥාව අසා දැක බලා ගැනීමට ලැබුණේ ඒ චින්තාපර මනෝ භාවයේ සිටියදී ය.

BBSහෝමාගම විගඩම ජුගුප්සාජනක ය. කෝට්ටේදී දුන් ජනපති ප‍්‍රතිඥාව සිත කළඹන සුළු ය. උපතින් බෞද්ධයෙකු වන මා තැතිගන්වන සුළු ය. එහි අන්තර්ගතය වන්නේ, ‘අප නැමැති ජනතාවගේ’ ස්වෛරීත්වය, ‘ඔවුන් නැමැති මහා සංඝයාගේ’ ආඥාවන්ට යටත් වන බව ය.

රාජ්‍යයක්, විශේෂිත වූ ආගමකට නිශ්චිත පක්ෂපාතීත්වයක් දක්වන බව කියැපෑමේදී සිදුවන්නේ, කැමැත්තක් ඇතුව හෝ නැතිව, වෙනත් ආගමිකයන් බැහැර කිරීමේ සංඥාවක් නිකුත් කරනු ලැබීමයි. යම් පිරිසකගේ හෝ පුරවැසියන් බහුතරයකගේ ඇදහීමක් කෙරෙහි විශේෂ ලැදියාවක් ආණ්ඩුවක් පැහැදිළිව ප‍්‍රකාශයට පත්කර සිටින අවස්ථාවක, සියලූ පුරවැසියන්ගේ සමානාත්මතාව ආරක්ෂා කර දීමට ආණ්ඩුවකට හැකි වන්නේ කෙසේද? ආණ්ඩුවක් විසින් නිවනට යන මග තෝරාගන්නා විට, ස්වර්ගයට යාමෙන් සෑහීමකට පත්වීමට කැමැත්තක් දක්වන හෝ හුදෙක් මරණය තෙක් නිදහසේ හිත හදාගෙන බලා සිටින අයවළුන්ට ආණ්ඩුවක් යෝජනා කරන්නේ කුමක්ද?

ජනාධිපතිවරයා සංඝ රත්නය කෙරෙහි ගෞරව පූර්වක භක්තියක් දක්වන බවට සැකයක් නැත. එය ඔහුගේ පෞද්ගලික කාර්යයකි. සිවුර තවදුරටත්, නිෂ්ක‍්‍රමණයේ හෙවත් ගිහිගෙය අතහැරීමේ සංකේතයක් නොවේ. එය අද, අනන්‍යතා ලාංඡුනයකි. හෝමාගමදී එය, කඩාපැන පහරදෙන සේනාවක නිල ඇඳුම බවට පත්විය. 2015 ජනවාරි මුල හරියේ, මැදගොඩ අභයතිස්ස නැමැති භික්ෂුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හැඳින්නුවේ, ජාතිය පාවා දීමක් වශයෙනි. ලංකාවේ පවතින මහා සංඝ සාසනය, සමජාතීය ආයතනයක් නොවන බව පෙන්වීමට තවත් සාක්ෂි අවශ්‍යද?

ශ‍්‍රී ලංකාව යනු, පූජක-තන්ත‍්‍රයක් නොවේ. එය, බුද්ධාගමට ප‍්‍රමුඛ ස්ථානය දිය යුතු බවට ව්‍යවස්ථාවෙන් පනවා ඇති, ලෞකික ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි. මේ ප‍්‍රමුඛ ස්ථානය ලැබෙන්නේ කාගේ බුද්ධාගමටද? මේ ප‍්‍රශ්නය මතු කෙරෙන්නේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය සඳහා වන තරගයක්, ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇති වී තිබෙන සන්දර්භයක් තුළයි.

මාර්ටින් වික‍්‍රමසිංහ ලියූ ‘භව තරණය’ ජනාධිපතිවරයා කියැවිය යුතුය. එම කෘතියේ, අපේ මහා සිංහල සාහිත්‍යධරයා සිද්ධාර්ථගේ සත්‍ය ගවේෂණය අගේට විස්තර කරයි. බුදුන් වහන්සේගේ ජීවිතය සහ දේශනාව සැබෑ අගැයීමකට ලක්කළ හැක්කේ, සමාජයෙන් මිනිසුන් පිටමං කෙරෙන සහ තිරශ්චීන විද්‍යා හෙවත් තිරිසන් විශ්වාස පද්ධති අරක්ගත් බ‍්‍රහ්මණ ව්‍යවහාර තුළ සිරවී සිටි මිනිසුන්ගේ විමුක්තිය ගවේශනයට ලක්කෙරුණු සමාජ පරිසරය අවබෝධ කර ගැනීමෙන් පමණක් බව, එම කෘතියට පසුවදනක් ලියමින් මාර්ටින් වික‍්‍රමසිංහ කියා සිටී. සරළ ස්වාභාවික හේතුකාරක මත පදනම්ව, විදග්ධ සංස්කෘතයෙන් වෙනුවට, මගධ දේශයේ සාමාන්‍ය මිනිසුන්ගේ බැවහර සම්ප‍්‍රදායයෙන් දේශනා කළ ධර්මය තුළට, පසු කාලයක, බ‍්‍රාහ්මණ අධිතාත්වික විශ්වාස පද්ධති කෙමෙන් කෙමෙන් මුත් නිශ්චිතවම රිංගා ගැනීම ගැන එහිදී ඔහු තවදුරටත් විස්තර කරයි.

මෙය, නොබෙල් සම්මානලාභී අමාර්ත්‍යා සෙන්, ශාන්ති නිකේතනයේ පැවති, ‘‘බුදුන් වහන්සේගේ සමකාලීන අදාළත්වය’’ මැයෙන් වන දේශනයකදී වාක්‍ය දෙකකින් අගේට කියා දෙයි: ‘‘අවුරුදු දෙදහස් පන්සීයකට කලින් බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම සංකල්ප සහ තර්ක විතර්ත තුළින්, අදටත් අපට උගත හැකි දේ බොහෝ ය. බුදුන් ජීවත් වූ කි‍්‍රස්තු පූර්ව 6 වැනි සියවසට වඩා අපේ සමාජය බෙහෙවින් වෙනස් වුවත්, මිනිස් ඥානයට උන්වහන්සේ දායාද කළ උරුමය තුළින්, ආචාර ධර්ම, දේශපාලනය සහ සමාජ සම්බන්ධතා අරභයා උන්වහන්සේ දැක්වූ තාර්කික එළැඹුම අදටත් අපට මහඟු ආලෝකයකි.’’

මෙහිදී අප ඉදිරියේ ප‍්‍රශ්නයක් මතු වෙයි. මාර්ටින් වික‍්‍රමසිංහවත්, අමාත්‍යා සෙන්වත්, මේ වටිනාකියන චීවරධාරීන් නොවේ. ආගමික මෙන්ම වාර්ගික සෑම සුළුතරයකම සහාය ජනාධිපතිවරයාට සහතික වශයෙන් ලබා ගත හැකි ක‍්‍රමය වන්නේ කාලාම සූත‍්‍රයට අනුගත වීමයි. බුදුන් වහන්සේගේ නිදහස් චින්තනයේ මූලාශ‍්‍රය වන්නේ එයයි. එහෙත් සංඝයා වහන්සේලා වසංගන්නේද එයමැයි. හේතුව, භක්තිවන්ත සැදැහැතියන් කෙරෙහි ඔවුන් අභ්‍යාස කරන ආචීර්ණ කල්පික අධිකාරිය ඒ මගින් දුර්වල කෙරෙන බැවිනි.

නූතන මිනිස් සංවර්ධනයේ අරමුණු වශයෙන් පවතින දීර්ඝායුෂ, අධ්‍යාපනය සහ දරිද්‍රතාව දුරලීම වැනි අපේක්ෂාවන්, අවුරුදු දෙදහස් පන්සීයකට කලින් විසූ තරුණ බුදු හිමියන්ගේ අවධානයට ලක්වූ ප‍්‍රශ්නවලට ගුප්ත සමීපත්වයක් දරණ බව අමාත්‍යා සෙන් පෙන්වා දෙයි. අසූ තුන් වියැතිව සිටි මාර්ටින් වික‍්‍රමසිංහ 1973 දී කියා සිටියේද එයමයි. එසේ කීම ගැන, කිහිප දෙනෙකු හැරුණු විට මුළු සංඝ සාසනයම පාහේ, එදා ඔහුට විරුද්ධව අවලාද නැගූහ.

වර්තමාන සංඝ සාසනයේ ග‍්‍රහණයෙන් ගිලිහී යන බුදුන් දෙසූ දහම කුමක්ද? මාදුළුවාවේ සෝභිත හිමියෝ ඒවා කියා දුන්හ. හේතු බුද්ධිය සහ මහජන සන්නිවේදනයේ වැදගත්කම, ජීවිතයේ වැදගත්කම, දේශපාලනයේ සංවරත්වය සහ ශිෂ්ට සම්පන්න ආණ්ඩුකරණය ආදිය ඊට අයත් ය. ග‍්‍රාම්‍යත්වය ප‍්‍රතික්ෂේප කළ උන්වහන්සේ, යුක්තියේ සහ සාධාරණත්වයේ විශ්ව ධර්මයක් අනුදත්හ.

අපරිමිත දේශපාලන ඥානයක් පිළිබඳ විශේෂ අයිතියක් සංඝ සාසනයට ඇත්තේ නැත. හිසට වහලක් නැති ජනතාව වෙනුවෙන්, හඬක් නැති ජනතාව වෙනුවෙන් ඔවුන් හඬ නගන්නේ නැත. දිළින්දන් වෙනුවෙන් සහ පීඩිතයන් වෙනුවෙන් ඔවුන් නැගී සිටින්නේ නැත.

සිංහල බෞද්ධ භික්ෂු වේශයෙන් පෙනී සිටින සංඝයා වහන්සේලාට ඇත්තේ, තමන්ගේ සින්නක්කර උරුමයකැයි කියාගන්නා ක්ෂේත‍්‍රයක විනාශකාරී උද්වේගයන් ඇවිස්සීමේ අතීත කැරැුට්ටුවකි. අපේ නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ, මධ්‍යස්ථ දේශපාලන අනුශාසනා සැපයීමේ හැකියාවක් වර්තමාන සංඝ සාසනයට නැත. දේශපාලනය යනු, ජනතාව සිතන පතන ආකාරය කෙරෙහි බලපෑම් කිරීමේ කලාවයි.

මෛත‍්‍රී-රනිල් සන්ධානය විසින් ප‍්‍රජාතන්ත‍්‍රීය ආණ්ඩුකරණ ප‍්‍රමිතීන් යළි ස්ථාපිත කරලීම කිසිවෙකු විසින් අවතක්සේරු කළ යුතු නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රහේළිකාව වන්නේ, ජනතාව පාලනය කිරීම සහ ජනතාව විසින් පාලනය කිරීම පිළිබඳ ආකෘතීන්ට අදාළ ප‍්‍රශ්න විසඳා ගැනීමයි. ප‍්‍රජාතන්ත‍්‍රීය ආණ්ඩුවක් සැබෑ ආණ්ඩුවක් වශයෙන් පැවතීමට නම්, ප‍්‍රජාතන්ත‍්‍රීය පුද්ගලවාදී අන්තවාදයන් මැඩලිය යුතුව තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එය හොඳින් දනී. හිටපු ජනාධිපතිවරයා කෙරෙහි තමන් තුළ ඇති කැමැත්ත නොසඟවන එක් දේශපාලන විචාරකයෙකු, වර්තමාන ආණ්ඩුවේ උභතෝකෝටිකය අගේට විස්තර කෙළේය:

‘‘සිංහල ජාතිකත්වයේ සුජාත සහ ඓතිහාසික නායකයා වන්නේ මහින්ද රාජපක්ෂයි. තිරසාර ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් සඳහා දකුණේ ජාතිකවාදී ධාරාවේ අනුමැතිය ලබා ගත හැක්කේ, ඔහුගේ සහාය තිබුණොත් හෝ ඔහු මධ්‍යස්ථව සිටියොත් පමණි. බිම් මට්ටමෙන් ගත් විට ඔහුට ඇත්තේ, නිෂේධ බලයකි.’’

එතැන කතාවක් තිබේ. මාර්ටින් වික‍්‍රමසිංහගේ භව තරණය ලියැවුණේ සිංහල සිද්ධාර්ථ කෙනෙකු ගැන නොවේ.

*2016 පෙබරවාරි 01 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “We The People” & “They The Maha Sangha” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly

මහින්ද, එන්න කිරි බොන්න!

$
0
0

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

“උණහපුළුවාට උගේ පැටියා මැණිකක්” කියා කතාවක් සිංහල ව්‍යවහාරයේ තිබේ. මේ තර්කය තුළ මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සහ ඊට නොදෙවෙනි තවත් බරපතල වැරදි සහ අපරාධ කිහිපයක්ම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින යෝෂිත රාජපක්ෂ වන තම පුත්‍රයා වෙනුවෙන් හිටපු ජනපති මහින්දගේ හද කම්පා වීම අරුමයක් නොවේ. එහෙත් එය අස්වභාවික සංසිද්ධියක් වන්නේ තම රෙජීමය යටතේ හුදෙක්ම ‘මහින්ද දෘෂ්ටිවාදය ප්‍රතික්ෂේප කිරීමේ’ වරදට පැහැරගෙන ගොස් වධබන්ධනයන්ට ලක් කළ හා මරා දමනු ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයන්ටද අඩුම තරමින් දුක් වීමටවත් ඇති අයිතිය ඔහු අමු අමුවේම පාගා දැමීමේ පසුබිම තුළය. ඊයේ පෙරේදාද හෝමාගම අධිකරණයේදී තම ආදරණීය සැමියා මෙන්ම තම දරුවන්ගේ ආදරණීය පියා (නාමල්ට, යෝෂිතට හා රෝහිතට මහින්ද සේම) වූ ප්‍රගීත් වෙනුවෙන් පෙනී සිටි සන්ධ්‍යා එක්නැලිගොඩට ඉතාම පහත් අයුරින් බැන වැදී හිංසනයට ලක් කළ ඥානසාර නම් චීවරධාරී රස්තියාදුකාරයා එලියට පැන්නේද මහින්දගේ සාටකය ඇතුළින් බව මහින්දට කෙසේවෙතත්, අපට අමතක කළ නොහැක.

මේ කිසිවක් පාලනය කරන්නට, එනම්, මරා දැමීමෙන් පසුව හෝ පවුලේ සාමාජිකයන්ටවත් හැකි අයුරින් හිත හදා ගන්නට ඉඩ තියන්නට මහින්දට අවශ්‍ය නොවූ බව ඔහු සහ ඔහුගේ හෙංචයියන් අවස්ථා කිහිපයකදීම ඔප්පු කර ඇත. තම දුෂ්ට රෙජීමය යටතේ මරා දමනු ලැබූ බොහෝ අය සම්බන්ධයෙන් මහින්ද සහ ඔහු වෙනුවෙන් දුර්මත වැපිරීමෙහි නිරත අය අනුගමනය කළ පිළිවෙත වූයේ එම පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීමයි. කෙනෙකු මරා දැමීමෙන් පසුව එම මළ කුණින්ද පළිගැනීම කිසි දා මනුෂයෙකුට කළ නොහැක්කකි. ඒ අතින් තම අමනුස්ස ගතිය ඔහු අවස්ථා කිහිපයකදීම ඉතාම පැහැදිලිව පෙන්නුම් කළේය. පියෙකු සහ පුතෙකු අතර ඇති සම්බන්ධයට නිසි අර්ථයක් හා ගෞරවයක් ලබා නොදුන් එහෙව් මහින්ද සිය පුත්‍රයා වෙනුවෙන් කඳුළු පෙරාගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කර අනුකම්පාව දිනා ගැනීමට තැත් කිරීම මධ්‍යස්ථ රටවැසියාට හුදෙක්ම විසුළු රංගනයක් වන්නේ එබැවිනි.

Mahinda on Yoshithaලොව ආගම් සියල්ලම ඉක්මවන ඉහළ තලයක පිහිටන සදාකාලික දහමක් ඇත. සෑම ආගමක්ම පාහේ බිහිව ඇත්තේ එහි රටාවන් හා නියතීන් විවිධාකාරයෙන් අර්ථකථනය කිරීමට දරනු ලැබූ ප්‍රයත්නයන්හි ප්‍රථිපල ලෙසය. මේ සියලු ආගම් අඩු වැඩි වශයෙන් තෝරාගත් දේශපාලනික න්‍යායපත්‍රවල බර ඇදීමට යොදා ගැනෙන උපකරණ වුවද මේ කියන දහමට උඩින් පිහිටන කිසිවක් මෙදියත නැත. අපි එයට සොබා දහම යැයි කියමු. අද මහින්ද අභිමුඛ වී සිටින්නේ සොබා දහම වෙතයි. ජනතාවගේ හැඟුම් කුපිත කර දෙමළාට හා මුසල්මානුවාට එරෙහි පහත් ජාතිවාදී වෛරය පතුරුවමින් බොරු දේශප්‍රේමයක් මවා ගෙන තම බල කෑදරකම සන්සිඳුවා ගැනීමේ අරමුණින් දේශපාලන වේදිකාවල මෙන්ම පන්සල්වල අගුපිල් ගානේද ලගිමින් ඕනෑම දෙයක් කියන්නට මහින්දගේ ඇට නැති දිවට බාධාවක් නැත. ඔහු කට ඇරි සැණින් කුණුහරුප කියාගෙන රනිල්ට හා මෛත්‍රීට සාප කරන අතරම සුළු ජාතීන් ඉතාම පහත් ලෙස අවමානයට ලක් කරමින් කෑ කෝ ගසන නල්ලමලේ බත්බැල බැටෑලියන් එකක්ද ඔහුට ඇත. එහෙත්, සොබා දහම ඉදිරියේ මහින්දට කට උත්තර නැති වීම අරුමයක් නොවේ. මහින්ද වැනි උග්‍රතර ඒකාධිපති ප්‍රජා පීඩකයෙකුට දරාගත නොහැකිම තැන මෙතැනය. මන්ද එහිදී අදාළ වන එකම නීතිය හෘද සාක්ෂිය පමණක් හෙයිනි. සීඅයිඩී එකටත් එෆ්සීඅයිඩී එකටත් කියන කතා හෘද සාක්ෂියට කිව නොහැක්කේ ක්ෂිකවම ‘අනේ පලයං මහින්ද, මටද උඹ මේ කියන්නේ’ යන පිළිතුරු වාක්‍යය ඇසෙන හෙයිනි. “ඒක තමයි, කෝ ඇත්තට එක්නැලිගොඩ?” කියා රූපවාහිනියේදී බබා පාට් දැම්මාට හෘද සාක්ෂියෙන් එසේ ඇසීමෙහි තේරුමක් නැත. උත්තරය එතුළම ඇත. අද මහින්ද කියන කතා අසන අපට ඔහු පත්වී සිටින මානසික වියවුල තේරුම් ගැනීම අසීරු නැත. ඒ සොබා දහමේ හැටි ය.

අද අප අත්දකිමින් සිටින්නේ මහින්ද බබා වීමේ අවධියයි. අද සිටින මහින්ද තොත්ත බබෙකි. වචනයෙන් හෝ කෙනෙකුගේ සිත් රිදවා නැති සද්ගුණවත් බෞද්ධයෙකි. ඔහු හරිම එඩිතර හා උපේක්ෂාසහගත අයෙකි. මැරකම, හොරකම ඇත්තේම නැති අතර පළිගැනීම නම් කොහොත්ම අල්ලන්නේ නැත. ඔහු තම පුතුන්ට ජීවත් වීමේ පාඩම කියා දුන්නේ දුරවබෝධ න්‍යායයන් ආශ්‍රයෙන් නොව ක්‍රියාවෙනි. ඔහුගේ දරුවන්ට එකී ජීවන පාඩම් ඉතාම ඉක්මනින් හා අංගසම්පූර්ණව උගත හැකි වූයේද එම ඉගැන්නීම් ක්‍රමවල පැවැති ප්‍රායෝගිකත්වය හා සරල-සුගම ගතිය හේතුවෙනි. මහින්ද කිසි දා ජාතිවාදය ප්‍රිය නොකළෙකි. මේ නිසාම ඔහු ජාතියේ පිනට පහළ වූ ‘අප්පොච්චෙකු’ ලෙස අදහන අනුගාමිකයන් පිරිසක්ද බිහිව සිටී. අද මේ විවිධ චෝදනා එල්ල කරමින් කුදලාගෙන ගොස් ‘බොරුවට’ හිරේ දමන්නේ එහෙව් අප්පොච්චාගේ සුජාත පුත්‍රයන්ය. අප්පොච්චාගේ දේශමාමක අඩිපාරේ ගමන් ගත් පුත්‍ර රත්නයන්ය. මේවා දරාගත නොහැකි තැන මහින්දට ඉතිරිව ඇත්තේ හැඬුම්බර මුහුණින් මාධ්‍ය ඉදිරියේ දුක කීම පමණකි. තමන්ට වැඩ ‘වරද්දන’ විට ඔය කියන සොබා දහම සිටියේ නිදි වර්ජිතවදැයි ඇසීම හැර අන් විකල්පයක් අද ඔහුට නැත.

ashanweerasinghe@gmail.com

Print Friendly

නායකයා සහ අනුගාමිකයා: මුළාවේ දේශපාලනය සහ දේශපාලනයේ මුළාව

$
0
0

ෆාර්විස් ඉමාමුදීන් –

මුළාවේ නග්න ප‍්‍රදර්ශනයක් මෙන්ම, පෙරදැක්මක් රහිත, ඊට නොදෙවැනි ජනතාවක් විසින් එය පිළිගනු ලැබීමක් පිළිබඳ මනා නිදසුනක් කොල්වින් ආර්. ද සිල්වාගෙන් සැපයෙයි. ඔහුගේ ප‍්‍රඥාවේ සීමාව නිසාත්, ස්වාර්ථවාදී දේශපාලනික න්‍යාය පත‍්‍රයකට කොටු වීම නිසාත්, දෙමළ ජනතාවගේ බිය සැක උත්සන්න කෙරුණු අතර ශ‍්‍රී ලංකාවේ දරුණුතම සිවිල් යුද්ධයට මග එළිපෙහෙලි විය.

NM JR Gamini Colvin1956 දී ‘සිංහල පමණයි’ පනත එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක විසින් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ, කොල්වින් ආර්. ද සිල්වා ඊට බලවත් විරෝධය ප‍්‍රකාශ කොට සිටියේ මෙලෙසිනි: ‘‘ඔබට අවශ්‍ය කරන්නේ භාෂා දෙකක් සහ එක ජාතියක්ද? නැත්නම් එක භාෂාවක් සහ ජාතීන් දෙකක්ද, කථානායකතුමනි? අපේ ජාතියේ නිදහසට වැටී ඇති මාර්ගය කෙරෙහි විශ්වාසය තබන අපි, එය සමන්විත වන සියලූ අංගවල එක්සත් භාවය අපේක්ෂා කරමු. එසේ නොවුණොත්, පුංචි රටක් ඇතුළේ, ලේ හලා ගන්නා තවත් පුංචි රටවල් දෙකක් බිහි විය හැකිය.’’ මොන තරම් ඉදිරිය දුටු ප‍්‍රකාශයක්ද?

එයින් වසර 16 ක් ගත විය. බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් සේවය කරන අවස්ථාවේ 1972 දී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම සඳහා ඔහුව පත්කෙරුණි. දැන් ඔහු සිටියේ විපක්ෂයේ නොව, ආණ්ඩුවේ ය. දේශපාලන තත්වයත් දැන් වෙනස්ව තිබුණි. එය නව අදියරක් විය. නව වටපිටාවක් විය. ඊට ගැළපෙන භූමිකාවක් ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු කෙළේ, ඉස්සර දැරූ ‘සමානාත්මතාවයේ හිටපු සෙන්පති’ කඩතුරාව ඉවත දමා, අලූත් තත්වයට ගැළපෙන නව රූපයක් ආරූඪ කර ගැනීමයි: ‘‘සිංහල-බෞද්ධ අන්තවාදයේ හොරණෑව’’

පසු කලෙක සිංහල බෞද්ධ ජාතිකවාදයේ නෛතික මූලාදර්ශය බවට පත්වන්නේ ඔහුගේ එකී යෝජනාවන් ය. බුද්ධාගම සිංහාරූඪ කැරැුවුණු අතර සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කෙරුණි. ජාතිවාදය, ජාතික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ සංගෘහිත කෙරුණි. එඬෙරාගේ මුළාව සහ බැටළුවන්ගේ මුළාව ඔස්සේ මහ දවල් සමස්ත ජාතියක් මහා විනාශයකට දක්කන ලදි. මුළාව වෙනුවට ප‍්‍රඥාවෙන් වැඩ කෙළේ නම් එය අපට වළක්වාගත හැකිව තිබුණි.

රන් බිජු දමන කිකිළිය

අපේ දේශපාලඥයාට, ජාතිවාදී වර්ගවාදී සහ ආගම්වාදී භේදකාරීත්වය, රන් බිජු දමන කිකිළියකි. ඌ මැරීම ඔවුන්ට කළ නොහැක්කකි. ගැටුම්කාරී ප‍්‍රවාහය, ඔවුන්ට සිය දේශපාලන පැවැත්ම සඳහා අත්‍යන්තයෙන් අත්‍යාවශ්‍ය වන්නේය. මන්ද යත්, තමන්ව බලයට ගෙන එන මදන අශ්වයා පමණක් නොව, අවියත් ජනයා හැසිරවීම සඳහා අවශ්‍ය කරන රැුහැනත් ඔවුන්ට අවශ්‍ය කරන බැවිනි.

බොදුබල සේනා, රාවණා බලය සහ සිංහ ලේ, ආරම්භයක්වත් අවසානයක්වත් නොවේ. ජාතිවාදය වැඩෙනු ඇත්තේ කෙමෙනි. ශක්තිමත් වනු ඇත්තේ කෙමෙනි. වඩාත් සංවිධානාත්මකව සහ වඩාත් සුදානමින් ස්වකීය ප‍්‍රතිමල්ලවයන්ට මුහුණදීමට ඔවුන් ලකලැහැස්ති වනු ඇත. ඒ සඳහා ඔවුන් පෝෂණය වන්නේ, සමාජය තුළ පවතින සාමූහික මුළාව සිය ප‍්‍රයෝජනයට ගනිමිනි. එබැවින් ජනතාව මුළාවේ සිටින තාක් කල් ඔවුන්ගේ වර්ධනය මැඩලීම පහසු නොවේ. බොදුබල සේනා සහ සිංහ ලේ වැනි සංවිධාන, විශේෂිත දේශපාලනික ව්‍යාපෘතියකින් පරිබාහිරව, ඕපපාතිකව බිහි නොවේ. ඇත්තෙන්ම ඔවුන්ට පැහැදිළි දේශපාලනික න්‍යාය පත‍්‍රයක් තිබේ. එම න්‍යාය පත‍්‍රය තුළ, මිනිසුන්ගේ සැබෑ ප‍්‍රශ්න වන, විරැුකියාව සහ දරිද්‍රතාව වැනි කරුණුවලින් ජනතා අවධානය ඉවතට ගෙන, සංස්කෘතික ආක‍්‍රමණයක් වැනි ප‍්‍රබන්ධාත්මක හිතළුවලට, ජනතාවගේ නොදැනුම දඩමීමා කර ගනිමින් ආමන්ත‍්‍රණය කෙරේ. අනෙකා පිළිබඳ බියක් සැකක් ජනතා සිත්සතන් තුළ පැලපදියම් කරන්නේ එලෙසිනි.

සාමූහික මුළාව

අර්බුදයේ මූලය ඇත්තේ සාමූහික මුළාව තූළ ය. මූලික සතුරු ඒජන්තයා විරාජමානව සිටින තෙක් සහ දළු ලන තෙක් අපට සඵල විය නොහේ. මුළාව ඉවතලීමේ ප‍්‍රයත්නයකින් තොරව, ජාතිවාදී, වර්ගවාදී සහ ආගම්වාදී ප‍්‍රවණතා මැඩලීමට ගන්නා කිසි ප‍්‍රයත්නයක් සාර්ථක නොවේ. මන්ද යත්, හේතුව නිරන්තරයෙන් නිදහසේ පෝෂණය වන තෙක් ඵලය ලියලන බැවිනි.

මේ නිසා මුළාව ධූරිභූත කොට, දැනුම වගා කිරීම අනිවාර්ය කෙරේ. අධ්‍යාපනයේ අවසාන එල්ලය විය යුත්තේ එයයි. සැබෑ අධ්‍යාපනයකින්, යහපත නැමැති නාමයට ගැළපෙන, ස්වාධීන, නිර්මාණාත්මක, අභියෝගාත්මක, විමර්ශනශීලී, ආදරණීය, සානුකම්පික, ඉවසිලිවන්ත, එඩිතර සහ අව්‍යාජ පුරවැසියන් බිහි කළ යුතුව තිබේ. එහෙත් අපේ අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ සූදානම් කෙරෙන්නේ, තමන් පිළිබඳ පාලනය තමන් අතට ගත යුතු යැයි නොසිතන, කියන දෙයක් කරන, කියන දෙයක් පරිභෝජනය කරන, වෙලාවට වැඩ කරන, අධිකාරියට යටත් වන, ධූරාවලියට අනුගත වන, කීකරු, කාර්යශීලී සහ නිපුණ සේවක පරම්පරාවකි. සූරාකෑම සඳහා අත්‍යාවශ්‍ය කරන සිත්සතන් මේ අධ්‍යාපනය තුළ බෝ කෙරේ. ඒ මගින් බිහි කරන සිත්සතන් ඒකමානී ය. අර්බුදය ඉස්මත්තේම තිබෙන්නේ, විභාග මූලික කර ගත් සහ හුදෙක් ආර්ථික දිසානතියකට යොමු වූ අධ්‍යාපන ක‍්‍රමයකි. කොටින්ම කිවහොත්, එය, සැපපහසු දිවියක් අත්කර ගැනීමේ මෙවලමකි.

ක‍්‍රමය වෙනස් කිරීම

අර්බුදය බෝ කරන හේතුවට නොනවත්වා සප්පායම් කරන අතරේ, ක‍්‍රමය වෙනස් කිරීමක් ඇරඹිය නොහේ. එකිනෙකා සමග තරග වදින අධ්‍යාපන ක‍්‍රමයක් සහ පාසල් පද්ධතියක් පවත්වා ගනිමින්, සමාගම් සහ කර්මාන්තවලට සේවා සපයන පුහුණු ශ‍්‍රමයක් කෙරෙහි පමණක් එම අධ්‍යාපනය යොමුවන තාක්, අප අත්කර ගන්නා ඕනෑම වෙනසක් තාවකාලික වන්නේය. ව්‍යාජ වන්නේය. එය නැවතත්, මුල් අර්බුදයටම මග පාදන්නේය. මූලික වශයෙන් ගත් විට අපේ අධ්‍යාපනය, හුදෙක් ආර්ථිකවාදී වීම සියලූ ප‍්‍රශ්නවල මූලයයි.

අප කර තිබෙන්නේ අශ්වයාට කලින් කරත්තය ගැටගසා තිබීමයි. එසේ තිබියදීත්, කරත්තය ඉදිරියට නොයන්නේ මන්දැයි වටහා ගැනීමටත් අපි අපොහොසත්ව සිටිමු. ඉදිරියට යාමට නම් අශ්වයාව ඊට නියමිත ස්ථානයේ ගැටගැසිය යුතුය.

විදේශ හමුදාවක ආක‍්‍රමණයක් හා විනාශයක් අපට අවශ්‍ය නොකෙරේ. එය අප විසින්ම කර ගනු ඇත. සැබෑ යහපත් පාලකයන්ගේ පරම්පරාවක් අප බිහිකර ගන්නේ නැත්නම්, ජනතාවගේ නොදැනුම සහ දුර්වලත්වය මත යැපෙන අන්තවාදී කල්ලි විසින් එය පහසුවෙන්ම කර දෙනු ඇත. තමන්ගේ සිත්සතන් නිදහස් කරවන, තමන්ගේ ආත්මයන් පවිත‍්‍ර කරවන සහ තම සෞඛ්‍යය නගා සිටුවීමට පිටුවහලක් වන අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලැබිය යුතුය. ඔවුන්ට අශ්‍ය කරන්නේ සැබෑ නිදහස් අධ්‍යාපනයකි. යාන්ත‍්‍රික සහ දුෂ්කෘතික සිත් ඇති කරවන පාසල් පැක්ටේරි නොවේ.

*2016 පෙබරවාරි 3 වැනි දා ‘ඩේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ “The Leader & The Led: Politics of Ignorance and Ignorance of Politics”නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly

බල්ලාගේ වැඩේ කරන බූරුවන්ගෙන් ‘නිදහස්’වෙමුද?

$
0
0

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

පෙබරවාරි 04 දිනය මහත් උත්කර්ෂයෙන් රාජ්‍ය උත්සවයක් ලෙස සමරනු ලබන්නේ සුද්දාගෙන් නිදහස ලැබීම ගැන සඳහන් කරමින් වුවද මේ මොහොතේ මට එය වැදගත් වන්නේ සුද්දාගේ වැඩේ ස්වදේශික බහුතර ප්‍රභූන් අතට ගැනීම සම්බන්ධයෙන්ද එය වැදගත් වන හෙයිනි. බටහිර අධිරාජ්‍යවාදීන් ආසියාවේ හා අප්‍රිකාවේ රටවල් තම ආධිපත්‍යයට නතු කර ගැනීමට භාවිත කළ දෘෂ්ටිවාදයම කෙටි සංස්කරණය කිරීම් සහිතව බහුතරය විසින් සුළු ජාතීන් පාගා නැගී සිටීම සඳහා, එනම්, ‘සුද්දාට එරෙහිව සුළුතරයෙන් ගේම ඉල්ලීම’ වෙනුවෙන්, අභ්‍යන්තරීකරණය කර ගැනීමෙන් බහුවාර්ගික ශ්‍රී ලාංකික ජාතිය නිදහස් කිරීමේ අවශ්‍යතාව ගැන සිතා බලන්නට එය අප පොළඹවන හෙයිනි.

බටහිර අධිරාජ්‍යවාදීන් තම යටත්විජිතවාදී ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීමට යොදාගත් උපායමාර්ගය වූයේ එය ‘පසුගාමී හා අපරිණාමිත අර්ධ-මානවයන් ශිෂ්ටාචාරවත් කිරීමේ මෙහෙයුමෙහි’ අනිවාර්ය අවශ්‍යතාවකි යන මතවාදය පතුරුවා හැරීමයි. යටත්විජිතවාදය සාර්ථක ලෙස ව්‍යාප්ත කිරීම උදෙසා ඔවුන් විසින් අනුගමනය කරන ලද සාර්ථක උපක්‍රම අතරින් කැපී පෙනෙන එකක් වූයේද අල්ලා ගනු ලැබෙන රටවල පොදු ජාතිකත්වයක් ඇති වීමේ අවකාශ අහුරාලමින් අභ්‍යන්තරික බෙදීම් පවත්වා ගැනීමට උත්සාහ ගැනීමයි. තම දේශපාලනික හා ආර්ථික අවශ්‍යතා සාර්ථක ලෙස ඉටුකර ගැනීමටත්, යටත් විජිතයන්හි තමන් සතු ආධිපත්‍යය අභියෝගයට ලක් වීම වැළැක්වීම සඳහාත් ඔවුහු එසේ කළහ. එය ප්‍රබල දෘෂ්ටිවාදී පද්ධතියක් විය.

Tamil Version of National Anthem of Sri Lankaමීට ප්‍රතිපක්ෂ යටත්විජිත විරෝධී ජාතිකවාදී ව්‍යාපාරවල පොදු ලක්ෂණයක් වූයේ බටහිරට අදාළ සියල්ල දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම තුළින් ස්වදේශීයවාදයක් උලුප්පා දැක්වීමට වෑයම් කිරීමයි. අධිරාජ්‍යවාදීන් විසින් විනාශ කර දමන ලද තම රටේ ප්‍රෞඩ අතීත අභිමානය පුන පුනා සිහිපත් කරමින් ස්වදේශික ජනයා තුළ ‘ජාතික කැක්කුම’ අවදි කිරීමට උත්සාහ කිරීම, පූර්ව-විජිත සංස්කෘතික කතිකාව ප්‍රතිස්ථාපනය කිරීමේ වෑයම ඇතුළු බොහෝ ලක්ෂණ ‘නව-යටත්විජිත ජාතිකවාදයට’ ​(neocolonial nationalism) පොදු විය. පූර්ව-විජිත යන්න මෙම සන්දර්භය තුළ අර්ථගැන්වූයේ ‘අවශ්‍යයෙන්ම බහුතර නියෝජනය කරන’ ලෙසින් බවද අපගේ නිරීක්ෂණයට හසු විය යුතුය. මුලදී, හුදෙක්ම යටත්විජිත විරෝධී ව්‍යාපාරයක් ලෙස නැගී එන්නට වූ නව-යටත්විජිත ජාතිකවාදය ආශ්‍රිතව පසුකාලීනව දැකිය හැකි වූ මූලික ලක්ෂණයක් නම් පොදුවේ එක් ජාතියක් ලෙස බටහිර අධිරාජ්‍යවාදය ප්‍රතික්ෂේප කිරීම වෙනුවට ආගම, භාෂාව, සංස්කෘතික, වාර්ගිකත්වය වැනි සාධක මත පදනම්ව සුළුතරය, බහුතරය ආදී වශයෙන්ද පෙර නොවූ විරූ ස්වරූපයකින් අභ්‍යන්තරික බෙදීම් ඇති කිරීමයි. සුද්දා තම යටත් විජිතවලට ‘නිදහස’ දී යන්නට ගියේ දේශීය වශයෙන් තමන්ගේ තැන ගන්නට හැකි ස්වදේශික ප්‍රභූ පැළැන්තියක් නිර්මාණය කිරීමෙන් අනතුරුව බව කියන්නට සිදු වන්නේ එහෙයිනි. මේ තත්ත්වය නිදහස ලැබූ බොහෝ රටවල සමාජ-දේශපාලනික ප්‍රශ්න රැසක් මතු කරන්නට හේතු වූවක් බව අද පිළිගැනේ.

දේශපාලනික වශයෙන් පසුව මහත් වියවුල් රැසකට මුල් වූ කාරණය වූයේ ‘සුද්දා විසින් අල්ලාගනු ලැබුවේ කාගේ රටද?’ යන ප්‍රශ්නය වෙත අභිමුඛ වන තැනට ස්වදේශික තල්ලු වීමට නව-යටත්විජිත ජාතිකවාදී කතිකාවට සිදු වීමයි. මේ නිසාම, යටත්විජිතවාදය විසින් විනාශ කර දමන ලද රටක් යළි පැවැති තත්ත්වයට ප්‍රතිස්ථාපනය කළ යුතු නම්, ඒ සඳහා තෝරාගත යුතු ඓතිහාසික මොඩලය කාගේ එකද යන ප්‍රශ්නය විසඳාගත යුතු විය. මෙහි ප්‍රතිඵලය වූයේ සංඛ්‍යාත්මක හා බලාත්මක අතින් සුළුතර තත්ත්වය නියෝජනය කළ වාර්ගික කණ්ඩායම්වලට බහුතරයේ අභිමතයට ඉඩ දී බලා සිටින්නට සිදු වීමයි. එනම්, එවැනි කණ්ඩායම් ජාතිකවාදී කතිකාව තුළින් නියෝජනය නොවීමයි. ජාතිකවාදයේ මේ පරිණත අවධියේදී ප්‍රහාරය එල්ල වන්නට පටන් ගැනුණේ බටහිරට අයත් සංස්කෘතිකාංග වෙත පමණක් නොවේ. බහුතරය නොවන වෙනත් ඕනෑම ජනවර්ගයක් ජාතික කතිකාවෙන් ඉවත් කර තබන තැනට එය ඔඩු දුවන ලද බවට ඕනෑතරම් ප්‍රායෝගික උදාහරණ ඇත. පරිස්සමට කල්පනා කර බැලුවහොත්, අද අප අත්විඳින ජාතික-දේශපාලනික අර්බුද රැසක මූලබීජ මෙකී (නව)යටත්විජිත චින්තන පද්ධතිය තුළ හඳුනා ගැනීම අසීරු නැත.

ඊයේ (04) දින ජාතික නිදහස් සැමරුම් උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කරනු ලැබීමට එරෙහිව එල්ල වූ අතාර්කික විරෝධය මෙන්ම නැවත වරක් චීවරධාරී මැරයන් කිහිපදෙනෙකු ප්‍රමුඛ මූලධර්මවාදීන් පිරිසක් ලංකාවේ ව්‍යවස්ථාපිත ජාතික කොඩියද විකෘති කරමින් මහපාරට බැස අසාර්ථක විරෝධයක් දියත් කරන්නට තැත් කිරීමද මේ මොහොතේ තීරණාත්මක කාරණයකි. මෙයද, නිදහසින් පසුව බිහි කර ගැනීමට අප වළිකන්නේ කාගේ රටද යන ප්‍රශ්නයට අතිශයින් අදාළ කාරණයකි.

මූලික වශයෙන්ම මෙවර නිදහස් දින සැමරුමට එල්ල වූ බරපතල විවේචනය වූයේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ඉඩ හැරීමයි. යටත්විජිතවාදය තුළ බටහිර ජාතීන් සතු වූ ආධිපත්‍ය ‘තනතුර’ නව-යටත්විජිත ජාතිකවාදී ව්‍යාපාර තුළ ස්වදේශික බහුතරය අතට පත්ව ඇති බවට එය කදිම නිදසුන් සපයයි. මේ නිසාම, ලංකාව නිදහස් කර ගැනීමට උර දුන් ‘රණවිරුවන්’ පුන පුනා වර්ණනා කරමින්, සංස්කෘතික අභිමානය උලුප්පා දැමෙන සංදර්ශන මැද මහත් පුරාජෙරුවෙන් ‘නිදහස’ ගැන කතා කළද සමස්ථ ජාතියක් වශයෙන් අප කොතෙක් නම් යටත්විජිත ගැතිද යන වග කල්පනා කරන්නට හොඳම කාලය මෙයයි. ලංකාවේත් සිංහලකමේත් අභිමානය හා ආරක්ෂාව වෙනුවෙන් රටේ සිවිල් නීතිය පවා නොතකමින් මහා ‘ජාතික අවශ්‍යතාවක්’ මවාගෙන මොර දෙන සිංහල-බෞද්ධ අන්තවාදී මානසිකත්වය සහිත අය දැන හෝ නොදැන කඩේ යන්නේ බටහිර යටත්විජිතවාදී දෘෂ්ටිවාදයට බවත්, තම දේශීය සංස්කෘතික අන්‍යයාට එරෙහිව පාවිච්චි කරන්නේම පරගැති තර්ක පද්ධතියක් බවත් වටහාගත නොහැකි වීම ඔවුන්ගේ පසුගාමීත්වයේ ලක්ෂණයකි.\

ප්‍රකට විචාරක පර්තා චැටර්ජි විසින් නව-යටත්විජිත ජාතිකවාදය පිළිබඳව සිදු කරන ලද අගනා විග්‍රහයකදී ඉතාම නිවැරදිව සඳහන කර ඇති පරිදි, කිසිදු අවස්ථාවක තම යටත් විජිතවල පොදු ජාතිකත්වයක් වර්ධනය වීමට යටත්විජිතවාදියා ඉඩ තැබුවේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ රුචිකත්වය වූයේ එකිනෙකට වෙනස් ‘ප්‍රජාවන්’ සහිත පාලිත රාජ්‍යයන් පවත්වා ගැනීමටයි. (Chatterjee, 1993: 223). මේ අතරම මීට ප්‍රතිගාමී ජාතිකවාදී ව්‍යාපාර ආශ්‍රිත ප්‍රවණතාව වූයේ පශ්චාත්-යටත්විජිත රාජ්‍යයේ හිමිකාරත්වය සහිත ‘ජාතිය’ වශයෙන් බහුතර වාර්ගික කණ්ඩායම හඳුනාගෙන සුළු ජාතීන්ගෙන් එය ‘බේරා ගැනීම’ වෙනුවෙන් කැප වීමයි. නව-යටත්විජිත ජාතිකවාදය විසින් ඇත්තෙන්ම සිදු කෙරුණේ යටත්විජිතවාදයෙන් මිදී සම්පූර්ණ නිදහස හා ස්වෛරීභාවය අත්කර ගැනීමට අරගල කිරීමටත් වඩා යටත්විජිත චින්තනයම මත පිහිටා සුළු ජාතීන් සමග ‘ආරාවුල් විසඳා ගැනීමට’ තැත් කිරීම බවට උදාහරණ රැසක් අපි මෑත අතීතය පුරාවට දුටුවෙමු.

මේ නිසාම, සුපුරුදු ජාතික අභිමාන පම්පෝරිය ගැසීම වෙනුවට ලංකාව ස්වාධීන පැවැත්මක් සහිත බහුවාර්ගික ශ්‍රී ලාංකික ජාතියක් බවට පත් කිරීමේ මූලික අඩිතාලම හෝ වැටෙන තුරු සාම්ප්‍රදායික නිදහස් මංගල්ලය මට නම් සපුරාම විහිළුවකි. ‘හිත හැදෙන්නට මෙන්’ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත් යැයි සිතීමට අප ඉක්මන් නොවිය යුතුය.

මූලාශ්‍ර:
Chatterjee, P. (1993), Nation and Its Fragments: Colonial and Postcolonial Histories, New Jersey: Prinston University Press

Gandhi, L. (1998), Postcolonial Theory: A Critical Introduction, India: Ofxord University Press

Print Friendly

හොර පොල් පූජාව සහ ජාතික දේශපාලනය

$
0
0

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

නොපෙනෙන බලවේගවල එල්බ ගෙන ඒවායින් පිළිසරණ පැතීම මානව පරිණාමය පිළිබඳ ප්‍රශ්නයකි. ඈත අතීතයේ ගල්ගුහාවල දිවි ගෙවූ ආදි මානවයා වැස්ස, නියඟ, අකුණු, ගංවතුර, ලෙඩ රෝග ආදී සියලු ස්වභාවික සංසිද්ධීන් අදෘශ්‍යමාන බලවේගවලට භාර කළද කෙමෙන් කෙමෙන් පරිණාමය වත්ම මිනිසාගේ බුද්ධිය මුහුකුරා යාමත් සමග ඒ සියල්ලම එක්කෝ ස්වභාවික නැතහොත් සෞඛ්‍යමය උප්‍රදව බව වටහා ගැනීමට මිනිසාට හැකි වූයෙන් ඇහැට නොපෙනෙන බලවේග මත පදනම්ව ජීවිත ඉරණම තීරණය වන්නට ඉඩ හැරීමේ අවශ්‍යතාව පහව ගියේය. තම පෞද්ගලික ජීවිතවල වැදගත් කටයුතුවලදී අද පවා ඇතැම් අය මෙවැනි බලවේග මත යැපුණද පොදුවේ ජ්‍යොතිශය, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍ර ආදී සියලු ගුප්ත භාවිතයන් සහමුලින්ම පදනම් විරහිත මිථ්‍යාදෘෂ්ටීන් බව පිළිගන්නා තැනට මිනිස් මොළය දියුණු වී ඇත. අපි ඒ ගැන සතුටු වෙමු. තමන්ගේ හොර මගෝඩිකම් ටිකෙන් ටික හෙළි වීමට පටන් ගැනීම නිසා කලබලයට පත් වූ මහින්දවාදී හොර නඩය අද දින (06) සීනිගම දේවාලයට ගොස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වසා දමන ලෙස දෙවියන්ගෙන් ඉල්ලමින් පොල් ගෙඩි ලක්ෂයක් බිම ගසා විනාශ කිරීමේ වනචාරී උත්සාහය පුන පුනා ගම්‍ය කරන්නේ ඔවුන්ගේ අපරිණාමිත ම්ලේච්ඡ ස්වභාවයම බව ප්‍රත්‍යක්ෂ වන්නේ එම පසුබිම තුළය.

මේ මොහොතේ මහින්ද රාපක්ෂ තරම් හොරුන්ගේ අවශ්‍යතා උදෙසා අපයෝජනයට ලක් වන දේශපාලඥයෙකු තවත් නැත. කිනිතුල්ලන් මෙන් මහින්දගේ ඇඟේ එල්ලී තම පැවැත්ම තහවුරු කර ගැනීම උදෙසා හැකි සෑම පහත් වැඩක්ම කරමින් සිටින මේ දූෂිතයන් මහින්දගේ ඇඟේ ලේ ටික අහවර වූ පසුව දේශපාලනික මළකුණක් මෙන් ඔහුව බැහැර ලනු නොඅනුමානය. මන්ද, එවිට ඔවුන්ට තවදුරටත් මහින්දගෙන් වැඩක් ගත නොහැකි නිසාය. කණගාටුවට කාරණය වන්නේ මේ සරල සත්‍යය අත්දැකීමෙන්ම වටහා ගත නොහැකි තරම් බල උන්මත්තකභාවයෙන් මහින්ද අන්ධ වී සිටීමයි. ඔහු එන්න එන්නම හැසිරෙන්නේත්, මාධ්‍ය ඉදිරියේ කටයුතු කරන්නේත් මනෝ විකාරයෙන් පෙළෙන්නෙකු මෙන් බව අද වන විට මේ රටේ බොහෝ දෙනා තේරුම් ගෙන ඇති ඇත්තකි. ජනාධිපතිවරණයෙන් පරාජය වූ සැණින් ‘අප්පච්චි මළා’ යැයි කියමින් සෝපාසාත්මකව මහින්දට පස්ස හැරවූ අය පෙරළා මහින්ද වෙත හැරෙන්නට පටන් ගත්තේ අහුමුළුවලින් ‘මහින්ද සුවඳ’ නැවත වරක් ටිකෙන් ටික හමන්නට පටන් ගැනීම නිසාය. ගම්මන්පිල, වීරවංශ වැනි දූෂිතයන් මේ මොහොතේ කරමින් සිටින්නේද තමන්ගේ දේශපාලනික ගමන වෙනුවෙන් මහින්ද මාර්කට් කිරීම බව තේරුම් ගැනීමට මේ ‘දැනුම් තේරුම් ඇති අප්පොච්චාට’ නොහැකි වීම යනුම ඉතාම ඛේදනීය ලෙස ඔහුගේ දේශපාලනය අවසන් වීමේ පෙර ලකුණු පහළ කරන්නක් බව කිව යුතුය. වැදගත් ලෙස තම දේශපාලන දිවි සැරිය නිමා කරන ගමන පටන් ගැනීමට මහින්ද දැනටමත් ප්‍රමාද වැඩිය!

POLපොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නමෙන්ම ගම්‍ය වන පරිදි එය පිහිටුවා ඇත්තේ ‘මූල්‍ය අපරාධ’ විමර්ශනය කිරීම සඳහාය. මේ දක්වා එහි කැඳවා ප්‍රශ්න කිරීම්වලට ලක් කරන ලද සෑම දෙනාම පාහේ මහින්ද රෙජීමය යටතේ යහමින් ජනතා මුදල් කොල්ලකෑම්වලට ඍජු හා වක්‍රාකාරයෙන් සම්බන්ධ වූ බවට ජන සමාජය තුළින්ම චෝදනා එල්ල වූ අය බව අපි හොඳාකාරවම දනිමු. එසේම, එහි කාර්යභාරය වන්නේ එවැනි චෝදනා ඇති අය පිළිබඳ විමර්ෂන සිදු කොට ඉතිරි හරිය අධිකරණයට භාර කිරීමය. එතැනින් එහාට රටේ පිළිගෙන ඇති නීති පද්ධතියට යටත්ව කටයුතු කිරීම අධිකරණයේ කාර්යභාරයකි. මේ නිසා, තමන් කිසිදු වරදක් හෝ අපරාධයක් සිදු කර නොමැති සුදනන් යැයි සිතා සිටින මහත්වරුන් කිසිසේත්ම කලබල විය යුතු නැත. පදනමකින් තොරව චෝදනා එල්ල කිරීම තුළින් තම කීර්ති නාමයට හානියක් වී ඇති බව හැඟේ නම් අදාළ අධිකරණ තීන්දුවලින් පසුව ඊට එරෙහිව ක්‍රියාත්මක වීමටද ප්‍රතිපාදන නීතියෙන් සලසා ඇති අතර යම් හෙයකින් අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් හෝ තමන් සෑහීමකට පත් නොවන්නේ නම් එයද අභියෝගයට ලක් කිරීමට අභියාචනාධිකරණයක් ස්ථාපිත කොට ඇත. මේ නිසා, පටන් ගන්නා තැනදීම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වසා දමන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටිය හැක්කේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොරුන්ට හා අපරාධකාරයන්ට පමණි. මොවුන් මේ ක්‍රමයම අනුගමනය කළහොත් ඉදිරියේදී අධිකරණයද වසා දමන ලෙස ඉල්ලමින් දෙවියන් යදිනු ඇති බවට අපට සාධාරණව සැක කළ හැක. මේ බිම ගසන්නට රැගෙන එන්නේද එසේ මෙසේ පොල් නොවේ. හොර පොල්ය. ඊයේ දිනයේදී උඩුගම ප්‍රදේශයේ රජයට අයත් ඉඩමකින් පොල් ගෙඩි 700 ක් හොරන් කැඩූ බවට පොලීසියට පිමිණිලි ලැබී ඇති බවටද පුවත් වාර්තා වෙයි.

අනෙක් අතට, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදු කිරීම සම්බන්ධයෙන් ‘සාධාරණ’ කිසිවෙකු දෙවියන් ඉදිරියේ හඬා වැටීමට අවශ්‍ය නැත. හෘද සාක්ෂිය කියා නාමයක්වත් ඇත්නම්, චෝදනා එල්ල වන අය පවා ඒ ගැන සතුටු විය යුතුය. මන්ද, විමර්ශන අවසන ‘නිර්දෝෂීභාවය’ ඔප්පු කර තම චරිතයට සිදු වූ යම් හානියක් වේ නම් එය ඉක්මනින්ම නිවැරදි කරගෙන පෙරළා තම ​’සුජාත දේශපාලනික’ ගමනේ නියැළීමට හැකි නිසාය. එහෙත්, මහින්දවාදීන්ට හෘද සාක්ෂියක් නැති බව ඔවුන් ඕනෑ තරම් සනාථ කොට තිබේ.

පුරවැසියා අවිචාරවත් ලෙස නැවත නැවතත් දේශපාලඥයාට ඇන්දෙන සමාජයක මෙවැනි දෑ සිදු වීම අරුමයක් නොවේ. “කෝ ඉන්නවා යැයි කී හොරු? ඇල්ලුවාද?” යි අසමින් සමාජ මාධ්‍යවල මහින්ද රෙජීමය යටතේ හොරකම් සිදු නොවූ බවට තර්ක නගන බොහෝ දෙනා ‘සිදු වූ බව ගම්‍ය වන වැරදි’ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට කියන්නේ පරස්පර කතාවකි. ඔවුනට අනුව, පසුගිය කාලයේ සිදු වූ අක්‍රමිකතා ගැන ප්‍රශ්න කිරීම යනුම මහින්දගේ දේශපාලනික ගමන නිමා කිරීමේ කූඨෝපක්‍රමයන්ය. මෙය කණගාටුවට කරුණකි. සෑම කල්හිම දූෂිත දේශපාලනික හොරුන් විසින් කොල්ලකනු ලැබෙන්නේ තෝරාගත් සීමිත පිරිසකගේ ධනය නොවේ. එය සමස්ථ ජනතාවගේම ධනයයි. මේ නිසා, අපරාධ විමර්ශන දෙස වපර ඇහින් බැලිය හැක්කේ ‘පුරවැසියන්ට’ නොව විවිධ දේශපාලඥයන්ගේ ‘යටත් වැසියන්’ බවට පත් වූ අයට පමණි. පසුගිය දා යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීම මහින්දෝන්මාදයෙන් පෙළෙන බොහෝ යටත් වැසියන් අර්ථකථනය කරගත්තේ ‘යුද්ධයෙන් රට බේරා ගැනීමට ඉදිරිපත් වූ විරුවෙකු’ සිරගත කිරීමේ වෑයමක් ලෙස වුවද යුද්ධය සිදු වූ කාලයේ යෝෂිත සිටියේ කොහිද යන වග අපි දනිමු. 48 න් පසුව මේ දක්වාම බිහි වූ සෑම ආණ්ඩුවකම දේශපාලඥයන්ට සිතැඟි පරිදි පිස්සු නැටීමට අවශ්‍ය ඉඩ හසර පාදා දෙනු ලැබුවේම පුරවැසි දෘෂ්ටිවාදයේ මෙවැනි ‘හිල්’ විසිනි.

සීනිගම දේවාලයේ දෙවියන් කියා පුළුටක් හෝ සිටී නම් ඔහු මේ මොහොතේ වඩා සවිඥානිකව කල් හැරීම හොඳය. මේ එන්නේ හොරුන්ටත් හොරකම උගන්වනු සමත් හොර කප්පිත්තන් රැළකි. ඔවුන් දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේද දේශපාලනයට මුවා වී හොරකමේ යෙදෙනවුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද ඇතුළු සහචරයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආයතනයක් අකර්මණ්‍ය කර දමන ලෙසය. ළඟින් ගියත් ඇහැක් නැති එවන් හොර මුළකින් අඩුම තරමින් තම අබරණ ආයිත්තම් ටිකවත් පරිස්සම් කර ගැනීම දෙවියන්ගේ කාර්යයකි. ජාතික දේශපාලනය මිථ්‍යාදෘශ්ටික විහිළුවක තත්ත්වයට ඇද දැමීමට වළි කන මෙවැනි තක්කඩියන් ප්‍රතික්ෂේප කිරීම පුරවැසියන්ගේ වගකීමකි. සමාජ මාධ්‍ය ආශ්‍රිතව හොර පොල් පූජාවට ප්‍රචාරණය ලබා දෙන යටත් වැසියන්ට මට කීමට ඇත්තේ එක දෙයකි. ඔබට ඔවුන් ගැන අනුකම්පා සිතේ නම් ඔබ විසින් පෞද්ගලිකව මහන්සි වී හම්බ කරගන්නා ලද ධනයෙන් කොටසක් පරිත්‍යාග කරන්න. එහෙත්, රටේ ධනය කොල්ල කෑමටත්, කොල්ල කන ලද ධනය ආරක්ෂා කිරීමටත්, ජාතික දේශපාලනය තව තවත් පරිහානිකර අඩියකට ඇද දැමීමටත් උල්පන්දම් දීම ද්‍රෝහිකමකි. එසේ කිරීම ඔබ විසින් වියරුවෙන් මෙන් පෙන්නුම් කරමින් සිටින මහින්දවාදී දේශප්‍රේමයට න්‍යායික වශයෙන් පරස්පරය. “දේශ+ප්‍රේමය” යන වචනයේ සාමාන්‍ය අර්ථය ‘දේශයට ඇති ප්‍රේමය’ මිස ‘දේශය කන තක්කඩින්ට ඇති ප්‍රේමය’ නොවන බව ඔබ වටහා ගත යුතුය.

Print Friendly

දමිළ කාන්තාව පශ්චාත් යුධ සන්දර්භය තුල ආස්ථානගත කිරීමේ දේශපාලනය

$
0
0

අනුෂ්කා කහඳගම

අනුෂ්කා කහඳගම

අනුෂ්කා කහඳගම

ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික අධ්‍යයනික කව තුල මෙන්ම තවත් බොහෝ අවකාශ තුළ වැදගත්කමක් අත්කරගත් මාතෘකාවකි. ස්ත්‍රී වාදීන්ගේ සහ සිවිල් සමාජයේ මහත් ශ්‍රමයක ප්‍රතිපලයක් ලෙස සමාජයක් වශයෙන්, කාන්තාවන් වෙනුවෙන් අප බොහෝ දේ අත්කරගෙන ඇත්තෙමු. කෙසේවෙතත්, ශ්‍රී ලාංකේය පශ්චාත් යුධ තත්ත්වය තුළ කාන්තාව ආස්ථානගතවීම සහ ආස්ථානගතකිරීමේ දේශපාලනය අහිංසක අවකාශයක් නොවන්නේමය.

යුධමය සහ පස්චාත් යුධමය තත්ත්වය තුළ කාන්තාව ආස්ථානගතකරන සංවාද මණ්ඩප බොහෝමයක් තම අවධානය යුධ වැන්දඹුව කෙරෙහි රඳවා ගෙන ඇත. යුද්ධය තුළ කාන්තාවගේ පීඩාව දැඩි වන්නේ සතුරු හමුදාවන්ගේ ලිංගික අතවරවල ගොදුරක් බවට කාන්තාව පත් වීම සහ තමාට සම්බන්ධ පුරුෂයින් යුද්ධයේ ගොදුරක් බවට පත් වීම හේතුවෙනි. ජාතික රාජ්‍ය ආකෘතිගත වන්නේ ජීව-දේශපාලනිකවය, අනෙක් අතින් පුරුෂාධිපත්‍යමයවය. එනම් සරලව කිවහොත් බහුතර ජනවාර්ගික, ආගමික හෝ ජනවාර්ගික-ආගමික සමුහයට ජාතික රාජ්‍යයේ බලය හිමි වන්නේය. උපතින් ලැබෙන මෙම ලේබලය තීරණය වන්නේ පුරුෂයා මුලික කරගෙනය.

එනයින්, ජීව- දේශපාලනිකව, ප්‍රජාවිද්‍යාත්මකව සහ පුරුෂාධිපත්‍යමය ලෙස ආකෘතිගතවන ජාතික රාජ්‍ය සංකල්පය තුළ, තමන්ගේ ගොඩ වැඩි කිරීමේ චේතනාව සහ යුද්ධය විසින් සීමා කරනු ලැබූ ලිංගික ආශයන්ගෙන් එළවනු ලබන මනසක් සහිත සටන්කරුවාගේ ගොදුරක් බවට ‘සතුරා’ට ‘හිමිකම්’ දක්වන කාන්තාව පත් වෙයි. අනෙක් අතට, වීරත්වය විසින් සරසනු ලදුව ආර්ථික අපහසුතා සහ විරැකියාව විසින් යුද්ධය වෙත තල්ලු කරනු ලබන පිරිමි වීරයන් මිය ගිය විට ඉතිරිවන වැන්දඹුවන්, මව්වරුන් සහ සොහොයුරියන්ගේ තත්ත්වය ඛේදවාචක බවට පත්වෙයි.

srilanka_war_widowsමෙම කරුණු සියල්ල තුළ ගොනුවන ශ්‍රී ලංකේය ඉතිහාස මතකය අධ්‍යයනය කිරීම, ලේඛනගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන්නා සේම එම මතකය සුවපත් කිරීම සමාජ වගකීමකි. සිවිල් සංවිධාන, කාන්තා සංවිධාන, පර්යේෂණ ආයතන සහ තවත් විවිධ සමාජ සත්කාරක ආයතන මෙම කාර්යයේ මහත් ක්‍රියාකාරී ලෙස නියුතුව සිටින බව පැහැදිළිය. නමුත් සළකා බැලිය යුතු කරුණ වන්නේ, බොහෝ සංවිධාන විසින් තම අසධානය යොමුකරන කාරණා නීරස හෝ ඒකාකාරී ස්වරුපයක් ගැනීමයි. මෙම විද්වත් කතිකාව තුළ බොහෝ අවස්ථාවලදී පශ්චාත් යුධ ශ්‍රී ලාංකේය කාන්තාව ‘යුධ වැන්දඹුව’ ලෙස ආකෘතිගතකර ඇත. රාජ්‍යයට අයත් හෝ ත්‍රස්තවාදී කණ්ඩායමකට අයත් හෝ වේවා, යුධ බිමේ සටන්කළ ගැහැණිය, මෙම ජනප්‍රිය අවකාශ තුළ අදෘශ්‍යමානය. පශ්චාත් යුධ තත්ත්වය තුල ඔවුන්ගේ පැවැත්ම, විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව සිට නැවත සමාජගතවන ගැහැණිය මුහුණ දෙන්නාවූ ගැටළු සහ අපහසුතා සියල්ල මගහැරී ගොස් ඇත.

එමෙන්ම, නැවත විවා පත් වීම හේතුවෙන්, මිය ගිය සොල්දාදුවාගේ නමින් තමන්ට ලැබෙන මාසික වේතනය අහිමි වන බැවින් ඇතිවන අස්ථිරතාවට මුහුණ දිය නොහැකිව, තම ජිවිත කාලය පුරාම වැන්දඹුවක් ලෙස ගත කරන්නට සිදු වීම තුල, මිය ගිය සොල්දාදුවන්ගේ බිරින්දෑවරුනට මුහුණ පෑමට සිදුවන ලිංගික අඩත්තේට්ටම් කෙළවරක් නැත. එමෙන්ම ඔවුන් මුහුණ පාන සමාජ මෙන්ම මනෝවිද්‍යාත්මක ගැටළු පිළිබඳ ප්‍රමාණවත් කතිකාවක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට නැත.

මෙම කාන්තාවන්ගේ ගැටළු සඳහා සරල පිළිතුර වන්නේ වන්දියක් ලබා දිමා සහ මාසික වේතනය ලබා දීමයි. මෙම කතිකාව තුල කාන්තාව, සිතුවිලි සහිත, ක්‍රියාකාරී, ආශාවන් සහිත ජීවියෙකුගේ සිට වන්දියක් සහ වේතනයක් මගින් ගනුදෙනුවක යෙදිය හැකි භාණ්ඩයක් බවට ලඝුකර ඇත. සිංහල වීරයා තරම් ‘සිංහල යුධ වැන්දඹුව’ කතිකාවට මාතෘකාවක් නොවන්නේය. අනෙක් අතින් ‘යුධ වැන්දඹුව’ ද්‍රවිඩය. තවත් ආකාරයකට පශ්චාත් යුධ ද්‍රවිඩ කාන්තාව ‘වැන්දඹුවකි’. මේ සියලු කතිකා අවසානයේ කේන්ද්‍ර වන්නේ ‘පුරුෂයා’ වටාය. සිංහල වීරයා අනවශ්‍ය තරම් ශ්‍රී ලංකේය සමාජයේ දෘශ්‍ය වී සිටි අතර, අදටත් එම ජනප්‍රියතාව ඒ අයුරින්ම හෝ මදක් අඩුවෙන් ශ්‍රී ලාංකේය සමාජය තුළ දක්නා ලැබෙන්නේය. යුද්ධයෙන් පරාජිතකර නිර්පුරුෂ කරන ලද ද්‍රවිඩ සමාජයේ ‘යුධ වැන්දඹුව’ දෘශ්‍ය කිරීම තුළ, යුද්ධය විසින් සිංහලයා මත හෙලනු ලැබූ ‘වීරත්වය’ එලෙසින්ම පවත්වා ගැනීමේ මානසික කාර්යයට යම් රුකුළක් ලැබෙන්නේදැයි සංකා ඇති වෙයි. මක්නිසාදයත් මෙය අවිඥානික කාරණාවක් විය හැකි බැවිනි. මෙහිදී තවත් කරුණක් මතක් කරනු කැමැත්තෙමි. ‘ද්‍රවිඩ කාන්තාව’ වෙනුවෙන් මාගේ මතවාදය පෙනී නොසිටින බව මේ ලිපියෙන් කිසි විටකත් කියන්නට උත්සහ නොකළෙමි. එහෙත් ඇය ‘වින්දිතයෙකු’ ලෙස පමණක් දෘශ්‍ය කිරීම අසාධාරණය. ඇය පුරුෂයාගෙන් තොරව ‘කිසිවක් නොවන්නේය’, ‘අවලංගුය’, ‘අවධානමක පසුවන්නිය’ සහ ‘වැන්දඹුවක්ය’ යන්නට ලඝු කිරීම ‘ඇය’ නොවන්නේමය. එය ඇය මත හෙලනු ලැබූ බාහිර සෙවනැල්ලක් පමණකි. මෙම ලිපිය, ‘කාන්තාව’ පිළිබඳ වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ පවතින කතිකාවේ දේශපාලනය යම් තාක් දුරකට විග්‍රහ කිරීමේ ප්‍රයත්නයක් පමණි.

Print Friendly

දෙයියන්ගෙ රටෙත් සොරකම් කරපු එකාට පොල් සොරකම් කරන එක ලොකු දෙයක් නොවෙයි

$
0
0

රනිල් වික්‍රමසිංහ

අප ජාතික දිනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වූවා. නිදහස් දින ජාතික උත්සවයක් එදින සවස පැවැත්වූ සංදර්ශනයත් නව යුගයක සංකේතයක් බවට පත් වුණා. අප ඉදිරියට ගෙන යන්නේ එම අලූත් යුගයේ සංකේතයයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාතික දින කතාවෙන්ද එම කරුණ හොඳින්ම පැහැදිලි වුණා. සංස්කෘතික දරුවන් ගැනත් තාක්‍ෂණික දරුවන් ගැනත් ජනාධිපතිතුමා සිය කතාවේදී පැවැසුවා. අප ජාතික ආණ්ඩුව බිහි කර තිබෙන්නේ තාක්‍ෂණික දරුවන්ගේ අනාගතය නිර්මාණය කිරීමටයි.

ජාතික ආණ්ඩුවේ ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මමත් ඉපදුණේ නිදහස් ශ්‍රී ලංකාවකයි. මීට පෙර සිටි ජනාධිපතිවරුන් අගමැතිවරුන් සියලූම දෙනා බිහිවුයේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේදීයි. අපට යටත් විජිත යුගය අත්දැකීමට ලැබුණේ නැහැ. අප ඉපදෙන විට නිදහස් රටක් බිහිවී තිබුණා. ජනාධිපතිතුමාත් මමත් ඉගෙනුම ලබා ගත්තේ නිදහස් ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන්. අප දෙදෙනාම රජයේ පාසල්වලට ගියා. අප සිංහල භාෂාවෙන් ද්විතීය අධ්‍යාපනය ලබා ගත්තා. එම පසුබිම යටතේ හැඳුණු වැඩුණු අපට අවශ්‍ය වන්නේ රට දියුණු කිරීමටයි. අපේ රට ඉදිරියට ගෙන යාමටයි. Ranil @ Kuliyapitiya

නිදහසෙන් පසුව බිහිවූ ඝංස්කෘතික දරුවාගෙන් පසු යුගය වන තාක්‍ෂණික දරුවාගේ අනාගතය හැදීම අපගේ අරමුණයි. මෙරට විප්ලව තුනක් තිබුණා. අපගේ ජාතික ආණ්ඩුවෙන් එම විප්ලව තුනම නියෝජනය වනවා.

ඩී.එස්. සේනානායක මහතා මෙරටට නිදහස ලබාදීම එක් විප්ලවයක්. දෙවැනිව බණ්ඩාරනායක මහතා සමාජ විප්ලවයක් ඇති කළා. තුන්වැන්න ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ගෙන ආ නවීකරණ විප්ලවයයි. මෙම විප්ලව තුන නිසා අපේ රට ඉදිරියට ගියා.

එක් විප්ලපයකින් අපට නිදහස ලැබුණා. තවත් විප්ලවයකින් සංස්කෘතික දරුවන් බිහි වුණා. තුන්වැනි විප්ලවයෙන් තාක්‍ෂණික දරුවන්ගේ බිහිවීම සඳහා මඟ පෑදුණා. ඒ යුගයේදී මෙරට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ආඩම්බර විය හැකි වැඩ කොටසක් කිරීමට අපට අවස්ථාව ලැබුණා. පාසල්වල රූපවාහිනිය, තාක්‍ෂණ අධ්‍යාපනය මෙන්ම පරිගණක අධ්‍යාපනය ලබාදීමට එම යුගයේදී හැකියාව ලැබුණා.

වත්මන් ලෝකයේ ඇතිවී තිබෙන විශාල දේශපාලනික සහ ආර්ථික විපර්යාසය හමුවේ ලෝකය ගෝලීය ආර්ථිකයක් කරා ගමන් කරන අවස්ථාවේදී, තාක්‍ෂණය පදනම් කරගෙන අනාගතය බිහිවන අවස්ථාවේදී අපගේ ජාතික ආණ්ඩුවට හතරවැනි විප්ලවය සිදු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

මේ රටේ දුප්පත්කම නැති කරන්න, තරුණ තරුණියන් සඳහා උසස් තත්ත්වයේ රැකියා ලක්‍ෂ 10 ක් බිහි කිරීමට, මධ්‍යම පාන්තිකයන්ගේ ආදායම ශීඝ්‍රයෙන් වැඩි කිරීමට 2030, 2035 කාලය වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීමට අප ගමනක් අරඹා තිබෙනවා. ජාතික ආණ්ඩුවේ විප්ලවය එයයි.

එම විප්ලවය ජය ගැනීමට නම් තනි තනිව පක්‍ෂ වශයෙන් කටයුතු කිරීමෙන් හැකියාව ලැබෙන්නේ නැහැ. අප සියලූදෙනා එකට අත්වැල් බැදගෙන යා යුතුයි. තරුණ තරුණියන් අපෙන් ඉල්ලන්නේ කුමක්ද? අපේ ප්‍රශ්න විසඳන්න. අප ඉදිරියට ගෙනයන්න. අපට හැමදාම එක තැන නතරවී ඉන්න බැහැ. අපේ දියුණුව ගැන බලන්න. යනුවෙන් අනාගත පරපුර අපෙන් ඉල්ලා සිටිනවා. අප මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ ඒ බලාපොරොත්තු ඉටු කිරීම සඳහායි.

ජාතික ආණ්ඩුව යටතේ පසුගිය වසරේදී අපේ දේශපාලනික ප්‍රශ්න මෙන්ම ජාත්‍යන්තරය හමුවේ ලංකාවට තිබූ ප්‍රශ්න විසඳ ගැනීමට හැකියාව ලැබුණා. දැන් අප ආර්ථික සංවර්ධන යුගය ඇරැඹිය යුතුයි. සංවර්ධනය ඉදිරියට ගෙනයාම සඳහා අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අප ඉදිරිපත් කරනවා. නොයෙක් රටවල සහයෝගය අපට ලැබී තිබෙනවා. එමෙන්ම රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආයෝජකයින් සමග සාකච්ඡා කර තිබෙනවා. ආයෝජකයින් ගෙනෙන නව ව්‍යාපෘති පිළිබඳවත් අප සාකච්ඡාවලට එළඹතිබෙනවා. අප මේ සූදානම් වී ඉන්නේ එම වැඩකටයුතු කිරීම සඳහායි.

ආර්ථිකය දියුණු කිරීමේ ප්‍රතිපත්තිවලින් අප කිසි දිනෙක ඈත් වන්නේ නැහැ. තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු අප ඉටු කළ යුතුයි.

අපට වඩා වෙනස් අලූත් පරපුරක් බිහි වෙනවා. අපේ පාසල් සමයේදී කොළඹපස්වන පටුමගේ පදිංචි වී සිටි අප ඇතුළු අසල්වැසි සෑම නිවෙසකම පාහේ දුරකතන තිබුණා. එකල එම පෙදෙස ලංකාවේ දියුණුම ප්‍රදේශයකි. නමුත් අද තත්ත්වය කොහොමද? ලංකාවේ සෑම නිවෙසකම ඇතැම් විට දුරකතන හතර පහ පවා තිබෙනවා. සෑම පුද්ගලයකුටම ජංගම දුරකතන තිබෙනවා. ඒවායින් කතා කරනවා පමණක් නොවේ. දියුණු තාක්‍ෂණික ක්‍රමවේද භාවිත කරන්නට හැකිවී තිබෙනවා. ලෝකය වෙනස් වන්නේ මේ ආකාරයටයි. අතීතයේ රූපවාහිනී යන්ත්‍ර භාවිතා වුණේ ඉතා අඩුවෙන්. අද සෑම නිවෙසකම රූපවාහිනී යන්ත්‍රයක් තිබෙනවා. නවීකරණ විප්ලවයේ ප්‍රතිඵලය එයයි.

ඉදිරියේදී අපට සුවිශේෂී වගකීමක් තිබෙනවා. මා මෙහි පැමිණියේ ඒ පිළිබඳව කතා කිරීමටයි. වයඹමධ්‍යම අධිවේගී මාර්ගය සෑදූ විට කුරුණෑගල ප්‍රදේශය බෙහෙවින් දියුණුවට පත්වේවි. එක් අධිවේගී මාර්ගයක් මහනුවරටත්, අනෙක් අධිවේගී මාර්ගය දඹුල්ලටත් ගමන් කරනවා.

එමෙන්ම මීරිගම, දිවුලපිටිය සිට කුළියාපිටිය දක්වා ඉදිකරන ආර්ථික සංවර්ධන කලාපයෙන් මෙම ප්‍රදේශයේ කර්මාන්ත රැසක් බිහි වනවා. එමෙන්ම මත්සය අපනයනය සඳහා ධීවර වරායන් ඉදි කිරීමට නියමිතයි. සංචාරක ව්‍යාපාරය මීට වඩා දියුණු කළ යුතුව තිබෙනවා. වයඹටත් එහි ප්‍රතිලාභ අත්විදින්නට ලැබේවි. අපනයන කෘෂිකර්මයත් දියුණුවට පත් කළ යුතුව තිබෙනවා. එමෙන්ම වී වගා කරන ප්‍රදේශවල වී වගාව වර්තමානයට වඩා දියුණු කළ යුතුයි. අපේ අපේක්‍ෂාව තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. අප මේවා කරන්නේ ඇයි? මගේ මූලික අරමුණ තරුණ තරුණියන්ට රැකියා ලබා දීමයි.

නිකරුණේ බෙර ගසා, කෑ කෝ ගැසීමෙන් ඵලක් නැහැ. අප කරන්නේ මොනවාදැයි සමහරුන් අසනවා. සියලූම වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අප දැන් අඩිතාලම දමා තිබෙනවා. දැන් ඇත්තේ පියවර දෙකක් ක්‍රියාත්මක කිරීමට පමණයි. පාර්ලිමේන්තුවේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමත්, සංවර්ධන ව්‍යාපෘති ඇරැඹිම එම පියවර දෙකයි.

මාසයකින් හෝ මාස එකහමාරකින් ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්නට හැකිවේවි. දැනට බස්නාහිර මහා නගර ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.

ජාතික ආණ්ඩුවේ ප්‍රධානතම පක්ෂය එක්සත් ජාතික පක්‍ෂයයි. අප වගේම ජාතික ආණ්ඩුවේ සෙසු පක්‍ෂත් අපගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කැපවී සිටිනවා. නමුත් ජාතික රජය මෙන්ම එහි ප්‍රතිපත්ති ආරක්‍ෂා කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයට විශේෂ වගකීමක් තිබෙනවා.

එක්සත් ජාතික පාක්‍ෂිකයන් ලෙස අප ගමට යා යුතුයි. වසර තුන හතරක් සටන් කොට සමාජ විප්ලවයක් ඇති කිරීමට අප සමත් වුණා. අප දැන් නැවත ලෑස්ති විය යුතුයි. ආණ්ඩුව ඒ අයුරින්ම තිබෙනවා. ඒ වැඩ කටයුතු කරගෙන යන අතර එක්සත් ජාතික පක්‍ෂය ප්‍රතිසංවිධානය විය යුතුයි.

පෞද්ගලික අංශයේ ආයෝජනත් සමග රැකියා බිහිවේවි. අපට තිබෙන කාර්යය පක්‍ෂය හැදීමයි. ගමට යන්න. තාක්‍ෂණ දරුවා ගැන මෙන්ම හතරවැනි විප්ලවය පිළිබඳවත් ගම්මට්ටමේ පාක්‍ෂිකයන් දැනුම්වත් කරන්න. ජනතාව බලාපොරොත්තු වන්නේ එයයි. ඒ වැඩසටහන් අප අලූතෙන් ක්‍රියාත්මක කළ යුතුයි.

අප වෙනුවෙන් වැඩ කළ අපේ පාක්‍ෂිකයන් රැක බලාගත යුතුයි. අපේ පැරණි සාමාජිකයන් පිළිබඳව සොයා බැලිය යුතුව තිබෙනවා. ඉදිරි වසර දහය පහළොව ඉලක්ක කරගෙන, තාක්‍ෂණ දරුවන් සඳහා වන පක්‍ෂයක් ලෙස එක්සත් ජාතික පක්‍ෂය ප්‍රතිසංවිධානය කරනවා.

බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගැනීම සඳහා ඩී.එස්. සේනානායක මහතා 1947 දී මේ පක්‍ෂය හැඳුවා. 1956 දී ලද පරාජයෙන් පසුව දෙවන විප්ලවයට සුදුසු පරිදි ඩඩ්ලි සේනානායක මහතාත් ජේ.ආර්. ජයවර්ධන මහතාත් මේ පක්‍ෂය ගොඩනැගුවා. 1970 පරාජයෙන් පසුව නවීකරණ විප්ලවය ගෙන ඒම සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතා අප පක්‍ෂය හැදුවා. අප එම පක්ෂය ආරක්‍ෂා කළා. අප නැවතත් බලයට පැමිණ සිටිනවා. ඒ අනුව අප ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. ජාතික ආණ්ඩුව ආරක්‍ෂා කරන අතරම පක්‍ෂයත් ආරක්‍ෂා කළ යුතුයි. පැරණි පාක්‍ෂිකයන් මෙන්ම රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන්ගේ අපේක්‍ෂා ඉටු කළ යුතුයි. ඒ අතරම තාක්‍ෂණ දරුවන් උදෙසා එක්සත් ජාතික පක්‍ෂය ගොඩනැගිය යුතුයි. අපේ ආකල්ප වෙනස් කොට අලූතින් සිතන්න අවශ්‍යයි.

පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාගෙන පළමුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානය ප්‍රතිසංවිධානය කළ යුතුයි. එමෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලය ප්‍රතිසංවිධානය කොට පක්ෂය ඇතුළේ අලූත් වැඩසටහනක් ගෙනියනවා. පක්ෂයේ වැඩකටයුතු කරන්නන් පිරිසක් සිටිය යුතුයි. සෑම දෙනාම ආණ්ඩුවේ කටයුතු කරන්න ගියොත් පක්ෂය නැති වෙනවා.

ජාතික ආණ්ඩුවේ අනෙක් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. ජනාධිපතිතුමාත් අප වගේම රටේ ඉදිරිය ගැන සිතා තීරණ ගන්නවා. අපේ වැඩපිළිවෙළ අඩපණ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වෙනම පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ අරමුණ නැවත බංකොළොත් දේශපාලනයට යෑමයි. තාක්‍ෂණ දරුවන්ට බංකොළොත් දේශපාලනය, ජාතිවාදය ඵලක් නැහැ.

ගිරව් වගේ කියැවීමෙන් කිසිම හොඳක් වෙන්නේ නැහැ. එදා බලය තියෙන කොට මාධ්‍ය අල්ලගෙන වැඩේ කළා. පුළුවන්නම් මේ ප්‍රදේශයේ ජනතාවට උදව් වෙන්නැයි මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

දැන් වයඹපොල් මිල අඩුවෙලා. මටත් ඉඩමක් තියෙන නිසා ඒ ගැන හොඳින් දන්නවා. පොල් ගහනවා නම් ලංකාව වටේම පොල් වතුවලින් පොල් මිලදී ගෙන පොල් ගෙඩි ලක්ෂ දහයක්වත් ගහන්න. එතකොට පොල් හිඟයක් ඇති වෙනවා. එවිට පොල් මිල වැඩිවෙනවා. පොල් මිල වැඩි වූ විට වයඹ මිනිසුන්ගේ අත මිට සරු වෙනවා. පොල් ගෙඩි දහයක් පහළොවක් ගහලා නතර වෙන්න එපා. රජයේ පොල් වතුවල පොල් සොරකම් කර පොල් ගහන්නත් එපා. සොරකම් කර ගහන පොල්වලින් වැඩක් වෙන්නේ නැහැ. පොල් මිලදී ගෙන පොල් ගහන්න. එලෙස මිලදී ගෙන පොල් ලක්‍ෂ දහයක් ගහන්න. මේ කණ්ඩායමෙන් මම ඉල්ලන්නේ එපමණයි. එවිට මේ ප්‍රදේශයේ පොල් මිල වැඩිවෙනවා. කරුණාකරලා පොල් ගහන්න. එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව හරි පොල් ගහන්න. හැබැයි ඒ පොල් ලක්‍ෂ දහයක් මිලදී ගන්න. එහෙම කරනවා නම් අප සියලූම දෙනා සහයෝගය දෙනවා. ඒත් රජයේ පොල් වතුවල පොල් සොරකම් කර මේවා කරන්න එපා. මේවා පුදුමයක් නොවේ. දෙයියන්ගෙ රටෙත් සොරකම් කරපු එකාට මේ පොල් ටික සොරකම් කරන එක ලොකු දෙයක් නොවෙයි. දැන් විපාක විඳින්නේ ඒ සොරකම් වලටයි.

කවුද මේ පොල් ගහන මිනිස්සු, සමහරු දිහා බැලූවාම අවබෝධ කරගත හැකියි. කතරගම ගිහින් පිට්පොකට් ගහලා රුපියල් දහයේ නෝට්ටු සොරකම් කරගෙන තමන්ගේ පූජා වට්ටියට දාලා දෙන මිනිස්සු ඔය ඉන්නේ. මේ බංකොළොත් මිනිසුන්ට, ජාතික රජය සහ අප ගෙනයන වැඩපිළිවෙළ කඩා කප්පල් කිරීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ.

යූ.එන්.පී, ශ්‍රී ලංකා, ජෙ.වී.පී, ටී.එන්.ඒ. නිර්පාක්‍ෂික තරුණ තරුණියන්ට පක්ෂ බේද නොතකා රැකියා බිහි කරන්න ඉඩදෙන්න. රැකියා බිහි කරන්නනම් අප විදේශ වෙළෙඳපොළ සොයාගත යුතුයි. ඉන්දියාවට විකුණන්න එපා යැයි සමහරුන් කෑ ගසනවා. ඉතින් විකුණන්නේ කාටද? ෆ්ලෝටින් මාර්කට් එකේද? පටු දේශපාලනය අතහැර එකට එකතු වන්නැයි සියලූම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

*අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2016.02.06 දින කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් හමුවූ අවස්ථාවේදී කළ කතාව

Print Friendly

මොකක්ද මේ කාර්ල්ටන් මුදල් විශුද්ධිකරණ නඩුව​?

$
0
0

සාගල රත්නායක

සාගල රත්නායක

සාගල රත්නායක

කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) මාධ්‍ය ආයතනය මගින් මුදල් විශුද්ධිකරණය කිරීම, රාජ්‍ය දේපල අවභාවිතය යන චෝදනා පදනම් කර ගනිමින් සාධාරණ සමාජයක් සදහා වූ පුරවැසියෝ නම් සංවිධානය විසින් පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් 2015.03.15 දින විමර්ශන ආරම්භ කරන ලදී. මුදල් විශුද්ධිකරණය යනු සංවිධානාත්මකව සිදු කරන බරපතල ඝනයේ අපරාධයකි. ඒ අනුව මේ සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී9823 / 2015 යටතේ කරුණු වාර්තා කරන ලදී.

ඊට අදාළව මේ දක්වා ගරු අධිකරණය වෙත වැඩිදුර වාර්තා 20ක් ඉදිරිපත් කර ඇති අතර එමගින් විමර්ශනයේ ප්‍රගතිය ගරු අධිකරණයට වාර්තා කර විමර්ශන සදහා අවශ්‍ය නියෝග ලබා ගෙන ඇත. මෙම විමර්ශනය සිදුකරන ලද්දේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් නිලධාරින් සාමාන්‍ය අපරාධ නීතිය අනුව ඕනෑම පොලිස් නිලධාරියෙකු වෙත පැවරෙන විමර්ශන බලතල උපයෝගි කර ගනිමිනි.

මූලික වශයෙන් විමර්ශන නිලධාරීන්ගේ විමර්ශනයට ලක්වූයේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) නාලිකාව සදහා සංස්ථාපනය කරන ලද සමාගමේ ආරම්භක ප්‍රාග්ධනය වූ රුපියල් මිලියන 234 ක් ලබා ගෙන තිබූ ආකාරය වේ. සමාගමේ මූලික කොටස් සංඛ්‍යාව හත් ලක්‍ෂ හතරක් (7,00,004) වූ අතර එහි වටිනාකම රුපියල් මිලියන 07ක් බව අනාවරණය විය. ඉතිරි ප්‍රාග්ධනය ලැබුණු ආකාරය ගැන විමර්ශන කිරීමේ දී, ඒවා ව්‍යාජ ගණුදෙනු සහ විදේශ රාජ්‍යයක සිට නීත්‍යානූකුල නොවන ක්‍රියා මගින් උපයා ගන්නා ලද මුදල් බවට අනාවරණය වී ඇත. විදේශීය රාජ්‍යයක සමාගමක් හරහා ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක ගණුදෙනුවක් තුළින් කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) සමාගමේ ප්‍රාග්ධනයට අවශ්‍ය අනෙකුත් මුදල් ලැබී ඇති බව විමර්ශණයේ දී හෙළි වී ඇත. මෙම ගණුදෙනුවට පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන විදේශ සමාගමක ආයෝජනයක් මත සිදු කරන ව්‍යාපෘතියකි. වැඩිදුරටත් අනාවරණය වූයේ එම මුදල් (CSN) ආයතනයට ලැබුනේ යයි කියන ක්‍රමවලට අදාළ ගණුදෙනු පෙන්වා දී සිටින ආකාරයෙන්, සත්‍යය වශයෙන් සිදුවී නොමැති බවය. එබැවින් ආරම්භක ප්‍රාග්ධනය ලෙස යෙදවු මුදල්, විශුද්ධිකරණය තුළින් ලබා ගත් මුදල් බවට නිගමනය කිරීමට නෛතික හා සිද්ධිමේ පදනමක් උද්ගත වී ඇත.

මෙම සමාගමේ ලේඛණවලට අනුව මෙහි කොටස්කරුවන් සියළු දෙනාම ආරම්භක අධ්‍යක්‍ෂවරුන් වන අතර ඔවුන් රොහාන් වැලිවිට, කවිෂාන් දිසානායක, රවිනාත් ප්‍රනාන්දු, ශාඩියා කරුණාජීව යන අය වේ.

මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ නිශාන්ත රණතුංගය. සමාගමේ ගණුදෙනුවලට අදාල විද්‍යුත් තැපැල් පණිවුඩ අධ්‍යයනය කිරීමේ දී ඉතා පැහැදිලි ලෙස අනාවරණය වී ඇත්තේ නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්‍ෂ යන අය එම සමාගෙම් සභාපතිවරයා ලෙස සහ තීරණ ගන්නා ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවය.

මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදුකර ඇති බවට මෙම තැනැත්තන්ගෙන් ප්‍රශ්ණ කිරීමේ දී ඔවුන් මෙම වරද සම්බන්ධව ප්‍රකාශ කරන ලද කරුණු තුළින් ඔවුන්ගේ නිර්දෝශිභාවය අනාවරණය වී නොමැත.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වගන්තිය ප්‍රකාරව කටයුතු කරමින්, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109 (05) උප වගන්තිය යටතේ පොලිස් නිලධාරියෙකු සතු නෛතික බලය ඉෂ්ඨ කරනු වස් කඩුවෙල ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මෙම සැකකරුවන් 2016.02.11 දක්වා බන්ධනාගාර ගත කරන ලදී.

ඉහත වරදට අමතරව මෙම සැකකරුවන් කූඨ ලේඛන පිළියෙල කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම, සමාගම් පනත උල්ලංඝනය කිරීම ද සිදු කර ඇති බව අනාවරණය වී ඇත. රාජ්‍යය දේපළ අවභාවිතය සිදු කිරීමෙන් අපරාධ වරදවල් සිදුකර ඇති බවට ද අනාවරණය වෙමින් පවතී. මෙම කරුණු ඔස්සේ වැඩිදුරටත් විමර්ශන කටයුතු පවත්වාගෙන යනු ලැබේ.

මෙම සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තොරව යම් යම් විමර්ශණ කටයුතු සාර්ථකව හා නිවැරදි ලෙස සිදු කිරීමට නොහැකි විය. එබැවින් එම පදනම මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සිදුවිය. සියළුම විමර්ශන කටයුතුවලින් පසුව මහාධිකරණයේ නඩු පැවරීම සදහා උධෘත ගොණු ගරු නීතිපතිතුමා වෙත භාරදීමට නියමිතව ඇත.

මෙම කරුණු පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව ලබාගත් බව සඳහන් කරමි. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ පරිදි නීතියේ ආධිපත්‍යය තහවුරු වන ආකාරයෙන් මේ සියලූ පරීක්‍ෂණ ක්‍රියාත්මක වේ. මේ කිසිඳු පරීක්‍ෂණයකට ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ, කැබිනට් ඇමැතිවරුන්ගේ, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ හෝ නිලධාරීන්ගේ කිසිඳු බලපෑමක් හෝ ඇගිලි ගැසීමක් සිදු නොවන බව ද අවධාරණය කරමි.

*කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) මාධ්‍ය ආයතනය මගින් මුදල් විශුද්ධිකරණය කිරීම, රාජ්‍ය දේපොළ අවභාවිතය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්‍ෂණ පිළිබඳ නීතිය හා සාමය, දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් නිකුත් කළ නිවේදනය.

Print Friendly

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමෙහි බොහො දෙය අවුල් සහගත ය

$
0
0

රජීව ජයවීර

රජීව ජයවීර

රජීව ජයවීර

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමෙහි සභාපතිවරයා කොටස් හිමියන්ගේ ඉල්ලීම පරිදි ජනවාරි 19 වන දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී කොටස් හිමියන්ගේ රැුස්වීමක් පැවැත්වීම සඳහා කැඳවුම් කළේ ය. එහි න්‍යාය පත‍්‍රය තුළ, කොටස් හිමියන් සඳහා වූ ගුවන් ගමන් වරප‍්‍රසාද ප‍්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමක් ද ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව අපේක්ෂා කරන කොටස් මිල පිළිබඳ ඉඟියක් ද සමාගමේ ප‍්‍රගතිය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීමක් ද ඇතුළත් විය. තමන් සාකච්ඡුා කිරීමට කැමති වෙනත් යම් කාරණා ඇත් නම් ඒවා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස කොටස් හිමියන්ගෙන් ඉල්ලා සිටින ලදි.

සභාපතිවරයා රැුස්වීම ආරම්භ කළේ සිත් ගන්නා සහන තුනක් නිවේදනය කරමිනි. පසු ගිය වසරේ ප‍්‍රදානය කරන ලද සියලූ කොටස් හිමි ප‍්‍රවේශ පත‍්‍රවලට අදාළ ඉන්ධන ගැළපුම් ගාස්තුව සෑම දෙවසරකට ම ප‍්‍රවේශ පත‍්‍ර දෙකක් යන පදනම මත ඉවත් කරන බව නිවේදනය කළ විට ඔහුට අත්පොළසන් දෙනු ලැබිණ. මින් ඉදිරියට කොටස් හිමියන්ට තමන්ට නොමිලේ ලැබෙන ප‍්‍රවේශ පත‍්‍ර දෙක ශිෂ්‍ය තත්ත්වයේ පසු වන වයස අවුරුදු 24 දක්වා වූ දරුවන්ට පැවරිය හැකි ය. කොටස් හිමියන්ට රටේ නීතියට අනුකූලව තම කොටස් වයස අවුරුදු 18ට අඩු දරුවන්ට නම් කරන ලද තැනැත්තෙකුට සම්බන්ධ කොට ද වයස අවුරුදු 18ට වැඩි දරුවන්ට ඍජුව ම ද පැවරිය හැකි ය. එවැනි පුද්ගලයන් කොටස් හිමියන්ට ලැබෙන සියලූ වරප‍්‍රසාද සඳහා සුදුසුකම් ලබනු ඇත. එහෙත් සමාගමේ ප‍්‍රගතිය ගැන සඳහන් කරමින් සභාපතිවරයා ප‍්‍රකාශ කළේ සමාගම අඛණ්ඩව පාඩු ලබන නමුත් පාඩුවල මට්ටම සැලකිය යුතු ලෙස අඩු වී තිබෙන බව යි (යථාර්ථයේ දී නම් පාඩු අඩු වීමට ප‍්‍රධාන හේතුව වෙන යම් සාධකයක් නො ව ඉන්ධන මිල ගණන් පහත වැටීම යි);වසර දෙකක් තුළ දී ලාභදායකත්වය යථාර්ථයක් බවට පත් විය හැකි බව යි; අලාභදායක ගුවන් මාර්ග වසා දැමීමටත් ලාභදායක ගුවන් මාර්ගවල හැකියාව වැඩි කිරීමටත් නව ගුවන් මාර්ග ගැන විමසා බැලීමටත් කල්පනා කරන බව යි; ගුවන් සමාගමට මෙන් ම භාණ්ඩාගාරයට ද දැරිය නොහැකි බැවින් කලින් සිටි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඇණවුම් කරන ලද ්සරඉමි ්350 ගුවන් යානා 4ක් මිල දී නොගෙන සිටීමට පරිශ‍්‍රම දරමින් සිටින බව යි.

අනතුරුව කොටස් හිමියන්ට ප‍්‍රශ්න ඇසීම සඳහා අවස්ථාව ලබා දෙන ලදි. ප‍්‍රශ්නවලට පිළිතුරු දීමේ දී සභාපතිවරයා තැති ගන්වනසුලූ එළිදරව් කිරීම් කිහිපයක් කළේ ය.

කොටස් හිමියන් කණ්ඩායමක් කොටස් හිමියන්ගේ සංගමයක් ගොඩ නගා ගෙන තිබිණ. එහි සභාපතිවරයා වර්තමානයේ දී කොටස් හිමියන් සතු කොටස්වලට සාධාරණ මිලක් ගෙවන ලෙස ඉල්ලා තිබිණ. එක් කොටසකට රු. 5,000ක මුදලක් ගෙවන ලෙස සංගමයේ සභාපතිවරයා ගුවන් සමාගමෙන් අසාධාරණ ඉල්ලීමක් කළේ ය. මුල දී එනම් 1998 දී සේවකයන්ට මෙම කොටස්වල හිමිකම ලබා දුන්නේ කිසිදු අය කිරීමකින් තොරව ය. පසුව එමිරේට්ස් සමාගම අලෙවි කිරීමට කැමැත්තෙන් සිටි කාර්ය මාණ්ඩලිකයන්ගෙන් එක් කොටසකට රු. 245ක මිලක් ගෙවා කොටස් මිල දී ගත්තේ ය. රැුස්වීමට සහභාගි වී සිටි භාණ්ඩාගාරයේ නියෝජිතයෙකු අවධාරණයෙන් කියා සිටියේ එක් කොටසකට ගෙවන ලද්දේ රු. 50ක් වැනි සුළු මුදලක් බව යි. අනතුරුව සංගමයේ සභාපතිවරයා තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති සිරිසේන සමග රැුස්වීමකට පහසුකම් සපයන ලෙස සමාගමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඔහු ඊට එකඟ විය.

SriLankan airline 1යෝජනා පෙට්ටියක් තැබීමට පටන් ගන්නැයි කොටස් හිමියෙකු කළ යෝජනාවක් සභාපතිවරයා විසින් ඉතා කාරුණිකව පිළිගනු ලැබිණ. කොටස් හිමියන් සියලූ දෙනාට ම ගුවන් සමාගම් පිළිබඳ අත්දැකීම් තිබෙන බැවින් ගුවන් සමාගමේ වැඩි දියුණුව සඳහා ඵලදායක යෝජනා ඉදිරිපත් කිරීමට ඔවුන්ට පිළිවන් විය හැකි ය.

ගුවන් ගමන් උපරිම වූ 2015 දෙසැම්බර් මාසයේ දී ගුවන් සමාගමේ කල දවස ගෙවුණු ආකාරය ගැන නැගූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් සභාපතිවරයා ප‍්‍රකාශ කළේ එම මාසය ලාභදායක වූ බව යි. රැුස්වීමට සහභාගි වී සිටි මූල්‍ය අංශයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු දන්වා සිටියේ ෆ‍්‍රෑන්ක්ෆර්ට්, පැරිසිය හා රෝමය යන ගුවන් මාර්ග අලාභදායක වූ බව යි. එහෙත් දෙසැම්බර් මාසයේ දී ගුවන් සමාගම එ.ජ.ඩො. මිලියන 2ක ශුද්ධ ලාභයක් ඉපැයූ බව සභාපතිවරයා අවධාරණයෙන් කියා සිටියේ ය. ශුද්ධ ලාභය ලැබෙන්නේ මූල්‍ය ගාස්තු ඇතුළු සියලූ වියදම් අඩු කිරීමෙන් පසුව ය. කෙසේ වුව ද, මේ අවස්ථාවේ දී ශුද්ධ ලාභය ලබා ගත්තේ මූල්‍ය ගාස්තු අඩු කිරීමට පෙර ද පසුව ද යන්න රැුස්වීමේ දී පැහැදිලි කර ගත නොහැකි විය. ජාතික ගුවන් සමාගම දශක ගණනාවකින් ගුවන් ගමන් මෙහෙයුම්වල දී ශුද්ධ ලාභයක් ලබා නැත!

ආණ්ඩුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙන බව 2015 ජූනි 16 දා පැවති හදිසි මහා සභා රැුස්වීමක දී සභාපතිවරයා ප‍්‍රකාශ කර තිබිණ. ඒ වන විට සමාගමෙහි වෘත්තීය මට්ටමේ ප‍්‍රධාන විධායක නිලධාරියෙක් :ක්‍ෑධ* හෝ ප‍්‍රධාන වාණිජ නිලධාරියෙක් :ඣධ* නොසිටියේ ය. යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්ම අනුමත කිරීමට පෙර ඒ පිළිබඳ තොරතුරු බෙදාහදා ගන්නැයි කොටස් හිමියන් කළ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කළ සභාපතිවරයා අනුමත කළ පසු එම තොරතුරු බෙදාහදා ගැනීමට එකඟතාව පළකළේ ය. 2016 ජනවාරි 19 දා යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්ම පිළිබඳ තොරතුරු ඉල්ලා සිටි විට ඒ ගැන පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සැලැස්මෙන් 80%ක් අනුමත කර ඇති නමුත් ඉතිරි 20% තව මත් අනුමත කර නැති නිසා තොරතුරු අනාවරණය කළ නොහැකි බව යි. යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මේ අනුමත කරනු ලැබ ඇති 80%ට අයත් සමහර පියවරයන් මේ වන විට ක‍්‍රියාත්මක කරමින් තිබෙන බව ද ඔහු ප‍්‍රකාශ කළේ ය.

වන් වර්ල්ඞ්එලයන්ස් :ධබැ උදරකා ්කකස්බජැ* නම් සන්ධානය හරහා ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳව කොටස් හිමියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභාපතිවරයා ප‍්‍රකාශ කළේ ගමනේ අත්ලන්තික් සාගර කොටස්වල දී ඇමරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ සිට මගීන් ප‍්‍රවාහනය කිරීමේ දී වන් වර්ල්ඞ් එලයන්ස් සන්ධානය ඉතා වැදගත් වූ බව යි. ඇමරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ සිට පැමිණෙන ගුවන් යානා හීත්‍රෝ ගුවන් තොටුපළේ දී ශ‍්‍රී ලාංකික ගුවන් යානා සමග සම්බන්ධ නොවන හෙයින් සහ ගුවන් තොටුපළවල ගමන් පථ වෙනස් කිරීමට එම ගුවන් යානාවලට පවතින නොහැකියාව නිසා වාසිදායක සම්බන්ධතා සහිත ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපළ අත් නෑර තබා ගැනීම අත්‍යවශ්‍ය විය හැකි බව ද ඔහු ප‍්‍රකාශ කළේ ය. සැබවින් ම මෙය අරුම පුදුම න්‍යායකි. වාණිජ ගමන්වලින් 80%ක් ම 3 වන හා 4 වන ගණයේ නිදහස් වාණිජ ගමන් වුව ද, ෆ‍්‍රෑන්ක්ෆර්ට්, පැරිසිය හා රෝමය දිගු කලක් තිස්සේ ම පාඩු ලබන ගුවන් මාර්ග ය. එවැනි වාණිජ ගමන්වලින් ලැබෙන ආදායම මුළුමනින් ම අයත් වන්නේ ශ‍්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමට ය. ඇමරිකා එක්සත් ජනපදයෙන් හා කැනඩාවෙන් පැමිණෙන මගීන් යනු 6 වන ගණයේ නිදහස් වාණිජ ගමන් ය. ගමනේ අත්ලන්තික් සාගර කොටස්වල දී ඔවුන් ප‍්‍රවාහනය කිරීමට වන් වර්ල්ඞ් එලයන්ස් සන්ධානයේ ගුවන් යානා සමග සම්බන්ධ වීමට සිදු වන නිසා එවැනි වාණිජ ගමන්වලින් ලැබෙන ආදායම වන් වර්ල්ඞ් සන්ධානයට අයත් ගුවන් යානා සමග බෙදාහදා ගැනීමට සිදු වේ. එම නිසා, 6 වන ගණයේ නිදහස් වාණිජ ගමන්වලින් ගුවන් සමාගමට ලැබෙන ශුද්ධ ලාභය යුරෝපා සන්ධිස්ථානවල දී 3 වන හා 4 වන ගණයේ නිදහස් වාණිජ ගමන්වලින් ලැබෙන ආදායමට වඩා අඩු වනු ඇත. වැඩි ආදායමක් උපයා ගැනීම සඳහා පාඩු ලබන නැවතුම් පොළවල් වසා දැමිය යුතු නමුත් වෙළඳ පොළවල ඕනෑඑපාකම් පිරිමැසීම සඳහා ශුද්ධ ලාභය අඩු මට්ටමක පවතින එක් නැවතුම් පොළක් අඛණ්ඩව පවත්වා ගෙන යන්නේත් ඒ අනුව එම ගමන් මාර්ගයෙන් අත් වන පාඩු තව දුරටත් වැඩි කර ගන්නේත් මන්ද යන්න මවිතයට කරුණු වේ.

එය සැබවින් ම පුදුම සහගත තත්්වයකි. සභාපතිවරයා ප‍්‍රකාශ කරන පරිදි ගුවන් සමාගම මත රු. බිලියන 90කට වැඩි සමුච්චිත අලාභයක දැඩි බරක් පැටවී ඇත. ආණ්ඩුවේ කිසිදු වෙනසක් සිදු නොවුණ ද මාස හතක් ගත වී ඇතත් යෝජිත යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්ම ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් තව මත් අනුමත කරනු ලැබ හෝ ප‍්‍රතික්ෂේප කරනු ලැබ හෝ නැත. ‘යථා තත්ත්වයට පත් කිරීමේ’ හදිසි භාවය පිළිබඳ හැඟීමක් නැතුවාක් මෙන් පෙනී යයි.

කළමනාකරණ පෙළ පොත්වලින කියැවෙන්නේ යම් සැලැස්මක් අනුමත කිරීම හා ක‍්‍රියාත්මක කිරීම එම සැලැස්ම සමස්තයක් ලෙස ගෙන කළ යුතු බව යි. ගුවන් සමාගමක් යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක වඩාත් ම වැදගත් අංගය වන්නේ එහි ගුවන් මාර්ග ජාලය යි. එහි ප‍්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වන මගීන් හා භාණ්ඩ ප‍්‍රවාහනයට තීරණාත්මක වන්නේ එම ජාලය යි. ගුවන් යානා සමූහයේ වර්ගය හා විශාලත්වය ද මිනිස් බලය ද වැනි අනෙක් ප‍්‍රධාන සාධක මුළුමනින් ම රඳා පවතින්නේ තවමත් අවසන් වශයෙන් තීන්දු කර නැතැයි සභාපතිවරයා පවසන ගුවන් මාර්ග ජාලය මත යි. යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මේ අනුමත කරනු ලැබ ඇති 80%ට අයත් සමහර පියවරයන්මේ වන විටත් ක‍්‍රියාත්මක බව ඔහු පවසයි. එහෙත් එසේ සිදු වන්නේ ගුවන් මාර්ග ජාලය පිළිබඳව තවමත් අවසන් තීන්දුවක් ගෙන නැති තත්ත්වයක් තුළ ය – කෙසේ ද යත්, වර්තමාන ගුවන් මාර්ග අනාගතයේ දී අත්හිටුවිමට ඉඩ ඇත, දිගට ම පවත්වා ගැනීමට ඉඩ ඇත, හඳුන්වා දිය යුතු නව ගුවන් මාර්ග මොනවා ද යන්න යි. ගුවන් මාර්ග යුක්ති සහගත කරන කරුණු අඩංගු වන්නේ යෝජිත යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මේ තව මත් අනුමත නොකරන ලද කොටසේ 20%කටත් අඩු වපසරියක නම් අනුමත කරන ලද 80% තුළ අඩංගු වන්නේ මොනවා ද යන ප‍්‍රශ්නය සිත අවුල් කරන්නක් වේ. එවැනි ම අවුල් සහගත කරුණක් වන්නේ අනුමත කරන ලද 80%ට අයත් මේ වන විට ක‍්‍රියාත්මක කරමින් තිබෙන පියවරයන් අතරට ඉතා වැදගත් අංගය වන ගුවන් මාර්ග ජාලය ඇතුළත් නොවීම යි.

ලොව කොතැනක වුවත් පාඩු ලබන තත්ත්වයක් වෙනස් කිරීමේ දී අධ්‍යක්ෂ මණ්ඩලය අනුගමනය කළ යුතු සාමාන්‍ය ක‍්‍රියා පිළිවෙළ වන්නේ ප‍්‍රත්‍යක්ෂ සේවා ඉතිහාසයක් සහිත ඉහළ පෙළේ ප‍්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගෙන සුදුසු යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක් සකස් කිරීමේ කාර්යය එම පුද්ගලයාට පැවරීම යි. ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු ප‍්‍රධාන විධායක නිලධාරියා කළ යුත්තේ කළමනාකරණ කණ්ඩායමක් ගොඩ නගා ගෙන එය ක‍්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීම ය. මේ සෑම ක‍්‍රියාවකට ම නියමිත කාල රාමුවක් පැවතිය යුතු ය.

එහෙත් ශ‍්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ ප‍්‍රශ්නය මෙය නොවන බව පෙනේ. ආණ්ඩුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය බඳවා ගැනීම කඩිනමින් අරඹා ඇත. 2015 මැයි මාසයේ දී ප‍්‍රධාන විධායක නිලධාරි හා ප‍්‍රධාන වාණිජ නිලධාරි තනතුරු සඳහා දැන්වීම් පළ කරන ලදි. ප‍්‍රධාන විධායක නිලධාරියාට ශාස්ත‍්‍රපති උපාධියක් සහිතව විවිධ සුදුසුකම් හා අත්දැකීම් ගණනාවක් තිබිය යුතු බවත් ප‍්‍රධාන වාණිජ නිලධාරියාට ශාස්ත‍්‍රවේදී උපාධියක් සහිතව අවම වශයෙන් වසර 10-15ක ජ්‍යෙෂ්ඨ කළමනාකාර අත්දැකීම් තිබිය යුතු බවත් දැන්වීම් දෙකෙහි ම ලැයිස්තුගත කර දක්වා තිබිණ. එහෙත් 2015 ඔක්තෝබර් 1 දා කලින් එයාර් ලංකා සමාගමේ ගුවන් නියමුවෙකුව සිට පසුව එමිරේට්ස් සමාගම යටතේ ද එම තනතුර දැරූ නමුත් ජ්‍යෙෂ්ඨ කළමනාකාර අත්දැකීම් නොතිබූ අයෙක් ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස බඳවා ගන්නා ලදි. පෙර පැවති පරිපාලනය විසින් සමාගමට විශාල පිරිවැයක් දැරීමට සිදු කරමින් යුරෝපා ප‍්‍රවර්ධන නිලධාරි නම් අර්ථ විරහිත තනතුරක් ලබා දී පස් අවුරුදු කොන්ත‍්‍රාත්තුවක් යටතේ එක්සත් රාජධානියට පිටුවාහල් කරන ලද ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියෙකු ආපසු කොළඹට ගෙන්වා ගෙන නව ප‍්‍රධාන විධායක නිලධාරියාට සහාය වීම සඳහා ප‍්‍රධාන වාණිජ නිලධාරියා ලෙස පත් කරන ලදි. සමාගම තුළ 30 වසරක අත්දැකීම් සහිත මෙම ප‍්‍රධාන වාණිජ නිලධාරියා කාලය තව දුරටත් දීර්ඝ කොට ආපසු එක්සත් රාජධානියට යවා ඇති බවත් ඔහුගෙන් හිස් වූ තනතුර සඳහා නයිජීරියාවේ පෞද්ගලික ගුවන් සමාගමක සේවය කරමින් සිටි හිටපු එයාර් ලංකා / ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමෙහි සේවකයෙකු පත් කර ඇති බවත් දැන් අපට අසන්නට ලැබේ. මෙම තේරීම් දෙකට ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් බහුතරයක් විරුද්ධ වූ බවටත්, රාජාඥාවකින් ඔවුන්ගේ විරෝධය නිෂ්ප‍්‍රභ කෙරුණු බවටත් කට කතා පවතී. තෝරා ගත් පුද්ගලයන් දෙදෙනාට ම අදාළ දැන්වීමේ දී අවශ්‍ය යැයි නිශ්චිතව සඳහන් කර තිබූ අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය අත්දැකීම් තිබෙන්නේ ද යන්න ගැන බරපතළ සැක මතු වී තිබේ. අඩු ගණනේ ඔවුන්ගෙන් එක් අයෙකු වත් වයස අවුරුදු හැට ඉක්මවා ඇත. එමිරේට්ස් කළමනාකාරිත්වය නික්ම යාමෙන් පසු ඉවත දමන ලද ප‍්‍රධාන තාක්ෂණික නිලධාරි :ක්‍ඔධ* නම් නව තනතුර කෙටි කලකින් යළි හඳුන්වා දීමටනියමිත ය. එම තනතුර සඳහා දැනට විදේශයක පදිංචිව සිටින අයෙකු පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවත් රාජාඥාවක් පදනම් කර ගෙන ප‍්‍රධාන අලෙවි නිලධාරියාගේ :ක්‍ඵධ* තනතුර මීළඟ මැයි මාසයේ දී වයස අවුරුදු 60 සැපිරී විශ‍්‍රාම ගන්නා එමිරේට්ස් සේවකයෙකු සඳහා වෙන් කර තබා ඇත. මෙය ඔහු ජාතික ගුවන් සමාගමට එක් වන තුන් වන වතාව වනු ඇත.

මෙවැනි රාජාඥාවන් නිකුත් කෙරෙන නමුත් සිංගප්පූරු ආකෘතිය පදනම් කර ගත් බෙහෙවින් ප‍්‍රචලිත තෙමාසෙක් මාදිලියේ මෙම ඒකාබද්ධ සමාගම පැහැදිලි ලෙස ම පොදු පරිභෝජනය සඳහා පමණක් පවතින්නකි. බඳවා ගැනීමේ දී අදාළ රැුකියා විස්තරය හා දැන්වීම් තුළ නිශ්චිතව දැක්වෙන අදාළ සුදුසුකම් රාමුව මත පදනම් වන බවක් නො පෙනේ. රාජකීය වංශයේ සාමාජිකයෙකු වීමට හා ගජමිතුරුකමට වැඩි වැදගත්කමක් දෙන බවක් ද පෙනී යයි.

බෙහෙවින් බලාපොරොත්තු තබා තිබෙන යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්ම තව මත් අනුමත කර නොමැති සහ ගුවන් මාර්ග ජාලය තව මත් අවසන් වශයෙන් තීන්දු කර නොමැති තත්ත්වයක දීත් මෙවන් බරපතළ මුදුන් ව්‍යූහයක් අවශ්‍ය වීම පුදුමයට කරුණකි. එය වනාහි පැහැදිලි ලෙස ම නිසි ක‍්‍රියා පටිපාටිය නොපිට පෙරළීමකි. හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියා ආපසු එක්සත් රාජධානියට යවා ප‍්‍රධාන වාණිජ නිලධාරියා ලෙස ගුවන් සමාගමේ නියමිත විශ‍්‍රාම වයස පසු කර ඇති අතිරේක පුද්ගලයෙකු බඳවා ගත්තේ කිනම් තර්කයක් සහ හේතුවක් මතදැයි පැහැදිලි කිරීම සභාපතිවරයාගේ වගකීමකි. පසු ගිය වසර කිහිපයේ දී ඉංජිනේරු අංශය වත්මන් ප‍්‍රධානියා යටතේ කිසිදු අකරතැබ්බයකින් තොරව ක‍්‍රියාත්මක වී ඇති තත්ත්වය තුළ දැනට මත් උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින හිටපු ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු කළමනාකාරවරයාට අතිරේකවශයෙන් ප‍්‍රධාන තාක්ෂණික නිලධාරියෙකු බඳවා ගත යුත්තේ මන්දැයි පැහැදිලි කිරීම සභාපතිවරයාගේ වගකීමකි. සමාගමේ නියමිත විශ‍්‍රාම වයස ඉක්මවූ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කාර්ය මණ්ඩලයක් බඳවා ගත යුත්තේ මන්දැයි පැහැදිලි කිරීම සභාපතිවරයාගේ වගකීමකි. පටු හා පළල් රාමු ගුවන් යානා 21ක් සහිත ගුවන් සමාගමකට එවැනි කළමනාකාරිත්ව ව්‍යූහයක් අවශ්‍ය ද? මේ සියලූ බඳවා ගැනීම් වෙනුවෙන් වාර්ෂිකව දැරීමට සිදු වන මිල රු. මිලියන 100කට වැඩි බවට කෙරෙන තක්සේරුව නිවැරදි ද? ගුවන් සමාගමට එම මුදල දැරිය හැකි ද? යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්ම හා ගුවන් මාර්ග ජාලය පූර්ණ වශයෙන් අනුමත කොට පැහැදිලිකම ඇති වනතෙක් ප‍්‍රධාන විධායක නිලධාරියා හැර අනෙක් සියලූ බඳවා ගැනීම් කල් දැමිය යුතු නො වේ ද?

කටාර් එයාර්වේස්හි ප‍්‍රධාන විධායක නිලධාරි අක්බර් අල් බකර් දින කිහිපයකට පෙර අගමැති වික‍්‍රමසිංහ මුණ ගැසුණේ ඔහුගේ සුව දුක් විමසීමට නො වේ ! ගුවන් සමාගම විදේශීය සමාගමකට භාර දුන හොත් මේ වන විට ජාතික ගුවන් සමාගම මත පැටවෙමින් තිබෙන මේ සියලූ බැරිබරවලට වන්දි ගෙවන්නේ කවුරුන් විසින් ද?

ජාතික ගුවන් සමාගම තුළ කෙළිදෙළෙන් කල ගෙවෙන මේ අතරවාරයේ එය නොකඩවා ම විශාල පාඩු ලබයි. අපකීර්තිමත් හිටපු සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරි ඉවත් කර ඒ වෙනුවට අලූතින් දෙදෙනෙකු බඳවා ගෙන ඇතත්, සමායතනික සංස්කෘතියෙහි කිසිදු වෙනසක් සිදුව නැත. කෙළිලොල්කාරයින්ට දිගින් දිගට ම එය පරාදීසයක් වී ඇත. මෙම පරිපාලනය, පරන පරිපාලනය නව ලේබලයකින් ඉදිරිපත් කිරීමකි.

පැහැදිලි ලෙස ම, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමෙහි බොහො දෙය අවුල් සහගත ය !

Print Friendly

සිවුරු පොරවාගත් මදාවි කම ද, දේශපේ‍්‍රමය ද?

$
0
0

විශ්වමිත්‍ර​ 1984

‘‘නීතිය කඩන්නේ නම්, බලය අල්ලා ගැනීම සඳහා එසේ කරන්න. වෙනත් සෑම අවස්ථාවකදීම නීතියට අනුගත වන්න.’’- ජුලියස් සීසර්

රටේ අධිකරණය පාලක කල්ලියක ග‍්‍රහණයෙන් දැන් අත්මිදී ඇත. මැදියම් ? බල පුලූවන්කාරයන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම්වලට බියෙන් සිය අභිමානය නැති කරගත් හෝ පලූදු කරගත් කාලය දැන් අවසන් ය. අධිකරණය දැන් නිදහස් වී ඇතිවා පමණක් නොව, ඒ නිදහස පිටතටත් පෙනෙන්ට තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පැත්තකින් තියන්න. මහාධිකරණය සහ ඊට පහළින් ඇති වෙනත් අධිකරණත්, ඒවායේ අසුන් ගන්නා ධජධාරීන් වන උගත් විනිසුරුවරුත්, විය යුතු පරිද්දෙන්ම, යුක්තිය පසිඳලති. ඊට අගනා නිදසුනක් වන්නේ, රටේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර නැමැති හොර සිවුරුකාරයාව අත්අඩංගුවට ගැනීමයි. එක් ලේඛකයෙකු ලියා තිබුණු පරිදි, ‘‘රටේ ආරක්ෂාව වෙනුවෙන් යැයි කියමින් ‘යළි උපන් දේවධර්මවාදියෙකුගේ’ වේශයෙන්, විශේෂයෙන් බෞද්ධයන්වත්, පොදුවේ මුළු රටමත් මේ භික්ෂුව විසින් සෙල්ලමට ගන්නා ප‍්‍රථම අවස්ථාවවත්, අවසාන අවස්ථාවවත් මෙය නොවන්නේය.’’

Gnanasaraමේ සිද්ධියට බොහෝ කලකට පෙර, පසුගිය ආණ්ඩු කාලයේ, පාලක පවුලෙන් ලද අපමණ අනුග‍්‍රහ යටතේ, සිංහල-බෞද්ධ සාර්ධර්ම ආරක්ෂකයා වශයෙන් මොහු අවිනීතව හැසිරෙමින් වාගාලාප දොඩවන විට, ඒ ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා නොයෙක් විට මේ තීරුවේ මම කරුණු ගෙනහැර දක්වා ඇත්තෙමි. කෙසේ වෙතත්, අපේ ප‍්‍රධාන මාධ්‍ය ජාලය තුළ එදා මොහුට ප‍්‍රමුඛස්ථානයක් දුන්නේ, බටහිර ලෝකයේ තවත් මෙවැනිම තක්කඩියෙකු වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ව ඔසවා තැබූ ආකාරයෙනි.

උද්වේගය දනවන ආන්දෝලනාත්මක සිදුවීම්වල එල්ලීමට මාධ්‍ය දක්වන්නේ මහත් කෑදරකමකි. පුවත්පත් වශයෙන් පෙනී සිටින ඇතැම් කුඩා පුවත්පත් යැපෙන්නේ එවැනි ප‍්‍රවෘත්තිවලිනි. එසේ කිරීමේදී, ගොතන ලද ප‍්‍රවෘත්තිවලටත් විශාල වැදගත්කමක් ලැබේ. ඇතැම්හු, පදනමක් නැති දූෂමාන ආරංචි සත්‍ය වශයෙන් හුවාදක්වති. තවත් අය අතේ පැලවෙන බොරු ගොතති. අතිශයෝක්තියට සහ අලංකාරික මෝස්තරවලට සීමාවක් තිබිය යුතුය. එය මාධ්‍යයේ සීමාවන් ඉක්මවා යන විට සිදුවන්නේ, පාඨකයන් සහ පේ‍්‍රක්ෂකයන් තුළ ඇති විශ්වාසය බිඳී යාමයි. අදාළ ප‍්‍රවෘත්තියේ සත්‍යාසත්‍යතාව පමණක් නොව, එය ලියන්නා හෝ ඉදිරිපත් කරන්නා කෙරෙහි වන විශ්වාසයත් එහිදි පලූදු වෙයි.

‘‘මේ පටන් ගත්තා විතරයි. අපේ අරගලය අපි පාවා දීලා නැහැ. මට තව දවසක් දෙකක් දෙන්න.’’ අත්අඩංගුවට ගැනීමට මත්තෙන්. හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේ සිටි විරෝධතාකරුවන් අමතමින් මේ භික්ෂුව කියා සිටියේය. ඒ වන විට ඔහුගේ නොදැමුණු ක්‍රෝධය සීමාව ඉක්මවා යමින් තිබුණි. එවැනි කටහැකර කතා කිව හැක්කේ, මොහු වැනිම උන්මත්තකයෙකුට පමණි.

ජනාධිපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ මේ ගැන කිසිවක් නොකීහ. එසේ නිශ්ශබ්දව සිටීම නිවැරදි ය.

බලයෙන් මත් වූ විට ඇතැම් පුජකයන් ප‍්‍රදර්ශනය කරන අසීමිත උද්ධච්ච භාවය, නැතිබැරි එකා වෙනුවෙන් ඔවුන් තුළ ඇති නොතැකීම සහ ඔවුන් වෙසෙන පන්සල් පල්ලිවල ප‍්‍රාකාරවලටත් ඉහළින් ඉගිලෙන කුහකකම විසින් ප‍්‍රදර්ශනය කරනු ලබන්නේ, නූතන ලෝකයේ ගරා වැටීමේ එක් පැතිමානයකි.

කෙසේ වෙතත්, බියගුළු දේශපාලඥයන් විසින් ඔවුන් වෙත ප‍්‍රදානය කරන අනවශේෂ බලය සහ ධනයත්, ‘ලෞකික’ රාජ්‍යයක් පිළිබඳ සංකල්පය බැහැර කොට, තෝරා ගත් ආගම්වලට විශේෂ බලයක් සපයන ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනත් විසින් ජාතියේ හෘද සාක්ෂිය අයුතු අඩියකට පිරිහෙලා තිබේ. සදාචාරයේ සහ ආචාර ධර්ම පද්ධතියේ දිරාපත් වීම සිදුවන්නේම, ඒවා උපත ලැබිය යුතු පන්සල් පල්ලි සහ හින්දු මුස්ලිම් කෝවිල්වලමයි.

සරළ සහ චාම් වාසස්ථාන වෙනුවට, භික්ෂූන්, පූජකයන් සහ ඉමාම්වරුන් සඳහා ඉදි වූ මාළිගා රටේ හැම අස්සක් මුල්ලකම අද දකින්ට ලැබේ. නිකාය භේදය උඩ සංඝ සාසනය තුළට සසුන්ගත කරගන්නේ කුලය මුල් කර ගනිමිනි. යෝධ ඉදි කිරීම් සහ ඉපැරණි රජවරුන්ගේ විශිෂ්ඨ නිර්මාණ තාක්ෂණයෙන් අපේ ඉතිහාසය පොහොසත් ය. බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා මෙන්ම, අතීත යෝධ වාරි සංස්කෘතියක් සාක්ෂි දරන්නේ, කලාව සහ විද්‍යාව පිළිබඳ අද්වීතිය අතීත උරුමයකටයි. ඒ සියල්ලටත් වඩා, සාමයෙන් ජීවත් වූ ජනතාවකගේ සාමූහික චින්තනයකටයි. ඉංග‍්‍රීසි භාෂාවෙන් ග‍්‍රන්ථකරණයේ යෙදුණු, ශ්‍රේෂ්ඨතම නවකතාකරුවෙකු වන, පෝලන්ත ජාතික ජෝසප් කොන්රඞ් වරක් කී පරිදි, ‘‘සත්‍යයේ ශරීරයක් මත්තේ බහුරු කෝලම් මුහුණක් ආරූඪ වීමේ විගඩමක්’’ බවට එය පත්ව ඇත. එහෙත් විශ්වාසය අතහැර ගත යුතු නැත. එසේම, යහපත් හෙට දවසක් සඳහා වන අපේ අභිලාෂයද අතහැර ගත යුතු නැත.

කෙසේ වෙතත්, විශ්වාසය දරා ගැනීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. ඉතිහාසයේ බොහෝ ජාතීන් වැටී තිබේ. නැගී සිට තිබේ. නූතන ලෝකය මනුෂ්‍යයා වෙත ප‍්‍රදානය කොට ඇති මහාර්ඝ ධනයත්, තාක්ෂණික දියුණුවත් පස්සෙන් පන්නන යම් නරකකුත් තිබේ. එහෙත් එඩිතර ඥානවන්තයා, සදාචාරය සහ දුරාචාරය අතර බෙදුම් රේඛාව හඳුනා ගැනීමට සමත් වෙයි. එවැන්නෝ, ටිකකට නතර වී මොහොතක් කල්පනා කිරීමට මැළි නොවෙති. විශ්වයේ ඇති විශිෂ්ඨතම හාස්කම වන්නේ මිනිස් සන්තානය වන බැවින් එවැනි නුවණැත්තෝ නොනැවතී පිරික්සති. මේ යුගය වූ කලී, ‘නිර්මාණයක’ අවසානයක් නොව, දීර්ඝ පරිණාමීය කතාන්තරයක බුද්ධිමය කුහුලේ ආරම්භයකි.

ගලගොඩඅත්තේ ඥානසාර යනු, අවසාන දූෂිත භික්ෂුව නොවේ. රාජපක්ෂගේ අවසාන පස් වසර තුළ ප‍්‍රදර්ශනය කෙරුණු තත්වය අද දකින්ට නැත. මෙවැනි සමාජ නාශක බලවේගවලට අනුග‍්‍රහය පෑමෙන් වර්තමාන නායකත්වය වැළකී සිටීම වාසනාවකි.

‘ඩිවයින් කොමඩි’ නම් වූ වීර කාව්‍යයේ කර්තෘ, දාන්තේ අලිගියෙරි මෙසේ ලියා තිබේ: ‘‘සදාචාර පරිහානියකදී නිශ්ශබ්දව ඉන්නා අයවළුන්ට අපායේ අඳුරුතම ස්ථානය වෙන්ව තිබේ.’’ ඩිවයින් කොමඩි යනු, ඉතාලි භාෂාවෙන් රචිත ශ්‍රේෂ්ඨතම කෘතිය වශයෙන් සැළකෙන අතර, ලෝක සාහිත්‍යයේ අග‍්‍රකෘතියක් වශයෙන්ද ගැනේ. භික්ෂු වේශයෙන් පෙනී සිටින මේ පිස්සන්ගේ දේශපේ‍්‍රමී විගඩම ඉදිරියේ අහක බලාගෙන සිටීමට කෙනෙකුට පුලූවන්කමක් නැත. එසේ වුණොත් එය, එසේ සිටින්නාගේ විනාශයටම හේතු වනු ඇත.

ගලගොඩඅත්තේ ඥානසාර යනු රෝගය නොවේ. වෛරසයත් නොවේ. ඔහු වනාහී, වෛරසය රැුගෙන යන වාහකයයි. එය, නීතියේ උදාර සීමාව සහ ප‍්‍රඥාවේ උත්කෘෂ්ට වපසරිය තුළ නතර කළ යුතුව තිබේ.

*2016 පෙබරවාරි 10 වැනි දා කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Mayhem In Yellow Robes Or True Patriotism? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly

කොටා පාරට වූ දේ ඩාලි පාරටත් වෙයිද ?

$
0
0

චරිත හේරත්

චරිත හේරත්

චරිත හේරත්

ශි‍්‍ර ල නී ප ය යලි ජයග‍්‍රහනය කරන්නේ කේසේද යනු මේ දිනවල එම පක්ෂයේ අය සාකච්ජා කරන ප‍්‍රධාන ප‍්‍රශ්නයකි. මෙම ප‍්‍රශ්නයම වෙනත් විධියකට නගන්නේ නම් ඔවුන් අසන්නේ එජාපය පරාජය කරන්නේ කේසේද කියාය. ශී‍්‍රලනීපයට හැමදම තිබු ඓතිහාසික අභියෝගය වන්නේ එජාපය පරාජයට පත් කිරීම වන බැවින් මේ ප‍්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම තම පක්ෂයේ පැවැත්ම සොයා ගැනීම තරම්ම ශ‍්‍රීලනීපයට වැදගත්ය. දැන් ගැටලූව වන්නේ මේ ‘බරපතල’ වැඩේ කරන්නේ කෙසේද යන්නයි.

එජාපය පරාජය කරන්නේ කේසේද යන ප‍්‍රශ්නයට ඉතිහාසයේ පළමුවන වතාවට ශ‍්‍රීලනීපය තුළම එකිනෙකට වෙනස් මතයන් දෙකක් මේ වන විට ගොඩ නැගී තිබේන බව බැලූ බැල්මටම පෙනී යයි. පාක්ෂිකයන් කියන්නේ එජාපයට එරෙහිවීම තම පක්ෂයේ පදනම වන බැවින් එජාපය තුළට නොගොස් එයට එරෙහිව පක්ෂයේ දේශපාලනය සංවිධානය කළ යුතු බවයි. එජාපය ‘දේශපාලනිකව අභියෝගට’ ලක් කරමින් එය පරාජයට පත් කළ යුතු බවයි. එහෙත් ඇමතිකම් ගත් පක්ෂයේ ප‍්‍රධාන පෙළේ නායකයන්ගේ මතය ලෙසින් ඉදිරිපත් වන්නේ පාක්ෂිකයන්ගේ ඉහත අදහසට සම්පූර්ණයෙන්ම වෙනස් අදහසකි. නායකයින් සිතන බව පෙනෙන්නේ එජාපය සමග ඉන්නා ගමන් අමුතුම මාදිලීයේ ක‍්‍රමයකට ‘එජාප පැරදවීය හැකි’ බවයි. ඔවුන්ට අනුව කළයුත්තේ ‘එජාපයේ අගමැතිතුමාව ඇමති මණ්ඩලය තුළ රුකගන්නා ගමන්’ ගමේදි එය අභියෝග කිරීමය. ‘එජාප රජය’ පාර්ලිමේන්තුව තුළ රුක ගන්නා ගමන් ගමේදි එය පරාජයට පත් කිරීමය. ‘එජාපයේ අගමැතිවරයාව රට තුළ රුක ගන්නා ගමන් එජාපයේ අයෙකු ප‍්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකුවීම’ වැලැක්වීමය. නායකයින්ගේ මේ අමුතු පන්නයේ ‘එජාපය පරාජය කිරීම’ පාක්ෂිකයන්ට නොතේරෙන්නේ එය බරපතල දේශපාලන ගැඹුරක් ඇති තර්කයක් නිසා නොව මේ ලෝකයේ කොහේවත් නැති ආකාරයේ එකිනෙකට පරස්පර දේශපාලනයක් වන නිසාය. පාක්ෂිකයන් මේ දේශපාලන සූත‍්‍රය සැක කරන්නේ එය සැක කරනවා හැර වෙන කළ හැකි දෙයක් ඔවුන්ට නොමැති නිසාය.

Mahinda Sirisena Ranilඒ නිසා පාක්ෂිකයින් ‘ඉල්ලන එජාපය පරාජය කිරීමත්’ නායකයින් ‘යෝජනා කරන එජාපය පරාජය කරීමත්’ අතර ඇති මෙම පරස්පරය සමහන් කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නය පක්ෂයේ නායකයින්ටත් පක්ෂයට හිතවත් අනෙක් සැමටත් ඉතාමත් වැදගත් ප‍්‍රශ්නයක් බව මගේ අදහසයි.

මට සිතෙන හැටියට ශී‍්‍රලනීපයේ මේ අවුල වැඩි වුනේම පක්ෂයේ දෙවැනි පෙළ නායකත්වයේ ඇති පුදුම සහගත (විහිලූ සහගත) දේශපාලන හැසිරීම නිසා බවයි. මේ අතරිනුත් මහින්දගේ කාලයේ සිටම එජාපයේ සිට ශී‍්‍රලනීපයට පැමිණ ‘ආවෝ ගියෝ’ කණ්ඩායමේ අය කරන දේශපාලනය ප‍්‍රධානය. (ආවෝ ගියෝ කණඩායම ලෙස පාක්ෂිකයින් හදුන්වන්නේ එජාපයේ සිට ශි‍්‍රලනීපයට පසුගිය කාලයේ පැමිණ අද මුලූ පක්ෂයම තමන් කියන දෙය ඇසිය යුතු බව පෙන්වමින් කි‍්‍රයා කරන කණ්ඩායමය). මහින්ද සහ මෛත‍්‍රී යන නායකයින් දෙදනාම අර්බුදයට ගියේත් ඉදිරියට අර්බූදයට යාමටත් මුලක වශයෙන්ම හේතු වන්නේත් විශේෂයෙන්ම මේ කණ්ඩායමේ හැසිරීම නිසාය. මා මෙය කියන්නේ ඔවුන් සමග ඇති විශේෂ අමනාපයකට නොවේ. මේ බොහෝ අය අපි දන්නා හදුනන මිත‍්‍රයෝය. එහෙත් පක්ෂයේ ප‍්‍රධාන නායකයින් බරපතල අර්බූදයකට පත් වූයේ මේ දෙවනි පෙළ නායකයිනගේ ‘දිනන පැත්තට හෝයියා’ දේශපාලනය නිසාය. මේ බොහෝ නායකයින් මෛත‍්‍රී ජනාධිපති තුමන් ජයගත් දිනයේම එතුමන්ගේ විජෙරාම නිවසට ගොස් තමන් එතුමන්ගේ නායකත්වය පිළිගන්නවා යැයි කීවෝය. එයින් ටික කළකට පසුව පාක්ෂිකයන් මහින්දගේ පැත්තට යන බව දුටු ගමන් ‘පැදුරටත් නොකියා’ දින සීයේ රජයට එරෙහි විවිධ හේතු ඉදිරිපත් කරමින් ඒ ආන්ඩුවෙන් අස් වී ගෙන අස් වී ගෙන ගියෝය. පසුව මහින්ද සමග තරග කර ජයගත් අතර එයට පසු දිනයේම යලිත් මෛතී‍්‍ර ජනාධිපතිතුමන්ගේ හොද කියාගෙන කියාගෙන යාමට පටන් ගත්තෝය. දැන් මේ කණ්ඩායමේ බොහෝ අය මේ දිනවල හැසිරෙන්නේ මෛත‍්‍රී ජනාධිපතිතුමන්ට තමන් කොපමණ හිතවත්ද කියා පෙන්වීමට මිස පක්ෂයේ ගැටලූව විසදගැනීමේ වුවමනාවෙන් නොවේ. අනෙක් අතට එජාප සම්භවයක් ඇති ශි‍්‍රලනීප ඇමතිවරු මාධ්‍ය සාකච්ජා පවත්වමින් මහින්ද ජනාධිපතිතුමන්ට අපහාස කරන්නේ කිසි දිනක තමන් ඔහු සමග දේශපාලනයක් නොකළ ගානටය. මේ අය මහින්දට කරන අපහාස උපහාස කිරීම පාක්ෂිකයින් භාර ගන්නේ ඔවුන් ට කරන අඩන්තේඞ්ඩකමක් ලෙසින්ය. මේවා පක්ෂයේ සභාපතිතුමන්ට හෝ ලේකම්තුමන්ටත් හොද තත්වයක් නොවනවා පමණක් නොව මේවා කිරිමෙන් කිසිදු ප‍්‍රශ්නයක් විසදිය නොහැකි බවද තේරුම් ගැනීම වැදගත්ය. තමන්ගේ පක්ෂය අර්බුදයක තිබෙන මෙවැනි මොහොතක ඝෘජු ශී‍්‍රලනීප සම්භවයක් ඇති නිමල්, ජෝන්, අනුර, සුසිල්, අමරවීර, දුමින්ද, ඩිලාන් සහ එස් බී වැනි නායකයින් ඉහතින් සදහන් කළ කණ්ඩායමේ ගනනට නොවැටිය යුතු බව මෙහිදි විශේෂයෙන්ම කිව යුතුය. ඒ අයට පක්ෂයේ ප‍්‍රගමනයක් සදහා මැදිශත්වීමේ සුජාතභාවයක් ලබා ගත හැක්කේ එවැනි දේශපාලන පෞරුෂයක් ගොඩ නගා ගැනීමෙන් පමණය. සියල්ලටම ප‍්‍රථමයෙන් තමාගේ ඇමතිකම පමණක් සිතන අයට පාක්ෂිකයින් කියන්නේ නායකයින් කියා නොවේ.

දැන් මුල් ප‍්‍රශ්නයට නැවත පැමිණියහොත් එජාපය පරාජය කිරීම ගැන පාක්ෂිකයින්ගේ තේරුම් ගැනීම වෙනස් කිරීමට නොහැක්කේ එය යම් දේශපාලන ස්ථාවරයක් මත පදනම් වන නිසාය. ආණුඩුවේ සිටින ශ‍්‍රීලනීපයේ අය එජාපය පැරදවීම ගැන කියන කථාව සම්පූර්ණ අසංගත ප‍්‍රායෝගිකත්වයට නැගිය නොහැකි දෙයක් වන නිසාය. පාක්ෂිකයින් සිතන්නේ තමන්ගේ ‘අනෙකා’ (the other) එජාපය මිසක මහින්ද නොවන බවය. ඒ අනෙකා සමග සිටින ගමන් ඔහුව පරාජයට පත් කිරීමට පුවත් පත් සාකච්ජා මගින් කොපමණ ආරාධනය කළත් පාක්ෂිකයිනගේ අවධානයට පත් නොවන්නේ ඒ නිසාය.

මහින්දගේ පරාජයට හේතු ඉදිරිපත් කරන සමහරුන් කියන්නේ ශ‍්‍රීලනීපයට සුලු ජාතික ජන්ද පසුගිය ජනාධිපත්වරණයේදි නොලැබී යාම පරාජයට හේතු වූ බවත් මහින්ද මහතාට මේ ප‍්‍රශ්නයට විසදුමක් නැති බවත්ය. මේ අදහස බැරූරුම්ව සාකච්ජා කළ යුතු සහ ආමන්ත‍්‍රණය කළ යුතුම ප‍්‍රශ්නයක් බව සැබෑය. එහෙත් මෙහිදි තේරුම් ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ශ‍්‍රීලනීපයේ ජන්ද පදනමේ බරපතල මුස්ලිම් හෝ දෙමළ සංයුතියක් කවර දිනකවත් තිබුණේ නැති බවය. එහෙත් පක්ෂය ජයග‍්‍රාහී වුන සෑම අවස්ථාවකම ජයග‍්‍රහණයට අවශ්‍ය කරන සුලු ජාතික ජන්ද ප‍්‍රවනතාව පක්ෂයට ලැබිණ. එය 1970 දි වාමාංෂික පක්ෂ හරහා සමගි සංධානයට ලැබුණු අතර 1994 දි චන්දකා බණ්ඩාරනායක මැතිනිය පැමිණීමත් සමග පක්ෂයට ලැබුනි. 2005 දිත් 2010 දිත් මේ ජන්ද ප‍්‍රතිශතය මහින්ද ජනාධිපතිතුමන් සමග ද සිටියේය. එහෙත් එය 2015 පක්ෂයට නොලැබී ගියේය. එය විසදිය යුතු කාරණයකි. එහෙත් එය විසදන්නට ගොස් ශී‍්‍රලනීපයට හැමදම තිබූ ප‍්‍රධාන ජාතියේ බලය දියාරු කර ගත යුතු නැත. එවැනි දියාරු කර ගැනීමකින් පක්ෂය ජයග‍්‍රහනය කරන්නේ නැත. මෙය උපමාවකින් කීවොතින් පක්ෂයේ ප‍්‍රධාන ජන්දදයක ප‍්‍රවනතාව හරියට ඔරුවක් වගේය. එගොඩට යාමට ඔරුව අවශ්‍යය. එසේම එය නොපෙරළී තියෙන්නේ සුලු ජාතික ජන්ද ප‍්‍රවනතාව නැමති කොල්ලෑව නිසාය. දැන් අප ඔරුව වෙනුවට කොල්ලෑවට නැගීමත් කොල්ලෑවක් නොමැතිව ඔරුව පැදිමත් යන දෙකම නොකළ යුතුය. වසර 18ක්ම එජාපය විපක්ෂයේ සිටියේ සුලු ජාතික ජන්ද කොල්ලෑවට නැගී එජාපයේ ප‍්‍රධාන ජන්ද ප‍්‍රවනතාව අමතක කළ නිසාය. ශී‍්‍රලනීපය මෙයින් පාඩමක් ඉගෙන ගත යුතුය.

අනෙත් වැදගත් කාරණයක් වන්නේ මේ රටේ දේශපාලනයේ ප‍්‍රභූ පන්තියේ උගුලකට ශී‍්‍රලනීපය හසුවීමේ ඇති බරපතල අවධානම පිළිබදව තේරුම් ගැනීමය. අපේ රටේ නාගරික ප‍්‍රභු පන්තියේ දේශපාලනය හැමදම තිබුනේ එජාපය සමගය. ඒ අය හැමවිටම කළේ තම නාගරික ප‍්‍රභූ පාලනය රුක ගැනීමට අනෙකුත් සමාජ කණ්ඩායම් පාවිච්චි කිරීමය. ඒවා එකට හැප්පවීමය. මෙය ඔවුන්ගේ පක්ෂය ඇතුලේත් පක්ෂයෙන් පිටත දිත් එජාපය හැම විටකදිම සිදු කළේය. එය තවත් තීරණාතමකව සිදු කරන්නේ මේ ප‍්‍රභූන්ගේ පන්තියට පිටින් බරපතල අභියෝගයක් එන විටය. මේ අය පේ‍්‍රමදසට උදව් කළේ විජෙවීරව පරාජයට පත් කිරීමට මිස පේ‍්‍රමදස මගින් රට පාලනය කිරීමට නොවේ. මේ අය මහින්දගේ ජයග‍්‍රහනයන් ඉවසුවේ ප‍්‍රභාකරන්ව පරාජය කිරීමට මිස ඔහු මගින් රට පාලනය කිරීමට නොවේ. මේ අය මෛත‍්‍රීට උදව් කළේ මහින්ද පරාජයට පත් කිරීමට මිස ඔහු මගින් රට පාලනය කිරීමේ අදහසින් නොවේ. (මේ නායකයින්ට ජන්දය පාවිච්චි කළ ජන්දදයකයින් සිතුවේ වෙනස් විධියකට විය හැකිය). එහෙත් නාගරික ප‍්‍රභූන්ගේ මේ කුක්ටූර් දේශපාලනය හැමදම කළේ තමන්ට යටින් සිටිනවා යැයි ඔවුන් සිතූ එහෙත් ගනනින් විශාලවූ ග‍්‍රාමීය ප‍්‍රභු පන්තියත් අනෙකුත් නිර්ප‍්‍රභූ පන්තීන්නුත් අතරින් මතුවන දේශපාලන මැදිශත්වීම් ඒ පංතියෙන්ම තෝරා ගත් නායකයෙකු මගින් පරාජය කිරීමය. නීති විද්‍යාලයේ භාෂාවෙන් කියනවා නම් ‘හරමානිස්ලාගෙන්ම හරමානිස්ලාට ගැසීමය’. තමන්ට එරෙහිව මතුවන දේශපාලනයේ එකිනෙකා කොටවන නාගරික ප‍්‍රභූ දේශපාලනයේ මේ ගතිකය තේරුම් ගැනීම ශී‍්‍රලනීපයේ අනාගතය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත්ය. මෙය පමා වන තරමට ශී‍්‍රලනීපයේ නායකයින්ගේ අර්බුදය වැඩි වීමට ඇති ඉඩ කඩ ඉතා විශාලය.

අද ශී‍්‍රලනීපය මේ උගුලට අසු වී ඇතැයි කිව හැක්කේ එජාපය ඝාජුව ශි‍්‍රලනීපය මෙහෙයවන බව කියවෙන අර්ථයෙන් නොවේ. මේ බලවේගයේ උත්සාහය වන්නේ ශී‍්‍රලනීප මැද පංතියේ සමාජ තීරුව දෙකට කඩා එක් කොටසකට අනෙක් කොටසින් පහර දෙමින් හැකි තාක් දුරට ගෙනයාමයි. එසේ ගෙන යාමට අවශ්‍ය සිවිල් සමාජ බලයත් පුරවැසි බලය වැනි නිර්ප‍්‍රභූන්ගේ කණ්ඩායම් මගින්ම ගොඩනගා තිබීම මෙහි අනෙක් වැදගත්ම විහිලූවයි. බස් සංගම්වලින් හෙද සංගම්වලින් සහ ගුරු සංගම්වලින් ‘නිෂ්පාදනය’ කර ඇති මේ අලූත් ‘සිවිල් සමාජය’ තමන්ගේ ‘වැඩ’ ලෙසින් සළකන්නේම පුවත් පත් සාකච්ජාවන් මගින් මහින්දට බැන අඩ ගැසීම වන්නේ ඒ නිසාය. (ඔවුන් මෛත‍්‍රී බැන වදින දවසද වැඩි ඈතක නොවන බවද දැන දැන් පෙනී යයි). ‘අමු සිංහලෙන් විරුද්ධවාදයාට බනින්නට’ නිර්ප‍්‍රභූ සිවිල් සමාජයකුත් ‘හොද ඉංග‍්‍රීසියෙන් ව්‍යවස්ථාව හදන්නට’ විකල්ප සිවිල් සමාජයකුත් සිටින තත්වයට සිවිල් අවකාශය පැමි◊ණ තිබෙන්නේ ඒ තර්කයට අනුවය.

දැන් ශී‍්‍රලනීප පාක්ෂිකයන් අලූත් පක්ෂයක් ගැන කථාකරන්නනේ මේ තත්වය හමුවේය. අලුත් පක්ෂයක් සෑදිමටත් වඩා පාක්ෂිකයන් සිතන්නේ ‘තමන්ගේ පක්ෂය තමාව අත හැර ගිය නිසා තමනුත් පක්ෂය අතහැර යා යුතුයි’ වැනි අදහසකි. ‘පක්ෂයේ නිල යාන්ත‍්‍රණය තිබෙන තැනට කොහොමත් එන්න වෙනවා’ යැයි සමහරුන්ගේ සිතීම සමහර තැන්වලදි හරි වුවත් ඉතිහාසයෙන් පෙනීයන්නේ එය හැම තැනම හරි යන්නේ නැති බවය. පක්ෂයක නිල නාමයන් පක්ෂයේ දේපොළ අතහැර වෙනත් තැන්වලට පාක්ෂිකයින් සංක‍්‍රමණය වූ අවස්ථා මෙරට දේශපාලන ඉතිහාසයේ ඕනෑ තරම් තිබේ. ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය මේ පිළිබදව හොදම නිදර්ශනයක් ලෙසින් ගත හැකිය. 1948ටත් පෙර සිටම මෙරට දේශපාලනයේ ප‍්‍රගතිශීලී කදවුරේ විශාල වැඩ කොටසක් සිදු කළ කොමියුනිස්ට්  පක්ෂය නිදහසින් පසු පැවති සෑම මැතිවරණයකදිම මන්තී‍්‍රවරු 8ක් 10ක් පාර්ලිමේන්තුවට යැවූල සමහර කාලවල ආණ්ඩුවල ඇමතිකම් පවා දැරූ ශක්තිමත් පක්ෂයක්ව තිබුණේය. ඔවුන්ගේ ශක්තියේ තවත් එක් දෙයක් වූයේ ලංකාවේ දේශපාලන පක්ෂයක තිබු බලවත්ම පුවත් පත ඔවුන් සතු වීමයි. විකල්ප පුවත්පත් නොතිබුණු මේ කාලය තුළ ‘ඇත්ත’ පත්තරය දේශපාලන ලෝකයේ ‘එකම’ පත්තරය විය. මේ පක්ෂයේ බලය කොතරම්ද යත් එක් කාලයක ඔවුන් පක්ෂයේ අනාගතය උපකල්පනය කරමින් කොටා පාරේ තට්ටු පහක විශාල පක්ෂ කාර්යාලයක්ද හැදුවේය. අදටත් කොමියුනිස්ට් පක්ෂයේ කාර්යාලය තිබෙන්නේ මේ ගොඩනැගිල්ලේම කොටසකය. නමුත් පසුකාලිනව එම පක්ෂයේ නායකයින් ගත් දේශපාලන තීරණ සහ ජාත්‍යන්තර දේශපාලනයේ වෙනස්කම්වලට අනුව හැඩගැසෙන්නට නොහැකි වීම හේතුවෙන් ක‍්‍රමානුකූලව පාක්ෂිකයින් තම පක්ෂය වෙතින් ශ‍්‍රීලනීපයටත් ජවිපෙටත් සංක‍්‍රමණය වූයේ එම පක්ෂයේ දිර්ඝ ඉතිහාසය හෝ පක්ෂයේ දේපොළ සහ ලාංජනය ගැන එතරම් තැකීමකින් නොවේ. මෙය උදහරණයක් ලෙසින් සදහන් කරන්නේ ඒ පක්ෂයේ නායකයිනට අපහාසයක් පිනිස නොවේ. මෙය අපේ ජවිත කාලයේම සිදු වු දේශපාලන යථාර්තයක් තේරුම් ගැනීමේ නිදර්ශනයක් ලෙසින්ය. කොටා පාරේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට සිදුවූ දේ ඩාර්ලි පාරේ ශ‍්‍රීලනීප කාර්යාලයට සිදු වීමට ඉඩ නොදිම පක්ෂයේ සියලු නායකයින්ගේ වගකීම විය යුතුය.

Print Friendly

හුසේන් කුමරුට ජනාධිපති හා අගමැති දුන් ප්‍රතිඥාව

$
0
0

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කරන බවට මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කොමසාරිස්වරයා ඉදිරියේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රතිඥා දී තිබේ. එම යෝජනාවේ විශේෂත්වය වන්නේ එය ලංකාවේ ආණ්ඩුව විසින්ද පිළිගෙන මානව හිමිකම් කවුන්සිලය තුළ ඡන්ද විමසීමකින් තොරවම සම්මත කරගෙන තිබීමයි. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ආණ්ඩුව ලංකාවට එරෙහි මේ යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කලේද 2002 දී කුප්‍රකට සටන් විරාම ගිවිසුමට එලෙඹුණු ආකාරයටමය. එම යෝජනාව සම්මත වීමට පෙර ජිනීවාහි සිටි අපේ තානාපතිවරයා එය වෙනස් කිරීමට උත්සාහයක් දැරුවද ආණ්ඩුව එය නවතා එම යෝජනාව ඇමරිකාව විසින් සකස් කල ආකාරයෙන්ම පිළිගැනීමට කටයුතු කලේය. ඇමරිකානු යෝජනාව කිසිදු වෙනසක් නැතිවම පිළිගෙන එය ලංකාව ලැබූ මහා රාජයතාන්ත්‍රික ජයග්‍රහණයක් හැටියට ජනතාව ඉදිරියේ හුවාදැක්වීමට ආණ්ඩුව උත්සාහ කළද, සත්‍ය වශයෙන්ම එය 1815 උඩරට ගිවිසුමට සමාන කළ හැකි රට පාවාදෙන එකගතාවයක් විය.

ආණ්ඩුව ජිනීවා යෝජනාව තුළින් ක්‍රියාත්මක කිරීමට එකගතාවයට පැමිණ තිබෙන කාරණා ගැන ජනතාවට නැවත මතක් කර දීමක් කල යුතුය. මේ යෝජනාවේ 1,4,6,7,8 සහ 12 යන ක්‍රියාන්විත ඡේදවලට අනුව දෙමළ සිවිල් ජනතාව ඝාතනය කිරීම, ඔවුන්ට වද බන්ධන පැමිණවිම හා උතුරු ප්‍රදේශයේ හිතාමතාම ආහාර හිගයක් නිර්මාණය කිරීම ඇතුළු යුද අපරාධ සිදු වූ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර තිබෙන පක්‍ෂග්‍රාහී වාර්තාව සම්පූර්ණයෙන්ම පිළිගෙන තිබෙන අතර එකී යුද අපරාධ විභාග කිරීම සදහා විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන්ගෙන් සමන්විත යුද අපරාධ අධිකරණයක් ඇති කිරීමටත්, එම අධිකරණය නඩත්තු කිරීම සදහා පිටරටින් ඍජුවම මුදල් ලබා ගැනීමට ඉඩදීමටත් ආණ්ඩුව එකග වී ඇත. එයින් නොනැවතී යුද අපරාධ සිදුකලා යැයි සැකයක් පවතින ආරක්‍ෂක හමුදා සාමාජිකයන් යුද අපරාධ අධිකරණය ඉදිරියට පැමිණවීමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි නොතිබුණත් අදාල පුද්ගලයන් පරිපාලනමය ක්‍රියාදාමයක් තුළින් ආරක්‍ෂක හමුදාවෙන් ඉවත් කිරීමටද ආණ්ඩුව එකග වී තිබේ. තවද, ලංකාවේ මහජන ආරක්‍ෂක ආඥාපනත සංශෝධනය කිරීමටත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමටත් ආණ්ඩුව එකග වී ඇත.

ජිනීවා යෝජනාවේ 16, 18, 20, යන ක්‍රියාන්විත ඡේද වලින් ලංකාවේ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් දීම සදහා බලය බෙදීමටත්, ඉහත කී සියල්ල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ අධික්‍ෂණය යටතේ කිරීමටත් එකගත්වය පල කොට තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය යනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින්ම දෝෂදර්ශනයට ලක් කර තිබෙන ආයතනයකි. මානව හිමිකම් කොමසරිස් කාර්යාලය තුල බටහිර ජාතිකයන් දරණ ආධිපත්‍ය නැති කල යුතු බවත් බටහිර රටවල මුදල් වලින් යැපීම අඩු කළ යුතු බවත් කියමින් සෑම වසරක් පාසාම මානව හිමිකම් කවුසිලය තුළ තුනෙන් දෙකකටත් වැඩි බහුතරයකින් යෝජනා සම්මත වේ. ලංකාවේ සිදු වන මේ සියළු ක්‍රියාදාමයන් අධීක්‍ෂණය කරන්නේ බටහිර රටවලට ගැතිකම් දැක්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේම දෝෂදර්ශනයට නිරන්තරයෙන්ම ලක් වන ආයතනයක් බව ජනතාව දැනගත යුතුය

ජීනීවා යෝජනාවට එකගත්වය පලකිරීමෙන් පසුව එයින් මේ රටට කිසිදු හානියක් නැතැයි කීමටත් ජනතාව අතර එයට පිළිගැනීමක් ඇති කිරීමටත් ආණ්ඩුව විවිධ උපක්‍රම භාවිතා කරන හැටි අපට පෙනෙන්නට තිබේ. යෝජිත යුද අපරාධ යාන්ත්‍රනය තුළ විදේශීය විනිශ්චයකාරවරුන් සහභාගී වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පරස්පර විරෝධී අදහස් පසුගියදා ජාත්‍යන්තර මාධ්‍යට පල කරනු අපට පෙණිනි. නමුත් ජනාධිපතිවරයාගේ නිදහස් දින කතාවෙන් පැහැදිලි වූයේ ඔහුත් අගමැතිවරයාත් අතර ජීනීවා යෝජනාව සම්බන්ධයෙන් මත ගැටුමක් සත්‍ය වශයෙන්ම නැති බවයි. ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණුඩව ගෙන ඇති තීන්දුව ජනාධිපතිවරයා අනුමත කලා පමණක් නොව ඊට විරුද්ධ උදවිය ජනතාව නොමග හරිමින් සිටින බවද කීවේය. ඔහු නිදහස් දින කතාවෙන් තවදුරටත් පවසා සිටියේ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, සංහිදියාව හා ආරක්‍ෂක හමුදාවන්ට ඇති ගරුත්වය වර්ධන වන බවයි. ඉන් පසු පෙබරවාරී 06 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය හමුවකදී ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජාතික පක්‍ෂයත් එකග වී ඇති බව නිල වශයෙන් ප්‍රකාශ වූ බවටද වාර්තාවක් ඩේලි මිරර් පුවත් පතේ පළ විය.

යුද්ධය දිනුවේ මා විසින් නායකත්ව දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවකි. යුද්ධයට හැකි සෑම අවස්ථාවකදීම අකුල් හෙලූ එක්සත් ජාතික පක්‍ෂයට අපේ පක්‍ෂය මේ ආකාරයට යටත් කර තැබීම ගැන මම කණගාටු වෙමි. 2007 අය වැය විවාදයේ දී මගේ ආණ්ඩුව පෙරලා හෝ යුද්ධය නතර කිරීමට එක්සත් ජාතික පක්‍ෂය කුමන්ත්‍රණය කල ආකාරය බොහෝ අයට තවමත් මතක ඇතුවාට සැකයක් නැත. ඒ ප්‍රයත්නය අසාර්ථක වූ පසු යුද්ධය අවසන් වන තුරුම එක්සත් ජාතික පක්‍ෂය කලේ ඕන ගොනෙකුට යුද්ද කල හැකි බවත් අලිමංකඩ යනවා යැයි කියා යුද හමුදාව පාමංකඩට යන බවත් කියමින් යුද්ධයට සරදම් කිරීමයි. මෙවන් පිරිසක් යුද අපරාධ චෝදනා එල්ල කරමින් යුද්ධය දිනූ පාර්ශවයෙන් පළිගැනීමට උත්සාහ කිරිම ගැන මම කිසිසේත්ම පුදුම නොවෙමි.

නමුත් මගේ අතිමහත් කණගාටුවට හේතුව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක්ද එක්සත් ජාතික පක්‍ෂයේ මේ රට පාවාදෙන වැඩපිළිවෙලට එකතු වී සිටීමයි. යුද්ධය ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් ලවා තමන්ගේ මේ ක්‍රියාවන්වලට සහයෝගය ලබා ගැනීමෙන් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විශාල කාලකණ්නි සන්තෝසයක් ලබන බවට සැකයක් නැත. වත්මන් ආණ්ඩුව රටත්, රණවිරුවනුත් පාවාදීමට ගෙනයන මේ වැඩපිළිවෙලට එරෙහිව පෙළගැසෙන මෙන් සියළුම ලක්වාසී ජනතාවගෙන් මම මේ අවස්ථාවේ දී ඉල්ලා සිටිමි.

Print Friendly

ETCA හෙවත් ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළදපොල හිලෑ කිරීමේ වැයම

$
0
0

සුමනසිරි ලියනගේ

සුමනසිරි ලියනගේ

සුමනසිරි ලියනගේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ඉන්දීය සංචාරයට පෙර සදහන් කලේ සර්ව ආවරණිත ආර්ථික සහභාගිත්වය පිළිබද ගිවිසුම (CEPA) පිලිබදව තම සංචාරයේදී ඉන්දියානු බලධාරීන් සමග සාකච්චා නොකරන බව ය. එහෙත් සංචාරය සමග අපට අසන්නට ලැබුනේ එතෙක් සාකච්චාවට ලක් වෙමින් තිබු සර්ව ආවරණිත ආර්ථික සහභාගිත්වය පිළිබද ගිවිසුම (CEPA) වෙනුවට ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් (ETCA) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට කටයුතු සම්පාදනය කෙරෙන බව ය. මෙය ඉදිරි මාස කිහිපය තුල අත්සන් කෙරෙන බව ද ප්‍රකාශයට පත්ව ඇත. එමෙන්ම මෙම ගිවිසුමේ අසම්පුර්ණ ඉංග්‍රීසි පිටපතක් මේ වන විට එම ප්‍රශ්නය පිළිබද උනන්දුවක් දක්වන පිරිස් අතර සංසරණය වෙමින් පවතින බව ද නොරහසකි. මේ වන විටත් මෙම ප්‍රශ්නය ගැන කතිකාවක් ඇරඹි ඇත. මෙම ගිවිසුම සහ එහි ප්‍රථිපල ගැන මෙන්ම එය ශ්‍රී ලංකාවට කෙසේ බල පාන්නේ ද යන්න ගැන සාකච්චාව මෙය ලියන නිමේෂය වනතුරු බොහෝ දුරට වෘත්තියවේදීන්ට සිමා වී ඇති බවෙක් ද පෙනෙන්නට ඇත. මෙරට දේශපාලන පක්ෂ අතරින් මෙම කෙටුම්පත ගැන මා දන්නා තරමින් විස්තරාත්මක විග්‍රහයක් කර ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණි. හිටපු විදේශ ඇමති මහාචාර්ය ජි එල් පිරිස් දැනට ක්‍රියාත්මක වන ඉන්දීය ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම 2000 සිට ක්‍රියාත්මක වූ අයුරු ගැන කල පසු විපරමක් ඇසුරෙන් ETCA ගැන කිසියම් අනතුරු ඇගවීමක් කර තිබිණ. මා දන්නා තරමින් එය පල වුයේ ඉංග්‍රීසි පුවත් පත් වල පමණි. මා මෙම ලිපියෙන් අදහස් කරන්නේ ETCA පිළිබද විග්‍රහයක් හැකිතාක් සරලව ඉදිරිපත් කිරීමට ය.

දකුණු ආසියාතික කලාපයේ රටවල් (ඉන්දියාව, පකිස්තානය, බංගලා දේශය, ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය, මාල දිවයින සහ ඇෆ්ඝනිස්ථානය) අතර ආර්ථික සහයෝගිතාවය වර්ධනය කිරීම එකී රටවල් විජිත ග්‍රහණයෙන් මිදුන තැන් සිටම වාගේ අවධාරණය කල කරුණෙකි. එවන් ගිවිසුම් වෙනත් කලාපයන්හි ඇතිවන අතර දකුණු ආසියාව ඒ දෙසට ගමන් ගත්තේ මන්ද ගාමිව ය. මෙහි ලා වැදගත් නිශ්චිත පියවරක් වුයේ කලාපිය සහයෝගිතාවය පිළිබද දකුණු ආසියානු ගිවිසුම (SAARC) අත්සන් කිරීම ය. ආරම්භයේ සිටම එය විවිධ සැකයයන් හා විචිකිච්චාවන් මත ගොඩ නැගුනකි. කෙසේ වුව ද සාක් සංවිධානයට මෙම වසර වනවිට වසර 30ක් ගෙවින. වසර 30ක් එකට සිටීම ද ජයග්‍රහණයකි. කලාපිය අභ්‍යන්තර වෙළදාම ප්‍රවර්ධනය කිරීම අරමුණෙන් සාක් සංවිධානය ප්‍රධාන වෙළද ගිවිසුම් දෙකකට අත්සන් තැබුවේ ය. ඒ දකුණු ආසියා වරනාත්මක වෙළද ගිවිසුම (South Asian Preferential Trade Agreement) සහ එයින් ඔබ්බට යමින් දකුණු ආසියා නිදහස් වෙළද ගිවිසුම (South Asian Free Trade Agreement) ය. මෙම ගිවිසුම් දකුණු ආසියාතික කලාපයේ රටවල් අතර ආර්ථික සහයෝගිතාවය වර්ධනය කිරීම සදහා ගත ඉදිරි පියවරයන් හැටියට නම්කළ හැකි වුව ද එම ගිවිසුම් වල ප්‍රායෝගික ජයග්‍රහණයන් බෙහෙවින් සීමිත ය. සප්ටා සහ සෆ්ටා අපේක්ෂිත ලෙස දකුණු ආසියා කලාපය තුල වෙළදාම ප්‍රසාරණය නොවීමට බලපාන හේතු ගණනාවකි. ඒවා දේශපාලන සාධක සමග මිශ්‍ර වීම නිසා එම සාධකයෝ වඩාත් සංකීර්ණ වුහ. මෙම ප්‍රශ්නයට සාමාජික රටවල් ආමන්ත්‍රණය කලේ එකී ප්‍රශ්න විසදා ගැන්මට යාම මගින් නොව ඒ වෙනුවට ද්විපාර්ශවිය ගිවිසුම් ඇති කර ගැන්මෙන් ය. ඉන්දීය ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම (ISLFTA) එවැන්නකි. සර්වා ආවරණිත ආර්ථික සහභාගිත්වය පිළිබද ගිවිසුම (CEPA) යෝජනා කිරීමෙන් ඉන්දියාව අදහස් කලේ ඉන්දීය ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම මගින් ආවරණය නොවූ අංශ ද ඇතුලත් වන පරිදි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික ගනුදෙනු පරිමාණය සහ අන්තර්ගතය පුළුල් කිරීමට ය.

ඇස් බැන්ඳුමක්

CEPA ගිවිසුම අත්සන් කිරීමට ඉන්දියාව දැඩි උත්සාහයක් ගත්ත ද මෙරට දේශිය කාර්මික කරුවන් සහ වෘත්තිකයන්ගේ බලවත් නොසතුට හේතු කොටගෙන පහුගිය රජය විවිධ හේතුන් ඉදිරිපත් කරමින් එය අත්සන් කිරීමෙන් කට්ටි පැන්නේ ය. එනයින් CEPA ගිවිසුම සාකච්චා මට්ටමෙන් ඔබ්බට ගියේ නැත. “යහපාලන” ආණ්ඩුව තැත් කරන්නේ වෙනත් නමකින් එම ගිවිසුමට අන්තර්ගතය අතින් බෙහෙවින් සමාන ETCA ගිවිසුම අත්සන් කිරීම ය. මෑතකදී මෙරට විද්වතුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට යැවු ලිපියකින් අලුත් ආණ්ඩුව ආර්ථික ජාතිකවාදී වැඩ පිළිවෙල සම්පුර්ණයෙන් අමතක කිරීමට ගන්නා උත්සාහය ගැන තම නොසතුට පළකර සිටියහ. එකී විද්වතුන් ඉදිරිපත් කර ඇති ආර්ථික ජාතිකවාදී ප්‍රවේශයකින් බලන්නේ නම් ETCA මෙම මොහාතේ මෙරටට අවශ්‍ය ද? එම ගිවිසුම හරහා මෙරට ආර්ථික සංවර්ධනයට ධනාත්මක බලපෑමක් ඇතිවෙයි ද? ETCA පිටුපස ඉන්දියාවේ අභිප්‍රායයන් මොනවා ද? ETCA අත්සන් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ඉක්මන් වන්නේ මක් නිසා ද? මෙම සහ මෙයට ඇදුන ප්‍රශ්න බරපතල ලෙස සාකච්ඡා කිරීම රට ගැන කල්පනා කරන හැම කෙනෙකුගේ යුතු කමකි.

ETCA අත්සන් කළහොත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සේවා වෙළදාම සම්බන්ධ සිමා ඉවත් කෙරේ. එම සේවා අතරට, වෘත්තිය සේවාවන්, පර්යේෂණ සහ සංවර්ධන සේවාවන්, අධ්‍යාපන සේවාවන්, විදුලි සංදේශ සේවාවන්, ඉදිකිරීම් ආශ්‍රිත ඉංජිනේරු සේවාවන්, පරිගණක සේවාවන්, ඉඩම් ගනුදෙනු ආශ්‍රිත සේවාවන්, සෞඛ්‍ය සහ සමාජීය සේවාවන්, පරිසර සේවාවන්, සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවාවන් වැනි සේවා අංශ සම්පුර්ණයෙන්ම ඇතුලත් වේ. සරලව සදහන් කළහොත් කුණු එකතු කිරීමේ සිට වෛද්‍ය සේවා සැපයීම දක්වාත්, ඉඩම් හුවමාරු ගනුදෙනු සම්බන්ධ සේවාවල සිට මහාමාර්ග දුමරිය මාර්ග ඉදිකිරිම ආශ්‍රිත සේවා දක්වාත්, කරනවෑමියන්ගේ සිට පරිගණක ඉන්ගිනේරු සේවා දක්වාත් සියලු සේවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහසේ හුවමාරු කල හැකි භාණ්ඩ බවට පත්වෙනු ඇත. CEPA උත්සාහ කල දේ මෙයට බොහෝ දෙයින් සමාන ය. ඇත්තටම පෙනෙන්නේ අරමුණු සහ අන්තර්ගතය අතින් එය CEPA ගිවිසුම සංශෝධනය කිරීමෙන් සකස් කල එකක් බව ය.

මෙවන් ගිවිසුමක් අත්සන් කිරීම සාධාරණියකරණය කිරීමට ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ එමගින් දෙරටටම වාසියක් අත්වන්නේ ය ප්‍රස්තුතය ය. විවිධ රටවල් සාපේක්ෂ වූ වාසිදායක තත්ත්වයනට හිමිකම් කියයි. එමනිසා රටවල් අතර වෙළදාම මගින් එයට සම්බන්ධ රටවල් හැම එකකටම පෙර තිබු තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් ලගා කර ගත හැක. 19 වෙනි සියවස මුල ඩේවිඩ් රිකාඩෝ නමැති ආර්ථික විද්‍යාඥයා ඉදිරිපත් කර මෙම තර්කය නිවැරදි එකක් වන්නේ ඉතාමත් විශේෂ වූ තත්ත්ව යටතේ ය. එහෙත් එම විශේෂ වූ තත්ත්ව සාමාන්‍ය තත්ත්වය ලෙස සලකා ආර්ථික ආදර්ශ සකස් කරන ආර්ථික විද්‍යාඥයෝ ජාත්‍යන්තර වෙළදාම පිළිබද සහමුලින්ම සාවද්‍ය නිගමනයනට එළඹීමට දෙෂපාලනඥයනට උපදෙස් දෙති. මෙවන් ගිවිසුමකින් ඉන්දියාවට විශාල වාසියක් ලැබිය හැකි හෙයින් ඉන්දීය ආණ්ඩුව සහ එහි උපදේශකවරුන් මෙවන් ගිවිසුමක් ලංකාව මත පැටවීමට උත්සාහ ගන්නේ මක් නිසා ද යන්නේ තේරුම් ගැන්ම අපහසු නොවේ.

කෙසේ වුව ද කඩි මුඩියේ මෙවන් ගිවිසුමක් අත්සන් කර ගැන්මට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට අවශ්‍ය මන් ද? මෙය තේරුම් ගැන්මට නම් මෙම නිගමනය, ‘යහපාලන’ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබා ඇති කෙටි සහ මැදිකාලින ආර්ථික මුලෝපාය සමග සම්බන්ධ කොට කියවිය යුතු ය. එය ද ප්‍රමාණවත් නොවේ. මෙම කරුණ නිසි පරිදි වටහා ගැන්මට දේශපාලන ආර්ථික විද්‍යා ප්‍රවේශයක් අවශ්‍ය වේ. ‘යහපාලන’ ආණ්ඩුව බලයට පත්වීම සමග, ශ්‍රී ලංකාව බටහිර අක්ෂිගත වීමේ දිසානතියක් පෙන්වයි. ඉන්දියන් සාගරය තුල ඉන්දියාවේ වුවමනාවන් බටහිර රටවල් සමග සමපාත වන හෙයින් ඉන්දියාව සහ බටහිර රටවල් ‘යහපාලන’ ආණ්ඩුව බිහිවීමට වින්නඹු දායකත්වය සැපයි ය. ඒ හරහා මෙවන් ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකාව මෙහෙයවීමට ඉන්දියාවට හැකිකමක් ද ඇත. ඒ අනුව අපට හේතු දෙකක් වෙන් කල හැක. පලවැන්න වන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළද පොළ හිලෑ කර පාලනය කිරීමට ආණ්ඩුවේ කෙටි සහ මැදිකාලින ආර්ථික මුලෝපාය තුල ආණ්ඩුවට ඇති වුවමනාව ය. ඉන්දීය ශ්‍රමික තරගය ශ්‍රී ලංකා ශ්‍රම වෙළද පොලට හදුන්වා දීම මගින් පහත වැටුප්, අයහපත් වැඩ තත්ත්ව සහ දුර්වල කම්කරු නීති ක්‍රියාවට නැගීම පහසු කෙරෙනු ඇත. එමගින් විදේශ සහ දේශීය ප්‍රාග්ධන ආයෝජනයට රුකුලක් ලබා ගත හැකි යැයි ආණ්ඩුව අපේකෂා කරනු ඇත. දෙවැනි හේතුව වන්නේ, ඉන්දියාව සතුටු කිරීමට ‘යහපාලන’ ආණ්ඩුවට ඇති දේශපාලන වුවමනාව ය. එය මෙරට මහජන අභිමතයට එරෙහි සහ ජාතික ස්වාධිනත්වය දුර්වල කෙරෙන සාධකයක් බව පුන පුනා කීම අනවශ්‍ය ය.

අවම ලන්සුව කුමක් ද?

මෑතකදී මෙරට විද්වතුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට යැවු ලිපියකින් අවධාරණය කල ආර්ථික ජාතිකවාදය යනු ආවෘත ආර්ථිකයකට ආපසු යාමේ යෝජනාවක් නොවේ. විවෘත ආර්ථිකයක් තල ජාතික ආර්ථික වුවමනාවන් තීරණ ගැන්මේ දී මුල් තැනක ලා සැලකිය යුතු ය යන යෝජනාවකි එය. එවන් තීරණ ගැන්මේ ක්‍රියාවලියක දී ETCA වැනි ගිවිසුමක් අත්සන් කිරීමට පෙර අඩුම ලන්සුවෙන් සලකා බැලිය යුතු කරුණු දෙකකි. පලවැන්න, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගෙන මේ වනවිට ක්‍රියාත්මක වන ආර්ථික ගනුදෙනු පිළිබද ගිවිසුම් වල ප්‍රගතිය ය. දෙවැන්න, අලුත් ගිවිසුමේ වගන්ති ප්‍රකාර අතිවිය හැකි ප්‍රථිපල කුමන ස්වභාවයක් ගන්නේ ද යන්න ය. මෙම කරුණු අපි කෙටියෙන් සලකා බලමු.

ඉන්දීය ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම (ISLFTA) මේ වනවිට වසර 15ක් ක්‍රියාත්මකව ඇත. ඒ මගින් රටවල් දෙක අතර භාණ්ඩ වෙළදාමේ පරිමාව බෙහෙවින් වැඩි වී ඇත. එනම් ශ්‍රී ලංකාව ඉන්දියාවට අපනයනය කරන භාණ්ඩ පරිමාව මෙනම් ඉන්දියාව ශ්‍රී ලංකාවට අපනයනය කරන භාණ්ඩ ප්‍රමාණය ද වැඩි වී ඇත. එම කරුණ පමනෙක් සැලකිල්ලට ගතහොත් ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. එහෙත් අප දෙරට අතර වෙළදාමේ පරතරය සැලකිල්ලට ගතහොත් මෙම වසර 15 තුල එය තව දුරටත් ශ්‍රී ලංකාවට අවාසි වන ආකාරයට හැසිරී ඇත්තේ ය. මෙයට හේතුව ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ භාණ්ඩ වල පරිමාව සහ වටිනාකම විශාල වශයෙන් වැඩිව ඇති අතර ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට යැවූ භාණ්ඩ වල පරිමාව සහ වටිනාකම වැඩිව ඇත්තේ දෙරට අතර වෙළද ශේෂය ශ්‍රී ලංකාවට තව දුරටත් අවාසි වන පරිද්දෙනි. 1 වෙනි සටහන බලන්න.SL

මෙසේ වීමට ප්‍රධාන හේතුව බදු නොවන සිමාකරණයන් බරපතල ලෙස ශ්‍රී ලංකා අපනයනයන්ට එරෙහිව ඉන්දියාව විසින් ක්‍රියාත්මක කරනු ලබන හෙයිනි. එමනිසා වර්තමානයේ ක්‍රියාත්මකවන ගිවිසුම් වල මෙම අසමමිතිකතා පිළිබද නිරවුල් කර ගැන්මක් නොකොට නව ගිවිසුම් වලට යාමෙන් ඇතිවිය හැකි ප්‍රතිපල කවරේ ද?

අත්සන් කරන්නට යන ETCA ගිවිසුම ISLFTA වලින් ඔබ්බට ගොස් අප මුලින් පෙන්වූ ආකාරයට සේවා අංශ ද ආවරණය කර ගත්තකි. එමගින් විවිධ වෘත්තින් සදහා දෙරට අතර ශ්‍රමය හුවමාරු කර ගත හැකිවේ. මෙවන් ගිවිසුමකින් ශ්‍රී ලංකාවට වාසියක් ලැබිය හැක්කේ ගිවිසුම ඇති කරගන්නා රටේ ශ්‍රමය සදහා ගෙවීම ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් ඉහල අගයක පවතින්නේ නම් සහ ශ්‍රම සැපයුම ගත්විට දෙරට අතර සමතාවයක් පවතින්නේ නම් ය. අඩුම තරමේ දෙරට අතර ගනුදෙනුව සමතල බිමක කෙරෙන්නක් (level playing field) නම් ය. මෙහිදී තත්වය බෙහෙවින් ඉන්දියාවට වාසි වන්නකි. ඉන්දියාවේ ශ්‍රම අතිරික්තය යොදා ගනිමින් මෙරට හැම අංශයකම වගේ ශ්‍රම වෙළදපොල හිලෑකර හැසිරවීමට හැර මෙමගින් වෙන යහපතක් නම් දැකිය නොහේ. අවසාන වශයෙන් කිව යුත්ත වන්නේ මෙවන් ගිවිසුමක් සේවා ආවරණය වන ලෙස අත්සන් කිරීමට පෙර මෙරට සේවාවන්හි තත්වයන් සහ සැපයුම ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතුව තිබේ. එය කල හැක්කේ දිගු කාලීනව වෛද්‍ය, ඉංජිනේරු, ශිල්පිය සහ වෙනත් සේවාවන ශක්තිමත්ව සැපයිය හැකිවන පරිදි අධ්‍යාපන විය හියදම් වැඩි කොට එහි ගුණාත්මක බව ප්‍රවර්ධනය කිරීමෙන් ය. එසේ නොවේනම් මෙවන් ගිවිසුමක් හේතු කොටගෙන අප රටේ සීමිත විශේෂඥ සේවා සපයන්නන් තව දුරටත් මේරට රැදී සිටීම වෙනුවට ඉහල වැටුප් තල ඇති රටවලට සංක්‍රමණය වීම ය. නතර කරගත යුතු බුද්ධිගලනය තව දුරටත් ශක්තිමත් වීම ය. ශ්‍රී ලංකාවේ පරායත්තබාවය තවදුරටත් ප්‍රවර්ධනය වීම ය.

Print Friendly

ගායිකාවට බැල්ලියක් කී මාධ්‍ය සහ අපේ ගමන් මග​​

$
0
0

රනිල් වික්‍රමසිංහ

ඌව පළාත් සංවර්ධනය කරන ආකාරය පිළිබඳව අප බදුල්ලේදී සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ පාලනය යටතේ ආර්ථික සංවර්ධන ඇති කිරීමටත් නව ආයෝජන අවස්ථා බිහි කිරීමටත් ජාතික ආණ්ඩුවට හැකියාව ලැබුණා.

අද හම්බන්තොට ප්‍රදේශය සිමෙන්ති කාන්තාරයක තත්ත්වයෙන් මුදා ගන්නට අපට හැකිවී තිබෙනවා. එම ප්‍රදේශයටද ආයෝජකයන් විශාල වශයෙන් පැමිණීමට නියමිතය.

නැව් නිශ්පාදනය කිරීමේ මෙන්ම අලූත්වැඩියා කිරීමේ කර්මාන්තශාලා එම ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකෙරෙනවා. එහි වාසිය මොණරාගලටත් ලැබෙනවා.

Ranilබදුල්ල ප්‍රදේශයේ කෘෂි කර්මාන්ත, තොරතුරු තාක්‍ෂණය දියුණු කිරීමට නියමිතයි.

අපේ සංවර්ධන වැඩසටහන පිළිබඳව අද අපට බය නැතුව කතා කරන්න පුළුවන්. අප දුන් පොරොන්දු සියල්ලක්ම අප ඒ ආකාරයෙන්ම ඉටු කරනවා.

අප බිහිකර තිබෙන්නේ ජාතික ආණ්ඩුවක්. ජනතාව අපෙන් ජාතික ආණ්ඩුවක් ඉල්ලා සිටියා. ජනතාව අපෙන් බලාපොරොත්තු වූයේ අලූතින් හිතන ආණ්ඩුවක්.

පක්‍ෂ දේශපාලන ක්‍රමය යටතේ මෙතෙක්කල් එක් පක්‍ෂයක් පමණක් ආණ්ඩු බලය ලබා ගත්තා. එහිදී බොහෝ විට මහජනතාවගේ ප්‍රශ්න විසඳුණේ නෑ. මහජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට සිදු වූයේ ප්‍රශ්න තවත් උග්‍ර වීමයි.

නමුත් අප අලූතින් සිතන්න පෙළඹි සිටිනවා ජනතාව සමග වැඩකටයුතු කිරීම අපගේ පළමු යුතුකමයි.

ජාතික ආණ්ඩු පිහිටුවීමේ අරමුණ කුමක් ද? ජාත්‍යන්තර ප්‍රශ්නවලට අප මුහුණ දුන්නා. ලංකාව ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම පිළිබඳ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ආර්ථිකය මෙන්ම දූෂණය පිළිබඳ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. එම ප්‍රශ්න සියල්ලටම මුහුණ දී සාර්ථක විසඳුම් ලබා ගැනීමට එක පක්‍ෂයකට කළ නොහැකි නිසා අප ජාතික ආණ්ඩුවක් පිහිට වූවා.

අප යන ගමනේදී නව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිකළ යුතුයි. සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කළ යුතුයි. අප සියලූම දෙනා එකිනෙකාට ගරු කරන සමාජයක් බිහි කළ යුතුයි. ලෝකය අප පිළිගන්නේ එම යහපත් සමාජය බිහි කරන විටයි.

අපේ ජාතික ගීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල හා දෙමළ භාෂාවලින් සඳහන් වෙනවා. ව්‍යවස්ථාවේ සඳහන් පරිදි අප ජාතික නිදහස් දිනයේදී පළමුවෙන්ම ජාතික ගීය සිංහලෙන් ගායනා කළා. ඊට පසුව ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කළා. එය ප්‍රශ්නයක් නොවේ. තමන් කැමැති ආකාරයට වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබිය යුතුයි.

ඒ වගේම අප තවත් වැදගත් පියවරක් ගත්තා. එනම් කාන්තාවන් සඳහා නියම මහජන නියෝජනයක් ලබාදීම එම පියවරයි. පළාත් පාලන ආයතනවල සාමාජිකත්වයෙන් සියයට විසිපහක් කාන්තාවන් සඳහා වෙන් කිරීමට අප කටයුතු කළා. මේ අනුව කිසිදු පළාත් පාලන ආයතනයක කාන්තා නියෝජනය සියයට විසිපහට වඩා අඩුවන්නේ නෑ. අවශ්‍ය නම් කාන්තා නියෝජනය සියයට සියය දක්වා වැඩිවීමටත් අවස්ථාව තිබෙනවා.

අනෙක් අතට පළාත් පාලන ආයතනවල පිරිමි නියෝජන උපරිමය වන්නේ සියයට හැත්තෑපහක් පමණයි.

මෙරට ඡන්ද දායකයන්ගෙන් සියයට පනස් දෙකක් කාන්තාවන්. එහෙත් පාර්ලිමේන්තුවෙත්, පළාත් සභාවෙත්, ප්‍රාදේශීය සභාවෙත් කාන්තා නියෝජනය සියයට පහයි. මේ තත්ත්වය නිසා කාන්තාවන්ට උවමනා හඬ පාර්ලිමේන්තුවේ නැහැ. පසුගිය පාර්ලිමේන්තුවේ සිටියේ කාන්තාවන් හයයි. රාජපක්‍ෂවරුන් හතක් සිටියා. එහෙම තත්ත්වයකට රට මුහුණ දී සිටියා. මේ තත්ත්වය වෙනස් කළ යුතුව තිබෙනවා.

කාන්තාවන්ට බලපාන ප්‍රචණ්ඩත්වය, සේවා ස්ථානයේදී කාන්තාවට මුහුණදීමට සිදුවන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, නිවසේ ප්‍රශ්න විසඳා ගැනීමටත් ඔවුන්ට සම අවස්ථා ලබා ගැනීමටත් පිරිමි අය පමණක් කතා කිරීමෙන් හැකිවන්නේ නැහැ. ඒ සඳහා කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි.

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට විසිපහ දක්වා වැඩිකළේ පළමු පියවර ලෙසයි. අප ලැයිතුවකට අනුව මෙම තේරීම් කරනවා. අනෙක් අයට කොට්ඨාශ මට්ටමින් තේරී පත්වන්න හැකියාව තිබෙනවා. ප්‍රාදේශීය සභාවල මෙන්ම පළාත් සභාවල මේ ක්‍රමය ක්‍රියාත්මක කරනවා.

පළාත් සභාවල හා ප්‍රාදේශීය සභාවල සිටින කාන්තා පිරිස සියයට 30-35 පමණ වන විට පාර්ලිමේන්තුවට එන කාන්තා පිරිසත් වැඩිවෙනවා.

කාන්තා නියෝජන පනත පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අප සියලූ දෙනා එකඟ වුණා. මේ පනත පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට තීරණය වී තිබුණා. එමෙන්ම මේ පනත පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත කරන බවට අප එකඟවී සිටියා. ඒත් මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී රාජපක්‍ෂ ප්‍රතිගාමී කල්ලිය මෙය කඩා කප්පල් කිරීමට උත්සාහ කළා. කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් කළ මේ පනතට ඡන්දය නොදී සිටීම ඔවුන්ගේ අරමුණ වී තිබුණා. මේ පනත ඉදිරිපත් කිරීමට ඉඩ නොදීම ඔවුන්ගේ අරමුණ වුණා.

මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන හෙයින් ඒ පිළිබඳව සාකච්ඡා කරමු යැයි මා දැනුම්දී තිබුණා. අවශ්‍ය නම් තවත් දිනක ඡන්ද විමසීම කරමු යැයි මා පැවැසූවා. මේ පනත ඉදිරිපත් කරන්න බැරි බව ඔවුන් කිව්වා. ඊට පස්සේ සභාගර්භයට බැහැලා මීට විරුද්ධව කෑ ගහන්න පටන් ගත්තා.

කාන්තාවන් වෙනුවෙන් ගෙන ආ මේ පනතට බාධා කිරීම සාධාරණද කියා මා කාන්තාවන්ගෙන් අහනවා. කාන්තාවන් ලෙස එය ඔබ තීරණය කරන්න.

එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය ලබා දුන්නත්, සන්ධානයට ඡන්දය දුන්නත්, ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්නත්, ද්‍රවිඩ සන්ධානයට ඡන්දය දුන්නත් ඒ සෑම කාන්තාවකටම බලාපොරොත්තුවක් තිබෙනවා. තමන් ඡන්දය ලබාදුන් පක්‍ෂය තමන් වෙනුවෙන් ඉදිරිපත් වනු ඇතැයි එම බලාපොරොත්තුවයි. තම පක්‍ෂය තමා වෙනුවෙන් නියෝජනය ලබා දෙනවා යැයි ඔවුන් කල්පනා කරනවා.

නමුත් කාන්තා නියෝජන පනත අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට සිදුවූයේ කුමක්ද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනතා නියෝජිතයන් සියලූ දෙනාම ඊට සහයෝගය ලබාදුන්නා. නමුත් සන්ධානයේ රාජපක්‍ෂ කල්ලිය එම සහයෝගය ලබානොදී බාධා කළා. මේ කණ්ඩායමට කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කිසිම කැක්කුමක් නැති බව ඔබ හොදින්ම මතක තබා ගන්න. ඔවුන්ට කාන්තාව පිළිබඳව කිසිම කැපවීමක් නැහැ. ‘ගෙදර බුදුන් අම්මා’ යැයි නිකන් කියාගෙන යනවා. එහෙම කියලා ගෙදර බුදුන් අම්මාගේ පිළිමය බිම ගහනවා. ඔවුන් හැසිරෙන්නේ ඒ ආකාරයටයි. මොවුන් කාන්තාවට සේවය කරාවි යැයි විශ්වාස කළහැකිද? මේ කරුණ අප හොදින් සිහියේ තබා ගත යුතුයි. එමෙන්ම ගමින් ගමට ගොස් ජනතාව දැනුම්වත් කළ යුතුයි. කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් කරන මෙම පනතට රාජපක්‍ෂ කල්ලිය විරුද්ධ වුණා. අප මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකලානම් නැවතත් එය ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නැහැ. මේ පනත අප ඉදිරිපත් කළේ එදා අප ගත් නිර්භීත තීරණය නිසයි.

ඒ රාජපක්‍ෂ කල්ලිය කාන්තාවන්ට විරුද්ධයි. ඔවුන්ට අවශ්‍ය කාන්තා නියෝජනය නොවේ. තමන්ගේ නියෝජනය පමණයි. යහපාලන රජයේ යටතේ කාන්තාවන්ට නියම ආකාරයෙන් සැලකිය යුතුයි. ඊට අවශ්‍ය වන මූලික නීතිය අප ගෙන එනවා. කාන්තාවන්ට කුණුහරුපයෙන් බනින්නට කිසිවකුටත් බැහැ.

ජාතික දින උත්සවයෙන් පසු පැවැති ප්‍රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ එම ගායිකාව බැල්ලියක් කෑ ගසනවා යැයි දෙරණ ප්‍රවෘත්ති විකාශයේදී කියන ආකාරය මා දුටුවා.

ඕනෑම ගීතයක් බටහිර ක්‍රමයට ගායනා කළාද, පෙරදිග ක්‍රමයට ගායනා කළාද, චීන ක්‍රමයට ගායනා කළාද, අයිස්ලන්ත ක්‍රමයට ගායනා කළාද වශයෙන් ශාස්ත්‍රීය විවේචනයක් කළ හැකියි. හොඳ මෙන්ම විවේචනය කරන්නත් අයිතිය තියෙනවා. එමෙන්ම ප්‍රශංසා කරන්නත් අයිතිය තියෙනවා. නිහඬව කිව්වාද, වචනවලින් කිව්වාද, නටලා ගායනා කළාද, ඒ ඕනෑම දෙයක් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. නමුත් ගීයක් ගායනා කළ කාන්තාවකට බැල්ලියක් යැයි පැවසීමට රූපවාහිනි නාලිකාවකට අයිතියක් තිබේද? ගුවන් විදුලි නාලිකාවකට එම අයිතිය තිබේද? මුද්‍රිත මාධ්‍යයෙන් එවැනි දෙයක් කියන්න අයිතිය තිබෙනවාද? මෙවැනි අයිතියක් තිබෙන්නේ කාටද? තමන් හිතුවොත් ඕනෑම කෙනෙකුට බැල්ලි කියා කතා කරනවා.

රාජපක්‍ෂ යුගයේ නම් ඕනෑම කෙනෙකුට මාධ්‍යයෙන් බනින්න පුළුවන්. අපි ඔක්කොටම එහෙම බැන්නා. පරණ පුරුදු ඇති සට්ටැඹිරාළලා ගණනාවක් තවමත් මාධ්‍යයේ සිටිනවා. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය එවැනි අය බහුලව සිටිනවා. ඒවා දැන් කරන්නට බැරි බව මා අවධාරණය කරනවා. ගුවන් විදුලිය හෝ වේවා රූපවාහිණිය හෝ වේවා මෙම මාධ්‍ය අයිති එම සමාගම්වලට නොවේ. එම විකාශන බලපත්‍ර ලබා දෙන්නේ රජයෙන්. මේවා අයිති ජනතාවටයි. මේ රටේ ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන්. කාන්තාවන්ට බැල්ලියක් යැයි බනින කණ්ඩායමක් අප විශ්වාස කරන්නේ කෙසේද? එසේ නම් අප ඔවුන්ට අවශ්‍ය දේ දෙන්න සූදානම් නෑ. රජයේ විකාශන බලපත්‍ර පාවිච්චි කරලා මේ වගේ වැඩ කරන්න ඉඩ දෙන්නේ නෑ. එම නිසා මා ඒ සමාගමේ ප්‍රධානීන් කැදවනවා. මේ පිළිබඳව විනය පරීක්‍ෂණ කළාදැයි මම ඔවුන්ගෙන් විමසනවා. එමෙන්ම මේ ප්‍රකාශයට සමාව ගන්නවාද නැද්ද යන්න විමසා ඊට පසුව අප තීරණයක් ගන්නවා. රාජපක්‍ෂ යුගයේදී මෙන් මිනිසුන්ට බැන්න කාලය දැන් ඉවරයි. දැන් ටිකක් හැදෙන්න. වගකීමක් ඇතිව වැඩ කරන්න. ජාති වාදය අදින්න යන්න එපා. මෙවැනි දේට අප ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා.

කාන්තාවන්ට හරියට සලකන්න. මාධ්‍යයේ මෙන්න පාර්ලිමේන්තුවේ රාජපක්‍ෂ කල්ලිය කාන්තාවන්ට සැලකීමට විරුද්ධ වීම පිළිබඳව මා පුදුමයට පත් වන්නේ නැහැ. කාන්තාවට මේ අයුරින් කතා කිරීම පළමුවෙන්ම ඒ අය හෙළා දකිවී යැයි මා කල්පනා කළා. මෙවැනි දේ හෙළා දැක ආණ්ඩුවට ෙදාස් කියාවී යැයි මා සිතුවා. නමුත් ඔක්කොම යන්නේ එක මාර්ගයේ නිසා එවැනි දෙයක් සිදුවූයේ නැහැ.

මාධ්‍යයේ විකාශන අයිතිය පාවිච්චි කොට කාන්තාවන්ට, ජාතියකට හෝ කිසිම ආගමකට අපහාස වන අයුරින් කටයුතු කිරීමට නොදෙන බව මා කියන්න කැමැතියි.

ඒ පිළිබඳව විදුලි සංදේශ කොමිසම සමග ද සාකච්ඡා කොට අදාළ පියවර ගන්නවා.

අගමැතිතුමා මේ අය නවත්වන්න හැදුවා යැයි සමහර මාධ්‍යවේදීන් කෑ ගසාවී. මෙවැනි අසභ්‍ය වචන පාවිච්චි කරද්දී නිහඬව සිටියේ මන්දැයි මා ඔවුන්ගෙන් විමසනවා. රටේ මතය කුමක්දැයි අප බලමු. මෙවැනි දේ බය නැතුව විකාශය කළානම් ඔවුන් ඒ ස්ථාවරයේම ඉන්නවාද නැද්ද යන්න අප බලාගෙන ඉන්නවා.

අපගේ ජාතික ආණ්ඩුව කාන්තාවන්ට නිසි තැන ලබා දීමට පියවර ගන්නවා. අප තැබූ පියවර ආපස්සට ගන්නේ නැහැ. ඉදිරියට ගිහින් ඒ ක්‍රියාමාර්ග ගන්නවා.

*බදුල්ල, හෙරිටේජ් හෝටලයේදී 2016.02.13 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාධ්‍යයට කරනු ලැබූ විශේෂ ප්‍රකාශය.

Print Friendly

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කන්නද?

$
0
0

ජයතිලක ද සිල්වා

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන විවාදය දිනෙන් දින උණුසුම් වෙයි. එවැනි ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් දැක්වීම්, එවැනි ප‍්‍රතිසංස්කරණ කොපමණ දුරට ප‍්‍රායෝගිකද යන්න පිළිබඳව පමණක් නොව, එකී සමස්ථ ව්‍යපෘතියම කෙතරම් වැඩකට ඇති දෙයක්ද යන්න දක්වා විහිදෙයි. මේ දෙවැනුව කී මතය ඉදිරිපත් කරන සමහරුන් සාමාන්‍ය ව්‍යවහාරයේදී ඒ ගැන ප‍්‍රශ්න කරන්නේ, ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කන්නද?’ යනුවෙනි. මේ නරුම ප‍්‍රශ්නය ඇසෙන්නේ, එය නගන බොහෝ දෙනා තුළ ඒ ගැන ඇති නොදැනුමක් නිසාම නොව. ඇත්තෙන්ම ඉන් සමහරෙකු නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් දශක ගණනක් තිස්සේ උද්ඝෝෂණය කොට තිබේ. එපමණක් නොව, ඒ සඳහා ඉදිරිපත් කරන ලද නව ආණඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත්වල කර්තෘවරුන් වශයෙන්ද ඔවුහූ අතීතයේ කි‍්‍රයා කොට ඇත්තාහ.

අලූත් ව්‍යවස්ථාවක තිබිය හැකි යැයි තමන්ම හිතින් මවා ගත් එවන් කාරණා ගැන විවේචන ඉදිරිපත් කරන කණ්ඩායමේ එක් නීති විශාරදයෙක් ද සිටී. අද ඔවුන් විවේචනය කරන කරුණුම අඩංගු ව්‍යවස්ථා කෙටුම්පතක් මීට කලකට ඉහතදී සකස් කරන ලද්දේද ඔහු විසින්මයි. සමහර විට මේ අසරණයා දැන් ඔල්මාදයෙන් පෙලෙනවා විය යුතුය.

අලුත් ව්‍යවස්ථාවක තිබිය හැකි යැයි තමන්ම හිතින් මවා ගත් එවන් කාරණා ගැන විවේචන ඉදිරිපත් කරන කණ්ඩායමේ එක් නීති විශාරදයෙක් ද සිටී. අද ඔවුන් විවේචනය කරන කරුණුම අඩංගු ව්‍යවස්ථා කෙටුම්පතක් මීට කලකට ඉහතදී සකස් කරන ලද්දේද ඔහු විසින්මයි. සමහර විට මේ අසරණයා දැන් ඔල්මාදයෙන් පෙලෙනවා විය යුතුය.

මේ නිසා, මෙකී ප‍්‍රශ්න මතු කරන්නේ, ඒ ගැන පවතින නොදැනුමක් නිසා නොව, හුදෙක්, නව ආණ්ඩුක‍්‍රම සම්පාදනයක් තුළ පවතින නීතිමය සහ දේශපාලනික සියුම් කාරණා පිළිබඳ ජනතාවගේ අනවබෝධය හෝ මන්දාවබෝධය ගසාකමින් අවස්ථාවාදී දේශපාලනික අවශ්‍යතා සපුරා ගැනීමට බව අපට සිතාගත හැකිය. තවත් විදිහකින් කිවහොත්, ව්‍යවස්ථාමය ඒකාධිපතිත්වයක් කරා රට තල්ලූ කළ හැකි අනර්ථකාරී සහ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී සෑම අංගයකින්ම සමන්විත වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එයාකාරයෙන්ම පවත්වා ගැනීම සඳහා ගන්නා ප‍්‍රයත්නයක් වශයෙනි.

දේශපාලනික ස්ථාවරත්වය

මෙවැනි ප‍්‍රයත්නයන් පසුපස ඇති අභිලාෂය වන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනයේ මූලික ප‍්‍රශ්නවලින් ජනතා අවධානය වෙනතකට ඇද, ජීවන තත්වය නගා සිටුවීමේ ආර්ථික ඉල්ලීම්වලට එය ගැට ගැසීමයි. කෑමබීම, ඇඳුම්පැළඳුම් සහ වාසස්ථාන මිනිස් ජීවිතයේ මූලික අවශ්‍යතා බව ඇත්ත. එහෙත් එකී භෞතික අවශ්‍යතා සාධනයෙන් පමණක් මිනිසුන්ට ජීවත් විය නොහැකි බව අමතක නොකළ යුතුය. අනිත් අතින් ගත් විට, එකී භෞතික අවශ්‍යතා සහ ඉහත කී ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රශ්න අතර මහ දුරක් ඇත්තේ හෝ එකිනෙකට එවා අසම්බන්ධී වන්නේ හෝ නොවේ. ඒවා නෛසර්ගිකව එකිනෙකට ගැට ගැසී තිබේ. එකිනෙක කෙරෙහි ඒවා බලපෑම් කරයි.

යහපත් ජීවන තත්වයන් ඇති කළ හැක්කේ ආර්ථික සංවර්ධනයක් තුළිනි. එවැනි සංවර්ධනයක් සඳහා සාපේක්ෂ වශයෙන් සාමකාමී සහ ස්ථාවර පරිසරයක් අවශ්‍ය කෙරේ. එවැනි පරිසරයක පදනම් වන්නේ, ජාතික සමගිය මත පිහිටුවා සහතික කළ හැකි, දේශපාලනික ස්ථාවරත්වයයි. උදාහරණයක් වශයෙන්, පශ්චාත්-නිදහස් සමයේ විශාල කාලයක් මුළුල්ලේ අප අත්දුටු වාර්ගික අසමගිය සහ ගැටුම්කාරී තත්වය, ආර්ථික සංවර්ධනයට තිරිංගයක් විය. නිදහස ලබා ගන්නා අවස්ථාවේ මේ කලාපයේ ආර්ථික වශයෙන් අපට බොහෝ පසුපසින් සිටි රටවල්, පසුගිය දශක හයක කාලය තුළ අප අභිබවා බොහෝ ඉදිරියට ගොස් ඇති බව කවුරුත් දනිති.

අසමගිය යනු, වෙන් කොට සහ වෙනස් කොට සැළකීම නිසා හටගන්නා අතුරු පලයකි. අසාධාරණ සහ අසමාන සේ සැලකීමේ ප‍්‍රතිවිපාකයකි. මේ නිසා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු, ආර්ථික සංවර්ධනය සඳහා නැතිවම බැරි සාධකයක් බව පැහැදිළි වෙයි. ඒකාධිපතිත්වයන් යටතේ යම් භෞතික වර්ධනයන් අත්කරගත හැකි වෙතත්, එය ඒකාන්ත වශයෙන් ප‍්‍රචණ්ඩකාරී සමාජ ගැටුම්වලට තුඩුදෙයි. එය පෙරලා, මානව සම්පත් සහ භෞතික සම්පත් විනාශයට තුඩුදෙයි.

අප දැනටමත්, ගිය ආණ්ඩුවේ අත්තනෝමතික පාලනය තුළ ඇති වු හිරිහැර සහ පීඩා විඳ තිබේ. ඒ කාලයේ රටක් වශයෙන් අප ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ හෑල්ලූවට ලක්විය. එම අතීතයට ආපසු ගියොත් සිදුවන්නේ, සීග‍්‍ර ආර්ථික සංවර්ධනයක් සඳහා අවශ්‍ය කරන ජාත්‍යන්තර සහයෝගය (ජාත්‍යන්තර ශ‍්‍රම විභජනයේ පංගුකාරීත්වය) අපට අහිමි වී යාමයි.

වත්මන් යුගයේදී මානව හිමිකම්ද ජාත්‍යන්තර වැදගත්කමක් ඇති සාධකයක් බවට පත්ව ඇත. මේ නිසා, ජාත්‍යන්තරයේ ඉල්ලීමට අනුගතව යුද්ධයේ වින්දිතයන් සඳහා වන සංක‍්‍රමණීය යුක්තිය ඉටු කිරීම රටේ ස්වෛරීත්වයට තර්ජනයක් වෙතැයි යන ව්‍යාජ දේශපේ‍්‍රමී සටන්පාඨවල එල්ලී ලෝකයාට අභියෝග කරමින් සිටීම, රටක් වශයෙන් සියදිවි හානි කර ගැනීමකි.

අලූත් ව්‍යවස්ථාව

පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වෙනුවට අලූත් ව්‍යවස්ථාවක් පනවා ගත යුත්තේ මන්දැයි දැන් සළකා බලමු. ඒ සඳහා ගෙනහැර දැක්විය හැකි යහපත් හේතු ගණනාවක් තිබේ.

අප මේ දක්වා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තුනක් පසුකොට විත් සිටී. ඉන් පළමුවැන්න කෙටුම්පත් කරන ලද්දේ යටත්විජිත පාලකයන් විසිනි. ඒ මගින් අපේ රටට ඩොමිනියන් තත්වය හිමි වුවත්, පූර්ණ නිදහසක් සඳහා අවශ්‍ය කරන යම් අඩුවක් එහි තිබුණි. එනම්, බි‍්‍රතාන්‍ය කිරීටයට ඇති අපේ යටහත් පහත් භාවය නොවෙනස්ව පැවතීමත්, ඔවුන්ගේ ගුවන් සහ නාවුක කඳවුරු අපේ රට තුළ දිගටම පැවතීමත් ය. දෙවැනි ව්‍යවස්ථාව වන්නේ, 1972 දී අප ඇති කරගත් ජනරජ ව්‍යවස්ථාවයි. එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනුණේ, දෙමළ ජනතා සහභාගීත්වයකින් තොරවයි. එබැවින් එය සැළකිය හැක්කේ ඒක පාර්ශ්වීය ව්‍යවස්ථාවක් වශයෙනි. තුන්වැන්න වන්නේ, දැනට පවතින, 1978 දී සම්මත කරගත් ව්‍යවස්ථාවයි. එය මහජන කතිකාවක් හරහා ගෙන එන ලද්දක් නොවේ. පළමු ව්‍යවස්ථාව මෙන්ම මෙයත්, ජනතාව මත උඩින් පටවන ලද්දකි. කෙසේ වෙතත්, මේ ව්‍යවස්ථාවේ අනුචිත භාවය, එය 19 වරක්ම සංශෝධනය කර ගැනීමට සිදුවීමෙන් පෙනී යයි. ඒ සංශෝධන 19 න්, 17 වැනි සහ 9 වැනි සංශෝධනය හැරුණු කොට ඉතිරි සියල්ලම, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් සීමා කිරීමටත්, විධායක ජනාධිපතිවරයාගේ අතේ බලය ගොනුකර ගැනීමටත් පනවා ගත් සංශෝධනයන් ය.

ඒ අතරින් නරකම සංශෝධනය වන්නේ, 18 වැනි සංශෝධනයයි. ඒ මගින්, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ දෙකම ඒකාධිපතියෙකුගේ ග‍්‍රහණයට යටත් කරවන ලදි. මේ ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයාගේ බලතලවල ස්වභාවය විසින්ම, ඒකාධිපති ප‍්‍රවණතාවන්ට වැඩි ඉඩක් සපයා දෙනු ලැබේ. මේ නිසා, එම ක‍්‍රමය තුළ තීරණාත්මක වන්නේ, හුදෙක් බලයට පත්වන තැනැත්තාගේ අගුණයකටත් වඩා, ක‍්‍රමයේම පවතින දුර්ගුණයකි. එය, ගත වු දශක හතරක අත්දැකීම් මගින් සනාථ කරනු ලැබ තිබේ. එසේ නම්, එවැනි ව්‍යවස්ථාවක් තවදුරටත් පවත්වා ගත යුත්තේ ඇයි? එම ක‍්‍රමය ඇති කරගත් අයවළුන්ම, අද එහි ඇති අනිටු ප‍්‍රතිවිපාක දැකීම නිසා මේ වන විට එය වෙනස් කර ගැනීම සඳහා පේ වී සිටිති,

මේ නිසා, එම ව්‍යවස්ථාවම තවදුරටත් පවත්වා ගත යුතු යැයි කියන පිරිස්වල අභිප‍්‍රාය වන්නේ, පසුගිය රජය සමයේ පැවති ගෝත‍්‍රික අංග සහිත ගජමිතුරු ධනවාදය නැවත නගා සිටුවීම හෝ පවත්වා ගැනීම කෙරෙහි ඇති කැමැත්ත බව පැහැදිළි ය. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට අද එරෙහිව සිටින්නේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ සහචරයන් වීම, ඒ අනුව, පුදුමයක් නොවේ. එහිදී ඔවුන් අනුගමනය කරන ක‍්‍රියාමාර්ගය වන්නේ, වාර්ගික හැඟීම් ඇවිස්සීමත්, අපේ රට යටත් කර ගැනීමට මානබලතියි කියන විදේශ බලවේග සමග සන්ධානගතව ඇතැයි කියන සුළු ජාතීන් විසින් මහජාතියේ යහපැවැත්ම අගාධයට හෙලීමක් ගැන බියක් මහජාතිය තුළ ඇති කිරීමත් ය.

ප‍්‍රජාතන්ත‍්‍රීය සාරධර්ම

එක පිට එක පැවති අවසාන මැතිවරණ දෙකේදීම, ආපස්සට යාම ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කොට තිබේ. එම ජන වරම, නිසැකවම, පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රීය සාරධර්මවලින් අනූන නූනත රාජ්‍යයක් පිහිටුවා ගැනීමත්, යහපාලනය ස්ථාපිත කර ගැනීමත් සඳහා වන්නේය. 2015 ජනවාරි 08 වැනි දා සිට පටන් ගත් ක‍්‍රියාවලිය තව තවත් ජවසම්පන්න ගාමකත්වයෙන් යුතුව ඉදිරියට යා යුතුව තිබේ. නව ව්‍යවස්ථාවක් අත්‍යාවශ්‍ය කරන්නේ ජනතාවගේ එම උවමනාව සපුරාලීමටයි.

තවමත් කෙටුම්පත් කොට නොමැති ව්‍යවස්ථාවක් පිළිබඳව විපක්ෂය දරණ විවේචනය පදනම් වන්නේ, එහි අඩංගු වෙතැයි ඔවුන් සිතන දේවල් මත මිස, යම් පවතින නිශ්චිත සාක්ෂි කාරණා මත නොවේ. ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පාර්ලිමේන්තු අදියරට පවා තවම අවතීර්ණ වී නැති තත්වය තුළ, විවේචනය කිරීමට තරම් එවැනි සාක්ෂි කාරණා තිබිය නොහේ. අලුත් ව්‍යවස්ථාවක තිබිය හැකි යැයි තමන්ම හිතින් මවා ගත් එවන් කාරණා ගැන විවේචන ඉදිරිපත් කරන කණ්ඩායමේ එක් නීති විශාරදයෙක් ද සිටී. අද ඔවුන් විවේචනය කරන කරුණුම අඩංගු ව්‍යවස්ථා කෙටුම්පතක් මීට කලකට ඉහතදී සකස් කරන ලද්දේද ඔහු විසින්මයි. සමහර විට මේ අසරණයා දැන් ඔල්මාදයෙන් පෙලෙනවා විය යුතුය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීම, 1972 දී සහ 1978 දී කළා සේ, ඒක පාර්ශ්වීය අභ්‍යාසයක් විය නොහේ. එසේම එය උඩින් පටවන්නක්ද නොවිය යුතුය. එය, වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවේ යෝජිත ක‍්‍රියාපරිපාටි ඔස්සේ සම්මත කර ගත යුත්තකි. ඒ අනුව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකුත්, අනතුරුව ජනමත විචාරණයකින් ලබා ගන්නා කැමැත්තකුත් ඒ සඳහා අනිවාර්යෙන් අවශ්‍ය කරන්නේය.

මේ ක‍්‍රියාපරිපාටියට පිටතින් කිසිවක් කිරීමට කිසිවෙකු යෝජනා කරන්නේ නැත. සංවාදය, සාකච්ඡාව සහ උපරිම එකඟත්වය මත මිස වෙනත් ආකාරයකින් එය කළ හැකි වන්නේද නොවේ. එසේ ඇති කරගන්නා නව ව්‍යවස්ථාවක්, අප ජීවත් වන යුගයේ අවශ්‍යතාවකි.

*2016 පෙබරවාරි 12 වැනි දා ‘ඩේලි නිව්ස්’ පුවත්පතේ පළවූ “Constitution: Of What Earthly Use Is It?”නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly
Viewing all 2978 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>