Quantcast
Channel: සිංහල – Colombo Telegraph
Viewing all 2978 articles
Browse latest View live

මද්දහනේ අඳුරට පසු එළිමහනේ මුළා වීම

$
0
0

සරත් ද අල්විස්

සරත් ද අල්විස්

සරත් ද අල්විස්

ජනාධිපතවරණයට පෙර යහපාලන වැඩපිළිවෙළ ගැන සිරිසේන මහතා දුන් පොරොන්දු ඔහු ගේ පොදු අපේක්ෂකත්වය වෙනුවෙන් සහයෝගය දැක්වූ ඉහළ ම පෙළේ විද්වත්හු හා ක‍්‍රියකාරීහූ දැන් යළි මතක් කරති.

එකී පොරොන්දු ඉටු වී නොමැති බව, එනම් උල්ල්ංඝනය කරනු ලැබ තිබෙන බව ආකර්ෂණීය හා ව්‍යක්ත සිංහලෙන් ඔවුන් ලියූ පිටු තුනකින් යුතු ලිපියෙන් ගම්‍ය වන්නේ ය (සම්පූර්ණ සංදේශය පහත පළවේ). තමන් තුළ පවතින කළකිරීම මෙන් ම යහපාලනය හා විනිවිද භාවය සඳහා වූ අපේක්ෂාවන් තවමත් බිඳී ගොස් නොමැති බව ද ඔවුහු ඉතා සැලකිල්ලෙන් යුතුව එයින් පළ කරති.

විදේශීය අවශ්‍යතාවනට ද ගැලැපෙමින් සැකැසුණු රාජ්‍ය ආර්ථික ප‍්‍රතිපතතීනුත් වෙනසක් සඳහා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබා සිටින පොදු ජනතාව ගේ අපේක්ෂාවනුත් අතර පවත්නා පරස්පරය ජනාධිපතිවරයා ආමන්ත‍්‍රිත මෙම සන්දේශයෙහි විද්‍යමාන ය.

ඔවුන් පෙන්වා දෙන්නේ සංවර්ධන ක‍්‍රියාවලියේ දී අප සතු දේශීය සම්පත් හා ශක්තීන් භාවිතයට ගැනීම කෙරෙහි පළමුව සැලකිලිමත් විය යුතු බවයි. විදේශයන් ගෙන් ණය ලබාගැනීම වූකලී නොවැලික්විය හැකි තත්ත්වයන් යටතේ ගත යුතු පියවරක් විනා එය අනිවාර්ය කාර්යයක් නොවන බවද ඔවුහු පෙන්වා දෙති. මෙම ලිපියේ ස්වරූපය ආයාචනාත්මක ය. එසේ ම අතෘප්තිය හා අපේක්ෂා භංගත්වය පැහැදිලිව ම ගම්‍ය කරවන්නේ ය.

“යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මූල්‍යකරණයේ දී සිදු වී ඇති දූෂණයන් හා විෂමක‍්‍රියාවන් සම්බන්ධයෙන් 2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයට පෙර ඔබ දුන් වැදගත් පොරොන්දු ඔබ විසින් අමතක කර දමා ඇතැයි අපි මොහොතකටවත් නොසිතමු. ඒ සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබ තිබෙන විවිධ පියවරයන් විශ්ලේෂණය කිරීමේ දී අප ඇතුළු බොහෝ දෙනෙකු ගේ සිත් අවුලෙන් අවුලට පත් වන්නේ ය. මෙම සන්දේශය ඉදිරපත් කැරෙන්නේ, අප තුළ ඇති වී තිබෙන වික්ෂිප්ත භාවය පෙන්වා සිටීමත් එයට හේතු දැක්වීමත් අප ගේ උපදේශයන් ලබා දීමත් යන තුන් වැදෑරුම් අරමුණු පෙරදැරි කරගෙන ය.’’

එහෙත් ‘යහපාලන’ රජයේ ‘නියමුවා’ සේ ක්‍රියා කරන වික‍්‍රමසිංහ ගේ ආරධනය ලැබ තිබුනේ මෙම විද්වතුන් ට නොවේ. ඔහු ගේ ආර්ථික හිත​වතුන්ට ය ඔවුහු ‘යහපාලන’ රජයේ ප‍්‍රතිපත්ති සම්පාදක මණ්ඩලවලට අයත් වන්නන් හා නොපෑහෙන පිරිසක් වෙති.

එහෙත් ‘යහපාලන’ රජයේ ‘නියමුවා’ සේ ක්‍රියා කරන වික‍්‍රමසිංහ ගේ ආරධනය ලැබ තිබුනේ මෙම විද්වතුන් ට නොවේ. ඔහු ගේ ආර්ථික හිත​වතුන්ට ය ඔවුහු ‘යහපාලන’ රජයේ ප‍්‍රතිපත්ති සම්පාදක මණ්ඩලවලට අයත් වන්නන් හා නොපෑහෙන පිරිසක් වෙති.

යටිතල පහසුකම් සංවර්ධනයෙහි ලා කැරෙන ආයෝජනයන් හි උපරිම ඵල ලබාගැනීමට නම් ඒ සඳහා දේශීය විශේෂඥතාවන් ද එසේ ම නිපුණතාවන් හා ශිල්පීන් ද යොදාගැනීම යන විශිෂ්ට යහපාලන ප‍්‍රතිපත්තීන් හි පිහිටා කටයුතු කිරීමේ අවශ්‍යතාව අපේක්ෂා භංගත්වයකට පත්ව සිටින විද්වතුන් ගේ හා සිවිල් වැසියන් ගේ සන්ධානය විසින් අවධාරණය කරනු ලැබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ ප‍්‍රායෝගික බුද්ධියට හසු වන්නක් ම විනා ජෝජ් සෝරෝස් ගේ හෝ රිකාඩො හෝස්මන් ගේ නිර්දේශයන් නොවේ. ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණයන් ද තරගකාරිත්වය ද සමාජ සහභාගිත්වය ද සඳහා දේශීය ව්‍යාපෘතීන් අවශ්‍ය ය.

අවම සම්පත් සහිත හා ණය බරින් මිරිකුණු රටකට සුපරීක්ෂාකාරී බවකින් යුතුව රාජ්‍ය ආයෝජනයන් හි යෙදීම විෂයෙහි අවධානය යොමු කිරීම අනිවාර්ය වන බව ඔවුහු අවධාරණය කරති.

‘‘විශාල යටිතල ව්‍යාපෘතීන් වෙනුවෙන් කැරෙන ආයෝජනයන් හි දී ඒවායෙහි ප‍්‍රතිලාභ හා ඵලදායිතාව මගින් උපරිම ප‍්‍රාග්ධන කාර්යක්ෂමතාවක් ලබාගැනීම විෂයෙහි අතිශයින් ම සැලකිලිමත් විය යුතු ය.’’

රටෙහි සංවර්ධන අවශ්‍යතාවන් සඳහා දායකත්වය ලබා දීමේ හැකියාව දේශීය ව්‍යවසායයනට ලැබෙන පරිසරය හා දිරිගැන්වීම් අප ගේ ජාතික ආර්ථික ක‍්‍රමොපායයන් තුළින් නිර්මාණය විය යුතු ය.

යටිතල පහසුකම් සංවර්ධනයෙහි ලා ඵලදායී ලෙස සහභාගි වීමේ හැකියාව දේශීය ආයතනයනට ලැබෙන්නේ එවිට ය. සේවාවන් සඳහා වූ ඉල්ලූම හා බද්ධ වන විවිධ වාසීන් ගෙන් දේශීය ආර්ථිකය පෝෂණය වීම ද ඒ සමග ම සිදු වනු ඇත.

ඉදි කිරීම් සඳහා අවශ්‍ය විශේෂඥතාවන් දේශීය මට්ටමින් ලබාගැනීම ප‍්‍රමාණවත් නොවන විටෙක විදේශීය විශේෂඥතාවන් ලබාගැනීම අනිවාර්ය වන්නේ නම් වඩාත් ම වාසිදායක වූ අනුදේශයන් යටතේ එසේ කිරීමට පියවර ගත යුතුව තිබේ.

තරගකාරී සැපයුම් ක‍්‍රම දැඩිව අනුගමනය කළ යුතු ය. එහි දී අනුගමනය කැරෙන ක‍්‍රමවේදයන් පාරදෘෂ්‍ය භාවයකින් යුතු වීම අවශ්‍ය ය. දූෂණයට මෙන් ම නාස්තියට හා විෂම කළමනාකරණයට ද ඇති අවකාශයන් එපමණකින් අවම වනු ඇත.

ජනාධිපතිවරණයට පෙර මෙකී පියවරයන් පිළිබඳව සාකච්ඡා කිරීම ද සැලකිල්ල යොමු කිරීම ද අනේක වාරයක් සිදු වී තිබේ. එහෙත් දැන් අපට අසන්නට ලැබෙන්නේත් දක්නට ලැබෙන්නේත් මුළුමනින් ම අනෙකකි. ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඒ ඒ පාර්ශ්වයන් සමග එළැඹෙන අනුදේශයන් මත ව්‍යාපෘතීන් පැවරීම සිදු වෙයි. ඒවා මූල්‍යයනය වන්නේ ද්විපාර්ශ්වික ණය මගින් ය. කලින් තීරණයනට එළැඹ ඇති මෙම ණය ගනුදෙනු අතිශය වියදම් සහිත වන අතර ඒවා අප රටට බෙහෙවින් අහිතකර ද වන්නේ ය.

විවිධ අංශයන් වෙතින් ලබා දී ඇති ව්‍යාපෘතීන් පිළිබඳව පළ වන ප‍්‍රවෘත්ති වාර්තාවන් තුළින් මෙම ප‍්‍රකාශය තහවුරු වේ. දුම්රිය දෙපාර්තමේන්තුව හා අදාළ පුවත මෙහි දී විශේෂයෙන් වැදගත් ය. පශ්චාත් සුනාමි පුනරුත්ථාපන වැඩපිළිවෙළ තුළ අතිශය කාර්යක්ෂම හා පිරිමැසුම්දායක ලෙස දුම්රිය මාර්ග ඉදි කළ ආකාරය පිළිබඳ තහවුරු වූ අතීත වාර්තාවන් අප සතුව තිබේ. එය යුද්ධය ද පැවැති සමයකි. පශ්චාත් යුද සංවර්ධන පියවරයන් හි දී ද දැන් අපි ඉන්දියාව හා චීනය සමග ද්විපාර්ශ්වික ණය ගිවිසුම්වලට එළැඹෙමින් සිටීම තුළින් සිදු වන්නේ දේශීය ඉදි කිරීම් හා තරගකාරී සැපයුම් ඔස්සේ ජාතික ආර්ථිකයට ලබාගත හැකිව තිබෙන වාසි දැන දැන ම අහිමි කරගැනීම ය.

මෙම ප‍්‍රවෘත්තිි වාර්තාවන් නිවැරැුදි නම් ඉන් පෙනී යන්නේ ප‍්‍රතිසංස්කරණ පොරොන්දු රැුගත් වේදිකාවක් මතින් බලයට පැමිණි මෙම රජය දැන් යහපාලනය පිළිබඳව ලබා දුන් විශිෂ්ට පොරොන්දු උල්ලංඝනය කරමින් සිටින බවයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයෙහි නව කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය ද ගමනාගමන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු මෙන් ම හිටපු දුම්රිය සාමාන්‍යාධාකාරිවරයකු වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයෙහි ආචාර්ය ලලිතසිරි ගුණරුවන් ද ජාතික ගමනාගමන කොමිසමෙහි හිටපු ප‍්‍රධානී මොරටුව විශ්ව විධ්‍යාලයෙහි මහාචාර්ය අමල් කුමාරගේ ද කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ද මෙම සන්දේශයට අත්සන් කළ ප‍්‍රධාන පුද්ගලයන් වෙති. ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු ප‍්‍රධානී චන්ද්‍ර ජයරත්න ද හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයකු මෙන් ම වරලත් ඉංජිනේරු ආයතනයෙහි හිටපු සභාපතිවරයකු වූ ප‍්‍රියාල් ද සිල්වා ද එයට අත්සන් තැබූ සෙසු 22 දෙනාට ඇතුළත් ය.

මෙම සන්දේශය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ විද්වත් රටවැසියන් කණ්ඩායම අප වෙත ලබා දෙන තවත් පණිවිඩයක් ඇත. එනම් සිනමන් ග‍්‍රෑන්ඞ් හි දී පැවැත්වුණු 2016 ශ‍්‍රී ලංකා ආර්ථික සම්මන්ත‍්‍රණය සඳහා ඔවුන් ගේ සහභාගිත්වයක් නොවීම කැපී පෙනෙන්නක් වූ බවයි. ඔවුහු සිය විද්වත් දායකත්වය 2015 ජනවාරි 8 වැනිදා ඍඡුව ම දෑක්වූයේ සිරිසේන ජනපති කෙරෙහි විශ්වාසය තබා ය. එහෙත් ‘යහපාලන’ රජයේ ‘නියමුවා’ සේ ක්‍රියා කරන වික‍්‍රමසිංහ ගේ ආරධනය ලැබ තිබුනේ මෙම විද්වතුන් ට නොවේ. ඔහු ගේ ආර්ථික හිත​වතුන්ට ය ඔවුහු ‘යහපාලන’ රජයේ ප‍්‍රතිපත්ති සම්පාදක මණ්ඩලවලට අයත් වන්නන් හා නොපෑහෙන පිරිසක් වෙති.

සිරිසේන – වික‍්‍රමසිංහ සන්ධානය පිළිබඳව වූ ඔවුන් ගේ කලකිරීම පුදුම විය යුතු කාරණයක් නොවේ. 2015 ජනවාරි 8 වැනිදා වෙනස ඇති කරවීමෙහි ලා බලපෑ සුළු වැඩිඡුන්ද ප‍්‍රමාණය නිර්මාණය වූයේ එම දේශීය විද්වතුන් පෙරට පැමිණ දැක්වූ විරෝධතාවන් තුළින් ය.

අද අප ජීවත් වන්නේ අමුතු යුගයක ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදය අමෙරිකාව තුළින් මතු වී ඇත. උත්තර මන්ත‍්‍රී බර්නි සැන්ඩර්ස් විසින් මලික් සමරවක‍්‍රම, චරිත රත්වත්ත හා ආර් පාස්කරලිංගම් යන අය වෙත පණිවිඩයක් ලබා දී තිබේ. ඒ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදය වනාහි සියලූ දෙනා සැලකිල්ලට ගැනෙමින් සැකැසෙන ආර්ථික ක‍්‍රමයක් විනා ඉහළ ම ධනවතුන් අරමුණු කරගැනුණක් නොවන බවයි.

සම්මුතිවාදී සභාග රජය විශ්වාසය තබා තිබෙන්නේ සිය පැවැත්ම සඳහා වූ ගිජුකමට හා ආත්මාර්ථකාමිත්වයට උඩගෙඩි දෙන දුෂ්ඨයන් කෙරෙහි ය. 2015 ජනවාරි 8 වැනිදා ලබා දුන් වරම තුළින් අපෙක්ෂා කරන ලද්දේ රාජපක්ෂ ග‍්‍රහණයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මුදාගැනීම නොවේ. බණ්ඩාරනායක උරුමය රැුකගැනීම ජනාධිපති සිරිසේන ගේ නිර්ව්‍යාජ අරමුණ වන්නේ නම් ඔහු විසින් කළ යුතුව තිබෙන්නේ බොහෝ දෙනෙකු විසින් සාවද්‍ය ලෙස වටහාගනු ලැබ ඇති එස් ඩබ්ල්‍යු ආර් ඞී බණඩාරනායක යන චරිතය නිවැරදිව වටහාගැනීමයි.

එස් ඩබ්ල්‍යු ආර් ඞී බණඩාරනායක දුටු නිදහස් ශ්‍රී ලංකාව ඔහු විසින් වර‘න් වර ප‍්‍රකාශ කළ දේශන තූළින් නිවැරැුදිව වටහාගැනීමටත් හඳුනාගැනීමටත් හැකි ය. ඒවා අතරින් එකක් මෙසේ සඳහන් කළ හෑක.

“මා සිතන්නේ හෙදියක මෙන් ම වින්නඹුවක ද වශයෙන් කටයුතු කරමින් මට ම විශේෂ වූ සරල ක‍්‍රමයක මා නිරත වන බවයි. මරණ මඤ්චකයක් අසල දී මම හෙදියක වෙමි. සිදු වෙමින් පවතින්නේ මරණයක් ම බව මම වටහාගනිමි. මගේ කැමැත්ත වන්නේ සෑම මරණ මඤ්චකයක දී ම සිදු විය යුතුව තිබෙන පරිදි එම මරණය ද සන්සුන්ව හා ගෞරවනීය ලෙස සිදු වනු දැකීමයි. කිසියම් කෙනෙක් මිය යමින් සිටින අය වෙත කෘත‍්‍රීම ක‍්‍රම තුළින් ජීවය ලබා දීමට ප‍්‍රයත්න දරනු දැකීම හා තවත් කෙනෙක් දැනට ද මිය යමින් සිටින එම අය ගේ ගෙළ මිරිකා ප‍්‍රාණය නිරුද්ධ කරවීමට ප‍්‍රයත්න දරනු දැකීම යන දෙක ම එක සේ මා වික්ෂේපණයට පත් කරවනසුලූ ය.

දරු උපතක් සිදු වන තැනෙක දී මා වින්නඹුවක ද වනු ඇතැයි මම සිතමි. වාසනාවන්ත ලෙස හා අවම වේදනාවකින් යුතුව අදාළ උපත සිදු වනු දැකීම මගේ කැමැත්තයි. නිසි ස්වාභාවික වේලාවට උපත සිදු වන්නට නොහැර මෙවලම් යොදාගෙන දරුවා ගර්භාෂයෙන් පිටතට ඇද විකෘති වූ අස්වාභාවික රූපයක් ලෝකයට ලබා දීමට මම නො කැමැත්තෙමි.’’

වැදගත් කරුණ වන්නේ බණ්ඩාරනායක විසින් මෙම ප‍්‍රකාශයන් කරන ලද්දේ ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ සාමාජිකයකු වශයෙන් සිටිමින් වීම ය. බණ්ඩාරනායක වනාහි ඔහු ගේ ම අතීත හා වර්තමාන අනුගාමිකයන් විසින් හා පිළිමඵන් පවා සාවද්‍ය ලෙස වටහාගනු ලැබූ විශිෂ්ට දාර්ශනිකයෙකි.

වත්මන් සම්මුතිවාදී සභාග රජය එහි සංයුතිය තුළින් ම විකාරයක් බවට පත් වී ඇති අතර පවත්නා දේශපාලන යථාර්ථයන් ද එමගින් විකෘති කරවන්නේ ය. මුළුමනින් ම දූෂිත වූ දේශපාලන මෙවලමක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මුදාගැනීම පිළිබඳව වූ සිය වත්මන් අරමුණ අතහැර දැමීමට ජනාධිපතිවරයා පියවර ගන්නේ නම් දේශපාලන ප‍්‍රතිසංස්කරණයන් සඳහා ශක්‍යතා සහිත සභාගයක් නිර්මාණය කරගැනීමට ඔහුට හැකි වනු ඇත.

පොදු අපෙක්ෂකත්වය භාර ගැනීමට එක`ග වූ ජනහිතවාදී ගොවියා සහ එම පොදු අපෙක්ෂකත්වයෙන් බලයට පත් යථාර්ථවාදී ප‍්‍රායෝගික ජනාධිපතිවරයාත් අතර වූ නොගැලපීම සඳහා ඉක්මන් විසඳුමක් අවශ්‍ය වන්නේ ය.


ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ සන්දේශය:

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ,
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01

අතිගරු ජනාධිපතිතුමනි,

ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ දී උපරිම ආයෝජන කාර්යක්ෂමතාවක් තහවුරු කිරීම උදෙසා යහපාලන මූලධර්ම වෙනුවෙන් පෙනී සිටීම

2015 ජනවාරි 8 දින පැවැති ජනපතිවරණය හමුවේ යහපාලනයක් සඳහා වෙනසක් ඇති කිරීම පිළිබඳ ඔබතුමන් විසින් දෙන ලද ප්‍රතිඥාවන් අතර ප්‍රධාන ස්ථානයක් ගත් එක් ගැටලුවක් වූයේ මහා පරිමාණ රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එවක පැවති බව පැවසුණු දූෂණ හා අක්‍රමිකතා බව ඔබතුමන්ට අමතක වී ඇතැයි අපි මොහොතකටවත් නොසිතමු. එහෙත් මෑතදී අපගේ නිරීක්ෂණයන්ට භාජනය වූ විවිධ පියවර නිසා මෙම ඉල්ලීම ඔබතුමන් වෙත ඉදිරිපත් කරන අති මහත් බහුතරයක් එම ජනවාරි 8 අරගලයේදී ඔබතුමන් සමඟ සිටගත් අයවලුන් ද ඇතුළත් වෘත්තිකයන් හා අවධානවත් පුරවැසියන් වන අපි නැවත වතාවක් විපිලිසර තත්වයකට පත් වී සිටිමු. අප ගේ එම විපිලිසරත්වය, ඊට පාදක වූ කරුණු හා ඒ සමබන්ධ අපගේ අදහස්, උදහස් හා යෝජනා ඔබතුමන් හමුවේ තැබීම මේ ලිපියේ අරමුණයි.

ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ දී උපරිම ආයෝජන කාර්යක්ෂමතාවක් තහවුරු කිරීම ප්‍රාග්ධන සම්පත් ඌනතාවන්ට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින ආර්ථීකයන්ට දැඩිව බලපාන අවශ්‍යතාවකි. විශේෂයෙන්ම, සැලකිය යුතු විදේශ ණය බරකින්, ගෙවුම් ශේෂ ගැටලුවකින් හා විදේශ විනිමය පීඩනයකින් මේ වන විටත් මිරිකෙමින් සිටින ආර්ථීකයකට මෙ වැනි ඉදි කිරීම් සඳහා තව දුරටත් විදේශයන්ට ණය වීමේ දී මෙම ආයෝජන කාර්යක්ෂමතාව තහවුරු කිරීමේ අවශ්‍යතාව වඩාත් ඉස්මතු වෙයි.

ව්‍යාපෘති අවශ්‍යතා හැකි උපරිම ගුණාත්මකත්වයෙන් යුතුව සහ හැකි අවම ආයෝජන පිරිවැයකින් ඉටුකර ගැනීම මේ සඳහා අත්‍යවශ්‍ය වන මූලික ප්‍රවේශයයි. එ විට ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ආකර්ෂණීයත්වය ඉහළ යන අතර ආයෝජන කාර්යක්ෂමතාව ද තහවුරු වෙයි. මේ වෙනුවෙන් අනුගමනය කළ යුතු ප්‍රධාන උපායමාර්ග දෙකක් ඇත. පළමුව, එවැනි ව්‍යාපෘති හැකි උපරිම මට්ටමින් දේශීයව ඉටු කර ගත යුතු ය. සෑම ක්ෂේත්‍රයකම උදා වන්නා වූ සංවර්ධන අවශ්‍යතා අදාළ දෙපාර්තමේන්තු හා ආයතන තුළින් හෝ, එසේ නොහැකි නම් ක්ෂේත්‍රයේ වෙනත් රාජ්‍ය හා පුද්ගලික ව්‍යවසායයන්ට එම අවස්ථා ලබා දීම තුළින් හෝ, දේශීය යන්ත්‍රණයන් හරහා ඉටු කර ගන්නේ නම් ජාතික ආර්ථිකයට ගුණාකාර වර්ධනයක් ඇතිකළ හැකි අතර එය ආයෝජන කාර්යක්ෂමතාවට ද ඉවහල් වෙයි. රට තුළ දිගු කාලීන තාක්ෂණ සංවර්ධනයක් හා රජය අරමුණු කරන නවෝත්පාදන ආර්ථිකයක් උදා තරගත හැක්කේ මෙතුවක් රට තුළ කළ නොහැකිව තිබූ නිෂ්පාදනයන් හා ඉදි කිරීම් සඳහා ද ක්‍රමයෙන් අවතීර්ණ වීමෙනි. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නොනඟින බවට කුමාරතුංග මුනිදාස කිවිඳුන් මීට දශක අටකට පමණ ඉහතදී පැවසුවේ ද මේ යථාර්ථයයි. දෙවනුව, මෙම ව්‍යාපෘති නිර්මාණය කර ක්‍රියාත්මක කිරීමේ දී තව දුරටත් රට විදේශයන්ට ණයවීම අවම කර ගත හැකි පරිදි ඒවා ගොඩනඟා ගැනීම ද ඉතා වැදගත් ය. දේශීය වශයෙන් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් මෙන්ම ඒවා සඳහා අරමුදල් සම්පාදනයේ දී විවෘත තරගකාරී මිල කැඳවුම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් ද මෙම අරමුණ ඉටු කර ගත හැකි ය. ණය සැපයුම්කාර රටෙන් එක් භාණ්ඩ හෝ සේවා සැපයුම් සමාගමක් පමණක් ඉදිරිපත් කෙරෙන්නේ නම් එය විනිවිද පෙනෙන සුළු තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට පටහැනි වනවාට අමතරව මිල දී ගැනීමේ දී දූෂණ – වංචා ඇතිවීමට, ජාතික සම්පත් නාස්ති වීමට හා ප්‍රසම්පාදනයේ ගුණාත්මක බවට හානි සිදුවීමට ඉඩ කඩ විවර කරයි. පසු ගිය කාලය තුළ උද්ගතව තිබූ බව පැවසුණු මෙවැනි තත්වයන්ට නැවත ඉඩ නො තැබිය යුතු ය.

ගත යුතු මාවත මෙසේ වෙද්දී අප ඉතා අන්දමන්දව අසමින් පවතින්නේ මීට හාත්පසින් වෙනස් වූ දිශාවක රජයේ පියවර දිග හැරෙන බවයි. මෑතදී යළි පටන් ගැනුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තු විදේශීය සමාගම් වලට පැවරෙනු ඇති බවද, එසේ කිරීමේ දී විනිවිද පෙනෙන සුළු විවෘත ටෙන්ඩර් පටිපාටිය උපයෝගී නොකෙරෙන බවද, වාර්තා වෙයි. එසේම, සාම්පූර් විදුලි බලාගාරය ඉදි කිරීමේදී ද මෙ වැනි තත්වයක් උද්ගතව ඇතැයි පැවසෙන අතර ඊට විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති වල විරෝධය ප්‍රකාශ වී ඇතැයි දැන ගන්නට ඇත. ජල සම්පාදන යෝජනා ක්‍රම කීපයක් ද මෙසේ ටෙන්ඩර් රහිතව ප්‍රදානය කිරීමට උත්සාහයක් පවතීදැයි අදාළ අංශ සැක පළ කරන බව ද දැනගන්නට තිබේ. සති කීපයකට පෙර අසන්නට ලැබුණේ නැගෙනහිර දුම්රිය මාර්ග අලුත්වැඩියාව සඳහා ශක්‍යතා විග්‍රහයකට චීන සමාගමකට සංසන්දනාත්මක විශ්ලේෂණයකින් තොරව පැවරීමට යන වගකි. මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ග හා සංඥා පුනරුත්ථාපනය මෙන්ම දුම්රිය එංජින් හා මැදිරි සැපයීම එවැනිම විවෘත නො වන ක්‍රියාවලියක් හරහා ඉන්දීය සමාගම් වලට පැවරීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් යෝජනා කර ඇති බව ද වාර්තා විය. 2005 දී සුනාමියෙන් විනාශ වූ මුහුදුබඩ දුම්රිය මාර්ගය සති අටක් වැනි ඉතා සුළු කාලයක් තුළ පුනරුත්ථාපනය කර අවසන් කිරීම තුළින් සහ ඉතා මෑත දී තාණ්ඩිකුලම් සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ග කොටස ඉදි කරමින් ශ්‍රී ලංකාවේදුම්රිය මාර්ග පුනරුත්ථාපනය දේශීය වශයෙන් සාපේක්ෂව ඉතා අඩු පිරිවැයකින් ඉටු කර ගත හැකි බව සැකයකින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඔප්පු කර පෙන්වා දී තිබියදී මෙතෙක් සියවස් එකහමාරක පමණ කාලයක් දේශීයව ඉටු කර ගන්නා ලද දුම්රිය මාර්ග වැඩි දියුණු කිරීම හා අලුත්වැඩියාව උදෙසා විදේශ ඉංජිනේරු හා නිර්මාණ සමාගම් වලට කොන්ත්‍රාත් දීමට යත්න දැරෙන්නේ නම් එය ජාතික ආර්ථික ඉදිරි ගමනට ඉතා හානිකර තත්වයකි.මෙවැනි තොරතුරු නිසා අප අතර අතිමහත් බහුතරයක් වන යහපාලනයක් අරමුණු කර පාර සැකසූවන් ඇතුළු ශ්‍රී ලාංකීය ජාතික ආර්ථික සංවර්ධනයට කැප වී සිටින වෘත්තික ප්‍රජාව අපේක්ෂා භංගත්වයටත් කලකිරීමටත් පත්වීම පුදුමයක් නො වන බව ඔබතුමන්ට වැටහෙන බව අපට සැකයක් නැත.

මෙම ප්‍රවණතාවට තිත තැබීම අපගේ මෙන්ම ඔබතුමන් ගේ ද වගකීමකි. වෘත්තිකයන් ගෙන් සහ වෘත්තීය සමිති වලින් එල්ල වූ දැඩි විවේචනයන් හා විරෝධයන් මත ගොඩ නැඟුණු බලවේග වල ආධාරයෙන් යහපාලන ප්‍රතිඥාව මත බලයට පැමිණි ඔබතුමන් ගෙන් හා වර්තමාන රජයෙන් එම අගතිගාමී ක්‍රමවේදයන් හා තත්වයන්ම යළි උදා කිරීමට ඉඩ තැබීමක් අපි කිසි ලෙසකත් බලාපොරොත්තු නො වෙමු.

එබැවින්, ඉදිකිරීම් හා ඉංජිනේරුමය කර්මාන්තවල පමණක් නොව ආර්ථිකයේ හැකි සෑම ක්ෂේත්‍රයකම උදා වන්නා වූ අවශ්‍යතා ජාතික ආර්ථිකයට ගුණාකාර වර්ධනයක් ඇතිකළ හැකි පරිදි අදාළ දෙපාර්තමේන්තු හා ආයතන තුළින් හෝ, එ සේ නො හැකි නම් ක්ෂේත්‍රයේ වෙනත් රාජ්‍ය හා පුද්ගලික ව්‍යවසායයන්ට එම අවස්ථා ලබා දීම තුළින් හෝ, දේශීය යන්ත්‍රණයන් හරහා ඉටු කර ගැනීමට ද, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ නො හැකි නිසා යම් භාණ්ඩ සේවා හෝ කොන්ත්‍රාත් කටයුතු විදේශයන්ගෙන් සපයා ගැනීම හැර වෙන විකල්පයක් නොමැති විටදී ඒවා පූර්ණ වශයෙන් විනිවිද පෙනෙන සුළු අයුරු ජාත්‍යන්තර තරගකාරී මිල කැඳවුම් මඟින්ම ප්‍රසම්පාදනය කර ගැනීමට ද, ප්‍රතිපත්ති තීරණයන් ගන්නා මෙන් යහපාලනයේ නාමයෙන් ඔබතුමන් ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

මෙයට විශ්වාසී,
ආචාර්ය ලලිතසිරි ගුණරුවන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ විශ්ව විද්‍යාලය
(හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී සහ හිටපු ප්‍රවාහන ලේකම්)

සහ​

මහාචාර්ය (ඉංජිනේරු) අමල් කුමාරගේ මහාචාර්ය සරත් විජේසූරිය
මොරටුව විශ්ව විද්‍යාලය කොළඹ විශ්ව විද්‍යාලය
(ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති) (සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු)

ආර්ථිකයේ දේශීයත්වය සහ සැබෑ සංවර්ධනය උදෙසා මෙම ඉල්ලීමට එකඟ වන පහත නම් සඳහන් සියලු වෘත්තිකයන් වෙනුවෙන්.

චන්ද්‍රා ජයරත්න (ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති)
නිරාල් කඩවතආරච්චි (ශ්‍රී ලංකා වරලත් කාර්යෝපාය හා ප්‍රවාහන ආයතනයේ සභාපති)
ආචාර්ය (ඉංජිනේරු) තිලක් සියඹලාපිටිය (ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති)
ඉංජිනේරු ප්‍රියාල් ද සිල්වා (ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපති සහ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී)
මහාචාර්ය සුමනසිරි ලියනගේ (සණස විශ්ව විද්‍යාලය)
මහාචාර්ය අසංග තිලකරත්න (කොළඹ විශ්ව විද්‍යාලය)
ඉංජිනේරු ඒ මනම්පේරි (ශ්‍රී ලංකා වරලත් ඉංජිනේරු ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරු කමිටු සභාපති)
සුභාෂිණී අබේසිංහ (වෙරිතේ රිසර්ච් ආයතනයේ ජ්‍යෙෂ්ඨ අර්ථ ශාස්ත්‍රඥ)
ආචාර්ය අමින්ද මෙත්සීල පෙරේරා (වයඹ විශ්ව විද්‍යාලය)
ක්‍රිස් තිලක ධර්මකීර්ති (ආර්ථික සංවර්ධනය පිළිබඳ ජාතික සභාවේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිළධාරී)
ආචාර්ය වසන්ත අතුකෝරළ (ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය ආර්ථික විද්‍යාර්ථී සංසදයේ හිටපු සම්බන්ධිකාරක)
හරිනි අමරසිංහ (ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය ආර්ථික විද්‍යාර්ථී සංසදයේ සම්බන්ධිකාරක)
ඉංජිනේරු නාමලී සියඹලාපිටිය (ශ්‍රී ලංකා වරලත් කාර්යෝපාය හා ප්‍රවාහන ආයතනයේ නියෝජ්‍ය සභාපති)
ජයන්ත රත්නායක (කාර්යෝපායඥ සහ කොළඹ, සිනෙක් හා සාගර විශ්ව විද්‍යාලයන්හි බාහිර කථිකාචාර්ය)
ආචාර්ය ප්‍රිමාල් ප්‍රනාන්දු (පේරාදෙනිය විශ්ව විද්‍යාලය)
ආචාර්ය ඩී එච් එස් මෛත්‍රීපාල (පේරාදෙනිය විශ්ව විද්‍යාලය)
ආචාර්ය රංගික හල්වතුර (මොරටුව විශ්ව විද්‍යාලය)
ආචාර්ය ජානකී ජයවර්ධන (කොළඹ විශ්ව විද්‍යාලය)
ආචාර්ය ඒ ඩබ්ලිව් විජේරත්න (සබරගමුව විශ්ව විද්‍යාලය)
සිතුමිණි රත්නමලල (මොරටුව විශ්ව විද්‍යාලය)
ආචාර්ය ප්‍රභාත් ජයසිංහ (කොළඹ විශ්ව විද්‍යාලය)
ආචාර්ය මාධව මීගස්කුඹුර (පේරාදෙනිය විශ්ව විද්‍යාලය)
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
සිසිර ජයමහ (ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය)

Print Friendly

මූල්‍ය වංචා නඩු බරක් කරන ප්‍රමාද දෝෂ

$
0
0

සෝමපාල ගුණධීර

සෝමපාල ගුණධිර

සෝමපාල ගුණධිර

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් ලැබෙන වාර්තා මත ප්‍රභූන් සිර බාරයට ගැනීම අද පළවන දැවෙන පුවත් අතර මුල් තැන ගනී. විදේශ ගතව සිට ආපසු පැමිණි, බැසිල් රාජපක්ෂ මහතා ගුවන් තොටුපොළේ දීම අත්අඩංගුවට ගනු ලැබ, බන්ධනාගාර ගත කරන ලද්දේ, ගත වූ අප්‍රේල් මාසයේ දී ය. මේ දක්වා ඒ වැටුණු බලවතාට එරෙහි නඩුව ඇසීම ප්‍රත්‍යක්ෂව ආරම්භ වී නැති පරිසරයක, එසේ කිරීමට හේතු වූ චෝදනා ගැන පැහැදිලි අවබෝධයක් නොමැතිව, රෝගී ඇමතිතුමා ගිලන්රථයකින් රෝහලත් බන්ධනාගාරයත් අතර ඔබ මොබ ගෙන යනු බලා සිටි සාමාන්‍ය ජනතාව තුළ ජනිත වු ගැඹුරු සංවේගය, දිනෙන් දින තීව්‍ර වෙමින් පවතී.

යම් හෙයකින් බැසිල් රාජපක්ෂ මහතා යථා කාලයේ දී අධිකරණයකින් වරදකරුවකු බව තීරණය කරනු ලැබුවත්, ඔහු අත්අඩංගුවට ගැනීමේ දී හා බන්ධන ගත කිරීමේ දී ඔහුට සිදු වූ, වැලක් විය හැකි ව තිබූ, හෑල්ලුව දැකීමෙන්, ජනතාව තුළ ජනිත වූ, අනුකම්පාව ඒ තීන්දුව අබිබවා ඉස්මතු වන්නට ඉඩ තිබේ. ‘වැලක් විය හැකි ව තිබූ’ යයි මා කියන්නේ, පිටරට සිටිය දී ම තමාට විරුද්ධ චෝදනා දැනදැනත් පෙරළා පැමිණි තැනැත්තෙකු තුළ පැන යාමේ ප්‍රවණතාවක් ඇතිවිය නො හැකි බැවිනි. ඒ මානසික ප්‍රවණතාවය දැනට තමාට විරුද්ධව පරීක්‍ෂණ පැවැත්වෙන සෑම ප්‍රභූවරයෙකුට ම සාධාරණ ය. නීතියෙන් පැන යාම නිසා, අනිවාර්යයෙන් තමා ඉබේ ම, වරදකරුවකු බව ඔප්පු වීමෙන්, තමාගේ අනාගතය සදාට ම වැළලෙන බව ඔවුන් දන්නා බැවිනි.

Basil Rබැසිල් රාජපක්ෂ මහතා මුහුණ දුන් තත්වය, එබඳු ම නඩුවක දී ජනාධිපතිගේ ලේකම්ගේ අත්දැකීමට හාත්පසින් ම වෙනස් විය. ඒ නඩුව මහාධිකරණයේ පැවරුණු අතර ලේකම්වරයා හිර භාරයට පත්කරවීම සඳහා, අවිධිමත් මාධ්‍යයෙන් නැගුණු දෝෂාරෝපණ මධ්‍යයේ, උගත් විනිසුරුවරිය විසින් එදින ම විත්තිකරු මුදා හරින ලදී. රිමාන්ඩ් භාරයේ පරමාර්ථය විත්තිකරු නීතියේ ග්‍රහණයෙන් පැන යාම වැළැක්වීම ය. ඉහත දැක් වූ හේතු නිසා, මූල්‍ය අපරාධ නඩුවලට පැටලුණු කිසිවකු තුළ පැන යාමේ සම්භාවිතාවක් ජනිත වීම අසීරු ය. ඔවුන්ගේ ප්‍රසිද්ධිය නිසා ඔවුන්ට ශිෂ්ට ලෝකයේ කොතැනක හෝ සැඟවී සිටින්නට නො හැක. සැඟවුනත් ඔවුන් අල්ලා ගැනීම ප්‍රශ්නයක් ද නොවනු ඇත. එබඳු පසුබිමක තමන් බැලීමට වැලිකඩට ඇදෙන ජන රැළ ප්‍රදර්ශනය කර, තමන් නිදහස් කරන්නයි රට පුරා රැළි පවත්වා, ජනතාව වටා අනුකම්පා බළකොටුවක් තනන්නට පසුබිම සාදන්නේ ඇයි? චූදිතයන්ට විරුද්ධව නෛතික පියවර ගන්නට කල් මැරීම හේතුවෙන්, අවසන් නඩු තීන්දු තමන්ට විරුද්ධව ලැබුනත්, ඒවා අර්ථශුන්‍ය කරන්නට ඔවුන්ට අවස්ථාව සැලසේ. ඒ ප්‍රමාදයෙන් පැන නැගෙන සැකය නිසා, මේ නඩු පැවරෙන්නේ පළි ගැනීමේ චේතනාවෙන් යයි ජනතාව කැලඹෙන්නට වුවද ඉඩ තිබේ.

මූල්‍ය අපරාධ නඩුවලට සම්බන්ධ වංචා හා වෙනත් අපරාධ ගැන ආණ්ඩුව කතා කළ කාලය සීමාව ඉක්මවා ගොස් තිබේ. සමහර නඩු ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‍ෂි සොයා ගැනීම අසීරු විය හැක. එසේ වුවත් පරීක්ෂණ සමාප්ත වී ඇති නඩු නො පවරන්නේ ඇයි? වේ ප්‍රමාදයට හේතුව කල් තියා සැලසුම් කිරීමට අසමත් වීමෙන් පැනනැගෙන ක්‍රමෝපාය කළමනාකරණ දෝෂයක් බව පෙනේ. පළමු ව මේ නඩු පවරන්නේ කවර උසාවියක දැයි තීරණය කළ යුතු ව ඇත.

මහේස්ත්‍රාත් උසාවියේ පැවරුණ නඩු මහාධිකරණයට මාරු කළ අවස්ථා ද දකින්නට ලැබිණ. පහළ උසාවියට ඇප දීමට බලයක් නො වූ බැවින් ඒ නඩුවල චූදිතයන්ට නඩුව ඉහළට ගෙන යන තෙක්, බන්ධනාගාරයේ තපින්නට සිදු විය. නැතහොත් ඔවුන්ට නිදහස ලබා ගැනීම සඳහා මහාධිකරණයට අභියාචනා කරන්නට සිදු විය. චෝදනා මට්ටම සලකා, ප්‍රතිපත්තියක් වශයෙන්. ආරම්භයේ දී ම, මේ නඩු කෙළින්ම මහාධිකරණයේ පවරන්නට පාලනාධිකාරය තීරණය කළේ නම් මේ තත්වය උදා නොවනු ඇත. මේ ප්‍රමාදය විත්තිකරුවන්ට සිදු වූ අසාධාරණයකි.

තවත් ප්‍රමාද වී ඇති තීරණයක් මේ නඩු අසන අධිකරණය හා එහි ව්‍යුවහයට සම්බන්ධ ය. මේ නඩු ඇසෙන්නේ මහාධිකරණයේ සාමාන්‍ය කාලසටහන ඇතුළත ද? එසේ වුව හොත් ඒවා දිග්ගැසෙමින් ගොස් අනන්ත කාලයේ ජලධාරාවෙහි දිය වී යනු ඇත. සමහර විට නඩු කෙළවර වන විට විත්තිය පැමිණිල්ල වන්නටත් ඉඩ තිබේ.

මේ අභියෝගයට ප්‍රත්‍යක්ෂ විසඳුම මේ නඩු ඇසීම සඳහා අතිරේක අධිකරණයක් හෝ ඊට වැඩි ගණනක් පිහිටුවීම ය. ඊ ළඟට මතුවන්නේ ඒ අධිකරණවල සංයුතිය පිළිබඳ ප්‍රශ්නයයි. චෝදනාවල හා චූදිතයන්ගේ බර අනුව විනිසුරුවන් එක් කෙනෙකුට වැඩි අධිකරණ අවශ්‍ය බව පෙනේ. විනිසුරන් දෙතුන් පලකගෙන් සමන්විත අධිකරණයක් ප්‍රතිපාදන අනුව, පිහිටුවීම අවස්ථාවෝචිත ය. මේ තීරණ ආරම්භයේ දීම ගත යුතු ඒවා ය. මූල්‍ය අපරාධ නඩුවලට සම්බන්ධ දේශපාලන බලපෑම් අවම කිරීම සඳහා යෝජිත විශේෂ අධිකරණවල විනිසුරන් අගවිනිසුරු තුමන් විසින් ම පත් කිරීම සුදුසු බව පෙනේ. නඩු කල් යාමෙන් ඇති වන පමා වළකා, මේ නඩු කඩිනමින් නිමා කිරීම සඳහා ඒවා මුල සිට අගට අඛණ්ඩව විමසීම අවශ්‍ය ය.

මේ ප්‍රශ්න කල් තියා සලකා බලා අවශ්‍ය පියවර නො ගත්තේ මන්ද යන ප්‍රශ්නය මෙහි දී මතු වෙයි. නීතිපති විශ්‍රාම යන තුරු ම අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමට බලා සිටි, රජයකට මේ තත්වය අරුමයක් නො වේ. වර්තමාන රජය පොරොන්දු වූ ඉලක්ක තවමත් සපුරා ගැනීමට නො හැකි වීමට හේතුව මෙබඳු කළමනාකාර අතපසුවීම් බව පෙනේ. රට කරවන්ට අලුතෙන් පත් වූ නායකයෙකුට ඔහුගේ භාරදුර කාර්යභාරය ඉටු කිරීමේ දී අග්‍රගණ්‍ය උපාය මාර්ග උපදේශකයෙකුගේ සහාය ලබා ගැනීම ප්‍රඥා ගෝචර ය. එබඳු විශේෂඥයෙකු (කාර්යභාරයක් නැති) උපදේශක මණ්ඩලයේ මුදුනට පත් කර ගැනීමෙන් පාලනය පණ ගන්වා, අඩු වෙමින් ඇතැයි පෙනෙන ජනතා විශ්වාසය යළි දිනා ගැනීමට හැකි වනු ඇත. මූල්‍ය අපරාධ නඩු නිමා කිරීමේ ප්‍රමාදයත් ළඟ එන ප්‍රාදේශීය සභා මැතිවරණයත් අතර ඇති සම්බන්ධය ප්‍රබුද්ධ රජයකට රහසක් නො වේ.

Print Friendly

ඔබ අප ආලෝකේ –අපගේ අනුප්‍රාණේ ඔබ අප ජීවය වේ –අප… (වි)මුක්තිය…ඔබ වේද?

$
0
0

ක්‍රිෂ්මාල් වර්ණසූරිය සහ උදාර එස්. සුවන්ද ආරච්චි –

“බුදුන් ගැන දන්නෝ” වූ අපේ ජාතිය

රටතුළ සාකච්ඡාවට බදුන් කළ යුතු කොතරම් වැදගත් කාලීන ප්‍රශ්න තිබුණත්, විනෝදකාමී ජනකොටසක් වෙසෙන අප රටේ සංගීතය අන් සියල්ල අභිබවා දැවෙන ප්‍රශ්නයක් බවට මෑතකදී පත්වී ඇත. නිදහස් දිනයේදී “දන්නෝ බුදුන්ගේ” ගීය නව ආරයකින් ගායනා කිරීමත් සමගම ප්‍රචලිත වූ විවිධ විචාරාත්මක මත අතර පසුගිය නිදහස් දිනයේදී ජාතික ගීය ගායනා කිරීමද දැවෙන කටගැස්මක් බවට පත්වී ඇත.Kishani Jayasinghe

68 වන නිදහස් උත්සවයේදී ජාතික ගීතය දෙමළ බසින් ගායනා කිරීම මේ දිනවල විවාදාත්මක කතාබහකට ලක්වී ඇත. එවන් මොහොතක ඒ සම්බන්ධයෙන් දක්වන මෙම අදහස කිසිසේත්ම භේදයක් ඇතිකිරීමේ අරමුණින් කරන්නක් නොවන බව අවධාරණය කරගත යුතුය. ජාතියක් වශයෙන් එක්ව නැගී සිටීමට නම් සියලු ජාතිභේද. කුලභේද නොසලකා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කිරීමට කටයුතු කළයුතු බව අප විශ්වාස කරන අතර එවන් අනාගතයක් සහ නව ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කිරීමෙහිලා එසේ දෙමළ බසින් ගායනා කිරීම සුලු හෝ උපකාරයක් වනවානම් එය අප ඉතසිතින්ම පිලිගනිමු; එයට අපගේ කිසි විරෝධතාවයක් නොමැත. නමුත් එසේ වෙනසක් සිදුකරනවානම් එය නීතියේ රාමුව සහ ජනතා පරමාධිපත්‍යයට යටත්ව කළයුතු බව අපගේ පදනමයි; මන්දයත් අප ජනරජය නීතියේ ආධිපත්‍යයට යටත් පුරවැසි ස්වාධිපත්‍ය බලය මත ක්‍රියාකාරන ජනරජයක් බව ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති නිසාය. ජාතික ගීය ගායනා කිරීම පිළිබද නීතිමය තත්ත්වය සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

මෙම ජාතික ගීයේ ආරම්භය

1815 දී බ්‍රිතාන්‍යයන් විසින් කන්ද උඩරට අත්පත්කරගැනීමත් සමග එක්සත් රාජධානියේ යටත් විජිතයක් වශයෙන් ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් පැවතුණි. පැවති රාජාණ්ඩු පාලන ක්‍රමය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත අපට ආගන්තුක වූ නව පාලන ක්‍රමයන් කෝල්බෘක්-කැමරන් සිට සෝල්බරි දක්වා සිදුවූ ආණ්ඩුක්‍රම විකාශනයත් සමග අපට හිමිවිය. අපේ ජාතික විරුවන් දියත්කළ නිදහස් අරගල මෙන්ම ඉන්දියාවේ සීඝ්‍ර වශයෙන් දියත් වූ නිදහස් අරගලද හේතුකොට ගෙන 1948 දී ලංකාවට නිදහස හිමිවිය. එසේ ලද නිදහසින් පසු යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය ජාතික ගීය ගායනා කළ අපට අපේම ජාතික ගීයක අවශ්‍යතාවය මතුවූ අතර ඒ සදහා සුදුසු ගීතයක් තොරාගැනීමට ගාන්ධර්ව සභාව මගින් තරගයක් පැවැත්වූ බවත්, එම තරගයේදී ශ්‍රී ලංකාව ගැන ලියවූ ගීත රැසක් අතුරින් පී.බී. ඉලංගසිංහ මහතා විසින් රචිත ගීය මුල්ම ජාතික ගීය ලෙස තෝරාගත් බවත් වාර්තා වී ඇත. ඉන්පසුව ආනන්ද සමරකෝන් මහතා විසින් රචනාකොට ගායනා කරවන ලද “නමෝ නමෝ මාතා” ගීතය 1951 දී පාර්ලිමේන්තුව තුළ යෝජනා සම්මතයක් මගින් ජාතික ගීය වශයෙන් පිළිගන්නා ලද අතර, “නමෝ නමෝ මාතා” යනුවෙන් තිබූ ජාතික ගීයේ ආරම්භය පසුව “ශ්‍රී ලංකා මාතා” යනුවෙන් වෙනස්කරන ලදුව එතැන් පටන් අද දක්වා ශ්‍රී ලංකා රාජ්‍යයේ ජාතික ගීය වශයෙන් නොකඩවා භාවිතා වේ.

1952 දී ද්‍රවිඩ බසින් ගායනා කිරීම

1951 දී ඩී.එස්. සේනානායක මහතා විසින් ගෙන එන යෝජනාවක් අනුව 1952 දී සැමරූ නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් “නමෝ නමෝ තායි” වශයෙන් ගායනා කොට ඇති බවත් එමෙන්ම දෙමළ ජනතාව බහුලව ජීවත්වන උතුරු පළාත්වලදී එය ඒ ආකාරයෙන් භාවිතා කොට ඇති බවත් වාර්තා වේ. මෙම කාල සීමාවේදී ශ්‍රී ලංකාව ඩොමිනියන් නිදහස ලබා තිබුණද තවදුරටත් වෙස්ට්මිනිස්ටර් ආකෘතිය අනුව නිර්මාණය කර තිබූ සෝල්බරි ව්‍යවස්ථාව අනුව පාලනය විය. 1952 වකවානුවේ ශ්‍රී ලංකාවේ බලපැවැත්වූ ව්‍යවස්ථාවේ, ජාතික ගීය ව්‍යවස්ථාවේ කොටසක් වශයෙන් අන්තර්ගත කොට තිබූ බව හෝ එය ව්‍යවස්ථානුකූලව භාවිතා කළ යුතුයැයි නීතියක් එකළ පැවතියේ නැත. එමනිසා ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි ජාතික ගීය ගැයීම පිලිබඳ සාකච්චාවක් 1952 දී පැන නොනගී; නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.Tamil Version of National Anthem of Sri Lanka

උක්ත තත්ත්වය වඩාත් හොඳින් වටහාගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය විකාශනය මඳක් විමසා බලමු. ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වශයෙන් ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් බොහොමයක් ශ්‍රී ලංකාවට ආගන්තුක වූත්, විදේශීය භූමියකදී සම්පාදනය කර ශ්‍රී ලංකාවට හඳුන්වාදුන්නා වූත් ඒවාය. එමගින් ලාංකික ජනතාවගේ පරමාධිපත්‍යය බලය නියෝජනය නොවූ අතර බ්‍රිතාන්‍ය කිරීටයට වගකිවයුතු ඒවා විය. එහෙත් 1972 දී සහ 1978 දී සම්පාදනය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් උක්ත තත්ත්වයෙන් සපුරා වෙනස් වූ ජනරජ ව්‍යවස්ථාවන් වේ. මෙම කරුණ මෙම ලේඛකයා විසින්ම පසුගිය වකවානුවේ මාධ්‍ය කිහිපයකම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළනිසා ඒ පිළිබද වැඩිදුර විස්තරයක් අවශ්‍ය නොවේ. කෙටියෙන් පවසනවානම් ජනරජ ව්‍යවස්ථාවක් යනු මහජනයා විසින්ම ඇතිකරගන්නා ලද වූත්, කිරීටයට යටත්නොවූ ස්වාධිපත්‍ය බලය අප කෙරෙහිම තබාගෙන රාජ්‍යයේ පාලනය පමණක් සුලුකලකට මහජන භාරයක් වශයෙන් ආයතනයන් කෙරෙහි රදවන්නාවූත් පාලනක්‍රමයකි.

දෙවන ජනරජ (1978) ව්‍යවස්ථාව යටතේ තත්ත්වය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 ව්‍යවස්ථාව දක්වන්නේ “ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේය, ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වන උපලේඛනයෙහි දැක්වෙන්නේය” යනුවෙනි. එකී උපලේඛනයෙහි එහි පදමාලාව සිංහල අකුරින් පෙරදිග සංගීතයේ තනුව සමග දක්වා ඇත. ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේද ඉංග්‍රීසියෙන් දක්වා ඇත්තේ “The National Anthem of the Republic of Sri Lanka shall be Sri Lanka Matha , the words and music of which are set out in the third schedule” යනුවෙනි. එම ඉංග්‍රීසි ව්‍යවස්ථාවෙහි තුන්වන උපලේඛනයෙහිද අන්තර්ගත වන්නේ ඉංග්‍රීසි අකුරින් ලියවුණු සිංහල වචන ඇති ශ්‍රී ලංකා මාතා යන ජාතික ගීයයි. එහි දෙමළ අනුවර්තනයක් පිළිබද මෙම දෙකේම සදහනක් නැත. මෙම ව්‍යවස්ථාවෙහි මුල් කෙටුම්පතේ (1978) 18 වන වගන්තියෙහි දැක්වෙන්නේ එක රාජ්‍ය භාෂාවකි, එනම් සිංහල භාෂාවයි; නමුත් 19 වන වගන්තියෙහි සිංහල සහ දෙමළ ශ්‍රී ලංකාවෙහි ජාතික භාෂා බවට හදුනාගෙන ඇත. මෙහි වෙනස්කම නම් ව්‍යවස්ථාවේම දැක්වෙන පරිදි රාජ්‍ය භාෂාව යනු රාජ්‍ය පොදු කටයුතුවලදී භාවිතා කරන, රාජ්‍ය උත්සව වලදී පිළිගැනෙන භාෂාව යන්නයි. එසේනම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන අවස්ථාවේදී රාජ්‍ය භාෂාව පිළිබද තත්ත්වය මෙයයි.

13 වන සංශෝධනයෙන් දෙමළ බස රාජ්‍ය භාෂාවක් කිරීම

කෙසේ වුවත් 1987 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද 13 වන සංශෝධනය මගින් ඉහත කී 18 වගන්තිය සංශෝධනය කරමින් දෙමළ භාෂාවට ද රාජ්‍ය භාෂාවක තත්ත්වය ලබාදුන් බව දැකිය හැක. එමෙන්ම 1988 දී 16 වන සංශෝධනය මගින් දෙමළ ජනතාව වැඩි වශයෙන් වාසය කරන ප්‍රදේශවල දෙමළ භාෂාව පරිපාලන භාෂාව ලෙස භාවිතා කිරීමට අවශ්‍ය ප්‍රතිපාදනද සලසා ඇත. එවන් ව්‍යවස්ථානුකූලභාවයක් තුල රාජ්‍ය උත්සවයන්හිදී දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීම ප්‍රශ්නයක් නොවේ. නමුත් ප්‍රශ්නය වන්නේ එම දෙමළ බසින් දෙමළ වචන යොදා සකසා ඇති ජාතික ගීයේ පරිවර්තනය ව්‍යවස්ථාවේ තුන්වන උපලේඛනයෙහි කවදා කෙසේ ඇතුළත් වූයේද යන්නයි; මන්ද එය එසේ ඇතුල්කරනවා නම් ඒ සදහා අනුගමනය කළයුතු ප්‍රතිපාදනද ව්‍යවස්ථාව තුළම දක්වා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියට අනුව 7 වන ව්‍යවස්ථාවේ ඇති ජාතික ගීය සංශෝධනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක කැමැත්තක් මෙන්ම ජනතාවගේ කැමැත්ත විමසන ජනමත විචාරණයක දී ලබාගන්නා බහුතර කැමැත්තද අවශ්‍ය වේ. ප්‍රශ්නය වන්නේ ඒ ආකාරයට ජාතික ගීතයට සිදුකරන ලද සංශෝධනයක් කවදා සිදුවූයේද? එය 1987 න් පසු සිදුවූවානම් එකී ව්‍යවස්ථානු කාර්යපටිපාටිය අනුගමනය කලේ කවදාද? කෙසේද? ඒ පිලිබදව ලේඛනගතව ඇත්තේ කොහේද? යන්නයි.

දෙමළ භාෂා පරිවර්තනය

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉහත කී ආකාරයේ දෙමළ භාෂා පරිවර්තනයක් 1987 වකවානුවේ සිදුකළාද යන්න සොයාගැනීමට අප දැරූ සියලු උත්සාහයන් ව්‍යවර්ථ විය. එහෙත් පසුගිය දින නිදහස් දිනයේදී ගායනා කරන ලදුව එවන් පරිවර්තනයක් පවතින බවත්, අන්තර්ජාලයෙහි දැක්වෙන එම පරිවර්තනයෙහි එය “ශ්‍රී ලංකා තායි” ලෙස ආරම්භවී ඉහත කී 7 වන ව්‍යවස්ථාවේ 3වන උපලේඛනයෙහි පදමාලාවට වෙනස් වන බව අප අධ්‍යයනය කලෙමු. මෙහිදී අපට උද්ගතවන ප්‍රශ්නය වන්නේ දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කළ 1978 වර්ෂයේදී රාජ්‍ය භාෂාව සිංහල පමණක්ව පවතිද්දී මෙවන් පරිවර්තනයක් ව්‍යවස්ථාවට අඩංගුවූයේ කෙසේද? එසේ නැත්නම් ඉහත අප ප්‍රශ්න කළ ආකාරයට එවන් වෙනසක් කවදා කෙසේ සිදුවූවාද යන්නයි.
මෙවන් ප්‍රශ්නයක් උද්ගත වී ඇති අවස්ථාවක යහපාලනය අරමුණු කරගත් වගකිවයුතු රජයක කාර්යභාරය වන්නේ මෙම කරුණු ජනතාව ඉදිරියෙහි නිරවුල් කරදීම මිස හුදු දේශපාලන කතා ගිරිය පුප්පාගෙන කෑගසමින් ප්‍රශ්නය තවත් සංකීර්ණ කිරීම නොවේ. දෙවන ජනරජ ව්‍යවස්ථාව යටතේ නීතියේ නිසි ක්‍රියාදාමය අනුගමනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් ඇතුළත් කර ඇත්තේද යන ප්‍රශ්නයට නිශ්චිත පිලිතුරක් ලබාදී මේ පිළිබදව ඇති දුර්මතයන් දුරුකිරීමයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මහජනයාට තොරතුරු දැනගැනීමට අයිතියද දැන් ලබාදී ඇත. එවන් පසුබිමක් තුල මෙම ප්‍රශ්නය පිළිබදව කිසිදු වගකිවයුතු පාර්ශවයක් නිල ප්‍රකාශයක් නිකුත් නොකිරීම කණගාටුවට කරුණකි.

ව්‍යවස්ථාවට අනුව නව ශ්‍රී ලාංකික අනන්‍යතාවයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුක්‍රමයෙන් සිදුකළ සංශෝධන ප්‍රවේශමෙන් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ දෙමළ භාෂාවටද සිංහල භාෂාව මෙන් සමාන රාජ්‍ය පිළිගැනීමක් ලබාදී ඇති බවයි. එය සුලුකොට තැකිය නොහැකි කරුණකි. රටක් වශයෙන් සියලු ජාතීන් සන්හිදියාවෙන් ඉදිරියට යාමට එවන් ප්‍රගතිශීලී ක්‍රියාකාරකම් සිදුකිරීම අත්‍යවශ්‍යයි. එහෙත් ඒ සියල්ල නීතියේ රාමුව තුල සිදුවිය යුතුය; නීතියේ ආධිපත්‍යය ආරක්ෂා විය යුතුය; ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන ආයතනයට සම්බන්ධ අපිට අවශ්‍යවන්නේ එයයි.

මේ සියලු සංගීතයන් ඉතාම උද්වේගයෙන් සාකච්ඡා කරන අපිට ජාතික ගීය සමග කියන තවත් පද පෙළක් ක්ෂණයෙන් මතකයට නැගේ. එනම් ජාතික ගීය අවසානයේදී සෑම නිදහස් දිනකම රටේ රාජ්‍ය නායකයා ඉදිරියේ සුන්දර ලලනාවන් කණ්ඩායමක් ගායනා කරන “දේවෝ වස්සතු කාලේන” ආශිර්වාද ගාථාවයි. මෙය දිනපතාම උදෑසන ගුවන්විදුලි ආරම්භවන විටත් මෙම ධර්මද්වීපයේ සතර කොන අසන්නට ලැබේ. එම ගාථාව හා එහි ආසන්න සිංහල අනුවර්තනය මෙයයි.

දේවෝ වස්සතු කාලේන – දෙවියෝ / වැස්ස වළාහක දෙවියෝ කාලයට වර්ෂාව දෙත්වා
සස්ස සම්පත්ති හොතුච – ඒ හේතුවෙන් කෙත්වතු සරු සාර වේවා
පීතෝ භවතු ලෝකෝච – ඒ සශ්‍රීක වීම හේතුකොටගෙන ජනතාව ප්‍රීති ප්‍රමෝදයෙන් ඉතිරේවා
රාජා භවතු ධම්මිකෝ – ඒ සියල්ල සිදුවීමට පාලකයා ධර්මයට අනුව/නීත්‍යනුකූලව රට කරත්වා

මෙම කරුණද අප ජාතික ගීය හෝ දන්නෝ බුදුන්ගේ ගීය පිළිබද කතාකරන උද්වේගයෙන්ම වැදගත්කමක් ලබාදී සාකච්ඡාවට ලක්කළ යුතු කරුණක් බව අපගේ විශ්වාසයයි.

Print Friendly

සාධු, ඇයි අවුල්ද?

$
0
0

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අප දන්නා තරමින් ඕනෑම රටක ත්‍රස්තවාදීන් හැරුණු විට සිටින භයානකම පිරිස ලෙස සැලකෙන්නේ පාතාල සාමාජිකයන් වුවද සාමාන්‍යයෙන් නම ගිය පාතාලකාරයෙකුවත් අධිකරණය සමග හැප්පෙන්නට යනවා අප දැක නැත. කොටින්ම කියන්නේ නම් දේශපාලඥයන්ව පවා අල්ලේ නටවන පාතාල සාමාජිකයන්වත් අධිකරණයෙන් එළිපිට ‘ගේම ඉල්ලූ’ අවස්ථාවක් මෑතකාලීනව කිසිම රටකින් අපට අසන්නට දකින්නට නොවීය. ඈතින් හිඳ අධිකරණයක් වෙත බෝම්බයකින් දමා ගැසීම එකකි. ඇතුළටම කඩා පැන මහේස්ත්‍රාත්ගේ මූණටම ලුණු ඇඹුල් ඇතුව දෙකක් කතා කිරීම තව එකකි. ඒ අතින් පාතාලකාරයාටවත් කළ නොහැකි වූ ඒ වික්‍රමය කරන්නට පසුගිය දිනක මෙරට ශාසනමාමක යැයි කියා ගන්නා “භික්ෂූන්” පිරිසකට හැකි විය. සාමාන්‍යයෙන් කිවිසුම් යාම වැනි මනුෂ්‍ය අවශ්‍යතා පවා අධිකරණයේ නඩු විභාගයක් අතරතුරදී සිදු වීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකනු ලැබෙන පසුබිමක පවා රස්තියාදුකාර ඥානසාර එවේලේම කුදලාගෙන යාමට හැකියාවක් පොලීසියට හෝ එසේ කරන ලෙස නියෝග කිරීමට හැකියාවක් අධිකරණයට හෝ නොවීමද සුළුපටු කරුණක් නොවේ. ඒ වෙනුවට, ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ඔහු හෝමාගම අධිකරණ පරිශ්‍රය තුළ හිතේ හැටියට ඩෙඟා නටා සිය මැර කල්ලිය පිරිවරාගෙන නික්ම යාමෙන් පසුවය.

කෙනෙකු මෙය අධිකරණයේ දුර්වලකම ලෙස මතුපිටින් දකින්නට ඉඩ ඇති වුවද මා එම සිද්ධිය දකින්නේ අතිශය දේශපාලනික සබඳතා මාලාවක ප්‍රතිඵලයක් ලෙස සිවුර වෙත ලබා දී ඇති අනවශ්‍ය තරමේ දේශපාලනික අධිකාරීත්වය මත හිමි වන ආගමික හොජමොනිය තුළ අධිකරණය වැනි උත්තරීතරම නෛතික ආයතන පවා අසරණ වන තැනට අප රට ඇද වැටීමේ ඛේදවාචකයක් ලෙසයි. යම් හෙයකින් එදාම ඥානසාරව කූඩුවේ දමන්නට අණ නිකුත් වී නම් එසැණින් ක්‍රියාත්මක වන චීවරධාරී මැර කල්ලි සහ බුද්ධාගමේ මූලික ඉගැන්වීම් ගැන පවා හාංකවිසියක් නොදන්නා “උප්පැන්න සහතික බෞද්ධකම” හංවඩු ගසන ලද ව්‍යාජ උපාසක මහත්තුරුන් තවත් දර්ගාවකට අර ඇදීමේ අවදානම තිබූ බව අධිකරණයට පෙනී ගියා නම් අපි ඒ ගැනද පුදුම විය යුතු නොවෙමු. සාමාන්‍ය මිනිහා සහ සිවුර පොරවාගත් මැරයා සම්බන්ධයෙන් එකම ආකාරයට ක්‍රියාත්මක වීමට අධිකරණය තරමක් අදිමදි කරන්නට ඇත්තේ එහෙයින්දැයි ඉතාම කණගාටුවෙන් හෝ අප ඇසිය යුතුය.

Fashion Bug monkඅද (16) ලංකාදීප ඊ-පුවත් පත වාර්තා කරන පුවතකින් දැක්වෙන්නේ හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරුණු භික්ෂූන් සිව් දෙනෙකු පසුගිය සඳුදා පොලීසියට භාර වීමෙන් අනතුරුව ඔවුන්ව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට අද දින හෝමාගම අධිකරණය වෙත පෙරළා ගෙන ගිය බවයි. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ඇතුළු මෑත කාලයේ අමුතු බුද්ධාගමක් රකින්නට විවිධ පහත් ක්‍රියාවල නිරත වූ නමට පමණක් “භික්ෂූන්” හතර දෙනෙකු ඊට අයත් වෙයි. මේ අය බන්ධනාගාර බසයෙන් බසින අවස්ථාවේදී ගන්නා ලද ඡායාරූප කිහිපයක්ද එම පුවතටම අදාළව පළ වී ඇති අතර පුදුමයට කරුණ නම් ඔවුන් තමන් හැඳ විටින සිවුරු පොටෙන් හිස හංගාගෙන සිටීමය. එදා හෝමාගම අධිකරණය ඉදිරිපිට රණවිරුවන් රැකීම වෙනුවෙන් රණවිරුවන්ගෙන්ම ගේම ඉල්ලූ මොහොතේ නම් මේ අය හැසිරුණේ ඇඟේ සිවුරක් නොතිබුණ ගානට බව ඡායාරූප හා වීඩියෝ සාක්ෂි ඇතිව අපි දුටිමු. එක් පුද්ගලයෙකු තම සිවුර ගලවා අඳනය පිටින් සිටගෙන විරෝධය පෑ ඡායාරූපද මාධ්‍යවල පළ විය. එදින, තමන්ගේම පිරිස මැද්දට වී, රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අතිශයින්ම වැදගත් හා උත්තරීතරම ආයතනය වන අධිකරණය හෑල්ලුවට ලක් කරමින් මැරකමේ හැසිරෙන විට නම් මේ අය සිටියේ මුහුණු නිරාවරණය කරගෙනය. පසුගිය කාලයේ දූෂිත රාජපක්ෂ රෙජීමය යටතේ මහ පාරට බැස සුළු ජාතීන් පාගා දමනු වස් මදාවිකමේ යෙදෙන විට මේ අය මුහුණු ආවරණය කරගෙන සිටියේද නැත.

අනෙක් අතින්, එදා එම අධිකරණයටම කඩා වැදී මැරයන් ලෙස හැසිරුණේ මේ රටේත්, බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් අභිවෘද්ධිය තකා නම්, එසේම ඥානසාරද කිහිප විටක්ම තැන් තැන්වල දෙසා ඇති පරිදි තමන් ජාතිවාදී නැති බව විශ්වාස නම්, රෙද්ද අස්සේ ඔළුව ගහගෙන නැවත වරක් එහිම යාමට සිදු වීමේ ගම්‍යාර්ථය මෙරට ජනතාව තේරුම් ගත යුතුය. ඇත්ත කාරණය නම්, ඥානසාරවත්, සද්ධාතිස්ස වැනි අනෙකුත් චීවරධාරීන්වත් කිසිම අරුතකින් බෞද්ධ නොවන බවයි. බෞද්ධ භික්ෂුවට තබා බොදු ගිහියාටවත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට අවසරයක් අප දන්නා බුදු දහම තුළ නම් නැත. අංගුලිමාල කඩුව අමෝරාගෙන කඩා පනින විට බුදුරජාණන්වහන්සේද “එම්බල අංගුලිමාලය!” යි කියමින් වළියට ගිය වගක්ද අප අසා නැත. සෑම දෙයම අනිත්‍ය බව පුන පුනා දේශනා කළ ගෞතමයන් තම දහමේ යහපැවැත්ම උදෙසා අන් ආගම් හා ජාතීන් සමග සටන් වැද ඒවා විනාශ කර දැමීමේ අවශ්‍යතාව ගැන කොහේ හෝ සඳහන් කළ බවක් අප දන්නේද නැත. මේ සියල්ලම පසෙක තැබුවත්, ඥානසාර ඇතුළු මේ මැර නඩය කිසිසේත්ම තම අනුගාමිකයන්ට පවා අවංක නැත. බුද්ධාගම වෙනුවෙන් සෝභිත හිමි වැනි සැබෑ බුද්ධ පුත්‍රයන් ඉටු කළ ප්‍රායෝගික හා චිර පවත්නා මෙහෙවර ඉටු කරන්නට අවශ්‍ය විභවය හෝ පෞරුෂයද මොවුනට නැත. කට්ටිය ඉන්නා තැන පොර වීමේත්, නැති තැන බලු වීමේත් සරලතම සත්‍යය එයයි.

ඥානසාරලාගේ මේ බෞද්ධ විරෝධී හැසිරීම අප පරිස්සමට තේරුම් ගත යුතුය. අප අසා ඇති පරිදි සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්ම ගියේ ඇතිතාක් සැප විඳ ගිහිගෙය එපා වීමෙනි. සිද්ධාර්ථට තිබූ අවශ්‍යතාව හුදෙක්ම ආධ්‍යාත්මික එකක් වූ අතර තවදුරටත් ලබා ගන්නට දෙයක් ඔහුට නොවීය. මේ නිසාම, උන්වහන්සේට හඹා යා යුතු යම් නිශ්චිත අරමුණක් තිබිණ. එහෙත්, ඥානසාරලා සහ ඔවුන්ගේ සහචරයන් වැටෙන්නේ සසරින් ඉකුත් වීමේ අරමුණින් හෝ බෞද්ධ දර්ශනය අභ්‍යන්තරීකරණය කර ගැනීමේ අරමුණින් හෝ සසුනට ඇතුළු වූ අයගේ ගොඩට නොව, දුප්පත්කම හෝ වෙනත් හේතූන් මත දෙමාපියන් ගොඩ දැමීමට සිවුර දාගන්නා අයගේ ගොඩටය. එහෙම නැත්තන් හතර කේන්දරේම පාළු වූ අයගේ ගොඩටය. මේ අය සසුන්ගත වන්නේ ඇති මළඉලව්වුකට නොව වෙන කරන්නට දෙයක් නැතිකමටය. එහෙම උන්ට බුද්ධාගමෙන් ඇති වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය පොරොවා ගත් සිවුර ආයුධයක් කර ගනිමින් පෞද්ගලික සුඛවිහරණය සරිකොට ගැනීමයි. නැතහොත්, නොතිබූ දේ ඇති කොට ගැනීමයි. බුදුන් ගිය මග සහ ඥානසාරලා පහරින මග අතර පරස්පරය ඇත්තේ මෙතැනය.

බොරුවට හැම දා පැවැත්මක් නැත. එය කොතැනක හෝ දෙදරුම් කන බව අපි දනිමු. මුල් කාලයේදී “මොනා වුණත් බුද්ධාගම ගැන කතා කරන්නත් කෙනෙක් ඉන්න එපැයි” කියමින් ඥානසාරලාගේ මගෝඩි වැඩ දෙස ධනාත්මක ඇසකින් බලන්නට උත්සාහ කළ අය පවා වැඩි කල් නොගොස්ම ඇත්ත තේරුම් ගෙන ඥානසාර බෞද්ධකමේ නාමයෙන් පෙනී සිටින හා ඒ ඇසුරින්ම රාජපක්ෂගේ අල්ලේ නටමින් පෞද්ගලික වරදාන පතන රස්තියාදුකාරයෙකි යන සාමාන්‍යකරණය වෙත එළැඹීම එක අතකින් ඔවුන්ගේ දෛවයේ සරදමක් බඳුය. සද්ධාතිස්ස වැනි අයගේ නම් මැරකම පෙන්නා දීමට අමුතු නිරීක්ෂණ අවශ්‍ය නැත. මූණ බැලුවත් ඇතිය!

එදා ගේම ඉල්ලූ හෝමාගම අධිකරණය වෙතම අද ඔළුව හංගාගෙන බඩගානා මේ බොරු චණ්ඩින්ගෙන් අප ඇසිය යුත්තේ එකම ප්‍රශ්නයකි: “ඇයි, අවුල්ද?”

[ප. ලි. :- බුද්ධාගමේ “සාධුලා” නැත.]

ashanweerasinghe@gmail.com

Print Friendly

සීඑස්එන් නාලිකාව පිළිබඳ ආණ්ඩුවේ කතාව ඇත්ත ද?

$
0
0

උදය ගම්මන්පිල

උදය ගම්මන්පිල

උදය ගම්මන්පිල

චෝදනාව

ජනමාධ්‍යයන්හි සඳහන් වූ අයුරින් සීඑස්එන් නාලිකාවේ අධ්‍යක්ෂවරුන් සහ හිටපු ප්‍රධාන විධායක නිළධාරින් කුප්‍රකට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ සපයා ගත් ආකාරය හෙලිදරව් කල නොහැකි අරමුදල් යොදා සීඑස්එන් රූපවාහිනි නාලිකාව ආරම්භ කළ බවට චෝදනා කරමිනි. වඩාත් සරලව පැවසුවොත් කළු සල්ලි සුදු කිරීමේ චෝදනාව යටතේය.

මාධ්‍ය වාර්තා කළ අයුරින් සපයා ගත් ආකාරය හෙලි කළ නොහැකි ඩොලර් මිලියන 5ක මුදලක් විදෙස් රටකින් සීඑස්එන් නාලිකාවට ලැබී තිබේ. මෙම සම්පූර්ණයෙන්ම පදනම් විරහිත චෝදනාවකි. කිසිම විදේශ රටකින් කිසිම මුදලක් සීඑස්එන් නාලිකාවට ලැබී නොමැත. ඒ පිළිබඳ සාක්ෂි ඇත්නම් ඉදිරිපත් කරන මෙන් අපි ආණ්ඩුවට අභියෝග කරමු.

සමහර මාධ්‍ය වාර්තා කර තිබුණේ සමාගමේ ආයෝජනය කර ඇති රුපියල් මිලියන 207ක මුදලක් සපයා ගත් ආකාරය හෙලි කිරීමට නොහැකි වීමෙන් ඉහත කී චෝදනාවට ලක් වී ඇති බවයි. මිලියන 7ක් ප්‍රාග්ධනය ලෙස ද මිලියන 200ක් ණය ලෙස ද රුපියල් මිලියන 207ක් සමාගමේ ආයෝජනය කර ඇති බව සත්‍යයකි. නමුත් එම අරමුදල් සපයා ගත් ආකාරය පිළිබඳ සියළුම ලිඛිත සාක්ෂි පොලීසියට ඉදිරිපත් කර ඇත. එසේ නම් පොලීසිය විසින් පදනම් විරහිතව මෙම චෝදනා නගන්නේ කෙසේද?

පසුබිම

යෝෂිත රාජපක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රීඩා ලෝලියෙකි. ඔහු නාවික හමුදාවේ රගර් කණ්ඩායමේ මෙන්ම ජාතික රගර් කණ්ඩායමේ ද නායකත්වය දරා ඇත. එමෙන්ම ඉලක්කයට වෙඩි තැබීමේ තරග වලින් ජාතික ශූරතාවය දිනා ජාත්‍යන්තර තරග වල දී ද ලංකාව නියෝජනය කර ඇත. එමෙන්ම ජාතික එල්ලේ සම්මේලනයේ සභාපති ධූරය ද දරා ඇත.

ලෝකය පුරා ක්‍රීඩා සඳහා වෙන් වුණු නාලිකාවන් තිබුණත් ලංකාවේ එවැනි නාලිකාවක් තිබුණේ නැත. එබැවින් ප්‍රවෘත්ති සහ ටෙලි නාට්‍ය විකාශනය කිරීම් හරහා බාධා වීමකින් තොරව ක්‍රීඩා තරග නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ට නොවිණි.

මේ පිළිබඳ සිය මිතුරන් සමග සාකච්ඡා කර ක්‍රීඩා සඳහා වෙන් වූ රූපවාහිනි නාලිකාවක් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් “සීඑස්එන්“ නමින් ආරම්භ කිරීමට යෝෂිත විසින් සිය මිතුරන් දිරිමත් කරන ලදී. යෝෂිත රාජපක්ෂ කිසිම දිනක කොටස් හිමියෙකු හෝ අධ්‍යක්ෂවරයෙකු වූයේ නැත. නමුත් තමන්ගේ සංකල්පයක් මෙන්ම සිහිනයක් සැබෑ කරන ආයතනයක් බැවින් ඊට සෘජුවම මැදිහත් වී ආයතනයේ දියුණුවට කැප වන ලදී. එමෙන්ම එම නාලිකාවේ සන්නාම තානාපතිවරයෙකු ලෙස ද කටයුතු කලේය.

සමාගමේ ආරම්භක ප්‍රාග්ධනය යොදන ලද්දේ අධ්‍යක්ෂවරු විසිනි. යෙද වූ මුල් මුදල වන්නේ රුපියල් මිලියන 7කි. ඒ අශාන් ප්‍රනාන්දු මිලියන 5ක් ද අශාඩියා කරුණාජීව මිලියනයක් ද කවිෂාන් දිසානායක මිලියනයක් ද වශයෙනි. එම මුදල් වෙනුවෙන් අදාළ ආයෝජකයින්ට කොටස් නිකුත් කර ඇත. අධ්‍යක්ෂවරයෙකු මෙන්ම පළමු ප්‍රධාන විධායක නිළධාරි ද වූ රොහාන් වැලිවිට තමන්ගේ තිනෙත නම් චන්ද්‍රිකා රූපවාහිනි නාලිකාව සතු වූ මිලියන 4ක් පමණ වටිනා උපකරණ ද සේවකයින් ද සීඑස්එන් නාලිකාවට ලබා දෙන ලදී.

විකාශන කටයුතු ඇරඹීම සඳහා ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂයක මාසික බදු කුලිය මත ලබා ගෙන ඇත. වීඅයිඑස් බ්‍රෝඩ්කාස්ටින් සමාගමෙන් සංඛ්‍යාත සහ උපකරණ ද කුලියට ලබා ගෙන ඇත. පසු කාලීනව මෙම නාලිකාව සඳහාම සංඛ්‍යාත ලබා ගන්නා ලදී.

ආයතනය කර ගෙන යෑමට ආරම්භක මුදල ප්‍රමාණවත් නොවුණු බැවින් 2011 මාර්තු සහ සැප්තැම්බර් අතර වරින් වර ණය මුදල් ලබා ගන්නා ලදී. එසේ ලබා ගත් මුළු ණය මුදල රුපියල් මිලියන 200කි. එයින් මිලියන 50ක් ලබා දී ඇත්තේ ලංකා ඔරික්ස් ෆිනෑන්ස් සමාගමයි. ඒ සඳහා ටීපීඑල් හෝල්ඩිංග්ස් සමාගම සතු රුපියල් මිලියන 76ක බැංකු ස්ථාවර තැන්පතුවක් ඇපයට තබා ගෙන ඇත. මේ පිළිබඳ ලංකා ඔරික්ස් ෆිනෑන්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටිමින් කඩුවෙල මහෙස්ත්‍රාත් ඉදිරියේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පැවසුවේ තමන්ගේ සාමාන්‍ය ව්‍යාපාරය වන්නේ ඇපයට දේපලක් තබා ගෙන ණය ලබා දීම බවත් ඒ අනුව සීඑස්එන් නාලිකාවට ඇපයක් තබා ගෙන ණයක් ලබා දීම තවත් එක් සාමාන්‍ය ගනුදෙනුවක් පමණක් බවත්ය.

තවත් මිලියන 50ක් ලබා ගෙන ඇත්තේ ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකුගෙනි. ඒ සඳහා ණය ගිවිසුමක් ද අත්සන් කර ඇත. එකී ණය මුදල ලබා දුන් ඔහු දැන් පවසන්නේ තමන් ණය මුදලක් නොදුන් බවත් තමන්ට තර්ජනය කර බිය ගන්වා මෙම ණය ගිවිසුමට අත්සන් කරවා ගත් බවකි. එය හුදෙක්ම සීඑස්එන් නාලිකාවේ අධ්‍යක්ෂවරු අමාරුවේ දැමීමේ දුෂ්ට අරමුණින් පවසන කතාවක් බව පැහැදිලිය. ඔහු ඒ පිළිබඳ කිසිම දිනක කිසිවෙකුට පැමිණිලි කර නැත. එම කතාව පොලීසිය විශ්වාස කිරීමට නම් මුලින්ම කළ යුත්තේ ගිවිසුමේ ණය දුන් බවට සඳහන් පුද්ගලයා දිසා උසාවියට මෙම කරුණු ඉදිරිපත් කර එම ගිවිසුම වලංගු නොමැති බවට ප්‍රකාශ කර ගැනීමයි. මේ වන තෙක් එවැනි කිසිම ක්‍රියා මාර්ගයක් ගෙන නැත. එබැවින් එකී ණය ගිවිසුම නොසළකා හැරීමට පොලීසිය ගත් තීරණය නීති විරෝධිය.

ඉතිරි මිලියන 100 ලබා දුන්නේ කොස්මොස් ටෙක්නොලොජි සහ කොස්මොස් ප්‍රින්ටින් යන සමාගම් වලිනි. එම මුදල චෙක්පත් වලින් සහ සල්ලි වලින් වරින් වර ලබා දී ඇත. එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ද තමන් මුදල් ලබා නොදුන් බවත් තර්ජනය කර බලහත්කාරයෙන් ගිවිසුමට අත්සන් ලබා ගත් පවසා ඇත. නමුත් එම ගිවිසුම අවලංගු බවට කිසිම අධිකරණයක් මගින් ප්‍රකාශ කර ගෙන නොමැත.

මීට අමතරව චෙස්මි ලිමිටඩ් ආයතනයෙන් රු මි 27ක් ණයට ලබා ගත් අතර එම මුදල සම්පූර්ණයෙන්ම ආපසු ගෙවා ඇත.

මේ අනුව පෙනෙන්නේ රුපියල් මිලියන 207 සපයා ගත් ආකාරය පිළිබඳ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කර තිබිය දී පදනම් විරහිතව මූල්‍ය විශුද්ධිකරණ චෝදනා ගොනු කර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සලස්වා ඇති බවයි. මෙම පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අරමුණෙන් ලිඛිත ණය ගිවිසුම් නොසළකා හැරීමට තීරණය කර ඇති බවයි. මූල්‍ය විශුද්ධිකරණය පිළිබඳ සැකකරුවන්ට ඇප ලබා දීමට මහෙස්ත්‍රාත්වරුන්ට බලය නොමැති හෙයින් දිගු කලක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ දුෂ්ට අරමුණින් මෙම චෝදනා ගොනු කර ඇති බව පෙනේ.

රාජ්‍ය දේපල අපහරණය හෝ රේගුවට ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කිරීම පිළිබඳ මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වුවත් 2016 ජනවාරි 30 දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී පොලීසිය ගොනු කළ වාර්තාවේ සඳහන් කර තිබුණේ මූල්‍ය විශුද්ධකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් බව පමණි.

රාජ්‍ය දේපල අපහරණය හෝ රේගුවට ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කිරීම හෝ වෙනත් යම් වරදක් කර ඇත්නම් එයට දඬුවම් කිරීම පිළිබඳ අපේ කිසිම විරෝධයක් නැත. නමුත් නොකළ වරදක් පිළිබඳ පදනම් විරහිත චෝදනා නැගීම හුදෙක් දේශපාලන පලි ගැනීමකි.

මා මෙම ලිපිය සඳහා පදනම් කර ගත්තේ සීඑස්එන් නාලිකා අධ්‍යක්ෂවරුන් සමග පැවැත්වූ සාකච්ඡා සහ ආයතනය සතු ලිපි ලේඛණ පරිශීලනයෙන් ලබා ගත් තොරතුරුය.

Print Friendly

අලුත් රාමුවට අනුව හැදෙන්න ජනමාධ්‍යය​ට මම කාලය ලබා දී තිබෙනවා

$
0
0

රනිල් වික්‍රමසිංහ

මෙරට තරුණයන් සහ වෘත්තීයවේදීන් සහභාගි වන විශාල පෙළපාළියකට එක් වන්නැයි එක්සත් ජාතික පක්‍ෂයට ආරාධනා ලැබී තිබෙනවා. අපත් එම පෙළපාළියට එකතු වීමට තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණ මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මන් සංචාරයත් එම වැඩපිළිවෙළට පිටුවහලක් වේවි. එම වැඩ කටයුතු කඩිනමින්ම ඇරැඹිමට නියමිතයි.

Ranilවසර 5 ක් ඇතුළත රැකියා ලක්‍ෂ 10 ක් බිහි කිරීමේ කටයුතු අපගේ වෙළෙඳපොළ මගින් පමණක් කරන්නට හැකියාවක් නැහැ. 1977 වසරේදීත් අප රැකියා බිහි කිරීම සඳහා විදේශ රටවල සහයෝගය ලබා ගත්තා. එදා අප බෙහෙවින්ම යුරෝපීය වෙළෙඳපොළේ සහයෝගය ලබා ගත්තා. අද අප ආසියාවේ වෙළෙඳපොළ සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය ඒ අතර ප්‍රධාන වනවා. සිංගප්පූරුව, චීනය, ජපානය, ඉන්දියාව මෙන්ම යුරෝපය සමග වෙළෙඳ ගිවිසුම් ඇති කර ගත් පසුව ආයෝජකයන් අප රටට පැමිණෙනවා. මෙම කටයුතු සඳහා පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ජනතාවගෙන් වරමක් ලබා ගත්තා. විදේශයන් සමග වෙළෙඳ ගිවිසුම් ඇති කර රැකියා උත්පාදනය කරන බව අප මැතිවරණයේදී පැහැදිලිව කියා සිටියා.

මේ අතර ජාතික රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළට විරුද්ධව ක්‍රියා කරන පිරිසක් සිටිනවා. අප රැකියා ලබානොදුන්නොත් අපට දොස් කියන්නැයි මා ඔවුන්ට පවසනවා. අප ගමන් කරන වේගය මදි නම් අපට දොස් කියන්නැයි මා ඉල්ලා සිටිනවා. නමුත් මේ ගමන නවත්වන්නට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. සියලූම කඩාකප්පල්කාරීන්ට මුහුණදීමට අප සූදානම්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මට විරුද්ධව චෝදනාවක් කර තිබෙනවා. ඔවුන්ගේ කටයුතු පිළිබඳව සෙවීමට රහස් පොලිසිය යෙදවූවාය යන්න එම චෝදනාවයි. මාධ්‍ය කිහිපයකුත් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යභාරය වෙළෙඳ ගිවිසුම් පිළිබඳව සෙවීම නොවෙයි. එම සංගමයේ දැනට සිටින නිලධාරීන් මහින්ද රාජපක්‍ෂලා පසුපස දුවන විට අප ජනතාවගෙන් වරමක් ලබා ගත්තා. එම ජන වරමෙන් අනතුරුව පාදෙනිය ප්‍රමුඛ පිරිසක් පැමිණ මා හමුවුණා. දැන් ඔවුන් නැවත මේ අයුරින් ක්‍රියා කරනවා නම් ඊට දේශපාලන වශයෙන් පිළිතුරු දී එම සංවිධානය දේශපාලන සංවිධානයක් ලෙස පිළිගැනීමට අප සූදානම්. මේ පිරිස මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් කඩේ ගියා. එය ඔප්පු කිරීමට සාක්‍ෂි තිබෙනවා. මේ පිළිබඳව කතා කරන්න එපා යැයි ඔවුන් මා හමු වී පැවසුවා.

මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබා දිය යුතුයි. ඊට විරුද්ධ වෙන්නට ඔවුන්ට තිබෙන අයිතිය කුමක්ද? මොවුන් නගන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයි. මම මොවුන් නගන චෝදනාව පිළිබදව සොයා බැලූවා. එමෙන්ම පොලිසියෙන් ද වාර්තාවක් ලබා ගත්තා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව පොලිසියට විශේෂ පැමිණිල්ලක් කර තිබෙනවා. පොලිසිය එම පැමිණිල්ල විභාග කර තිබෙනවා. “Establishment of ‘Specialist Registry’ & Introduction of an evaluation procedure for foreign medical specialist” නැමැති ග්‍රන්ථයේ ඇතුළත් කර ඇති 67ඒ වගන්තියට සමානව වෛද්‍ය ආඥා පනත සංශෝධනය කර අනුමැතිය ලබා ගැනීම සඳහා යෝජනා කරන ලද කෙටුම්පතක් අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇති නමුත් එම කෙටුම්පත මෙතෙක් අනුමත වී නොමැති බව ද පැමිණිල්ලේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතෙ යනුවෙන් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනවා.

මේ පැමිණිල්ලේ ඇත්ත – නැත්ත පිළිබඳව මා දන්නේ නැහැ. විමර්ශන කටයුතු සඳහා මෙම පැමිණිල්ලේ පදනමක් තිබෙන බව පොලිසිය පවසනවා. මේක පුදුම වැඩක්… කවුරු හරි ගිහින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව පැමිණිල්ලක් කළොත් ඒක මගේ ඇඟ උඩට එනවා. දැන් මේ අය වර්ජනයක යෙදෙනවලූ… කවුරු හරි වරදක් කර තිබේ නම් එය පොලිසිය විසින් විභාග කරනවා. අප ඊට ඇඟිලි ගහන්නේ නැහැ. පොලිසියේ පරීක්‍ෂණ සඳහා බලපෑම් කරන්නේ නැහැ. ඔය නිලධාරීන්, ඇම්බැට්ටයො රාජපක්‍ෂ රෙජීමයෙන් සියලූම වරප්‍රසාද ලබා ගත්තා.

අප මේ සියලූම දේ වෙනස් කරනවා. දේශපාලනය කරනවා නම් දේශපාලන සංගමයක් විදියට සලකන්න. දැන් ඔය සෙල්ලම නවත්වන්න. අපේ රටේ රෝගීන් අමාරුවේ දමා නැවත පාරට බහින්න ආවොත් අපත් පාරට බහින්න ලෑස්තියි. එවිට හොඳ පිළිතුරක් ලැබේවි. ඔය සෙල්ලම කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබතුමාල සමග හැම දෙනාම නැහැ. බොහෝ දෙනෙක් මා හමුවී ඒ බව පවසා තිබෙනවා.

මේ චෝදනාව පළ කර ඇත්තේ “ඩේලි මිරර්” පත්‍රයේයි. “PM’s office pressuring CID” යනුවෙන් එම පුවත පළ කර තිබෙනවා. ඉස්සෙල්ලා රහස් පොලිසියෙන් අහන්නෙ නැත්තෙ ඇයි? මේ “ඩේලි මිරර්” පත්‍රයේ ඔක්කොම කට්ටිය එදා රාජපක්‍ෂලා එක්ක ගියා. මා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු යැයි කේසර අබේවර්ධන එදා ලියා තිබුණා. අලුත් රාමුවට අනුව හැදෙන්න මම කාලය ලබා දී තිබෙනවා. එහෙම හැදෙන්න බැරි නම් බොරු නොලියා කේසර අබේවර්ධනටත් ගෙදර යාමට අවස්ථාව තිබෙනවා. මේවාට ඉඩ දෙන්න අප ලෑස්ති නැහැ.”දෙරණ” නැවත සෙල්ලම පටන් ගෙන තිබෙනවා. දෙරණ නැවතත් රාජපක්‍ෂලාට කඩේ යනවා නම් ඒ අය හොරකම් කරපුවා අපට කියන්න පුලූවන්. ඒ ගැන මෙතැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොවුන් කාන්තාවන්ට බැළලිය කියමින් අපහාස කරනවා. මේවා හැදෙන්න අවශ්‍යයි. හැදිල එන්න බැරි නම් අපත් ඊට මුහුණදෙන්න ලෑස්තියි. ජනතාව දුන් වරම නැවත කඩාකප්පල් කිරීමට නැවත මොවුන්ට ඉඩ දෙන්නේ නැහැ.

නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර තරුණයන් සඳහා රැකියා ලක්‍ෂ 10 ක් බිහි කිරීම සඳහා ජනතාව අපට වරමක් ලබා දී තිබෙනවා. මොවුන් බහුතර ජන මතයට විරුද්ධව කටයුතු කරන්නේ ඇයි? මොවුන් නැති කරන්නේ ජනතාවගේ විකාශන අයිතියයි. ඊට අප ඉඩ දෙන්නේ නැහැ. “ඩේලි මිරර්” පත්‍රය හෝ “දෙරණ” හෝ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන වැඩපිළිවෙළ නවත්වනවා නම් අප ඊට ඉඩ දෙන්නේ නැහැ. මෙම ක්‍රියාවන්ට විරුද්ධව අප පාරට බහිනවා. විරුද්ධව සටන් කිරීම අපට ප්‍රශ්නයක් නොවෙයි. විරුද්ධවාදීන් ගෙනෙන සෙනග වගේ දස ගුණයක් අප ගෙනත් පෙන්වනවා. ඔය සෙල්ලම නවත්වන්නැයි මා සියලූම දෙනාට පවසනවා. කාට හරි හානියක් වෙනවා නම් අපට කියන්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කිසිම හානියක් වන්නේ නැතැයි අපේ අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එසේ නම් මොවුන් දැන් කරන්නේ දේශපාලනයක්. මොවුන් දුවන්නේ රාජපක්‍ෂලා වෙනුවෙන්. තරුණයන් පාරට බැස්සාම මොවුන්ට හොඳ පාඩමක් ඉගැන්විය හැකියි.

*අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2016.02.18 වැනි දින සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ දී කළ විශේෂ ප්‍රකාශය.

Print Friendly

රාජපක්ෂගේ මානව හිමිකම් පිළිබඳ හඩු බෝම්බය ටික්, ටික්, ගායි

$
0
0

රංග ජයසූරිය

රංග ජයසූරිය

රංග ජයසූරිය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ෂයිඞ් රාඞ් අල් හුසේන් කුමරු ඔහුගේ සිව් දින ලංකා නිල චාරිකාව අවසන් කෙළේ සමාදාන සඳහනක් කරමිනි: විදේශීය විනිසුරන් සහභාගී කර ගැනීම ශ‍්‍රී ලංකාවේ විවාදාත්මක කාරණයක් බවත්, ශ‍්‍රී ලංකාවේද සම-අනුග‍්‍රහයෙන් සම්මත කර ගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුළ කුමක් නිර්දේශ කර තිබුණත්, අවසාන වශයෙන් ගත් විට ඒ ගැන තීරණයක් ගැනීම, ‘ශ‍්‍රී ලංකාවේ ස්වෛරී අයිතියක්’ බවත් ඔහු කියා සිටියේය.

මේ අතර, පසුගිය දශක ගණනාව තිස්සේ ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටී ඇතැයි පෙන්වා දීමටත් ඔහු අමතක නොකෙළේ්ය. එහෙත් ගත වූ වසර තුළ ඒ අංශයේ යම් ප‍්‍රගතියක් ඇතිව තිබීම පෙන්වා දීමට ඔහු අසමත් වීම අවාසනාවකි. විදේශීය විනිසුරන් සහභාගී කර ගැනීමේ යෝජනාව දුර්වල කිරීමට ඒ තත්වය හේතු විය හැකි බවත් මෙහිදී මතක් කළ යුතුය. කෙසේ වෙතත්, අද වන විට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දීප්තිමත් නිදහසක් පෙනෙන්ට ඇති බව ඔහු පිළිගත්තේය. (ඒ සමගම, උතුරේ පැවති භීතිය තවම තුරන්ව නැති බවත් ඔහු පෙන්වා දුනි).

කෙසේ වෙතත්, අප විසින් ලියා දෙන කතාවක් කියැවීමක් ඔහුගෙන් අපේක්ෂා කළ නොහැකි නිසාත්, අපේ රටේ දොස් මුළුමණින් තුරන්ව නැති නිසාත්, ඔහුගේ නිරීක්ෂණය පොදුවේ ගත් විට, අප කෙරෙහි පළ කළ සාධනීය එකකැයි ගත හැකිය.

එහෙත්, මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කතාව ගැන සහ රටේ ජනතාව සහ ජාත්‍යන්තර ප‍්‍රජාව අරභයා අපේ ආණ්ඩුව ගන්නා කිසි ප‍්‍රයත්නයක් ගැන මොන විදිහකින්වත් සෑහීමට පත්නොවෙන කණ්ඩායම්, අඩු වශයෙන්, දෙකක්වත් සිටිති.

Mahinda lawyer 16, Feb 2016එක කණ්ඩායමක් වන්නේ, දෙමළ ඩයස්පෝරාවේ සිටින කෝකටත් විරෝධය පාන ආන්තික කොටස් ය. ‘ටැමිල් නෙට්’ වෙබ් අඩවිය හරහා මෙන්ම වෙනත් ඊලාම් ප‍්‍රවෘත්ති ජාල ඔස්සේ මේ පිරිස් සිය විසකුරු මතවාද නිරතුරුව වපුරති. ඔවුන් විසින් ප‍්‍රහර්ශයට නංවා නඩත්තු කරන ලද ත‍්‍රස්තවාදීන්ව ශ‍්‍රී ලංකා රජය මගින් නිශ්චිතවම පරාජය කරනු ලැබීම ඔවුන්ගේ ද්වේෂයට හේතුවයි. බටහිර අගනගරවල විරෝධතා පවත්වමින් රථවාහන තදබදයක් ඇති කිරීම හැරුණු කොට, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූල ඝාතනය වීමෙන් වැළැක්වීම සඳහා ඔවුන්ට කිසිවක් කළ නොහැකි විය. ඒ නිසා අද ඔවුන් පෙලෙන දොම්නස අපට තේරුම්ගත හැක. එසේම, එය ඊළඟ පරම්පරාවේ ඇතැම් පිරිසකටත් දායාද විය හැක. මන්ද යත්, ඕනෑම විප‍්‍රවාසී ජන කණ්ඩායමකට සිදුවන්නා සේ ඔවුන්ටත්, තමන්ගේ අනන්‍යතාව පිළිබඳ අර්බුදයකට විදේශ රටකදී මුහුණදීමට සිදුවන බැවිනි. ඔවුන්ගේ ඒ අසහනයේ සැර බාල කරන යම් මැදිහත් වීමක් ලංකා ආණ්ඩුවෙන් කළ යුතුව තිබේ.

පෙනෙන්ට ඇති පරිදි, ඊළඟ කණ්ඩායමට නායකත්වය සපයන්නේ, ඉහත කී බිහිසුණු ත‍්‍රස්තවාදී ව්‍යාපාරය අතුගා දැමීමට දේශපාලන නායකත්වය සැපයූ පුද්ගලයාමයි. එය අවාසනාවන්ත තත්වයකි. කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ස්වයං-නාශක භීතිකා රෝගයේ නරා වළට පැනීමට දැන් දත කට මදී. මෑතක් වන තෙක් ඒ කාරිය ඔහු භාර කර තිබුණේ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ජී. ඇල්. පීරිස් වැනි හෙංචයියන්ටයි. ඔවුන් කී තර්ක විතර්ක මේ රටේ පොදු ජනතාවට නම් වැටහුණේ නැත. දැන් ඔවුන් වෙනුවට මහින්ද රාජපක්ෂම සුක්කානම අතට ගැනීමට සැරසෙයි. වාර්ගික විනාශයේ පරණ තුවාල සුව කරගෙන ඉදිරියට යාමට බලාපොරොත්තු වූ ජනතාවකට එය මහත් කණගාටුවට කාරණයක් වනු ඇත.

මහින්ද රාජපක්ෂ දක්ෂ ක‍්‍රියාධරයෙකි. බිම් මට්ටමේ කාර්යශීලී ජනතා සංවිධායකයෙකි. එදා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා පුරෝගාමී වූ ‘පාද යාත‍්‍රා’ ජන බලවේගය ගැන මතක ඇති අය ඊට සාක්ෂි දරනු ඇත. එසේම ඔහුට ආකර්ශනය වන ජනතාවක්ද සිටිති. ඒ, කාලයක් තිස්සේ ඔවුන්ව පෙලූ ත‍්‍රස්තවාදය අවසානයක් කිරීමට කෘතගුණ සැළකීමක් වශයෙන් ඔහුගේ වෙනත් අනේක පාප කර්මයන්ට සමාව දීමට සූදානම් පිරිසකි. එසේම හිටපු ජනාධිපතිවරයාගේ මොළ සෝදන යන්ත‍්‍රයට යට වූ පිරිස්ද මේ අතර සිටිති.

හිටපු ජනාධිපතිවරයා දැන් බලන්නේ නැවතත් බලය ඩැහැගැනීමටයි. තමන්ගේම වන පක්ෂයක් අටවාගෙන ඇති ඔහු, පක්ෂ කාර්යාලයක්ද විවෘත කෙළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවට එරෙහිවත්, ඒ අරභයා ආණ්ඩුව ගන්නා ක‍්‍රියා මාර්ගයන්ට එරෙහිවත් සටන් පෙරමුණක් ගොඩනැගීම, එවැනි බලය ඩැහැගැනීමක් සඳහා කියාපු අවස්ථාවකි. අතීතයේ ජාත්‍යන්තරයේ නිරන්තර ප‍්‍රහාරයට ලක්වූ පාලනයක නායකයා වීම, ඔහුට තවත් ගැම්මක් වනු ඇත. මේ යෝජනාවට එරෙහිව නැගී සිටින්නැයි දැනටමත් ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබේ. ඔහු කියන පරිදි, මේ යෝජනාව මගින් කි‍්‍රයාත්මක කෙරෙනු ලැබෙන්නේ, සන්නද්ධ සේවා නිලධාරීන් යුද අපරාධ චෝදනා යටතේ ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට පැමිණවීමක අවදානමකි.

ජාතිකවාදය අවුස්සමින් ජනතාව සංවිධානය කිරීමට ඔහු කවදත් කාර්යශූර ය. ජනාධිපතිවරයා වශයෙන් බොහෝ කලක් ඔහු රට පාලනය කෙළේද ඒ ප‍්‍රතිපත්තිය ඔස්සේ ය. ඇති තතු එයාකාරයෙන් ගෙනහැර පෑමක් ඔහුට අවශ්‍ය නැත. සත්‍යයට ළඟින් යන දෙයක්වත් කීමට ඔහුගේ කැමැත්තක් නැත. සාධාරණ හෝ තාර්කික කරුණු ගෙනහැර දැක්වීම ඔහුට පුරුදු දෙයක්ද නොවේ. ජනතාව තුළ ඇති කරවන හුදු බියක් හරහාම සිය ව්‍යපාරය ගෙන යාමට ඔහුට පිළිවන. ජාත්‍යන්තරයේ සහභාගීත්වය පිළිගත්තත්, අවසාන විනිශ්චයකට එළැඹෙනු ඇත්තේ රටේ පවතින නීතිය යටතේ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මේ වන විටමත් කියා තිබේ.

එවැනි දේශීය යාන්ත‍්‍රණයක් තුළ විදේශීය විශේෂඥයන් සහභාගී කර ගැනීම ආරම්භ කෙළේද මහින්ද රාජපක්ෂමයි. පරණගම කොමිසමට උපදෙස් දීම සඳහා ඔහු ඩෙස්මන් සිල්වා සහ තවත් විදේශිකයන් දෙන්නෙකුට එදා ආරාධනා කෙළේය. එහෙත් අද තමාගේ දේශපාලනික පැවැත්ම වෙනුවෙන් ඒ අතීතය ඔහු යාප්පුවෙන් අමතක කරයි. මේ නිසා අද ඔහුට නැවත නැවතත් කියන්ට ඇත්තේ මානව හිමිකම් යෝජනාව දේශද්‍රෝහී ය යන්න පමණි. එය සිය ගණන් මහජන රැුළිවලදීත්, තවත් සිය ගණන් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවලදී මතුරන තරමට ජනතාව එය පිළිගනිතියි ඔහු සිතයි. මේ ව්‍යපාරය කරගෙන යාම සඳහා අවශ්‍ය අන්තේවාසිකයන් ඔහුට සිටී. එවැන්නන්ගෙන් කිසි දවසක ශ‍්‍රී ලංකාවට අඩුවක් තිබී නැත.

එහෙත් නග්න සත්‍යය වන්නේ, අද ආණ්ඩුව මුහුණදෙන අර්බුදය තවත් උග‍්‍ර කිරීමට හේතු වන පසුගිය මානව හිමිකම් යෝජනා දිනෙන් දින තද වුණේ, යුද්ධයෙන් පසුව ඔහුගේ පාලනය විසින් ගෙන ගිය අත්තනෝමතික ක‍්‍රියා කලාපය විසින් වීමයි. ජාතික අවශ්‍යතා, තමාගේ පුද්ගල සහ දේශපාලනික අවශ්‍යතාවන්ට ඔහු යට කෙළේය. යුද්ධයේ ජයග‍්‍රාහීත්වය තමා වෙනුවෙන් පාවිච්චි කළා මිස, එය මේ රටේ දැවෙන ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කිරීම සඳහාවත්, යුද්ධය සිදු වු ආකාරය ගැන ජාත්‍යන්තරයේ කුකුස සමනය කිරීම සඳහාවත් ඔහු පාවිච්චි කෙළේ නැත. ඒ කරුණු සම්බන්ධයෙන් ඒ මේ අත වැනෙමින් සිටීම නිසා සිදුවුණේ, මේ රට ගැන විවේචනාත්මක ආකල්පයක් දැරූ කොටස් ශක්තිමත් කිරීමකි. ශ‍්‍රී ලංකාවේ යුද්ධය ගෙන ගිය ආකාරය සර්ව සම්පූර්ණ නොවිය හැකිය. කෙසේ වෙතත්. එවැනි තත්වයන් ඇති වු එකම රට ලංකාව වන්නේද නැත. වියට්නාමයේ සිට ඊශ‍්‍රායලය දක්වාත්, චෙස්නීයාවේ සිට සිරියාව දක්වාත්, එවැනි තත්වයන් දැක ගැනීමට තිබුණි. යුද අපරාධ ගැන පරීක්ෂණ පැවැත්වීම යනු, (මහින්ද රාජපක්ෂ කියන පරිදි) හමුදා නිලධාරීන්ව විදුලි පුටුවක් වෙත දක්කාගෙන යාමක් හෝ දීර්ඝ සිර දඬුවම් නියම කිරීමක් වන්නේද නැත.

හමුදාවක වැරදි ඔප්පු වූ විට, දේශපාලනික බලධාරීන් මෙන්ම අධිකරණ බලධාරීන්ද ඒ වැරදිවල පසුබිම සෙවිය යුතුය. එසේ වන විට, වෙනත් රටවලදී මෙන්, යම් සමාවක් සැලසිය හැකිය. කෙසේ වෙතත්, එවැනි වැරදි රටත් ජනතාවත් දැන ගත යුතුය. එසේම ඒ වැරදිවලින් පීඩාවට පත් වින්දිතයන්ගේ දුකට කන්දිය යුතු අතර ඒ සඳහා වන වන්දි ගෙවිය යුතුය. එක සිවිල් වැසියෙකුවත් ජීවිතක්ෂයට පත්වූයේ නැතැයි යන මෝඩ වින්දනය තුළ කල් ගෙවූ හිටපු පාලකයන්, යුද වින්දිතයන්ට හානිපූරණ සහන සැලසීමටවත්, සත්‍ය සොයා ගැනීම සඳහාවත් කිසි ප‍්‍රයත්නයක් ගත්තේ නැත. එසේ වුණේ, ‘දේශප්‍රේමී යුද්ධයක’ මායාවෙන් ඔදවැඞී සිටි හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලනික අවශ්‍යතාවන්ට එවැනි ආපහු හැරී බැලීමක් කිසි සේත්ම ගැලපුණේ නැති බැවිනි.

රටක් වශයෙන් අද අප පස්සෙන් පන්නන මහා අවතාරයේ හේතුව එයයි.

මහින්ද රාජපක්ෂ නැවතත් නිරත වන්නේ එම දේශපාලනයේම ය. ඒ, රටේ අනාගතයත්, ජාතික සමගියත් පසෙකින් තබා, තමාගේ දේශපාලනික උවමනාව වෙනුවෙනි. ඔහු එසේ කරන්නේ, ඉහතින් සඳහන් කළ ඩයස්පෝරා කල්ලි සේම ඔහුද, වෛරයෙන් පෙළෙන්නෙකු වීම නිසා ය. ඔහුගේ අතීත අක‍්‍රමිකතා සෙවීමත්, ඔහුගේ පුතා රක්ෂිත බන්ධනාගාරගත වීමත්, ඔහුගේ සහෝදරයන් සහ බිරිඳ නොයෙක් අක‍්‍රමිකතාවන්හි පාර්ශ්වකරුවන් වශයෙන් නීතිය ඉදිරියේ හඳුනාගනු ලැබ තිබීමත් නිසා ඔහු අද කෝපාවිෂ්ටව සිටී. ඔහුගේ ඒ කෝපය කෙනෙකුට තේරුම්ගත හැකිය. එහෙත්, ඒ කෝපය ඔස්සේ මුළු රටක්ම අගාධයට ඇදගෙන යාමට මැන බැලීම සහගහන අපරාධයකි.

*2016 පෙබරවාරි 14 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Rajapakse’s HR Dirty Bomb, Ticking, Ticking” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly

ප්‍රාග්ධන මාධ්‍ය පෙනී ඉන්නේ කා වෙනුවෙන් ද?

$
0
0

කේ.ජී. පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සමහර මාධ්‍ය සම්බන්ධයෙන් දක්වන අදහස් නිසා නිදහස් මාධ්‍ය සම්බන්ධයෙන් යළි කතාබහක් ඇතිවී තිබේ. ඔහුගේ ප්‍රවේශය සම්බන්ධයෙන් සමහර පාර්ශ්වයන් සදහන් කරන්නේ එය මාධ්‍යය සම්බන්ධයෙන් රජයේ මර්දනයේ එක් පියවරක් බවයි. මාධ්‍යයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දක්වන අදහස් කෙසේ වුවත් ඒ අදහස් දැක්වීම නිසා මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

අගමැතිවරයාගේ විවේචනය කුමක් වුවද ඒ විවේචනයට ලක්වන මාධ්‍යයේ හැසිරීම සම්බන්ධයෙන් එක් අතකින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ කොටස් සතුටට පත්විය යුතුය. ඒ මාධ්‍ය හැසිරීම් කෙතරම් ළාමක වුවත් කෙතරම් තාර්කික නොවූවත් එම මාධ්‍යයන් එසේ හැසිරෙන්නේ ජනවාරී අටවැනිදායින් පසුව ඇතිවූ දේශපාලන ප්‍රතිසංස්කරණයන් නිසා බව අප තේරුම් ගත යුතුය.

රාජපක්ෂ පාලනය තුළ කුමන අර්ථයෙන් හෝ මෙවැනි හැසිරීමකට මාධ්‍යයන්ට ඉඩක් තිබුනේ නැත. එසේම ආණ්ඩුව බරපතල ලෙස විවේචනය කරන සම්ප්‍රදායක් විද්‍යුත් මාධ්‍යයන්ට නොතිබුණි. “පර්මිට් එක ගත්තේ සර්ගෙ උදව්වෙන් නිසා සර්ට සලකන්න යුතුකමක්” එදා විද්‍යුත් මාධ්‍යයන්ට පැවරී තිබුණි. රාජපක්ෂ රෙජීමයේ ප්‍රවෘත්ති බලධාරීන් විද්‍යුත් මාධ්‍යය හැසිරවීම සදහා ඇගිල්ල දිගුකර පෙන්වූයේ මාධ්‍යය ආයතනය සදහා රජයේ බලපත්‍රය ලබාගත යුතුවීමත් ඒ ආයතනයන්හි මාධ්‍යවේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැදුනුම්පත ලබාගත යුතුවීමත් ය. ඒ සුහද තර්ජනයෙන් කීකරු වූ විද්‍යුත් මාධ්‍ය ආයතන හිමියෝ රාජපක්ෂ රෙජීමයේ මස් රාත්තල ඉල්ලන්නට තරම් එඩිතර නොවූහ.

Ranil Mediaමේ වනවිට වෙනස් වී ඇති සමාජ දේශපාලන හැඩතල අනුව ජනමාධ්‍යය යැයි හදුන්වන ආයතන ව්‍යුහයක් හෝ ජනමාධ්‍යවේදීන් යැයි හදුන්වන විද්වත් පිරිසක් හෝ නොපවතී. ඒ අනුව මාධ්‍ය ආයතනයන් බිහිවී ඇත්තේ ලාභය උපරිම කරගැනීමේ අරමුණින් මිස සමාජ ප්‍රතිසංස්කරණයන් ඉලක්ක කර ගනිමින් නොවේ. විසිවැනි සියවස මුල දී ඩී ආර් විජේවර්ධන ලේක් හවුස් ආයතනය ආරම්භ කරන්නට ඇත්තේ ද සමාජ ප්‍රතිසංකරණයන් ඉලක්ක කර ගනිමින් නොවන්නට ඇත. එහෙත් ලාභය උපයන වෙළෙදපළ අවශ්‍යතාව සාර්ථක කර ගැනීමට නම් සමාජ ප්‍රතිසංස්කරණයන්ට ඉඩකඩ ලබාදෙන ජනමාධ්‍ය හැසිරීමකට යන්නට ඔහුට බල කෙරිණි. එවැනි වෙළෙද පළ බලපෑමක් පවා අද යුගයේ මාධ්‍ය හිමියන්ට පීඩනයක් එල්ල කරන්නේ නැත. ඒ නිසා වර්තමාන මාධ්‍ය හිමියන්ට සමාජ වගකීමක් ඇතැයි පැවසිය නොහැක.

මේ තත්ත්වය තුළ මුඛරි කටක් ඇති නිවේදකයන් තම වෙළෙද පළ අරමුණු සදහා යොදවා ගැනීම ලාභය සොයා වෙළෙද පළෙහි තරග කරන මාධ්‍ය ව්‍යාපාරිකයන්ට අපහසු කටයුත්තක් නොවේ. මාධ්‍ය ව්‍යාපාරිකයන් වෙළෙද පළ අනුව ඉලක්කයන් තීරණය කරන විට ඒ ආයතනයහි නිවේදකයන් හුළං හමන අත තේරුම් ගනිමින් තම ව්‍යාපාරික ස්වාමියාට අනුගතව කටයුතු කිරීම ස්වභාවික ය. ඒ අනුව මාධ්‍ය ආයතන තුළ අනෝන්‍ය ගනුදෙනුවක් පවතින අතර මාධ්‍යයන් හා ආණ්ඩුව අතර ද පවතින්නේ වෙළෙදපළ ගනුදෙනුවකි. ඒ අර්ථයෙන් වර්තමානයේ පවතින මාධ්‍ය “ප්‍රාග්ධන මාධ්‍යයන්” වන අතර ඒවායේ සේවය කරන්නේ “ප්‍රාග්ධනමාධ්‍යවේදීන්” ය.

අග්‍රාමාත්‍යවරයා විසින් “කැට කැබලිති ගැසීමෙන් දරුණු වූ සර්පයා” නිසා පැන නැගුණ සමාජ කතිකාවතට අදහසක් ඉදිරිපත් කරන ප්‍රවීන මාධ්‍යවේදී නිහාල් පීරිස් තම ෆේස්බුක් ගිණුමට අදහසක් එක් කරමින් මෙසේ පවසයි.

“මාධ්‍ය නිදහසට කනේ පහරවල් ගසන්නට ලැබෙන සෑම අවස්ථාවක්ම ප‍්‍රයෝජනයට ගන්නට සාමාන්‍යයෙන් පාලකයන් කැමතිය. මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් තම නිදහස භුක්ති විදින අතරම, මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කරන අතරම එම නිදහසට සමහර ‘සීමාවන්’ ඇති බවද තේරුම් ගත යුතුය යන්න අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එවැනි ප‍්‍රධාන සීමාවක් වන්නේ පාලකයන් මාධ්‍ය නිදහසට කනේ පහරවල් ගසන එක සාධාරණ යයි සමාජයේ වැඩි පිරිසක්ද සිතන තැනට සිය භාවිතාව පත් නොකර තබා ගැනීමේ සීමාවය. ජනමාධ්‍ය සහ මාධ්‍යකරුවන් යනු කනේ පහර දිය යුතු පිරිසක් බවට පොදු සමාජයේ මතයක් ඇති නොකර කටයුතු කළ යුතු වන්නේ අප එසේ කළහොත් පාලකයන් මාධ්‍ය නිදහස නැති කරන්නේ ජනතාගේ ද ආශිර්වාදය සහිතව විය හැකි නිසාය. එම උදව්ව පාලකයන්ට නොකර සිටින්නට අප සූක්ෂම විය යුතුය.

බුද්ධිමත්බව, ඉවසීම, වගකීම් සහගත බව, උපායශීලී බව, අනිකාගේ අයිතිය පිලිබද ගරුත්වය ආදිය මාධ්‍යකරුවාට අවශ්‍ය වන්නේ කලින් කී සීමාව නොපැන සිටීමද සදහාය.”

මේ කාලයේ ප්‍රාග්ධන මාධ්‍ය ආයතනයන්ගේත් ප්‍රාග්ධන මාධ්‍යවේදීන්ගේත් හැසිරීම තීරණය වන්නේ සමාජ ප්‍රතිසංස්කරණයන්ගේ ඉලක්කයන් මත නොවේ. ඒ හැසිරීම අනිවාර්යෙන්ම තීරණය වන්නේ තම ආයතනය ලබන්නා වූ ලාභය මතය. ඒ ලාභය තහවුරු කරගැනීමට ආශීර්වාද වන්නා වූ දේශපාලන බලය මතය. රාජපක්ෂ යුගයේ දී උපයා ගත කළු සල්ලි ආයෝජනය කිරීම සදහා මාධ්‍ය ආයතනයක් බොහොමයක් නිර්මාණය වූ අතර ඒ සදහා රෙජීමයේ පූර්ණ දේශපාලන සහාය ද ලැබුණි. ඒ පරිසරය තුළ ලාභ රේට්ටුව උපරිම කර ගනිමින් වර්ධනය වූ සමහර මාධ්‍ය ආයතනයන්ට සම්මුතික ආණ්ඩුව හිසරදයක්වීම තේරුම් ගත හැකිය.

මූණට ඉර එළිය වැටෙන නිසා නිදහස් උත්සවය කොටස් දෙකකට පැවැත්වීමත් (?), ජාතික ධජය එසවීම විජයකලා මහේෂ්වරී නියෝජ්‍ය ඇමතිවරිය විසින් ප්‍රතික්ශේප කිරීමත් (?), දන්නෝ බුදුන්ගේ ගීතය වෙනස් ස්වරයකින් ගායනා කිරීමත් පමණක් නොව හදිසියේ ආණ්ඩුවට කිවිසුමක් ගියත් මේ මාධ්‍ය ආයතනයන්ට ජාතික ප්‍රශ්න වන්නේ අහඹුවකින් නොවේ. තමන්ගේ දේශපාලන ඉලක්කය වන්නේ සම්මුතික ආණ්ඩුව පෙරලා රාජපක්ෂවාදී ආණ්ඩුවක් බිහිකර ගැනීම නම් ඒ සදහා කොක්කෙක් හෝ කෙක්කෙන් හෝ පහරදීමට පෙළඹීම ස්වභාවිකය. එහිදී ඒ මාධ්‍ය ආයතනයන් භාවිතා කරන මිනුම් දඩු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම අර්ථවිරහිත වන්නේ ඒවා ජනමාධ්‍ය නොවන නිසාය.

යම්කිසි ජනමාධ්‍යයක් රටේ පවතී නම් ඒවා ප්‍රශ්න කළ යුත්තේ සමාජ ප්‍රගමනයට අවශ්‍ය වන්නා වූ කරුණු කාරණාවන් ය. ඒ අර්ථයෙන් සම්මුතික ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ යුතු හා ඒ ආණ්ඩුව නිර්ධය ලෙස විවේචනය කළ යුතු කරුණු කාරණා අපමණ ය. එසේම සමාජ ප්‍රතිසංස්කරණයන්ට අත්‍යවශ්‍ය වන්නා වූ ඉදිරිගාමී ආකල්ප වර්ධනය සදහා කළ යුතු සමාජ වෙනස්කම් සම්බන්ධයෙන් ද මාධ්‍යයන්ට විශාල කාර්යභාරයක් පවතී. මේ මාධ්‍යයන් උතුරු දකුණු සංහිදියාව සම්බන්ධයෙන් ගැඹුරු විවේචනයකට නොයයි. නව ලිබරල් ආර්ථික ප්‍රවාහය මැද ශ්‍රී ලංකා වෙළෙද පළ ආරක්ෂාවීම සම්බන්ධයෙන් ගැඹුරු විවේචනයකට නොයයි. ලිබරල් ආර්ථික ප්‍රවාහය මධ්‍යයේ සමාජයේ ආන්තික කොටස් වලට අත්වන ඉරණම ගැන කතා නොකරයි. රටේ ආර්ථිකයෙන් 50%ක්ම කළු ආර්ථිකයකට නතුවීම ගැන කතා නොකරයි.

මේ සියල්ල ප්‍රාග්ධන මාධ්‍යයන්ගේ මාතෘකාවන් නොවීම දේශපාලනික අර්ථයෙන් පුළුල් පදනමක් ඇතිව සිදුවන්නකි. ඒ මාතෘකා ප්‍රාග්ධන මාධ්‍යයන්ගේ කතා බහෙන් දුරස්ව ඇත්තේ අහඹු ලෙස නම් නොවේ.

වසරක් තුළ දෙවරක්ම මහජන බලයෙන් පරාජය කළ මහින්ද චින්තනය යළිත් ඔසොවා තමන්නට වෑයම් කරන්නේත් ඒ සදහා අල්ප වූ ප්‍රවෘත්ති වටිනාකමක් ඇති දෑ පවා ඉහළටම ඔසොවා තබමින් කටයුතු කරන්නේත් මහජන අවශ්‍යතාවකට නොවන බව ඉතා පැහැදිලි ය. සෑම මාධ්‍යකටම ඉලක්කයක් පවතී. ප්‍රාග්ධන මාධ්‍යයට ද ඉලක්කයක් පවතී. සාපේක්ෂව ගත් කළ ප්‍රාග්ධන මාධ්‍යයේ ඉලක්කය සමාජයට යහපතක් උදා නොකරයි. එසේනම් ප්‍රාග්ධන මාධ්‍යයන් සම්බන්ධයෙන් සමාජය කටයුතු කළ යුත්තේ පරිස්සමෙනි.

ප්‍රාග්ධන මාධ්‍යයන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දක්වන ප්‍රවේශය විවේචනයට ලක් කළ යුත්තක් බව ඇත්තකි. එහෙත් ඒ විවේචනය පදනම් විය යුත්තේ රටේ නිදහස් ජනමාධ්‍ය සම්බන්ධයෙන් රජය දියත් කර ඇති මර්දනයට එරෙහිවීමේ අර්ථයෙන් නම් නොවේ. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් මස් රාත්තලම ඉල්ලන බොහෝ පිරිස් පවසන්නේ සම්මුතික ආණ්ඩුව නිර්ධය ලෙස ප්‍රශ්න කරන “දෙරණ” නාළිකාව වසා දැමීමේ කුමන්ත්‍රණයකට ආණ්ඩුව පිඹුරු පත් සකසමින් සිටින බවයි. එය අග්‍රාමාත්‍යවරයාට එල්ලවන ප්‍රබල චෝදනාවකි. එහෙත් ඒ චෝදනාවට ප්‍රබල සමාජ වලංගුතාවක් නොලැබුණි. එසේ වන්නට ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ විවේචනයට සමාජ වලංගුභාවයක් ලබාදීමට විවේචනයට ලක්වන මාධ්‍ය ආයතනය මෙන්ම එහි මාධ්‍යවේදීන් ද කටයුතු කරන බැවින් විය හැකිය. තවදුරටත් ජනමාධ්‍ය භූමිකාව තුළ කටයුතු නොකරන ඒ නිසාම ප්‍රාග්ධන මාධ්‍ය ආයතන යැයි හැදින්විය හැකි මාධ්‍යයන්ට එල්ල වන චෝදනා පොදු සමාජයට සංවේදී නොවීම ස්වභාවික ය.

ප්‍රාග්ධන මාධ්‍යයන් විසින් වැටුප් ගෙවා සේවය ලබා ගන්නා ශ්‍රමිකයන් යොදවා තම දේශපාලන ඉලක්කයන් සාර්ථක කර ගැනීමට වර්ගවාදය පතුරවයි. එසේම සමාජයේ පසුගාමී හා ප්‍රාථමික මතයන්ට සමාජ වටිනාකමක් ලබාදීමට උත්සාහ ගනී. බොළද හා හික්මීමක් නොමැති භාවිතාවක් අනුගමනය කරමින් කෙක්කෙක් හෝ කොක්කෙන් හෝ ආණ්ඩුව අප්‍රසාදයට ලක් කිරීමට උත්සාහ ගනී. ඒ තත්ත්වය තුළ මේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය විවේචනය නොකළ යුතු ආගමික සුරුවමක් නොවන බව ඇත්තය. අග්‍රාමාත්‍යවරයා මේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය විවේචනය කිරීමට ප්‍රවේශ වී සිටින්නේ ඒ අර්ථයෙන් විය යුතුය.

එහෙත් රටේ දෙවැනි පුරවැසියා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රවේශ වන්නේ ප්‍රාග්ධන මාධ්‍ය විවේචනය කරමින් සමාජය තුළ ඒ මාධ්‍ය කෙරෙහි පිළිකුලක් ඇති කිරීමට නම් එය ප්‍රශස්ත උත්සාහයක් නොවන බව පැහැදිලි ය. මහජන සම්පතක් වන විද්‍යුත් තරංග මාලා පටු පක්ෂ දේශපාලන හා ව්‍යාපාරික අරමුණෙන් තම සහචරයන් අතර බෙදාදීම අතීත රාජ්‍ය භාවිතාව වුණි. එහි දිගුවක් ලෙස ප්‍රාග්ධන මාධ්‍ය මෙල්ල කිරීමට ඒ විද්‍යුත් තරංග මාලා බෙදා දෙන බලපත්‍ර ක්‍රමය යොදා ගන්නට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උත්සාහ ගන්නේ නම් එය බරපතළ වැරද්දකි. මහජන සම්පත් කුමන අරමුණෙන් හෝ අවභාවිතා කිරීම නොකළ යුත්තකි. තම සහචරයන්ට විද්‍යුත් තරංග මාලා බෙදා දෙමින් රාජපක්ෂ පාලනය කළ අකටයුත්ත තවදුරටත් වෙනත් අන්දමකින් පවත්වාගෙන යෑමට උත්සාහ දරයි නම් එය සම්මුතික ආණ්ඩුවේ “මහජන සම්මුතියට” පටහැනි ය.

මාධ්‍ය විවේචනය කරන්නා වූ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රවේශය අනුමත නොකරන සමාජ ක්‍රියාකාරීන් පවා නොදකින හා විවේචනයට ලක් නොකරන භාවිතාවක් වන්නේ ප්‍රාග්ධන මාධ්‍යයන්ගේ නින්දිත හැසිරීමයි. ඒවා තවදුරටත් කටයුතු කරන්නේ මහජන අර්ථයෙන් නොවන නිසා ඊට ජනමාධ්‍ය වරප්‍රසාදයන් හිමිවිය යුතුදැයි ඔවුහු ප්‍රශ්න නොකරති. මේ නිසා මාධ්‍ය සම්බන්ධයෙන් සමාජයේ ඇති කර ගත යුතු සංවාදය පුළුල් ලෙස ඔසොවා තැබීමට අසමත් වන අතර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රවේශය හුදු මාධ්‍යයන්ට එල්ල වන තර්ජනයක් යන්න තුළ සීමා කරයි. එහෙත් මේ මොහොත තුළ මාධ්‍ය සම්බන්ධයෙන් පැන නැගී ඇති උනන්දුව නිදහස් මාධ්‍යයට එල්ල වන තර්ජනයක් පමණක් යන්න තුළ සීමා කර ගැනීම පුළුල් අර්ථයෙන් අවාසි සහගත ය. එය සමාජයට වටිනාකමක් එක් කරන්නේ මාධ්‍ය හා දේශපාලකයා යන පාර්ශ්වයන් දෙකම විවේචනයට හා නැවත නිර්මාණයකට ලක් කිරීමෙන් පමණි.

මාධ්‍ය සම්බන්ධ අග්‍රාමාත්‍යවරයාගේ විවේචනය නිදහස් මාධ්‍යයන්ට එල්ල වන තර්ජනයක්ය යන මතය අවලංගු කිරීමට ජනවිඥාණය තුළ ඉඩක් ලැබී ඇත්තේ මාධ්‍ය හා මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රතිසංස්කරණයන්ට සමාජ ඉල්ලුමක් පවතින බැවිනි. මාධ්‍ය ආයතනයන් හා මාධ්‍යවේදීන් ආණ්ඩුවේ ප්‍රහාරයන්ට ලක් නොවිය යුතු යැයි සිතන සමාජ කොටස් තුළ පවා යම් විචිකිච්ඡාවක් ඇති කරන්නේ මාධ්‍යයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පවතින නිර්ධය විවේචනයයි. මේ විවේචනය දේශපාලකයන් අතට යන්නට කළින් මාධ්‍යවේදීන් අතරම ස්වයං විවේචනයක් ලෙස සාකච්ඡාවට ලක්නොවීම ලාංකික සමාජයේ ඛේදයකි. අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය විවේචනයෙන් පසුව පවා සංවේදී සමාජ කොටස් මාධ්‍යවේදීන් ආගමික සුරුවමක් ලෙස ආරක්ෂා කර ගන්නට හදිසි වෙනවා මිස එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වයං විවේචනයකට නොයෑම ලැජ්ජා සහගත ය.

මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සමාජය තුළ පුළුල් කතිකාවක් බිහිකර ගැනීමට ජනමාධ්‍යවේදීන් උනන්දු නොවීම විවේචනයට ලක් කළ යුතු අන්දමින්ම අග්‍රාමාත්‍යවරයා විවේචනයට ලක් කළ යුත්තේ මාධ්‍ය සම්බන්ධයෙන් නිවැරදි රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇති කර ගැනීමට උනන්දු නොවීම නිසාය. මහජන සම්පතක් වන විද්‍යුත් තරංග මාලා බෙදාදීමට තවමත් යොදා ගන්නේ පටු පක්ෂ දේශපාලන හා ව්‍යාපාරික අරමුණකි. එය මහජන සම්පත් අවභාවිතා කිරීමකි. ඒ නිසා ඒ සම්පත සමාජයේ ඉදිරි ගමනට ධනාත්මකව යොදා ගන්නට සාධාරණ රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවීම අග්‍රාමාත්‍යවරයා උනන්දුවිය යුතු කරුණකි. ඒ නිසා මහජනයාට අයත් විද්‍යුත් තරංග කළු සල්ලි ආයෝජනය අවස්ථා සොයන ව්‍යාපාරිකයන් අතට පත්වීම නොවැළැක්විය හැක්කකි. එබැවින් ඒ අවස්ථාව සමාජ මාධ්‍යයන්ට හිමිවීමේ අවම ඉඩකඩ ද අහිමි කරයි. ඒ නිසා මහජන සම්පත් යොදා රාජ්‍ය මැදිහත්වීමෙන්ම කළු කඩ මුදලාලිලාට අයත් ප්‍රාග්ධන මාධ්‍ය බිහි කරයි. එවැනි වටපිටාවක ප්‍රාග්ධන මාධ්‍යයන් විවේචනය කිරීමට අග්‍රාමාත්‍යවරයා දක්වන උනන්දුව අර්ථ විරහිතය.

shan.info1978@gmail.com

Print Friendly

පුරවැසි අදහස් දැක්වීම් සහ පොලීසියේ ‘බබා පාට්’

$
0
0

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

රථවාහන වරදකට දඩයක් නියම වූ පුද්ගලයෙකු අදාළ රථවාහන පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාව විවේචනය කරමින් සමාජ මාධ්‍යයක පළ කරන ලද අදහසක් සම්බන්ධයෙන් අදාළ පොලීසිය විසින් ගොනු කරන ලද නඩුවකදී බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට රුපියල් පන්දහසක දඩයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කිරීමේ පුවතක් වාර්තා වේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලයා වැරදිකරුද නිවැරදිකරුද යන කාරණයට වඩා මට වැදගත් වන්නේ පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශනයෙහි අයිතිය වෙත පොලීසිය වැනි රාජ්‍ය මර්ධක ආයතන පමණක් නොව නෛතික ආයතන පවා දක්වන ප්‍රතිචාරයන්හි ස්වභාවයයි. අප කටවහරේදී ‘පොඩි මිනිහා’ ලෙස හඳුන්වන සාමාන්‍ය පුරවැසියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී නීතිය පෙන්නුම් කරන නීතිගරුකභාවය දේශපාලඥයන්ට අදාළවද එලෙසම ක්‍රියාත්මක වේ නම් මට මේ ලිපිය ලියන්නට සිදු නොවනු ඇත.

(මීට අදාළ පුවත් සබැඳිය මෙසේය: (http://offair.nethfm.com/article/34108).

සාමාන්‍යයෙන් අදහස් ප්‍රකාශ කිරීම මනුෂ්‍ය ස්වභාවයේ හැටිය. එසේම විවිධ මිනිසුන් පළ කරන අදහස් සාපේකෂව වෙනස් බවද අපි දනිමු. මේ නිසාම, ‘හරි අදහස් ප්‍රකාශන මාදිලිය නම් මේ යැයි’ නීතියක් ගෙන ඒමට කිසිවෙකුට නොහැකි බවද කිව යුතුය. වඩා වැදගත් වන්නේ පළ වන අදහස් ‘අපේ කර ගැනීමේදී’ අප දක්වන බුද්ධිමත්භාවය බවද මෙහි සඳහන් විය යුතුය. ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ අප මේ ගත කරමින් සිටින්නේ පුද්ගල අදහස් ප්‍රකාශන පෙර නොවූ විරූ තරමින් ව්‍යාප්ත වී ඇති යුගයක බව අමතක කිරීම අනුවණකමකි. මින් පෙර මුද්‍රිත පුවත්පත් හා සඟරා සහ විද්‍යුත් මාධ්‍යවල සීමිත පිරිසකට පමණක් සීමාව තිබුණු අදහස් දැක්වීමේ වරප්‍රසාදය මේ වන විට සමාජ මාධ්‍ය හේතුවෙන් සෑම අයෙකුටම විවෘත වී ඇති අතර මේ නිසාම දියුණු රටවල රජයන් සමාජ මාධ්‍යවල මිනිසුන් ලියා තබන සටහන් සම්බන්ධයෙන් ඕනෑවට වඩා කරදර වීම වෙනුවට සිදු කරන්නේ වඩා වැදගත් රාජකාරීන් වෙනුවෙන් කාලය කැප කිරීම බවද අපි දනිමු. යම් හෙයකින් සමාජ මාධ්‍ය සටහන් නීතිය හමුවට ගෙන ඒමට තරම් බරපතල ලෙස ගනු ලැබෙන්නේ (සහ ගත යුත්තේ) ඒවායින් සාපරාධී ලෙස චරිත ඝාතන සහ අපහාස සිදු වන්නේ නම් පමණක් වන තැනට ලෝකය දියුණු වී හමාරය (මා කතා කරන්නේ අප සිර වී සිටින ලෝකය ගැන නොවේ). මෙම නඩුවේදී මෙකී පුද්ගලයාට එරෙහිව පොලීසිය විසින් ගොනු කර ඇති මූලිකම කරුණ වන්නේ දඩයක් නියම වීමෙන් අනතුරුව මෙවැනි ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම පොලිස් නිලධාරීන් අසීරුතාවට පත් කරන්නක් බවයි. අදාළ පුවත මෙම පුද්ගලයා කළා යැයි කිය ප්‍රකාශය උපුටා දක්වන්නේ  “යහළුවනේ නොකළ වරදකට මගේ රියැදුරු බලපත්‍රය කන්දකැටිය පොලිසිය ගත්තා. දැන් මගේ ළඟ තියෙන්නේ මේක” යනුවෙනි. එම පුවතේ වගකීම අදාළ මාධ්‍යය භාරගත යුතුය. Sagala and IGP

දැන් අපට බැලූ බැල්මටම පෙනී යන්නේ එම පුද්ගලයා සිය ෆේස්බුක් ගිණුමෙහි ලියා තැබුවා යැයි කිය සටහනින් මහා පරිමාණ අපහාසයක් පොලීසියට සිදුව නැති බවයි. ඇත්තෙන්ම, දිනපතා සමාජ මාධ්‍ය ආශ්‍රිතව මීට වඩා පෞද්ගලික මට්ටමේ මඩ ගැසීම් කොතෙකුත් ඇස ගැටෙන අතර ලංකාවේ සෑම පොලිස් ස්ථානයක්ම මේ තරම් බොළඳ තත්ත්වයකට ඇද වැටුණහොත් උසාවි ගානේ ගොස් ඒවාට කන්කෙඳිරි ගෑම හැර වෙන වැඩක් කර ගැනීමට නොහැකි වනු නොඅනුමානය. මෙහිම තවත් පැත්තක් වන්නේ පසුගිය කාලය පුරාවටම පොලීසිය පුරවැසියාගේ ක්‍රියාකලාපයන් වෙත දැක්වූ චණ්ඩි ප්‍රතිචාරාත්මකභාවයයි. සකලාර්ථයෙන්ම සාධාරණ හා නීතිගරුක පුරවැසියන් සිටී යැයි අපේක්ෂා කරන්නේ නම් පොලීසි වැනි ආයතන පිහිටුවීමට අවශ්‍ය නොවන බව මෙහිදී අවධාරණය කළ යුතුය. මේ නිසා, සිදුවීම් වෙත ප්‍රතිචාර දැක්වීමේදී පොලීසිය අනුගමනය කළ යුත්තේ වඩා මහත්මා ප්‍රතිපත්තියකි. ඉතාම සරලවම කියනවා නම්, පොලීසියද අවිචාරවත් චණ්ඩියාගේ තත්ත්වයට ඇද වැටී ‘ගේමට ගේම ඉල්ලීම’ කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. ඉහත ප්‍රකාශයෙන් අදාළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරීන් අසීරුතාවට පත් වන බව පොලීසිය කල්පනා කරනවා නම් සමස්ථයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවම පළමුව තමන් කිසි විටෙක අල්ලස් ගැනීම්, තම අභිරුචිය පරිදි නීති විකෘති කිරීම් ආදිය සිදු නොකරන පරමාදර්ශී එකක් බව සහතික කළ යුතු සේම පුරවැසියාට ඒ බව ඔප්පු කර පෙන්විය යුතුය. මන්ද, මෙම තර්කයම පොලීසිය අතින් පුරවැසියා අසීරුතාවට ලක් වන අනේකවිධ අවස්ථාවලටද එක හා සමානවම අදාළ කළ හැකි හෙයිනි.

මෙම සිදුවීමෙහි අප අවධානය යොමු කළ යුතු තවත් පැත්තක් වන්නේ සාමාන්‍ය පුරවැසියා සම්බන්ධයෙන් මෙතරම් ‘අවංකව’ ක්‍රියාත්මක වන නීතිය දේශපාලඥයන් සම්බන්ධයෙන් නිහඬ සහ/හෝ මන්දගාමී ඇයි? යන්නයි. මෑතකදී යෝෂිත රාජපක්ෂ, ව්‍යාජ ආගමිකත්වයක් මවා පාමින් ජනතාව කුපිත කර ඉතාම පටු දේශපාලනික අරඹුණු හඹා යෑමට උඩගෙඩි දෙන ගලගොඩඅත්තේ ඥානසාර ඇතුළු මැර නඩය වැනි අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ පසුව එම සිදුවීම්වලට අදාළව රාජපක්ෂවාදීන් සමාජ මාධ්‍යයන්හි පළ කළ ප්‍රතිචාර ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක ඒවාට පිවිසීමෙන් බලාගත හැක. එසේම, ඔය කියන සංවේදී නෛතික ආයතන ඒවායෙහි අන්තිම පහත් තත්ත්වයට ඇද දමා අපවාදාත්මක ලෙස විවේචනය කර ඇති බවද අමුම අමු සත්‍යයකි. මින්ද නොනැවතුණු ඔවුන්ගේ හිතවාදීහු අධිකරණයෙහි නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රියා පිළිවෙත පවා බරපතල ලෙස උපහාසායටත් අපවාදයටත් ලක් කරමින් අදහස් ප්‍රකාශ කළහ. මේ සියල්ලම පසෙක තැබූවද මෑතකදී සීනිගම දේවාලය වෙත ගිය රාජපක්ෂ ගැත්තන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වසා දමන ලෙස දෙවියන්ගෙන් ඉල්ලමින් සිදු කළ හොර පොල් පූජාවම පැහැදිලි වශයෙන්ම සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම සිදු කළ අපහාසයක් බවද මේ කියන මහත්වරුන් වටහා නොගන්නේ ඇයි? යෝෂිත අත්අඩංගුවට ගනු ලැබුවේ සාධාරණ හේතු මත වන අතර තවමත් ඔහුව වරදකරුවෙකු බවට පත් කරද නැත. මේ කාරණයම ඥානසාර සම්බන්ධයෙන්ද අදාළය. අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතරේ එහි කඩා පැන යකා නැටීම සාමාන්‍යයෙන් නම ගිය පාතාලකාරයෙකුවක් නොකරන ක්‍රියාවක් වුවද ඥානසාර එයද සිදු කළේය. මේ සියල්ලම මාධ්‍යවලින් පුරවැසියා සියැසින් දුටු සත්‍යයන්ය. මෙම පසුබිම තුළ අධිකරණය විසින් නියම කරන ලද රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ තීන්දු අභියෝගයට ලක් කරන කවර හෝ ප්‍රකාශනයක්ද මේ තර්ක පද්ධතියටම අදාළව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අසීරුතාවට පත් කරන උත්සාහයන් ලෙස සලකා ඒවාට එරෙහිව අධිකරණයට නොයන්නේ ඒවා මෙහෙයවන අය බලවත් අය නිසාද?

පොලීසිය විසින් දඩ කොළයක් ලබා දීම විවේචනය කරමින් සාමාන්‍ය පුරවැසියෙකු තම ෆේස්බුක් ගිණුමෙහි ලියා තැබූ ඉහත සටහනින් සිත රිදෙන තරමට මේ පොලීසිය ලාමක හා ‘බබා ටයිප්’ දැයි අපි නොදනිමු. එහෙත්, එවැනි සුළු සිදුවීමකින් පවා ලංකාවේ පොලීසියේ නිලධාරීන් අසීරුතාවට පත් වේ නම්, එසේම ඒවා නීතිය අභියෝගයට ලක් කිරීමේ වැරදි ලෙස අධිකරණයද පිළිගන්නේ නම්, බැලූ බැල්මටම විවිධ වැරදි සම්බන්ධයෙන් සැක පහළ වන දේශපාලඥයන්ගේ ගැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන විට ඒවා විවේචනය කරමින් හා කරුණු විකෘති කරමින් ඔවුන්ගේ හංචයියන් මාධ්‍ය හමුවේ එළිපිටම ගසන පම්පෝරිද රාජකාරිය අසීරුතාවට පත් කරන හා නීතිය අභියෝගයට ලක් කරන සිදුවීම් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක විය යුතුය.

එහෙත්, ඒ තැනට එන්නට අපගේ සමස්ථ නෛතික ව්‍යුහය තවම පරිණත නැති බවද කණගාටුවෙන් වුවද අපි දැන සිටිමු! කෙසේවෙතත්, පුරවැසියන් පළ කරන අදහස්වලින් පොලීසිය අසීරුතාවට පත් වන්නේ නම්, වහාම එසේ වන්නේ කවර අවස්ථාවලදීද, කෙබඳු ස්වභාවයක් ගන්නා ප්‍රකාශවලින්ද යන්න පොලීසිය ප්‍රසිද්ධ කළ යුතුය. එවැනි අනර්ථක වැඩක් වෙනුවෙන් මහත් ආයාසයක් දැරීමෙන් අනතුරුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒවා ප්‍රසිද්ධ කළ හොත් අප ඒ ගැන පුදුම වන්නේ නැති බවද කිව යුතුය.

ashanweerasinghe@gmail.com

Print Friendly

රාජපක්ෂගේ නීරස උපාය මාර්ගය

$
0
0

හරීම් පීරිස්

හරීම් පීරිස්

හරීම් පීරිස්

පසුගිය සතියේ ප‍්‍රධාන දේශපාලන සිදුවීම් ගණනාවක් දක්නට ලැබුණි. එයින් ප‍්‍රධාන තැනක් ගත්තේ, ශ‍්‍රී ලංකාවට අදාළව ඇති කර ගත් ජිනීවා යෝජනාව ක‍්‍රියාත්මක කර ගැනීම අරභයා තමන්ගේ කාර්ය භාරයට උරදෙමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු දින හතරක සංචාරයක් සඳහා ලංකාවට පැමිණීමයි.

කෙසේ වෙතත්, අභ්‍යන්තරික දේශපාලනික සිදුවීම් අතර, ‘ඒකාබද්ධ විපක්ෂය’ නමින් තමන්ව හඳුන්වා ගන්නා පිරිස වෙනම කණ්ඩායමක් වශයෙන් පාර්ලිමේනුව තුළ තමන්ව පිළිගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා කළ උද්ඝෝෂණයත් ප‍්‍රධාන තැනක් ගත්තේය. මේ ඉල්ලීම සිදු කරන ලද්දේ, පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පිහිටුවා ගැනීමට සැරසෙතැයි සැළකෙන පක්ෂයක මූලස්ථානයක් වශයෙන් ගැනෙන කාර්යාලයක් බත්තරමුල්ලේ දී විවෘත කර ගැනීමත් සමග ය. ‘අපේ ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණ’ සේ නම් කොට ඇති මේ පක්ෂය මැතිවරණ කොමසාරිස් වෙත ලියාපදිංචි කර ඇති අතර, එහි ලාංඡනය වන්නේ නෙළුම් පොහොට්ටුවයි. මහින්ද රාජපක්ෂගේ අලූත් පක්ෂයක් එසේ ගොඩනැගෙමින් තිබෙන අතරේ, එම පක්ෂයේ යෝජිත දේශපාලනයත්, නැවත බලයට පැමිණීම සඳහා මහින්ද රාජපක්ෂට ඇති හැකියාවත් පිළිබඳව මේ අවස්ථාවේ විමසා බැලීම වටී.

මහින්ද රාජපක්ෂ නැවත බලයට පත්වීමක සිහිනය

මුලින්ම, රාජපක්ෂ නැවත බලයට පත්වීමක් ගැන අපේක්ෂාවෙන් සිහින දකින, විශේෂයෙන්ම දකුණේ තවමත් මහින්ද රාජපක්ෂ කෙරෙහි යම් ආකර්ශණයක් ඇති පළාත්වලින් පාර්ලිමේන්තුවට පැමිණ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුඩා පක්ෂවල නායකයන් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අමතක කරන එක් කාරණයක් තිබේ. එනම්, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණෙන් තරග කළ මෛත‍්‍රීපාල සිරිසේනට, 2015 ජනවාරි ජනාධිපතිවරණෙයේදී මහින්ද රාජපක්ෂ සහ ඔහු නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය වුණේ මන්ද යන්නයි. එසේ වුණේ, මහින්ද රාජපක්ෂ එක පසෙකත්, අනිත් සියල්ලන් අනිත් පසටත් සිටින පරිද්දෙන් දේශපාලනික සහ සමාජ බල තුලනය එකට පෙල ගැසීමයි.

Mahindaඑහිදී මහින්ද රාජපක්ෂ තනි විය. ඔහුගේ ගමන් සගයන් වු ජාතික හෙළ උරුමය පවා ඔහුව අත්හැරියේය. ජනතා විමුක්ති පෙරමුණ ඔහුට පසමිතුරුව නැගී සිටියේය. එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය, ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය ආදී සියල්ලෝම ඔහුට එරෙහිව එකට සිටගත්හ. ඒ වනාහී, මේ දේදුනු සභාගය දේශපාලනික පෙරමුණක් බවට පත්කිරීමට පියවර ගත්, චන්ද්‍රිකා කුමරතුංගගේ පැසුණු දේශපාලනික ඥානය කෙරෙහි සහ ඇගේ කාර්යශූරත්වය කෙරෙහි තැබූ විශ්වාසයේ ප‍්‍රතිඵලයකි.

රාජපක්ෂට එරෙහිව සෙසු සියල්ලන් වශයෙන් සැදුම්ලත් ඒ මූලික දේශපාලනික පෙළගැස්ම තවමත් නොවෙනස්ව තිබේ. ආණ්ඩුකරණයේ මොන තරම් අඩුලූහුඩු තිබුණත්, ආණ්ඩුව තුළ විවිධ දේශපාලන පක්ෂවල කඹ ඇදීම් මොන තරම් තිබුණත්, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේදුනු සන්ධානයේ කිසි පක්ෂ නායකයෙකුට රාජපක්ෂ නැවත බලයට පත්වීමක් දැකීමට අවශ්‍ය නැත. මේ සම්බන්ධයෙන් වන මහජන මතය කවරාකාර වන්නේද යන්න දැන ගැනීමට ඇති හොඳම සාධකය වන්නේ, ඒ අරභයා ඉදිරිපත් කෙරෙන ශ‍්‍රී ලංකාවේ දේශපාලනීකරණය වූ සහ ද්‍රැවීකරණය වූ මාධ්‍ය ජාලයේ ආවරණයන් නොව, මැතිවරණ ප‍්‍රතිඵලයන් ය.

ඒකාබද්ධ විපක්ෂය

2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණ ප‍්‍රතිඵල දෙස උඩින්පල්ලෙන් බැලූවත් පැහැදිළිව පෙනෙන්ට ඇති දෙයක් තිබේ. එනම්, මූලික වශයෙන් ගත් විට, රාජපක්ෂගේ නායකත්වය යටතේ කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය, සෑම මැතිවරණ දිස්ත‍්‍රික්කයකින්ම ලබා ගත් ඡන්ද ප‍්‍රමාණය, 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී ගත්තාට වඩා අඩු ප‍්‍රමාණයක් වූ බවයි. එසේ නොවුණේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේදී පමණි. එහිදී පෙරට වඩා ඡන්ද 3000 ක් ඔවුන්ට ලැබුණි. ඊට හේතුව වුණේ, තොන්ඩමන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තමාගේ මුලූ වැර යොදා ඡන්ද ව්‍යාපාරයේ යෙදීමයි. කෙසේ වෙතත්, එතැන් පටන් ඔහු පවා මේ විපක්ෂයෙන් ඈත් වී වක‍්‍රාකාරයෙන් ආණ්ඩුවට සහාය පළ කරයි. එසේම, රාජපක්ෂගේ තවත් ප‍්‍රබල ආධාරකරුවෙකු වූ ඩග්ලස් දේවානන්දත් දැන් ඔහුගෙන් ඈත් වී ආණ්ඩුවට සහාය පළ කරයි. එහි අරුත වන්නේ, 2015 ජනවාරියේ සිට මේ වන විට, තමන්ට සිටි සගයන් දෙන්නෙකු රාජපක්ෂ අහිමි කරගෙන ඇති අතර, අලූතෙන් කිසි සගයෙකු දිනා ගැනීමට සමත්ව නැති බවයි. තවත් විදිහකින් කිවහොත්, මේ වන විට රාජපක්ෂට සහ ඔහුගේ ඒකාබද්ධ විපක්ෂයට, පාර්ලිමේන්තුවට තේරී පත්වූ කිසි සුළු වාර්ගික හෝ සුළු ආගමික සගයෙකු ඇත්තේ නැත.

මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ විපක්ෂයට අද ඇත්තේ එක දේශපාලනික පණිවිඩයක් පමණි. එනම්, මේ රටේ ජීවත් වන සිංහල බෞද්ධයන්ව, මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව විසින් විනාශ කරනු සහ පාවා දෙනු ලබන්නේය යන්නයි. උතුරු පළාත් සභා මහ ඇමති විග්නේශ්වරන්ගේ චෝදනාවත්, වෙනත් ආකාරයකින් මේ තර්කයමයි. මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව යටතේ දෙමළ ජනතාව විධිමත් ජන සංහාරයකට ලක්ව සිටිතැයි ඔහු කියයි. එසේ බලන කල, සිංහල සහ දෙමළ යන වර්ග දෙකම කෙරෙහි මහා සංස්කෘතික සංහාරයක් වර්තමාන ආණ්ඩුව දියත් කොට ඇති බවක් අප පිළිගත යුතුව ඇතැයි, මහින්ද සහ විග්නේශ්වරන් යන දෙන්නාම අපේක්ෂා කරති. ඔවුන්ගේ එම චෝදනාව සත්‍යයක් නම්, ඒ වනාහී, ආණ්ඩුවක් විසින් අත්පත් කරගත හැකි එසේ මෙසේ වැඩක් නොවේ. එහෙත්, දෙවර්ගයේම අන්තවාදී ස්ථාවරයක් ගත් දෙපාර්ශ්වයක අභූත චෝදනාවක් හැරුණු කොට, එය, දෙපාර්ශ්වයේම අන්තවාදීන්ට මිස වෙන කිසිවෙකුට පිළිගත හැකි බරසාර තර්කයක් නොවේ. නිශ්ශබ්ද, මධ්‍යස්ථ බහුතරයට වඩා ජාතිකවාදී වන, සිංහල සහ දෙමළ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට නම් මේවා උඩ දමමින් කෑගැසිය හැකි සටන්පාඨ විය හැකිය.

ඒ අනුව, මෛත‍්‍රීගේ හෝ රනිල්ගේ මධ්‍යස්ථවාදයට වඩා මහින්දගේ අන්තවාදයට සිංහල මාධ්‍ය තුළ වැඩි ඉඩක් ලැබෙන අතර, සම්බන්දන් හෝ සුමන්දිරන්ගේ සාධාරණ තාර්කිකත්වයට වඩා විග්නේශ්වරන්ගේ උද්වේගී වාගාලාපවලට දෙමළ මාධ්‍ය තුළ වැඩි ඉඩක් ලැබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඞී යන පක්ෂය

දේශපාලනික උන්මාදයේ එක් ලක්ෂණයක් වන්නේ, එකම තාලයකට නටමින් වෙනස් ප‍්‍රතිඵලයක් අපේක්ෂා කිරීමයි. රාජපක්ෂ ගයමින් සිටින්නේ සිංහල වාර්ගික හොරණෑවයි. රටේ යම් අනුබලයක් ඊට ඇතත්, බහුතරයකගේ අනුමැතියක් සඳහා එය ප‍්‍රමාණවත් නොවන්නේය. එය මොන තරම් ශබ්ද නගා ගැයූවත්, මොන තරම් හැඟීම්බරව ගැයූවත්, ඊට ලැබිය හැකි ආකර්ශනය සහ අනුබලය වර්ධනය කර ගත නොහැක්කේය.

ඒක වාර්ගික සිංහල ජාතිකත්වයේ දේශපාලනය බලය ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් වශයෙන් සාර්ථක වීමට නම්, එනම් ජාතික තලයේ ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 50 ක් ලැබීමට නම්, සිංහලයන්ගේ ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 65 ක් ලැබිය යුතුය. තවත් විදිහකින් කිවහොත්, මුළු රටෙන්ම සරළ බහුතරයක් ලැබීමට නම්, සිංහල ඡුන්දදායකයන්ගෙන් තුනෙන් දෙකක සහායක් කෙනෙකුට අවශ්‍ය කරන බවයි.

යුද්ධය අවසන් වීමත් සමගම පැවති 2010 මැතිවරණවලදී, සිංහලයන්ගෙන් සියයට 65 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළහ. එහෙත් 2015 වන විට එවැනි තත්වයක් පවත්වා ගැනීමට තවදුරටත් පුලූවන් වුණේ නැත. මේ නිසා, සිංහල ඡන්ද ප‍්‍රමාණය අඩු වන තරමට සිංහල වර්ගවාදී ජාතිකවාදයේ වැඩි මාත‍්‍රාවක් කරා දිව යාමේදී සිදු වුණේ. අයහපත් ආණ්ඩුකරණය, ඔඩුදුවන දූෂණය, ඥාති සංග‍්‍රහය, සුදු වෑන් සංස්කෘතිය සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාකලාපයන් වර්ධනය වීමයි.

තමන්ට වැරදුණේ කොතැනදැයි සොයා බැලීමට, විශේෂයෙන් දෙවැනි ධුර කාලය තුළ, රාජපක්ෂලා යොමු වුණේ නැත. 2015 ජනවාරියේදී ජනතාව අතින් යම් අත්වැරැද්දක් සිදු විණැයි විශ්වාස කළ ඔවුහූ ඒ වැරැද්ද, සමහර විට පලාත් පාලන මැතිවරණවලදීත්වත් ජනතාව නොවලහා නිවැරදි කර ගනු ඇතැයි විශ්වාස කළහ. කෙසේ වෙතත්, ජනතාවගේ පැත්තෙන් සිදුවිය හැක්කේ, රාජපක්ෂලා සිය පාලන කාලය තුළ කළ වැරදි හරිගස්සා ගනීදැයි විමසිල්ලෙන් බලා සිට, එවැන්නක් පෙනෙන්ට නැතොත්, රාජපක්ෂ සහ ඔහුගේ ඒකාබද්ධ විපක්ෂය බලහත්කාරයෙන් විශ‍්‍රාම ගැන්වීමට ඔවුන් විසින් කටයුතු කරනු ලැබීමයි. ඒ අනුව, ඔහුගේ අලූත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වනු ඇත්තේ, මීට වසර විස්සකට පෙර එක්සත් ජාතික පක්ෂයෙන් කැඩීගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට අත්වූ ඉරණමමයි.

*2016 පෙබරවාරි 16 වැනි දා ‘ඩේලි නිව්ස්’ පුවත්පතේ පළවූ “Rajapakse’s Lacklustre Strategy” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly

ETCA ගිවිසුම තවම කෙටුම්පත් කරලත් නැහැ, ඒත් සමහරු​ රට ගිනි තියනවා

$
0
0

රනිල් වික්‍රමසිංහ

පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් අප ජනතාවගෙන් වරමක් ලබා ගත්තේ මේ රට ඉහළ තලයකට ඔසවා තබන්නයි. එහිදී අලූතින් රැකියා දස ලක්‍ෂයක් නිර්මාණය කරලීමේ වැඩ පිළිවෙලක් අප ජනතාවට ඉදිරිපත් කළා.

Ranil @ Kuliyapitiyaඒ සඳහා අපේ වෙළඳපොල පුළුල් කරගත යුතුයි. අපේ ඉලක්කය විදේශීය රටවල් ගණනාවක මධ්‍යම පංතිය ඉලක්ක කරගෙන අපේ නිෂ්පාදන වෙළඳපොල පුළුල් කර ගන්නට අප ක්‍රියා කරනවා. යුරෝපය, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තුර්කිය වැනි රටවල මධ්‍යම පාන්තික වෙළඳපොල බිලියනයක් පමණ විශාලයි. අපේ සැලසුම ඒ වෙළඳපොලට ඇතුළු වීමයි.

ලෝකයේ විවිධ රටවල් සමඟ ආර්ථික, වෙළඳ​, තාක්‍ෂණ ආදී විවිධ ක්‍ෂ්ත්‍ර ආවරණය වන පරිද්දෙන් ගිවිසුම් අත්සන් කරන බව අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළේ ඒ අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහායි.

ශ්‍රී ලංකාව සහ නැගෙනහිර ආසියාතික රටවල් වන සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව ආදී රටවල් අතර දැනට අති විශාල සංවර්ධන පරතරයක් පවතියි. උසස් සංවර්ධනයක් ඇති කිරීමෙන් මෙම පරතරය පියවා අතිරේක රැකියා දසලක්ෂයක් උත්පාදනය කිරීමට සහ ආදායම් ඉහල නැංවීමට නිශ්චිත වැඩපිළිවෙලක් සම්පාදනය කොට ඇත.

මෙහිදී දේශීය වෙළෙඳපොළට වඩා විශාල වෙළෙඳපොළක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ. GSP+ තීරුබදු සහනය ලබාගැනීමෙන් අපට යුරෝපයේ කෝටි 50ක ජනගහණය අපේ වෙළඳපොළක් කරගැනීමේ අවස්ථාව උදාවේ. GSP+ තීරුබදු සහනය අපට අහිමි වූයේ දූෂිත රාජපක්ෂ රෙජිමය යටතේය. එයට අමතරව ධීවර නිෂ්පාදන අපනයනය සම්බන්ධ තහනමක් ද ඇත. අද වන විට අපි මෙම තහනම ඉවත් කර ගැනීමටත් GSP+ තීරුබදු සහනය යළි ලබාගැනීමටත් කටයුතු කරමින් සිටිමු. GSP+ තීරුබදු සහනයට අමතරව ඇමරිකාව, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, නැගෙනහිර ආසියාව සහ අනෙකුත් සාක් රටවල් සමඟ වෙළෙඳ සහ ආයෝජන ගිවිසුම්වලට ඇතුළත් වීමෙන් අපේ නිෂ්පාදන වෙනුවෙන් තවත් සුවිශාල වෙළඳපොළක් ලබාගැනීමට කටයුතු කරන්නෙමු.”- (මාස 60 කින් අලූත් රටක් හදන පංච විධ ක්‍රියාවලිය – 1 පිටුව)

අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලීම සඳහා ජනතා වරමක් ලබා දී තිබෙනවා. ඒ නිසා දැන් කිසිවෙකුට ඒ ජනවරමට එරෙහිව ක්‍රියා කළ නොහැකියි. ජනවරමට විරුද්ධ වෙන්නේ ජනතා පරමාධිපත්‍යය නොතකන, ජනතා ද්‍රෝහීන් විතරයි. තමන්ගේම වාසිය වෙනුවෙන් ක්‍රියා කරන අධිපතිවාදීන් විතරයි.

අපට ලබා දුන් ජනවරමට අනුකූලව අපි යුරෝපීය වෙළඳපොළට අවතීර්ණ වීම සඳහා සාකච්ඡා පවත්වනවා. ජීඑස්පී ප්ලස් සහනය යළිත් ලබා ගෙන ඇඟළුම් සහ අනෙකුත් ලාංකේය නිෂ්පාදන වැඩි වැඩියෙන් යුරෝපීය වෙළඳපොලට ඇතුළත් කරලීමට ක්‍රියා කරනවා. ඉන්දියාව සමග ආර්ථික හා තාක්‍ෂණ සහයෝගීතා ගිවිසුමකට එළැඹෙනවා. චීනය, සිංගප්පූරුව සහ තුර්කිය සමගත් ගිවිසුම්ගත වීමට සැලසුම් සකස් කරනවා. පකිස්තානය සමගත් සාකච්ඡා කරමින් යනවා.

පසුගිය දා පැවති ලෝක ආර්ථික සමුළුවේදී අප විවිධ විද්වතුන් හා රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා කළා. ඒ අවස්ථාවන්හිදී අප උකහා ගත් දැනුම අත්දැකීම් ද අප අනාගතය සඳහා උපයෝගී කරගන්නවා.

ඒ වාගේම හාවඩ් ව්‍යාපාරික අධ්‍යාපන ආයතනයේ මයිකල් පොටර් ඇතුළු විශේෂඥයන් පිරිසක් රටේ අනාගත ආර්ථික සැලසුම් හා තරගකාරීත්වය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙමින් සිටිනවා. ඔවුන්ගේ වාර්තාවත් ළඟදීම අපට ලැබෙනවා.

ලෝකයේ කිසිම භාණ්ඩයකට හෝ ව්‍යවසායකයෙකුට අප බිය විය යුතු නැහැ. අපි අපේ ව්‍යාපාර සහ නිෂ්පාදන තරඟකාරී තලයකට ඔසවා තැබිය යුතුයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඉතිහාසය දෙස විමසිල්ලෙන් බලන්න. දේශීය හා විදේශීය තරඟකාරීත්වය නිසා කඩා වැටුණු ව්‍යාපාර තිබෙනවාද? දේශීය හා විදේශීය තරඟකාරීත්වය හමුවේ නැගී සිටි ව්‍යාපාර තිබෙනවාද? ඉතාම සුළු ප්‍රමාණයක් හැරෙන්නට ඇත්තේ දේශීය හා විදේශීය තරඟකාරීත්වය හමුවේ නැගී සිටි ව්‍යාපාරයි. කඩා වැටුණු ව්‍යාපාර අතලොස්සෙන් වැඩි හරියක් කඩා වැටීමට හේතුව තරඟකාරීත්වය නෙවෙයි. වෙනත් අභ්‍යන්තර සාධකයි.

ඒ නිසා අප ලෝකයේ විවිධ රටවල් සමග අත්සන් කිරීමට සැරසෙන සහයෝගීතා ගිවිසුම් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැහැ.

අප මේ සියල්ල සිදු කරන්නේ රට වෙනුවෙන්. රටේ අනාගතය වෙනුවෙන්. තව දුරටත් ළිං මැඩියන් සේ සිටින්නට අපට බැහැ. වේගයෙන් ඉදිරියට යන ලෝකයත් සමග අපත් වේගවත්ව ඉදිරියට යා යුතුයි. පුළුල් මනසකින් යුතුව ලෝකය දැකිය යුතුයි. ලෝක අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය ඇති කරගත යුතුයි.

මීට වසර 30 කට පමණ කලින් බණ්ඩාර ඇහැළියගොඩ ලියා, රෝහණ වීරසිංහ සංගීතවත් කළ ගීයක් මට සිහිපත් වෙනවා. ‘ආජුතපර ලාහිලා’ ගීතය. එය ගායනා කළේ දීපිකා ප්‍රියදර්ශනී සහ ආනන්ද වීරසිරි.
ඒ ගීතයේ පද කීපයක් මම සිහිපත් කරන්නම්.

“විදුනැණයෙන් අභිසෙස් ලබමින්නේ
සඳ මතුපිට පියවර එසැවෙන්නේ
අප පමණද එක තැන කැරකෙන්නේ
අප තනිකර ලෝකය දිවයන්නේ”

ඒ නිසා අපත් ලෝකය සමග ඉදිරියට යා යුතුයි. ලෝකය සමග තරඟ කළ යුතුයි. ලෝක වෙළඳපොල ජය ගත යුතුයි. විවිධ රටවල් සමග අප සහයෝගීතා ගිවිසුම් අත්සන් කරන්නේ ලෝකය ජයගැනීමේ අරමුණ ඇතිව බව මම අවධාරණය කරන්නට කැමතියි.
ඉන්දියාව සමග අත්සන් කිරීමට සැරසෙන ගිවිසුම පිළිබඳව කණ්ඩායම් කීපයක් වැරදි මත පතුරුවාලීමට ක්‍රියා කරන බව අප දන්නවා. තවමත් කෙටුම්පත් නොකළ, සාකච්ඡා මට්ටමේ පවතින කරුණක් පිළිබඳව විරෝධය පළ කරන්නේ කුමන පදනමක් මත දැයි අපට සිතා ගන්නට බෑ.

ගිවිසුම තවම කෙටුම්පත් කරලත් නැහැ. මම අපේ ඇමැතිතුමාට උපදෙස් දුන්නේ දැනට අමාත්‍යංශයේ සාකච්ඡා වී ඇති කරුණු අඩංගු කෙටුම්පතක් සකස් කර, එය පදනම් කර ගනිමින් මේ අය සමග සාකච්ඡා කරන්න කියලයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ අනෙක් පක්‍ෂවලටත් ලබා දී ඒ පක්‍ෂවල අදහස් ද ලබා ගන්නැයි උපදෙස් දුන්නා.

සැබෑ දේශප්‍රේමීන් නම් කළ යුත්තේ මේ සාකච්ඡා සඳහා සංවර්ධනාත්මක අදහස් ලබා දීමයි. ගුණාත්මක යෝජනා ඉදිරිපත් කිරීමයි. නමුත් මෙහිදී සිදු වෙන්නේ ඒක නෙවෙයි. තවමත් කෙටුම් පත් නොකළ ගිවිසුමක් ගැන සිහින දකිමින් අසත්‍යය, මිත්‍යාව, වෛරය හා ක්‍රෝධය පැතිරවීමයි.

මම අවස්ථා කීපයකදීම යෝජිත ගිවිසුමෙන් අපේක්‍ෂා කරන ප්‍රතිපල පිළිබඳව මේ සභාවට කරුණු පැහැදිලි කළා. අවස්ථා ගණනාවකදී අපේ අමාත්‍යවරුන් මේ ගැන කරුණු ඉදිරිපත් කළා. නමුත් මේ විරෝධය පළ කරන්නේ ඒ කිසිවක් සැලකිල්ලට නොගෙනයි. අනුන්ගේ මතයක් සැලකිල්ලට නොගන්නේ කවුද කියා ඊට වඩා උදාහරණ පෙන්වා දිය යුතු නැහැ.

ඒ අය එසේ කටයුතු කළත් අප කිසිවිටෙක ඒ තත්වයට වැටෙන්නේ නෑ. ඒ නිසා මම අදහස් කළේ තවත් වරක් මේ සභාවට කරුණු පැහැදිලි කරන්නයි. කරුණාකර මේ කරුණු සැලකිල්ලට ගන්න. ඒ ගැන සොයා බලන්න. විමසා බලන්න. එසේ නොකර හුදු මායාවක් පදනම් කර ගනිමින්, එහෙමත් නැත්නම් සිහිනයක් පදනම් කර ගනිමින් රටේ අනාගත දියුණුවට බාධා සිදු කෙරෙන ව්‍යාපාරයන්ට එක් වීම සාධාරණ නෑ.

ඉන්දියාව සමග නිදහස් ආර්ථික ගිවිසුමකට ශ්‍රී ලංකාව එළැඹුණේ 1998 වසරේදීයි. ඒ ගිවිසුමෙන් බලාපොරොත්තු වුණු ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වුණ නිසා පසුගිය ආණ්ඩු සමයේ වෙනත් ගිවිසුමක් සකස් කෙරුණා. ඒ තමයි සීපා ගිවිසුම.

නමුත් අප ඒ ගිවිසුමට විරුද්ධ වුණා. ඊට එක් හේතුවක් වෘත්තීය සේවාවන් ද ඒ ගිවිසුමට ඇතුළත් කර තිබීමයි. ඒ වගේම එය වෙනත් විදේශීය රටවල් සමග අත්සන් කරන ගිවිසුම් සඳහා පූර්වාදර්ශයක් වෙනවා. එවැනි ගිවිසුම් ඔස්සේ ශ්‍රී ලාංකේය වෘත්තිකයන්ට අසාධාරණයක් සිදු විය හැකි නිසා අපි එයට විරුද්ධ වුණා.

පසුගිය ආණ්ඩුවට මේ ගිවිසුම අත්සන් කිරීමට හැකි වුණේ නෑ. ජනවාරි 08 වන දා අපි සම්මුතිවාදී යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසු සීපා ගිවිසුම පිළිබඳව ඉන්දියාව සමග සාකච්ඡා කළා.

ඉන්දීය අගමැති මෝදි මැතිතුමා ලංකාවට පැමිණි අවස්ථාවේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මම ඉන්දියාවට ගිය අවස්ථාවේදීත් මේ ගැන ඉන්දීය රජයේ අවධානයට යොමු කළා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග කළ සාකච්ඡා වලින් අනතුරුව, සීපා ගිවිසුම අතහැර දමා ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්‍ෂණික සහයෝගීතා ගිවිසුමකට එළැඹිමට අප තීරණය කළා. 2016 වසරේ මැද භාගය වෙද්දී මේ ගිවිසුම අත්සන් කිරීමට ද අප දින නියම කර ගත්තා.

සාකච්ඡාවලදී එකඟවුණු ප්‍රතිපත්තිමය රාමුව අනුව, ශ්‍රී ලංකා පාර්ශවීය කෙටුම්පත දැන් අප සකස් කරමින් යනවා. ඉන්දීය පාර්ශවයේ කෙටුම් පත ද සකස් කළ පසු, ඒ දෙකම අධ්‍යයනය කර අවසන් ලියැවිල්ල සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ප්‍රතිපත්තිමය වශයෙන් පමණක් නොව ගුණාත්මක අතින්ද සීපා ගිවිසුමට වඩා අප සකස් කරමින් යන අලූත් ගිවිසුමෙහි වෙනස්කම් තියෙනවා. ඒ පිළිබඳ ප්‍රධාන කරුණු කීපයක් මම දැන් පැහැදිලි කරන්නම්.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දැනට පවත්නා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වසරකට සාමාන්‍යයෙන් ලාංකේය නිෂ්පාදන සියයට 65 ත් 80 ත් අතර ප්‍රමාණයක් වරණීය පදනම මත ඉන්දීය වෙළඳ පොළට යැවෙනවා. ඉන්දීය අපනයන ලංකාවට ඇතුළු වන්නේ සියයට 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් පමණයි. නමුත් අපේ නිෂ්පාදන ඉන්දියාවට යැවීමේදී ලැබෙන තීරු බදු සහනයට පරිපාලන හා වෙනත් බාධක එල්ල වන අවස්ථා අප අත්විඳ තියෙනවා. මේ බාධක නිසා තීරුබදු සහනයේ වාසිය නිසි ලෙස ලබා ගැනීමට නොහැකි වීම පසුගිය කාලය තිස්සේ අප මුහුණ දුන් ප්‍රායෝගික අත්දැකීමක්. මේ තත්වය ඉන්දීය වෙළඳපොල ජය ගැනීමට බාධාවක්. මේ නිසා අලූත් ගිවිසුම ඔස්සේ මේ සියළු බාධා ජය ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එමගින් ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට දැනට වඩා යහපත් පසුබිමක් සැලසෙනවා පමණක් නොව, පරිපාලන හා අනෙකුත් බාධක ද ඉවත් වෙනවා.

සීපා ගිවිසුමට අඩංගු වී තිබුණු සාමාන්‍ය පුද්ගලයන්ගේ නිදහස් ගමනාගමනය පිළිබඳ වගන්ති අප ඉවත් කර තිබෙනවා. මේ වගන්ති නිසා වෘත්තීය සේවාවන් ආවරණය වන බව අපේ පිළිගැනීමයි. එච්O ගිවිසුමේ එක කොන්දේසියක් තමයි නිදහසේ සේවාවන් සැපයීම. ඒකට පියවර 4 ක් තිබෙනවා. මේකට බලපාන්නේ 4 වන පියවරයි. ඕනෑම පුද්ගලයෙක්ට මේ රටවල් දෙකට ඇවිල්ල ඕන විදියකට සේවය කරන්න. අපි ඒකට එකඟ නෑ. මං හිතන්නේ මේවා ක්‍රියාත්මක කරන්න ඉස්සේලා මීට වඩා සාකච්ඡා කරල, අපි ඒ පිළිබඳ අවධානය යොමු කරල පියවර ගත යුතුයි. හෙමින් සීරුවේ අපි පියවරෙන් පියවර යා යුතුයි. එක සැරේ කඩා ගෙන යෑම සුදුසු නැහැ.

ඒ නිසා මේ නව ගිවිසුම මගින් වෘත්තීය සේවාවන් ආවරණය නොවන බව මම නැවත වරක් මේ සභාවට අවධාරණය කරන්නට කැමතියි. කිසිම අවස්ථාවක, කිසිම විදේශිකයෙකුට ලාංකීය පුරවැසියෙකුගේ රැකියා අවස්ථා අහිමි කරවමින් මෙරට රැකියාවක යෙදෙන්නට අවකාශ සැලසෙන්නේ නෑ.

විදේශිකයන්ට රැකියා ලබා දීම සම්බන්ධව දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් තියෙනවා. ඉදිරියටත් ඒ ක්‍රමවේදයටම අනුව විදේශිකයන් රැකියා සඃදහා මෙරටට පැමිණීම පාලනය කරන්නට අප ක්‍රියා කරනවා. ඒ ක්‍රමය යටතේ විදේශිකයන්ට රැකියා වීසා ලබා දෙන්නේ හිඟයක් ඇති අවස්ථාවක දී පමණයි. ඒ සදහාත් ව්‍යවසායකයන්ගේ විශේෂ ඉල්ලීමක් අවශ්‍යයි. අදත් තියෙන්නෙ ඒ ක්‍රමවේදය. ඒක එක සැරේ වෙනස් කරන එක හරි නෑ. එක එක ප්‍රශ්න ඇති වෙන්න පුලූවන්. ඒ නිසා ගිවිසුමෙන් පස්සෙ අපි සාකච්ඡා කරනවා ඒවා අපි පියවරෙන් පියවර ලංකාවට ගේනවද, නැද්ද කියලා. ඒ ගැන අපට වාද කරන්න පුලූවන්. ඊට වඩා වෙනස් විශේෂ අවස්ථාවක් උදාවුණහොත්, ඒ පිළිබඳ තීරණයක් ගනු ලබන්නේ ඒ පිළිබඳව සියළු පාර්ශව විමසා බලා, සියළු දෙනාගේ එකඟත්වය ලබා ගැනීමෙන් පසුවයි. දැනටත් විශේෂිත ක්ෂේත්‍ර කීපයක විදේශිකයන් රැකියා කරනවා. We will not do anything Unless you can get a consensus and how to approach this manner and what is the step by step measure we should take. එවැනි අවස්ථා මගින් ශ්‍රී ලාංකිකයන්ට කිසිදු හානියක් සිදු වී නෑ. ඉදිරියටත් ක්‍රියාත්මක වන්නේ ඒ ක්‍රමවේදයමයි.

අලූත් ගිවිසුම නිසා සැබැවින්ම සිදු වෙන්නේ දැනටත් වඩා ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා බහුල වීමයි. ඔවුන්ගේ රැකියා අවස්ථා ආරක්‍ෂා වීමයි. දැනටත් වඩා ඉහළ වැටුප් හිමි කර ගැනීමේ අවකාශ පුළුල් වීමයි.

ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට අයත් නොවූ ක්ෂේත්‍ර දෙකක් අලූත් ගිවිසුමෙන් ආවරණය වෙනවා. පළමුවැන්න තාක්‍ෂණික සහයෝගීතාවයයි. ඒ ඔස්සේ පහත දැක්වෙන ඉලක්ක සපුරා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

1. පර්යේෂණාත්මක නවමු ක්‍රමවේද සහ තාක්‍ෂණය නියමු සහ වාණිජ මට්ටමට ඉහළ නැංවීම
2. අධිතාක්‍ෂණික නව ක්‍රමවේද, තාක්‍ෂණික හුවමාරු සහ වාණිජකරණ වැඩසටහන් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට පර්යේෂණ ආයතන දිරිමත් කිරීම
3. විද්‍යාඥයන්, තාක්‍ෂණිකඥයන්, පර්යේෂකයන් සහ නිර්මාණකරුවන් අතර ව්‍යවසායකත්වයට සහ අනාගත කර්තව්‍යයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම
4. ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමට ලක්විය හැකි ආකාරයට ආයතන, නිෂ්පාදන සහ සේවාවන්හි තත්වය ඉහළ නැංවීම.

අප අවධානය යොමු කරන්නේ දෙවැන්න පුහුණු කටයුතු පිළිබඳ ක්ෂේත්‍රයයි.

විශේෂයෙන්ම පුහුණු කරන්නේ නැත්නම් අපට අනාගතයේ දී හිඟයක් තියේවි. අපි පුහුණු කරනවා නම් බොහෝ දුරට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුලූවන්.

දෙරටේ ආර්ථිකයෙහි ඉදිරි ගමන සඳහා ශක්තිමත් මානව සම්පත් පදනමක් වර්ධනය කරලීම වැදගත් වන බැවින්, ද්විපාර්ශවික මානව පුහුණු කාර්යයන් විධිමත් හා සවිමත් කරලීම පිළිබඳව ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයයන් සොයා බැලීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම වත්මනෙහි පවත්නා නිදහස් වෙළඳ ගිවිසුමට අයත් භාණ්ඩ සම්බන්ධයෙන් ද ඉන්දියාව සමග අප සාකච්ඡා කරමින් ඉන්නේ. අපට අවශ්‍ය ඉන්දියාවට යැවිය හැකි අපේ භාණ්ඩ ප්‍රමාණය තව තවත් ඉහළ නංවා ගැනීමටයි. දැනට යැවීමට නොහැකි භාණ්ඩ පිළිබඳව යළි සලකා බලන ලෙස ද අප ඉන්දියාවෙන් ඉල්ලා තිබෙනවා. ඒ ගැන යහපත් ප්‍රතිචාර දැනටමත් අපට ලැබී තියෙනවා.

සේවා සහ ආයෝජනය සම්බන්ධයෙන් ද කරුණු නව ගිවිසුමට ඇතුළත් කිරීමට අප ක්‍රියා කරනවා. දැනටමත් ඉන්දියාවට සේවාවන් සපයන ප්‍රධානතම වරාය වන්නේ කොළඹ වරායයි. කොළඹ වරායෙන් හැසිරවෙන බඩු භාණ්ඩ වලින් සියයට 70 ක් ඉන්දියාවට යළි නැව්ගත කෙරෙන ඒවායි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආදායමෙන් සියයට 40 ක් ලැබෙන්නේ ඉන්දියාවට යන එන ගුවන් යානා වලිනුයි. ලංකාවට විශාලතම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණෙන්නේත් ඉන්දියාවෙනුයි. ඒ නිසා මේ පදනම තව තවත් පුළුල් කර ගනිමින් සේවා අංශයන් තව තවත් නිදහස් කරලීමටත්, ආයෝජන අවස්ථා වැඩි දියුණු කරලීමටත් අලූත් ගිවිසුම පදනම් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

ඉදිරි කාලයේ ලෝකයේ වඩාත් වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ඉන්දියාව සතුයි. ඒ වේගවත් ආර්ථිකය තුළ නාවික, ගුවන් සහ සංචාරක ක්ෂේත්‍රයන්ගෙන් ශ්‍රී ලංකාවට උපරිම ප්‍රයෝජන ලබාගත හැකි පරිසරයක් සකස් කර ගැනීම අපේ බලාපොරොත්තුවයි.

එසේම දිනෙන් දින පුළුල් වන ඉන්දියානු මධ්‍යම පන්තියේ වෙළඳපොළ අභිලාෂයන් ඉටු කිරීමේ ඉඩ කඩ ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ හැකියාවද අප සලකා බලමින් සිටිනවා.

අලූත් ගිවිසුමේ ආයෝජන සම්බන්ධ පරිච්ඡේදයට පහත දැක්වෙන ක්ෂේත්‍ර ඇතුළත් කිරීමටත්, මේ ක්ෂේත්‍රයන් ඉදිරියේ තව තවත් පුළුල් කරලීමටත් අපේක්‍ෂා කරනවා.
ආයෝජන ආරක්‍ෂණ යාන්ත්‍රණයක් පිහිටුවීම
ආයෝජන කටයුතු හා රෙගුලාසි වල විනිවිද පෙනීම
අන්‍යෝන්‍ය ආයෝජනයන්හි බාධක ක්‍රමානුකඣලව අවම කිරීම
ආයෝජන පහසුකම් ප්‍රවර්ධනය
ආර්ථික සහයෝගීතාවය සම්බන්ධයෙන් අප පහත සඳහන් කරන ෙක්‍ෂ්ත්‍රයන් ගැන අවධානය යොමු කරනවා.
බුද්ධිමය දේපළ අයිතිය ආරක්‍ෂා කිරීම
මුල්‍ය කටයුතු
වෙළඳ කටයුතු ප්‍රවර්ධනය සහ පහසුකම්
ආයෝජන ප්‍රවර්ධනය සහ පහසුකම්
සංචාරක
රේගු
විද්‍යුත් වානිජ්‍යය හෙවත් ඊ කොමර්ස්
කර්මාන්ත
සුළු හා මධ්‍යම කර්මාන්ත ප්‍රවර්ධනය සහ තරඟකාරීත්වය ඉහළ නැංවීම

මෙන්න මේ කරුණු පදනම් කර ගනිමින්, ඉන්දු ලංකා ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳව අප ගැඹුරින් සලකා බලමින් සිටිනවා. මා කලිනුත් සඳහන් කළ පරිදි දෙපාර්ශවයේ කෙටුම්පත් සකස් කිරීමෙන් පසු, ඒ ගැන වැඩි දුරටත් සාකච්ඡා කිරීමට මාර්තු 04 වන දා ඉන්දීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඔවුන් සමග කෙරෙන සාකච්ඡාවලට පුද්ගලික අංශයේ නියෝජිතයන් මෙන්ම අදාළ සියළු පාර්ශවයන්ද අප සහභාගී කරවා ගන්නවා.

අප ගිවිසුමේ අවසන් කෙටුම් පත සකස් කරන්නේ ඒ සාකච්ඡාවලින් පසුවයි.

අප මේ අලූත් ගිවිසුම පිළිබඳව මේ සභාවට විටින් විට දැනුවත් කර තියෙනවා. ඒ වගේම විවිධ සංවිධාන දැනුවත් කර තියෙනවා. මේ ගිවිසුම ගැන බොරු පතුරවන යම් යම් සංවිධාන නියෝජිතයන්ට පවා අප මේ ගැන සාකච්ඡාවන්ට ආරාධනා කර තියෙනවා. ඔවුන් ඒ සාකච්ඡාවලට සහභාගී වී තියෙනවා.

ඉතින් මම නැවතත් මේ ගරු සභාවටත්, සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවටත් දන්වා සිටින්නේ නූපන් දරුවෙකුගේ කේන්දරයේ දොස් දැකීම සාධාරණ නොවන බවයි. කේන්දරය දැක්කයින් පස්සෙ තමයි පෙනෙන්නේ ඒ දරුවගේ තියෙන හොඳ අනාගතය. රාජ යෝගයක් තියෙන දරුවෙක් තමයි අපි ගේන්න යන්නෙ. තමන් සිතේ මවා ගත් බිල්ලෙක් ගැන කියමින් ජනතාව මුළා කිරීම යුක්ති සහගත නොවන බවයි. තවමත් සාකච්ඡා මට්ටමේ ඇති, අවසන් කෙටුම්පත සකස් නොකළ ගිවිසුමක් ගැන, මිත්‍යා මත පැතිරවීම පදනමක් නැති කටයුත්තක් බවයි.

රාජපක්‍ෂ රෙජීමයේ පාලකයන්, සේවකයන්, වහළුන්, සට්ටැඹියන් සහ ඔවුන්ගෙන් තවමත් පඩි ලබන සමහර මාධ්‍යකරුවන් හැම විටම උත්සාහ ගන්නේ යහපාලන සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන් මග කඩාකප්පල් කරන්නයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කකුලෙන් අදින්නයි. ජනතා යහපත වළකන්නයි. රටේ දියුණුව කඩාකප්පල් කරන්නයි.

මම දැක්කා Sunday Island පත්තරේ මැද පිටුවෙ තියෙනව රහස් ගිවිසුමක් ඉන්දියන් ආණ්ඩුව එක්ක තියෙනව කියල. කවුද මේක ලියන්නෙ? චන්ද්‍රපේම. එයාව Sunday Island පත්තරේට දැම්මෙ අපේ රාජපක්ෂ ජනාධිපතිතුමා. ඉතින් ඒ නිසා කළගුණ සලකන්න ලියන්න ඕනැනේ. එතකොට කොහොමද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැන හොඳක් ලියන්නේ?

රටක බහුතරය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව කියද්දී, අපේ ආණ්ඩුව නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා මූලික පියවර ගනිද්දී මේ අය කිව්වේ මොනවාද? කළේ මොනවාද? නව ව්‍යවස්ථාවේ මේ මේ වගන්ති තියෙනවා යැයි කියමින් රට ගිනි තියන්න උත්සාහ කළා. නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගම නැති වෙනවා කිව්වා. රට බෙදෙනවා කිව්වා. හැබැයි එහෙම කියන අය හොදින්ම දැන හිටියා අලූත් ව්‍යවස්ථාවේ එක වගන්තියක්වත් ඒ වෙන විට කෙටුම් පත් කරලා නැති විත්තිය. ඔවුන් ජනතාව රවටමින් රට ගිනි තියන්න හැදුවේ ඒ බව දැන දැනයි.

මේ වගේ උදාහරණ ගණනාවක් පසුගිය වසරක පමණ කාලය තුළ ගෙනහැර දක්වන්නට පුළුවන්. නමුත් මම ඒ සඳහා කාලය වැය කරන්නේ නෑ. නමුත් මම එක් දෙයක් කියන්නට කැමතියි. අසත්‍යය හා මිත්‍යාව පතුරවමින් රට ගිනි තියන්න අප කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නෑ. වෛරය පතුරවමින් ජනතාව නොමග යවන්ට අප කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නෑ.

රිළා නැටුම නටන්නේ රිළවාට අවශ්‍ය විදියට නොවන බව ඕනෑම කෙනෙක් දන්නවා. ඒ වුණත්, හනුමා වන්නම නටන්න අපි කාටවත් බාධා කරන්නේ නෑ. ඕනෑම හනුමෙකුට වන්නම් නටන්න මේ රටේ දැන් නිදහස තියෙනවා. ඒත් හනුමලාට රට ගිනි තියන්න අපි ඉඩ දෙන්නේ නෑ.

අපි ජනවාරි 08 වෙනිදා විප්ලවය මගින් බලයට පත් වුණේ ගිනි නිවන්නයි. ඒ නිසා අපි අසත්‍යය ජය ගන්නේ සත්‍යයෙන්. වෛරය ජයගන්නේ මෛත්‍රියෙන්.

මේ අවරුද්දේ මැද භාගය වෙද්දී ඉන්දියාවත් අපත්, මේ ගිවිසුම අත්සන් කරන බව මම ප්‍රසිද්ධියේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. තව නොබෝ කලෙකින් අපි ගිවිසුමේ අවසන් කෙටුම් පත සකස් කරනවා. ඒක කාටවත් හොරෙන් කරන වැඩක් නෙවෙයි. රහසින් කරන වැඩකුත් නෙවෙයි. අදාළ සියළු පාර්ශව සමග සාකච්ඡා කරලා කරන වැඩක්. අපි වැඩකටයුතු කරන්නේ විවෘතවයි. විනිවිද පෙනෙන ආකාරයටයි.

අවසන් කෙටුම් පත සකස් කළාට පස්සේ අපි එය මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. එතකොට එය ජනතාව සතු ලියැවිල්ලක් බවට පත්වෙනවා. ඒ ගැන වාද කරන්න තියෙන්නෙ, අදහස් ප්‍රකාශ කරන්න තියෙන්නෙ මේ සභාවෙ. පාරට ගිහින් නෙමෙයි. සභාවෙ සාකච්ඡා කරන්න තියෙන්නෙ. සභාවෙන් පිට ගිහින්, සභාවට අවස්ථාව නොදී කෑගහනව කියන්නෙ පාර්ලිමේන්තුවට විරුද්ධව කරන වැඩකටයුත්තක්.

අන්න ඒ නිසා අවසන් කෙටුම් පත මේ සභාවට ඉදිරිපත් කළාට පසුව, මේ සභාව නියෝජනය කරන ඔබ සැමටත්, මේ රටේ ජනතාවටත් පුළුවන් ඒ කෙටුම් පත කියවන්න. ඒ කෙටුම්පත හදාරන්න. ඒ ගැන ගැඹුරින් විමසා බලන්න. ඒ නිසා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර අවසන් කෙටුම් පත කියැවීමෙන් පසු ඔබේ අදහස් ඉදිරිපත් කරන්න කියලයි.

ඒ වගේම ගරු කථානායකතුමනි, අපි කාරක සභා පත් කළොත් මීට අදාළ කාරක සභාවක් තිබෙයි, ඒකත් අපිට සාකච්ඡා කරන්න පුලූවන්. මම හිතන්නේ ඒ නිසා කල්ගන්නේ නැතිව ඕවර් සයිට් කමිටි පත් කරාම අපිට පුළුවන් ඒ මගිනුත් සාකච්ඡා කරන්න.

ඒකට අපි ලෑස්තියි, දැන් අපි එකඟ වෙලා තියෙනවා අලූත් ගොඩනැගිල්ලක් දෙන්න කෘෂිකර්ම අමාත්‍යාංශයට. මම හිතන්නේ කතානායකතුමා එක්ක සාකච්ඡා කරල වැඩ කටයුතු ආරම්භ කරනවා. අපිත් කැමතියි පුලූවන් තරම් ඉක්මනින් කරනවා නම්. මම හිතන්නේ අද හැන්දෑවෙ අපි මුණගැහුණම ඒකත් අපි සාකච්ඡා කරල තීරණයකට එළැඹිම සුදුසුයි කියලයි.

*2016 පෙබරවාරි 23 වන දින පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යතුමන් කරනු ලැබූ විශේෂ ප්‍රකාශය

Print Friendly

CSN සමාගම පිහිටුවීමේ මහ මොළකරු කවුද?

$
0
0

කීර්ති තෙන්නකෝන්

යෝෂිත රාජපක්ෂ CSN සමාගමේ සන්නාම අධ්‍යක්ෂවරයෙක් පමණක් ද?

දැනට හෙළිවී තිබෙන තොරතුරු මත යෝෂිත රාජපක්ෂ මහතා ක්‍රියා කොට ඇත්තේ CSN සමාගමේ සභාපති වරයා ලෙසයි.එහි ආරම්භක විධායක නිලධාරි වරයා ලෙස කටයුතු කර ඇත්තේ නිශාන්ත රණතුංග මහතාය.පසුව ඔහු ඉන් ඉවත් වී ඇත.(ක්‍රිකට් සංගමයේ ලේකම් වීම නිසා) එහි මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ, 2009 සිට 2013 දක්වා ටෙලිකොම් සමාගමේ සාමාන්‍යාධිකාරි නියාමන ලෙස කටයුතුකළ ප්‍රියන්ත අබේරත්න මහතා ය. මොහු එම තනතුරට පත්කොට ඇත්තේ වසර 2011 දී ය. CSN නාලිකාවේ මෙහෙයුම් කළමණාකරු ලෙස කටයුතු කර ඇත්තේ තුසිත ජයවර්ධන මහතා වන අතරඑම තනතුරට සමාන්තරව ජනාධිපති ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි තනතුර ද වැටුප් ලබමින් ඔහු විසින් හොබවා ඇත.Anti Corruption

යෝෂිත රාජපක්ෂ මහතා CSN නාලිකාවේ සක්‍රිය කාර්යභාරයක නියැළුණු බව තහවුරු කළ හැකි කරුණු කිහිපයක් පහත දැක්වෙයි.

  1. ක්‍රීඩා අමාත්‍යංශයේ එවකට සිටි ස්ථිර ලේකම් වරයා විසින් (ගනේගල මහතා) යෝෂිත රාජපක්ෂ මහතාට යොමු කළ කැබිනට් පත්‍රිකා අංක 05/12/2011
  2. CSN නාලිකා පරිශ්‍රෙය් වායු සමීකරන යන්ත්‍ර සවිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් යුනයිටඩ් ඉලෙක්ට්‍රිකල් එන්ජිනියරින් සමාගම වෙනුවෙන් නිහාල් නානායක්කාර මහතා ඒ සඳහා වන ගිවිසුම අත්සන් කොට ඇත්තේ යෝෂිත රාජපක්ෂ මහතා සමඟය.
  3. CSN නාලිකාව සමඟ අලෙවිකරන කටයුත්තකට රිචර්ඩ් සොයිසා මහතා එළැඹුන ගිවිසුම.

CSN සමාගම ලියාපදිංචි කිරීමේ දී ලිපිනයන් දෙකක් ලබාදී තිබේ.

  1. අංක 21 , ජනාධිපති මාවතේ පිහිටි සෙමා ගොඩනැගිල්ල (මෙය රජයේ දේපළ කි).
  2. 260/2 , ටොරින්ටන් ඇවිනියු කොළඹ 07.නිවස. මෙම නිවස මහින්ද රාජපක්ෂ මහතා වර්ෂ 2000 දී පදිංචි වී සිටි නිවස වන අතර රාජපක්ෂ පවුල සතු “සිරිලිය සවිය“, සහ වෙනත් පදනම් ද මෙම ලිපිනය තුළ ලියාපදිංචි කර තිබේ.

කරුණු එසේ නම් CSN නාලිකාව පදනම් කරගෙන යෝෂීත රාජපක්ෂ මහතා ඇතුළු තවත් පිරිසක් අධිකරණය වෙත ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයට පත් කිරීම දේශපාලන පළිගැනීමක් හෝ වෛරී දේශපාලනයක ප්‍රතිඵලයක් යැයි කිව හැක්කේ කෙසේ ද?
මහජන දේපල කාබාසිනියා කරනු ලැබූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබේ.

ඒ සඳහා දෙවියන් ඉදිරියේ කන්නලව් කළ යුතුව ඇත්තේ නම් එසේ කළ යුත්තේ ශ්‍රී ලංකා ජනතාවයි.නමත් ඇත්ත සඟවා, බොරුව මතු කිරීමට දේශපානඥයින් දරන උත්සාහය මෙලෙස ඉදිරිපත් කරනු ලබන තොරතුරු මගින් පරාජයට පත් වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

අද අපට අවශ්‍යව ඇත්තේ නීතියේ ආධිපත්‍යය නිසි ලෙස තරාතිරම නොබලා ක්‍රියාත්මක කිරීමය. ඒ සඳහා මෙකී කරුණු ජනතාවට ඉදිරිපත් කරමු.

Print Friendly

CSN මුදල් ලොන්ඩරියේ සැඟවුණ ඇත්ත

$
0
0

උලපනේ සුමංගල හිමි –

මෙය වෛරී දේශපාලනයක හෝ පළිගැනීමේ දේශපාලනයක ප්‍රථිපලයක් ද?

එහිලා පළමුව ලබාගත යුතු පිළිතුර වන්නේ CSN නාලිකාව සැබැවින්ම ඇරඹුවේ මාධ්‍ය ආයතනයක කාර්ය භාරය ඉටුකිරීමට ද එසේ නැතිනම් මුදල් ලොන්ඩරියක කාර්ය භාරය ඉටුකිරීමට ද යන්න යි.

මෙහිලා ලබාදිය හැකි කෙටි පිළිතුර වන්නේ, CSN නාලිකාවේ ප්‍රධානීන් ගෙන්ම ඇසිය යුතු පසුගිය වසර පුරා තමන් විසින් රුපියල් මිලියන 200 කට අධික ආයෝජනයක් සිදුකොට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය තුළින් අත්පත් කරගත් ලාභ අලාභ ශේෂ පත්‍රය කුමක්ද? යන්නයි.එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කොට රුපියල් ලක්ෂ 50ක් ආයෝජනය කළ අශාන් ප්‍රනාන්දු මහතාට ද, රුපියල් ලක්ෂ 10ක් ආයෝජනය කළ ශාඩියා කරුණාජීව මහත්මියට ද ,රුපියල් ලක්ෂ 10 ක් ආයෝජනය කළ කවිශාන් දිසානායක මහතාට මේ තාක් ලබාදුන් ප්‍රතිලාභ මොනවාද ? යන්නයි.

Anti CorruptionCSN සමාගම් වාර්තා අනුව පෙනී යන්නේ ඔවුන් කළ ආයෝජනයට සාපේක්ෂව කිසිදු ලාභාංශයක් හෝ ආර්ථික ඵල ප්‍රයෝජනයක් ඔවුන් CSN සමාගමෙන් ලබා නොගත් දානපතියන් බවත්,එනයින් ඔවුන් මෙම ආයෝජනය සිදු කර ඇත්තේ හුදු සද්කාර්යයකට දායකත්වය ලබා දී ඇති බවය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ උන්නතිය ම පමණක් අපේක්ෂා කළ බවය.

ඒ නිසාම අප දැන් ඔවුන්ගේ ආර්ථික පසුබිම පිළිබඳව මදකට අවධානය යොමු කරමු.

අශාන් ප්‍රනාන්දු මහතා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ඔහු මන්නාරම රෝහලේ, ලේ බැංකුවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි.ඔහු යෝෂිත රාජපක්ෂ මහතා අධ්‍යාපනය ලැබූ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙනුම ලැබූ, යෝෂිත මහතාගේ කුළුපග මිත්‍රයෙකි. අශාන් මහතාගේ පියා අමරපාල ප්‍රනාන්දු මහතා වන අතර ඔහු අධිකරණයේ පෙනී නොසිටින නීතිඥයෙකි. ඔහු නැචුරාන් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකි. පියා විසින් පුතාට ලබාදුන් මුදල CSN ව්‍යාපාරයට ආයෝජනය කළ බව අශාන් ප්‍රනාන්දු මහතා කියා සිටියි.

කවීශාන් දිසානායක යෝෂිත රාජපක්ෂ මහතාගේ පාසැල් මිත්‍රයෙකුගේ සහෝදරයා ය. ඔහුගේ ස්ථාවරය වී ඇත්තේ තමන්, තම මව වන චුලන්ති දිසානායක ගෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක් ද, තම මාමා වන චන්න විජේමාන්න ගෙන් ණයට ගත් රුපියල් ලක්ෂ දෙක හමාරක් ද තවත් මාමා කෙනෙකු වන ප්‍රියන්ත විජේමාන්න ගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 5ක් ද යොදවා තම රුපියල් ලක්ෂ 10 ආයෝජනය සිදු කළ බවයි. පුදුමය නම් මෙකී අය මුදල් ආපසු ගෙවීමට හෝ CSN නාලිකාවෙන් වාර්ෂික ලාභාංශ ලබාගැනීමට කටයුතු කර නොමැති වීමයි.

අධ්‍යක්ෂ මණ්ඩලයේ තුන්වැන්නා වන්නේ ශාඩියා කරුණාජීව යි.ඇය මහජන බැංකුවේ හිටපු සභාපති කරුණාජීව මහතාගේ දියණියයි.රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු වු කරුණාජීව මහතා වෙනුවෙන්,සිය පුත්‍රයා මහා බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරන කල ශාඩියා මහත්මිය ද එංගලන්තයේ නීතිඥවරියක ලෙස කටයුතු කරනු ලැබීය.එසේම CSN නාලිකාවේ මූලස්ථානය පිහිටුවා තිබු චැනල් 8 යුත් ගොඩනැගිල්ල ඉදිකිරීමට රුපියල් ලක්ෂ 3000 ලබා දී තිබුණේද කරුණාජීව මහතාය. ශාඩියා කරුණාජීව මහත්මිය මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටියි.ඇය යෙදවු මුදල සඳහා ලාභාංශ ලබාගැනීමට ඇය කිසිදිනක උනන්දු නොවු බව වාර්තා තහවුරු කරයි.

මේ ආකාරයට තිදෙනෙකු මුදල් මඟින් CSN නාලිකාවට ආයෝජනය කරනු ලබන කල්හි,එහි හතරවන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රොහාන් වැලිවිට මහතාතම ආයෝජන කරනු ලැබ ඇත්තේ උපකරණ සහ මානව සම්පත් සපයා දීමෙනි.වැලිවිට මහතාට අනුව එකී ආයෝජනය රුපියල් ලක්ෂ 40 කි.ඒ සඳහා ඔහු සතුව තිබු “තිනෙත“ චන්ද්‍රිකා රූපවාහිනි නාලිකාවට අයත්ව තිබු කැමරා උපකරණ ද එහි සේවකයින් ද CSN ආයතනයට ලබා දී තිබේ. මෙහි ඇති සුවිශේෂි කරුණ වන්නේ ඉහත සඳහන් “තිනෙත“ රූපවාහිනී නාලිකාවට TRC මඟින් නිකුත් කරනු ලැබූ බලපත්‍රයක් හෝ නොමැති වීමයි. එකී ආයතනය ඇරඹීමට එවකට සිටි ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ලබාදුන් ලිපියක් පමණක් අතැති ව එලෙස ආයතනයක් පැවති බවත්, එම ආයතනයේ උපකරණ හා සේවකයින් CSN නාලිකාවට ලබා දී රුපියල් ලක්ෂ 40 ක ආයෝජනයක් සිදුකළ බවත් ප්‍රකාශ කොට සිටියි. රොහාන් වැලිවිට පසුව CSN ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් ව යන අවස්ථාවේ දී වත් තමන් සිදුකළ ආයොජන සඳහා ලාභාංහයක් හෝ ලබාදුන් උපකරණ නැවත ඉල්ලා සිටීමක් සිදුකර නොමැත. රොහාන් වැලිවිට මහතා හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ලදී.

Ghost Directors (හොල්මන් අධ්‍යක්ෂවරු)

මෙනයින් පෙනී යන්නේ මෙකී අධ්‍යක්ෂවරු කිසිටවකු CSN සමාගමේ නියම ආයෝජකයින් නොවු බවයි.ඔවුන් නාමික හා වෙනත් අවශ්‍යතාවයකින් කටයතු කළ පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් වෙනුවෙන්, හෙල්පින් හම්බන්තොට ආකෘතියටම සකස් කළ ආයතනයක හොල්මන් අධ්‍යක්ෂ වරුන් ලෙස ක්‍රියාකළ බවකි.

ඉහත කී අධ්‍යක්ෂවරුන් සිදුකරන ලද ආයෝජනය තුළින් පමණක් මෙම ආයතනය යථාර්ථවාදීව පවත්වාගෙන යා නොහැක්කේය.

එසේ පවත්වාගෙන යාම සඳහා CSN ආයතනය සිදුකොට ඇතැයි පවසන්නේ විවිධ මූල්‍ය ආයතන සහ පුද්ගලයින් ගෙන් රුපියල් ලක්ෂ 2000 ක් ණයට ගැනීමයි.

CSN ආයතනය මුදල් සෝදන ලොන්ඩරියක් බවට තහවුරු වන්නේ , මෙම ක්‍රියාවලිය තුළදීය.ඒ බව සැකහැර දැනගැනීමට , CSN නාලිකාව ණය ලබාගත් ආකාරය පිළිබදව සොයා බලමු.

ණය ලබා දුන් ආයතන සහ පුද්ගලයින්,

  1. පළමු රුපියල් ලක්ෂ 500ක මුදල LOLC ආයතනයෙන් ණයට ලබා ගැනීමෙනි.එකී ණය මුදල සඳහා ඇපයක් ලෙස TPL International pvt ltd ආයතනය විසින් LOLC ආයතනය තුළ ස්ථාවර තැන්පතු ලෙස තිබූ රුපියල් ලක්ෂ 2530 ක් ඉදිරිපත් කර තිබේ.ඉහත කී TPL International pvt ltd ආයතනයේ එවකට හිමිකරුවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා වන අතර මේ වන විට එහි හිමිකාරිය ලෙස දැක්වෙන්නේ ටියානා දමයන්තී ඇන්තනීස් නැමති සජින් වාස් මහතාගේ බිරිඳයි.
  2. CSN ආයතනයට හා එහි ලිපි ලේඛණ වලට අනුව දෙවැනි රුපියල් ලක්ෂ 500 ලබා දී ඇත්තේ නිමල් පෙරේරා නැමති ව්‍යාපාරිකයෙකි. ඔහු කුප්‍රකට ධම්මික පෙරේරා නැමති ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස කලක් කටයුතු කළේය. දැනට පෑන් ඒෂියා සමාගමේ සභාපති ලෙසට ද, රෝයල් සෙරමික්ස්, LB ෆිනෑන්ස්, වැලිබල් ෆිනෑන්ස් සහ කිංස්බරි හෝටලයේ ප්‍රධාන කොටස් හිමිකරු වෙති.නිමල් පෙරේරා පවසන්නේ තමන්ගෙන් ලිපියකට අත්සන් ගත් නමුත් මුදල් නොදුන් බවයි.නිමල් පෙරේරා ණය දුන් බව තහවුරු වන්නේ නම් ණය නොපියවු යේ ඇයි ද යන්නට CSN ආයතනය ද, ණය ආපසු අය කර ගැනීමට කටයුතු නොකළේ ඇයි ද යන්නට නිමල් පෙරේරා ද පිළිතුරු දිය යුතුව තිබේ. නිමල් පෙරේරා ණයක් ලබා නොදුන් බව තහවුරු වුයේ නම් , එසේ අසත්‍ය කරුණු තම මූල්‍ය ආයෝජනයක් ලෙස සඳහන් කළේ ඇයි ද යන්නට CSN ආයතනය පිළිතුරු ලබාදිය යුතුව තිබේ.කෙසේ නමුත් දිවබොරු කිව්වද කට බොරු නොකියන නිසා , හොරුන්ගෙත් හොරු කම්බා හොරු බව මේ සෑම ප්‍රකාශයකින්ම තහවුරු කරති.
  3. තුන්වනුව රුපියල් ලක්ෂ 1000 ක් ණයක් ලෙස ලබාදී ඇත්තේ කොස්මෝස් ටෙක්නොලොජි ලිමිටඩ් සහ කොස්මෝස් ප්‍රින්ටින් නැමති ආයතනයක් විසිනි. මෙම ආයතන දෙකෙහිම හිමිකරුවා මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ය.දැනට හෙලිවී ඇති කරුණු අනුව කොස්මෝස් ප්‍රින්ටින් ආයතනය බංකොලොත් වී ඇති ආයතනයකි.

CSN සමාගමේ ස්ථාවරය වන ඉහත කී රුපියල් ලක්ෂ 2000 , අදාල ආයතන හා පුද්ගලයින්ගෙන් ණය ලෙස ලබාගත් බවයි. නමුත් අප වගකීමෙන් කියා සිටින්නේ මෙකී ආයතන හා පුද්ගලයින් විසින් ණය බවට පරිවර්ථනය කොට ඇත්තේ එකී පුද්ගලයින් හා ආයතන තුළ රැඳවු මුදල් කොමිස් හා කප්පම් ලෙස විවිධ විදේශ ගණුදෙනු හරහා ලබාගත් මුදල් වන බවය.

LOLC ආයතනය රුපියල් ලක්ෂ 500 ක ණයක් නිකුත් කර ඇත්තේ, TPL International pvt ltd ආයතනය විසින් LOLC ආයතනය තුළ තිබූ රුපියල් ලක්ෂ 2530 ක ස්ථාවර තැන්පතුවට එරෙහිව ය.අප වගකීමෙන් කියා සිටින්නේ , එකී ස්ථාවර තැන්පතුව නිර්මාණය වී ඇත්තේ හැලියාඩ් නැමති විදේශීය සමාගම සහ TPL International pvt ltd සමාගම, ශැන්ගරිල්ලා හෝටලයට, ගාලු මුවදොර පිහිටි ඉඩම විකිණීමෙන් ලබාගත් ඩොලර් මිලියන 5ක කොමිස් මුදලින් කොටසක් ලෙස බවයි

CSN සමාගම මෙම රුපියල් ලක්ෂ 500 ක මුදල කිසිදා පියවීමට කටයුතු නොකරන ලද අතර පසුව LOLC සමාගම , තමන්ට අයවිය යුතු ණය සහ පොලිය ගණනය කොට TPL සමාගමේ ස්ථාවර තැන්පතුව , එකී ණය මුදලට හිලව් කරගෙන තිබේ.
TPL සමාගම තමන්ගේ ඒ සා විශාල ස්ථාවර තැන්පතුවක් අත්හැර දමන්නේ , රුපියල් ලක්ෂ 2530 ක් කජු ඇට කොස් ඇට ලෙස සලකා විය හැකිය.

එසේම අප වගකීමෙන් කියා සිටින්නේ කොස්මෝස් ටෙක්නොලොජි හා කොස්මෝස් ප්‍රින්ටින් මගින් ලබාදුන් රුපියල් ලක්ෂ 1000 ද ඉහත කී , ෂැන්ගරිල්ලා ගණුදෙනුවෙන් TPL International pvt ltd සමාගම ලබාගත් කොමිස් මුදල තුළට ඇතුළත් වන බවයි.

එම මුදල CSN සමාගමෙන් නැවත ඉල්ලා සිටින්නේ ද, නැද්ද යන්න සජින් වාස් ගුණවර්ධන මහතා පැවසිය යුතු කරුණකි.නමුත් වර්තමානය වන තෙක් ඔහු එකී ණය CSN සමාගමෙන් ඉල්ලා නැත.එසේ නොඉල්ලන්නේ ඇයි?එම මුදල ඔහුට සැබවින්ම අයත් නොවන නිසා ද යන්න විසඳා ගත යුතු ප්‍රශ්නයකි.

CSN සමාගමේ මුදල් ලොන්ඩරිකරණය සිදුවු බව තවත් අවස්ථාවක තහවුරු වන්නේ තම ආයතනයට උපකරණ ලබාගැනීමට බ්‍රිතාන්‍ය සමාගමක් සමඟ කටයුතු කළ ආකාරය මගිනි.

වර්ෂ 2012 දී CSN ආයතනයේ OB බස් රථයක් හා ඒ සඳහා වන උපකරණ එංගලන්තයේ ඇරීනා නැමති සමාගමක් සහ ES බ්‍රොඩ්කාස්ටින් සමාගමට ඇණවුම් කොට මෙරටට ආනයනය කිරීමට කටයුතු යොදා තිබේ.

CSN සමාගම මෙරට රේගුවට ඉදිරිපත් කර ඇති ලේඛන අනුව බස් රථය සඳහා බ්‍රිතාන්‍ය පවුම් 23000 ක් ද , උපකරණ සඳහා ඩොලර් 3200 ක් ද මිල නියම කර තිබේ.

නමුත් එකී බස් රථයේ අව්‍යාජ ඉන්වොසියට අනුව එකී බස් රථය සඳහා බ්‍රිතාන්‍ය පවුම් 300000 ක් ද, උපකරණ සඳහා බ්‍රිතාන්‍ය පවුම් 140000 ක් ද මිල කොට තිබේ.

ඉහත සඳහන් රේගුවට ඉදිරිපත් කළ ඉන්වොයිසියේ සහ “තාරුණ්‍යයට හෙටක්“ සංවිධානය වෙත නිකුත් කර ඇති අව්‍යාජ ඉන්වොයිසියේ මිල අතර වෙනස බ්‍රිතාන්‍ය පවුම් 409800 ක් පමණ වෙයි.

මෙම මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් ගත් කළ රුපියල් ලක්ෂ 8900 ක් පමණ වන්නේය.

අප වගකීමෙන් යුතුව ප්‍රකාශ කොට සිටින්නේ එකී රුපියල් ලක්ෂ 8900 නැතහොත් බ්‍රිතාන්‍ය පවුම් 409 800 ,වරාය අධිකාරියේ හිටපු සභාපති වික්‍රම ප්‍රියත් බන්දු විසින් මහා බ්‍රිතාන්‍ය යේ දී තමන් සතු ගිණුමක් හරහා පියවා දමා ඇති බවයි.

මෙම ක්‍රියාවලිය තුළ දැක්වෙන විශේෂත්වය වන්නේ ඉහත කී OB බස් රථය සහ උපකරණ දිගින් දිගටම CSN නාලිකාවේ කටයුතු සඳහා පසුගිය වසර 3 මුළුල්ලේම යොදවනු ලැබ තිබුණ ද එය කිසිවිටෙකත් CSN සමාගම සතු ඉන්වෙන්ට්‍රියේ සඳහන් කොට නොතිබීමයි. 2015 ජනවාරි 8 වන දාට පසුව මෙම OB බස් රථය නාරාහේන්පිට පිහිටි ආර්ථික මධ්‍යස්ථානයේ කාමරයක් තුළ ගාල්කොට තිබුණි.එම රථයට දැන් පොලිසිය විසින් සීල් තබා ඇත.

එකී කාමරයට යාබද කාමරයේ තිබුණේ යෝෂිත රාජපක්ෂ මහතාට අයත් යැයි කියුව ද පසුව රේ විජේවර්ධන අයත්ව තිබු කෞතුක වටිනාකමක් සහිත ගුවන් යානයයි.

මෙලෙසට CSN ආයතනය විසින් රේගුවෙන් තීරුබදු ගෙවා මුදාගත් ලක්ෂ දහස් ගණනක් වටින OB බස් රථය සහ උපකරණ CSN සමාගමේ ඉන්වෙන්ට්‍රියට ඇතුළත් නොකොට , 2015 ජනවාරි 8 දා වන විට නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සඟවා තැබූයේ, එකී වටිනාකම CSN සමාගමේ ආයෝජනය හා ආදායම තුළින් තහවුරු කිරීමට නොහැකි වු නිසා බව අප වගකීමෙන් ප්‍රකාශ කරමු.

මූල්‍ය ලොන්ඩ්‍රිකරණය තවදුරටත්?

CSN සමාගම තම ව්‍යාපාර කටයුතු අදටත් සිදුකරන්නේ , බත්තරමුල්ලේ පිහිටි මහල් 5කින් යුතු ගොඩනැගිල්ල තුළය.එහි ලිපිනය වන්නේ 236 /1 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතයි. එකී ගොඩනැගිල්ල අයත් වන්නේ ඩී. ඒ රජපක්ෂ පදනමට ය.රාජපක්ෂ පදනම පිහිටුවා ඇත්තේ පාර්ලිමේන්තුව මගින් සම්මත කොට ඇති 1998 අංක 23 දරණ පනත මගිනි.

රාජපක්ෂ පදනමට අයත් එම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් බදු දුන් ඉඩමක් තුළය.එය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ නවලෝක ඉදිකිරීම් සමාගම මගිනි. වසර 2010 දී ගොඩනැගිල්ල ඉදිකොට CSN සමාගමට ලබා දී ඇත.ඒ සඳහා පසුව CSN සමාගම සහ ඩී. ඒ රාජපක්ෂ පදනම බදු ගිවිසුමකට එළැඹ තිබේ.අදාල ඉඩමේ වාර්ෂික බදු මුදල රුපියල් 163,125 /= කි.වර්ෂ 2010 එම ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 30,000 ක් පමණ වැය කර ඇති බව නවලෝක ආයතනය පවසයි.එකී මුදල් නවලෝක සමාගමට සපයා ඇත්තේ මහජන බැංකුවේ හිටපු සභාපති හා මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු ද වන හා CSN සමාගමේ අධ්‍යක්ෂිකාවක් වන ශාඩියා කරුණාජීව ගේ පියා වන ඩබ්. කරුණාජීව මහතා විසිනි.කරුණාජීව මහතාට තමන් විසින් ඉපැයු ධනයෙන් රාජපක්ෂ පදනමෙහි ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 30,000 ක වැය බරක් කිසිසේත්ම දරන්නට බැරි බව සත්‍යයකි.
එසේ නම් මෙම මුදල ලැබුයේ , කුමන මූලාශ්‍රයකින් ද? ඒ සඳහා පිළිතුරු දීමට කරුණාජීව මහතා ජීවතුන් අතර නැත.

ඉහත කී සියලු සාධක මඟින් මනා ලෙස තහවුරු වන කරුණක් වන්නේ, CSN සමාගම යනු මුදල් විශුද්ධිකරණය අරමුණු කරගෙන , මෙරට තුළ පවත්වාගෙන ගිය ව්‍යාජ සමාගමක් බවයි.ඒ නිසා අප දැන් මුදල් විශුද්ධිකරණය යනු කුමක් දැයි සොයා බලමු.

“The Concealment of the Origins of illegally Obtained money ,typically by means of transfers involving Foreign banks of legitimate Business. It is a process of transforming the proceeds of crime in to ostensibly legitimate money or other assets.

මුදල් විශුද්ධිකරණයට අදාල ශ්‍රී ලාංකික නෛතික රාමුව –
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් වර්ෂ 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරනය පිටුදැකීම සඳහා වන පනත ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට , සම්මත කොට ඇතුළත් කර තිබේ.

ඒ අනුව යම් පුද්ගයෙකු,
වක්‍ර හෝ සෘජු ක්‍රමයක් මගින් යම් දේපොළක්, අයථා ක්‍රියාවක හෝ ගණුදෙනුවකින් වක්‍රව හෝ සෘජු ව උපයා ගත් ධනයකින් අත්පත් කරගනු ලබන විටක දී,
යම් දේපොළක් වක්‍ර හෝ අයථා සෘජු ගණුදෙනුවක් මගින් උපයාගත් ධනයක් මගින් ලබා ගන්නේ නම් හා / හෝ භුක්ති විඳින්නේ නම් , හා / හෝ ශ්‍රී ලංකාව තුළට හෝ ඉන් පිටතට සම්ප්‍රේෂණය කරන්නේ නම් , හා / හෝ ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන්නේ නම්
එවැනි පුද්ගලයෙකු මුදල් විශුද්ධිකරණයට වරදකරුවකු වන්නේ ය. එවැනි පුද්ගලයෙකුට අදාල දේපළෙහි මුල් වටිනාකම හෝ එම විටනාකමින් තුන් ගුණයක් වන දඩයක් ද , බරපතල වැඩ සහිත වසර 5කට නොඅඩු සහ වසර 20 කට නොවැඩි සිරදඩුවමකට ද යටත් වනු ඇත.
ඊට අනුබල හා ආධාර දෙන පුද්ගලයින් ද, එවැනිම දඩුවමකට යටත් වන බව පනත සඳහන් කරයි.

මෙම පනත තවදුරටත් සංශෝධනය කොට වර්ෂ 2011 දී පාර්ලිමේන්තුව විසින් සම්මත කොට පනතේ අදාල විධිවිධාන තවදුරටත් ශක්තිමත් කොට තිබේ.

*දුෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි පැවැත්වූ කථාව – 24. 02. 2015  සීඑස්.ආර්. මරදාන

Print Friendly

යළි ලෝක ශාසන වෙතට: ආණ්ඩුකරණයට බුදුසමයෙන් (විඝටිත) ආදර්ශයක්

$
0
0

මහාචාර්ය ගණනාථ ඔබේසේකර

මහාචාර්ය ගනනාථ ඔබේසේකර

මහාචාර්ය ගනනාථ ඔබේසේකර

මම මෙහිදී කරුණු ඉදිරිපත් කරන්නේ චාල්ස් ටේලර් ( Charles Taylor) සහ රජීව් භාර්ගවා (Rajeev Bhargava) කථා කරනු ඇතැයි මා උපකල්පනය කරන ලද දේ පිළිබඳවය. මෙහිදී මට අසන්නට ලැබුණේ මා සිතා ගත් තත්වය නොවූ නිසා මා පත් වූයේ දැඩි අර්බුදකාරී තත්වයකටය. මා මෙහිදී ලෞකිකවාදය (secularism), ලෞකික රාජ්‍යය පිළිබඳ තරමක් නරුමවාදී අදහසක් ඉදිරිපත් කිරීමට යොමු වන්නේ චාල්ස් සහ රජීව් ඉදිරිපත් කල අදහස ප්‍රතික්ෂේප කිරීමට නොව එය සහමුලින්ම යථාරූපී නොවන බව ප්‍ර කාශ කිරීමටය. අප ජීවත් වන ලෝකය චාල්ස් සහ රජීව් කරුණු දැක්වූ ලෝකය නොවේ. එම ලෝකයේ කෙනෙකුට බහුවිධ ආගම් දැකි හැකිය අතර කවර හෝ අයුරකින් මෙම ආගම් ලෞකික රාජ්‍යයේ යථාර්තයට හැඩ ගැසීම අවශ්‍ය කෙරේ. හුදෙක් මාගේ තර්කය නම් ඔවුන්ගේ මෙම ඈඳීම ඔස්සේ ලෞකිකවාදය ගැන සිතිය හැකි දෙයාකාරයක් මා සතුව පවතින බවයි. මා දකින ස්වරූපයේ ලෞකිකවාදය නම් පුද්ගලික ලෞකිකවාදයකි. එය වනාහී දෙවියන්ගේ මරණය පිළිබඳ ඉතාමත් රැඩිකල් අදහසක් සමගින් 1888 දී “ක්‍රිස්තු විරෝධය ” ( Anti Christ ) නම් කෘතියේදී නීට්ෂේ (Nietzsche) නිර්වචනය කල ආකාරයේ ලෞකිකවාදයකි. ඔහු පෙන්වා දුන්නේ දෙවියන් මරණයට පත් වී ඇතත් ක්‍රිස්තුන්ගේ මඟ තවදුරටත් අප සමග පවතින බවත් බොහෝ ජනයාට ක්‍රිස්තුන් ජීවන මගක් ලෙස පරිකල්පනය කළ හැකි බවත්ය. එබැවින් මා සතුව පවතින මේ ආකාරයේ ලෞකිකවාදය පිළිබඳ අදහස පුද්ගලික ස්වරූපයේ ලෞකිකවාදයක් වන අතර මේ මොහොතේ අප කථා කිරීමට යන දෙය එය නොවේ. ඊට වෙනස්ව අප කතා කිරීමට තැත් කරන්නේ ලෞකික රාජ්‍යය පිළිබඳවය. එනම් රජීව් මනා ලෙස ප්‍රකාශ කරන්නට යෙදුන ආකාරයේ දේශපාලන ලෞකිකවාදය පිළිබඳවය.

ලෞකික රාජ්‍යය කොයිබට ද?

දේශපාලන ලෞකිකවාදය යන්න ඇතුලත් වන්නේ, මා ද එකඟ වන චාල්ස් ගෙනහැර දක්වන ලද සම්ප්‍රදායන් වැනි මම ඉතා විශිෂ්ට සම්ප්‍රදායන් යැයි දකින ඒවා තුළය; එහි තවත් පැත්තක් ඇත. එය එහි අඳුරු පසයි. මට මෙහිදී කරුණු ගෙනහැර දැක්වීමට අවශ්‍ය එම අඳුරු පස ගැනය. ප්‍රථම කොටම මම මෙය ලෞකිකවාදයේ විරුද්ධාභාසය (paradox) ලෙස හඳුන්වමි. එම ලෞකිකවාදයට යම් පමණකට වෙනත් ආගම් කැමැත්තෙන් හෝ බාගදා අකමැත්තෙන් අත්හිටුවීමට ඇවැසි වේ. එම අපේක්ෂාව හුදෙක් සිදු නොවනු ඇත. එය ඉන්දියාවේ සිදු නොවනු ඇත. අශිස් නන්දි වැනි මගේ සගයන් කිහිපදෙනෙක් සහ තවත් අය එය කවර කලෙකවත් සාර්ථක විය නොහැකි බව පෙන්වා දී ඇත. අපේ මෝඩි උන්නැහැ බාගදා බලයට පත් වීමත්, හින්දුත්වයේ ආගමනයත් සමග එම ලෞකිකවාදී ආදර්ශය (model) පැවතිය හැක්කේ කෙසේදැයි මට තේරුම් ගත නොහැක. එමනිසා ලෞකිකවාදයේ විරුද්ධාභාසය පවතින්නේ මොන විදිහකින් හෝ ලෞකික රාජ්‍යයට වඩා පුළුල් සංදර්භයක නිහිත (embedded) බහුවිධ ආගමික බලවේගවලින් සාපේක්ෂ වශයෙන් ස්වාධීනව ක්‍රියා කළ හැකිය යන මතිය (notion) තුළ බව මම ප්‍රකාශ කර සිටිමි. දැන් මා යෝජනා කරන්නේ එය විය හැක්කේ කෙසේද යන්න යි. මවිසින් සහමුලින්ම පිළිගන්නා අගනාකම් වලින් යුතු මෙවැනි ආකාරයේ ලෞකික රාජ්‍යය යම් යම් ආගම්වලට බලපෑම් ඇති කරන කල්හී එම ආගම්වලට උදාසීනව සිටිය හැකි ද? එමෙන්ම, අනෙකුත් ලෝකයා ද මෙම අගනාකම්, එනම්, කතා කිරීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස, සමාගමයේ නිදහස ආදී දේ පිළිගන්නේ යැයි මම සිතමි. නමුත්, මෙම ආදර්ශය සෑම තැන්හිම ක්‍රියා කරනු ඇතැයි උපකල්පනය කිරීම දෝෂයක් යැයි මම සිතමි. එය එසේ විය නොහැක. යම් යම් ආදර්ශ ගෙන බලන්න. රජීව් චීනය පිළිබඳ නිදර්ශනය සඳහන් කලේය. චීනය ගත් කල ආගම සතුව අල්ප තැනක් හෝ කිසිම තැනක් නැති යම් ආකාරයක නියත ලෞකික රාජ්‍යක්ය යන කරුණ සම්බන්ධයෙන් ඔවුනට නිසැකවම සහතික විය හැක. එපමණක් නොව, ඔවුන් එය කරණකොට ගෙන සමහරුන්ට මර්දනය ගෙනෙන බව මා කිව යුතුයි. නමුත් එක ආදර්ශයක් පැවතීමේ මෙම ගැටලුවේදී, එනම් ආගම සතුව ඒකාන්ත වශයෙන් කිසිම තැනක් නැති දළයි ලාමා යන වචනය පවා සඳහන් කිරීමට නොහැකි තැනක් වන ලෞකික රාජ්‍යය පිළිබඳ ඉතා බලවත් ආදර්ශයේ දී ඔබ ලක්වන්නේ අර්බුදයකටය. මට පෙනී යන ආකාරයට එය එක් ආදර්ශයක් වන අතර අනෙක් අන්තය මා ඒකාන්ත වශයෙන්ම ගර්හාවට ලක් කරන තවත් ආදර්ශයකි: එය සෞදි අරාබියයි. ඔබ සමහරෙක් මා සමග අමනාපයට පත්විය හැකියි. එහෙත්, ඊට මට කල හැකි දෙයක් නැත. සෞදි අරාබිය මා මුලින් කියූ දෙයෙහි හුදු ප්‍රතිපක්ෂයයි. එහිදී ලෞකිකවාදය එනම් නිසැකවම ලෞකික රාජ්‍යය සඳහා කුමන ආකාරයේවත් සහනශීලීත්වයක් (tolerance) නැත. එය එවැනි මත මුලිනුපුටා දමයි.

මෙලෙස සීමාන්තික ආදර්ශ දෙකක් මෙහි ඇත. ඒ අතරමැද (ප්‍රීතියෙන්) ශ්‍රී ලාංකිකයෙකු සහ ඇමරිකානු පුරවැසියෙකු ද වන මම කොටස්කරුවෙකු වන සහ මම අගයන අංග ඇති යුරෝපියානු වර්ගයේ ආදර්ශයක් ඇත. නමුත්, මම ‘නමුත් ’ යැයි පවසන විට විශාල ‘නමුත් ’ එකක් බව මතක් කළ යුතුය. මා මෙන් අප ජීවිතයේ වැඩි ප්‍රමාණයක් එක්සත් ජනපදයේ ගත කොට ඇති බොහෝ දෙනෙක් දන්නා කරුණ නම් එහිද ලෞකික රාජ්‍යයක් පිළිබඳ මතියට මුලුමනින්ම එදිරිවාදී වන සහ “අපි දෙවියන් වහන්සේ විශ්වාස කරමු” ( In God We Trust ) වැනි මතියන් ද්‍රව්‍යත්වකරණය කල (reified) යුතුය යන්න දරා සිටින යම් යම් බලවේග ඇති බවය. බාගදා ඒවා සාර්ථක නොවනු ඇත. ඒවා සාර්ථක නොවන්නේය යන කරුණෙන් මෙම සීමාන්තික රැඩිකල් ධර්ම දූතක (evangelist) කණ්ඩායම් අපට හුදෙක් නොසලකා හැරිය හැකි බලයක්ය යන්න අදහස් නොවේ. එමෙන්ම, කවුද දන්නේ ඔවුන් සාර්ථක වනු ඇත්දැයි ? මම සිතන ආකාරයට, අප කථා කරන අනෙකුත් බොහෝ ස්ථාන ගත් කළ, එනම්, ඔබ ඉතාලියට ගියත් ඔබට දේවස්ථාන තුළ නම් මිනිසුන් දැකිය නොහැකි බවයි මාගේ අදහස. එමනිසා, ‘කදිමයි’, ‘මෙන්න ලෞකික රාජ්‍යය පිළිබඳ තවත් හොඳ නිදර්ශනයක් ’ කියා ඔබ සිතීමටත් ඉඩ ඇත. නමුත්, “පාප් වහන්සේ අහෝසි කර දමමු” යනුවෙන් ඔවුන් මුලපුරා ප්‍රකාශ කරන රීතියක් ඇතැයි අපි කියතොත් එවිට මේ සියලු ජනයා පවසන දේ ඔබ දකීවී: “ඔබ කුමකට ද සැරසෙන්නේ?” “හුදෙක් මෙය කල නොහැක.” “අතීතයට මොකද වෙන්නේ” ආදී වශයෙනි. ඔබට මේවා හුදෙක් ඉවත දැමිය හැකිද? මේවා ලෞකික සමාජයේ ගැටලු සමහරක් වේ.

ලෞකිකවාදය හා කාංසාව

රජීව් අසෝක ආදර්ශය ( Asokan Model) ගැන කතා කරනු ඇතැයි සිතු මා ඒ පිළිබඳ ඉතාමත් බළාපොරොත්තු තබා ගතිමි. එක්තරා ආකාරයකින් විකල්ප ලෞකිකවාදී ආදර්ශයක් ලෙස ගත හැකි රජීව් හඳුන්වන ලද ලෞකිකවාදය ඉතා වැදගත් ආදර්ශයකි. එය සැබෑවට ක්‍රියාවට නැගිය හැකිද නොහැකිද යන්න අපි නොදනිමු. එම නිසා, ශ්‍රී ලංකාව තුළ අපගේම තත්වය පිළිබඳ කල්පනාවට ගන්නා විට එය මට පෙනී යන්නේ වඩාත් අඳුරු අපේක්ෂාවක් ලෙසය. එය මේ ආකාරයෙන් ගනිමු. අප දෙදෙනාම සහනශීලීත්වය මත ඉහල අගයක් තැබුවේ යැයි නිදර්ශනයක් වශයෙන් කියමු. නමුත්, සහනශීලීත්වයට සීමා නොතිබේද? ඒ සඳහා ඇති සීමා මොනවාද? ඔනෑම ආකාරයේ සහනශීලීත්වයක් ඉවසිය හැකිද? දැන් මම ඔබට හොඳ උදාහරණයක් දෙමි. 19 වන ශතවර්ෂයට පෙර ශ්‍රී ලංකාවේ කාන්තාවෝ බොහෝ විට තම උඩුකය නිරුවත්ව තබා ගත් අතර යම් යම් අවස්ථාවල (ඔවුන්ගේ අනුවණකමට ) එසේ නොකළහ. මෙය කොළඹට හෝ වෙනත් ප්‍රදේශයකට හඳුන්වා දීමට අද කෙනෙක් උත්සාහ කලොත් ඔහු මහමග එල්ලා මරනු ඇත. එම ආදර්ශය කොතරම් පුරාතන වුවත් අතීතයේ එය කෙතරම් ගෞරවනීය වුවත් වර්තමානයේ අරුතක් ඇතිවීමට කුමන හෝ මගක් නැත. එබැවින්, මෙයට හේතුව ලෙස මා දකින්නේ ඇඳුම් විලාසිතා වැනි දේ අනන්‍යතා සලකුණු වීමය. එමෙන්ම, ඔබට ඉඳුරාම ඒවා ඉවත දැමිය නොහැකි අතර ඒවායින් පහසුවෙන් නිදහස් විය නොහැක. තවද, මෙවැනි ආකාරයේ බලවත් අනන්‍යතා සළකුණක් නම් බුර්කාවයි. ශ්‍රී ලංකාවේදී එසේත් නැතිනම් බාගදා යුරෝපයේ දී පවා අප කැමති වුවත් නැතත් විවිධ හේතු නිසා කාන්තාව සහමුලින්ම මුහුණ වසාගන්නා ක්‍රමය වන බුර්කාව මහත් සේ කාංසාව (anxiety) ඇවිස්සීමට තුඩු දෙන්නක් ලෙස ගත හැක. මෙම කාංසාවන් විවිධාකාරයේ ප්‍රතික්‍රියා, එනම්, ඔබ දන්නා පරිදි ශාරීරික ඒවා පවා ඇති කිරීමට හැක. “සහනශීලී වෙමු” යැයි අප කොතරම් කීවත් ඇත්තම තත්වය නම් යම් යම් ප්‍රජාවන් එක්තරා ආකාරයෙන් සහනශීලීත්වයට පනවන යම් යම් සීමා පැවතීමයි. එවිට, එවායින් නිදහස් වීම ඉතා දුෂ්කරය.

මා දැන් සැබැවින්ම පැවසීමට යන්නේ අපි මුලුමනින්ම සහනශීලී නොවන අනෙක් දේවල් සම්බන්ධයෙන් ද මෙය සත්‍ය බවයි. මෙහිදී, මාගේ සිතට ඉතාමත් සමීප දෙයක් නම් සයිකෝසියාව (psychosis) යි. ඒ මා එයින් පෙළෙන්නෙක් නිසා නොවේ. සයිකෝසියාවන් වනාහී බුර්කාව මෙන් අප වඩාත් කාංසා සහගත වන ක්ෂේත්‍රයන්ය. භින්නෝන්මාදයෙන් පෙළෙන (schizophrenic) කාන්තාවක් කෑගසමින් පාරේ යන විට අපි ඉතාමත් පීඩාවට පත් වෙමු. එමෙන්ම, සිංහල භාෂාවේ “පිස්සිගේ පලා මාලුව” යනුවෙන් හඳුන්වන ප්‍රකාශයක් අප සතුව ඇත. විශේෂයෙන්ම බටහිර සමාජයේ සහ එම ආදර්ශය මත අවාසනාවන්ත ලෙස අප මෙරට ගොඩ නගා ඇති ඇති සමාජ වල, සයිකෝසියාව සම්බන්ධයෙන් සුවිශාල කාංසාවක් ඇත. මම මීට අවුරුදු 50 කට පමණ පෙර ඉතා දුර බැහැර ලග්ගල ප්‍රදේශයේ ක්ෂේත්‍ර පර්යේෂණ කරන විට භින්නෝන්මාදයෙන් පෙළන්නෙක් යැයි දැකිය හැකි පුද්ගලයෙක් හමුවිය. එසේ දැකිය හැක්කේ ඔහු නිරන්තරයෙන් දේවතාවන් සමග කතා බස් කරන නිසාත් ජෝර්ජ් රජ්ජුරුවන් සහ නොයෙක් දෙනා කෙරේ වන සියලු ආකාරයේ පණිවිඩ සිය පපුවේ කොටාගෙන සිටි නිසාත්ය. මෙහි සිටින අය ඔහුට පිස්සු යැයි සිතන්නට ඇත. ඔහුට පිස්සු බව කිවමනා නොවේ. නමුත්, ඒ සහමුලින්ම අහිංසක ආකාරයකිනි. සමහර ගම් වැසියෝ ඔහුට කාර්යයක් පැවරුවහ. එනම්, ඔහුට කැලයට ගොස් විවිධ පළතුරු සහ වෙනත් දේ ගෙන ඒම යනාදිය කිරීමට සිදුවූ අතර එලෙස මෙම මිනිසාව සමාජ පද්ධතිය තුළට අන්තර්ගත කර ගත්තේය. මේ කාලයේ නම් මෙය කිරීම ඉතාම දුෂ්කරය. තවද, ආරූඩභාවයන්ට පත්වන පුද්ගලයන් පිළිබඳ සිද්ධිය ගෙන බලන්න. ඔවුන් වෙව්ලීම හා ඒ ආදී තත්වයන්ට පත්වේ. වර්තමාන මනෝ චිකිත්සකයන් කියන යක්කුන්ට මෙය හසුරුවා ගත නොහැක. ඔවුන් මුග්ධයෝය. එවැනි දෙයක් විසඳා ගැනීමට ඔවුන් නොදන්නා අතර එසේ වුවත්, ගමේ ඔනෑම කපු මහත්තයෙක් රෝගයෙන් පෙළෙන රෝගියා රැගෙන විත් නැවත සාමාන්‍ය තත්වයට පත් කරන ආකාරය ඔබට පවසනු ඇත. මෙලෙස, අවාසනාවන්ත ලෙස නිසි පරිදි හඳුනා නොගත් මෙවැනි ආකාරයන්ගේ කාංසාවන් හැමතැනම ඇත.

ශාසනික පූර්වාදර්ශ දෙකක්

අපේ නිල්ල පිරුණු , එහෙත් බාගදා, එතරම් ප්‍රසන්න නොවන භූමිය වන ශ්‍රී ලංකාව වෙත මට දැන් හැරීමට සිදුවේ. සියළු දෙයින් සංගෘහිත ලෞකික ආදර්ශය පිළිබඳ ඔබ පවසමින් සිටි අපූර්ව නිදර්ශනය වශයෙන් එක මට්ටමකදී ශ්‍රී ලංකාව ගත හැකි බව දැන් ඔබ මෙහිදී දකිනු ඇත. එනම්, ප්‍රකාශනයේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස, මේ නිදහස, අර නිදහස ආදී සියලු දේ එහි ඇත. මා සතුව ව්‍යවස්ථාවේ කොටසක් ඇති අතර එය මනරම් නිර්මාණයකි. නමුත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් ඇති ගැටලුව නම්, ඒවා වැදගත් වුවද, එවා තුළ වැදගත් ආචාර ධර්මික අගයන් අඩංගු වුවද, ඒ පිළිබඳ අප සර්වදෝෂදර්ශී නොවුනද, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ක්‍රියා කරන්නේ පූර්වාදර්ශය, සිදුවන වෙනස්වීම්, භාවිතයේදී ඒවා නැවත අර්ථ දක්වා ඇති ආකාරය ආදී වශයෙන් වූ පදනම් මතය. එමනිසා, මේ අරුතින් ගත් කල, අපගේ අපූර්ව ව්‍යවස්ථාව කිසියම් ප්‍රමාණයකට ලෞකික වන බව කිව මනා නොවන අතර ඒ ඔබ කියන ලද දේ එතුළ මුර්තිමත් වන්නේය යන අරුතින් බව ඔබ දනී. නමුත්, ඉතාමත් සිත්ගන්නා සුලු වගන්තියක්, එනම් යෝග්‍යතා වගන්තියක් එහි ඇත. එය මෙසේ කියයි. “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ ) ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.” අප බොහෝ දෙනෙක් ශාසනය යනු කුමක්දැයි දනී. ඉන් අදහස් කරන්නේ බුදුන්,ධර්මය සහ සංඝයා යන්නය. ඒවා බුදුන් වහන්සේගේ මහා දේශනාවන් තුළ නිහිතය. ධර්ම නියාමක (doctrinal) කතිකාවන්ට වඩා මම ඒවා මහත් සේ අගය කරමි. යමෙක් එය ඉහත කී අරුත් හී තැබූ කල මහත් අවුලකට මුල පිරීමක් බව මගේ අදහසයි. මෙහිදී, ගැටලුව වන්නේ මෙම වගන්තිය ණයට ගෙන ඇත්තේ 1815 උඩරට ව්‍යවස්ථාවේ ඇති ගැටලුවෙන් වීමය. මක්නිසාද යත්, බ්‍රිතාන්‍යයන් ශාසනයට ඇති තැන අත්හිටුවා දමනු ඇතැයි කියා උඩරට වැසියන් ඉතා සාධාරණ ලෙස කණස්සල්ලට පත් වූ අතර එමනිසා ඔවුන් යම් යම් ශුර විධි ක්‍රම සහ ඒත්තු ගැන්වීම් ආදී දේ ඔස්සේ උඩරට ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාවේ ආගම වන බුද්ධාගම සුරැකිය යුතුය යන (එකල වෙනත් ආගම් නොතිබුණි යන්න ඔබට පිළිගත හැකිද?) නියමය හඳුන්වා දීමට සමත් විය. එම වගන්තිය අනුවණ ලෙස දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇද දමා ඇත්තේ ඒ සඳහා අවශ්‍යතාවයක් නැති බව හඳුනා ගැනීමකින් තොරවය. මක්නිසාද, බුදුදහමට නිසි තැනක් දීමට වර්තමානයේ විරුද්ධ වන කවරෙකුවත් නැත යන කරුණ නොසලකාය. විරුද්ධ වන්නේ කවුරුන්ද? මම නම් විරුද්ධ නොවෙමි. එමෙන්ම, කතෝලික ආගමට නිසි තැන දීමට අන් කිසිවෙක් විරුද්ධ නොවනු ඇත. විරුද්ධ වන්නේ කවුරුන්ද? එය බරපතළ ආකාරයේ ගම්‍යමාන ඇති කරන අමතර වගන්තියක් බව පෙනේ. එක් ගම්‍යමානයක් වන්නේ මෙයින් ප්‍රතිඥා දෙන කරුණු ඇසුරින් ගත් කල එනම් අපට බුද්ධ ශාසනය -බුද්ධ, ධම්ම සහ සංඝ- සුරැකීමට සිදුවන බවයි. නමුත්, මෙම උසස් ආගමික අංග තුනෙන් කුමන ඒවා මූල සංඝඨකද යන කරුණ ඉන් කියවෙන්නේද? ඉතිහාසයෙන්, ශ්‍රී ලාංකිකයන්ගේ ඓතිහාසික අත්දැකීම් වලින්, ශ්‍රී ලාංකික රජවරුන්ගෙන් අප දැන් දන්නා දෙය නම් ශාසන ඉතිහාසය මුලුල්ලේ බොහෝ ආදර්ශ ගණනාවක් පැවතී ඇති බවයි: ඒවායින් සමහරක් ඉතා නිදහස්කාමීය, සමහරක් ඉතා ප්‍රඥාවන්තය, සමහරක් ඉතා භයානකය – පොත් ගිනි තැබීම ආදී සියලු දේ කර එය කලේ ශාසනය උදෙසා යැයි කෙනෙකුට පැවසීමට හැක. එකල්හි දුර්ලබ්ධියට පවා එළඹෙන තරම් මත තිබී ඇත. 18 වන 19 වන ශත වර්ෂ දක්වා මෙවැනි ආකාරයේ දේ බලපවත්වමින් තිබුණි.

ඔබ ශාසනය යැයි පවසන විට අපි තරමක් අවුලක සිටිමු. මන්ද බොහෝ ශාසන ඇත. අප අසෝක ආදර්ශය ගොඩනගා ගැනීමට නැඹුරු වූ සේ මේ බොහෝ පරිමණ්ඩල අතරින් යම් යහපත් ඓතිහාසික පූර්වාදර්ශයක් බිහිකර ගැනීමට පුලුවන. දෙවන පරාක්‍රමභාහු පිළිබඳ ආදර්ශය ඉන් එකකි. දෙවැනි පරාක්‍රමභාහු මම දකින ආකාරයට කාලිංග මාඝ පරාජය කර දඹදෙනිය අසිරිමත් අගනගරයක් ලෙස පිහිට වූ ශ්‍රේෂ්ට රජ කෙනෙකි. අනතුරුව ඔහු යම් යම් අසාමාන්‍ය ආකාරයේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නේය. මෙම දුබල දෙමළ මිනිසුන් පරාජය කර දැමූ ඔහු ” නුඹලා ආපහු ගෙදර ගියොත් හොඳයි” යැයි පැවසුවේය. ඔබ දන්නා පරිදි එය සාමාන්‍යයෙන් කරන දෙයක් නොවේ. ඔහු කරන ලද තවත් සිත් ගන්නා දෙයක් නම් සිරකරුවන් නිදහස් කිරීමයි: සුළු වැරදි සඳහා සිරගත වූවන් සහමුලින්ම නිදහස් කරන ලද අතර බරපතළ අපරාධ කර සිරගත වූවන්ගේ දාසභාවය අඩු කළේය. මා දුටු පරිදි මා විසින් එකතු කර ඇති යම් යම් කෘති පෙන්වා දෙන්නේ ඔහු මරණ දඬුවම අහෝසි කර ඇති බවයි. දැන් මෙය එක ආදර්ශයක් ලෙස ගත හැක.

බුද්ධ ශාසනයේ හුදෙක් අපට වර්තමානයේ ක්‍රියාත්මක කල නොහැකි වෙනත් ආදර්ශ මෙන්ම වෙනත් ප්‍රකාශනයන් ද ඇත. නිදර්ශනයක් ලෙස පළමුවන පරාක්‍රමභාහු ගත හැක. දෙවැනි පරාක්‍රමභාහුට තරම් මම ඔහුට කැමැත්තක් නොදක්වමි. පළවෙනි පරාක්‍රමභාහු මහා පරාක්‍රමභාහු යනුවෙන් ද අමතනු ලැබූ නමුත් මහා යනුවෙන් අමතන බොහෝ අය සිටියහ. ශ්‍රේෂ්ටයන් අතර ශ්‍රේෂ්ටයෝ ද සිටියහ. මෙලෙස පළවෙනි පරාක්‍රමභාහු කතිකාවත ( සංඝයා සඳහා රීති ) යැයි පවසන දේ හඳුන්වා දීමට මුල් විය. සංඝ සංස්ථාව දුස්සීලයන්ගෙන් (නරක භික්ෂූන්) සමන්විත වන විට එය ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු රීති හඳුන්වා දුන්නේය. මෙම රීති 18 වන ශත වර්ෂය අවසානයේ කීර්ති ශ්‍රී රාජසිංහ සමය තෙක් කලින් කලට ශ්‍රී ලංකාවේ අවිච්ඡින්නව පැවතුණේය. මාගේ ප්‍රියතමයා වන දෙවන පරාක්‍රමභාහු සතුව මෙම රීති හෝ කතිකාවත් පිළිබඳ ඉතා වැදගත් සාකච්ඡාවක් පැවතුණි. වර්තමානයේ අපට එය කල නොහැක.ඒ සඳහා ක්‍රමයක් නැත. වාචාල කටවල් වලින් යුතු දූෂිතයන්ගෙන් රට පිරී ගොස් ඇත. සියලු දෙනා මෙය දනී. අප සතුව මෙහි ඇති මෙම ප්‍රජාතාන්ත්‍රික පිහිටුම තුළ කතිකාවතක් කෙසේ ස්ථාපිත කල හැකිදැයි නොතේරේ. එය මෙහි ඇති සැබෑ ගැටලුවකි. ඊට වඩා ඉතා දුෂ්කර, ඉතා බරපතළ යමක් මේ යුගයේ ශ්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින බව මට පෙනේ.

බුද්ධ දේශනාවෙන් විඝටිත ආදර්ශයක්

රාජ්‍ය පිළිබඳ ප්‍රථම ආදර්ශය අප අමතක කරන්නේ නම් ශ්‍රේෂ්ට බෞද්ධ දේශනාව තුළින් එන තවත් ආදර්ශයක් ඇත. මම සැබැවින්ම කැමති ආදර්ශය එයයි. එය අවිහිංසාව අවධාරණය කරන ආදර්ශයයි. එනම්, සතර බ්‍රහ්ම විහරණයයි: මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන මේ සියල්ල අවිහිංසාවේ අංගයන්ය. මෙහි ගැබ් වූ වැදගත් දෙය ඉන් නසන්නේ කුමක් ද යන්නයි. එය නම් තන්හාව හෙවත් තෘෂ්ණාවයි.මෙම ආචාර ධර්මීය මූලධර්ම පැවරීම මම ඉතාමත් විශ්වාස කරන දෙයක් වුවත්, මම ඒ සඳහා සුදුසු විශේෂඥයෙක් නොවෙමි. මෙහිදී ගැටලුව එය අපගේ යුගයට පරිවර්තනය කර ගැනීමයි. එයට අවධානය යොමු කරන්න. එක වැදගත් දෙයක් නම් “සම්මා වාචා” (නිවැරදි වචනය) ය. මම දන්නා කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් “සම්මා වාචා” (නිවැරදි වචනය) යන්නෙහි අර්ථය නොදනී. අවිහිංසාව පිළිබඳ මතිය ගෙන බලන්න. සමාජය හිංසාවෙන් පිරී ඇත. ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පමණක් නොව ස්ත්‍රී දූෂණ පවා වැදගත් ප්‍රමාණයකින් ඉහල ගොස් ඇත. එබැවින් මට පෙනෙන ආකාරයට එය හිංසාව පිළිබඳ සිද්ධියකි. දිවි නසා ගැනීම පිළිබඳ ලෝකයේ ඉහලම තැන අපට හිමි වී ඇත. මනුෂ්‍ය ඝාතන ද ඊට ආසන්න වෙමින් තිබේ. අපගේ සමාජයට සැබැවින්ම සිදු වී ඇති දෙය අපට පැහැර හැරිය නොහැකි ගැටලුවකි. මේ සියල්ලෙහි ගැබ්ව ඇති මතිය නම් තන්හාවයි. සමස්ථ නූතන ආර්ථිකය රඳා පවතින්නේ මෙම තන්හාව නමැති මූලධර්මය මතය. නමුත්, කෙසේ හෝ නූතන ආර්ථිකයට තන්හාව නොමැතිව ක්‍රියා කල නොහැක. අපගේ සමාජය, එනම් දුෂණ යනුවෙන් අප හඳුන්වන දෙය, කොමිස් ආයතන සියල්ල මුල් බැස ඇත්තේ තන්හාව තුළයි. මෙලෙස මේවා පසුපස ඇති හේතුව වන්නේ අප ගොඩ නගා ඇති සමාජයයි. එනම්, නමින් නිදහස් ආර්ථිකයයි – එය නොනිදහස් ආර්ථිකයකි. එය කුමක් වුවත් කවර කලෙක හෝ බෞද්ධ සමාජයක් බිහි කල හැකි මගක් අපට නැත. ඒකාන්ත වශයෙන්ම කිසිම මගක් නැත.

එහෙත්, ඔබ අධෛර්‍‍යයට පත් වන තැනට නොවැටී, යම් යම් ආදර්ශ කිහිපයක් අනුව යා යුතු යැයි සිතමි. අසෝක ආදර්ශය සැබැවින්ම මනරම් ආදර්ශයක් වුවත් යථාරූපී නොවේ. යථාරූපී නොවන දේට තැනක් දිය යුතු හේතුව නම් මේ ආකාරයේ ලෞකිකවාදයක් අපට අවශ්‍ය නැතැයි කියවෙන ප්‍රශ්න, විචාර, මහජන සාකච්ඡා ඇතිවීම පිළිබඳ බළපොරොත්තුවක් ජනිත වන නිසාය. රජීව් සඳහන් කරන ලද ස්වරූපයේ ආදර්ශයක් ස්ථාපනය කිරීමට කෙනෙකුට ඉඩ ප්‍රස්ථා ඇති අතර ඒ පිළිබඳ මම ඉතා සංක්ෂිප්තව සඳහන් කිරීමට තැත් කරමි. මම අදහස් කරන ආකාරයට බෞද්ධ ආදර්ශය ආගම පිළිබඳ ඔනෑම ඥානමීමංසාවකින් දුරස්ථ කල (dissociate) හැකිය. බොහෝ ජනයාට මේ දෙක පිරිද්දීමට (link) අවශ්‍ය වී ඇති නමුත් ලෞකිකවාදය පිළිබඳ සමස්ථ අදහසේ අරුත එක්තරා ආකාරයක විසන්ධිකරණ (delinking) පිටපතකි. බෞද්ධ පද්ධතිය තුළ දැන් මෙම විසන්ධිකරණය සඳහා ඉඩ ප්‍රස්ථා ඇත. නිදර්ශනයක් වශයෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර මහා බ්‍රහ්ම විහරණයන්ට විරුද්ධ වන්නේ කවුද? අපගේ යුගයේ ජීවත් වන කිසිම කිතුණුවෙක්, කිසිම කතෝලිකයෙක් හෝ (විශේෂයෙන්ම අපූරු නව පාප් වරයාගේ ආගමනයත් සමග) නූතන සමයේ කතෝලිකයන් විරුද්ධ වේ යැයි මට සිතා ගත නොහැක. මෙවැනි ආකාරයේ මතියන්, එනම් කරුණාව (compassion) වැරදි දෙයක් යැයි කවුරුන් පවසනු ඇත් ද? පුරාතණ කිතුණු සම්ප්‍රදාය තුළ ඒ හා සමාන දේ ඇති බව මා මගේ කෘතියේ සඳහන් කල බව මට පැවසීමට හැක. එවිට ඊට කවුරු විරුද්ධ වේවිද? අවම වශයෙන් එය මනුෂ්‍ය වර්ගයා හා සම්බන්ධ වන විට ‘එපා’ කියන්නේ කවුරුන්ද? යම් යම් ආකාරයේ බෞද්ධ අගයන් විධිමත් බෞද්ධයන් නොවන අය අතර පවා සැබවින්ම ක්‍රියාවට නැගිය හැකි බව මට පෙනේ. මෙම අගයන් ක්‍රියාවට නැගීමට ඔබට විධිමත් බෞද්ධයෙක් වීමට සිදු නොවනු ඇත. එමනිසා මගේ ආදර්ශයේ වාසිය වන්නේ බෞද්ධයන්ට එය තම ආගම සමග පිරිද්දීමට හැකිවන එකම අවස්ථාවේදීම එය විසන්ධි කර වෙනත් ආගම්වල යෙදිය හැකි වීමය. ඉස්ලාම් ආගම පිළිබඳ මම වැඩි යමක් නොදනිමි. නමුත් පුරාතන ඉස්ලාම් ආගමේ යම් යම් ස්වරූප, මා ද කැමති වන සුෆීවාදය (Sufism) වැනි දේ මුලුමනින්ම මා වරනගන දේ ට පක්ෂපාත බව මට පැවසිය හැක. ඉතින්, මගේ ප්‍රියතම චින්තකයා වන නීට්ෂේට සාධාරණ වෙමින් මෙය අවසන් කිරීමට මා කැමති වෙමි. නීට්ෂේ 1888 දී දෙවියන් මියගොස් ඇති බව නිගමනය කලේය. අනෙක් බොහෝ අය පවසන පරිදි දෙවියන් මියගොස් ඇතැයි ඔහු පැවසූයේ 19 වන ශත වර්ෂයේ සමස්ථ හේතුවාදී ගමන්පථය ආගමික විශ්වාස ඛාදනයට ලක් කල නිසාය. එම නිසා දෙවියන් මිය ගොස් ඇත. ඔහු ශ්‍රේෂ්ට ක්‍රිස්තු විරෝධියෙකි. නමුත් මා පෙන්වා දුන් පරිදි මෙම ශ්‍රේෂ්ට ක්‍රිස්තු විරෝධියා අප සියලු දෙනාට ක්‍රිස්තියානි ජීවිතයක් ගත කල හැකිය යන කරුණ සඳහන් කළේය. ඔබට දෙවියන් පිළිබඳ මතිය විසන්ධි කල හැකි අතර ක්‍රිස්තියානි ආදර්ශයේ ඇති යහපත් ජීවිතය පිළිබඳව ලෞකික ස්වරූපයේ පිටපතක් ඇති කර ගත හැකිය.

පරිවර්තනය- දිමුතු සමන් වෙත්තසිංහ

*ජනවාර්ගික අධ්‍යයනය සඳහා ජාත්‍යන්තර කේන්ද්‍රයේදී 2013 නොවැම්බර් 27 දින “ආචාර ධර්ම, ලෞකිකවාදය සහ ආණ්ඩුකරණ සංස්ථා” යන මැයෙන් පැවති සාකච්ඡාවට දේශපාලන දර්ශනය පිළිබඳ තම දායකත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන දාර්ශනිකයෙකු වන මහාචාර්ය චාල්ස් ටේලර්, ප්‍රමුඛ පෙලේ ඉන්දියානු දේශපාලන න්‍යායධරයෙකු වන මහාචාර්ය රජීව් භාර්ගවා සහ මහාචාර්ය ගණනාථ ඔබේසේකර සහභාගි වුහ. මූලාසනය හොබවන ලද්දේ ආචාර්ය රාධිකා කුමාරස්වාමි විසිනි.

මහාචාර්ය චාල්ස් ටේලර් කැනඩාවේ මැක්ගිල් විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයෙක් වන අතර ඇලස්ඩෙයර් මැකින්ටයර්, මයිකල් සැන්ඩල්, මයිකල් වෝල්සර් ආදීන් මැදිහත් වූ ලිබරල්වාදය පිළිබඳ ප්‍රජාමූලවාදී විචාරණය (communitarian critique) ට දායක වූවෙකි.“නූතනත්වයේ ව්‍යාධිය (The Malaise of Modernity) කෘතියේ දී ලිබරල් න්‍යාය සම්බන්ධයෙන් ඔහුගේ විවේචනය වූයේ පුද්ගලයන් වැඩෙන සමාජයෙන් පෝෂිත සංදර්භය ඉන් නොසලකා හැර ඇති බවයි. ලෞකිකවාදය පිළිබඳ මැක්ස් වේබර් ආදීන්ගේ ප්‍රවාදයට එරෙහිව “ලෞකික යුගයක් ” ( A Secular Age ) කෘතියේ දී ටේලර් පෙන්වා දුන්නේ නූතන ලෝකය තුළ ආගම වියැකී යාමකට වඩා විවිධත්වකරණයකට හා බොහෝ තැන්වල එහි වර්ධනයකට මග පාදා ඇති බවයි.

රජීව් භාර්ගවා ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ දේශපාලන න්‍යාය පිළිබඳ මහාචාර්යවරයෙක් වූ අතර බහු සංස්කෘතිකවාදය, ලෞකිකවාදය සම්බන්ධයෙන් ඔහුගේ දායකත්වය ප්‍රමුඛය. අසෝක යුගයේ ආගමික සහනශීලීත්වය පිළිබඳ විග්‍රහය මෙහිලා වැදගත්ය. ඉන්දියානු ලෞකිකවාදයේ මෙන්ම බහුවිධතාවයේ මුල් බොහෝ ගැඹුරට යන බවත් අසෝක යුගයේ මහජන ජීවිතය පෙන්නුම් කරන අසෝක අධිරාජ්‍යයාගේ ආඥාවන් ප්‍රතිවිරුද්ධ ලෝක දෘෂ්ටීන් සහිත ජනයාට එකට ජීවත්වීමේ මගක් පෙන්වා ඇති බවත් භාර්ගවාගේ විග්‍රහය විය. කෙසේ නමුත්, චාල්ස් ටේලර්, රජීව් භාර්ගවා යන දෙදෙනාම තමන් ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම ආස්ථානයන්ගෙන් මඳක් ඉවතට හැරී, ටේලර් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලු පිළිබඳවත්, භාර්ගවා දේශපාලන ලෞකිකවාදය හා පුරවැසිභාවය පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ අතර ගණනාථ ඔබේසේකර තම අදහස් දැක්වීමේදී අපේක්ෂා සුන්වූ ස්වරයෙන් මෙය මතු කරයි.

මහාචාර්ය ගණනාථ ඔබේසේකර ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙක් වන අතර ඔහුගේ බොහෝ කෘති තුළ දේශීය සම්ප්‍රදායන්ගෙන් ආචාර ධර්මීය සහ සහනශීලී අරුතක් පෝෂ්‍ය වූ ආකාරය පිළිබඳ සාක්ෂි විද්‍යමානය. ‘ශාසනය ‘ එවැන්නක් ලෙස හඳුනාගත හැක. නමුත්, බහුවිධතාවයෙන් හා සහනශීලීත්වයෙන් යුතු එවැනි සම්ප්‍රදායික භාවිතයන් පවා යටත් විජිතවාදයට එරෙහිව දේශීයයන්ගේ ප්‍රතික්‍රියාව තුළින් විපර්යාසයට ලක් වූ අතර ‘ප්‍රොතෙස්තන්ත බුද්ධාගම ’ පිළිබඳ ඔහුගේ විග්‍රහය ඒ පිළිබඳ සාක්ෂි දරයි. ඔබේසේකරගේ සම්පූර්ණ අදහස් දැක්වීම මෙහි පලවන අතර එහිදී ඔහු සමකාලීන ගැටලුවට විසන්ධි කල බෞද්ධ ආදර්ශයක අදාළත්වය අප හමුවේ තබයි.

Print Friendly

සහගහන අපරාධ රණවිරු ලේබලයෙන් වැසැංගිය හැකිද?

$
0
0

නිමල් ලෙව්කේ

නිමල් ලෙව්කේ

නිමල් ලෙව්කේ

එක්නැලිගොඩ පැහැරගෙන යාම සහ රවිරාජ් ඝාතනය වැනි සිදුවීම් සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් (රණ විරුවන්) පිරිසක් අත්අඩංගුවට ගැනීම ගැන විශාල කෑකෝගැසීම් ඇතිව තිබේ. මේ හමුදා නිලධාරීන් එවැනි සිදුවීම්වලට සම්බන්ධ වූයේ මන්ද යන්න කෙනෙකුගේ හිතේ එක විට නැගෙන ප‍්‍රශ්නයකි.

ප‍්‍රභූ ආරක්ෂක සේවාවක කලක් සිටි ප‍්‍රධානියෙකු වශයෙන් මා දන්නා එක දෙයක් තිබේ. එනම්, හුදෙක් පෞද්ගලික කරුණකදී හැරුණු කොට, ඉහළින් ලැබෙන සහයෝගයකින් තොරව සංවිධානාත්මක අපරාධයක යෙදීමේ හැකියාවක් කණිෂ්ඨ නිලධාරියෙකුට නොමැති බවයි. මේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති අපරාධ දෙස බලන විට, ඒවා මනාව සංවිධානය කරන ලද සහ එක පුද්ගලයෙකුට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකරන ලද බව පෙනී යයි.

මේ අපරාධ පිළිබඳ කෙරෙන ඕනෑම නිරීක්ෂණයකදී, එවැනි අපරාධ කිරීමේ හේතුව සහ අභිප‍්‍රාය කෙනෙකු මුලින්ම වටහාගත යුතුව තිබේ.

මේ සා දරුණු අපරාධ සිදු කිරීම සඳහා, ඉතා පරීක්ෂාවෙන් සකස් කරන ලද සැලසුමක් අවශ්‍ය කෙරේ. කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමේ හැකියාව සහ එඩිතර භාවයක්ද ඊට අවශ්‍ය කෙරේ. මේ විදිහේ තිරිසන් අපරාධයක් මහ දවල් කිරීමට අවශ්‍ය කරන ධෛර්යයත්, එසේ කිරීමේදී හෝ ඉන් අනතුරුව නීතියට හසු නොවී ආපසු තමන්ගේ බැරැුක්ක වෙත හෝ වෙනත් යොදා ගත් ආරක්ෂිත ස්ථානයක් වෙත නිරපද්‍රිතව පැමිණිය හැකි බවට විශ්වාසයත් ඔවුන්ට ලැබුණේ කෙසේද? එම පුද්ගලයන්ට එම විශ්වාසයේ සහතිකය දුන් පුද්ගලයා කවුද?

මෙහිදී වඩාත් වැදගත් වන කාරණයක් වන්නේ, මේ අපරාධය කළ පුද්ගලයන් තුළ වින්දිතයාට එරෙහි නෝක්කාඩුවක්, කෝන්තරයක් හෝ හතුරුකමක් වීද යන්න සොයා බැලීමයි. එය, අදාළ පරීක්ෂකයන් විසින් හඳුනාගත යුතු ඉතා වැදගත් අංගයක් වනුයේ, ඒ මගින් මේ අපරාධය පසුපස සිටි සැබෑ අපරාධකරුවන් හඳුනා ගැනීමට හෝඩුවාවක් ලබා ගැනීමට හැකි වීම නිසා ය. තමන්ගේ පුද්ගල න්‍යාය පත‍්‍රයන් හරහා මේ පුද්ගලයන්ව එකී අපරාධ සඳහා යොදා ගත් කෙනෙකු වෙත් නම්, එවැන්නන් තමන් ගැනම ලැජ්ජා විය යුතුය. තිරිසන් ත‍්‍රස්තවාදි නායකයන්ට අවසානයේදී පල දුන්නා සේ මෙවැන්නන් වෙතද නොවලහා ඊට නිසි දඬුවම් පැමිණෙනු ඇත.

සමහර අවස්ථාවක, අපරාධය පසුපස සිටි ප‍්‍රධාන පුද්ගලයාව අදාළ අපරාධයට කෙලින්ම සම්බන්ධ කිරීමට හැකි වන ආකාරයේ සෘජු සාක්ෂි නොතිබිය හැකිය. එහෙත් පරිවේෂණීය සාක්ෂි හරහා එවැන්නන්ව නීතිය ඉදිරියේ වැරදිකරුවන් කළ අවස්ථා අතීතයේ ඕනෑ තරම් තිබේ. උදාහරණයක් වශයෙන්, මැතිව් පීරිස් නඩුව සහ රෝයල් පාක් ඝාතන සිදුවීම දැක්විය හැකිය.

මේ කියන රණවිරුවන්ව අත්අඩංගුවට ගැනීම ගැන අද කෑකොස්සන් ගසන ඇතැම් දේශපාලඥයෝ සිටිති. රටේ පවතින නීතියට උඩින් ක‍්‍රියා කිරීමට අයිතියක් රණවිරු ලේබලයට නොලැබෙන බව මේ අය තේරුම් ගත යුතුව ඇත. යුද පෙරමුණේ සිටි අයෙකු වශයෙන්, අනිත් සියල්ලට වඩා අප අගය කෙළේ මිනිස් ජීවිතය බව මට ඉඳුරා කිව හැක.

අපට දෙන ලද පුහුණුව තුළ, විනය විශේෂයෙන් අවධාරණය කෙරුණු කාරණයකි. ඒ, අන් සියල්ලටමත් වඩා, මිනිස් ජීවිතය ආරක්ෂා කිරීම සඳහා ය. රටේ වෙසෙන සියලූ ජනතාව ආරක්ෂා කිරීම අපේ ඒකායන අභිලාෂය වූ අතර, ඒ වෙනුවෙන් අපේ ජීවිත වුව පරදුවට තබමින් කටයුතු කිරීමට අපි කැප වී සිටියෙමු.

එසේ තිබියදී, දැනට අත්අඩංගුවේ පසු වන මෙම නිලධාරීන් තමන් සම්බන්ධ වූ ඒ අපරාද සම්බන්ධයෙන් වන තම චේතනාව ගැන පැහැදිළි කිරීමට අසමත් වන්නේ කෙසේද? මේ අපරාධ කිරීමට ඔවුන්ව මෙහෙයැවූ එවැනි අභිපේ‍්‍රරණයක් හඳුනා ගැනීමට පරීක්ෂකවරුන්ට මෙතෙක් හැකි වී තිබේද? එසේ නොවෙයි නම්, ඔවුන්ට ඉහළින් සිටි යමෙකු ඒ බිහිසුණු අපරාධ කිරීම සඳහා ඔවුන්ට නියෝග දුන්නේද? අද ඔවුන් තමන්ගේ කණිෂ්ඨ නිලධාරීන්ව බිල්ලට දී, ඔවුන්ගේ වෘත්තීය අනාගතය, ඔවුන්ගේ පවුල් සහ ඔවුන්ගේ ජීවිත අගාධයට හෙලමින් රණවිරු ලේබලය තුළ සැඟවී කෑකෝ ගසන්නෝද? ඔවුන් මෙසේ ගොනාට ඇන්දවීමට බලන්නේ කවුරුන්වද?

මේ අපරාධ කිරීමට යමෙකු නියෝග දුන්නේ නම්, ඉදිරියට පැමිණ ඒවායේ ප‍්‍රතිවිපාක අද විඳිය යුත්තේ ඔවුන් මිස ඔවුන් යටතේ සේවය කළ කණිෂ්ඨ නිලධාරීන් නොවේ. ඇතැම් දේශපාලනික කණ්ඩායම් අවුස්සා උද්ඝෝෂණ කරමින්, රණවිරු ලේබලයක් ඉදිරිපිටින් දමාගෙන සැබෑ අපරාධකරුවන් වසං කිරීමට උත්සාහ කිරීමෙන් පලක් නැත. මේ ඊනියා විරෝධතාවන් සැලසුම් කෙරෙන්නේ සැබෑ අපරාධකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වන යටි අරමුණකින් මිස තමන් ආරක්ෂා කිරීම සඳහා නොවන බව අද අත්අඩංගුවේ පසු වන නිලධාරීන් තේරුම් ගත යුතුය.

විරෝධතාකරුවන්ගේ හැසිරීම අප තේරුම්ගත යුත්තේ, සත්‍යය වැසැංගීම සඳහා ගන්නා ප‍්‍රයත්නයක් වශයෙනි. එය අපේ දණ්ඩනීති සංග‍්‍රහය යටතේ ගැනෙන්නේ අපරාධයකට උදව් කිරීමේ සහ අපාධයක් වසං කිරීමේ වරදක් වශයෙනි. අද මේ පරීක්ෂණ සිදු කරන පොලිස් නිලධාරීන් වනාහී, සැබෑ වෘත්තිකයන් මිස, ස්වකීය ක‍්‍රියා කලාපයන් හරහා පසුගිය කාලයේ තම දේශපාලනික හාම්පුතුන්ව දේශපාලනික දංගෙඩියට ඇදගෙන ගිය සහ පොලීසියේ කීර්තිය නැති කළ දේශපාලනික හෙංචයියන් නොවන බව මට සක්සුදක් සේ විශ්වාස ය.

මේ පරීක්ෂණවල යෙදී සිටින බොහෝ දෙනා හිටපු විශේෂ පොලිස් කාර්ය සාධක බලකායේ සේවය කළ නිලධාරීන් ය. ඔවුන්ව ඉතා ඉහළින් පුහුණු කොට තිබේ. ඔවුන්ගේ විනය පවතින්නේ ඉතා උසස් මට්ටමක ය. ඉතා දුෂ්කර තත්වයන් යටතේ සේවය කොට ලබා ගත් අත්දැකීම් යටතේ තම වගකීම් මනාව හඳුනාගෙන ඇති මේ නිලධාරීන් අයුතු දේශපාලනික බලපෑම් ඉවසන්නන් නොවේ. අක‍්‍රමවත් උපදෙස්වලට හෝ නියෝ්ගවලට ඔවුන් යට වන්නේද නැත. එබැවින් ඉතා ඉක්මණින් කෙසේ හෝ සත්‍යය හෙළිදරව් වෙතැයි යන විශ්වාසයක් මට තිබේ.

මේ කියන සියලූ උද්ඝෝෂණ සහ විරෝධතාවන් පැවැත්විය යුත්තේ අද අත්අඩංගුවේ පසු වන මේ හමුදා නිලධාරීන්ව ඒ අවාසනාවන්ත අපරාධවලට පටැලවූ අයට එරෙහිව බව මම තදින්ම විශ්වාස කරමි. ඔවුන්ව දැන් හෙලිදරව් කළ යුතුව තිබේ. මන්ද යත්, සැබෑ රණවිරුවන්ව පාවා දෙන්නේත්, ඔවුන්ව ගොනාට අන්දවන්නේත්, ඔවුන්ම වන බැවිනි.

සෑම ආකාරයකම අව්‍යාජ වූත්, කැපවන්නා වූත් සිවිල් සංවිධාන එකට පෙළගැසී මේ අවස්ථාවේ ඉදිරියට පැමිණිය යුතුය. රණවිරුවන්ව නොමග යවමින්, තමන්ගේ වාසි සඳහා මෙවැනි අපරාධවලට ඔවුන්ව පෙළඹැවූ සහ ඔවුන්ව විනාශයට දැමූ සැබෑ අපරාධකරුවන්ව හෙළිදරව් කළ යුතුය.

*ලේඛකයා, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන අතර පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ ප‍්‍රධාන අණදෙන නිලධාරියාද විය.

2016 පෙබරවාරි 25 වැනි දා ‘සිලෝන් ටුඩේ’ පුවත්පතේ පළවූ“Can Ranaviru Label Cover up the Blatant Crimes?”නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යුහයක් සෑදීමේ ස්වර්ණමය අවස්ථාව සහ​ බොහෝ අය නොදන්නා කරුණු

$
0
0

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යුහයක් සෑදීමට, එසේම එම ව්‍යුහය ජනතාවගේත්, දේශපාලන පක්ෂවලත් පුළුල් සහයෝගයකින් සෑදීමට තිබෙන ස්වර්ණමය අවස්ථාව අද අපට උදා වෙලා තිබෙනවා. අපි අද ගන්නේ ඒ පිළිබඳව වූ පළමුවන පියවරයි. මම එසේ කියන්නේ ඇයි? සියලු ජන කොටස් සම්බන්ධ කර ගෙන, සියලු දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගෙන මීට කලින් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැදුවේ නැද්ද? 1947-48 අපට ලැබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි හදපු ව්‍යවස්ථාවක් නොවෙයි. එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් අපට දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. සෝල්බරි කොමිසම එක්තරා ප්‍රමාණයකට ජනතා අදහස් විමසූ බව ඇත්ත. අමාත්‍යවරුන්ගේ කෙටුම්පත සලකා බැලූ බවත් ඇත්ත‍. එහෙත් අවසාන වශයෙන් එය බ්‍රිතාන්‍යයට වුවමනා විධියට අප මත පැටවූ ව්‍යවස්ථාවක්. එම නිසායි ඊට බලවත් විරුද්ධත්වයක් ඇති වුණේ. ඉතාමත්ම ඉක්මනින් අධිරාජ්‍යවාදයෙන් ගැලවුණු අනෙකුත් රටවල් කළා වාගේ තමන්ගේම ව්‍යවස්ථාවක් -ඉංග්‍රීසියෙන් කියනවා, “Autochthonous Constitution” කියලා. ඒ කියන්නේ එම නිදහස් රාජ්‍යයේ පොළොව මතින් හැදුණු ව්‍යවස්ථාවක්.- හැදීමට විශාල උනන්දුවක් තිබුණා. ඒ පිළිබඳව නීති ප්‍රශ්න තිබුණා.

පාර්ලිමේන්තුව තුළින් කටයුතු කර සෝල්බරි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අයින් කරන්න අපට පුළුවන්ද? රාජාධිකරණයේ -Privy Council- නඩු කිහිපයක නඩු තීන්දුවල වැකි කිහිපයක් නිසා ඒ පිළිබඳ සැකයක් තිබුණා. ඒ වාගේම කිසිම පක්ෂයකට තුනෙන් දෙකක බලයක් ලබා ගන්න බැරි තත්ත්වයක් තිබුණා. එම නිසා, සෝල්බරි ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිහින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් තුළින් ව්‍යවස්ථාවක් හැදීමට 1970 මැතිවරණයේදී සමඟි පෙරමුණ ජනතාවගෙන් ජන වරමක් ඉල්ලා සිටියා. බලාපොරොත්තු නොවුණු පරිදි, එවකට තිබූ සමඟි පෙරමුණට ආසන තුනෙන් දෙකකටත් වැඩි ජන වරමක් ලැබුණා. එහෙත්, අර නීතිමය ප්‍රශ්නය මතු වෙයි කියා ඒ තුනෙන් දෙකක ජන වරම පාවිච්චි කර පාර්ලිමේන්තුව තුළින් ව්‍යවස්ථාව හැදුවේ නැහැ. මේ කාරණය බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ අනුව නව රඟහලට සියලු මන්ත්‍රීවරුන් කැඳවූ විට ආණ්ඩු පක්‍ෂය සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 157දෙනාම පළමු රැස්වීමට ආවා. ෆෙඩරල් පක්ෂය, ද්‍රවිඩ සංගමය, එක්සත් ජාතික පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඒ සියලුම පක්ෂ පළමු රැස්වීමට ආවා. ඒ අනුව සියලුම පක්ෂවල සම්බන්ධතාවයෙන්, සියලුම පක්ෂවල එකඟතාවයෙන් ව්‍යවස්ථාවක් හදන්නට මහඟු අවස්ථාවක් ලැබුණා. චෙල්වනායගම් මහත්මයා මෙහෙයුම් කාරක සභාවේ ක්‍රියාකාරී සාමාජිකයෙක් හැටියට කටයුතු කළා. නමුත් කියන්න කනගාටුයි, අවසානයේදී ශ්‍රී ලංකාවට ලැබුණේ සමඟි පෙරමුණට ඕනෑ ව්‍යවස්ථාවක් මිස, සියලු දෙනාම එකඟත්වයෙන් ලැබුණු ව්‍යවස්ථාවක් නොවෙයි කියන කාරණය එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වාර්තා කියවන විට පෙනෙනවා.

ලංකා සම සමාජ පක්ෂයේ අපි එයට සහභාගි වුණා. අපේ පක්ෂයේ නායකයෙක් වන ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සහෝදරයා ව්‍යවස්ථා ඇමති හැටියට කටයුතු කළා. ඒක වෙනම කාරණයක්. නමුත් මේ කාරණා පිළිබඳව අපි objectively බලන්න ඕනෑ. ආපසු හැරී බලන විට අපට පෙනෙන පාඩම එයයි.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ජන වාර්ගික ප්‍රශ්නය පිළිබඳව හොඳම උදාහරණය අපේ ගරු සිද්ධාර්ථන් මැතිතුමාගේ පියා වන ධර්මලිංගම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවයි. ෆෙඩරල් පක්ෂය වෙනුවෙන් එතුමා ෆෙඩරල් යෝජනාව ඉදිරිපත් කර ඇහුවා, ”අපි ඉල්ලන්නේ ෆෙඩරල් රාජ්‍යයක්. නමුත් ඔබලාට ෆෙඩරල් ක්‍රමය පිළිගන්න බැරි නම්, අඩුම ගණනේ සමඟි පෙරමුණේ පක්ෂ සෑම මැතිවරණයකම කියූ ආකාරයට කච්චේරි ක්‍රමය අහෝසි කර දිස්ත්‍රික් මට්ටමේ සභා පිහිටුවන්න බැරිද?” කියලා.

Sir, that is stated in Column 429 of Volume 1 of the Constituent Assembly Debates of 16th March 1971 and I quote:

“If this Government thinks that it does not have a mandate to establish a federal Constitution, it can at least implement the policies of its leader, S.W.R.D. Bandaranaike, by decentralizing the administration, not in the manner it is being done now, but genuine decentralization, by removing the Kachcheris and in their place establishing elected bodies to administer those regions.”

ෆෙඩරල් පක්ෂය වෙනුවෙන් පෙනී සිට, එහෙත් අතරමැදි යෝජනාවක් හැටියට ඉදිරිපත් කළ දිස්ත්‍රික් මණ්ඩල පිහිටුවීම, දිස්ත්‍රික් සභා පිහිටුවීමේ ඒ යෝජනාවට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. සියලුම පක්ෂ එයට වග කියන්න ඕනෑ. විශේෂයෙන් සමඟි පෙරමුණේ සිටි පක්ෂ, ආණ්ඩු බලයේ සිටි පක්ෂ ඒ ගැන කථා කළේවත් නැහැ; උත්තර දුන්නේ නැහැ; ඒකට ප්‍රතිචාර දැක්වූවේ නැහැ.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපි එදා ධර්මලිංගම් මැතිතුමාගේ යෝජනාවට ප්‍රතිචාර දක්වලා දිස්ත්‍රික් සභා පිහිටෙව්වා නම්, මේ රටේ ඉතිහාසය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. එහෙම නම් ෆෙඩරල් පක්ෂය පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට සහභාගි වීම වැළකී සිටීම සිදු වන්නේත් නැහැ. අවසානයේදී ඔවුන් ව්‍යවස්ථාවට සහයෝගය දුන්නත් නැතත්, ව්‍යවස්ථා ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න හොඳටම ඉඩ තිබුණා‍. අපි ඒ අවස්ථාව නැති කර ගත්තා. හුඟදෙනෙක් සිතනවා, ෆෙඩරල් පක්ෂය ඒ අවස්ථාවේදී නැඟිටලා ගියා කියලා. ඒ අය නැඟිටලා ගියේ නැහැ. ඉන් පසු භාෂාව පිළිබඳ එකඟත්වයක් ඇති කරගන්න උත්සාහ කළත් ඒ එකඟත්වය ඇති කරගන්නත් බැරි වුණා.

ඉන් පසු චෙල්වනායගම් මහත්මයා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදී කිව්වේ මොකක්ද? He did it very apologetically. Walkout එකක්වත් කළේ නැහැ. He said,” We do not want to make a dramatic walkout. But, I want to announce that from tomorrow, the Federal Party will not attend the Constituent Assembly proceedings.” අපි ඒ අවස්ථාව නැති කර ගත්තා. එදා සියලු පක්ෂවලට එකඟ වන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගත්තා නම්, යුද ගැටුම් තත්ත්වයක් ඇති වන්නේ නැතිවාක් මෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මීට වඩා හොඳින් ආරක්ෂා කරගන්නත් පුළුවන්කම තිබුණා. අපි ඓතිහාසික අවස්ථාවක් එක වරක් නැති කර ගත්තා.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හොඳ ලක්ෂණ ගණනාවක් තිබෙනවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන්, ඒ කිරීටයෙන් දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන් කැඩීම, මූලික අයිතිවාසිකම් ඇතුළත් කිරීම, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මූලධර්ම ඇතුළත් කිරීම ආදිය ඉතාම ප්‍රගතිශීලියි. එහෙත්, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාම කේන්ද්‍රගත ව්‍යුහයක් – very centralized structure එකක් – ඇති කළා. රාජ්‍ය සේවය පිළිබඳ බලතල අමාත්‍ය මණ්ඩලය ලබාගත්තා. අධිකරණ සේවයේ පහළ පත් කිරීම් පිළිබඳ අවසාන තීන්දුව පවා අමාත්‍ය මණ්ඩලයට පැවරුණා. එම නිසා එම ව්‍යවස්ථාව තිබුණේ නැහැ, දිගු කාලයක්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙන්න ඉස්සර වෙලා එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට ගිහිල්ලා කිව්වේ, මේ රටේ ජාතික ගැටලුවක් තිබෙන බව පිළිගන්නා බවයි. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳී තිබුණේ නැති නිසා, විසඳාගන්න බැරි වූ නිසා ඔවුන් බෙදුම්වාදයට තල්ලු වී ගිහින් තිබෙනවා කියා පිළිගත්තා, එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයෙන්.

ශ්‍රී ලංකාවේ වාමාංශික නොවන පක්ෂයක් එවැනි ප්‍රකාශයක් කරපු පළමුවැනි අවස්ථාව එයයි. එහෙත් මැතිවරණයෙන් හයෙන් පහක වැඩි ආසන සංඛ්‍යාවක් හම්බ වුණාට පසුව මොකද වුණේ? මැතිවරණයට පෙර ඔවුන් කිව්වා, වට මේස – round-table – සාකච්ඡාවක් පවත්වනවා කියලා. නමුත් වට මේසයක් හෝ සාකච්ඡාවක් හෝ -ඒ දෙකෙන් එකක් හෝ- තිබුණේ නැහැ. 1972දී සමඟි පෙරමුණ කළා වාගේ 1978දී එක්සත් ජාතික පක්ෂය විසින් තමන්ට ඕනෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රට මත පටවනු ලැබුවා. අද අපි ජීවත් වන්නේ එම ව්‍යවස්ථාව යටතේයි.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි? ඇයි නව ව්‍යවස්ථාව සඳහා අපි පෙනී සිටින්නේ? 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධායක ජනාධිපති ක්‍රමය මත පදනම් වූ ව්‍යවස්ථාවක්. ඒ පදනම – ඒ foundation එක – දෙදරා අවසානයි. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් සමහර බලතල පළාත් සභාවලට ගත්තා.

තවත් විශාල contradiction එකක් තිබෙනවා. ඒ තමයි, මධ්‍යම රජයේ කේන්ද්‍රයේ විධායක ජනාධිපති ක්‍රමයක් තිබීම සහ පළාත් සභාවල පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තිබීම. මෙයද විශාල පරස්පරයක්. දහහත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අපි විධායක ජනාධිපති ක්‍රමයේ බලතල ගණනාවක්ම ඉවත් කළා.

පසු ගිය ආණ්ඩුව දහඅටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඒ සියල්ල නිෂේධනය කරලා මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය ලෝකයේ ශක්තිමත්ම විධායක ජනාධිපති ක්‍රමය බවට පත් කළා. එහෙත් ජනවාරි 8වන දා අප ලැබූ ජයග්‍රහණයෙන් පසුව අපට පුළුවන් වුණා, විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සියයට 60කින් 65කින් පමණ ඉවත් කරන්න. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා -ජනාධිපතිතුමා- ඉතාම පැහැදිලි ලෙස ප්‍රකාශ කළා,‍ විශේෂයෙන් මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ අවමඟුල් උත්සවයේදීත් ප්‍රකාශ කළා, එතුමා පෙනී සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමටයි කියලා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපට මේ පරණ අත්තිවාරම උඩ – foundation එක උඩ – අලුත් ව්‍යවස්ථා රාමුවක් හදන්න බැහැ.

ව්‍යවස්ථාවක් කියන්නේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම විතරක් නොවෙයි. අපි ජාතික ගැටලුවට විසඳුමක් සොයන්න ඕනෑ. අලුත් මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි, අලුත් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් අවශ්‍යයි. අපේ මූලික අයිතිවාසිකම් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වලට පමණක් සීමා වෙලායි තිබෙන්නේ. ලෝකයේ හැම තැනම අද තිබෙන ප්‍රවණතාව මොකක්ද? සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වලට අමතරව කාන්තා අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, සමාජ ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කිරීමෙන් ඒවා උසාවි මඟින් ක්‍රියාත්මක කරවාගන්න පුළුවන්. එම නිසා අපට එවැනි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. නිකම්ම නිකම් අලුත් ව්‍යවස්ථාවක් නොව, නවීන ව්‍යවස්ථාවක් අපට අවශ්‍යයි. මේ සඳහා විකල්ප තුනක් තිබෙනවා.

එකක් තමයි, 1972දී වාගේ පාර්ලිමේන්තුවෙන් පිට ගිහිල්ලා රැස් වෙලා ව්‍යවස්ථාවක් හදන එක. අද ඒක කරන්න බැහැ. හැම මැතිවරණයකටම පස්සේ, ව්‍යවස්ථා‍වෙන් පිට ගිහිල්ලා එය කරන්න බැහැ. විශේෂයෙන් දහහත්වන සහ දහනව වන ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධන ඒකමතිකව වාගේ සම්මත වුණාට පස්සේ අපට ව්‍යවස්ථා විරෝධි විධියට කටයුතු කරන්න බැහැ, 1972දී කළා වාගේ.

දෙවන ක්‍රමය තමයි, තේරීම් කාරක සභාවක් තුළින් මේ කාර්යය කිරීම. 1996-2000 වකවානුවේ -චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේ- එවැනි තේරීම් කාරක සභාවක් තිබුණා. මම ඒ කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශයේ උපදේශක හැටියට එයට සහභාගි වුණා. මගේ අත් දැකීම් අනුව කිව්වොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා කවදාවත් තේරීම් කාරක සභා ක්‍රමය නම් පාවිච්චි නොකළ යුතුයි. ඒ ඇයි? එය රැස් වන්නේ ප්‍රසිද්ධියේ නොවෙයි. කාරක සභාව ඇතුළේ මොකද වන්නේ කියා අනික් අය දන්නේ නැහැ. සමහර මන්ත්‍රීවරු පිටතදි එකක් කියනවා; කාරක සභාවට ඇවිත් තව එකක් කියනවා. ඒ ඉදිරිපත් කරන ලේඛන රටට යන්නේ නැහැ, පාරදෘශ්‍ය නැහැ. එය කිසිම විනිවිදභාවයකින් තොර ක්‍රියාවලියක්. එම නිසා තමයි, මෙවර මේ යෝජනාවට මම සම්පූර්ණයෙන් සහයෝගය දෙන්නේ. ඒ වාගේ කාමරයක රැස්වී, තේරීම් කාරක සභාවක් තුළින් හදන ව්‍යවස්ථාවක් නොවෙයි මෙවර සැකසෙන්නේ. මෙය අප 225දෙනාම පාර්ලිමේන්තුවේ මේ සභා ගර්භයේ ‍පූර්ණ කාරක සභාවක් හැටියට රැස් වෙලා හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්; ඉතාම විවෘතව, ඉතාම විනිවිදභාවයෙන් යුතුව කරන කාර්යයක්.

මීට සමාන්තරව මහජන අදහස් ලබාගන්නා කමිටුව – Public Representations Committee එක – දැනටම ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා; හැම දිස්ත්‍රික්කයකටම යමින් මේ ගැන මහජන අදහස් ලබාගන්නවා. ඒ වාගේම පිට රටවල සිටින ලාංකිකයන්ට පවා වීඩියෝ තාක්ෂණය මඟින් මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදෙන්න යනවා. අප මේ හදන ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය කථා කරන හැම වචනයක්ම හැන්සාඩ් වාර්තාවේ පළ වෙනවා. මේවා රූපවාහිනියෙන් දැක ගන්න, ගුවන් විදුලියෙන් අසන්න මුළු රටටම අවස්ථාවක් ලැබෙනවා. ඉදිරිපත් කරන හැම ලේඛනයක්ම හැන්සාඩ් වාර්තාවට යනවා. එම නිසා ඉතාම පාරදෘශ්‍ය ක්‍රමයක් තමයි මේ යෝජනා කර තිබෙන්නේ. මීටත් වඩා හොඳ ක්‍රමයක් මට නම් පෙනෙන්නේ නැහැ. එම නිසා තමයි යෝජනා කර තිබෙන මෙම ක්‍රමයට මම සම්පූර්ණ සහයෝගය දක්වන්නේ.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අප පත් කරන මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ගැන මම තව දුරටත් විස්තර කරන්නම්. අපේ මන්ත්‍රීවරු 225දෙනාම කාරක සභාවක් හැටියට රැස් වෙනවා. සියලුම පක්ෂවල නියෝජිතයන් ඇතුළත් වන පරිදි 21දෙනෙකුගෙන් යුත් මෙහෙයුම් කාරක සභාවක් – Steering Committee එකක් – තිබෙනවා. එය විසින් තමයි ප්‍රධාන කටයුත්ත කරන්නේ. අප 225දෙනාම මූලික සාකච්ඡාවක් කරලා, අනුකමිටු පත් කරලා, ඒ අනුකමිටුවල වාර්තා ලබාගෙන, මහජන අදහස් ලබාගන්නා කමිටුවේ වාර්තාවත් ලබාගෙන, පසුව මෙහෙයුම් කාරක සභාව – Steering Committee එක – මුල් කෙටුම්පතක් ඉදිරිපත් කරනවා. ඒ විස්තර සියල්ල ඉතාම දීර්ඝ වශයෙන් මෙම යෝජනාවේ සඳහන් කර තිබෙනවා. ඒ මුල් කෙටුම්පත නැවත සාකච්ඡා කරනවා. ඉන් පසුව සාමාන්‍ය විවාදයක් – general debate එකක් – තිබෙනවා. එයින් පසුව ඕනෑම මන්ත්‍රීවරයෙකුට සංශෝධන යෝජනා කරන්න පුළුවන්. මේ විධියට සම්පූර්ණ විවාදයකින් පසුව එම මෙහෙයුම් කාරක සභාව නැවත රැස් වෙලා, අර අදහසුත් ලබාගෙන, සංශෝධනත් ලබාගෙන, ඉන් පසුව කෙටුම්පතක් ඉදිරිපත් කරනවා. ඒ කෙටුම්පත පාර්ලිමේන්තුවට -අපේ පූර්ණ කාරක සභාවට- ඉදිරිපත් කරලා, ඒ කෙටුම්පතේ වගන්තියෙන් වගන්තියට සාකච්ඡා කරනවා කියා මේ යෝජනාවේ බොහොම පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ විධියට වගන්තියෙන් වගන්තියට සාකච්ඡා කරලා, තුනෙන් දෙකක ඡන්දයක් ලබාගන්න පුළුවන් කෙටුම්පතක් හදන්න අප උත්සාහ කරනවා. ඉන් පසුව අපේ කාර්ය භාරය අවසන් වෙනවා.

එතැනින් පසුව කැබිනට් මණ්ඩලය ඒ කාර්ය භාරය පවරා ගන්නවා. කැබිනට් මණ්ඩලය එම කෙටුම්පත සම්මත කොට, තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත කළ යුතු පනත් කෙටුම්පතක් හැටියට සහතික කරනවා. ඉන් පසුව එය ගැසට් පත්‍රයේ පළ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර තිබෙන පරිදි එම පනත් කෙටුම්පත පළාත් සභා සියල්ලටත් යවනවා. ඉන් පසු යම් කෙනෙකුට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඊට විරෝධය දක්වන්න පුළුවන්. නමුත්, ජනමත විචාරණයකින් සම්මත කරනවා කියා සහතික කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ ගැන ක්‍රියා කරන්න බලයක් නැහැ කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. නමුත්, ඕනෑම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තහනමක් නැහැ. ඉන් පසු එය නැවත විවාද කරලා, වෙනදාට මේ ගරු සභාවේ අප සාමාන්‍ය පනත් කෙටුම්පතක් සම්මත කරනවා වාගේ, නැවත වගන්තියෙන් වගන්තිය සාකච්ඡා කරලා, තුනෙන් දෙකක ඡන්දයකින් එය සම්මත කර ගන්නවා. ඉන් පසුව ජනමත විචාරණයකින් එය අනුමත කර ගන්නවා. ඉතින් මීටත් වඩා පාරදෘශ්‍ය, මීටත් වඩා ජනතාව සහභාගි කරගන්නා, මීටත් වඩා සියලුම පක්ෂ සහ ජන කොටස් සම්බන්ධ කරගන්නා ව්‍යවස්ථා ක්‍රියාවලියක් මට නම් යෝජනා කරන්න බැහැ.

හේතු දෙකක් නිසා සමහර අය මේ කටයුත්තට විරුද්ධ වෙන්න පුළුවන්. සමහරු සම්පූර්ණයෙන්ම දේශපාලන හේතු නිසා විරුද්ධ වනවා. තවත් සමහරු මේ විවාදයේදී මතුවෙන්න ඉඩ තිබෙන කාරණා පිළිබඳ ස්ථාවරයන් ගන්න කැමැති නැති නිසා මේ කාර්යයට සහයෝගය දෙන්නේ නැහැ.

අප මේ කාර්යය පටන් ගත යුත්තේ විවෘත මනසකින්. සියලුම ප්‍රශ්න – to say in English, issues are to be on the table. අපට අපේ පරමාදර්ශ තිබෙනවා. වාමාංශිකයෙකු හැටියට මගේ පරමාදර්ශය සමාජවාදයයි. මිශ්‍ර ආර්ථික ක්‍රමයක් සඳහා පෙනී සිටින සමහර පක්ෂ තිබෙනවා, ධනපති ක්‍රමය දිගටම රැගෙන යන්නට කැප වුණු පක්ෂ තිබෙනවා, ඒකීය රාජ්‍ය තියා ගැනීමට කැප වුණු පක්ෂ තිබෙනවා, ෆෙඩරල් ක්‍රමයකට කැප වුණු පක්ෂ තිබෙනවා. අපි සියලු දෙනාටම එකඟවෙලා, අවසාන වශයෙන් එකඟත්වයකට එන්නට ඉඩ තිබෙනවා. Finally, it is a compromise. 1972, 1978 කළා වාගේ පටවන්නේ නැතිව අපට අවශ්‍ය වන්නේ සියලු දෙනාම එකඟ වන compromise constitution එකක්; consensus constitution එකක්. සියලු දෙනා සියලුම වගන්තිවලට එකඟ වෙන්න වෙන්නේ නැහැ. සමස්තයක් වශයෙන් ගත්තොත් මේ රටේ ජනතාවට එකඟ වෙන්නට පුළුවන්, මේ රටේ සියලු දේශපාලන පක්ෂවලට එකඟ වෙන්න පුළුවන් අවස්ථාවක් මේක.

මෙය ස්වර්ණමය අවස්ථාවක්ය කියා මම කියන්නේ තවත් හේතුවක් නිසයි, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. 1972 සමඟි පෙරමුණට ‍තුනෙන් දෙකක බලයක් තිබුණා. 1978 එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් තිබුණා. අද එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් තියා සරල බහුතරයක්වත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සරල බහුතරයක්වත් නැහැ. නමුත්‍ මේ පක්ෂ දෙක එකට වැඩ කරනවා. ඒ වාගේම ‍අනෙකුත් පක්ෂ වන දෙමළ ජාතික සන්ධානය, ඊපීඩීපී පක්ෂය, විරුද්ධ පක්ෂයේ ඉඳ ගන්නා වෙනත් පක්ෂවල සහයෝගය ඇතිව මේ ආණ්ඩුවට තුනෙන් දෙකක සහයෝගයක් තිබෙන බව අප දන්නවා. අය වැය ලේඛනය දෙවනවර සහ තුන්වනවර කියවීම කියන අවස්ථා දෙකම අපට තුනෙන් දෙකකින් සම්මත කර ගන්න ලැබුණා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුනෙන් දෙකකින් සම්මත කිරීමට තිබෙන ඉඩකඩ ඉතාමත්ම වැඩියි. නමුත් අප කළ යුත්තේ අපේ ඡන්දවලින් පමණක් අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන එක නොවෙයි. අපට තවත් සහයෝගය ලබා ගන්න අප උත්සාහ කළ යුතුයි. අවසානයේ හැම දෙනාම ඡන්දය ලබා දෙන්නේ නැහැ. නමුත් හොඳ සාකච්ඡාවකින් පසුව පුළුවන් තරම් වැඩි ප්‍රමාණයකගේ සහයෝගය ලබා ගත යුතුයි. එවැනි සාකච්ඡාවකින් තමයි ජනතාව දැන ගන්නේ, විරුද්ධ වන අය කුමන පටු දේශපාලන හේතු නිසාද එයට විරුද්ධ වන්නේ කියා. ඒ නිසා තමයි ඉතාමත් පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය වන්නේ.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ අවසරය ඇතිව අවසාන වශයෙන් දේශපාලන කරුණක් කියා මම මගේ කථාව අවසන් කරන්න කැමතියි. මේ පාර්ලිමේන්තුව තුළ ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායම නියෝජනය කරන්නේ මමයි. ලංකා සමසමාජ පක්ෂයේ හිටපු අපේ නායක (ආචාර්ය) එන්.‍එම්. පෙරේරා මැතිතුමා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා 1978 සිට පෙනී සිටියා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන දුර්වලකම් කියා දුන්නා. පෙර දැක්මක් ඇතිව – අංජනමක් බලනවා වාගේ – කිව්වා, මෙන්න මේ වාගේ දේවල් තමයි වෙන්නේ කියලා. ඒ ආකාරයට බොහෝ දේවල් සිදු වුණා.

ඊට අමතරව අපට අවුරුදු ගණනාවක අත්දැකීම් තිබෙනවා. අපට නැවත ගැටුම්කාරී තත්ත්වයකට යන්නට බැහැ.‍ මේ ජාතික ගැටලුවට අපට විසඳුමක් ඕනෑ. සියලුම ජන කොටස් නියෝජනය කරන අපට විසඳුමක් ඕනෑ. දීර්ඝ කාලීන, කල් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා සියලුම දේශපාලන පක්ෂවල වාගේම සිංහල, දෙමළ, මුස්ලිම්, කඳුකර දෙමළ සහ අනිකුත් ජන කොට්ඨාස නියෝජනය කරන සියලු දෙනාටම පිළිගන්නට පුළුවන් එකඟතාවක් අප ලබා ගත යුතුයි.

මම කලිනුත් කිව්වා වාගේ අපට නවීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන්න ‍‍‍වේවි. මම නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්න ඕනෑ නම් එම සංශෝධන කළ යුතුයි. නමුත් අප පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනෑ, කල් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට. කල් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා අපට හිතන්න පුළුවන්, නවීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපට අවශ්‍යයි. අපට අවශ්‍ය වෙන්නේ නිකම්ම නිකම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා පෙන්වන්න එක ලේඛනයක් නොවෙයි. අපට අවශ්‍ය වන්නේ අනාගත පෙර දැක්මක් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. We need to make a Constitution, not with a blank stare at the future, but with a futuristic vision. අනාගත ඉදිරි දැක්මක් ඇතිව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නට අප සියලු දෙනාටම වාසනාව ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.

*පාර්ලිමේන්තුව අමතමින් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කරනු ලැබූ ප්‍රකාශය

Print Friendly

විමතිකයන් තුළ විමතිකයන්

$
0
0

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව 2001 දී බලයට ඇවිත් එල්ටීටීඊ සංවිධානය හා සටන් නැවැත්වීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ විට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකරට කියන්නට මැසිවිල්ලක් තිබුණි. ඒ අනුව ඔහු පැවසුවේ එල්ටීටීඊය හා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර කල්පවත්නා සාමයකට අඩිතාලම දැමූවත් දකුණේ දේශපාලන කණ්ඩායම් හා එකගතාවකට එන්නට ආණ්ඩුවට අවශ්‍යතාවක් නොමැති බවයි. එවකට පැවැති ආණ්ඩුවට එල්ල වූ ප්‍රබලම චෝදනාවක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සන්නිවේදන උපකරණ ලබාදීමේ සිද්ධියේ වූ දේශපාලන නිමිත්තට පවා ඩිව් ගුණසේකර සිටියේ පක්ෂවයි. එහෙව් ඩිව් ආණ්ඩුව සම්බන්ධයෙන් එල්ල කළ මේ මැසිවිල්ලට දේශපාලනික පදනමක් තිබුණි. ඔහු එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ පවා හමුවී සාම ක්‍රියාවලියට වමේ සහාය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිය ද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි.

එක්සත් ජනතා නිදහස් සංධානයේ වත්මන් විමතික කණ්ඩායම තුළ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ද සිටී. එහෙත් ඒ කණ්ඩායම තුළ ශක්තිමත් දේශපාලන බලයක් ලැබී ඇත්තේ ඩිව් ගුණසේකරලාට නොවේ. එසේම ලංකා සමසමාජ පක්ෂයටවත් නොවේ. වාසුදේව නානායක්කාරට විමතික කණ්ඩායම තුළ යම් බලයක් තිබුන ද එය පදනම් වී ඇත්තේ රාජපක්ෂ සංස්කෘතිය ආරක්ෂා කිරීමට ඔහු දක්වන උනන්දුව මත හා ජාත්‍යන්තරවාදයෙන් පල්ලම් බැස දෝතින් තුරුල් කර ගත් වර්ගවාදය මත ඔහු ක්‍රියාකාරීවන තරමටය. ඒ හැරෙන්නට වාසුදේවට ද ඒ තුළ ශක්තිමත් පදනමක් නොමැති බව පෙනෙන්නට තිබේ.

එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික කණ්ඩායම දේශපාලනිකව ස්වාධීන ආස්ථානයක් රැකගෙන ඇත්තේ කොන්දේසි විරහිතව රාජපක්ෂ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ නොතිත් ආශාව මතිනි. ඒ තුළ බලය තහවුරු කරගෙන ඇත්තේ සංධානයේ ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්වත් නොවේ. විමතිකයන් ශක්තිමත් වෙමින් දේශපාලනය උණුසුම් කරන්නේ වර්ගවාදී ආන්තිකයන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ හා උදය ගම්මන්පිලගේ ක්‍රියාකාරීත්වය මතිනි.

Vasu Dinesh Wimal Udayaරාජපක්ෂ සංස්කෘතිය මුළුමනින්ම ගොඩනැගුනේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය ගුරු කර ගනිමිනි. දේශපාලන ව්‍යාපෘතියක් ස්වෝත්තමවාදය මත ක්‍රියාකාරී වනවිට අනෙකුත් වාර්ගික කණ්ඩායම් ආන්තිකකරණයට ලක්වීම අහඹුවක් නොවේ. ඒ අනුව පදනමක් ලෙස රාජපක්ෂ සංස්කෘතිය විසින් ශක්තිමත් කළේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයයි. ඒ තුළ දෙමළ, මුස්ලිම් හා වෙනත් ජනවාර්ගික කණ්ඩායම් සමාජයේ පසුපසට තල්ලු කෙරුණි. අඩන්තේට්ටම් වලට ලක් කෙරුණි. නොසලකා හැරීමට ලක් කෙරුණි.

ස්වෝත්තමවාදය රාජ්‍යයේ පදනම වූ විට ඒ රාජ්‍යය මුළුමනින්ම විනාශය කරා යොමුවීම ස්වභාවිකය. පළමුව පීඩිත ජාතිකත්වයන් අර්බූදයට ලක්වන අතර ඒ නිසාම එහි අනිවාර්ය වන්නේ පීඩක ජාතිකත්වය ද අර්බූදයට තල්ලුවීමයි. ඒ අනුව රාජපක්ෂ යුගය තුළ දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයන් පළමුව අර්බූදයකට තල්ලු වූ අතර එහි කූටප්‍රාප්තිය ලෙස පසුව සිංහල ජාතිකත්වය ද අර්බූදයකට තල්ලු කෙරිණි. එහෙත් ස්වෝත්තමවාදීන්ට ඒ අර්බූදයන් ග්‍රහණය කර ගැනීමට හැකියාවක් නොමැතිවීම වර්ගවාදයේ නිසග ලක්ෂණයකි.

රට විනාශයට තල්ලු කළ රාජපක්ෂ සංස්කෘතිය දේශපාලනික දෘෂ්ඨියක් ලෙස තෝරා ගත්තේ සිංහලබෞද්ධ ස්වෝත්තවාදය වුවද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය කේන්ද්‍රගත කර ගත්තේ නීත්‍යානුකූල නොවන ආර්ථිකයක් මතිනි. ඒ තුළ අනීතික ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය ශක්තිමත් වූ අතර ප්‍රාග්ධනය ගොඩ ගසා ගැසීම කරගෙන යෑමට තල්ලුවක් ලැබුණි.ගෝලීය ප්‍රාග්ධනයේ තාර්කිකය වන කළු ආර්ථිකයක් රට තුළ ගොඩ නැගීම හා එමගින් ව්‍යාපාරික වශයෙන් ශක්තිමත් ප්‍රජාවක් බිහිවීම රාජපක්ෂ යුගය තුළ දක්නට ලැබුණි. ඒ අනීතික ආර්ථිකයේ ආරක්ෂාව බවට පත් කර ගත්තේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයයි.

පැහැදිලිව නම් කළ හැකි මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට හැරෙන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ රාජපක්ෂ සංස්කෘතියේ දේශපාලන නියෝජනයෙන් ඉවත් වන්නට ශක්තිමයක් තිබේ. ඒ අනුව රාජපක්ෂ සංස්කෘතියේ ව්‍යාපාරික සමාජ තීරුව නියෝජනය කිරීම තමන්ගේ අත්හළ නොහැකි රාජකාරිය බවට පත්කරගෙන ඇත්තේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන හා උදය ගම්මන්පිළ පමණක්ය කීවොත් එය දෝෂසහිත නොවේ. වෙනත් වචනයන්ගෙන් කියනවා නම් රාජපක්ෂ සංස්කෘතියේ අපූරු දායාදය වූ පාදඩ ආර්ථික ක්‍රියාකාරීත්වය හා එමගින් ශක්තිමත් වූ පාදඩ සමාජ තීරුව නියෝජනය කරන්නේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන හා උදය ගම්මන්පිළ පමණි.

ඩිව් ගුණසේකරට රාජපක්ෂ සංස්කෘතියේ පාදඩ බලවේගයන් ආරක්ෂා කිරීමට අවශ්‍යතාවක් තිබිය නොහැක. තිස්ස විතාරණට රාජපක්ෂ සංස්කෘතියේ පාදඩ බලවේගයන් ආරක්ෂා කිරීමට අවශ්‍යතාවක් තිබිය නොහැක. වාසුදේව නානායක්කාරට පවා රාජපක්ෂ සංස්කෘතියේ පාදඩ බලවේගයන් ආරක්ෂා කිරීමට අවශ්‍යතාවක් තිබිය නොහැක. මේ දේශපාලන බලවේගයන් තුනම එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික කණ්ඩායම තුළ රැදී සිටින්නේ ඔවුන්ට දේශපාලන අනන්‍යතාවක් ලබාදීමට සම්මුතික ආණ්ඩුව උනන්දු නොවීම නිසා යැයි කීවොත් එය නිවැරදි ය.

ඩිව් ගුණසේකර 2002 දී නැගූ මැසිවිල්ල අදටත් එසේම වලංගු වන්නේ යැයි හැගෙන්නේ විමතික කණ්ඩායම දේශපාලනිකව කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව දක්වන නොහැකියාව දැකීමෙනි. විරුද්ධ බලවේගයන් කළමනාකරණයේ ලා වත්මන් ආණ්ඩුවට ඇත්තේ සම්ප්‍රදායික හා යල් පැන ගිය ක්‍රමවේදයකි. ආණ්ඩුව විසින් ඔවුන් හා ගනුදෙනු කළ යුත්තේ පැවැති ආණ්ඩුවේ දූෂණ හා අක්‍රමිකතාවන් අවුස්සමින් “ඔවුන්ගේ කට වැසීමට” තැත් කිරීමෙන් නම් එය ඉතා අදූරදර්ශී උපක්‍රමයක් බව පැවසිය යුතුය. මූලෝපායික වශයෙන් ශක්තිමත් වන්නේ නම් ආණ්ඩුව මේ මොහොත තුළ කළ යුත්තේ විමතික කණ්ඩායම සමග දේශපාලනික ගනුදෙනුවකට ප්‍රවේශය සකස් කර ගැනීමයි.

විමතික කණ්ඩායම මුළුමනින්ම සමරූපී නොවන දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවන්ගෙන් සමන්විත වන්නකි. එහි අනන්‍යතාව වී ඇත්තේ එකිනෙකට පරස්පර දේශපාලන මත දැරීමත් එහෙත් රාජපක්ෂ සංස්කෘතිය තුළ හීලෑ වී සිටීමත් ය. ඩිව් ගුණ්සේකර මෙරටේ ජාතික ප්‍රශ්නයක් පවතින බව පිළිගන්නෙකි. එහෙත් විමල් වීරවංශට පවතින්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පමණකි. දිනේෂ් ගුණවර්ධනට අනුව වැරදි කළ යුද හමුදා භටයන්ට දඩුවම් කිරීම රණවිරුවන්ගෙන් පළි ගැනීමකි. එහෙත් වාසුදේව නානායක්කරට අනුව නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන ය. එවැනි දේශපාලනික කණ්ඩායමක් කළමනාකරණය කිරීමට සුමට ක්‍රමවේදයක් යෝග්‍ය නොවන බව සක්සුදක් සේ පැහැදිලි කරුණකි.

සම්මුතික ආණ්ඩුවේ දේශපාලන දැක්ම සමන්විත වී ඇත්තේ යහ පාලනය පදනම් කර ගනිමිනි. නීතියේ ආධිපත්‍ය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ පුළුල් කර ගැනීම ද එහි ඉලක්කයන් වේ. එසේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජාතික ප්‍රශ්නයට කල් පවත්නා වූ විසදුමක් ගෙනෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ද අරමුණු කර ගැනේ. එවැනි දේශපාලන සංස්කෘතියකට එරෙහිවීමට විමතික කණ්ඩායමේ බොහෝ අයට පහසු කරුණකි.

රාජපක්ෂ සංස්කෘතියේ පාදඩ ව්‍යාපාරික ප්‍රජාව හා පාදඩ සමාජ තීරුව නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධනට විමල් වීරවංශට හා උදය ගම්මන්පිළට සම්මුතික ආණ්ඩුවේ දේශපාලන අභිලාශයන් හා ඒකමිතික වන්නට අපහසුවීම තේරුම් ගත හැක්කකි. ඔවුන් තවදුරටත් දේශපාලනය කරන්නේ පැවැති රාජපක්ෂ සංස්කෘතිය ඒ ආකාරයෙන්ම යළි පිහිටුවා පාදඩ ව්‍යාපාරික ප්‍රජාව ශක්තිමත් කිරීමට ය. ඒ අර්ථයෙන් ඔවුන් හා දේශපාලනික ගනුදෙනුවකට යෑම අර්ථවිරහිත බව තේරුම් ගත හැකිය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික සංධානය එක්සත් දේශපාලන බලවේගයක සංධාන ගතව සිටී. මේ කණ්ඩායම මහින්ද රාජපක්ෂ හා දේශපාලනිකව සංධාන ගතව සිටිය ද ඔවුන්ගේ දේශපාලනික පදනම වන්නේ මහින්ද සංස්කෘතියේ පාදඩ ව්‍යාපාරික හා සමාජ බලවේගයන් නොවේ. ඒ නිසා රාජපක්ෂ සංස්කෘතියෙන් වෙන්වීමේ දී ඔවුන්ට ඇත්තේ අනන්‍යතාව පිළිබද ගැටළුවක් පමණි.

විමතිකයන් නියෝජනය කරන්නා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතුරින් ද පාදඩ ව්‍යාපාරික බලවේගයන් නියෝජනය නොකරන මන්ත්‍රීවරුන් තවදුරටත් රාජපක්ෂ සංස්කෘතිය ආරක්ෂා කිරීම අර්ථවිරහිත ක්‍රියාවකි. ඔවුන්ට රාජපක්ෂ සංස්කෘතියෙන් ගැලවීමට නම් තව්දුරටත් පවතින්නේ අනන්‍යතාව පිළිබද ගැටළුවක් පමණි. සම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර බලවේගයන්ට ද දේශපාලනිකව ආමන්ත්‍රණය කරන්නේ නම් ඔවුන් කළමනාකරණය කර ගැනීම අපහසු කරුණක් නොවේ.

රාජපක්ෂ පාලනය පවතින තාක් කල් බොහෝදෙනෙක් සිතුවේ ආණ්ඩු වෙනසක් කිරීම බොහෝ අපහසු කරුණක් බවය. එහෙත් සිංහලබෞද්ධ සමාජ තීරුවේ සැලකිය යුතු කොටසකගේ ද එකගතාව ඇතිව පැවැති පාලනය වෙනස් කරන්නට සමාජය ශක්තිමත් වුණි. තවදුරටත් සමාජ මතවාදයන් හා අනන්‍යයව ගනුදෙනු කිරීමට තරම් ආණ්ඩුව බියට පත්විය යුතු නැත. ජනවාරී අටවැනිදා ශක්තිමත් වූ දේශපාලන ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් ජනවිඥාණය වෙනස් කරන්නට ආණ්ඩුවට හැකියාවක් තිබිය යුතුය.

එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික කණ්ඩායම ශක්තිමත් වන්නේ ආණ්ඩුව ජනවිඥාණයට බයෙන් දේශපාලනික තීන්දු ගන්නා විට ය. ජනවාරී අටවැනිදා ශක්තිමත් වූ දේශපාලන පෙරලිය නියෝජනය කළේ රාජපක්ෂ සංස්කෘතියේ අනෙකා ය. එසේනම් සම්මුතික ආණ්ඩුව මහන්සි විය යුත්තේ සමාජ ප්‍රතිසංස්කරණයන්හි දී දේශපාලනික අනෙකා වන්නට මිස රාජපක්ෂ සංස්කෘතියට බිය වන්නා වූ එහි ගැත්තෙකුවීමට නොවේ. ඒ සදහා වූ ශක්තිය ආණ්ඩුව විසින් ඇති කර ගත යුතුය.

එහෙත් සම්මුතික ආණ්ඩුව මුහුණදෙන බරපතලම අර්බූදය වන්නේ ජනවිඥාණය ආමන්ත්‍රණය කිරීමට තරම් ශක්තිමත් යාන්ත්‍රණයක් ඊට නොවීමයි. ඒ තත්ත්වය තුළ විරුද්ධ දේශපාලනික බලවේගයන් කළමනාකරණය කර ගැනීමේ මූලෝපායික ක්‍රමයන් කෙරෙහි ආණ්ඩුව දක්වන උනන්දුව දුර්වල ය. ආවේගවාදීව බැන වැදීම, රාජපක්ෂ යුගයේ දෑ සිහිපත් කරමින් “කට වැසීමට” තැත් කිරීම හා උපහාසයට ලක් කිරීම තවදුරටත් වලංගු දේශපාලනික උපක්‍රමයන් නොවන බව ආණ්ඩුව තේරුම් ගෙන නොමැත. ඒ නිසා උතුර හා සංහිදියාවකට යන්නට තැත් කරන්නේ දකුණ හා සංහිදියාවකට තැත් නොකරන ආණ්ඩුවක් විසින්ය යන පණිවුඩය සමාජ ගත කරන්නට සම්මුතික ආණ්ඩුව මහන්සි නොවිය යුතුය.

Shan.info1978@gmail.com

Print Friendly

මේ අඳින්නේ –අන්දවන්නේ වව්ලාගේ මගුල් ගෙදර යන්නද

$
0
0

කුමාරගේ හෙක්ටර් පෙරේරා –

හෙක්ටර් පෙරේරා

හෙක්ටර් පෙරේරා

ගෝලීය වෙළඳපොළ මිහිතලය මත බිහි විය යුතුමය. ගෞරවණීය ජීවිතයක් නිවහල් මරණයක් මිනිස් වර්ගයාට එතෙක් මෙතෙක් නොමැත. නමුත් අත්විඳින්නට සිදුව තිබෙන අහේතුව නිෂ්පාදකයාත් වෙළෙන්දාත් පාරිබෝගිකයාත් ප්‍රතිවිරෝධී ශක්තීන් වශයෙන් වෙන්ව පැවැතීමය. පාරිබෝගිකයාගේ මිළ දී ගැනීමේ ශක්තිය දුර්වල කරවන ධනවාදී මූල්‍ය කළමණාකරනය මානව සංහතියේ අපේක්ෂා භංග කරමින් සිටී.

පාරිබෝගිකයෙක් සහ වෙළඳ පොළක් නැති ඉතිහාසයක තිබුණේ ප්‍රාථමික පරිභෝජනයක් පමණි. වෙළඳාම සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් අනිවාර්යක්වූ විට අංකුර පාරිබෝගිකයෙක් බිහි කරමින් ක්‍රමයෙන් හට ගත් ප්‍රාථමික වෙළඳ පොළක් පූර්ව ධනවාදී යුගයන්හීදීද අපට දැක ගතහැක. ‍තෝරාගත් වෙළඳ බෝග සහ අප්‍රධාන භාණ්ඩ කිහිපයක ප්‍රවර්ධනය හැරුණ කොට සාපේක්ෂ වෙළඳ පොළ ආකෘතියක් ලෝකයට හඳුන්වාදීම යටත් විජිත යුගයේදීද මග හැරී ගියේය. අම්මා පාවිච්චි කළ මහන මැෂිම දියණියටත් දියණියගේ දියණියටත් වශයෙන් පරිබෝජන වටිනාකම පරම්පරා ගනනාවක් පුරා එක තැන නතර වී තිබුනේය. තවත් මහන මැෂිමක් එකතු කෙරුනේ නැත. තාත්තා පරිහරණය කළ උපකරණය හෝ භාණ්ඩය පුතාගේද ජීවිත මෙවලම බවට යටත් කළ ප්‍රාථමික කුල ක්‍රමයත් ජාතිකවාදයත් ආගමිකවාදයත් කාර්මික විප්ලවයෙන් සියවස් කීපයකට පසුද ලොව පුරා සමහර තැනවල තවමත් පවතියි. යම් දවසක අන්තර්ජාතික වෙළඳ පොළ මහ පාරට පැමිණියේ නම් ඒ පැමිණියේ නාස්තිකාර ජාවාරමක් ලෙස හෝ වෙළඳ පොළසූරා කෑමේ යෝධ යාන්ත්‍රණයක් හැටියටය.Agriculture

ඡායාරූපය ලක්‍ රුවන් වන්නිආරච්චි – විදේශ වාර්තාකරුවන් ගේ සංගමයේ ෆේස්බුක් අඩවියෙනි

ධනවාදී ප්‍රාග්ධනයේ ආරම්භක යුගය වෙළඳපළ හැදී වැඩී පෝෂණය වන්නට නිරෝගී ගර්භාෂයක් මෙන් විය. නමුත් පසුව එළැඹුන එහි හොඳම කාලයේදී ධනවාදය ක්‍රමයෙන් කොල්ලකාරී වෙමින් වඩ වඩාත් ම්ලේච්ච වෙමින් ප්‍රාග්ධනය හිංසන අවියක් කරගත්තේ මිහිමත බිහිවන්නට විළිරුදා දුන් නිවහල් වෙළද පොළ වහාම ගබ්සා කොට දමමිනි . ගෝලීය වෙළඳ පොළ යනු ධනවාදී ප්‍රාග්ධනයට අනුව අධිරාජ්‍යවාදී මූල්‍ය යාන්ත්‍රනයමය. ඒ සඳහා අවශ්‍ය තරමට වැඩියෙන් උදාහරන ලෝකයා ඉදිරි පිට ඇත. ඛනිජ තෙල් සහ දියමන්ති අපනයනයකරුවෙකි නයිජීරියාව. නමුත් ඒ සඳහා වන අන්තර් ජාතික වෙළඳපළේ පංගුව දියමන්ති සහ ඛනිජ තෙල් උදුරා ගෙන යන ධනවාදී ප්‍රාග්ධන හිමිකාරීත්වයටය. ඝානා, මාලි, බුකීනා කැෆේ අන්ත දුගී රටවල්ය. ආර්ජන්ටිනාවද සරු රටක් නොවේ. නමුත් නිපදවන්නේ රත්තරංය. ගොඩ ඒමක් මේ රටවලට නැත්තට නැති කරමින් මේ ධන සම්පත පොදි ගහ ගනිමින් සිටින්නේ ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මගිනි. ඉරාකය සහ ලිබියාව සුනු විසුනු කළේ ඛනිජ තෙල් සම්පත උදුරා ගන්නටය. ඒ ඛනිජ තෙල් වෙළඳපළම සිරියාව මරණයේ අඩවියක් කරමින් තිබේ..

වෙළඳපළ ප්‍රාණ ඇපයට ගැනීම ධනවාදී ප්‍රාග්ධනය විසින් කිසිදා අත් නොහරින්නකි. යටත් විජිත රටවලට ඊනියා දේශපාලන නිදහස දුන්නාය කියන්නේ ආර්ථික වශයෙන් නව යටත් විජිතවාදයක් බිහි කර ගනිමින් බව දැන් හොඳටම පැහැදිළිය. අම්මා මුත්තා කාලෙවත් රට මෙච්චර ණය වී නැතැයි කියන්නට අපට සිදුවී ඇත්තේ එබැවිනි. ඖෂධ සහ කෘෂි රසායන මා‍ෆියාව ලෝකයම ලෙඩ කරමින්ද යුධ අවි ජාවාරම්කරුවන් ලෝකයම තනි සොහොන් යායක් කරමින්ද අන්තර්ජාතික වෙළඳ පොලේ වැඩිම පංගුකාරීත්වය හිමිකරගෙන සිටී. තුවක්කුවක් පොලිස් නිළධාරියා අතට දුන්නද තුවක්කුවක් නිපදවීමේ මුක්තිය ඒ පොලිස් නිළධාරියා අයත් රටට නැත. ඇත්ත තත්වය නම් කාර්මික රටක් ලෙස අන්තර් ජාතික වෙළඳ පොළේ පංගුවක් අත් පත් කර ගැනීම අපට අවුරා ඇත. කාර්මික විප්ලවයේ ජයග්‍රහණය මිහිතලය පුරා පැතිර යාම වලකාලමින් ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් හරහා ධනවාදී ප්‍රාග්ධනය ප්‍රතිවිප්ලවය සිදු කළේය .

ලෝකයම වේදනාකාරී ඉරණමකට යටත් කළ අපකීර්තිමත් ජාත්‍යන්තර වෙළඳ පොළ ගැන අඩුම බරින් කථා කළොත් එසේය. නොපවතින – යෝජිත හෝ කතිකාමය ගෝලීය වෙළඳ පොළ මේ අනුව මට නම් විෂුවලයකි. රටවල් යටත් කොට කීකරු කොට තබා ගැනීමට භාණ්ඩ වෙළඳ පොළ සහ මූල්‍ය වෙළඳ පොළක් ධනවාදී ප්‍රාග්ධනය සඳහා දැනටමත් පවතී. GSP + දීමත් උදුරා ගැනීමත් නැවත දීමට කේවල් කිරීමත් වඩ වඩාත් වටහා යුත්තකි. අපගේ අකීකරුකම කුමක් වුවත් යුරෝපීය රටවල් අපගේ මාලු මිළදී ගැනීම අතහැර දැමුවේ දඬුවමක් වශයෙනි. ජාත්‍යන්තර වෙළඳ පොළ කිට්‍ටු වූ යම් දුර්වල රටක් නම් සම්බාධක ගැන බියක් නිතර සිහි තබා ගත යුතුය. දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන කීකරුකමට සිටිය යුතුය. රුසියාව බිය නැත. ඉරානය බිය නැත. බෙහෙවින් ශක්තිමත් ඔවුනගේ යැපීම් මාර්ග බිඳ දැමිය හැකි නොවේ. දශක ගනනාවක් තිස්සේ ඇමරිකානු ආර්ථික සම්බාධක පැවැතියද දරා ගැනීමේ හැකියාව කියුබාවට තිබිණ. ගෝලීය වෙළඳ පොළ පිළිබඳ විෂුවලයෙහි දිග පළල වටහා ගත යුත්තේ පවතින මෙවැනි තත්වයන් සැල්කිල්ලට ගනිමිනි.

ඉක්මනින් ගොඩ ගිය හැකි ගෝලීය වෙළඳ පොළක් යනුවෙන් අප අදහස් කරන්නේ සංචාරක කර්මාන්තය හෝ එබඳු සේවා ඔස්සේ උපයන විනිමයද. බහුජාතික සමාගම්වල ඒජන්තවරභාවය ලබා ගැනීම ඔස්සේ විනිමය ඇද ගැනීමද. ඒ ඕනෑ එකක් වේවා මේ ලිපිය මගින් අදහස් කරන්නේ ස්වීය ආර්ථිකයක් ධනවාදී ප්‍රාග්ධනයට යටත් ලෝකයක ප්‍රවේශම් සහගත මෙහෙයුමක් බව අඬ ගා කීමටය. වෙළඳපළ වගවීම මේතාක් හඳුනා නොගත් නිසාම ලොවින් තුරන් වන්නට නියමිත ධනවාදී කළමනාකාරීත්වය ඉතා බිහිසුනු හැසිරීමක් ලෝකය තුළ ප්‍රකට කරමින් සිටින බව රහසක් නොවේ. සිය ඒකාධිපතීත්වය පර්යන්තයේ රටවල් මත තබා යැපීම රුසියාව චීනය අභිබවා යමින් කෙසේ හෝ පවත්වා ගැනීම ඔවුනගේ ඉලක්කයයි. පැහැදිලිවම ලෝක බලතුලනය දෙබෑවෙමින් තිබේ. ගෝලීය වෙළඳ පොළ විෂුවලයක් අපට දෙන්නේ ඔවුන් මුහුන දී තිබෙන මෙන්න මේ අසීරු අවස්ථාවේ අග්ගිස්සේදීය.

නමුත් මා මුලින් පටන් ගත් තැනට නැවත නොපැමිණ මා ලිපිය අවසන් කිරීම නොකළ යුත්තකි. ගෝලීය වෙළඳ පොළ බිහිවිය යුතුමය. ගෞරවණීය ජීවිතයක් නිවහල් මරණයක් මිනිස් වර්ගයාට එතෙක් මෙතෙක් නැත. එහෙත් ඒ උත්කෘෂ්ඨ ගෝලීය වෙළඳ පොළ යනු නික්ම යන්නට නියමිතව සිටින ධනවාදී මූල්‍ය කළමනාකරණය එල්ලී ගනිමින් තව කලක් ‍රැඳී සිටින්නට මවා පෙන්වනු ලබන විෂුවලය නම් නොවේ.

Print Friendly

ශ්‍රී ලංකාව තුල ප්‍රතිසන්ධානය හා සංවර්ධනය ඉදිරියට ගෙනයාම

$
0
0

මංගල සමරවීර

මංගල සමරවීර

මංගල සමරවීර

2015 ජනවාරි 8 වන දින ජනාධිපතිවරණයෙන් පසු නොබෝ දිනකින් එනම් පසුගිය පෙබරවාරි මාසයේ, මා මෙම නගරයේදී මෙවැනිම වූ පිරිසක් ඉදිරියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපගේ දර්ශනය හා සැලැස්ම එළිදැක්වූයෙමි.

වසරක් ගතවී ඇත. නමුත් ආපසු හැරී බැලීමේ දී දැනෙන්නේ වසර ගණනාවක් ගතවූ සෙයකි. වසරක් තුල බොහෝ දෑ සිදුවී ඇති අතර බොහෝ දෑ ලබාගැනීමට ද හැකි වී ඇත.

2015 පෙබරවාරි මස සහකාර ලේකම් බිස්වාල් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු සහ අදින් හරියටම වසරකට පෙර මගේ වොෂින්ටන් සංචාරයෙන් පසු අද වනවිට අප දෙරට අතර සබඳතාවයේ පුනර්ජීවනයක් අත්දැකීමට හැකි වී ඇත. එතරම් කෙටි කලක් තුල අප දෙරට අතර සබඳතා පෙර නොවූ විරූ ලෙස ශක්තිමත් වී ඇත. නිදහස ලැබූ දා සිට අප දෙරට අතර සුහදශීලී සබඳතාවයක් පැවති නමුත් දැන් මෙම නව සබඳතා හේතු කොට ගෙන අප අතර සුහඳතාවය සුවශේෂ මිතුදමක් කරා වර්ධනය වී ඇත.

මෙම වසර තුල සිදුවූ සහකාර ලේකම් බිස්වාල් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාර හතරට අමතරව එක්සත් ජනපදයේ ජ්‍යේෂ්ඨ නායකයින් රැසක් මෙරටට පැමිණියහ. දශක හතරකට පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයෙකුගේ මෙරට නිල සංචාරය සනිටුහන් කරමින් 2015 මැයි මාසයේ දී ජෝන් කෙරී මහතා කොළඹට පැමිණියේය. ඔහුගෙන් අනතුරුව තනාපතිනී සමන්තා පවර් මහත්මිය ද පැමිණියාය. ඇයගේ සංචාරය තුලින් එක්සත් ජනපද ශ්‍රී ලංකා සබඳතා යලි පණගැන්විණි. ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම් හා කම්කරු සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි ද මෙරටට පැමිණි අතර අපගේ ප්‍රගතිය කෙරේ ඔහුගේ පැමිණීම ද දායකවිය. අවසන් වශයෙන් දෙසැම්බර් මසදී තානාපති තෝමස් ෂැනන් පැමිණි අතර එමගින් අප දෙරට අතර සහයෝගීතා සංවාදයකට මුලපුරන ලද අතර එහි ප්‍රථිඵලයක් ලෙස අද දින මා නැවතත් මෙහි පැමිණ සිටින්නේ එහි සමාරම්භක සැසියට සහභාගී වීම සඳහායි.

අද දින මාගේ මාතෘකාව වනුයේ “ශ්‍රී ලංකාව තුල ප්‍රතිසන්ධානය හා සංවර්ධනය ඉදිරියට ගෙනයාමයි”. 2015 ජනවාරි මස සිට ප්‍රතිසන්ධානය ඇතිකිරීම, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, වගවීම හා මානව හිමිකම් ශක්තිමත් කිරීම සඳහා ගන්නා ලද පියවර සියල්ල මෙහිලා ගෙනහැර පෑමට මා අදහස් නොකරමි. මෙම පිරිස දැනුවත් පිරිසක් වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳ පසුවිපරම් කරන බවත් මා දනිමි. එබැවින් මෙතැන් සිට මාගේ මාතෘකාව සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරවීමට කැමැත්තෙමි.

නෝනාවරුනි, මහත්වරුනි,

ඔබ එකඟ වන පරිදි ප්‍රතිසන්ධානය හා සංවර්ධනය යනු එකිනෙකට බද්ධ වූ කාරණා දෙකකි. එකකින් තොරව අනෙක ලඟා කරගැනීම සැබවින්ම අපහසුය නැතහොත් සිදු කල නොහැක.

1948 දී නිදහස ලබාගන්නා විට එවකට සෙලෝන් වශයෙන් හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පැවති අනෙකුත් රටවල් අතර සුවිශේෂ ස්ථානයක සිටියේ ඇයට නියෝජිත රාජ්‍යය යන සංකල්පය පිළිබඳව අත්දැකීම් තිබූ නිසාත් සංවර්ධන දර්ශක අතුරින් අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට සාපේක්ෂව ඉහල මට්ටමකට ළගා වී සිටි නිසාත්ය. කෙටියෙන් කියතොත් ශ්‍රී ලංකාව නිදහස ලබන දින ලන්ඩනයේ පුවත්පතක පලවූ කතුවැකියක සඳහන්ව තිබුනේ නොබෝ කලකින්ම ශ්‍රී ලංකාව පෙරදිග ස්විස්ටර්ලන්තය වනු ඇතැයි කියාය.

රටේ ජීවත් වූ විවිධ වූ ජාතීන්, සාමය, සංහිඳියාව හා එකමුතු බව යනාදී ජාතික ඉලක්ක ලගාකරගැනීම වෙනුවෙන් සහයෝගයෙන් ජීවත් වීමට හා වැඩකිරීමට සූදානම්ව සිටියහ. වෙනස් වූ විශ්වාසයන් ඇදහුවත්, වෙනස් වූ භාෂාවන් කථා කලත්, වෙනස් වූ සංස්කෘතීන් අනුගමනය කලත් ඔවුන් නිදහස ලබාගැනීම උදෙසා එක්ව වැඩකලහ.

නමුත් ඉන්පසු සිදුවූයේ කුමක්දැයි ලෝකය දනී. අප රට දශක තුනකට අධික කාලයක් වද වේදනා හා ගැටුම් වලට ඇද දැමීමට සමත් වූ අත්වැරදීම් අප අතින් සිදු විය.

සාධාරණ දුක්ගැනවිලි කළමණාකරණය කරගැනීමට අපොහොසත් වීම තුලින් ගැටුම් හා ප්‍රචණ්ඩත්වය ඉස්මතු විය. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බිහිවූ නායකත්වයට ශ්‍රී ලංකාවේ පැවති බහු-වාර්ගික, බහු-සංස්කෘතික, බහු-ආගමික හා බහු-ආගම්වාදී විවිධත්වය තේරුම්ගනිමින් මනා කළමණාකාරීත්වයක් පවත්වා ගැනීමට නොහැකි විය. එහි ප්‍රථිඵලයක් ලෙස මේ දුක්ගැනවිලි අන්තර්-වාර්ගික අමනාපය හා අවතක්සේරු කිරීම හා අසාධාරණ ලෙස සැලකීම පිළිබඳ හැඟීම් වර්ධනය කිරීමට සමත් විය. අප දිවයිනේ පැවති මෙම විවිධත්වය පිළිබඳ අවබෝධයක් තිබුණ ද අපගේ රටේ නිදහසින් පසු බිහිවූ නායකයින් තීරණාත්මක අවස්ථාවන්හිදී අසාර්ථක වූ අතර අන්තවාදීන්ට එරෙහිව නැගී සිටීමට අපොහොසත් වූහ.

ඒ අනුව, එහි ප්‍රථිපලයක් ලෙස විසදුම් නොලැබූ දුක්ගැනවිලි ප්‍රචණ්ඩත්වයට මුලපිරූ අතර එමගින් ත්‍රස්තවාදයට හේතුකාරක සපයමින් අවසානයේ විනාශකාරී යුධමය තත්වයක් නිර්මාණය විය. කෙසේ හෝ යුද්ධය අවසන් කල පසු, මානව හිමිකම් කඩවීම් හා යුධ අපරාධ සම්බන්ධ බරපතල චෝදනා දෙපාර්ශවය වෙතම එල්ල වූ අතර ඒ හරහා ශ්‍රී ලංකාව ජාත්‍යනතරය හමුවේ අපකීර්තියටත් හුදෙකලා වීමටත් හේතු විය.

කෙසේවුවත් සමස්තයක් වශයෙන් රට පුරා ජනතාව යුද්ධය අවසන් වීම නිසා සැනසුම් සුසුම් හෙළු අතර එතැන් පටන් ප්‍රජාතන්‍ත්‍රවාදය හා සංහිඳියාව රජයන නව යුගයක් ආරම්භ වනු ඇතැයි සිහින දුටුහ. උතුරේ හා නැගෙනහිර දුක්විදී ජනතාවගේ හදවත් දිනා ගැනීම සඳහා පෙර නොවූ විරූ ස්වර්ණමය අවස්ථාවක් ඒ හරහා උදා වීය.

එනමුදු එය එලෙසින්ම සිදු නොවීය. එල්ටීටීඊයට එරෙහි තම යුධ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් රාජපක්ෂ රෙජීමය විජයග්‍රහණයෙන් වියරු වැටී ක්‍රියාකිරීම හමුවේ දමිළ ජනතාව තවදුරටත් දුරස්ථ වූහ. යුද්ධය අවසන් වීමෙන් පසු හදවත් සුවපත් කිරීම වෙනුවට ජනපති පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් යුද ජයග්‍රහණය අවභාවිතා කරමින් ඒක-පාක්ෂික රාජ්‍යයක් බිහිවනු දක්නට ලැබිණි.

කෙසේ නමුත් 2015 දී ජනපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බලයට පත් වීම හරහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබුණු අතර යලිත් ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නව යුගයක ආරම්භය සනිටුහන් විය. සාම්ප්‍රදායික විරුද්ධවාදීන් වූ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිදහසින් පසු ප්‍රථම වතාවට එක් වෙමින් දේශපාලනික හා ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය සඳහා වූ දැඩි අවශ්‍යතාවය සැපිරීම සඳහා වූ සම්මුතිවාදී දේශපාලනයක් කරා මුල පුරන ලදි. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසය දෙස බලන ඕනෑම කෙනෙකුට පැහැදිලිව තේරුම්ගත් හැක්කේ එදිරිවාදී දේශපාලනය හේතුවෙන් සෑම විටකදීම ගැටුම්කාරී තත්වයන් නිර්මාණය වී ඇති බවයි. ඒ හේතුවෙන් අපට ලැබුණු අවස්ථා රැසක් මගහැරී ගොස් ඇත. මේ ආකාරයෙන්, එක් පාර්ශවයක් විසින් විසඳුමක් ගෙන ඒමට උත්සාහ කල සෑම අවස්ථාවකදීම අනෙක් පාර්ශවය එයට විරුද්ධ වීම තුලින් සියල්ල කඩාකප්පල් කර දැමීමේ සම්ප්‍රදායක් අතීතය පුරාවට දක්නට ලැබේ.

ඒ අනුව, අද වනවිට ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ නායකත්වය යටතේ මෙම සංස්කෘතිය වෙනස් වී ඇත. දේශපාලන පක්ෂ විසින් කෙටිකාලීන දේශපාලන වාසි තකා රටේ පොදු ජනතාවගේ දිගුකාලීන අවශ්‍යතාවයන් නොසලකා හරිමින් කටයුතු කිරීමේ ක්‍රමය දැන් අවසන් වී ඇත. අපගේ විපක්ෂ නායකවරයා වශයෙන් බුද්ධිමත් , කැපවීමෙන් කටයුතු කරන, ගෞරවනීය දේශපාලනඥයකු වන ආර්.සම්බන්දන් මහතා පත්වී සිටින අතර අප වෙත ලැබී ඇති මෙම අවස්ථාව මඟහැරී යා නොදී එක්ව කටයතු කර ජයගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඔහුට ද ඇත.

වාසනාවකට මෙන් එල්ටීටීටඊ සංවිධානයේ ඇවෑමෙන් පසු අද වනවිට අප රට තුල ප්‍රචණ්ඩත්වය ප්‍රශ්න සඳහා විසඳුමක් වශයෙන් සලකන කිසිවෙකුත් නොමැත. දිගුකාලීන සාමය හා නැවත යුද්ධයක් ඇති නොවීම සඳහා සෑම දෙනා තුලම පවතින කැමැත්ත ඉතා පැහැදිලිය. අප රටේ උතුර,දකුණ,නැගෙනහිර,බටහිර හා මධ්‍යම යන සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියළු දෙනාම සදාකාලිකවම සාමය පවතිනු දැකීමට කැමැතිය. ඔවුන් සියළු දෙනාම ඇති තරම් ලේ හැලීම් සහ සිතාගැනීමටවත් අපහසු තරමේ ශෝකාන්තයන්ට මුහුණ දී ඇත.

එබැවින්, ජාතික සමගි ආණ්ඩුව අප රටේ සියළු දෙනාගේ අභිලාෂය වන “යුද්ධය නැවත ඇති නොවීම” යන ප්‍රතිපත්තිය වටා සියළු දෙනා ඒකරාශි කරගැනීමේ අරමුණින් ක්‍රියාකරයි.

ජාතික සමගි ආණ්ඩුව මෙම ඓතිහාසික අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම කිසිවිටකත් අතපසු කර නැත. පසුගිය සැප්තැම්බර් මාසයේ දී යහපාලනය ශක්තිමත් කිරීම, ප්‍රතිසන්ධානය ස්ථාපිත කිරීම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, නීතියේ ආධිපත්‍යය යටතේ වගවීම ඇතිකිරීම හා නැවත ඇති නොවීම තහවුරු කිරීම සඳහා රජය, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී යෝජනාවක් සඳහා සම අනුග්‍රාහකත්වය ලබාදීමට ද කටයුතු කරන ලදි.

අපගේ රජය මෙම යෝජනාව සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ වශයෙන් කැපවී සිටී. ඒ හුදෙක් ජාත්‍යන්තරය සතුටු කිරීම සඳහා නොව, ශ්‍රී ලාංකීය ජනතාව වෙත උදාවිය යුතු අනාගතය තහවුරු කිරීමට හා රටක් වශයෙන් ඉදිරියට යාමට නම් පළමුව අපගේ අතීතය සමඟ සම්මුතියකට පැමිණ සිටිය යුතුය යන අපගේ විශ්වාසය නිසාය. මේ වසරේ පෙබරවාරි 04 වනදා නිදහස් දින උළෙළ අමතමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටි පරිදි,

“යෝජනාවේ ඇති විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අප හමුවේ උදාවී ඇති අවස්ථාව ලබාගැනීම සඳහා දැන් කාලය එළැඹ ඇත. අප විසින් මෙම යෝජනා ක්‍රියාත්මක කල යුත්තේ ජාත්‍යන්තර වශයෙන් අපට ඇති බලපෑම නිසා නොව, අප රටේත්, අප ජනතාවගේත්, අප හමුදාවන්ගේත් ගෞරවය රැකගැනීම සඳහාත්, ඒ තුලින් ජාත්‍යන්තරය හමුවේ අප රට ශක්තිමත් ප්‍රජාතනත්‍රවාදී රටක් වශයෙන් පැවති පිළිගැනීම යලි තහවුරු කිරීම සඳහාත්ය.”

එම යෝජනාවේ දී අප විසින් සත්‍ය සෙවීම, වගවීම, වන්දි ගෙවීම හා යලි ඇති නොවීම යන සිවුවැදෑරුම් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. මෙම ක්‍රමවේදය හේතුවෙන් සත්‍යය, ප්‍රතිසන්ධානය, යුක්තිය හා නැවත ඇති නොවීම සඳහා වන කොමිෂන් සහාවක්, අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයක්, අධිකරණ යාන්ත්‍රණයක්, සහ ප්‍රඥප්තියක් මගින් පිහිටුවීමට නියමිත වන්දි සඳහා කාර්යාලයක් ඇති කිරීම සඳහා අඩිතාලම සකස් විය.

එමෙන්ම, මෙම යාන්ත්‍රණය නිර්මාණය වනුයේ සෑම පාර්ශවයකම වින්දිතයන් ද ඇතුලත්ව සියළු පාර්ශවකරුවන්ගේ උපදේශකත්වය තුලින් වේ. මහජන උපදේශනය ලබාගැනීම සඳහා රජය විසින් කීර්තිමත් පුද්ගලයන් 11 දෙනෙකුගෙන් සමන්විත උපදේශන කාර්ය සාධක බලකායක් පත්කර ඇත. දැනට මෙම බලකාය විසින් එම ක්‍රියාවලිය සඳහා විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගනිමින් සිටින අතර සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා ඉදිරියේදී දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් බලකායන් පිහිටුවීමට ද නියමිතය.

මේ අතරතුර, එක්සත් ජාතීන්ගේ සාම සාධක අරමුදලේ සහයෙන් ජාතික ඒකාබද්ධතාවය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් ප්‍රජාවන් අතර අවබෝධය ඇතිකිරීම හා මානසික හා ජීවන උපකාර ලබාදීම සඳහා වන ප්‍රතිසන්ධානය හා බැඳුනු ව්‍යපෘතීන් ක්‍රිය්තමක කිරීම ආරම්භ කර ඇත.

අප පැවසු ආකාරයට නැවත ඇතිනොවීම සඳහා බලපාන අත්‍යවශ්‍ය සාධකයක් වනුයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. එය අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අතර සුළු ජාතික අයිතීන් සහතික කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විය යුතුය. මෙම ක්‍රියාවලිය අප රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතා වැදගත් වනු ඇත. මෙම වසරේ ජනවාරි 9 වන දින එනම් සිරිසේන රජයේ පළමු වර්ෂ පූර්ණය සිදුවූ දින, විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වුනු අතර එහිදී, නව ව්‍යවස්ථාවක සකස්කිරීමේ ලා පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් වශයෙන් ක්‍රියාකල හැකිවන පරිදි යෝජනාවක් ගෙන එන ලදි. නව ව්‍යවස්ථාව නිර්මාණයේ ලා මහජන අදහස් විමසීම මේ වනවිට සිදුවෙමින් පවතී.

පෙබරවාරි 9 වන දින පාර්ලි‍මේනතුව අමතමින් අතිගරු ජනාධිපතිතුමා සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ලැ සහයෝගය ලබාදෙන ලෙසයි. එමෙන්ම ත්‍රස්තවාදය නිමා කිරීමට හැකිවූයේ විධායක ජනාධිපතික්‍රමය නිසා බැවින එය අහෝසි නොකල යුතුයැයි පවසන අයට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා කියා සිටියේ අනාගනයේ ඇතිවන යුදධයක් පිළිබඳව බලා නොසිට නැවත කිසිදිනක යුද්ධය හා ප්‍රචණ්ඩත්වය ඇති නොවනු පිණිස අත්‍යවශ්‍ය සංශෝධන ගෙන ආ යුතු බවයි.

ප්‍රතිසන්ධානය, සාමය හා යලි ඇති නොවීම තහවුරු කිරීම සඳහා රජයේ ඇති කැපවීම පැහැදිලිය. නමුත්, සාමය ස්ථාපනය උදෙසා, සංවර්ධනය සහ සෑම පුරවැසියකුගේ ජීවන තත්වය උසස් කිරීම වනාහි අත්‍යවශ්‍ය කාරණා වන්නේය.

යහපත් සිතුවිලි හා උත්සාහයන් පමණක් නොසෑහේ. සෑම පාර්ශවකරුවෙකුටම තම වර්ධනය පිළිබඳ සිතන බවත් තම ජීවන තත්වය උසස් වන බවත් දැනීම අවශ්‍යය. එබැවින් සාමය දිනැගැනීම යනු දේශපාලන ප්‍රතිසංස්කරණ මෙන්ම සියළු ශ්‍රී ලාංකිකයන්ට රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍යය, යටිතල පහසුකම් සඳහා සමාන අවස්ථා හිමිවීම ද වන්නේය. සාමය ස්ථාපනය වීම සමාජයේ සෑම පුරවැසියෙකුගේම ආර්ථික තත්වය උසස් වීම තුලින් දක්නට ලැබිය යුතුය. එය වනාහි රැකියා විරහිත තරුණයන් හට වඩාත් හොඳ රැකියා අවස්ථා වියයුතුය. ගෘහනියන් හට වඩාත් හොඳ ජීවන තත්වයක් වියයුතුය. ගොවීන් සඳහා වඩාත් වැඩි වෙළඳ පොළ අවස්ථාවක් හා තම නිෂ්පාදන සඳහා ඉහල මිලක් වියයුතුය. ශිෂ්‍යයන් සඳහා වැඩි පාසල් ප්‍රමාණයක් හා හොඳ්න් පුහුණු වූ ගුරුවරුන්ගෙන් යුතු කාර්මික විද්‍යාල හා විශ්වවිද්‍යාල වන්නේය. වැඩිහිටියන් සඳහා රෝහල් සහ ඖෂධ සඳහා වඩාත් වැඩි අවස්ථාය.

අවශ්‍ය කරන දේශපාලනික හා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුවනවිට, ආයෝජනය, වෙළඳාම, රැකියා, වර්ධනය හා ආර්ථක සංවර්ධනය සිදුවනු ඇති බවට ශ්‍රී ලංකා රජයට කිසිදු සැකයක් නැත. සාමය හා සංවර්ධනය අතර ඇති සබැඳියාව සාකල්ය හා ගතික වන බැවින් සාමයේ ලාභාංශ වැඩි වන වේගයෙන්ම සාමයේ පැවැත්ම ද වේගවත් වනු ඇත. කෙටියෙන් කියතොත් සාමයේ, සංහිඳියාවේ හා ප්‍රතිසන්ධානයේ ප්‍රතිලාභ ජනතාවට දැනිය යුතු අතර එය ඔවුන්ට ඉක්මනින්ම දැනිය යුතුය.

ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා ලොක්ය අප උනන්දු කල ආකාරයටම මෙම තීරණාත්මක අවස්ථාවේ දී ලෝකය අප රටේ ආර්ථික දියුණුව හා සංවර්ධනය ඇති වනු දැකීමට ද බලාපොරොත්තු වේ.

එබැවින් මේ සම්බන්ධයෙන් ද රජය ක්‍රියාත්මක වීම ආරම්භ ඇත. ශ්‍රී ලංකා ධන 6ට වැඩි ආර්ථිකය තවදුරටත් ඉහල නැංවීමට අප විසින් අඩිතාලම දමමින් සටිමු. රැකියා දස ලක්ෂයක් ඇති කිරීම ද අපේක්ෂා සහගත ආර්ථික සංවර්ධනයක් තුලින් ජීවන තත්වය උසස් කිරීම ද ඊට ඇතුලත් වේ.

රජයේ ආර්ථික ප්‍රතිපත්තිය පදනම්ව ඇත්තේ විදේශීය සෘජු ආයෝජන දිරමත් කිරීම, ශ්‍රී ලංකාවේ අපනයන වඩාත් තරඟකාරී මට්ටමකට ගෙන ඒම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, දැනුම හා බුද්ධිය හුවමාරු කරගැනීම තුලින් ඵලදායීතාවය ඩහල නැංවීම යනාදිය මත වේ.

ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ සීග්‍රයෙන් දියුණු වන ඉංදියාන් සාගර කලාපය මධ්‍යයේ වන අතර පෙරදිග-බටහිර නාවික මාර්ගය අප රට හරහා වැටී ඇත. ලෝකයේ විශාලතම වෙළඳපල වලින් එකක් වන ඉංදියාව අපේ අසල්වැසියාය. මෙම සුවිශේෂ ආර්ථකමය වශයෙන් වැදගත් භූගෝලීය පිහිටීම අප රටේ සංවර්ධනය කෙරේ යෙදවීමට අපි අපේක්ෂා කරමු. දැනටමත් අප රට හා ඉංදියාව අතර පවත්නා නිදහස් වෙළඳ ගිවිසුම පුළුල් කිරීම සඳහා සාකච්ඡා අරඹා ඇත. එය මෙම වසරේ මැද භාගය වනවිට සම්පූර්ණ කිරීමට අප අපේක්ෂා කරමු. පාකිස්ථානය සමඟ ද එසේ ක්‍රියා කිරීමට අපි සැරසී සිටිමු. මෙම ගිවිසුම් සහ උප මහද්වීපය වෙත ඇති අපගේ විශිෂ්ථ මුහුදු හා ගුවන් සබඳතා තුලින් අප රට උප මහද්වීලයට ප්‍රවේශ වීමේ දොරටුවක් වශයෙන් ගොඩනැගෙනු දැකීම අපගේ අරමුණයි.

එමෙන්ම විදේශයන් වෙත අපගේ වෙලඳපල පිවිසුම් පුළුල් කිරීමටද අප අපේක්ෂා කරමු. පසුගිය රජය වෙත එල්ල වූ මානව හිමිකම් චෝදනා හේතුවෙන් යුරෝපා හවුල වෙත තිබූ GSP+ සහනය අපට අහිමි විය. මානව හිමිකම් පිළිබඳ යුරෝපා හවුලේ ක්‍රියාකාරී කණ්ඩායමේ මෙරට සංචාරයෙන් අනතුරුව දැන් අප නැවතත් එම සහනය ලබාගැනීම සඳහා අයැදුම් කිරීමේ කටයුතු සිදුකරමින් සිටින අතර මෙම වසර අවසන් වනවිට එම සහනය නැවත ලබාගැනීමට හැකිවනු ඇත. එමෙන්ම චීනය සමඟ ද නිදහස් වෙළඳ ගිවිසුමක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා අරඹා ඇත.

ශ්‍රී ලංකාවේ අපනය වලින් ¼ කට හිමිකම් කියන එක්සත් ජනපද වෙළඳපල අප රටේ විශාලතම තනි අපනයන වෙළඳපල වේ. GSP+ සහනය හරහා මෙම වෙළඳපල වෙත සහනදායී ප්‍රවේශ පහසුකම් ලැබෙන අතර එරට සමඟ වෙළඳ හා ආයෝජන ගිවිසුමක් ද අත්සන් තබා ඇත්තෙමු. මෙම ගිවිසුම් හරහා ශක්තිමත් වන සබඳතා තුලින් ශ්‍රී ලංකාවේ ආරිථික හා සංවර්ධන ඉලක්ක ලගාකරගැනීමේ අරමුණ කෙරේ විශාල සහයක් වනු ඇත.

මීට අමතරව, ශ්‍රී ලංකාව ට්‍රාන්ස්-පාසිෆික් සහයෝගීතාවයට එක් වීම සඳහා අයැදුම් කිරීමේ හැකියාව පිළිබඳ විමසමින් සිටිමු. රජයේ ප්‍රධාන පෙළේ බුද්ධිමතුන් පිරිසක් මේ සම්බන්ධයෙන් අධ්‍යනය කරමින සිටින අතර අප නිරන්තරයෙන් එහි ප්‍රගතිය විමසමින් සිටිමු.

එපමණක් නොව රටතුල දේශීය ව්‍යපාරික පරිසරය වැඩිදියුණු කිරීමට ද අපගේ අවධානය යොමු වී ඇත. ආයෝජනය හා ව්‍යාපාර සඳහා වඩාත් සුරක්ෂිත පරිසරයක් නිර්මාණයේ ලා වැදගත් වන නීති රීති ගෙනඒමට අප කටයුතු කරමින් සිටිමු. උදාහරණයක් ලෙස, සංවර්ධනය සඳහා වන ඒජන්සිය යටතේ එක වහලක් යටතේ ආයෝජන හා වෙළෙඳ-පහසුකම් සාප්පුවක් ඇතිකිරීම සඳහා රජයේ ආයතන රැසක් එකතු කිරීමේ වැඩපිළිවෙළක් අප සතුව ඇත. සරල නීති මත පදනම් වූ ව්‍යාපාර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ඉඩම් හිමිකම්, බදු, ඇතුළු අපගේ නීති රීති හා රෙගුලාසි සමාලෝචනය කිරීම අප විසින් ආරම්භ කර ඇත. පුද්ගලික ව්‍යපාර සඳහා ද දියුණු වීමේ ක්‍රම අප විසින් හඳුන්වා දී ඇත. උදා: ලෝකයේ අඩුම ආදායම් බද්ද වන 15% ඇත්තේ ශ්‍රී ලංකාවේය. මෙම ප්‍රතිසංස්කරණ ද සමඟ අපගේ උගත් ශ්‍රම බලකාය සහ ස්ථාවර යටිතල පහසුකම් තුලින් ශ්‍රී ලංකාව කලාපයේ ආකර්ශනීයම, ආරක්ෂිතම සහ තරඟකාරීම ආයෝජන ගමනාන්තය බවට පත්කරනු නිසැකය.

මෙහි ප්‍රථිඵලයක් වශයෙන්, පසුගිය මාස කිහිපය තුල විශේෂයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ ඩාවෝස් හි ලෝක වෙළඳ සංසදයේ දී සහ බර්ලින් හා වියෙනා වෙත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල සංචාරය අතරතුර පැවිත ආයේජන හා ව්‍යාපාර හමුවලදී ශ්‍රී ලංකාව පිළිබඳ සුවිශේෂී හා පෙර නොවූ විරූ උනන්දුවක් දක්නට ලැබුණි. එ‍පමණක් නොව සංචාරක ව්‍යාපාරයේ ද පැහැදිලි වර්ධනයක් අප විසින් අත්කරගෙන ඇත. 2014 වසරට සාපේක්ෂව පසුගිය වසරේ සංචාරකයින්ගේ පැමිණීම 20% කින් ඉහල ‍ගොස් ඇත.

මෙම තීරණාත්මක අවස්ථාවේ දී සාමයේ ලාභාංශ පවත්නා බව පෙන්නුම් කිරීම ඉතා වැදගත් වේ. අපි මේ උත්සාහයේ දී, සහශ්‍ර අභියෝගතා සංස්ථාව, USAID සහ සෙසු එක්සත් ජනපද හවුල්කරුවන් සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටිමු. එමෙන්ම ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් ද්වීපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය හවුල්කරුවන් සමඟ ද සමීපව කටයුතු කරමින් සිටිමු. නමුත්, දිළිඳුකම තුරන් කිරීම, නාගරික සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, අධ්යාපනය – විශේෂයෙන් වෘත්තීය, තාක්ෂණික හා ඉංග්රීසි භාෂා පුහුණුව – හා කෘෂිකාර්මික ඵලදායිතාව වැඩි දියුණු කිරීම යන ක්ෂේත්‍රයන්හි කඩිනම් සහය තවදුරටත් අපට අවශ්‍යව ඇත.

අපගේ සියළු පුරවැසියන් සඳහා සමෘද්ධිමත් හෙටක් උදෙසා කටයුතු කරමින් සිටින මේ අවස්ථාවේ දී ඔබ රට සමඟ පවතින සුවිශේෂී වූ හවුල්කාරීත්වය අප ඉතා අගය කොට සලකන්නෙමු. ප්‍රතිසන්ධානයේ හා සංවර්ධනයේ ලා අප විසින් ගනු ලබන උත්සාහයන්හිදී එක්සත් ජනපදයේ සහයෝගය අප නිරන්තරයෙන් අපේක්ෂා කරන්නෙමු. ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ඉන්දියානු සාගර කලාපයේ සහ ඉන් ඔබ්බටත්, සාමය, ආරක්ෂාව, ආර්ථික හා සමාජ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය සමග එක්ව වැඩ කිරීම සඳහා අප උනන්දු වන්නෙමු.

නෝනාවරුනි, මහත්වරුනි, අපගේ අරමුණ වන්නේ ජාත්‍යන්තරය විසින් අප කෙරේ තබා ඇති විශ්වාසය අනුව යමින් අපගේ සියළුම පුරවැසියන් වෙනුවෙන් සාර්ථකත්වය කර ලගා වීමටයි. සියල්ලටම වඩා අපට වැදගත් වන්නේ මීට 68 වසරකට පෙර නිදහස ලැබූ දා සිට ඉටු කිරීමට අපොහොසත් වූ අපගේ ජනතාවටත් මතු උපදින පරම්පරාවන්ටත් සාධාරණය ඉෂ්ඨ කිරීමයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගේ ද සහයෝගය ඇතිව, රටේ සෑම පුරවැසයකුටම ආත්ම අභිමානයෙන් යුතුව ජීවත් වීමට හැකි අනාගතයක් නිර්මාණය කිරීමට හැකිවනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.

අවසාන වශයෙන් මා පසුගිය සැප්තැම්බර් මාසයේ මානව හිමිකම් කවුන්සිලය අමතා කල ප්‍රකාශයක් උපුටා දැක්වීමට කැමතියි.

“එබැවින් අප සැකකරන පුද්ගලයන් වෙත මා පවසා සිටින්නේ අතීතයේ පරාජයන්, බිඳවැටීම් හා ආපසු හැරවීම් තුලින් අපව විනිශ්චය නොකරන්න යැයි කියා. අපගේ විශ්වාසයන් හා බලාපොරොත්තු මතින් අප අළුත් හෙටක් නිර්මාණය කරමු. සිහින දකින්නට බිය නොවෙමු. එකිනෙකා වෙත ඇඟිල්ල දිගු කරමින් බැන අඩගසමින් තමාට දේශපාලන ලකුණු දා ගනිමින් අනාගත පරපුර බිල්ලට නොදී ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීමට අර්ථවත් සංවාදයන්හි නිරත වීමට කටයුතු කරමු.

ඔබ සියළු දෙනා වෙත මාගේ ආයාචනය නම් අප කෙරේ විශ්වාස තබන ලෙසත් ප්‍රගතශීලි, අර්ථවත් හා  පරිවර්තනීය නව ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා අප සමඟ එක්ව කටයුතු කරන ලෙසත්ය”

*2016 පෙබරවාරි 25 වන දින වෝෂින්ටන් හි සාමය පිළිබඳ එක්සත් ජනපද ආයතනයේ දී ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කල කථාව

Print Friendly

අනන්‍යතාවක් සොයා යන ජනතාවක්

$
0
0

ශ‍්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව, ඉංග‍්‍රීසියෙන් ‘සිලෝන් මූර්’ යනුවෙන්ද, සිංහලෙන් ‘ලංකා මරක්කල’ හෝ ‘ලංකා යෝනක’ වශයෙන්ද හඳුන්වනු ලැබූ කාලයක් තිබුණි. බොහෝ වැඩිහිටි මුස්ලිම් ජාතිකයන්ගේ උප්පැන්න සහතිකවල තවමත් ‘සිලෝන් මූර්’ කියා හෝ ‘ලංකා මරක්කල’ කියා හෝ සටහන්ව තිබේ.

Upcountry Tamilsකෙසේ වෙතත් ඒ මුස්ලිම් ජාතිකයන්ගේ තරුණ පරම්පරාව සිය ජාතිකත්වය ‘ශී‍්‍ර ලංකා මුස්ලිම්’ වශයෙන් නිල ලේඛනවල සඳහන් කිරීමට වැඩි කැමැත්තක් දක්වති. උඩරට වැවිලිකරයේ ජීවත් වන දෙමළ ජනතාව තුළද එවැනි ආකල්ප වෙනසක් සිදුව ඇති බව දැකිය හැකිය.

ඊයේ නිකුත් වූ අපේ ‘ටැමිල් මිරර්’ පුවත්පතේ පළවූ වාර්තාවකට අනුව, වැවිලිකරයේ වෙසෙන ‘ඉන්දීය සම්භවයක් සහිත ජනයා’ වශයෙන් පොදුවේ හැඳින්වෙන දෙමළ ජනතාව, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම සඳහා පසුගිය දා නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වන ලද සැසි වාරයකදී යෝජනා කොට ඇත්තේ, ‘ඉන්දීය සම්භවයක් සහිත ජනතාවක්’ සේ තමන්ව හඳුන්වනවා වෙනුවට, ‘මලයියාග මක්කල්’ හෙවත් ‘කඳුකර ජනතාව’ වශයෙන් තමන්ව හඳුන්වන ලෙසයි.

එම වාර්තාව අනුව ගත් විට, මේ කණ්ඩායම් තමන්ව දෙමළ වශයෙන් හඳුන්වනවාට කැමැත්තක් නොදැක්වීමත් මෙහිදී කැපී පෙනෙන කාරණයකි. මේ ජනතාව ලංකාවේ සමාජයට දේශපාලනිකව අනුගත කරගෙන දැන් දශක තුනකුත් ඉක්ම ගොස් තිබියදී තවමත් නිල ලේඛනවල ‘ඉන්දීය සම්භවයක් සහිත ජනතාවක්’ වශයෙන් හඳුන්වනු ලැබීම ඇත්තෙන්ම උත්ප‍්‍රාසාත්මක ය. 1964 සිරිමා-ශාස්ත‍්‍රී ගිවිසුම යටතේ සහ 1974 සිරිමා-ඉන්දිරා ගිවිසුම යටතේ රටක් නැති මිනිසුන් වශයෙන් ඉතිරිව සිටි මේ ජනතාවට, 1988 ජනාධිපතිවරණය ආසන්නයේ සම්මත කර ගන්නා ලද ව්‍යවස්ථා සංශෝධන දෙකක් මාර්ගයෙන් ලංකාවේ පුරවැසි භාවයත්, ඡුන්ද අයිතියත් ලබා දෙන ලදි.

පළමුව තමන්ගේ කෝපි වගාවන්වලත්, ඊළඟට තේ සහ රබර් වගාවන්වලත් කුලී සේවය සඳහා 19 වැනි සියවසේදී බි‍්‍රතාන්‍යයන් විසින් තමිල්නාඩු ප‍්‍රාන්තයෙන් ලංකාවට ගෙන්වා ගන්නා ලද දෙමළ ජනතාවගෙන් පැවත එන මොවුහූ, නිදහස ලබන කාලය වන විට ලාංකීය සමාජයට දේශපාලනිකව අවශෝෂනය කර ගෙන තිබුණි. එහෙත් නිදහස ලබා ගැනීමෙන් මාස හයක් ගත වෙනවාත් සමගම පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් අපකීර්තිමත්, 1948 අංක 18 දරණ පුරවැසි පනත හරහා ඔවුන්ගේ පුරවැසි භාවය අහෝසි කොට රටක් නැති ජාතියක් බවට පත්කරන ලදි. එසේ කොට ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් ඔවුන්ව පලවා හරින ලදි.

ශත වර්ශ දෙකකට ආසන්න කාලයක් ලංකාවේ ජීවත්ව ඇති මේ ජනතාව, තේ රබර් සහ පොල් වගාවන් හරහා රටට වැඩිම ආදායමක් උපයා දීමෙහි එදා නියුක්තව සිටියහ. 1978 විවෘත ආර්ථිකය යටතේ විදේශ සේවා නියුක්තිය සහ ඇඟලූම් කර්මාන්තය අපේ රටේ වැඩිම ජාතික ආදායම ගෙන දෙන අංශ බවට පත්වන තෙක් ලංකාවේ ඉහළම ආදායම් උපයා දුන් ජනතාව වුණේ ඔවුන් ය.

ශත වර්ෂ එක හමාරකටත් වැඩි කාලයක් තිස්සේ ලංකාවේ ආණ්ඩුවට වැඩිම ආදායම එසේ ඔවුන් උපයා දුන්නද, රටේ සමාජ දර්ශකයන් තුළ අඩුම අගයක් නියෝජනය කරන්නේද ඔවුන් වීම කණගාටුදායක ය. සංසන්දනාත්මකව ගත් විට, වැඩියන්ම මන්දපෝෂණය පවතින්නේ ඔවුන් අතර ය. වැඩිම මාතෘ සහ ළමා මරණ අනුපාතිකය සටහන් වන්නේද ඔවුන් අතරිනි. අඩුම සාක්ෂරතාව මෙන්ම, වැඩිම මත්පැන් භාවිතය තිබෙන්නේද ඔවුන් අතර ය.

ඔවුන්ගේම ජන වර්ගයේ සාමාජිකයෙකු වන, අධ්‍යාපනය පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකුද වන එස්. චන්ද්‍රසේකරන්ව උපුටා දක්වන ලෝක බැංකු වාර්තාවක් ගැන සඳහන් කරන, චෙන්නායි නගරයේ පළ වෙන ‘ද හින්දු’ පුවත්පත ඊයේ මෙසේ වාර්තා කොට තිබුණි: ‘‘ලංකාවේ වැවිලි කර්මාන්තයේ සේවය කිරීම පහත් දෙයක් වශයෙන් සළකන වතුකරයේ වර්තමාන තරුණයෝ නාගරික ප‍්‍රදේශවල ඕනෑම රැුකියාවක් කිරීමට වැඩි කැමැත්තක් දක්වති.’’

එහෙත් මෙසේ වෙනත් රැුකියා සොයා වතුකරයෙන් පිටතට එන ජනතාවගේ දුක්ඛිත තත්වය ගැනත් එම වාර්තාව සඳහන් කරයි. ‘‘ඔවුන්ට ඈඳී ඇති ඉන්දියානු දෙමළ වාර්ගිකත්වය සහ වතුකර සේවක අනන්‍යතාව නිසා ඔවුහූ ගර්හාවටද ලක්වෙති. මේ හේතු, වතුකරයෙන් පිටස්තර රැුකියා සොයා ගැනීමේ බාධක වශයෙන් පවතින බව පෙනේ.’’ මේ නිසා, වතුකරයෙන් පිටතට එන තරුණයන් නියුක්ත වන්නේ, ගෘහ සේවකයන්, සාප්පු සහායකයන් සහ වැඩබිම් කම්කරුවන් ආදී පහළ රැුකියාවලයි. රියැදුරන් සහ යාන්ත‍්‍රික නියමුවන් වැනි අර්ධ-පුහුණු රැුකියාවන් ලබා ගන්නේද ඉතා සුළු පිරිසක් පමණක් බව වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

‘ඉන්දීය සම්භවයක් සහිත ජනතාවක්’ වෙනුවට ‘කඳුකර ජනතාව’ වශයෙන් තමන්ව හඳුන්වන්නැයි මෙවැනි පිරිස් අද යෝජනා කරනු ලැබීමෙන් පෙන්නුම් කරන්නේ, ලංකාවේ ජිවත් වන ප‍්‍රධාන ප‍්‍රජාවක් වීත්, ඔවුන්ට මුහුණදීමට සිදුව ඇති අනන්‍යතා අර්බුදයක තරමයි. මේ තත්වය තුළ රටේ ජීවත් වන අනිත් ප‍්‍රජාවන් මොවුන්ට ශ‍්‍රී ලාංකීය සමාජය තුළට අවශෝෂනය වීම සඳහා අවශ්‍ය හැම උපකාරයක්ම කළ යුතුව තිබේ.

*2016 පෙබරවාරි 23 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “A People In Search Of An Identity” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly
Viewing all 2978 articles
Browse latest View live