Quantcast
Channel: සිංහල – Colombo Telegraph
Viewing all 2980 articles
Browse latest View live

මහා අපේක්ෂා සහ ඊටත් විශාල අහිමි වීම් ගැන

$
0
0

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

එන්රිකේ ඉග්ලේසියාස් ප‍්‍රසංගයේ ඔල්මාද ලෝලීන් දෙදෙනෙකුගේ හැසිරීම ගැන කිපී මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කළ අදූරදර්ශී ප‍්‍රකාශයක් අස්සේ, වගවීම සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ අනාගත ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය පිළිබඳ වර්ෂාවසාන සංවාද යට වීම, විය යුතු පරිද්දෙන්ම ජනනය කෙළේ උත්ප‍්‍රාසයක්ම ය.

රුදුරු සන්තාපය සහ ප‍්‍රහර්ෂය

ප‍්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන, ජනාධිපතිවරයාගේ රුදුරු සන්තාපය ලෝකය පුරා පතල කර හැරියේය. බාගෙ විට, ශ‍්‍රී ලංකාවේ දේදුනු විප්ලවයේ උපැස් පැළැඳි මුහුණුවර ඒ හරහා දර්ශනය වන්ට ඇත්තේ, මේ ප‍්‍රසංගයේ සංවිධායකයන්ව මධ්‍යතන යුගයේ විකාර දඬුවමකට ලක්කළ යුතු බවට පාරිශුද්ධවාදී ආවේශයකින් ගුගුරන සේයාවක් ලෙසින් විය හැකිය. එම දඬුවම පිළිබඳ තර්ජනය තවත් ප‍්‍රශ්නකාරී තත්වයකට පත්කෙරුණේ, එම ප‍්‍රසංගය සංවිධානය කළ සමාගමේ අයිතිකරුවන් ලංකාවේ කීර්තිමත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙන්නෙකුද වීම නිසාවෙනි.

මේ සමස්ත සිද්ධිය තුළ පවතින විකාරරූප ස්වභාවය කෙනෙකුව ප‍්‍රමෝදයෙන් හිනාගස්සන තරමි. එහෙත් ඒ මගින් ඉස්මතු කෙරෙන මතභේදය බරපතල ප‍්‍රශ්නවලට තුඩුදෙයි. කොළඹ ප‍්‍රභූ තන්ත‍්‍රය සඳහා සංවිධානය කෙරුණු සංගීත ප‍්‍රසංගයකදී යම් ලෝලියෙකු දෙන්නෙකු ඉන් මුසපත්ව යට ඇඳුමක් වේදිකාවට වීසි කිරීම හෝ වේදිකාවට පැන පේ‍්‍රමයෙන් සෙල්ලක්කාර වීම (මේ දේවල් එවැනි ප‍්‍රසංගයක ආනුෂංගික අංග බව අමුතුවෙන් කිව යුතු නැත) ජනාධිපතිවරයෙකුගේ ප‍්‍රතිචාරයක් ඉල්ලා සිටින්නක්ද? කොහෙත්ම නැත. මෙවැනිම විධායක කෝපයක්, සිංහල, දෙමළ, මුස්ලිම් හෝ බර්ගර් ජාතික සාමාන්‍ය කාන්තාවන් පෙලන සමාජයීය දුෂ්කෘත්‍යයන් සම්බන්ධයෙනුත් ජනාධිපතිවරයා විදහාපාන්නේද?

සමාජයේ මුල් බැසගත් ඒ දුෂ්කෘත්‍යයන් කවරේද? දිනපතා වැඩට යනෙන විට බස් රථයේදී සහ වැඩ කරන ස්ථානයේම පවා ගැහැනියකට මුහුණදීමට සිදුවන ලිංගික හිරිහැරය කොතරම් හිරිකිත ද/ මේ අතර, ගැහැනුන් සහ තරුණියන්, සමහර විට කුඩා දැරියන් පවා දූෂණය කොට මරා දැමීම, පොලිස් දෙපාර්තමේන්තුව වාර්තා කොට ඇති පරිදි, පුපුරා යන අර්බුදයක මතුපිට තත්වය කියාපාන්නකි.

ජනාධිපතිවරයාගේ අවධානයේ ප‍්‍රමුඛත්වය ලැබිය යුතු තැන්

මේ නිසා, බෞද්ධ සම්ප‍්‍රදායයන් සහ ‘ගැමි සංස්කෘතිය’ හුවාදක්වන අතරේම වුව, ජනාධිපති සිරිසේන කාරණා දෙකක් සිත්හි ධාරණය කරගත යුතු වන්නේය. මුලින්ම, ඔහු වනාහී, බහු-සංස්කෘතික සහ බහු-වාර්ගික ජනතාවකගේ ජනාධිපතිවරයෙකි. එබැවින් එක ආගමික හෝ වාර්ගික සදාචාර සාරධර්ම පද්ධතියක් මත්තේ එල්ලී සිටීමට බැලීම අන්‍යයන් තුළ අප‍්‍රසන්න හැඟීම් දනවන්නක් පමණක් නොව, එය වැරදි ප‍්‍රවේශයක්ද වන්නේය.

ඇත්තටම බැලූවොත් මෙවැනි ප‍්‍රකාශයක් කළ හැකි වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැන්නෙකුටයි. මන්ද යත්, ඔහුගේ ප‍්‍රතිපත්තිවලට එවැනි ප‍්‍රකාශයක් සපුරා අනුගත වන බැවිනි. එහෙත්, මේ රටේ වෙසෙන සුළුතරයේ තීරණාත්මක සහායෙන් බලයට පත් මේ ජනාධිපතිවරයා එවැනි ප‍්‍රකාශ කරන විට, මේ වන විට ඇති කර ගත් වෙනසට එය පටහැනිව සිටින්නේය. එයින් පෙන්නුම් කරන්නේ, 2015 ජනවාරියේ ඇති කර ගත් ඒ ඓතිහාසික පරිවර්තනය හරහා ජනතාව අපේක්ෂා කළ අපේක්ෂාවන්ට නොගැළපෙන මනෝ රාමුවක සේයාවකි.

දෙවැනුව, කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය නිරන්තරයෙන් දකින්ට ලැබෙන්නේ ‘නරක මහ නගරවලට’ වඩා ලංකාවේ ඈත ගම්දනව්වල ය. ඊට උදාහරණ ඕනෑ තරම් තිබේ. මෑතකදී බඩල්ගම සේයා සදෙව්මි කුඩා දැරිය දූෂණය කොට ඝාතනය කිරීම ඉන් එක් අවස්ථාවකි. එසේම ලංකාවේ දකුණේ ප‍්‍රාදේශීය මට්ටමේ දේශපාලඥයන් විසින් යොවුන් දැරියන් දූෂණය කිරීමේ වාර්තාද අනන්තවත් තිබේ. මෙවැනිම තත්වයක්, ජනාධිපතිවරයා සිහිපත් කරන ‘අතීතයේ ඇවිද ගිය කුඹුරු යායවල් සහ නියරවල්’ සහිත, එසේම ඔහුට අනුව උතුම් සංස්කෘතියක් ඇතැයි සැළකෙන, ලංකාවේ පෞරාණික අගනගර වන අනුරාධපුරය සහ පොලොන්නරුව වැනි පෙදෙස්වලින්ද දැක ගන්නට ලැබෙයි. උදාහරණයක් වශයෙන් 2011 දී, ළමා ආරක්ෂණ ආයතන සහ ක‍්‍රියාකාරිකයන් විසින් වාර්තා කළ පරිදි, උතුරුමැද පළාතේ බාල වයස්කාර දැරියන් දූෂණය කිරීම් බහුතරය සිදුව ඇත්තේ, වැඩිහිටි පිරිමි ඥාතීන්, ගුරුවරුන් සහ ආගමික නායකයන් වැනි ගැමි සංස්කෘතියේ සම්ප‍්‍රදායික ‘පියවරුන්’ විසිනි. වසරක් පාසා මේ තත්වය ඔඩුදුවයි.

සමාජය තිරිසන් වීම ගැන විභාග කර බැලීම

සුළු වාර්ගික ගැහැණු ළමෝ වෙනත් අයට වඩා මේ අනතුරට ලක්වෙති. පසුගිය වසර අවසානයේදී, නුවරඑළිය මහාධිකරණය විසින් ජේසුදාසන් රීටා නැමැති එවකට 17 හැවිරිදි දැරිය දූෂණය කළ ස්ත‍්‍රී දූෂකයන්ව වැරදිකරුවන් කරන ලදි. ඇගේ නඩුව පිළිබඳ එම තීන්දුව, දශක එක හමාරක් තිස්සේ දිග් ගැස්සුණු නීති අරගලයක ප‍්‍රතිඵලයක් විය. උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ කාන්තාවන් සහ ගැහැනු දරුවන්ව බිළි ගන්නා පාතාල කල්ලි සිටී. හමුදාවෙන් පැන ගියවුන්, හිටපු ත‍්‍රස්තවාදීන්, පැරාහමුදා කල්ලි සහ ප‍්‍රාදේශීය දේශපාලඥයෝ එම පාතාල සාමාජිකයෝය.

මෙවැනි ජඩ ලිංගික හිංසනයක් රජයන ගම් සහ නගරවල පවතින තිරිසන්කරණයේ ස්වභාවය විමසා බලනු වස්, රජයේ මුදලින් නඩත්තු වන ප‍්‍රතිපත්ති උපදේශකයන්ව යෙදැවීමට ජනාධිපති සිරිසේනට හැකියාව තිබේ. තවත් හොඳින් ඒ කාර්ය සමාප්ත කරනු වස්, දූෂණ නඩුවක් සඳහා අවුරුදු 7 සිට 10 දක්වා වන නව තරමේ දීර්ඝ කාලයක් ගතවන අංශබාග නීති ක‍්‍රියාවලිය ගැනත්, ලිංගික දූෂණයේ වින්දිතයන් කෙරෙහි අසංවේදී වන විනිසුරන් සහ නීතිඥයන් ඇතුළු පරිපාටිමය ක‍්‍රියාකාරිකයන් ගැන සොයා බැලීමත් කළ හැකිය.

පාරේ නිරුවතින් ඇවිදීමට ඉඩ නොදෙමියි කියන කතාවලට වඩා අර්ථවත් වන්නේ එවැනි ක‍්‍රියාමාර්ගයකි. ඔහු විසින් කරන ලදැයි මාධ්‍ය විසින් වාර්තා කරන ලද එම විකාර ප‍්‍රකාශය, අගනගරයේ ගැහැනුන් දහස් ගණනක් තමන්ගේ යට ඇඳුම් උනා දැමීමක් පිළිබඳ කල්පිතයකට නම් ගැලපේ. කෙසේ වෙතත්, මේ සියල්ල අපට ඇසෙන්නේ, තමන්ගේ සහනාධාර කපා දමා ඇතැයි යන මැසිවිල්ල යටතේ සිය ගණනක් පිරිමින් අමුඩ පිටින් කොළඹ අරලියගහ මැදුර වටේ පසුගිය දා කරක්ගැසූ පසුබිමක් යටතේ ය. ඒ පිළිබඳව ඇති විය යුතු අපේ ලැජ්ජාව ඇත්තේ කොහිද?

අහිංසකත්වය අහිමිව යාම

මේ හාස්‍යජනක ආන්දෝලනය තුළ පවතින උත්ප‍්‍රාසාත්මක ප‍්‍රශ්නය මා මතු කෙළේ විශේෂ හේතුවක් පෙරදැරිව ය. නව ශ‍්‍රී ලංකාවක් සඳහා වූ ගිය වසරේ අපේක්ෂාවන්ට වැදුණු කෲරතම ප‍්‍රහාරය වන්නේ ඉග්ලේසියාස් ප‍්‍රහර්ෂයේ සිදුවීම් නොව, දේශපාලනික යටිකූට්ටු වැඩ, ඥාති සංග‍්‍රහය සහ පක්ෂ අභ්‍යන්තරයේ රහසිගත ක‍්‍රියාකාරකම් ආදියෙන් ගොඩ ඒමට ජනාධිපතිවරයා දැක්වූ අසමත් භාවයයි.

වගවීමේ න්‍යාය පත‍්‍රය තුළ ඉහළින්ම සිදුකළ යුතුව තිබූ දේශපාලනික ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයත් වගඋත්තර බැඳිය යුතුව තිබේ. විපක්ෂයත් ඊට සම්මාදම් විය. මේ සියල්ල එකට ගත් විට, මීට වඩා හොඳක් නායකයන්ගෙන් බලාපොරොත්තු වීම හරහා පොදු ජනතාවගේ අහිංසකත්වය ඔවුන්ගෙන් අහිමි කිරීම ඉතා බරපතල ය.

ඒ මොනවා වුවත්, තිබුණු තත්වයට වඩා මේ තත්වය හොඳ යැයි කෙනෙකු හිත හදාගන්නට පුලූවන. එහෙත් එවැනි සාපේක්ෂ න්‍යායක් මත යැපීම මායාත්මක ය. ඕනෑම අවම මට්ටමේ වෙනසක් හොඳක් වශයෙන්ම පෙනෙන්ට තරම් රාජපක්ෂලාගේ කෙරුවාව තිබුණේ පහළම අඩියකයි. 2015 ජනවාරි විප්ලවයේ දේදුනු වර්ණාවලිය දිනෙන් දින දුර්වර්ණ වෙන අවස්ථාවක, එවැනි හිත හදා ගැනීමක් නොසෑහේ. සිරිසේනගේ වේවා, වික‍්‍රමසිංහ හෝ රාජපක්ෂගේ වේවා, අතිශය ප‍්‍රශ්නකාරී දේශපාලනික නායකත්වය ඉඳුරා ප‍්‍රශ්න කළ යුතුව තිබේ.

ගිය වසරේ දීප්තිමත් අපේක්ෂා අහිමි වීමෙන් බැටකා සිටින ජනතාවකට, දේශපාලනික නායකත්වයට අභිමුඛව නැගී සිටීමේ එම අභියෝගයත් භාරගත හැකිය.

*2016 ජනවාරි 3 වැනි දා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ “On Great Expectations & Greater Losses” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly

යහපාලනයට අවුරුද්දයි; වෙනස සැපද?

$
0
0

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

2015 ජනවාරි 8වැනි දින පැවති ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස තරග වැදුණු මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 449,072ක් ලබා ගනිමින්, රටේ නායකත්‍වයට පත්වී පුරා වසරක් ගෙවී ගියේය. මෙම වසර තුළ මෙරට ක‍්‍රියාත්මක වූ මෛත‍්‍රී-රනිල් පාලනය කොතෙක් දුරට සාර්ථක වී දැයි, කොතෙක් දුරට යහපත් වී දැයි, ඇගයීමට ලක්කිරීමේ අවස්ථාව උදාවී ඇත්තේය. අද සමහර උදවිය වත්මන් රජය විවේචනය කරන්නේ එය වසර හත-අටක් පැරණි ආණ්ඩුවක් පරිද්දෙන් යැයි, පසුගිය නොවැම්බර් 17වැනි දින අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශය ඇත්තක් වුවද, ඊළඟ වසර කිහිපය තුළ ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව දළ අවබෝධයක් ලබාගැනීමේ අටියෙන් ගෙවුණු වසර ඇගයීමට ලක්කිරීමේ වරදක් නැත්තේය. හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ යන පැරණි සිංහල කියමනට අනුව යමින්, යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන තක්සේරුවකට එළැඹීම සඳහා ගෙවුණු වසර ඇගයීමට ලක්කිරීමේ වරදක් නැත්තේය. තවද, 2015 ජනවාරි නිහඬ විප්ලවය හරහා ඇතිවූ වෙනස සැපදැයි ඇතමුන් සමච්චලයට මෙන් විමසා සිටින පසුබිමක් තුළ, අවුරුද්දක යහපාලනය පිළිබඳව අපක්‍ෂපාතී ඇගයීමක අවශ්‍යතාවය තදින් මතුව ඇත්තේය.

එහෙත් ඊට කලියෙන්, දස වසරක මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරළා දැමීමට බහුතර ලාංකේය ජනතාවක් ඉදිරිපත් වූයේ මන්දැයි මතකයට නගාගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇත්තේය. එනම්, 2015 ජනවාරි විප්ලවය හරහා රට තුළ වෙනසක් ඇතිකිරීමට බහුතර ජනතාවක් ඉදිරිපත් වූයේ ඇයිදැයි මතකයට නගාගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇත්තේය. වසරක මෛත‍්‍රී-රනිල් පාලනය නිවැරදි ඇගයීමකට ලක්කළ හැක්කේ එවිටය. 2005 නොවැම්බර් 17 දින පැවති ශ්‍රී ලංකාවේ පස්වැනි ජනාධිපතිවරණයෙන් ජයගත් මහින්ද රාජපක්‍ෂ මහතා සිය පාලනය යටතේ වසර හතරකටත් අඩු කාලයක් තුළදී, තිස් වසරක කුරිරු යුද්ධය නිමා කිරීමට අවශ්‍ය නිවැරදි දේශපාලන නායකත්‍වය ලබා දුන්නේය. 2009 මැයි මාසයේදී අපේ වීරෝදාර හමුදා ලැබූ ඓතිහාසික ජයග‍්‍රහණය ලාංකේය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එහිදී දශක තුනක ම්ලේච්ඡු යුද්ධය නිමා කිරීමට දේශපාලන නායකත්‍වය ලබාදීමේ ගෞරවය මහින්ද රාජපක්‍ෂ මහතාට අනිවාර්යයෙන්ම හිමි විය යුතුය. 2010 ජනවාරි 26 වැනිදා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 1,842,749කින් මහින්ද රාජපක්‍ෂ මහතාව දෙවෙනි වතාවටත් ජනාධිපති පදවියට පත්කරනු ලැබුවේ ඔහු විසින් කරනා ලද එම සේවයට කළගුණ සැලකීමක් හැටියටය. අනෙක් අතට, මව්බිම වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර සෙබළුන්ට මෙන්ම ඊට දායක වූ සියලූම පාර්ශ්වයන්ට යුද ජයග‍්‍රහණයේ ගෞරවය හිමි විය යුතු බව අමතක නොකළ යුතු අතරම, යුද ජයග‍්‍ර‍්‍රහණයට දේශපාලන නායකත්‍වය ලබාදීමේ ගෞරවය යනු හිතුවක්කාර පාලනයක් ගෙනයාම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබුණු බලපත‍්‍රයක් ලෙස නොසැලකිය යුතු ද වන්නේය. එහෙත් කනගාටුවට හේතු වන්නේ, 2009න් පසුව යුද ජයග‍්‍ර‍්‍රහණයට මුවාවී මුළු රට ම කෙමෙන් ඒකාධිපතිත්‍වයක් කරා ඇදගෙන යාමය.

Chthirika Sirisena and Maithripala Sirisena18වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්‍වය නැත්තටම නැතිවී ගිය අතර, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගමට පාර කැපුණේය. පාර්ලිමේන්තුවේ සිට ප‍්‍රාදේශීය සභාව දක්වා සියලූ තරාතිරම්වල දේශපාලනඥයන් හිතුමතේ නීති විරෝධී ජාවාරම්වල නිරත වූ අතර, දූෂණය-වංචාව දරුණු පිලිකාවක් ලෙසින් සමස්ත ලාංකේය දේහය ම වෙලා ගත්තේය. සංවර්ධනය යැයි කියමින් මහා පරිමාණ දූෂණ-වංචාවලට පුළුල් අවකාශයක් විවර කරනු ලැබීය. රජය සහ රජයේ මතවාදය විවේචනය කළ උදවිය දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසුණා පමණක් නොව, භයංකර සුදු වෑන් සංස්කෘතියක් ද රට පුරා පැතිර ගියේය. සිවිල් ක‍්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් සමහරෙක් සුදු වෑන්වලට ගොදුරු වී අතුරුදහන් වූ අතර, තවත් සමහරෙක් සුදු වෑන්වලට බියෙන් රට හැර ගියහ. මෙයාකාරයට රට තුළ නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් ම බිඳ වැටුණු අතර, සාමන්‍ය ජනතාවට බලපෑ නීතිය රටේ ජනාධිපතිවරයාට, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට, ඥතිහිතමිත‍්‍රාදීන්ට බලපෑවේ නැත. මෙබඳු පසුබිමක් තුළ, මුළු රට ම රාජපක්‍ෂ පවුල් පාලනයට යටත් වූයේ යැයි කීම අතිශයෝක්තියක් නොවන්නේය.

මීට අමතරව, යුද්ධයෙන් විනාශ වූ ගොඩනැගිලි-මහාමාර්ග යළි ගොඩනගන්නට පටන් ගත්තා විනා, බිඳුණු හදවත් සුවපත් කරන්නට පසුගිය රජය උත්සාහයක් දැරුවේ නැත. ජාතික සංහිඳියාව උදෙසා අවශ්‍ය පියවර ගනු වෙනුවට, තවදුරටත් බෙදුම්වාදී බිල්ලා පෙන්වමින් ජාතිවාදී ගින්නට පිදුරු දැමීමක් සිදුවූයේය. අන්තවාදී බෞද්ධ සංවිධානවලට හිතුමතේ චණ්ඩිකම් කිරීමට රජයේ බලවතුන්ගේ අනුග‍්‍රහය ලැබුණු අතර, උතුරු-නැගෙනහිර දමිල ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට කන්දීමක් සිදුවූයේ නැත. කෙටියෙන් කියතොත්, පසුගිය රජය බලය පවත්වා ගෙනයාම සඳහා ජාතිවාදී මඩගොහොරුවේ වැඩි වැඩියෙන් කිමිදෙන්නට පටන් ගත්තේය. මෙම ලැයිස්තුව තවත් දිග්ගැස්සිය හැකි නමුදු, ඉහතින් දැක්වූයේ මහින්ද රාජපක්‍ෂ පාලනයේ අවසාන අවධිය පිළිබඳ සංක්‍ෂිප්ත හැඳින්වීමක් පමණය. කෙසේ වුවද, 2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 62කට වැඩි පිරිසක් සිය කතිරයෙන් කීවේ, තමන් තවදුරටත් එම පාලන ක‍්‍රමය යටතේ ජීවත්වීමට සූදානම් නැති බවය. 2015 ජනවාරි 8 වැනිදා ලක්‍ෂ 62කට වැඩි පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ රට තුළ වෙනසක් ඇති කරන්නටය. එසේ ඇතිවූ වෙනස රටට සැපද? යහපාලනයට වසරක් පිරෙන මේ මොහොතේ අප විමසිය යුතු ප‍්‍රශ්නය එයයි.

ඒ අනුව, 2015 ජනවාරියට පෙරාතුව පැවති තත්ත්වය හා සසඳන විට ගෙවී ගිය වසරේ රට තුළ යහපත් වෙනස්කම් රාශියක් සිදුවූ බව අපගේ නම් අදහස වන්නේය. 2015 ජනවාරි ජනාධිපතිවරණයට විපක්‍ෂයේ පොදු සන්ධානය විසින් ද, අගෝස්තු පාර්ලිමේන්තු මැතිිවරණයට එක්සත් ජාතික පෙරමුණ විසින් ද ඉදිරිපත් කරනු ලැබූ ප‍්‍රකාශනවල අඩංගු වී තිබුණු පොරොන්දු බොහොමයක් තවමත් හරිහැටි ඉටුවී නැති බව ඇත්තක් වුවද, පොදුවේ ගත්කළ ගෙවුණු වසර තුළ රටේ සමාජාර්ථික හා දේශපාලන වාතාවරණය යහපත් අතට හැරෙමින් පවතින බව අපගේ නම් අදහස වන්නේය. යටකී පරිදි, රට ඒකාධිපතිත්‍වයක් කරා තල්ලූවෙමින් පැවති ගමන නතර කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ කටයුත්තට ගෙවුණු වසර තුළ අත්තිවාරම දැමුණු බව ප‍්‍රතික්‍ෂේප කළ නොහැකිය. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට, විධායක බලතල තරමක් දුරට හෝ කප්පාදු කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම අතිශය සාධනීය පියවරක් බව ප‍්‍රතික්‍ෂේප කළ නොහැකිය. ඒ හරහා ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබූ ජයග‍්‍රහණයක් වන්නේය. ස්වාධීන කොමිෂන් සභාවලට පත්කෙරුණු ඇතැම් පුද්ගලයන් පිළිබඳ යම් යම් චෝදනා ඇතත්, ඒවායේ නීත්‍යානුකූලභාවය යළි ලබාදීම ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබූ ජයග‍්‍රහණයක් වන්නේය.
පසුගිය රජය සමයේ විවිධ වංචා-දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම මන්දගාමී බව ඇත්තක් වුවද, ඒ පිළිබඳ වූ කතිකාව සමාජය තුළ නොනැසී පැවතීම සාධනීය ලක්‍ෂණයකි. දීර්ඝ කාලයක් තිස්සේ විවිධාකාර අක‍්‍රමිකතාවන්ට ඇබ්බැහි වී සිටි රජයේ ඇතැම් නිලධාරීන් වසරක් තරම් වූ කෙටි කාලයක් තුළ වෙනස් කිරීම දුෂ්කර බව ඇත්තක් වුවද, මෙම මන්දගාමී ස්වරූපය තවදුරටත් එලෙසම පැවතීම යහපාලන ආණ්ඩුවේ පැවැත්මට අහිතකරය. පසුගිය කාලයේ දණින් වැටී තිබුණු නීතිය දෙපයින් නැගිටවීමේ අවශ්‍යතාවය, 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී මෙන්ම අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී ද ලාංකේය බහුතර ජනතාව අවධාරණය කර සිටි බව නිතර මතකයේ තබාගැනීම යහපාලන ආණ්ඩුවේ පැවැත්මට හිතකර වනු ඇත්තේය. මෙහිලා, පසුගිය කාලයේ බරපතළ වැරදි කොට ලොක්කන්ගේ ආරක්‍ෂාවට මුවාවී නීතියට කොකා පෙන්නූ අයට නිසි දඩුවම් ලබාදීම අත්‍යවශ්‍ය බව මතකයේ තබාගැනීම යහපාලන ආණ්ඩුවේ පැවැත්මට හිතකර වනු ඇත්තේය.

ඒ අතරම, 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී උතුරු-නැගෙනහිර දෙපළාතේ දමිල ජනතාවගෙන් අතිබහුතරයක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය ප‍්‍රකාශ කළේ ඇයි දැයි මතකයේ තබාගැනීම ද යහපාලන ආණ්ඩුවේ පැවැත්මට හිතකර වනු ඇත්තේය. වසර තිහක කාලයක් ලාංකේය සමාජයට පිළිළයක්ව තිබුණු ම්ලේච්ඡු යුද්ධය අවසන් කිරීමෙන් පසුව, ජාතික සංහිඳියාව යළි ගොඩනැගීමේ භාරදූර වගකීම ද යහපාලන ආණ්ඩුවට පැවරී ඇත්තේය. මෙහිලා, දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂ නායක ධූරයට පත්වීම ජාතික සංහිඳියාව යළි ගොඩනැගීමට අපූරු අත්වැලක් වන අතර ම, ඒ හරහා රටට මෙන්ම ජාත්‍යන්තරයට ද යහපත් පණිවුඩයක් නිකුත් කෙරුණේය. එමෙන්ම, උතුර හා නැගෙනහිර දෙපළාතට සිවිල් ආණ්ඩුකාරවරුන් පත්කිරීම, පාරම්පරිකව අයිතිව තිබී යුද්ධය නිසා අහිමි වුණු ඉඩම් සැබෑ අයිතිකරුවන්ට යළි පවරාදීම වැනි සාධනීය පියවර කිහිපයක් ම ගනු ලැබුවද, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම තුළ දක්නට ලැබෙන මන්දගාමී ස්වරූපය මේ සම්බන්ධයෙන් ද දක්නට ලැබෙන්නේය. කෙසේ වුවද, දමිල ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට කඩිනම් විසඳුම් ලබාදීමට යහපාලන ආණ්ඩුව අපොහොසත් වුවහොත්, උතුරු-නැගෙනහිර දෙපළාතේ අන්ත ජාතිවාදය යළි හිස එසවීමේ තර්ජනයක් මතුවීමට ඉඩ ඇත්තේය.

සමස්තයක් ලෙස ගත් කළ, යහපාලන ආණ්ඩුව පත්කිරීමට මුල්වූ අය අතර ම විවිධ විවේචන, කළකිරීම් ටිකෙන් ටික මතුවෙමින් ඇත්තේය. විශේෂයෙන්, ආණ්ඩුවේ සමහර මැති-ඇමතිවරුන්ගේ ක‍්‍රියාකලාපයන් ගැන බහුතර ජනතාවක් තුළ දැඩි කළකිරීමක් මතුව ඇත්තේය. ඉහත කී පරිදි, බොහෝ ක්‍ෂේත‍්‍රයන්හි දක්නට ලැබෙන මන්දගාමී ස්වරූපය මඟහරවා නොගතහොත්, ආණ්ඩුවේ ජනප‍්‍රියතාවය ඉක්මනින් දියවී යාමට ඉඩ ඇත්තේය. යහපාලන ආණ්ඩුව පිහිටුවීමට මුල්වූ අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා වූ කි‍්‍රයාකාරකම් කඩිනමින් දියත් නොකළහොත්, 2015 ජනවාරි 8 වැනිදා රටේ බහුතරයක් තැබූ බලාපොරොත්තු ඉක්මනින් බොඳවී යාමට ඉඩ ඇත්තේය. කෙසේ වුවද, 2015 ජනවාරි 8 වැනිදාට පෙර පැවති තත්ත්වය යහපත් බවක් හෝ ආපසු ඒ කරා ගමන් කළයුතු බවක් හෝ ඉන් කියැවන්නේ නැත. වෙනත් වචනවලින් කියතොත්, 2015 ජනවාරියට පෙර පැවති තත්ත්වය හා සසඳන විට යහපාලන ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය සාපේක්‍ෂ වශයෙන් හොඳය.

Print Friendly

අයිවන් ගේ බිරුම ට පිළිතුරක්

$
0
0

මාලින්ද සෙනෙවිරත්න

මාලින්ද සෙනෙවිරත්න

මාලින්ද සෙනෙවිරත්න

“බල්ලන්ගේ බිරුම මැද්දේ ඉදිරියට යන තවලම” යන මැයෙන් වික්ටර් අයිවන් විසින් රචිත ලිපියක් ‘රාවය’ පුවත්පතෙහි පළ කොට තිබේ. එම ලිපියේ අයිවන් මා ගැන ඔහු දන්නවා යැයි සිතන කරුණුද, මා ලියු ලිපියක් ගැනද සඳහන් කර ඇත. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් රාවය කර්තෘ කේ. ඩබ්ලිව්. ජනරංජන වෙත ඊමේල් පණිවුඩයක් යැවුවෙමි (අයිවන් ද පිටපත් කරමින්). ඉංග්‍රීසියෙන් ලියු එහි අඩංගු කරුණු සැකෙවින් මෙලෙසයි:

“අයිවන් චෝදනා කරන්නේ ‘ද නේෂන්’ පුවත්පතේ ඔහුගේ මූල්‍ය ගනුදෙනු පලවූ පුවතක් පළ කිරීමට පෙර එම පුවත්පතේ එවකට හිටපු කර්තෘ ලෙස මා ඔහුගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේ නැති බවයි. එම පුවතට අදාළ සියලු ලියකියවිලි එවිටද පළ වී තිබුන බැවින් තව දුරටත් අයිවන් ගෙන් විමසන්න කිසිවක් නොතිබුණි. ඒ කෙසේ වෙතත් එසේ නොවිමසීම වරදක් නම්, පහත කරුණ වලට ඔබගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි:

“ඉහත සඳහන් ‘විමසීමේ’ අවශ්‍යතාවය පිලිබඳ අයිවන් ගේ ස්ථාවරය ඔබ අනුමත කරන්නේ ද? එසේ නම් පහත කාරනා පිළිබඳව ඔබට කිව හැක්කේ කුමක් ද?

“නම සඳහන් නොකරන වෙබ් අඩවියක නම සඳහන් නොකරන සංස්කාරයකයෙකු සමග සමීප සම්බන්ධයක් මට ඇති බවද එහි පළවන ඉංග්‍රීසි පුවත් මා සංස්කරණය කරන බවද අයිවන් කියා ඇත. ඒ පිළිබඳව රාවය කර්තෘ හැටියට ඔබ මාගෙන් නොවිමසුවේ මන්ද?

“අයිවන් තවද ප්‍රකාශ කර සිටින්නේ සණස සංවර්ධන බැංකුව ට අදාළ පුවතක් රාවයේ පළ නොකරන ලෙස මා ඔහුගෙන් ඉල්ලා සිටි බවයි. මෙම බරපතල සහ ද්වේශසහගත චෝදනාව පිලිබඳ රාවය කර්තෘ හැටියට ඔබ මාගෙන් නොවිමසුවේ මන්ද? මා අයිවන්ට කථා කළේ එම පුවත රාවයේ පළ වූ පසුවයි. එබැවින් ‘පළ නොකිරීම’ අදාළ නැත. අදාළ පුවත සාවද්‍ය බව ද, ද්වේශසහගත බවද ඒ පිළිබඳව ඔහු දැනුවත් විය යුතු බවද ඔහුට පැවසුවා පමණි. ඒ කෙසේ වෙතත් කිසිම දවසක කිසිම පුවතක් පළ නොකරන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටියේද? තවද, අයිවන්ගේ ගේ මේ අභූත චෝදනා පිළිබඳව රාවය කර්තෘ හැටියට ඔබ මාගෙන් නොවිමසුවේ මන්ද?

“මා කළු සල්ලිකාරයකුගේ ‘පස්ස පැත්ත ලෙවකා’ රස්සාවක් ගත්තා යැයිද අයිවන් චෝදනා කරයි. එම අභූත සහ ද්වේශසහගත චෝදනාව පිළිබඳව රාවය කර්තෘ හැටියට ඔබ මාගෙන් නොවිමසුවේ මන්ද?

“ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙය වන ලද මාධ්‍ය කණ්ඩායමක මමද සිටියේ යැයිද, එබැවින් ගෝඨාභය රාජපක්ෂ මාව ‘බලාගත්තා’ කියාද අයිවන් චෝදනා කර ඇත. ඒ පිළිබඳව රාවය කර්තෘ හැටියට ඔබ මාගෙන් නොවිමසුවේ මන්ද?”

ජනරංජන ට මේ ඊමේල් පණිවුඩය යැවීමෙන් අනතුරුව ඔහුට දුරකථනයෙන් ඇමතුවෙමි. ඊමේල් පණිවුඩයට පිළිතුරක් එවන බව​ ඔහු කියා සිටියේ ය. කාර්යබහුල බැවින් ඔහුට ඒ සඳහා අවකාශයක් නොතිබුනා යැයි සිතමි. කෙසේ වෙතත් අයිවන් තවමත් නිහඬ යි.

අවසානයේ අයිවන්ගේ බිරුමට කෙටි පිළිතුරක් ජනරංජන මහතා වෙත යවුවෙමි. ඔහු එය රාවයේ පළ කර ඇත. පහත දක්වා ඇත්තේ එම සටහන වේ:

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් සංවිධානය විසින් අයිවන් ට ප්‍රධානය කරන ලද ‘ඉන්ටග්‍රිටි’ සම්මානය සඳහා අයිවන් ගේ සුදුසුකම් මෙන්ම එය පිළිගැනීමට අයිවන් ට ඇති සදාචාර අයිතිය ද මා ප්‍රශ්න කර සිටියෙමි. ප්‍රවීන මාධ්‍යවේදියෙකු ලෙස මා විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිලිබඳ පැහැදිලිකිරීමක් මම ඔහුගෙන් බලාපොරොත්තු විය. ඒ වෙනුවට අයිවන් මාධ්‍ය භාවිතය පිලිබඳ තමා විසින්ම ඉදිරිපත් කර ඇති කොන්දේසි උල්ලංඝනය කරමින් වසුරු කෙලියක නිරත වී ඇත. එයට සම්මාදම් වීම ට මට අවශ්‍ය නැත. එහෙත් අතීත මාධ්‍ය භාවිතයක විශිෂ්ටතත්වයක් කියා පාමින් මා පිලිබඳ ඉතාම වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීම වගකීම් විරහිත බැවින්ද ද්වේශසහගත බැවින් ද ඒ හරහා පාඨකයින් මුලා කිරීමක් සිදුවිය හැකි බැවින්ද පහත කරුණු සඳහන් කරමි.

කිසිම දවසක කිසිම කෙනෙකුගෙන් කිසිම මාධ්‍ය ආයතනයක රැකියාවක් මා ඉල්ලා නැත. මාධ්‍ය ආයතන වල රැකියා මට යෝජනා වූ හැම අවස්ථාවකම ඒවා බාර ගත්තේද නොගත්තේද මා සතුටුවන මාධ්‍ය භාවිතයක යෙදීමට ප්‍රමාණවත් අවම අවකාශයක් ඇත්ද නැතිද යන කාරණය පදනම් කොට ගෙන වේ. එම අවම කොන්දේසි උල්ලංඝනය වූ හැම අවස්ථාවකම අදාළ තනතුරු වලින් ද අදාළ ආයතන වලින්ද මා සමුගෙන ඇත. කිසිම දවසක කිසිම මාධ්‍ය ආයතනයක කිසිම ප්‍රධානියෙකුගෙන් කිසිම පුවතක් හෝ ලිපියක් පළ නොකරන ලෙස ඉල්ලා නැත. මතවාදීමය විරෝධතා හැරුණු විට කිසිම මාධ්‍යවේදියෙකු සමග වෛරයක් හෝ අමනාපයක් මා හට නැත.

Print Friendly

එන්රිකේ ඉග්ලේසියාස් පිළිබඳ ගීතය සහ රංගනය

$
0
0

සරත් ද අල්විස්

සරත් ද අල්විස්

සරත් ද අල්විස්

‘‘සංගීතය යනු සදාචාර නියාමයකි. එය, විශ්වයට ආත්මය සපයයි. සිතට පියාපත් සපයයි. මිනිස් පරිකල්පනය පියාඹවයි. ජීවිතය සහ සෑම සියලූ දෙයකටම, ලාලිත්‍යය සහ ප‍්‍රමෝදය දායාද කරයි.’’ – ප්ලේටෝ

අඳුරු අතීතය මතක් කර දීම, ස්වකීය විවේචකයන්ට වර්තමාන පාලකයන් සපයන සුපුරුදු පිළිතුර බවට පත්ව ඇත. ඇත්ත. අන්තර්ජාලයට දැන් නිදහසේ අවතීර්ණ විය හැක. මහජන විරෝධාකල්පවලට නිදහස ලැබී ඇත. ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී රාජ්‍ය ක‍්‍රමයේ අඬුපඬු ගලවා ඇත. ආපදාවක් ඇති වේදෝ යන බියෙන් සැකෙන් තොරව දැන් අපි ලියමු. කියමු. ඒ වෙනස ඇති වුණේ, ‘ගැලවුම්කාරයාට’ තුන්වැනි වාරයකුත් දීම ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කොට, රාජ්‍ය ක‍්‍රමය වෙනස් කිරීමේ ප‍්‍රතිඥාව දුන් ‘ප‍්‍රතිසංස්කාරකයෙකු’ පත්කර ගැනීමත් සමගයි.

සාධාරණ සමාජයක්

එය සිදු වුණේ කෙසේද? එය සිදුවුණේ පුරවැසියන්ගේ සාමූහික ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් වශයෙනි. එම මෙහෙයුම ඒකාබද්ධ කෙළේ, ‘සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ’ නායක මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අසාමාන්‍ය නායකත්වයේ පුරෝගාමීත්වයෙනි. එය සාර්ථක කෙළේ ජනතාවයි. එකී ගෞරවය අප දෙන්නේ, ‘ජනතාව වන අපිට’ ය. වෙන කිසිවෙකුට නොවේ.

Enrique Iglesiasසෝභිත හිමියන්ගේ දූත මෙහෙය වුණේ, මහින්ද රාජපක්ෂ වෙනුවට මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු පත්කර ගැනීම නොවේ. ඔහුගේ ප‍්‍රකාශිත අරමුණ වුණේ, ‘සාධාරණ සමාජයකි’. සිවුරක් දරාගෙන ඉතා වේගයෙන් ගිහි ශාන්තුවරයෙකුගේ කීර්තියක් දිනා ගැනීමට උන්වහන්සේට හැකි වීම, මීට වසරකට කලින් ඇති වූ දේශපාලනික විපර්යාසයේ වැදගත් ලක්ෂණයකි.

මේ ආ-ගිය කතා ලියුම්කරුගේ කල්පනාවට ආවේ, පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලිගේ කතාවකට සවන්දෙද්දී ය. ‘පේ‍්‍රමය සහ රතිය’ නැමැති සංගීත ප‍්‍රසංගයටත්, තනපටයක් වීසි වීමේ හුටපටයකටත් එරෙහිව ජනාධිපතිවරයා අම්පාර නගරයේදී කළ දෙහි කැපිල්ල මොහු උඩ පැනගෙන අනුමත කෙළේය. මඩු වලිගයෙන් තැලිය යුතු බවට එහිදී ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශයට එරෙහිව නැගී සිටි විවේචකයන් පසුගිය ආණ්ඩු කාලයේ නම් මෙසේ කෑකෝ ගසනු නැතැයි කී ඔහු, එසේ විණි නම් ‘ගෝඨාගේ මදාවියන්’ ඒ ගැන වගබලාගනු ඇතැයි ඉඟි කෙළේය.

අසාද් සාලිගේ ප‍්‍රකාශයට අපූරු ආකාරයකින් සම්පාතව, කොළඹ පුරපති මුසාමිල්ද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වීය. ජනවාරි 8 වැනි දා තෙක් බලය හෙබැවූ ඔහුගේ උඩු රැුවුල්කාර පැරණි හාම්පුතාගේ අනුශාසකත්වයෙන් ඔහු වැජඹුණු අගනුවර, මින් මතු කිසි දවසක ඉහත කී සංගීත ප‍්‍රසංගයේ සංවිධායකයන්ට ප‍්‍රසංග පැවැත්වීමට තමන් ඉඩ නොදෙන බව ඔහු එහිදී කීය. ඔහුගේ පුරපති විශිෂ්ඨතා ගැන මතක තියාගෙන සිටි මිලියනයකට ආසන්න අගනගර වැස්සෝ ඔහුගේ බිරිඳට මනාප ඡන්ද 20,000 ක්වත් නොදී පසුගිය ඡන්දයෙන් පරාජය කළහ.

සිංහල බෞද්ධ සාරධර්ම ඛාදනය වීම ගැන ධර්මිෂ්ඨ කෝපයට පත් ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සුළු ජාතික දේශපාලඥයන් දෙන්නෙකු විසින් එසේ ආරක්ෂා කරනු ලැබීමට යටින් ඇති අනුප‍්‍රාසය පැහැදිළි ය. ඔබේ නිදහස් අයිතීන් ස්ථාපිත කොට තිබේ. එබැවින් කෘතඥ වන්න.

ජනාධිපතිවරයා ‘වෙබ්කාරයන්ට’ පිඹීම

ප‍්‍රසංගය පැවති ස්ථානයෙන් ඉතා ඈතක සිට ඒ ගැන තියුණු විවේචනයක් කළ ජනාධිපතිවරයා ඊට දින කිහිපයකට පසු නැවතත් ඒ මාතෘකාවට පිළිපන්නේය. ඔහු කෙරෙහි සයිබර් අවකාශයේ සිට එල්ල වන විවේචන සැළකිල්ලට ගනිමින් ඔහු කීවේ, මේ ‘වෙබ්කාරයන්’ හෙළුවෙන් පාරේ යාමට ඉල්ලන බවකි.

එය නම් ඇත්තෙන්ම මුස්පේන්තු ප‍්‍රකාශයකි. ඔහුට ඔහුගේ ඇමති එස්. බී. දිසානායක ගැන අමතක විය. පසුගිය ජනාධිපතිවරණයේදී මේ ඇමතිවරයා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ගැන කීවේ, ‘බිම දාලා, පාගලා, රෙදි ගලවලා, පාරේ ඇවිද්දවිය යුතු’ බවකි.

දේශපාලඥයාට වඩා සාමාන්‍යයෙන් ඉදිරියෙන් සිටින ඡන්දදායකයා පසුගිය මහ මැතිවරණයේදී ඔහුව පරාජය කරමින් හොඳ පාඩමක් ඉගැන්නුහ. එහෙත් ප‍්‍රතිසංස්කාරක ජනාධිපතිවරයා එම පුද්ගලයාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්තේය. ඔහු ප‍්‍රයෝජනයට ගත්තේ, ජනතා කැමැත්ත මගහැර යා හැකි නීතිමය අවසරයකි.

පුවත්පත් වාර්තා සත්‍ය නම්, එක් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු පුරුෂ ශක්ති වර්ධනය සඳහා වැඩි මාත‍්‍රාවකින් ශක්තිකාරක ගැනීමෙන් අවාසනාවන්ත අකරතැබ්බකට මුහුණදී තිබේ. අපේ ජාතිය පත්ව ඇති මේ විපත මොකක්ද ‘අපේ හාමුදුරුවනේ’ යැයි කෙනෙකුට ඇසිය හැක. එතැන කතාවක් තිබේ. ජනාධිපතිවරයාගේ මුල් තරවටුව කෙළේද ‘අපේ හාමුදුරුවන්’ ඉදිරිපිට ය.

හිටපු ජනාධිපතිවරියක් නිරුවතින් මහ පාරේ ඇවිද්දවීමේ තර්ජනය හෝ ඖෂධ සාරයෙන් වයසක දේශපාලඥයෙකු පුරුෂ ශක්තිය කෙලින් කර ගැනීම හෝ ‘අපේ හාමුදුරුවන්ට’ කියන්ට තරම් ආඬපාලි නොවුණි.

මෙය, ජංගි ගැන හෝ තනපට ගැන හෝ සයිබර් ලේඛකයන්ගේ නිරුවත ගැන හෝ කාරණයක් නොවේ. එන්රිකේ ඉග්ලේසියාස්ගේ අතේ තනපටයක් තිබෙනු අපි දුටුවෙමු. එය වීසි කෙළේ කවුදැයි නොදුටුවෙමු. එසේම, එළියේ තිබූ තන් දෙකක් අප දුටුවේද නැත.

එබැවින් අප මෙසේ ඇසිය යුතුය: ‘ජනාධිපති කෝපයේ පදනම් තර්කනය කුමක්ද?’ සෙල්ලක්කාර කෙල්ලක් වේදිකාවට නැග, ස්පාඤ්ඤ ජාතික පේ‍්‍රම ගායකයෙකුගේ මුව සිප ගැනීම තුළ ඇති ඔය කියන අසභ්‍යත්වය කුමක්ද? මාතංග සහ දිට්ට මංගලිකා පිළිබඳ ලාලසාමය බෞද්ධ කතාව අපට අමතකද?

පශ්චාත් යටත්විජිත සිංහල සංස්කෘතිය

නැත. මේ අපේ පශ්චාත් යටත්විජිත සිංහල සංස්කෘතියයි. මම හඬමි. මට මිනිපිරියන් පස් දෙනෙකු සිටී. ගැහැනුන් සිටින්නේ වැදීමට සහ ගෙවල් හැදීමට පමණද? ඔවුන්ගේ ලිංගිකත්වය ‘අපේ හාමුදුරුවන්ගේ’ අධීක්ෂණයට යොමු කරන්නේ ඇයි? සිංහල බෞද්ධ කෙල්ලන් යනු, බහුමානික ශ‍්‍රී ලංකාවේ සදාචාරාත්මක වශයෙන් උසස් සිංහල බෞද්ධ වරිගයක් ප‍්‍රජනනය කරන, සුජනක පෙරටුගාමී බලඇණියක්ද?

අප ආපසු සාධාරණ සමාජයක් දිසාවට පිවිසිය යුතු නැත්ද? එනම්, සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සහ පොරොන්දු දිසාවට යොමු විය යුතු නැත්ද? සෝභිත හිමියන්ව අමතක කොට ජනවාරි 8 වැනි දා ජයග‍්‍රහණයන් ස්ථායි කරගත නොහේ. 1978 සිට 2015 දක්වා වන ඔහුගේ මහජන ක‍්‍රියකාරී ඉතිහාසය, අදාළ සන්දර්භය තුළ වටහා ගත යුතුව ඇත. ආරම්භක ෆැසිස්ට්වාදයකට එරෙහිව දශක තුනක් තිස්සේ සටන් කරන අතරේ, සටන්කාමී භික්ෂුවකගේ සිට ලෞකික ශාන්තුවරයෙකු බවට ඔහු පරිවර්තනය විය.

ගෝත‍්‍රික ක්ෂතියෙන් ගොඩ ඒමට තවමත් යත්න දරන ශ‍්‍රී ලාංකීය ජාතියේ සැබෑ ‘අපේ හාමුදුරුවෝ’ එතුමෝ ය. අනිත් ‘හාමුදුරුවරු’ උන්වහන්සේගේ සිහිකල්පනාව ගැන එදා ප‍්‍රශ්න කරද්දී, හින්දු, මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි සුළුතර සාමාජිකයෝ එතුමන්ට ‘අපේ හාමුදුරුවනේ’ යැයි කට පුරා කීහ.

එතුමන් පිළිබඳ මතකය හෝ සමාජයට එතුමන් සැලසූ සම්මාදම, අපේ සමකාලීන දේශපාලන ඉතිහාසයේ පාද සටහනක් වීමට අප ඉඩ නොතැබිය යුතුය. සෝභිත හිමියන් නායකත්වය දුන්නේ, පෞර ව්‍යාපෘතියකට මිස, ගෝත‍්‍රික නිස්සරණක සෙවණ පතන පටු පසුබැසීමකට නොවේ.

සිංහල බෞද්ධ සදාචාරය

අපේ නායකයන් සිංහල බෞද්ධ ආචාරධර්ම පිළිබඳ ප‍්‍රශ්නය සැලකිල්ලට ගන්නේ විශේෂිත වූ සන්දර්භයක ය. අපේ පුරාතන පුරුෂාර්ථ ඔවුහූ සංඝ සාසනයට භාර කරති. මෙය අලූත් දෙයක් නොවේ.

‘‘ආසියාවේ ආලෝකයට’’ පෙරවදනක් ලියන ශ‍්‍රීමත් එඞ්වින් ආර්නල්ඞ් මෙසේ කියයි: ‘‘ගෞතම බුදුන්ගේ මුල් ධර්මතාවන්ගේ තේජස සහ උත්කෘෂ්ටතාව තක්සේරු කළ යුත්තේ, එම ධර්මතාවන්ගේ ආනුභාවය මත මිස, ඒවා අර්ථකථනය කරන්නන් මත නොවේ. ‘බෞද්ධ සහෝදරත්වය’ හෙවත් සංඝයාගේ පදනම් මතින් ව්‍යුත්පන්න ඒ කුසීත ආලවට්ටම් පන්සල මගින්ද නොවේ.’’

ශ‍්‍රීමත් එඞ්වින් ආර්නල්ඞ් ඔහුගේ වීරකාව්‍ය පබැª කාලයට වඩා, මේ කුසීත ආලවට්ටම් නඩය අද දේශපාලනික වශයෙන් බලවත් ය. කුසීත භාවය සහ ආචාර සමාචාර සරුවපිත්තලයට අමතරව, ඔවුන්ගේ ක්ෂේත‍්‍රයෙනුත් ඉතා ඈතට විහිදෙන බලපෑමක් සහ අධිකාරයක් ඔවුහූ තමන් වෙනුවෙන් අද ඉල්ලා සිටිති. බහුතරයේ හිතලූ බහුතරයක හිත් දිනා ගනු වස්, ‘ගැලවුම්කාර’ පූර්වාගාමියා අභියෝග කිරීමේ ව්‍යාපෘතියකට, ‘ප‍්‍රතිසංස්කාරක’ ජනාධිපතිවරයා, හිතාමතාම, දැනුවත්ව සහ සැලසුම් සහගතව, අවතීර්ණව සිටී. ප‍්‍රහාරයට ලක්ව තිබෙන සිංහල බෞද්ධ සාරධර්ම කෙරෙහි වන ඔහුගේ උග‍්‍ර කැක්කුම, අභාග්‍ය සම්පන්න ය. සදාචාර සාරධර්ම රැුක ගැනීම, හැඟීම්බර ව්‍යායාමයක් වන විට, සාධාරණ සහ අපක්ෂපාතී වන්නේ කවරේද යන්න නිශ්චය කර ගැනීමේ තර්කනය අපෙන් මගහැරේ.

එය, ගෝලීය සම්බන්ධතා ජාල යුගයක, බරපතල ප‍්‍රතිගාමී පියවරකි. ජනාධිපති සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අභිභවා යාමේ සටනට පිවිසීම තුළ අද පත්ව ඇත්තේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමේ ව්‍යාපෘතියේ ‘වහලෙකු’ බවට ය.

වහලෙකු තුන් ආකාර වෙතැයි ඇරිස්ටෝටල් කීය: එනම්, ඔහු මෙවලමකි. තමාගේම නොවන්නෙකි. විචාර ඥානය නැත්තෙකි.

*2016 ජනවාරි 03 වැනි දාවැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “The Song & Dance About Enrique Iglesias” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් හා ඇඹිළිපිටියේ තරුණ ජීවිතයේ අළෙවිය

$
0
0

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

පොලීසිය හා ඇතිවූ ගැටුමකින් තරුණයකුගේ මරණය වාර්තාවීමෙන් අනතුරුව එළඹුන රාජපක්ෂ රෙජීමය බිද වැටීමේ වසරක සංවත්සරය දා මාධ්‍ය අමතමින් විමල් වීරවංශ විසින් දුක්මුසු ලීලාවෙන් ප්‍රකාශ කළේ පොලිස් රාජ්‍යයක් බිහිවී ඇති බවය. සුපුරුදු උද්වේගකර හඩින් මාධ්‍ය අමතමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ තරුණ දරුවකු මරාදැමීමෙන් රට පාවාදීමේ සංවත්සරය ආණ්ඩුව විසින් සමරා ඇති බවයි.

මංගල උත්සවයක් අතර තුර ඊට මැදිහත් වූ ඇඹිළිපිටිය පොලීසියේ නිලධාරීන් සමග ඇතිවූවා යැයි කියන ගැටුමකින් පසුව තරුණයකු මිය යෑම ඇත්තෙන්ම කණගාටුදායකය. මෙම මරණය සිවිල් ජනතාවට සාමාන්‍ය ජන ජීවිතයේ දී එල්ල වන තර්ජන හා මානව හිමිකම් සම්බන්ධ බරපතල ප්‍රශ්න ඇති බවට යළි සිහි කැදවයි. සිවිල් සමාජයක මනුෂ්‍ය ඝාතන සිදුවීම නොවිය යුක්තක් වුවද මානව ගැටුම් පවතින තාක් කල් මනුෂ්‍ය ඝාතනයන් වාර්තාවීම වැළැක්විය නොහැක. එහෙත් රාජ්‍යයේ නියොජිතයකු වන පොලීසිය හා සමග ඇතිවූ ප්‍රශ්නයකින් මනුෂ්‍ය ඝාතනයක්වීම සුළුකොට තැකිය හැක්කක් නොවේ.

සිවිල් වැසියකු රාජ්‍යයේ ආරක්ෂක බලමුළුවකින් කවරාකාරකින් ඝාතනයට ලක්වුවද ඊට ආණ්ඩුව වගකිව යුතුය. නමුත් දේශපාලන අරගල අවස්ථාවන්හිදී රාජ්‍යයේ ආරක්ෂක බලමුළු වලින් පහර දී ඝාතනයට ලක්වන සිවිල් වැසියන්ගේ මරණ වල දී ආණ්ඩුවට වඩා වැඩි වගකීමක් පැවරේ. කෙසේ හෝ වේවා රාජ්‍යයේ ආරක්ෂක බලමුළු වලින් පීඩාවට පත්වන සිවිල් ජනයා ආරක්ෂා කිරීම සදහා කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී හා නීතියේ ආධිපත්‍ය සුරකින රාජ්‍යයක් ඇති කිරීමයි.

ඇඹිළිපිටියේ ඇතිවූ ගැටුමකින් මිය ගිය තරුණයා මිය ගියේ කවරාකාරයකින් දැයි තවමත් පැහැදිලි නොමැත. එහෙත් ඒ නිසා රාජ්‍යයේ ප්‍රතිසංස්කරණයට ලක් විය යුතු ක්ෂේත්‍රයන් කිහිපයක්ම ඉස්මත්තට ගෙනවිත් ඇත. යම්කිසි මරණයක් සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල වූ වහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පළමුවෙන්ම කරන්නේ චෝදනාවෙන් පොලීසිය ගලවා ගැනීමට උත්සාහ දැරීමයි. එසේම සමාජය තුළ පොලීසියට ඇති අතිමහත් බලය උත්කර්ශයට නැංවෙන ප්‍රකාශ ඔහුගෙන් ප්‍රකාශයට පත් වේ. පොලීසියට චෝදනාවක් එල්ල වූ පසුව මැදහත්ව චෝදනාව සලකා බලා කටයුතු කිරීමේ ලක්ෂණය පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයාට නොමැත. ඔහු නිතරම උත්සාහ කරන්නේ විසදුමේ කොටස්කරුවකුවීමට නොව ප්‍රශ්නයේ කොටස්කරුවකුවීමටයි.

ඇඹිළිපිටියේ තරුණයාගේ සිද්ධියේ දී පමණක් නොව උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍යයන්ගේ උත්ඝෝෂණයට එල්ල කළ පොලිස් ප්‍රහාරයේ දීත් දැරියක පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ සිද්ධියකට අදාළව කොටදෙණියාව පොලීසියට එල්ල වූ චෝදනා වලදී ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හැසුරුණේ මේ අන්දමින්ම ය. එසේම ශිෂ්‍ය උද්ඝෝෂණයට එල්ල කළ අමානුෂික පොලිස් ප්‍රහාරයෙන් පසුව වැඩ බලන පොලිස්පතිවරයා මාධ්‍ය හමුවක් කැදවමින් උත්සාහ කළේ ද චෝදනාවන්ගෙන් පොලීසිය බේරා ගැනීමට මිස පොලීසියේ බලය අයුතු ලෙස යොදා ගැනීම වැළැක්වීමට පියවර ගැනීමට නොවේ.

වසර හතලිහකට අධික කාලයක් සාමාන්‍ය සිවිල් නීතියෙන් බාහිරව හදිසි නීතිය යටතේ ද සාමාන්‍ය නීතිය ඉක්මවා යන අත්තනෝමතික බලයක් පොලීසියට ලැබෙන නීති යටතේ ද රාජකාරී කිරීමේ සංස්කෘතික පුරුද්ද ද නිසා පොලීසියට මේ ඉරණම අත්වෙන්නට ඇත. එසේම රාජපක්ෂ රෙජීමය තුළ ඇති කරගෙන තිබූ ජාතික ආරක්ෂක රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ නොතිත් ආශාවත් ඊට සමාන්තරව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් අත්හැරීමත් මේ තත්ත්වයට හේතුවන්නට ඇත.

දස වසරකට ආසන්න රාජපක්ෂ පාලනය තුළ පළමුව ආණ්ඩුව ද දෙවැනිව සමාජය ද එක හඩින් වර නැගුවේ ජාතික ආරක්ෂාවයි. එල්ටීටීඊයට එරෙහි යුද්දය සමාජයේ අධිපති මතය වූ පසුව එහි එකම ඉලක්කය වූයේ “ත්‍රස්තවාදී කණ්ඩායමක්” මුළුනුපුටා දැමීමම නොවේ. එය රාජ්‍ය කිරීමේ විළි වසා ගැනීමට අනුගමනය කළ උපක්‍රමයක් පමණක් විය. ඇත්තටම රාජපක්ෂ පාලනය විසින් ජාතික ආරක්ෂාව යැයි අර්ථකතනය කළේ ආණ්ඩුවේ ආරක්ෂාව හා පැවැත්මයි. ඒ අනුව සියළු ආණ්ඩු විරෝධී ක්‍රියා ජාතික ආරක්ෂාවේ නාමයෙන් මර්දනයට ලක් වුණි. එපමණක් නොවේ. ඇත්තටම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ පුද්ගලයන් පවා දේශපාලන පක්ෂපාතීත්වය රාජපක්ෂ පාලනයට පෙන්වූ පසුව චෝදනා වලින් නිදහස් වුණි. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක චෝදනාලාභීයකු පවා අවසානයේ රාජපක්ෂ පාලනයට පක්ෂපාතවීම නිසා සියළි චෝදනා වලින් නිදහස්ව අමාත්‍ය ධූරයකින් ද පිදුම් ලැබීය. රාජපක්ෂ පාලනය තුළ ජාතික ආරක්ෂාව යන්න කෙතරම් උත්ප්‍රාසජනක වචනයක්දැයි එමගින් පැහැදිලි වුණි.

සියළු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අහෝසි කරමින් ජාතික ආරක්ෂක රාජ්‍යයක් කරා පල්ලම් බැසීමේ ප්‍රතිඵලය වූයේ සිවිල් ජනතාවගේ මානව අයිතීන් ගිලිහී යෑමයි. ඒ තුළ මිනිස් නිදහස මෙන්ම ජීවත්වීමේ අයිතිය ද තුට්ටුවකට තැකුවේ නැත. ඒ නිසා බීමට ජලය ඉල්ලා මහ මගට බැස්ස රතුපස්වල ජනයා මරා දැම්මේ මහා ත්‍රස්තවාදී මෙහෙයුමක් මර්දනය කරන පරිදි ය. රැකියාවේ අයිතීන් ඉල්ලා මහ මගට බැස්ස කටුනායක කම්කරුවන් මරා දැම්මේ ද මහා ත්‍රස්තවාදී මෙහෙයුමක් මර්දනය කරන පරිදි ය. ඉන්ධන මිල පහළ බස්සන්නැයි මහ මගට බැස්ස මීගමුවේ ධීවරයින් මරා දැම්මේ මහා ත්‍රස්තවාදී මෙහෙයුමක් මර්දනය කරන පරිදි ය.

ඇඹිළිපිටියේ තරුණයකු මිය යෑමත් සමග පොලිස් රාජ්‍යයක් බිහිවී ඇතැයි ද තරුණ දරුවකු මරා දමමින් ආණ්ඩුව තම පළමු සංවත්සරය සමරන්නේ යැයි ද විමල් වීරවංශ විස්සෝප වන්නේ එදා ආරක්ෂක රාජ්‍යයක් හදන්නට මහන්සි වී පසුව රාජපක්ෂවරුන්ගේ පරාජයෙන් පසුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇතැයි විස්සෝපවීමේ අත්දැකීම් අත දරාගෙන වීම හාස්‍යජනකය. ආරක්ෂක රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි සමාජ කොටසකට සිවිල් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතියක් නොමැත.එසේම මානව හිමිකම් යනු බටහිර ආධිපත්‍යවාදය සදහා ගොඩනැංවූ සංකල්පයක් යැයි කියූ දේශපාලන අදහස් දරන්නකුට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නට අයිතියක් නොමැත. එහෙත් සම්මුතිවාදී ආණ්ඩුව යටතේ විපක්ෂය නියෝජනය කරන්නේ මෙවැනි හාස්‍යෝත්ජනක චරිතයන් වීම කනගාටුවට කරුණකි.

දස වසරක රාජපක්ෂවරුන්ගේ පාලනය පෙරලා නව දේශපාලනික සංස්කෘතියක් රටේ බිහි කළේ විශාල අරමුණක් පෙරදැරි කරගෙනය. ඒ බලාපොරුත්තු ඒ හැටියෙන්ම ඉටුවී නැතත් ඉටුවන්නේ ද නැතත් 2015 ජනවාරී 08 දා ජයග්‍රහණය ලාංකික සමාජයට අත් කර දුන් වරප්‍රසාද අතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් රාජ්‍ය විසින් යළි පිළිගැනීම ප්‍රශස්තය. ඒ නිසා රාජ්‍යයේ ආරක්ෂක බලමුළු රාජකාරිය ඉටු කිරීමේ දී කරන්නා වූ මිනිස් අයිතීන් උල්ලංඝනය අවශ්‍ය දෙයක් යැයි රාජ්‍ය විසින්ම අවසන් තීන්දුව ලබාදෙන්නේ නැත. උසස් තාක්ෂණික ඩිප්ලෝමාවේ ශිෂ්‍යයන් කළ උද්ඝෝෂණයට කළ තිරිසන් පොලිස් ප්‍රහාරය රාජ්‍ය විසින්ම වැරදි තීන්දුවක් යැයි නිගමනය කරන්නේත් ඊට අදාළ වැරදිකරුවන්ට දඩුවම් දෙන්නේත් පූර්වාදර්ශ සපයමිනි. ඒ අනුව රාජකාරී ඉටු කිරීමේ දී තවදුරටත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වලට ගරු කළ යුතු යැයි ද ඒවාට වටිනාකමක් ලබාදිය යුතු යැයි ද රාජ්‍ය විසින්ම පණිවුඩයක් ලබා දී තිබේ.

එසේම මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරීත්වය ද ශක්තිමත් ලෙස වර්ධනය කරමින් පවතී. අවස්ථා කිහිපයක දී ම මානව හිමිකම් කොමිසම ක්‍රියාකාරීව මැදිහත් වූ අතර ඉතා අගය කළ යුතු අවස්ථාවක් වන්නේ ජාතිවාදී ප්‍රකාශයන්ට එරෙහිව නීති පනවන්නට රාජ්‍ය උත්සාහ කළ අවස්ථාවේ දී ඊට මැදිහත් වෙමින් විරෝධය පළ කිරීමයි. ගත වූ කෙටි කාලය තුළ පොලිස් කොමිසම හා මානව හිමිකම් කොමිසම ප්‍රශස්ත ලෙස ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් වල ස්ථිරතාව හා වැදගත්කම වෙනුවෙන් පෙනී සිට ඇත. ඊට ශක්තියක් වූයේ විධායක ජනාධිපති බලය අවම කළ කොමිසන් සභා ස්ථාපිත කිරීමයි. එම ප්‍රතිසංස්කරණය ජනවාරී අට උදා කරදුන් වැදගත් දේශපාලන ජයග්‍රහණයකි.

ආරක්ෂක රාජ්‍යයේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛ වූ සංස්කෘතිය තුළ ආණ්ඩු මාරුවකින් හුදු සියළු ප්‍රතිසංස්කරණයන් සම්පූර්ණ නොවේ. එහෙත් මානව අයිතීන් උල්ලංඝනය වන සිවිල් වරප්‍රසාද අහිමිවන ආරක්ෂක රාජ්‍යය සංකල්පයෙන් ඉවත්වීම ධනාත්මක පරිවර්තනයක ආරම්භයකි. මේ සංක්‍රාන්ති පරිවර්තන සමය තුළ අලුත් සංස්කෘතියක් සදහා චින්තන වෙනස්කම් ඇති කර ගත යුත්තේ රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන් එකවිටය. එසේනොවන්නේ නම් ඒ පරිවර්තනයට හුරුවන්නටත් ඊට අනුගතව ජීවත්වන්නටත් නොහැකිවීම මගින් සමාජයට එල්ල කරන හානිය ප්‍රබලය.

රාජ්‍යයේ ඉලක්ක සංකල්පය වෙනස් වී ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් වටිනාකම් වලට ගරුත්වයක් ලබාදෙන ගමනේ සමාජයක් ලෙස තවමත් ඉන්නේ සංක්‍රාන්ති අවස්ථාවකය. ඒ තුළ ජනමත නායකයින් කටයුතු කළ යුත්තේ සමාජ පරිවර්තනය ඉක්මන් කිරීමට මිස එය ආපිට හැරවීමට නොවේ. එහෙත් සම්මුතිවාදී ආණ්ඩුව බලය ලබාගත් පසුව සමාජයට මුහුණ දෙන්නට වී ඇති බරපතලම ඛේදවාචකය වී ඇත්තේ සමාජ පර්වර්තනය ඉක්මන් කරන ලෙස කටයුතු කරන විපක්ෂයක් නොවීමයි.

එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික කණ්ඩායමේ ප්‍රබලයකු වන විමල් වීරවංශ ඇඹිළිපිටියේ තරුණයාගේ මරණය අර්ථදැක්වූයේ හුදු පටු පක්ෂ දේශපාලනයෙනි. ආරක්ෂක රාජ්‍යයක් වෙනුවෙන් කටයුතු කළ විමල් වීරවංශ සිවිල් පුරවැසියකුගේ මානව අයිතීන් ගැන කතා කිරීම ගෞරවයට හේතුවන්නක් නොවේ. එහෙත් ගැටළුව වන්නේ එවැනි පරිවර්තනයක දී දේශපාලනික වශයෙන් හැසිරෙන අන්දම තේරුම් ගැනීමට තරම් විමතිකයන් ගැඹුරු අවබෝධයක නොවීමයි. ඔවුන් කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ උත්සාහ ගන්නේ රාජපක්ෂවරුන්ට අහිමි වූ රාජ්‍ය පාලනය නැවත ලබා ගැනීමට මිස මිනිස් අයිතීන් තහවුරු කර ගැනීමට නොවේ. ඒ අර්ථයෙන් ඒකාබද්ධ විපක්ෂය යැයී තමාම හදුන්වා ගත්තත් විමතික කණ්ඩායම යනු අල්ලපු අත්තත් පය ගහපු අත්තත් බිදී ගිය දේශපාලන අසරණයන් පිරිසකි. හිගන්නන්ට උණු බත් කොහෙන්දෝයි කීවා සේ විමතික කණ්ඩායමේ දේශපාලකයන්ට රටේ සිදුවිය යුතු පරිවර්තනයට අවශ්‍ය ශක්තිය ලබාදෙන නිර්මාණාත්මක ජවයක් නොමැත.

මේ මොහොත තුළ රට ඉදිරියේ පවතින අභියෝගය වන්නේ 2015 ජනවාරී අට වැනිදා ලබාගත් ජයග්‍රහණය ඉදිරියට ගෙන යමින් සමාජයට ලැබෙන වරප්‍රසාද ශක්තිමත් කිරීමයි. ඒ සදහා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සමාජය තුළ ස්ථාපනය කිරීමට ආණ්ඩුවට බල කිරීම සදහා වූ ක්‍රියාකාරී පුළුල් මහජන ව්‍යාපාරයක ජවය අවශ්‍යව තිබේ. රාජ්‍යයේ දේශපාලන ව්‍යුහය ක්‍රමිකව ප්‍රතිසංස්කරණයට හා පරිවර්තනයට ලක් කිරීම අවශ්‍ය වෙන වේගයෙන්ම රාජ්‍යයේ යාන්ත්‍රණයට ඒ පරිවර්තනය හුරු කිරීම ද අවශ්‍ය සාධකයකි. ඒ සදහා කොමිසන් සභාවන්ගෙන් කරන්නා වූ කාර්යභාරය අතිමහත්ය.

ඊට සමාන්තරව සමාජයේ දේශපාලන මනෝභාවයේ ද පරිවර්තනයක් විය යුතුය. ආරක්ෂක රාජ්‍ය ව්‍යුහයක කටයුතු කළ සමාජයක් මිනිස් වටිනාකම් වලට ගරු කරන්නට පුරුදු කරවිය යුතුය. එසේම ඒ සදහා වූ දේශපාලනික ප්‍රතිසංස්කරණයන් කොමිසන් සභාවලින් ඔබ්බට එනම් සමාජයේ ඉහළ සිට පහළට ගෙන යෑම ද අවශ්‍යයෙන්ම කළ යුත්තකි. අදට අවශ්‍ය වන්නේ ඒ ප්‍රතිසංස්කරණයන් සමාජ ගත කළ හැකි දේශපාලනයකි. ඒ සදහා දේශපාලන කණ්ඩායම් වලට ඇති ශක්තිය මත රටේ අනාගතය තීරණය වන බව අවශ්‍යයෙන්ම කිව යුතුය.

*shan.info1978@gmail.com

Print Friendly

සිංහ ලේ නොව, වඳුරු ලේ

$
0
0

වී. කන්දයියා

වියාචනය – මේ ලිපිය, ජාතිවාදී උන්මාදයක රෝග ලක්ෂණ පෙන්නුම් කරන විශේෂිත කණ්ඩායමක් සම්බන්ධයෙන් මිස, කිසි ආගමක් හෝ ජාතියක් විවේචනය කිරීමේ අභිප‍්‍රායෙන් ලියැවෙන්නක් නොවේ. කෙසේ වෙතත්, මේ ලිපියේ අදහස වැරදියට ගැනීමට පාඨකයෙකුට ඇති මූලික අයිතියත්, ඒ ආශ‍්‍රයෙන්, ‘අදහස් දැක්වීමේ’ තීරුවේ ඔවුන්ගේ අදහස් පළ කිරීමට ඇති අයිතියත් මේ ලියුම්කරු පිළිගනී.

Sinha leමේ සිද්ධිය වුණේ, මා කුඩා කාලයේ ය. අපේ ගමේ මහළු හුදෙකලා මිනිහෙක් සිටියේය. ඔහුගේ එකම සගයා වුණේ ඔහුගේ බල්ලා ය. ඒ එකම සගයාද දවසක මියගියේය. ඉන් කලකට පසු, මේ මහළු මිනිහාගෙන් බල්ලෙකුගේ වන් අසාමාන්‍ය ස්වභාවයක් ප‍්‍රදර්ශනය වන්ට විය. බල්ලාගේ ආත්මය ඔහුට වැසී ඇතැයි සමහරු කීහ. බල්ලෙකු ඔහුව හපා කන්ට ඇතැයි තවත් සමහරු කීහ. මේ අතර වෛද්‍යවරුන් කීවේ, තමා බල්ලෙකු මිස මනුෂ්‍යයෙකු නොවන වගට ඔහු තුළ ඇති යම් විශ්වාසයක් ඔහුගේ හැසිරීමේ වෙනසට හේතුව බවයි.

සත්තකින්ම, ඔබ බවට පත්වන්නේ, ඔබ යැයි ඔබ සිතන කෙනා ය. ඔහුට අනුව, ඔහු බල්ලෙකි. ඔහු එය විශ්වාස කෙළේය. ඒ විශ්වාසය උඩ ජීවත් වුණේය. ඔහු වනාහී, සාමාන්‍ය අවබෝධයක් සහිත, අන් සතුන්ට වඩා බුද්ධිය සහිත මනුෂ්‍යයෙකු බව මුළු ලෝකයාම ඔහුට කීහ. එහෙත් බලූ මිනිහා ඒ කතාව ප‍්‍රතික්ෂේප කෙළේය. බල්ලෙකු සේ ජීවත් වීමට ඔහුට අවශ්‍ය කළ අතර, ඇත්තෙන්ම ඔහු ජීවත් වුණේද බල්ලෙකු මෙනි. අවසානයේදී, යමෙකු ඉදිරිපත්ව ඔහුව, මන්තිකායි මානසික රෝහලට ඇතුළත් කෙළේය. එම රෝහලේදී ඔහු මියගියේ බල්ලෙකු මෙනි.

ඉතිහාසය එයාකාරයෙන්ම නැවත සිදු වේය යන්න රුදුරු යථාර්ථයකි. එය අපේ ඒකාකාරී දෛනික ජීවිතයේදී අපි අත්දකිමු. එහෙත් මට දැන් අභිමුඛ වන ප‍්‍රපංචය, ඊට වඩා පරිමාවෙන් විශාල ය.

ශ‍්‍රී ලාංකිකයන් අතරේ මානවත්වරෝපණයට අදාළ මානසික ආබාධ තත්වයන් වසංගතයක් සේ පැතිරෙන බව අද කාලයේ මුහුණුපොතේ බොහෝ ඡායාරූපවලින් අපට පෙනේ. දැන් පෙනෙන පරිදි, වැඩි වැඩියෙන් මිනිස්සු, තමන්ට හොමෝ සෙපියානු ඞී.එන්.ඒ. නොව, ආසියාතික සිංහයෙකුගේ ඞී.එන්.ඒ. ඇති බවක් විශ්වාස කරති. අපේ ගමේ සිටි බලූ මිනිසාගේ කතාව මතක තියාගන්න.

මේ නූනත ප‍්‍රපංචය ගැන සාකච්ඡුා කරන ෂොහොරාබ් අහමඞ්, එහි පැතිමාන දෙකක් ඉදිරිපත් කරයි. ඔහුට අනුව, ‘සිංහ ලේ’ යනු, එක්කෝ සිංහයෙකුගේ ලේ ය. නැත්නම්, ශ‍්‍රී ලංකාවේ වෙසෙන මිනිස්සුන් ය. එහෙත් එය මෙසේ පටලවා ගැනීමට තරම් කාරණයක් නොවේ. එම යෙදුමේ අදහස ඉතා පැහැදිළි ය. එය ලියන්නේ ‘සිංහලේ’ යනුවෙන් එකට තනි වචනයක් සේ නොව, ‘සිංහ ලේ’ යනුවෙන්, වචන දෙකක් ලෙසිනි. එවිට එහි ඇත්තේ එකම අරුතකි. එනම්, සිංහ රුධිරය යන්න පමණි. එච්.එල්.ඞී. මහින්දපාල කියන පරිදි, ‘නුගේගොඩ මිනිසාගේ උත්පත්තිය සහ නැගීම’ ඇති වීමෙන් මාස දහයකට ආසන්න කාලයකින් පසු, දැන් අපේ මේ ‘නුගේගොඩ මිනිසාගේ’ උන්මාදයේ කට්ට පැන තිබේ.

ප‍්‍රදර්ශනකාමී ‘නුගේගොඩ මිනිසා’ පදනම් වන්නේ, තමන් වනාහී ආසියාතික සිංහයෙකුගේ ලෙයට අයිතිය ඇති උරුමකරුවෙක්ය යන සංකල්පය මතයි. එම සංකල්පය පිළිබඳ පැහැදිළි වැටහීමක් ලබා ගැනීමට නම්, පුරාතන ඉන්දියාවේ සෘග් වේදය අපේ සැලකිල්ලට යොමු විය යුතුය. (1998 දී ආණ්ඩුවෙන් නොමිලේ බෙදා දුන්) මගේ හත්වැනි ශ්‍රේණියේ ඉතිහාස පෙළ පොතට අනුව, සිංහල භාෂාව කතා කරන ජනතාව පැවත එන්නේ, ආසියාතික සිංහයෙකු සහ රජ කුමාරිකාවකගේ ලිංගික ප‍්‍රජනනයෙන් බිහි වූ පරම්පරාවකිනි. මේ යුවළ, දරුවන් දෙදෙනෙකු ජාතක කොට වදා තිබේ. එක් කෙනෙක් සිංහබාහු ය. අනෙකා සිංහසීවලී ය. පසුව, සිංහබාහු සිය පියා වූ සිංහයාව ඝාතනය කෙළේය. සිය නැගෙනිය වූ සිංහසීවලීව අඹුව කර ගත්තේය. ඔවුන්ට දාව දරුවන් 32 ක් බිහි වූහ. එයින් පළමුවැන්නා විජයයි.

ජාතිකවාදය/ජාතිවාදය/කලේලි දේශපේ‍්‍රමය මොන තරම් ප‍්‍රබලද යන්න කවුරුත් දනිති. එහෙත් මේ කතාවෙන්, එකී (ප‍්‍රලාප) හැඟීම තවත් ඉදිරියට ගෙන යමින්, පශු මෛථුන්‍ය (තිරිසනෙකු සමග ගැහැනියක් ලිංගික සංසර්ගයේ යෙදීම) සහ ව්‍යභිචාරය (එක කුසහොත් සහෝදරයෙකු සහ සහෝදරියක් ලිංගික සංසර්ගයේ යෙදීම* වැනි අශ්ලීලත්වයන් පවා උත්කර්ෂයට නංවයි. මේ සංයෝගයෙන් තමන් පැවත එනවා යැයි තවමත් කියන මේ පිරිස ඒ ගැන ආඩම්බරයටද පත්වීම අපූරු ය. මගේ මේ වචන යම් ප‍්‍රකෝපකාරී ගතියක් දක්වයි නම් ඒ ගැන මම කණගාටු වෙමි. එහෙත්, මේ කතාව තුළ පවතින යථාර්ථය ඒ සා ලජ්ජා සහගත බව මම උදක්ම විශ්වාස කරමි.

මේ ගැන අපි තාර්කිකව සිතමු. සිංහයෙකු සහ මිනිස් ගැහැනියකගේ සංසර්ගයෙන් මිනිස් ජීවියෙකු උපත ලැබිය හැකිද? එය සිදුවිය නොහැක්කක් බව කවුරුත් දනිති. එහෙත් මහාවංශයේ කියැවෙන මේ කතාව මිථ්‍යාවක් බව කෙලින් කීමට කෙනෙකුට හයියක් නැත. මන්ද යත්, ශ‍්‍රී ලංකාවේ එක් සුවිශේෂී ප‍්‍රජාවකගේ ජාතිකවාදය/ජාතිවාදය/කලේලි දේශපේ‍්‍රමය පදනම්ව ඇති සමස්ත විශ්වාස පද්ධතියක් එවිට සුනුවිසිනු වී යා හැකි බැවිනි.

සෑම ජාතිකවාදී/ජාතිවාදී/කලේලි දේශපේ‍්‍රමියෙකුගේම එක් පොදු ලක්ෂණයක් තිබේ. එනම්, හීනමාන සංකීර්ණයයි. එවැනි පුද්ගලයෙක්, වෙනත් මිනිස් ජීවියෙකුට වඩා තමන් උසස් යැයි පෙන්වීමේ රෝගයකින් පෙළෙයි. මෙය මේ රටේ විශේෂිත ප‍්‍රජාවකට පමණක් සීමා වන්නක් නොවේ. එය, ලෝකය පුරාම දකින්ට ලැබෙන සහලක්ෂණයකි. හිට්ලර්ගේ නට්සිවාදයට හේතු වුණේ එයයි. ඒ යටතේ අග්නිහෝමය හෙවත් හොලෝකෝස්තය වශයෙන් හැඳින්වෙන මහා ජන සංහාරයට හේතු වුණේ එයයි. එසේම, රුවන්ඩාවේ මහා සමූල ඝාතනය සිදුවුණේ ද ඒ මගිනි. ජාතිවාදය/ජාතිකවාදය/කලේලි දේශපේ‍්‍රමය වශයෙන් හඳුනාගත හැකි මේ හීනමාන සංකීර්ණය, සිවිල් අසහනය සහ ජීවිත විනාශය ඇති කරවන වඩාත් කුරිරු ආවේශයේ ආරම්භක රෝග ලක්ෂණය වන්නේය.

තමන්ට ‘සිංහ ලේ’ ඇතැයි විශ්වාස කරන සහ එය ප‍්‍රදර්ශනය කිරීම ආඩම්බරයට කරුණක් වශයෙන්ද සළකන මිනිසුන්ට, අවම සිහි කල්පනාව ඇති මනුෂ්‍යයන් නියෝජනය කරන අයෙකු වශයෙන් මට කීමට ඇත්තේ මෙයයි:

‘‘මිනිහෝ, මනුෂ්‍යයාට ආසන්නතම ඩි.එන්.ඒ. සමානත්වයක් ඇති සත්ව වර්ගය වශයෙන් මානව විද්‍යාඥයන් හඳුනාගෙන ඇත්තේ, චිම්පන්සීන් සහ වඳුරන් මිස, සිංහයන් නොවේ. එසේම අප සියල්ලන්ම පැවත එන්නේ, ‘හොමිනිඬේයි’ නැමැති මහා වානරයෙකුගෙන් බවත් සොයාගෙන තිබේ. මේ නිසා, තාර්කිකව ගන්නේ නම්, නුඹලාගේ සටන් පාඨය ‘සිංහ ලේ’ නොව, ‘වඳුරු ලේ’ වශයෙන් වෙනස් විය යුතුය. මන්ද යත්, අපේ ජාතිය කුමක් වුවත්. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, අප කාගෙත් ලේ පරම්පරාව එන්නේ වානර මූලයකින් බැවිනි. එවැනි සටන් පාඨයක් යොදාගන්නේ නම් එය වඩාත් තාර්කික වෙනවා පමණක් නොව, ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අප අතරේ එක්සත් භාවයක් ඇති කර ගැනීමටත් හැකි වෙනවා ඇත. එපමණක් නොව, නුඹලා උන්මත්තක රොත්තක් වශයෙන් බාහිර ලෝකයාට පෙනී යාමට ඇති ඉඩකඩත් ඇහිරෙන්නේය.’’

*2016 ජනවාරි 07 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු “Monkey Le Not Sinha Le” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly

ශ‍්‍රී ලංකාව දැනටමත් ‘අර්ධ ඒකීයයි’

$
0
0

ලක්සිරි ප‍්‍රනාන්දු

ආචාර්ය ලක්සිරි ප‍්‍රනාන්දු

ආචාර්ය ලක්සිරි ප‍්‍රනාන්දු

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක‍්‍රියාවලිය පිළිබඳ වාද විවාද, ‘ෆෙඩරල්’ සහ ‘ඒකීය’ යන අන්තයන් වෙත ද්‍රැවීකරණය වීමේ ඉඩක් පවතී. එය අවාසනාවන්ත තත්වයකි. මන්ද යත්, මේ දෙක අතරේ පවතින ‘පැරණි සුවිශේෂී වෙනස්කම්’ තවදුරටත් නොපවතින බැවිනි. වෙනස්කම් හෝ සුවිශේෂීතා පවතින්නේ, රාජ්‍ය හෝ ව්‍යවස්ථාමය මාදිලිවල පුළුල් වර්ණාවලියක් තුළ මිස, මේ කියන ද්වි-විධ ප‍්‍රවර්ග අතර නොවේ. ‘පූර්ණ ඒකීය’ හෝ ‘පූර්ණ ෆෙඩරල්’ රාජ්‍යයන් පැවතිය හැක්කේ එකිනෙකට සපුරා ප‍්‍රතිවිරුද්ධ අන්ත දෙකක පමණි. එය පවා, න්‍යායික වශයෙන් මිස, ප‍්‍රයෝගිකව නොවේ.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්තත්, අපට ඇත්තේ ‘අර්ධ-ඒකීය’ ආණ්ඩු ක‍්‍රමයක් මිස, ‘ඒකීය රාජ්‍යයක්’ හෝ ‘ඒකීය ආණ්ඩු ක‍්‍රමයක්’ හෝ නොවේ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුවෙන් ඒ බව ඕනෑවටත් වඩා පැහැදිළි විිය. එම සංශෝධනය කෙටුම්පතක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද අවස්ථාවේ 9 දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිශ්චයාසනයක විභාගයෙන් පසු, එම කෙටුම්පත ‘ඒකීය රාජ්‍යයට’ පටහැනි නොවන බවට තීරණය කෙළේ 5 දෙනෙකු පමණි. ඉතිරි විනිසුරන් 4 දෙනාගේ අදහස් ඊට එකඟ නොවුණි.

ශේ‍්‍රෂ්ඨාධිකරණ තීන්දුව

කෙසේ වෙතත්, ඒ කාලයේ සහ ඉන් පසුවත් බොහෝ විනිශ්චයන්හි (දේශපාලනික) ස්වභාවය සැළකිල්ලට ගත් විට, මේ කරුණ සම්බන්ධයෙන් විනිසුරුවරුන් දැරූ විසම අදහස් පදනම් වුණේ, හුදෙක් ව්‍යවස්ථාමය හෝ නෛතික පදනම් මත නොවන බවට කෙනෙකු තර්ක කළ හැක. කෙසේ වෙතත්, පෙත්සම්කරුවන්ගේ ප‍්‍රධාන තර්ක සැලකිල්ලට ගැනීමේදී පෙනී යන කාරණය වන්නේ, අධිකරණය ඉදිරියේ මතු වූ ප‍්‍රධාන ගැටළු තැන් දෙක වශයෙන් පැවතියේ, ‘රාජ්‍යයේ ඒකීය’ ස්වභාවය සහ ‘පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයයි’. එසේ හෙයින්, අධිකරණයේ විසම අදහස්වලින් නිරූපණය කෙරෙන්නේ, මේ කාරණා අරභයා පවතින බහු-අර්ථතාවයි. එම කරුණු සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ (බහුතර) නිගමනය මෙසේ විය:

‘‘රාජ්‍යයක ඒකීය ස්වභාවය වන, මධ්‍යම පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය පැවතීම සහ අනුපූරක ස්වෛරී ආයතන නොපැවතීම යන සාධක මේ මගින් (13 වැනි සංශෝධනය) වෙනස් නොකෙරේ. පළාත් සභා මගින් ස්වෛරී ව්‍යවස්ථාමය බලයක් අභ්‍යාස නොකරන අතර, ඒවා වනාහී, පාර්ලිමේන්තුවට යටත්ව සීමිත ව්‍යවස්ථාමය බලයක් අභ්‍යාස කරන අනුපූරක ආයතන වන්නේය. එබැවින් පාර්ලිමේන්තුව සිය බලය අතහැර දමා හෝ අළුතෙන් පිහිටැවූ යම් ව්‍යවස්ථා අධිකාරයක් වෙනුවෙන් මොන ආකාරයකින්වත් ස්වකීය ව්‍යවස්ථා බලය අතහැර දමා හෝ නැත. බලය බෙදා හැරීමේ සංකල්පයෙන් අදහස් වන්නේ, මධ්‍යම ආණ්ඩුවේ පරමාධිපත්‍යය අතනොහැර, බලය පවරා දීමකි. බලය බෙදා හැරීම, ව්‍යවස්ථාමය හෝ පරිපාලනමය හෝ ඒ දෙකම හෝ විය හැකිය. එය, විමධ්‍යගතකරණයෙන් වෙනස්ව හඳුනාගත යුතුය. කෙටුම්පතේ සඳහන් වන ආකාරයේ බලය බෙදා හැරීමේ පරිපාටිය විසින් ජනතා පරමාධිපත්‍යය ඛාදනය නොකරනු ලබන අතර, ජනමත විචාරණයක් හරහා ජනතා අනුමැතිය ඒ සඳහා ලබා ගැනීමක්ද අවශ්‍ය නොකෙරේ.’’

ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර මතය වී ඇත්තේ, ‘මධ්‍යම පාර්ලිමේන්තුවක පරමාධිපත්‍ය පැවතීම’ සහ ‘අනුපූරක (එහෙත්) ස්වෛරී ආයතන නොපැවතීම’, ඒකීය රාජ්‍යයක මූලිකාංග වන බවයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ‘රාජ්‍යයේ ඒකීය ස්වභාවය වෙනසකට භාජනය නොවන’ බවට ඔවුන් දැරූ මතය, ඒ තාක් දුරට නිවැරදි ය. එහෙත් ඔවුන් නොපැවසු ‘තව දිගුවක්ද’ එහි තිබේ. එනම්, පළාත් සභාවලට බලය ලැබෙන්නේත්, මධ්‍යම පාර්ලිමේන්තුවට බලය ලැබෙන්නා සේ, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම වන බවයි. පළාත් සභා ක‍්‍රමය විසින් රාජ්‍යයේ ඒකීය ස්වභාවය ‘වෙනස්’ කොට නැති බව සැබැව. එහෙත්, ඒ මගින් එය ‘සීමාකොට’, කොන්දේසිගත කොට තිබේ.

දැන් පවතින්නේ හුදු ඒකීය රාජ්‍යයක් නොව, ‘බලය බෙදා හැරීමක් සහිත ඒකීය රාජ්‍යයක්’ හෝ ‘විස්තෘත බලය බෙදා හැරීමක් සහිත ඒකීය රාජ්‍යයකි.’ ඉන්දියානු ආණ්ඩු ක‍්‍රමය අනුව යමින්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අභිප‍්‍රාය වුණේ එයයි. එහෙත් එය සුසමානුකූලව සිදු නොකෙරිණ. ඒ නිසා, දැන් පනවා ගන්නා අළුත් ආණ්ඩු ක‍්‍රමයක් තුළ සිදු කෙරෙන වෙනස්කම්, පැහැදිළිව නිර්වචනය විය යුතුය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ෆෙඩරල් ක‍්‍රමයක් දක්වා හෝ අර්ධ ෆෙඩරල් ක‍්‍රමයක් දක්වා වුව ගොස් නැත. එය පවතින්නේ, ‘අර්ධ-ඒකීය රාජ්‍යයක්’ වශයෙනි.

ජාත්‍යන්තර ප‍්‍රවණතා

මේ සංකීර්ණ තත්වය, ලෝකයේ රාජ්‍යයන් හෝ ව්‍යවස්ථාවන් පරිණාමය වීමේ සන්දර්භය තුළ, අප තේරුම්ගන්නේ හෝ නිර්වචනය කරගන්නේ කෙසේද? දේශපාලන විද්‍යාඥයන් හෝ ව්‍යවස්ථා නීති විශේෂඥයන් 20 වැනි සියවස මුල් භාගයේ ‘ඒකීය’ හෝ ‘ෆෙඩරල්’ රාජ්‍යයන්හි ස්වභාවය නිර්වචනය කරන විට, රාජ්‍යයන් වශයෙන් ලෝකයේ පැවතියේ සීමිත සංඛ්‍යාවකි. එදා බොහෝ කොට තිබුණේ, රාජ්‍යයන් නොව, යටත්විජිත ප‍්‍රදේශයන් ය. ‘සහසන්ධීය’ යනුවෙන් තවත් ප‍්‍රවර්ගයක් තිබුණි. උදාහරණයක් වශයෙන්, 1945 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගන්නා අවස්ථාවේ සාමාජික රාජ්‍යයන් තිබුණේ 51 ක් පමණි. අද 193 ක් තිබේ. මේ සෑම අළුත් රාජ්‍යයක්ම තමන්ගේම වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සකසාගෙන තිබේ. ඒවා, ‘ඒකීය’ ද, ‘ෆෙඩරල්’ ද? රාජ්‍යයන් කිහිපයක් සම්බන්ධයෙන් හැරුණු කොට, මේ කියන වෙනස පැහැදිළි නැත. පැරණි රාජ්‍යයන් පවා පරිණාමය වී ඇත්තේ මිශ‍්‍ර දිසාවන් වෙතටයි. එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, ප‍්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය පවා, සංකීර්ණ සංයෝගයන් බවට පත්ව ඇත. පරණ සෝවියට් දේශය කවදත් අමුතු ආකාරයේ සංයුතියකි. ඉහත සඳහන්, ‘සහසන්ධීය’, ‘ඒකීය’, ‘ෆෙඩරල්’ යන ප‍්‍රවර්ග තුනෙන් එකකටවත් එම රාජ්‍යය ඇතුළත් කිරීම පහසු නැත. චීනය පවා අද වන විට, රාජ්‍යයක් වශයෙන්, මිශ‍්‍ර ලක්ෂණවලින් සමන්විත සංයුතියකි.

මේ විෂය අරභයා වන චින්තනය පැහැදිළි කිරීම සඳහා මූලාශ‍්‍ර තුනකින් සංක්ෂිප්තව කරුණු ගෙනහැර දැක්වීමට මට අවසර.

පළමුවැන්න, න්‍යායිකයි. දෙවැන්න ප‍්‍රත්‍යෙක අධ්‍යයනිකයි. තෙවැන්න තුලනාත්මකයි.

‘‘ඒකීය හෝ ෆෙඩරල් අතර සහසුද්ද තේරීමක් භාරගත යුතු යැයි තවදුරටත් රාජ්‍යයන් සිතන්නේ නැත. විටෙක ඒවා තමන් වෙත දෙමුහුන් සංයෝග පනවා ගනී.’’

ඉහත සඳහන එන්නේ, රොබට් ගාන(ර්), පීටර් ෆර්ඩිනන්ඞ් සහ ස්ටෙෆනී ලෝසන් ලියූ ‘‘දේශපාලනයට හැඳින්වීමක්’’ (පිටුව 193) නැමැති කෘතියේ ය.

ෆෙඩරල් ක‍්‍රමයක් වශයෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඒකීය ක‍්‍රමයක් වශයෙන් හැඳින්වෙන එක්සත් රාජධානියේ ආණ්ඩුක‍්‍රමය සහ දේශපාලනය ගැන විවරණය කිරීමට තැත් කරන ඩන්කන් වොට්ස් මෙසේ කියයි:

‘‘ඒකීය සහ ෆෙඩරල් ක‍්‍රම අතර පවතින ආකෘතික වෙනස්කම් අනවශ්‍ය පරිදි අවධාරණය නොකිරීම වැදගත් ය. මන්ද යත්, එම වෙනස්කම්, බැලූ බැල්මට පෙනෙන තරම්, ප‍්‍රායෝගික තලයේදී පැහැදිළි නැති බැවිනි.’’ (‘‘ඇමරිකා එක්සත් ජනපද/එක්සත් රාජධානි ආණ්ඩුක‍්‍රම සහ දේශපාලනය වටහා ගැනීම’’- පිටුව 169).

සමහර විට, රටවල් කිහිපයක් සහ න්‍යායන් කිහිපයක් විග‍්‍රහ කිරීමේදී එළැඹෙන නිගමන වඩාත් වැදගත් ය. ඩැනියෙල් කැරමානිගේ සංස්කාරකත්වයෙන් රචිත ‘සමකාලීන දේශපාලනය’ නැමැති කෘතියේ එක් සම්පාදකයෙකු වන ජෝන් ලවුෆ්ලින්, සමකාලීන ජාතික රාජ්‍යයේ වැදගත් ලක්ෂණ තුනක් අවධාරණය කරයි. (පිටුව: 182)

1. ජාතික රාජ්‍යය යනු, භෞමික සංයුතියක සුවිශේෂී ලක්ෂණ අඩංගු කරගත් දේශපාලනික සංවිධානයක පරමසාර නූතන ආකෘතියයි.
2. එම තත්වය දැනට වඳ වී යන්නේය යන්න අතිශයෝක්තියකි.
3. ‘ෆෙඩරල්’ සහ ‘ඒකීය‘ යනුවෙන් වන සම්භාවිත වෙනස, දැන් ජාතික රාජ්‍යයේ වඩාත් සංකීර්ණ ආකෘතීන්ට යට වෙමින් තිබේ.

චතුස්කෝටි තර්කණය

කෙනෙකු, ඉහත කී නිගමන හෝ නිරීක්ෂණ බටහිර න්‍යායන් සේ සළකා ප‍්‍රතික්ෂේප කිරීමට පිළිවන. මේ නිසා, ‘ඒකීය එරෙහිව ෆෙඩරල්’ න්‍යාය සම්බන්ධයෙන් වන ද්වි-විධ තර්ක විතර්කවලට යනවාට වඩා, බුද්ධාගමේ එන චතුස්කෝටික ධර්මතාව, ජාතික රාජ්‍යයේ වර්තමාන සංකීර්ණ පරිණාමය වටහා ගැනීමට ප‍්‍රයෝජනවත් විය හැකිය. ‘‘භාවනාවේ ගිමන සහ වෙනත් ලියවිලි’’ නැමැති කෘතියේ 74 වැනි පිටුවේ, ඥානපොනික තෙරුන් වහන්සේ මෙසේ කියයි:

‘‘අද බහු-විධ හරයෙන් යුත් තර්ක ශාස්ත‍්‍රයක් සොයාගෙන ඇති තත්වය තුළ සහ ඒ හේතුවෙන් ඇරිස්ටෝටලියානු තර්කය යනු තර්ක සිද්ධාන්ත බොහෝ ගණනකින් එකක් පමණක් බව අවබෝධ කර ගැනීමේ තත්වය තුළ, බුද්ධාගමේ චතුස්කෝටියේ වැදගත්කම පැහැදිළි වෙයි. කෙටියෙන් ගතහොත්, මෙයින් කියැවෙන්නේ, ඇරිස්ටෝටල්ගේ විකල්ප දෙකක ද්වි-හරයාත්මක තර්කණයකට වඩා, විකල්ප හතරක (චතුස්කෝටි) ද්වි-හරයාත්මක තර්කණයක් ගැනයි.’’

අප දැන් කතා කරන රාජ්‍යයේ හෝ ව්‍යවස්ථාවේ ස්වභාවය සම්බන්ධයෙන් ගත් විට ඉහත කී ප‍්‍රකාශයේ අරුත කුමක් ද? එහි අරුත වන්නේ, ‘ඒකීය සහ ෆෙඩරල්’ අතර වන ‘කළු සහ සුදු’ විෂමතා දැන් යල්පැන ගොස් ඇති බවයි. නැතහොත්, මුල සිටම වැරදියට වටහාගෙන ඇති බවයි. යථාර්ථය ඊට වඩා සංකීර්ණ ය. ඥානපොනික තෙරුන් වහන්සේ සපයන උදාහරණවලින් එකක්, අපේ වර්තමාන සාකච්ඡුාව සඳහා අදාළ කර ගත්තොත් ඒ මෙසේ ය: ඇරිස්ටෝටලියානු තර්කණයට අනුව, යම් ව්‍යවස්ථා පද්ධතියක් ‘ඒකීය’ නොවේ නම්, එය ‘ෆෙඩරල්’ ය. එහෙත්, චතුස්කෝටික ක‍්‍රමය අනුව ගත් විට, එක්කෝ එය (1) ප‍්‍රධාන මානයන්ගෙන් ඒකීය විය හැකිය (2) ඒ ආකාරයෙන්ම ෆෙඩරල්ද විය හැකිය. නැතහොත්, සමහර අංගයන්ගෙන් ඒකීය විය හැකිය, තවත් සමහර අංගයන්ගෙන් ෆෙඩරල් විය හැකිය. එසේත් නැතහොත්, (4) රාජ්‍යයක් ඒකීයද ෆෙඩරල්ද නොවිය හැකිය. මේ කරුණු අනුව පෙනී යන තවත් දෙයක් වන්නේ, මේ කියන ප‍්‍රභේදයන්ටත් අමතරව, ඒ අතරමැදි තවත් ප‍්‍රභේදයන්ද තිබිය හැකි බවයි.

‘ඒකීයද, ෆෙඩරල්ද‘ යන සරළ ප‍්‍රභේදයෙන් එහාට යමින් ද්වන්දාත්මක තර්කණය අපව රැුගෙන යන්නේද මෙවැනිම නිගමනයන් වෙතටයි.

නිගමනය

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අපේ රාජ්‍ය ක‍්‍රමය, සාපේක්ෂ වශයෙන් නව ආකෘතියකට පෙරැුලී ඇති බව, සමහර අනුභූතික සාක්ෂිවලින් පෙන්නුම් කෙරේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිශ්චය මගින් කියා සිටියේද, ‘බලය බෙදා හැරීම, බලය විමධ්‍යගත කිරීමෙන් වෙන් කොට හඳුනාගත යුතු’ බවයි. විමධ්‍යගත භාවය යනු, මූලික වශයෙන් ගත් විට, ඒකීය රාජ්‍ය පද්ධතියක් තුළ ඇති කර ගන්නා තත්වයකි. එහෙත් බලය බෙදා හැරීම, එම පරාමිතීන් ඉක්මවා ගමන් කරයි. කෙසේ වෙතත්, ‘බලය බෙදා හැරීම ව්‍යවස්ථාදායක හෝ පරිපාලනමය හෝ ඒ දෙකම විය හැකි’ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටීම, ඌන ප‍්‍රකාශයකි. වඩාත් නිවැරදි වන්නේ, එය ‘ව්‍යවස්ථාදායක හෝ විධායක හෝ ඒ දෙකම විය හැකිය’ යන්නයි.

ශ්‍රේෂ්ඨාධිකරණය එක කාරණයක් පැහැදිළි කෙළේ නැත. එනම්, පළාත් සභා පවා තම බලය සහ සුජාත භාවය ලබා ගන්නේ, පාර්ලිමේන්තුවේ පරමාධිත්‍යයේ වෙනසක් නොකොට, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම වන බවයි. ජාතික ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් වන ව්‍යවස්ථා සම්පාදනය පාර්ලිමේන්තුව සතුව පවතින අතර, ඒවා අනුව කටයුතු කිරීමට පළාත් සභා බැඳී සිටී. සම්මුතිය සහ එකඟතාව මත මෙම අතිප‍්‍රසාරී ප‍්‍රතිපත්ති නිර්ණයනය සිදුවීම, ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින කුඩා රටකට වැදගත් ය. හොඳම ක‍්‍රමය වන්නේ, සහකාරී ෆෙඩරල්වාදයකට සමාන සහකාරී බලය බෙදා හැරීමකි.

ශ‍්‍රී ලංකාවේ බලය බෙදා හැරීම සකස් කිරීමට අදහස් කෙරුණේ, ‘අර්ධ-ෆෙඩරල්වාදය’ නමින් හැඳින්වෙන ඉන්දියානු ක‍්‍රමය ඔස්සේ බව ප‍්‍රකට ය. එසේ වෙතත්, ජනාධිපති ක‍්‍රමයක් යටතේ එම ප‍්‍රයත්නය පූර්ණ සාර්ථකත්වයක් නොලැබීය. ඊට තවත් හේතුද තිබුණි. ඉන්දියාව ඒකීය රාජ්‍යයක් නොව, ඒකාබද්ධ රාජ්‍යයකි. ශ‍්‍රී ලංකාව ඒ තාක් දුර ගොස් නැත. අඩු වශයෙන්, නාමික වශයෙන්වත්, ශ‍්‍රී ලංකාව ‘ඒකීය’ ස්වරූපය අත්නෑර තබාගෙන තිබේ. සමහරු ආවේශ වී සිටින බව පෙනෙන්නේ ඒ ස්වරූපයට වශී වෙමිනි.

වර්තමාන ව්‍යවස්ථාවේ 2 වැනි වගන්තිය මෙසේ කියයි: ‘‘ශ‍්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයකි.’’

එහෙත් වඩාත් නිවැරදිව නම්, එය, ‘‘ශ‍්‍රී ලංකා ජනරජය, විස්තීරණ බල බෙදීමක් සහිත ඒකීය රාජ්‍යයක්’’ විය යුතුය.

*2016 ජනවාරි 06 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ ‘Sri Lanka Is Already ‘Quasi Unitary’ නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly

බලාගෙනයි; භාණ්ඩ හා සේවා වෙළෙඳපළ තුළ ඔබත් විකිණී යාහැක

$
0
0

මහාචාර්ය දයා අමරසේකර –

මහාචාර්ය දයා අමරසේකර

මහාචාර්ය දයා අමරසේකර

පසුගිය දිනයෙක ගවේෂණ කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ වයඹ සහ උතුරුමැද පළාත්වල ග්‍රාමීය ප්‍රදේශ කිහිපයක සංචාරයක යෙදීමට මට සිදු විය. එහිදී මා හට එම ප්‍රදේශවල ප්‍රධාන නොවූ උප නගර කිහිපයක මග දෙපස වෙළෙඳ ආයතනය ඉදිරියේ නතර කොට ඇති විවිධ වර්ණවල කොඩිවැල්වලින් සරසා තිබූ මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ, සැහැල්ලු ට්‍රක් සහ ට්‍රැක්ටර් සෑහෙන ප්‍රමාණයක් දැකගත හැකි විය. එමෙන්ම ඒ බොහෝ වාහනවල ඒවායේ වටිනාකමින් පහෙන් එකක් පමණ මුදලක් සඳහන් කොට එම මුදල ගෙවා ඒවා රැගෙන යන ලෙස සඳහන් පුවරු සවි කොට තිබිණ. ඉන් පැවසුණේ පහසු ගෙවීමේ ක්‍රම, කල්බදු (Leasing) යටතේ පාරිභෝගිකයන්ට ඒවා ලබා දිය හැකි බවකි. එහෙත් මෙම ‘ගෙවීමේ පහසුව’ පිළිබඳව පාරිභෝගිකයන්ට නිවැරදි තොරතුරු ලබා නොදීම මත සිදුවන්නේ ඒවාට නතුවන පාරිභෝගිකයන් තමන්ද නොදැනුවත්වම ‘මරු කටකට’ ඇද වැටීමය. අතීතයේ නගරබදට පමණක් සීමා වී තිබූ මෙම සූක්ෂම 
වෙළෙඳ උපක්‍රම අද වන විට ශ්‍රී ලංකාවේ දුරබැහැර කෘෂිකාර්මික කලාප දක්වා පැතිර තිබිම ඛිෙදවාචකයකි.

වෙළෙඳපළ තුළ අතරමං වීම 
භාණ්ඩ සහ සේවා වෙළෙඳපළේ පාරිභෝගිකයන් වන අපට එදිනෙදා අපගේ අවශ්‍යතා සහ අරමුණු (Wants & Needs) සාධනය කර ගැනීම සඳහා කරන උත්සාහයන් වලදී විවිධ අකරතැබ්බ වලට මුහුණ පාමින් මඟ වරද්දා ගන්නට සිදුවන වාර අනන්තය, අප්‍රමාණය. 
විශේෂයෙන්ම ජීවිතයේ, පවු‍ලේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කාන්තාවන් වෙත පැවරී තිබෙන වගකීම සුළුපටු නැත. වෙළෙඳ ලෝකය තුළ අටවා ඇති අනේක උගුල් වර මදු වලට හසුනොවී අපගේ අවශ්‍යතා නිවැරදිව තේරුම්ගෙන ඒවා සපුරා ගැනීමට විශේෂයෙන් මෙරට කාන්තාවන් පෙරට පැමිණිය යුතුය. මක්නිසාද ලෝක වෙළඳ ප්‍රජාව තම ව්‍යාපාරික දැල් වැඩිපුරම අටවනුයේ කාන්තාවන් අරමුණු කර ගනිමිනි. ඊට හේතුව පාරිභෝගිකත්වයෙහිලා කාන්තාව පිරිමියා අභිභවා සක්‍රිය වන බවට ලෝකය පුරා පැතිරගත් මතයක් ඇති බැවිනි.

නීත්‍යානුකූල අකටයුතුකම් 
මෙහිදී නූතන වෙළෙඳ ලෝකය පුරා පැතිරී ඇති පහසුගෙවීමේ ක්‍රම සහ කල්බදු සහන සිද්ධාන්තමය වශයෙන් විවේචනය කිරීමට අපට නොපුළුවන. 
ඒ ඒවා නීත්‍යනුකූල වෙළෙඳ ගිවිසුම් මත පදනම් වන බැවිනි. එහෙත් නූතන වෙළෙඳ ප්‍රජාව මේවායේ නීත්‍යානුකූල පසුබිම 
පිළිබඳව මිස සදාචාරාත්මක පසුබිම පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කරනු නොපෙනේ. ඊට හේතුව නූතන ආර්ථික විද්‍යා සිද්ධාන්ත කිසිවක් තුළ සදාචාරාත්මක ඇගැයුම්වලට කිසිදු ඇගැයුමක් ලැබි නොමැති බැවිනි. 
අද සියලුම දේවල් මුදල මතම පදනම් වූ ඉතා අහිතකර තත්ත්වයක් ලෝකය පුරා නිර්මාණය වී තිබේ. මිනිස් ජීවිතයේ සෑම සියලු දෙයක්ම ආර්ථිකය මතම රඳා පැවතීම විශාල ගැටලු රැසක් මවාදීමටද හේතුවී හමාරය. අතීයේදී ජීවිතයට ආර්ථිකය සම්බන්ධ වූයේ යම් යම් අවස්ථාවල සීමිත කාර්යයන්වලදී පමණි. එදා මිනිස් සමාජය තුළ මුදලට ලැබුණේ දෙවන තැන බව “සල්ලි දෙවියන්ගෙ මල්ලි” යන අපගේ පැරණි ජනවහරින්ද ප්‍රකට වෙයි. මෙහි දෙවියන් ලෙස අර්ථදැක්වන ආධ්‍යාත්මික සහ සදාචාරාත්මික වටිනාකම්වලට දෙවන ස්ථානයක් අතීතයේ මුදලක් හිමිවිය. 
නමුත් මේ වන විට මිනිසාගේ ආධ්‍යාත්මික සදාචාරාත්මක හර පද්ධතිය විසිරී බිඳීගොස් ඒ අබිබවා ගිය මුදල, දෙවියන්ගේ අයියාටත් එහාට ගොස් තිබේ. 
දෙවියන් සඳහා පෙළගැසී සිටින ලොකු ලොකු වටිනාකම් සහිත මුදල් නෝට්ටු සහිත පූජා වට්ටිවලට ‍පෝලිමෙන් පිටපැන ඉක්මනින් දෙවියන් බැහැ දැකීමේ අවස්ථා උදාවන්නේ ද මේ තත්ත්වය නිසාය. මුදල ආර්ථිකය, මිනිසා මේ තරමට බිලිගෙන තිබෙන නිසාම නූතන මිනිසා ආර්ථික මානවයා (Homo Economics) ලෙස නිර්වචනය කිරීමට පවා නූතන සමාජ විද්‍යාඥයෝ පෙළැඹී සිටිති.

හුදකලා පාරිභෝගිකයාට වටකොට පහරදීම 
පාරිභෝගිකයන් ලෙස සංවිධාන මට්ටමකින් තොරව එකතැන හුදකලා වශයෙන් රැඳී සිටියද අද නිෂ්පාදනය, වෙළෙඳාම අලෙවිය යන අංශ අති විශාල යාන්ත්‍රණයක් තුළ සිදු කෙරෙන, සංවිධානාත්මක ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක වන්නකි. 
නොයෙකුත් වෙළෙඳ උප්පරවැට්ටි යොදමින් තම භාණ්ඩ සහ සේවා අලෙවි කර ගැනීම සඳහා පාරිභෝගිකයන් බිලිබා ගැනීමේ මනෝ විද්‍යාත්මක ක්‍රියාදාමයන් ලොව පුරා නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙයි. තම නිෂ්පාදන සම්භාරයන් කෙරෙහි පාරිභෝගිකයන් ආසක්ත කරගනිමින් ඔවුන් අධික ලෙස භාණ්ඩ හා සේවා පරිභෝජනයට යොමුකර ගැනීමට ඒ අයගේ අභ්‍යන්තර මනෝභාවයන් වෙනස් කිරීමේ සැලසුම් පවා ඒ අතරවෙයි. අධිපරිභෝජනවාදය (Over Consumerism) නූතන සමාජය තුළ දැවැන්ත බලවේගයක් බවට පත් වීමටද මේවා හේතුවී තිබේ. තමන්ගේ අවශ්‍යතා සහ අරමුණු අනිසි ලෙස පමණ ඉක්මවා සපුරා ගන්නට පාරිභෝගිකයන් ‍පොළඹවා ගැනීමට අවශ්‍යතා ඉක්මවා ගොස් ආශාව මත පදනම් වන නාස්තිකාර අධි පරිභෝජනයකට (Hyper-consumerism) ජනතාව පෙළඹවීම ලෝක වාණිජ ප්‍රජාවේ අවශ්‍යතාව වී තිබේ. දැන් අපි මෙහි මුලින්ම සඳහන් කළ සිදුවීම පිළිබඳව විමසා බලමු. රුපියල් ලක්ෂ දහයක් වටිනා යම් කිසි භාණ්ඩයක් රුපියල් ලක්ෂ එකහමාරක් දී රැගෙන යන ලෙස ඔබට කවුරුන් හෝ දැනුම් දුනහොත් ඔබට පළමුව එය පෙනෙනුයේ රුපියල් ලක්ෂ අට හමාරක ලාභයක් ලෙසිනි. එහෙත්, එය රැගෙන යන්නා හට ඇතැම් විට පැවසෙනුයේ ඉතිරි මුදල රුපියල් තිස් දහසේ මාසික වාරික ලෙස වසර හතරකින් ගෙවා නිම කළ හැකි බවය. එවිට වසර හතර අවසානයේ ඒ තැනැත්තා රුපියල් මාසික වාරික වශයෙන් රුපියල් දාහහතර ලක්ෂ හතළිස් දහසක මුදලක් ගෙවිය යුතුය. එමෙන්ම ඒ වනවිට රුපියල් ලක්ෂ දහයක වෙළෙඳපළ වටිනාකමක් සහිත භාණ්ඩය සඳහා එය කොටස් වශයෙන් ගෙවන්නා විසින් වැය කළ යුතු මුළු මුදල රුපියල් පහළොස් ලක්ෂ අනූ දහසකි. එසේම කිසියම් අයුරකින් මෙම එක් වාරිකයක් හෝ ගෙවීම අතපසු වුවහොත් එම මුදලට හිඟ ‍පොලී සහ දඩ ද එක්වී එම ගෙවිය යුතු මුදල තවත් වැඩිවනු ඇත. (මෙම සංඛ්‍යා ‍ලේඛන හුදු ආදර්ශනයක් පමණක් බව විශේෂයෙන් සලකන්න) එය සාමාන්‍ය ව්‍යවහාරයේදී හැඳින්වෙනුයේ ‘‍පොලිය පැටව් ගැසීම’ යනුවෙනි නමුදු එම ගිවිසුම යටතේ එම භාණ්ඩය ගෙවා නිමවන තුරු ඒ භාණ්ඩයේ නීතිමය අයිතිය මූල්‍ය සමාගම සතුවන අතර වාරික දෙක තුනක් ගෙවීමට අ‍පොහොසත් වූ විට ඒ තැනැත්තාට භාණ්ඩය පමණක් නොව තමන් එතෙක් ගෙවූ සියලු මුදල්ද අහිමි වෙයි. ඒවාට යළි හිමිකම් කිව හැක්කේ අධිකරණ මාර්ගයෙන් පමණි. එසේම මෙය දේශීය භාණ්ඩ හා සේවා වෙළඳපළට පමණක් නොව විවෘත ආර්ථිකයක් සහිත ලොව සෑම රටකටම ‍පොදු තත්ත්වයක් බවද අප වටහා ගත යුතුය. එසේම මෙම ගෙවීමේ පහසුක්‍රම කල්බදු පහසුකම් ප්‍රතික්ෂේප කරන ලෙස මම කෙසේවත් නොකියමි. මෙහිදී කළ යුත්තේ එම පහසුකම් ලබා ගැනීමට පෙර තම ආර්ථිකය අනුව සැබැවින්ම එය පහසු ගෙවීමක්ද යන්න බුද්ධිමත්ව සිතා බැලීමය.

අවශ්‍යතා ඉක්මවා පාරිභෝගිකත්වයේ යෙදෙනු එපා 
එසේම තමන්ගේ අවශ්‍යතාවයන් ඉක්මවා යන එහෙත් මතුපිටින් වාසි සහගත යැයි පෙනෙන ඇතැම් දේවල් සතු කරගෙන ගැනීමට මාන බැලීම බොහෝ පාරිභෝගිකයන් තුළ දක්නට ලැබෙන අඩුපාඩුවකි. 
උදාහරණයක් ලෙස සහල් කිලෝග්‍රෑම් 20ක් පමණ ඉදෙන විශාල භාජනයක් වෙළෙඳ‍පොළේ නියමිත මිලට වඩා රුපියල් 1000 – 1500 ක් පමණ අඩුවෙන් දෙනවායැයි කියා එය අඩු මුදලට රැගෙන යාම විශාල වාසියක් ලෙස යම් ගෘහණියකට පෙනී යා හැක. එමගින් ඇයට මුහුණ පාන්නට සිදුවන ගැටලු රාශියකි. නමුත් මෙවැනි භාජනයක් භාවිතා කිරීමට සිදුවන්නේ මඟුල් උත්සව දානමාන වැනි ආහාර ඉතා විශාල ප්‍රමාණයක් පිළියෙළ කරන අවස්ථාවකදී පමණය. මෙවැනි බඳුනක් සාමාන්‍ය නිවසක භාවිතා කෙරෙන්නේ පුද්ගලයකුගේ ජීවිත කාලය තුළ වරක් හෝ දෙකක් පමණක් විය හැක. එසේම නිවසක ඉඩකඩ ගැන සලකා බලන විට එය ගබඩාකර තැබිමේදී විශාල ඉඩ ප්‍රමාණයක් වෙන් කිරීමට සිදුවීම නොසිතන ගැටලු මතුකරන්නක් විය හැකිය. එවිට ගෘහණියගෙන් දොස් පරොස් අසන්නේ එම භාණ්ඩයමය. ඒ එය බලහත්කාරයෙන් තම නිවස තුළට කඩා වැදුණාක් මෙනි. එනිසා එවැන්නක් මිලට ගනු වෙනුවට අවශ්‍යතාව මත කුලියට ගැනීම වඩාත් යෝග්‍යය. මේ ඉතා සුළු උදාහරණයක් පමණි.

වැඩිපුර සහ නොමි‍ලේ 
මේ අතර යමක් මිලට ගත්විට තවත් යමක් වැඩිපුර හෝ නොමි‍ලේ ලැබෙන්නේත් භාණ්ඩ හා සේවා ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල්, භාණ්ඩ ත්‍යාග සහ වෙනත් වරප්‍රසාද හිමිකර දෙන බව පවසන්නේත් නූතනයේ පවසන වෙළෙඳ තරගය නිසාය. එමෙන්ම මෙයද වර්තමාන ලෝක ප්‍රවණතාවයක දේශීය තත්ත්වයක් මිස අප රටේ භාණ්ඩ සහ සේවා වෙළෙඳපළ මෙහෙයවන ආයතන සහ සමාගම් විසින් නිර්මාණය කරන ලද තත්ත්වයක් නොවන බවද කිව යුතුය. එමෙන්ම ඔවුන් ද මේ අතීරණාත්මක තරගයේ තරග කරුවන් සේම එක්තරා අන්දමක සිරකරුවන් බවද නොසඟවා කිව යුතුය. කෙසේ හෝ මෙම කුළුගැන්වීම් හමුවේ මේවාට රැවටෙන බහුතරයක් තමන් තුළ පුබුදුවා ගන්නා ආශාවන් මුල් කොට තමන්ට අවශ්‍ය භාණ්ඩ හා නොමසුරුව ලබා ගන්නට පෙළඹෙන්නේ තමන් සතු ප්‍රඥාව පළවා හරිමිනි. නූතන සමාජ විද්‍යාඥයන් මෙම තත්ත්වය හැඳින්වනුයේ ප්‍රදර්ශන පරිභෝජනය (Conspicuous consumption) යනුවෙනි. විශේෂයෙන් මෙවැනි කුළුගැන්වීම් හමුවේ කාන්තාවන් මුලාවන වේගය අතිශයින් ඉහළ අගයක් ගනී. එහෙත් මෙබඳු වෙළඳ මගඩිවල පටලැවී අමාරුවේ වැටුණු පසු පැන නගින බැරෑරුම් ආර්ථික ගැටළු නිසා පෞරුෂ අර්බුද, හට ගැනීමට සේම පවු‍ලේ සාමය බිඳවැටී, පුද්ගලයන් කයින් හා මනැසින් රෝගී වීමටද පැහැදිලි ඉඩක් තිබේ. මෙය හැඳින්වෙනුයේ භාණ්ඩ හා සේවා වෙළඳපළ තුළ ‘පාරිභෝගිකයන් විකිණීයාම’ ලෙසිනි. එමෙන්ම සමාජයේ හොර මැර, වංචා, දූෂණ, අපරාධ සහ සදාචාර විරෝධී ක්‍රියා බහුලවීම සම්බන්ධයෙන් මෙම අධිපරිභෝජන වාදයේ අහිතකර ප්‍රතිඵල මුල්වී ක්‍රියා කරනු ඒකාන්තය.

Print Friendly

ලිබරල්වාදයේ උඩ සම සීරීම

$
0
0

ගීතිකා ධර්මසිංහ

ගීතිකා ධර්මසිංහ

ගීතිකා ධර්මසිංහ

අලුත් වටයකින් ආගමික ලේ පිපාසයක් යළි දළුලා වැඩෙනු පෙනේ. එය ”සිංහලේ” නම් වේ. එනමින් යුත් ස්ටිකර් ඇලවූ වෑන් හා ඩිෆෙන්ඩර් වීදීවල තැන තැන ගමනේය. මුස්ලිිම් වැසියන්ගේ නිවෙස්හි තාප්පවල හා ගේට්ටුවලද සිංහලේ කියා නොබියව ලියැවේ. ඒ හා සමාන්තරව රුපියලයේ අගය පෙර නොවූ විරූ ලෙස අවප‍්‍රමාණය වීමත් කොළඹ නගරය මුල් කරගනිමින් මෙගාපොලි ව්‍යාපෘතිය සඳහා ලහි ලහියේ සුදානම් වීමත් වැඩ කරන ජනයා වෙනුවෙන් යැයි කී (කලින් රාජපක්ෂ රෙජීමය ගෙදර යැවීමටයි කියා වීදි බැසි) ඊනියා වෘත්තීය සමිති රැුසක් අලූත් රෙජීමයට කඩේ යාමත්, තන පටයක් ප‍්‍රසිද්ධියේ විසිකිරීම නිසා මෛතී‍්‍ර සංස්කෘතිය කලඑළි බැසීමත්, රාජ්‍යය නිර්බාධවාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට සහාය දක්වන පහල පංතික පිරිස් පහලවීමත් ලංකා දේශපාලන කරළියේ දැන් රඟ දැක්වෙන සංදර්ශන කිහිපයකි. යහපාලන්තයේ අසිරියක මහත! අලුත් පාලනය විසින් ගොඩනගන මේ සමාජ අර්බුදයන්ගේ අතුරු මුහුණක් ලෙස පෙනී සිටින සිංහ ලේ පිපාසය හා රාජ්‍ය නිර්බාධවාදය යෝජනා කරන පිරිස් මතු පිටින් විපක්ෂය ලෙසත් ඇතුලතින් ආණ්ඩුව ලෙසත් එකිනෙකා පෝෂණය කර ගනිමින් සිටිති. ආර්ථික හෝ සමාජ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින අලූත් විකල්පයක්ද මේ? ඇත්තටම මේ පිරිස් පසුපස ඇති අවතාර මොනවාද?

Sinha leමගේ විශ්වාසය නම් රාජපක්ෂ රෙජීමය හා සම්බන්ධ කොන්ත‍්‍රාත් මගින් මුදල් ඉපැයීම හේතුවෙන් අලූතින්ම මතු වූ කොම්ප‍්‍රදෝරු පන්තියේ නියෝජනයකි මේ. හරක් හොරු හා තාජ් සමුදාා එකට එක මුහු වූ කාලයක මහාමාර්ග ඉදි කිරීම, රජයේ ආයතන ගොඩ නැගීම, වංචනික ටෙන්ඩර් කටයුතු, කප්පම්, අල්ලස් හා කොමිස් ඇතුලූ මගඩි සේවා ඔස්සේ විශාල මුදල් කන්දරාවක් කෙටිකලකින් ගොඩ ගසා ගැනීමට මේ පිරිසට හැකි විය. මෙය කිසිසේත්ම ඔවුන් අපේක්ෂා නොකළ ආකාරයේ ලොතරැුයියකි. එලෙසම යුද්ධයෙන් පසු ඇති වූ බැංකු ක‍්‍රමයේ නැගීම තුළ ණය ගැනීමෙන් එක තට්ටුවක් ටයිල් කර සාදාගත් මේ පිරිස ඊළග තට්ටුව හදන්නට සිය දරුවන්ට බාර කර හිත හදාගනී. රාජ්‍යය විසින් අසීමිතව ණය ගැනීම ආර්ථික වර්ධනයක් ලෙස නම් කරද්දී යට කී පිරිසට එය ලාභය ගොඩ ගසන පින් බලයක් විය. මෑත මතු වූ පන්සල් පෙළපාලි, බුදු පිස්සුව හා මුස්ලිම් වෛරය යනු එම නව තත්වයේ එක්තරා මතවාදී ප‍්‍රකාශනයකි. අපගේ අවධානය වන්නේ මෙය අහම්බයක් නොවන බවයි. මීට දශකයකට දෙකකට පමණ පෙර ලේ නොඉල්ලා අනෙකාගේ ලේ හෙල්ලූ සංවිධාන වෙනුවට දැන් ප‍්‍රසිද්ධියේ ලේ ඉල්ලීම හා සිය පවිත‍්‍ර ලේ පිළිබඳ කිසිදු චකිතයකින් තොරව කතා කිරීමට හැකි පිරිසක් නිර්මාණය වීමේ පසුබිම මෙයයි. සිය ජීවිතවල අහම්බ සිදුවූ පිරිස් මේ ගොඩෙන් බහුතරයයි.

මුස්ලිම් අනෙකාට එරෙහිව 1915දී සිදුකළ අප දන්නා ඉතිහාසයේ මුල්ම ප‍්‍රහාරය පිළිබඳ නිර්මාණය වී ඇති සාහිත්‍යය සටහන් බොහෝය. ඒ අතර කුමාරි ජයවර්ධන එම ප‍්‍රහාරය හඳුනා ගන්නේ එවකට පැවති ආර්ථික හා දේශපාලන ගැටලූවල පිළිඹිඹුවක් ලෙසය. එසේම මුස්ලිම් ජාතිකයන්ගේ ආර්ථික කටයුතු හා සිංහල මුස්ලිම් වැසියන් අතර ග‍්‍රාමීයව ගොඩනැගෙමින් පැවති ආතතික තත්වය එහි තීව‍්‍රතාවය වැඩි කළ බව ඇගේ අදහසයි. වත්මන් සිංහලේ වැනි ව්‍යාපාර මෙම විශ්ලේෂණයට අවැසි අලූත් දේශපාලන ආර්ථික මුහුණුවර ලබා දේ. රාජපක්ෂ රෙජීමය තුළ නැගී ආ ග‍්‍රාමීය මැද පාන්තික මතවාදය දරාගත් කොම්ප‍්‍රදෝරු නව ධනපති පංතිය අද දවසේ මෙම අලූත් භූමිකාවට පන පොවමින් සිටී. එයට ආවරණය සැපයීමට සිංහල බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙරට පැමිණ ඇති නිසාම එය බුද්ධාගම හා මුස්ලිම් අතර වන ආගමික ප‍්‍රශ්නයක් ලෙස පමණක් සිතුවහොත් අපට බොහෝ දේ මග හැරී යනු ඇත. ආගම රාජ්‍යයෙන් හා එහි දේශපාලනයෙන් වෙන් කිරීම නූතන අදහසක් බව මානව විද්‍යාඥයෙකු වන තලාල් අසාද් තර්ක කරයි. ලංකාවේදී නම් මේ තත්වය හොඳින් අවබෝධ කර ගත හැක්කේ මේ භික්ෂූන්ට හා සිංහලේ වැනි ව්‍යාපාරවලට සහය දක්වන්නන්ගේ පංති මුහුණුවර විග‍්‍රහ කරගත් විටය. අවාසනාවකට මොවුන් පය ගසා සිටින ආර්ථික පදනම් සමග මොවුනට ඇති නරුමවාදී පැවැත්මේ ප‍්‍රතිඵලය ලෙස සිදුවන්නේ විකල්ප මතධාරීන් සමග දිගින් දිගටම ගේම ඉල්ලීමයි. මැද පෙරදිග සේවයට යන පිරිමින් හා ගැහැණුන් බහුතරය යනු මේ සිංහලේ වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සුදානම් වන එක් සමාජ තීරුවක් පිළිබඳව නිදසුනකි.

රාජපක්ෂ රෙජීමය ගෙදර යැවීම වෙනුවෙන් වැඩ කළ බොහොමයකගේ ගණන් බැලීම වූයේ රාජ්‍ය ත‍්‍රස්තවාදයට ජාතිකවාදී නැගී සිටීම්වලට, දුෂණයට හා රාජ්‍ය මර්ධනයට අදාල චින්තනය පැරදවීමට ඔවුන් දායක වූවාය යන්නයි. එහෙත් එම ප‍්‍රයත්නය විසින් සිදු වූයේ පැවැති අත්තනෝමතික මාවතට කාලයේ ගැට්ටක් දැමීම පමණක් බව පෙනෙන්නට ඇත. හිරුණිකා වැන්නන්ගේ අවිචාර හැසිරීම්, පොලීසිය විසින් ජනතාවට පහර දීම් හා තරුණයන් මරා දැමීම්, ආර්ථිකය හැකි තරම් විවෘත කිරීම්, අධ්‍යාපන අයිතීන් කප්පාදු කිරීම් ආදී මේ සියල්ල ඊට නිදසුන්ය. චින්තනමය වශයෙන් අපි එකම තැන බව පෙන්වන ප‍්‍රධාන නිදසුනක් ලෙස මෛතී‍්‍ර වෙනුවෙන් නිර්මාණය කර ඇති ප‍්‍රශස්ති ගීතය ගත හැකිය. මේ රාජ්‍යයේ පමණක් නොව සිංහල වැසියාගේද චින්තන සිතිජයයි. ලෝකයේ ආසියාතික අනෙක් රටවල් බොහොමයක මෙන්ම ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනුම ජාතික හා ආගමික අගතීන්ගේ තෝතැන්නකි. බහුතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අදහස් මෙරටේ චින්තනයට හසු වූයේ සිංහල බෞද්ධ පැරණි ශිෂ්ටාචාරයක් මුල් කොට ගෙනය. එය අරුමයක් නොවන ලෙසම අර්ථවත් වුයේ අනෙකා බැහැර කිරීමේ තාක්ෂණයට අනුවය. ඉතින් අද දක්වාම මේ චින්තනයට බැහැරින් අර්ථවත් වූ කිසිවක් වත්මන් ලංකා වැසියාගේ චින්තනයට එක් වූ බවක් පෙනෙන්නට නැත. ජාතික රාජ්‍ය නායකයින් පවා අප තවමත් පරිකල්පනය කරන්නේ රාජ උරුමයක අරුතින් වීම එහි ඛේදනීය නිදසුනකි. වත්මන් නායකයින්ට රාජ්‍යත්වය ආරූඩ කිරීම අතීත වැඩවසම් ලක්ෂණයන් යළි ඉපදවීමක් හැර අන් කුමක්ද?

අනෙක් අතට අපගේ චින්තනය අධිනිශ්චය කරලන සිංහල බෞද්ධත්වය ගොඩනැගී ඇත්තේ දෙමළ මුස්ලිම් අනේකත්වය හරහාය. යටත් විජිත සමයේ ධනය උපයා ගත් කරාව, දුරාව හා සලාගම කුලවලට අයත් පිරිස් අධ්‍යාපනය තුළින් සමාජ සංචලනය අත්පත් කරගත්තේ ජාතිකවාදය දේශපාලන උපාය මාර්ගයක් ලෙස මුලින්ම භාවිතා කිරීමෙන් බව නොරහසකි. ඔවුන්ගේ දේශපාලන සාමාජිකත්වය නියෝජනය වූයේ සිංහල බෞද්ධ පහල පාංතික සමාජ තීරුවලිනි. ජාතිකවාදී නොවන මේ පිරිසේ අනෙක් කාණ්ඩය වූයේ රාජ්‍ය නිර්බාධවාදී ප‍්‍රතිපත්තීන් වෙනුවෙන් පෙනී සිටින්නන්ය. උදාහරණයක් ලෙස නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය මිලට ගත හැකි අයට විවෘත කරන්න යැයි ඉල්ලා සිටින්නේ මේ පිරිස්ය. අවාසනාවක මහත නම් මේ පිරිස් තමන්ටවත් මිලදී ගත නොහැකි දේ වෙනුවෙන් පෙනී සිටීමය. මේ පිරිස් කොයි තරම් අවාසනාවන්තද යත් ඔවුනට තමන් ආසා කරන තැනකින් පවුල පිටින් ගොස් ආහාර වේලක් පවා භුක්ති විඳිය නොහැකිය. නැතහොත් ඒ පිළිබඳ සිය දහස් වාරයක් සිතිය යුතුය. ධනවාදය කි‍්‍රයාත්මක වන රටවල ආර්ථිකය පිළිබඳ මෙලෝ හසරක් ඔවුනට නැති බව මාගේ අදහසයි. එසේ නොවේනම් නිදහස් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කරන්න යැයි සිහියකින් ඉල්ලා සිටීමට නොහැකි වනු ඇත. කෙසේ වුවත් මේ අය සමග ආර්ථික අර්ථයෙන් හෝ සංවාදයක් කිරීමට හැකි මුත් ලේ ඉල්ලන ජාතිවාදී පිරිස් සමග නම් කළ යුතුව ඇත්තේ වෙන දෙයකි.

ඒ නිසාම අනෙකා ඉවසීම කෙසේ වෙතත් සංස්කෘතිකව දියුණු පුද්ගලයෙකු තැනීම වෙනුවෙන් අප සමාජය මුලධාර්මිකව වෙනස් කළ යුතුව ඇත. අවශ්‍ය වන්නේ ප‍්‍රතිසංස්කරණ නොවේ. සංස්කෘතික ජීවියෙක් වීමට ඔබට බොහෝ දේ අවශ්‍ය නොකරතත් ඒ පිරුණු විමුක්තිය ලබන්නට අඩුම තරමේ වින්දනීය සංස්කෘතියක මුලික ලක්ෂණවත් තහවුරු කළ යුතුවේ. පිනෙන් අර්ථකතනය වන පුද්ගල ඉරණම වෙනුවට සමාජ ඛණ්ඩාංක මත ජීවිතය සොයා ගැනීමට නම් අප සංස්කෘතිය නම් කලාපය තුළ වන දේශපාලනය හඳුනා ගත යුතුව ඇත.

Print Friendly

හාවඩ් ආර්ථික සමුලුව සහ ලංකා ආර්ථිකයේ දුක් වේදනා

$
0
0

අහිලන් කදිරගාමර්

අහිලන් කදිරගාමර්

අහිලන් කදිරගාමර්

ශ‍්‍රී ලංකාව තුළ නාටකීය ආකාරයේ ආණ්ඩු වෙනසක් සිදුවී මේ වනවිට වසරක් ගත වී තිබේ. ලංකාව දැන් පය තබා එළැඹ තිබෙන්නේ හරියනවා නම් හරියන, වරදිනවා නම් වරදින වර්ගයේ වර්ෂයකටය. මේ වර්ෂය තුළ ස්වකීය දේශපාලන හා ආර්ථික දැක්ම ලංකාව විසින් නිමැවුම් කරගනු ලබන්නේ කෙසේද යන කරුණ රටේ අනාගතයට මහත් ගැඹුරු බලපෑමක් සිදුකරනු ඇත.

බලයට පත්වීමෙන් හරියටම වසරකට පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන රටේ ව්‍යවස්ථාව නැවත සම්පාදනය කිරීම සඳහා වූ ක‍්‍රියාදාමයකට මුල පුරා තිබේ. තවද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඒකච්ඡන්දයෙන් සම්මත කරගත් යෝජනා සම්මතයට ප‍්‍රතිචාර දැක්වීම සඳහා ආණ්ඩුව සංක‍්‍රමණීය යුක්තියට අදාළ ක‍්‍රියාවලීන් ද ඉදිරියට ගෙන යමින් සිටී. ඓතිහාසික වශයෙන් එකිනෙකාට එරෙහිව සිටියා වූ පක්ෂ දෙකකට අයත් ජනාධිපති සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අතර ඉහත කී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාමය සහ සංක‍්‍රමණීය යුක්තිය සම්බන්ධ පෙරමුණු ගැන පොදු එකඟතාවයක් පවතී. කෙසේ වූවද එම ක‍්‍රියාවලීන් දෙකම විශාල වශයෙන් රටේ ආර්ථික අනාගතය මත රැඳි පවතී. ග‍්‍රාමීය ආර්ථිකය සමඟ ජනාධිපතිට දැඩි බන්ධුතාවයක් තිබෙන සහ අග‍්‍රාමාත්‍යවරයා ආර්ථික ලිබරල්කරණය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින සන්දර්භයක් තුල, බලය සංකේන්ද්‍රණය කරගැනීමට රෙජිමයට තිබෙන හැකියාව සහ ආණ්ඩුවට ස්ථාවර විය හැකි පරිමාණය කෙරෙහි නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය දැඩි ලෙස බලපෑම්සහගත වනු ඇත.

ජීවන වියදම ඉහළ යාම, රැකියා අවස්ථා අප‍්‍රමාණවත්වීම සහ ආදායම් අසමානතා දැඩි වීම ආදී ප‍්‍රශ්නවලින් සංලක්ෂිත පවතින ආර්ථික තත්වය පැවැති රෙජිමයේ මැතිවරණ පරාජය සඳහා කේන්ද්‍රීය ලෙස බලපෑ කරුණකි. ජනවාරි මාසයේ මුල් සතියේ ශ‍්‍රී ලංකාවේ පැවැති ආර්ථික සමුලුවට සත්කාරකත්වය සැපයීම සඳහා ගෝලීය මූල්‍ය සම්පාදකයෙක් හා දානපතියෙක් වන ජෝර්ජ් සොරෝස් ආරාධනා ලැබූයේ මෙම ආර්ථික තත්වය ආමන්ත‍්‍රණය කිරීම රජය ඉදිරියේ අභියෝගයක් බවට පත්වී තිබෙන සන්දර්භය තුලය. අගමැතිගේ සංකල්පයක් වන මෙම ආර්ථික සමුලුවේ අභිප‍්‍රාය වූයේ ලංකාව තුලට ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනය ගෙන ඒම හා ශ‍්‍රී ලංකාව ගෝලීය මූල්‍ය සිතියම මත පිහිටුවීම මගින් ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමට උපයෝගී කොට ගැනීමය. මෙම සමුලුව සඳහා ජාත්‍යන්තර සංවර්ධනය උදෙසා වූ හාවඞ් විශ්ව විද්‍යාලයේ මධ්‍යස්ථානය සහයෝගය ලබාදුන් අතර එම ආයතනය සමුලුවට ජාත්‍යන්තර විශේෂඥයින් කැඳවීම සඳහා සිය ජාලය යෙදවීය.

ආණ්ඩුවේ නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය පසුගිය රාජපක්ෂ රෙජිමය විසින් ක‍්‍රියාවට නැංවූ මූල්‍යකරණය මත පදනම් වූ නාගරික සංවර්ධන ප‍්‍රතිපත්තීන්ගෙන් එතරම් වෙනස් නොවේ. ගෝලීය මූල්‍ය වෙළඳපොලවලින් වැඩි වැඩියෙන් ණය ගැනීම, අලංකරණ ක‍්‍රියාවලියකට සමගාමීව කොළඹ නගරය තුල සිදුවූ නාගරිකකරණය සහ පශ්චාත් යුද අවුරුදුවල ඉහළ වර්ධන වේගයක් ඇති වීම කෙරෙහි තුඩු දුන් අති විශාල යටිතල පහසුකම් ඉදිකිරීමේ ක‍්‍රියාවලිය යන පදනම් මතය නව ආර්ථික ප‍්‍රතිපත්ති පැකේජය ගොඩනගනු ලැබ තිබෙන්නේ. කෙසේ වූවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියමයන් අනුව ඉඩම්, ශ‍්‍රමය හා ප‍්‍රාග්ධනය යන ක්ෂේත‍්‍රවල මූලික පරිවර්තනයක් ඇති කිරීම සම්බන්ධයෙන් නව ප‍්‍රතිපත්ති පැකේජය වඩාත් ආක‍්‍රමණශීලී ස්වභාවයක් උසුලයි.

ඛේදජනක සංදර්ශනයක්

ආර්ථික සමුලුවක නාමයෙන් ශ‍්‍රී ලංකාවේ පැවැත්වූ හාවඞ් සංදර්ශනය කෙසේ වූවද ඉතාම කණගාටුදායක එකක් ලෙස අවසාන වී යැයි කිව හැක. ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින දේශපාලන ආර්ථික අභියෝග පිළිබඳ ඌන අවබෝධයක් සහ ලංකාවේ ඉතිහාසය පිළිබඳ කිසිදු අදහසක් නොමැතිව හාවඞ් හි රිකාඩෝ හවුස්මන් විසින් මෙහෙයවනු ලැබූ, අමොන්ටෙක් සිං අලුවාලියා ආදී ආර්ථික ප‍්‍රතිසංස්කරණඥයින් හා වෙනත් අන්තර්ජාතික සම්පත්දායකයින්ගෙන් සමන්විත වූ විශේෂඥයින් පිරිසක් හුදෙක් වෙනත් රටවල සමාන්තර තත්වයන් පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට වඩා වැඩි දෙයක් කිරීමට සමුලුව තුල දී අසමත් වූහ. ඒ අදහස් ද ලංකාවේ සංවර්ධන මාවත සමග ඉතා අඩු සම්බන්ධයක් තිබෙන හුදෙක් ආර්ථික විද්‍යා පාඨ ග‍්‍රන්ථවල හා ජනප‍්‍රිය ආර්ථික විද්‍යා සගරාවල දක්නට ලැබෙන වර්ගයේ අදහස්ය. ගෝලීය ආර්ථික තත්වය ගැන හෝ වේවා 2008 ගෝලීය ආර්ථික අර්බුදයෙන් පසු පශ්චාත් යුදකාලීන රටක් සංවර්ධනය කිරීමේ දී මුහුණ දීමට සිදුවන අභියෝග ගැන හෝ වේවා සාකච්ඡුා නොවූ තරම්ය. ඒ වෙනුවට සිදුවූයේ කොළඹ ප‍්‍රභූ පංතිය අතර ප‍්‍රචලිත ජනප‍්‍රිය සාද කථාවක් වන සිංගප්පූරුවක් බවට ලංකාව පත්කිරීමේ අභිලාෂය හාවඞ්වල සිට පැමිණි විශේෂඥයින්ගේ ද සහභාගිත්වය සහිතව නැවතත් ප‍්‍රතිරාවය කිරීමකි.

මෙහිදී ගෝලීය ආර්ථික තත්වයන් පිලිබඳ අනතුරු හඟවමින් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දී සිටින අති විශාල අභියෝග පිළිබඳ අදහස් දැක්වීමට මැදිහත්වීම් කරනු ලැබූයේ ජෝර්ජ් සොරෝස් සහ ප‍්‍රවීණ ආර්ථික විද්‍යාඥ ජෝසෆ් ස්ටිග්ලිට්ස් පමණි. චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී වීම, ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් ආයතනය පොලී අනුපාතික වැඩි කිරීම විසින් ප‍්‍රාග්ධන ගලනයේ ඇති කොට තිබෙන ආපසු ගැලීමේ ප‍්‍රවණතාවය සහ කෙටි කාලීන ප‍්‍රාග්ධනය ගලා ඒම් හා ප‍්‍රාග්ධනය ආපසු ගලා යාම නිසා ඇති වන සාර්ව ආර්ථික අභියෝග ආදිය පිළිබඳ ඔවුහු ප‍්‍රශ්න මතුකළහ. අනුක‍්‍රමික ඉඩම් බදු ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය, සුඛෝපභෝගී පරිභෝජනය මත වූ බද්දක අවශ්‍යතාවය සහ සංවර්ධන රාජ්‍යයක වැදගත්කම යන කරුණු ස්ටිග්ලිට්ස් විසින් විශේෂයෙන්ම මතු කරනු ලැබිණ.

අභියෝග සහ ෆැන්ටසීන්

ශ‍්‍රී ලංකාව මේ මොහොතේ දැවැන්ත සාර්ව ආර්ථික අභියෝගයකට මුහුණ දී තිබේ යන්න නොරහසකි. ලංකාවේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12 ක් තරම් අතිශය අඩු අගයකි. එයද ආණ්ඩුවට ලැබෙන්නේ ආදායමෙන් සියයට 80 ක් පමණ වක‍්‍ර බදු හරහා ගලා එන ප‍්‍රතික‍්‍රමික බදු ප‍්‍රතිපත්තියක ප‍්‍රතිඵලයක් ලෙසය. අපනයන වෙළඳාම ඇඟලුම්, තේ හා රබර් ආදී සීමිත ක්ෂේත‍්‍ර කිහිපයකට සීමා වී තිබෙන අතර අපනයන මට්ටම පහළය. එය පියවනු ලැබෙන්නේ මැද පෙරදිගට අපනයනය කරනු ලැබෙන ලාභ ශ‍්‍රමය හරහා උපයා ගන්නා මුදල්වලින්ය. තවද කොළඹ නගරය කේන්ද්‍ර කොට ගෙන සිදුවන අසමාන සංවර්ධනය සහ වැඩෙන සමාජ අසමානතා රැකියා හිඟය සහ ශිෂ්ට සම්පන්න රැකියා අවස්ථා හිඟවීම පිළිබඳ ප‍්‍රශ්නයේ බලපෑම වඩාත් නරක් කොට තිබේ. මේ ප‍්‍රශ්න තේරුම් ගැනීමට හාවඞ්වල රොකට් යානා විශේෂඥයින් අවශ්‍ය නොවේ.

ශ‍්‍රී ලංකාව තුල විවාදයට හා විවිධ අරගලවලට විෂය වී තිබෙන්නේ මෙබඳූ ප‍්‍රශ්න තිබේ යන නිරීක්ෂණය නොව විවිධ ජාත්‍යන්තර ආයතන සහ බුද්ධි පර්ෂදයන් මේ ප‍්‍රශ්නවලට ඉදිරිපත් කරනු ලබන විසඳූම්ය. ආණ්ඩුවේ උපාය මාර්ගය වී තිබෙන්නේ බාහිර මූල්‍ය ගලා ඒම් වැඩි කිරීම සහ ආර්ථිකය වඩ වඩාත් මූල්‍යකරණයට ලක්කිරීමය. මේ සඳහා ඉඩම් හා දේපළ වෙළඳම් වෙළඳපොල ප‍්‍රවර්ධනය කරනු ලැබේ. ආණ්ඩුව වෙළඳාම තවත් ලිබරල්කරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන අතර දැනටමත් අපනයන මෙන් දෙගුණයක මට්ටමක ආනයන පවතී. එවැනි තත්වයක් තුළ තවදුරටත් වෙළඳාම ලිබරල්කරණය කිරීමට යෝජනා වන්නේ ඇතැම් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා වෙනත් අන්තර්ජාතික ආයතන සතුටු කිරීමට වීමට පුලුවන. ඉදිරි මාස කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදිසි ණය මුදලක් ලබාගැනීමටත් ඉන්දියාව සමග නව වෙළඳ ගිවිසුමකට ඇතුලත් වීමටත් ආණ්ඩුව අපේක්ෂා කරන අතර මෙකී ක‍්‍රියාමාර්ග විසින් ලංකාව ගෝලීය ප‍්‍රාග්ධන හා භාණ්ඩ වෙළඳපොල සමග වඩාත් සමීපව ආබද්ධ කරනු ඇත.

ආර්ථික සමුලුව තුල රැකියා මිලියනයක් උත්පාදනය කිරීම සම්බන්ධ ප‍්‍රතිපත්තියක් පිළිබඳ අදහස් ඉදිරිපත් කෙරුණු නමුත් එය ඉටු කරගන්නේ කෙසේද යන්න ගැන එකදු හෝ සංයුක්ත ප‍්‍රකාශයක් ඉදිරිපත් නොවීය. කෙසේ වූවද ආණ්ඩුවේ ප‍්‍රමුඛතම ආර්ථික සංවර්ධන වැඩසටහන වී තිබෙන මෙගාපොලිස් ව්‍යාපෘතිය පිළිබඳ බොහෝ කථා බහ ඇති විය. බස්නාහිර පළාතේ වඩා වැඩි පදාසයක් ආවරණය වන ලෙස කොළඹ නගරය කේන්ද්‍ර කොට ගත් නාගරික ප‍්‍රසාරණයක් ඇති කිරීම මෙමගින් අපේක්ෂිත අතර ප‍්‍රාග්ධන ගලා ඒම් අවශෝෂණය කරගැනීමට ඉන් බලාපොරොත්තු වේ. කොළඹ ඇතැම් ප‍්‍රදේශවල ඉඩම් මිල ගණන් දෙගුණ වී තිබීම හා තවත් ඇතැම් තැන්වල එය තෙගුණ වී තිබීම සාධනීය දෙයක් ලෙස නිරීක්ෂණය වූ අතර මෙය මහා පරිමාණ නාගරික යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය වීම සම්බන්ධයෙන් යහපත් කරුණක් යැයි සලකන ලදී. කෙසේ වූවද ඉඩම් වෙළඳපොල බුබුලක් නිර්මාණය වීම කෙටිකාලීනව දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රය තුල සමපේක්ෂණමය ආයෝජනය වැඩි වීමට හේතුවිය හැකි වූවත් එය අවසානාත්මකව අර්බුදකාරී තත්වයකට හා භුක්තිය අසන්තක වන තත්වයකට මෝරා යාමේ ඉහළ අවදාමක් ගැබ් කරගත් වර්ධනයකි. 1990 ගණන්වල අගභාගයේ නැගෙනහිර ආසියාවේ ඇති වූ මූල්‍ය අර්බුදය සහ මෑතකාලීන ගෝලීය ආර්ථික අර්බුදය විසින් පෙන්නුම් කරනු ලැබූයේ මෙන්න මේ අවදානම පුපුරා යෑමය. මේ කරුණු පිළිබඳ කිසිදු අවධානයක් සමුලුව තුළ දී යොමු නොවීය.

අනාගත අවදානම්

ජාතික මූල්‍ය ක්ෂේත‍්‍රයේ සිට ගම්බද ගෘහ ඒකක දක්වා ආර්ථිකයේ සෑම තලයක්ම ණයගැතිභාවයෙන් පරිපීඩිතව පවතින මොහොතක ඉහළ ආර්ථික වර්ධන වේගයක් පිළිබඳ ලංකාවේ දැක්ම ප‍්‍රශ්නකාරී එකක් වන්නේය. රට තුළ මෙන්ම රටෙන් බාහිරව ද විවිධ වූ පාර්ශවවල සහයෝගය සහ මැදිහත්වීම මේ ප‍්‍රශ්නයට අදාලව ශ‍්‍රී ලංකාවට අවශ්‍යයය. රට තුළ සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් දුලභ වීම තුළ කලාපයේ ප‍්‍රගතිශීලී ආර්ථික විද්‍යාඥයින්ගේ සහයෝගය මේ සඳහා ලංකාවට වැදගත් වනු ඇත. කෘෂි හා ධීවර ක්ෂේත‍්‍රවලින් සමන්විත රටේ ග‍්‍රාමීය ආර්ථිකය තුළ පුනර්ජීවනයක් ඇති කිරීම, යෝග්‍ය නිෂ්පාදන හා කාර්මික රැකියා නිර්මාණය කිරීම සහ රාජ්‍ය මූල්‍ය රාමුව අලුත්වැඩියා කිරීම සඳහා විවේචනාත්මක දේශපාලන ආර්ථික සිතීමක් අවශ්‍යයය. විශේෂයෙන්ම ලංකාව පසුකරමින් සිටින දුර්වල දේශපාලන මොහොතට අදාලව මෙය වඩාත් වැදගත්ය. ඓතිහාසික උදාහරණයක් ගෙන හැර දක්වන්නේ නම් ශ‍්‍රී ලංකාවේ බදු ක‍්‍රමය ප‍්‍රගතිශීලී ලෙස වෙනස් කිරීම සඳහා 1950 ගණන්වල ඉදිරිපත් වූ යෝජනා කෙරෙහි ප‍්‍රබල ලෙස බලපෑවේ ඉන්දියාවේ හා ලංකාවේ බදු ක‍්‍රමය ආශ‍්‍රිත ගැටලු පිළිබඳ අධ්‍යනයෙහි යෙදී සිටි කේම්බ‍්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ නිකොලස් කැල්ඩෝර් ගේ අදහස් හා නිර්දේශයන්ය. කැල්ඩෝර් නිර්දේශ පසුකාලීනව අසාර්ථක වූ එක් හේතුවක් වූ කලී ලංකාවේ දේශපාලන ආර්ථිකය වටහා ගැනීමේ දී සිදුවූ දුර්වලතාවයන්ය. හාවඞ් ආර්ථික විද්‍යාඥ රිකාඩෝ හවුස්මන් ආර්ථික සමුලුවට පෙර ලංකාවේ ගත කොට තිබුණේ එක් දවසකටත් වඩා අඩු කාලයකි. මේ වර්ගයේ විශේෂඥයින්ගේ මැදිහත්වීම් සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට අප පොළඹවන වර්ගයේ මනා සිහි කැඳවීමකි කැල්ඩෝර් අත්දැකීම.

කොළඹ ප‍්‍රභූ තන්ත‍්‍රය බටහිර වෙත ආකර්ෂණය වී සිටින්නේ ඕනෑම මිලක් ඒ වෙනුවෙන් ගෙවීමට සූදානමිනි. වසර දහ හතරකට පෙර, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ කෙටි කාලීන පාලන යුගය සමයේ ජනවාර්ගික ගැටුම සමථයකට පත් කිරීම සඳහා ඇමරිකානු ආධිපත්‍යයේ පිටුබලය සහිතව නෝර්වීජියානු විශේෂඥයින්ට ලංකාවට ඇරයුම් කෙරිණ. නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩපිලිවෙලක් හා අතිනත ගෙන ක‍්‍රියාත්මක වූ එම නෝර්විජියානු සාම ප‍්‍රයත්නය අවසාන වූයේ ඛේදනීය ලෙසය. මහපොළොවේ තිබෙන දේශපාලන හා ආර්ථික යථාර්තයන් පිළිබඳ නොසලකා සිදුවන ජාත්‍යන්තරකරණය අවසානයේ උපකාරී වූයේ දෙපාර්ශවයේම සන්නද්ධ කොටස් බලගැන්වීමට, යුද්ධය ඛේදනීය ලෙස අවසාන වීමට, අධිකාරිවාදී මිලිටරිවාදී රෙජිමයක් ශක්තිමත් වීමට හා අවසාන වශයෙන් වාර්ගික ධ‍්‍රැවීකරණය වඩාත් තීව‍්‍ර වීම කෙරෙහිය. ලංකා ආර්ථිකයේ දුක් වේදනාවලට අදාලව සිදුවන වත්මන් ජාත්‍යන්තර මැදිහත්වීම් නිසා ඇති විය හැකි ඒ හා සමාන දුර්විපාකයන් අතිශය පැහැදිලිය. මේ තුළ අවදානමට ලක්වීමට නියමිත ආණ්ඩුවේ සුජාතභාවය සහ ආර්ථික ප‍්‍රතිපත්තිවල විශ්වසනීයත්වය පමණක් නොවේ. දැනට නිර්මාණය වෙමින් තිබෙන අර්බුද භරිත නව ආර්ථික ප‍්‍රතිපත්ති පැකේජය විසින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුලින් ඇති කළ හැකි දේශපාලන විසඳූම සහ යුද්ධය විසින් ඇති කළ දේශපාලන හා සමාජ උරුමය ආමන්ත‍්‍රණය කිරීමේ ක‍්‍රියාවලිය ද අනතුරේ හෙලීමට නියමිතය.

*පරිවර්තනය – රමිඳූ පෙරේරා

Print Friendly

දොස් දැකීමේ ඇබ්බැහිය: ව්‍යවස්ථා වෙනස්කම් පිළිබඳ රකුසෙකු මවා තමන් සුදනන් වීම

$
0
0

එම්. එස්. එම්. අයුබ් –

දිග් ගැස්සුණු ජන වාර්ගික අර්බුදයටත්, 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන්, අතිශය ශාපයක් වූ විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප‍්‍රශ්නයට සහ සමානුපාතික නියෝජන ක‍්‍රමයටත් විසඳුමක් සොයමින් ගත කළ කාලය ඉතා දීර්ඝ ය. එම ඉතිහාසයේ සිත්ගන්නා සුළු ලක්ෂණයක් වන්නේ, එම ප‍්‍රශ්නවලින් ඕනෑම එකකට විසඳුමක් සෙවීම සඳහා බලයේ සිටි පක්ෂයක් යම් උත්සාහයක් ගත් හැම විටකම, එම උත්සාහය සහ කොටි සංවිධානය හෝ ඊලාමය අතර යම් සම්බන්ධයක් ඇතැයි විරුද්ධ පක්ෂය විසින් සොයා ගනු ලැබීමයි.

GL-Peiris-colombo telegraphදැනුත්, වර්තමාන යහපාලන ආණ්ඩුව අලූත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට යත්න දරද්දී, ඒ වෙනුවෙන් වන යෝජනා මාලාවක් ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් කිරීමටත් කලින්ම, රටේ ඒකීය භාවය නැති කිරීමට සහ බුද්ධාගමට දී ඇති තැන නැති කිරීමට පාලකයන් කටයුතු කරමින් සිටින බවට, මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි. හිටපු ජනාධිපතිවරයාගේ කණ්ඩායම මේ අලූත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවේ හිල් සෙවීමට එසේ බලන අතරේ, මුලින්ම ආණ්ඩුවේ යෝජනා රට ඉදිරියේ තැබිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටී.

මේ ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීමට ආණ්ඩුවක් ගන්නා ඕනෑම ප‍්‍රයත්නයක් හමුවේ, පවතින විපක්ෂය පටු දේශපාලනික පරමාර්ථ පෙරදැරිව ඊලාම් ගෝනි බිල්ලා මැවීමට කටයුතු කළද, එම විපක්ෂය බලයට පැමිණි පසු ඔවුන්ද යන්නේ අර කී මාවතේමයි. උදාහරණයක් වශයෙන්. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම, අතීතයේ ඔවුන් බලයේ සිටි යම් එක් අවස්ථාවකදී හෝ ෆෙඩරල් ක‍්‍රමයක් ගැන කතා කොට ඇත. ඒ සෑම අවස්ථාවකදීම, 2002 දී හැරුණු කොට, පවතින විපක්ෂය ඊට එරෙහිව මහා ඝෝෂාවක් නගා තිබේ.

ෆෙඩරල් ක‍්‍රමයක් අනුදත් ප‍්‍රථම දේශපාලන පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. මහා විරෝධතා මැද්දේ, 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම ප‍්‍රකාරව, පළාත් සභා ක‍්‍රමය ගෙනාවේ ඔවුන් ය. පළාත් සභා ඇති කිරීම මගින්, ව්‍යවස්ථාදායක සභා එකකට වැඩි ගණනක් පත්කර ගැනීම හරහා ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් විණැයි එදා පාලනය හෙබැවූ ජේ. ආර්. ජයවර්ධන පිළිගත්තේ නැත. මේ අතර, සී.ජී. වීරමන්ත‍්‍රී වැන් නීති විශාරදයෝ, ෆෙඩරල් මැලේසියාවට වඩා ලංකාව බලතල බෙදාහැර ඇතැයි පෙන්වා දුන්හ.

1994 දී චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයක් බලයට පත්විය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡුා මාර්ගයෙන් සාමයක් ඇති කර ගැනීමට ගත් ප‍්‍රයත්නය ව්‍යර්ථ වූ තැන, 1995 දී ඇගේ ආණ්ඩුව, ප‍්‍රකට ‘පැකේජය’ ඉදිරිපත් කෙළේය. ඒ වූ කලී, එදා ව්‍යවස්ථා කටයුතු භාර ඇමති මහාචාර්ය ජී. ඇල්. පීරිස් සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක, ජාත්‍යන්තර කීර්තිමත් ආචාර්ය නීලන් තිරුචෙල්වම් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාවකි.

මේ ‘පැකේජය’ තුළ, ඒකීය රාජ්‍යයක් පිළිබඳ කතාවක් නොවුණි. එවැන්නක් නොතිබුණා පමණක් නොව, ඒ වෙනුවට එයින් යෝජනා කෙරුණේ, ‘පළාත් සංගමයකි’. එහෙත් එවැනි ‘පැකේජයක්’ ඉදිරිපත් කිරීම ගැන හෝ බලය බෙදා හැරීමට එවැනි ප‍්‍රයත්නයක් ගැනීම ගැන හෝ, අද කෑගසන එදා එම ආණ්ඩුවේ සිටි කිසි නායකයෙකු හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසි නායකයෙකු කිසි දවසක කටක් හොල්ලා නැත.

අනතුරුව, ජාතික ප‍්‍රශ්නය විසඳීම අරමුණු කර ගත් දීර්ඝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක‍්‍රියාවලියකින් පසු එම තේරීම් කාරක සභාවේ සභාපති මහාචාර්ය ජී. ඇල්. පීරිස් විසින් 1997 ඔක්තෝබර් 24 වැනි දා, එදා සන්ධාන ආණ්ඩුව වෙනුවෙන් පාර්ලිමේන්තුවට යෝජනා මාලාවක් ඉදිරිපත් කෙළේය. එම යෝජනා මාලාව තුළවත්, ‘ඒකීය රාජ්‍යයක්’ යන යෙදුමක් දක්නට ලැබුණේ නැත.

ඊළඟට නැවතත්. 2000 අගෝස්තු 3 වැනි දා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන ආණ්ඩුව අලූත් ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. එය ෆෙඩරල් ව්‍යවස්ථාවක්ය යන්න සැඟවීමට එදා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග කිසි උත්සාහයක් ගත්තේ නැත. එසේම, එහි අඩංගු කිසි යෝජනාවකට විරුද්ධව එදා එම ආණ්ඩුවේ සිටි කිසි ඇමතිවරයෙකු කිසිවක් කීවේද නැත. එම කෙටුම්පත තුළින්, උතුරු නැගෙනහිර දෙපළාත තවත් අවුරුදු 9 ක කාලයකට ඒකාබද්ධ කිරීමටත් යෝජිතව තිබුණි.

ලංකාවේ ආණ්ඩුවක් විසින් ෆෙඩරල් මාදිලියේ ආණ්ඩු ක‍්‍රමයක් භාර ගැනීමේ වඩාත් විවෘත ප‍්‍රකාශනය වුණේ, 2002 දෙසැම්බර් මාසයේ නෝර්වේ අගනුවර ඔස්ලෝහිදී ඇති වූ සාකච්ඡාවන්හි තුන්වැනි වටයේදී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර ඇති වූ එකඟත්වයයි. චන්ද්‍රිකා ආණ්ඩුවේ සිටියදී ෆෙඩරල් ක‍්‍රමයක් වෙනුවෙන් පෙනී සිටි ජී. ඇල්. පීරිස්ම, මේ අවස්ථාවෙදීත් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙනුවෙන් මේ සාකච්ඡා වටයේ නායකත්වය දැරීය.

2003 අප්‍රේල් 21 වැනි දා එල්.ටී.ටී.ඊ. සංවිධානය මේ සාකච්ඡුාවලින් ඉවත් විය. අනතුරුව, 2003 අවසාන භාගයේදී, උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා වන අන්තර්වාර පරිපාලනයක් සඳහා ‘‘අන්තර්වාර ස්වයං පාලන අධිකාරියක්’’ පිළිබඳ සැලැස්මක් එල්.ටී.ටී.ඊ, සංවිධානය ඉදිරිපත් කෙළේය. උතුරු නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් සඳහා වන සැඟවුණු සැලැස්මක් එම යෝජනාව තුළ ඇතුළත් වුවත්, ඒ මගින් ජනාධිපතිවරයාගේ, පාර්ලිමේන්තුවේ සහ රටේ අධිකරණයේ බලාධිකාරය හෑල්ලූ කිරීමේ ශක්‍යතාවක් පෙන්නුම් කළත්, එම යෝජනාව මත පදනම්ව යළි සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවත්, ආණ්ඩුවේ සාම නියෝජිත කණ්ඩායමත් සූදානම්ව සිටියේය.

ඉන් අනතුරුව, 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදීත්, එක්සත් ජාතික පක්ෂය ෆෙඩරල් විසඳුමක් සඳහා වන ඔස්ලෝ එකඟතාවට අනුගත වීමේ අවශ්‍යතාව සිය මැතිවරණ ප‍්‍රකාශනය තුළින් කියා සිටියේය.

ප‍්‍රධාන පක්ෂ දෙකම, ෆෙඩරල්වාදය, රට බෙදීම සහ ඒකීය රාජ්‍ය ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳ ගෝනි බිල්ලෙකු විටින් විට මැව්වත්, එම පක්ෂ දෙකම 1980 දශකයේ අවසානයේ සිට බලය බෙදා හැරීමේ අවශ්‍යතාව පිළිගෙන ඇති බව ඉහත කී නිදසුන්වලින් පැහැදිළි වෙයි. විටෙක ඒකීය ස්වභාවය අවධාරණය කර ඇති අතර එම පක්ෂ දෙකම, තවත් විටෙක ෆෙඩරල් ක‍්‍රමයත් භාරගෙන ඇත. කෙසේ වෙතත්, ෆෙඩරල් රාජ්‍ය ක‍්‍රමය යන්නෙන් මොවුන් සියල්ලන්ම අදහස් කරන්නේ එකම දෙයක්දැයි පැහැදිළි නැත. වරක් පුවත්පතක විශේෂාංග ලිපියක් සඳහා විවිධ පක්ෂ නායකයන්ගේ අදහස් විමසා සිටි මට හැඟුණේ, ෆෙඩරල් ක‍්‍රමය ඔවුන් අර්ථ ගන්වන්නේ, අන්ධයෙකු විසින් අලියෙකු හඳුනා ගන්නා ක‍්‍රමයට සමාන ආකාරයකින් බවයි.

1986 දී මුල් වරට පළාත් සභා ක‍්‍රමය ගැන කතිකාව මතුවූ අවස්ථාවේ, ජාත්‍යන්තර අධිකරණයේ හිටපු උප සභාපති, මහාචාර්ය සී. ජී. වීරමන්ත‍්‍රී ඉදිරිපත් කළ පැහැදිළි කිරීමේ ලියවිල්ලක අදාළ වාක්‍ය කිහිපයක් උපුටා දැක්වීම මෙහිදී ප‍්‍රයෝජනවත් විය හැකිය.

‘‘රාජ්‍යයක් ඒකීයද නැද්ද යන්න නිශ්චය කරනු ලබන්නේ, එම වචනය පැහැදිළි කෙරෙන යෙදුම්වලට වඩා, රාජ්‍යයක් තුළම වන බලය බෙදා හැරීමේ යථාර්ථයන් විසිනි.’’

‘‘ආණ්ඩුක‍්‍රම නීතිය තුළ ඒකීය යන්න පාවිච්චි කෙරෙන්නේ ‘ෆෙඩරල්’ යන්නට ප‍්‍රතිපක්ෂවයි. ෆෙඩරල් යනුවෙන් අදහස් වන්නේ, බල කේන්ද්‍රය සහ පරිවාර ඒකක අතර ස්වෛරී බලය බෙදා හැරීමක් සහිත, අර්ධ-ස්වතන්ත‍්‍ර ඒකකවල සංගමයකි.’’

‘‘ඒකීය රාජ්‍යයක් තුළ, ස්වෛරී ව්‍යවස්ථාමය බල විභජනයක් නැත. අධීක්ෂණ බලය කේන්ද්‍රය තුළ තබා ගනිමින්, රාජ්‍ය බලයේ විවිධ ආකෘති, නියෝජිත ව්‍යවස්ථා සම්පාදනයේදී මෙන්, (වෙනත් ඒකකවලට) පවරා දිය හැකිය. බලය පවරා දෙන ලද නියෝජිතයාට, ඔහුගේම බලයක් අභ්‍යාස කරමින් ව්‍යවස්ථා සම්පාදනයේ යෙදිය නොහැක.’’

‘‘නිර්දේශිත විෂයයන් සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදනයේ යෙදීමට පළාත් සභාවලට බලය තිබේ. ඒ අනුව ගත් විට, යෝජිත වැඩපිලිවෙල, පැහැදිළිවම ෆෙඩරල් ක‍්‍රමයකි. එහිදී පවා, වෙනත් සමකාලීන ෆෙඩරල් ක‍්‍රමවලට වඩා වැඩි බලයක් පර්යන්ත ඒකකවලට මෙහිදී පවරා දෙනු ලැබේ.’’

‘‘වෙනත් වචනවලින් කිවහොත්, ෆෙඩරල් ක‍්‍රමයක් අන්ත දෙකක් වෙත විහිදිය හැකිය. එකක් වන්නේ, ඒකීය රාජ්‍යයකට ආසන්නයේ වන තත්වයකි. අනික වන්නේ, බොහෝ දුරට ස්වාධීන වන ඒකකවලින් සමන්විත ලිහිල් සහසන්ධීනයයකි.’’

මෙහි අදහස වන්නේ, 1988 පළාත් සභා ක‍්‍රමය ඇති කර ගැනීමේ සිට ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍ය භාවය අහිමි කරගෙන තිබෙන බවක් ද?

*2016 ජනවාරි 15 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “The Habit of Getting it Wrong by Design: Demonising Constitutional Changes the Pot Calling the Kettle” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly

ශ‍්‍රී ල නි ප ය කළ යුත්තේ කුමක් ද?

$
0
0

චරිත හේරත්

චරිත හේරත්

චරිත හේරත්

මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්වී වසරක් ගත වී තිබේ. මේ ගතවු වසරේ එතුමා කටයුතු කළේ කෙසේද කියා වග විභාග කරන ලිපි ලේඛණ රාශියක් මේ දිනවල පුවත් පත් වල පළවී තිබුණි. ඒ සමහර ලේඛකයන්ට අනුව එතුමාගේ එක් අවුරුදු කි‍්‍රයා කළාපය ‘අතිවිශිෂ්ඨය’. තවත් සමහරුන්ට අනුව එය කිසිදු විශිෂ්ඨත්වයක් නැති ඔහේ ගත වුනු අවුරුද්දකි. මේ අදහස් දෙක අතර මැද ද තවත් පිරිසක් සිටින බව පෙනී යයි. මේ ගැන හොද නරක විවාදයට සහභාගි වන්නට මගේ එතරම් කැමැත්තක් නැත. ඇත්තටම ජනාධිපතිවරයෙකු ගැන හෝ ආණ්ඩුවක් ගැන සමාජ මතයක් ගොඩ නැගෙන්නේ ඒ අය කරන වැඩවල ඇති ‘හොද හෝ නරක’ ගතිය මතම නොවන බව මේ ‘පශ්චාත්-ධනේශ්වර-ඩිජටෙල්-මාධ්‍ය-අවකාශමය’ යුගයේ දේශපාලනය ගැන තේරුමක් ඇති අය හොදින් දන්නා කරුණකි. මේ කාලයේ දේශපාලනමය හොද හෝ නරක ‘ගොඩ නැගෙන්නේ’ (ගොඩ නගන්නේ) මතවාදි අලංකාරිකයන්ගේ නිර්මාණයන් ලෙසින් ය. ඒ අනුව කොපමණ හොද කළත් නරක ජනාධිපතිවරයෙකුවීමට හෝ කොපමණ නරක කළත් හොද ජනාධිපතිවරයෙකුවීමට ඇති හැකියාව විශාල වශයෙන් මේ තත්වය තුළ තිබේ. අවශ්‍ය වන්නේ මෙම ‘මතවාදි අලංකාරිකය’ සමාජය තුළ අධිපති මතවාදය බවට පත්වන තුරු එය අල්ලා ගෙන සිටීමය. ඒ නිසාම පසු ගිය වසරේ මේ රජයේ පාළනය හෝ ජනාධිපතිවරයාගේ කි‍්‍රයා කලාපය ගැන වාද කිරිමට මට එතරම් උත්තේජනයක් නැත. එහෙත් මේ රටේ අනාගතයටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගතයටත් වැදගත්වන කාරණයක් ලෙසින් පෙනෙන ශ‍්‍රීලනීපයේ පැවැත්ම සහ අනාගතය ගැන කථා කිරිම වඩා වැදගත් බව මගේ හැගීමයි.

මම අදහස් කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද දවසේ කළ යුත්තේ කුමක්ද යන කාරණය සාකච්ජා කිරිමයි.

‘කළ යුත්තේ කුමක්ද’ යන ප‍්‍රශ්නය දේශපාලන ලෝකයේ වැදගත් ප‍්‍රශ්නයක් බවට පත් වුයේ ලෙනින් විසින් ලියන ලද what is to be done? යන රචනාව නිසාය. ධනපති පංතියට එරෙහිව නිර්ධන පංතිය සංවිධානය කරන්නේ කේසේද යන ප‍්‍රශ්නයට මාක්ස්ගේ පිළිතුර වුයේ කම්කරු පංතිය ස්වකීය පංතිය පිළිබදව වු පංති වි‘ංඥණය ස්වභාවයෙන්ම ගොඩ නැගෙන බවයි. ගොඩ නගා ගන්නා බවයි. මේ ප‍්‍රශ්නයට ලෙනින්ගේ පිළිතුර වූයේ මීට වෙනස් එකකි. ලෙනින් යෝජනා කළේ කම්කරු පංතියට ස්වකීය පංති විඥාණය ඉබේ පහල වන්නේ නැති බවත් එය එම පංතියට පිටින් සිටින වෘත්තීය විප්ලවවාදින්ගේ පක්‍ෂයක් මගින් කම්කරු පංතිය වෙත රුගෙන ආ යුතු බවත්ය. ලෙනින් what is to be done? රචනාව ලියුවේ මේ කාරණය පැහැදිලි කිරිමටය.

Maithripalaපක්ෂයක අවශ්‍යතාව ගැන ලෙනින්ගේ පැහැදිලි කිරිම මෙතනට අදල නැතත් ශී‍්‍රලනීපය අද දවසේ කළ යුත්තේ කුමක්ද යන ප‍්‍රශ්නය එම පක්‍ෂයට සම්බන්ධ සියලූ දෙනාම මේ මොහොතේ කල්පනා කරණ කාරණයක් බව පැහැදිලිය. පක්‍ෂයේ නායකයන්ටත් වඩා පාක්‍ෂීකයන් මේ ප‍්‍රශ්නය ගැන වඩාත් සංවේදිය. ඇත්තටම ශී‍්‍රලනීපය කළ යුත්තේ කුමක් ද යන ප‍්‍රශ්නයට පිළිතුර ගැන අදහසක් නොමැති අය මේ ප‍්‍රශ්නයම නිෂේධනාත්මක අර්ථයෙන් මතු කරන අවස්ථාවන් ද දැකිය හැකිය. ඒ අය අසන්නේ ශි‍්‍රලනීපය මේ මොහොතේ ‘නොකළ යුත්තේ කුමක්ද’ කියාය.

මේ ප‍්‍රශ්නයට අපි ලබා දෙන පිළිතුර සමග පසු ගිය ජනාධිපතිවරණය ද අනිවාර්යයෙන්ම සම්බන්ධ වේ. පක්ෂ දේශපාලනය පැත්තෙන් මෙවර ජනාධිපතිවරණයෙදි මෙරට සිª වූයේ ලෝකයේ අන් කවර තැනකවත් නොදැක්ක ආකාරයේ සිදුවීමකි. (මේ කාරණය යලි සිහිපත් කරන්නේ ඒ ඒ නායකයන් ගත් ක‍්‍රියාමාර්ගවල ගුණ අගූණ විමසන්නට නොව ශී‍්‍රලනීපයේ තත්වය තේරුම් ගැනීමට එය අවශ්‍ය වන නිසාය). එනම් ‘එක් පක්ෂයක ලේකම් ප‍්‍රතිවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමත් රටේ විවිධ ජාතික හා ආගමික බලවේග තම තමන්ගේ ඇත්ත දේශපාලන අපේක්ෂාවන් පසු පසට ගෙන ඔහුට සහාය ලබාදිමත් ඔහු ජයග‍්‍රහනය කිරිම හරහා ශ‍්‍රීලනීපයේ අපේක්ෂකයා පරාජයට පත් වීමත් එම ජයග‍්‍රහනයෙන් දින කීපයකට පසුව පරාජත පක්ෂයත් ජයග‍්‍රාහකයාටම භාරදිමත්’ යන සිදුවීම් පෙළ පෙරහැරක් මෙන් එක දිගට සිදු විමය. දැන් පාක්ෂිකයා සිටින්නේ මේ සමස්ත කි‍්‍රයාදමය ගැනම අපැහැදිලි සහගත තත්වයකය. ඔවුන් ඉන්නේ ගමේ එජාප පාක්ෂිකයා තමන්ට එරෙහිව යොදවන මහා බලයට එරෙහි වෙමින් සහ එයට මුහුණදෙමින්ය. එජාප පාක්ෂිකයා එසේ තමන්ට තරවටු තරන ගමන් ඔහුගේ කටවුට් එකේ අපේ පක්ෂයේ නායකයාගේ පිංතුරය ගැසීම ශි‍්‍රලනිප පාක්ෂිකයන් දකින්නේ ඔවුන් තමන්ව හෑල්ලූ කිරිමක් ලෙසින්ය. තමන්ට කරන අරියාදුවක් ලෙසින්ය. දැන් නිල වශයෙන් පත් වූ පක්ෂයේ නායකයා ‘අපේම’ නායකයා කරගන්නේ කෙසේ ද යන ගැටලුවට ඔවුන් මැදිවී ඇත. ශී‍්‍රලනීපයට මේ ගැටලූව ලිහා ගැනීමට අවශ්‍ය නම් එය කළ යුත්තේ සහ කළ හැක්කේ පක්ෂය පිහිටවූ මූලික හරයන් වෙතට යලිත් ගමන් කිරිමෙන් සහ එයට අනුව යලි සකස් වීමෙන් පම◊◊නක් බව මගේ හැගීමයි.

ශි‍්‍රලනීපය බිහිවන්නේම ආර්ථිකය සංස්කෘති සහ සුභසාදනය පිළිබදව වූ බරපතල සමාජය අවශ්‍යතාවයක ප‍්‍රතිඵලයක් ලෙසින් බව අප අමතක කළ යුතු නැත. නිදහසින් පසු මෙරට දේශපාලනයේ එජාපය විසින් අතහැර ගිය මේ අතිශයෙන්ම වැදගත් කළාපයේ දේශපාලනය කළේ ශ‍්‍රීලනීපයයි. අදටත් ඒ අවශ්‍යතාවය එසේම තිබෙද්දි සහ එජාපය තමන්ගේ රටට එරෙහි ප‍්‍රතිපත්ති තුළ ඉතිරි වෙද්දි ශී‍්‍රලනීපය එතැනින් ඉවත් ව යන බවක් පාක්ෂිකයන්ට දැනෙන්නට පටන්ගෙන ඇත. තමන්ගේ ‘ශී‍්‍රලංකාකාරකමට’ තැනක් නැති බවත් එයට නායකත්වයක් නැති බවත් ඔවුන්ට දැනෙන්නට පටන් ගෙන ඇත. පාක්ෂිකයන් මේ ආණ්ඩුවේ ශි‍්‍රලනීප ඇමතිවරුන්වවත් එතරම් ගානකට නොගන්නේ මේ කාරණය නිසාය. බලය තිබුනාට ගෞවරයකින් තොර බලය එතරම් වැඩක් නැති බව ගමේ පාක්ෂිකයාගේ මතය බව බොහෝ විට පෙනීයමින් තිබේ.

1951 බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත්වී ආවේ ඇයි? ශි‍්‍රලනීපය හැදු වේ ඇයි? යන කාරණය අපි නැවතත් කියවිය යුතුව ඇත්තේ මේ නිසාය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සමාජ පංතිය මෙන්ම ඔවුන් මෙරට සංස්කෘතියට පිටු පාමින් සිදු කරන දේශපාලනයට බරපතල එරෙහිවීමක් ලෙසින්ය අපි බණ්ඩාරන්යක මහතාගේ ඉවත්වීමත් සහ අලූතින් පක්ෂයක් සැදිම තේරුම් ගත යුත්තේ. මේ කාරණය කථා කරන විට සමහරුන් කියන්නට උත්සාහ ගන්නේ ‘අද වන විට මේ ගතිකයන් වෙනස් වී ඇති බව’ත් ‘දැන් මේ පක්ෂ දෙකම එකම මගේ යන’ බවත්ය. මේ සම්පූර්ණයෙන්ම වැරදි තේරුම් ගැනීමකි. දැන් මේ වෙනස වඩාත් තීව‍්‍රර වී ඇති බවට අවශ්‍ය නම් තර්ක කළ හැකිය. විශේෂයෙන් වර්තමාන එජාප නායකයාගේ ආර්ථික දැක්ම සම්පූර්ණයෙන්ම නව ලිබරල්වාදි ව්‍යාපෘතියක් වන අතර වෙළදපොළට සියල්ල තීරණය කිරිමට ඉඩ දි රජය ආර්ථික කි‍්‍රයාවලියෙන් ඈත්වීමේ සියලූ උත්සාහයන් ඒ තුළ දකින්නට තිබේ. එජාපයේ මේ ආර්ථික මුලෝපායයන් 1977 සිටම විවිධ ආකාරයෙන් අභියෝගයට ලක් කළේ ශ‍්‍රීලනීපයයි. සමාජය යනු එක සමාන පහසුකමින් යුත් පුරවැසියන්ගේ එකමුතුවක් ලෙසින් එජාපයේ උපකල්පනයම වැරදිය. සුබසාධන ආර්ථිකය කප්පාදු කිරිමට ඔවුන් සියලූ උත්සාහයන් ගන්නේ ඒ වැරදි උපකල්පනය නිසාය. ආර්ථිකය පැත්තෙන් මේ පක්ෂ දෙකෙහි ඇති මේ වෙනස තේරුම් නොගතහොත් අඩු ආදයම්ලාභී පහසුකම් නොමැති නැති බැරි ජනතාව අනතුරේය. ඒ ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් වැඩ කළ ශී‍්‍රලනීපයේ පැවැත්ම බරපතල ලෙසින්ම අනතුරේය. එජාපයේ ආර්ථික දර්ශනය සරල නිදර්ශනයකින් පෙන්වා දිය හැකිය. ‘සමාජයේ සියල්ලන් එක සමාන ශක්තියකින් යුක්ක යැයි උපකල්පනය කරන ඔවුන් කොළඹ බගතලේ පාරේ වෙසෙන මහා ධනපතියාත් ඈත ගිරාඳුරුකෝට්ටේ සිටින ඉතාමත් දුප්පත් මිනිසෙකුත් එකම තරගයක තරග කරුවන් බවට පත්කරයි. දැන් තමන්ගේ උපකල්පනය මත සිටිමින් මේ දෙදනාවම එක තරගයකට යොමු කරවයි. මෙය හරියට මේ දෙදනාට කොළඔ කොටුවට දුවන්න කීවා හා සමානය. බගතලේ පාරේ තරගකරු ජයගන්නා අතර ගිරාඳුරුකෝටිටේ තරගකරු මහ මග මරණයට පත්වේ. ඒ තරගය වෙළදපොළ නීති රීතීන්ට අනුව කැරන්නට ඉඩදී රජය එයින් අයින් වී සිටීම ඒජාප ආර්ථිකයේ ස්වභාවයයි. රජයේ කාර්යයභාර්ය වන්නේ ප‍්‍රතිපත්ති හැදිම පමනක් යැයි සිතන ඔවුන් සුභසාධන ආකෘතිය දෙස බලන්නේම සතුරු ආකල්පයකින්ය. දැන් බණ්ඩාරනායකගේ ශි‍්‍රලනීපය ආමන්ත‍්‍රණය කළේ මෙසේ එජාපය අත හරින මහා සමාජයේ ඇත්ත ප‍්‍රශ්නයයි. එජාපයත් සමග එක්ව ආර්ථිකය කළමනාකරණය කරන්නට යාමේ අපහසුතාවය පසුගිය අයවැයෙන් බොහෝ අයට පැහැදිලි විය. ශි‍්‍රලනීපය අත් හරිමින් ඉන්නේ ඔවුනට අදළ කළාපයේ මේ ප‍්‍රශ්නයයි. අද ශි‍්‍රලනීපය කළ යුතු එක් දෙයක් වන්නේ ආර්ථිකයේ පෑගෙන මිනිසුන්ගේ පැත්තේ සිට ගැටලූවට පිවීසීමයි. විසඳුම් සෙවීමයි.

ආර්ථිකයේ තත්වයෙන් පමණක් නොව රාජ්‍යයේ ස්වභාවය ගැන සැළකුවත් සංස්කෘතිකමය පැත්තෙන් සැළකුවත් ශි‍්‍රලනීපය කළ යුත්තේ එජාපයේ ස්ථාවරයට ප‍්‍රතිවිරුද්ධ දේශපාලනය කිරිම බවට දිර්ඝව තර්ක කළ හැකිය.

සරලව කිවහොත් ශ‍්‍රීලනීපයේ පදනම වන්නේම එජාපයට එරෙහි දේශපාලන ධාරාවේ ප‍්‍රකාශකයා වීමය. එම පදනමින් එජාපය පැත්තට අඩියක් තබන ඕනෑම විටක පාක්ෂිකයන් වෙතින් පක්ෂය දුරස්වීමත් පාක්ෂිකයන් පක්ෂය වෙතින් දුරස්වීමත් ආරම්භ වීම එද සිටම සිදුවූ තත්වයක් බව අප තේරුම් ගත යුතුය. රාජ්‍යයේ අනේක විද ගැටලූ මධ්‍යයේ බණ්ඩාරනායක මැතිනියට පාක්ෂිකයන් ආදරය කළේ මේ කාරණය නිසාය. මහින්ද රාජපක්ෂ මැතිතුමාට බලය නොමැතිවත් පක්ෂයේ නායකත්වය නොමැතිවත් පාක්ෂිකයන් ඔල්වරසන් දෙන්නේ මේ එජාපයට විරුද්ධ කළාපයේ දේශපාලනය නිසාය. පක්ෂයේ වර්තමාන නායකතුමන්ගේ සහ අනෙකුත් නායකයන්ගේ පක්ෂයේ දේශපාලන දිසාව (political line) තේරිමේදි මේ එජාප විරෝධය අවධානයට නොගන්නා තරමට පක්ෂයේ අනාගතය අර්බූදයට යාමට ඇති ඉඩ කඩ විශාලය. මේ දේශපාලන දිසාව සම්බන්ධ ගැටලූව තීරනාත්මක වන්නේ එය නොසලකන තරමට පාක්ෂිකයන් පක්ෂය නොසැලකීමට පෙළබෙන නිසාය. අලූත් පක්ෂයක් සැදිම කෙසේවෙතත් පාක්ෂිකයන් පක්ෂයෙන් ඉවත්වී වෙනත් තැකනට එකතුවීමේ ඉඩක් එහි තිබේ.

ශි‍්‍රලනීපය කළ යුත්තේ කුමක්ද යන ප‍්‍රශ්නයට තවත් එක් පිළිතුරක් ඉදිරියට ඒමට නියමිත ව්‍යවස්ථා සංසෝධන කි‍්‍රයාවලියටද සම්බන්ධය. මම සිතන ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයට සම්බන්ධව මුළික කරුණු තුනක් ගැන ශී‍්‍රලනීපය විසින් එකිනෙකට වෙනස් ස්ථාවරන් තුනක් ගත යුතු බවයි. විධායක ජනාධිපතිධුරය ගැන වත්මන් ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශ කළාක් මෙන් නැවතත් ත‍්‍රස්තවාදයක් එතැයි නොසිතා එය ඉවත් කිරිමට ශි‍්‍රලනීපය ඉදිරියට ආ යුතුය. මේ ප‍්‍රශ්නයේදි එජාපයට හෝ ඔවුන්ගේ හිතවත් සිවිල් සමාජ කරුවන්ට මේ ප‍්‍රශ්නය අපේ ඇගේ දමා පැන යන්නට ඉඩ නොදිය යුතුය. වත්මන් ජනාධිපතිධුරය ඉදිරි අවුරුදු හතරට පවතින බව දැනටමත් ප‍්‍රකාශ වී ඇති තත්වයක් තුළ අනෙකුත් සියලූම පක්ෂ සහ බලවේග මෙය අහෝසි කරන්නට මාන බලන තත්වයකදි එය තවදුරටත් පවත්වා ගැනීමේ ‘මහා පාපයට’ ශී‍්‍රලනීපය අසුවිය යුතු නැත. දෙවෙනි කාරණය වන්නේ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධව පක්ෂයේ මතය නිවැරිදිව කලමනාකරණය කිරිමයි. මම සිතන ආකාරයට කේවල ක‍්‍රමයට යාමේ ඇති අවදනම අධ්‍යයනය කිරිමකින් තොරව එයට එකග නොවිය යුතුය. සමානුපාතික ජන්ද ක‍්‍රමය විසින් අපේක්ෂකයන්ට ප‍්‍රශ්න ඇති කරන නමුත් ජන්දදායකයින්ට එයින් අත්වන වාසිය කොසලකා හැරිය යුතු නැත. 1989 සමානුපාතික ක‍්‍රමය යටතේ පක්ෂ ලැබු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව නොවන්නට 1994 ජයග‍්‍රහනය පවා අසිරු වන්නට ඉඩ තිබුණ්. තුනවන කාරණය වන්නේ 13 වන සංශෝධනයට අදළ ක්ෂේත‍්‍රයයි. මෙය පිළිබදව ශී‍්‍රලනීපයේ ස්ථාවරය තරමක් අධ්‍යයනයකින් ගොඩ නගා ගත යුතුය.

මගේ අදහස සාරාංශගතව කියන්නේ නම් ශී‍්‍රලනීපය පක්ෂයක් ලෙස පැවැතම යලි තහවුරු කර ගැනීමට නම් පක්ෂය තමන්ගේ දේශපාලනයේ මුලික පදනම වන එජාප දේශපාලනයට හා ඔවුන්ගේ දේශපාලන සංස්කෘතිය එරෙහි කලාපයට යලි පැමිණිය යුතුය. උපාය හා උපක‍්‍රම තේරිය යුත්තේ එජාපයට එරෙහි පාක්ෂිකයා හෝ පක්ෂයට ලැදි අය පැන්නීමට නොව ආරක්ෂා කර ගැනීමටය. පනස්හයේ දරුවන්ගේ වගකීම විය යුත්තේ එජාපයෙන් පැමිනි බණ්ඩාරනායක මහතාව ආපසු එජාපයට භාර දිම නොවන බව අප තේරුම් ගත යුතුය.

*චරිත හේරත් – ජෙෂ්ඨ කථිකාචාර්ය, දර්ශන හා මනෝ විද්‍යා අංශය, පේරාදෙනිය විශ්ව විද්‍යාලය.

Print Friendly

යෝජිත ව්‍යවස්ථා සංශෝධන සහ මතභේද පිළිබද විග‍්‍රහයක්

$
0
0

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක‍්‍රියාවලියකට ආණ්ඩුව මුලපුරල තියෙනවා. මේක අපේ රටේ මුලූ අනාගතයම වෙනස්කරන ක‍්‍රියාවලියක් නිසා මේකට ජනතාවගේ සහභාගීත්වය උපරිම මට්ටමෙන් තියෙන්න ඕන.

නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී අනුගමනය කළ යුතු ක‍්‍රියාපටිපාටිය ගැන මතභේදයක් මේ අවස්ථාවේදී පැනනැගිල තියෙනව. වර්ථමාන ව්‍යවස්ථාවට සංශෝධන ගේන පළමු අවස්ථාව මෙය නොවේ. ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ක‍්‍රියාදාමය වත්මන් ව්‍යවස්ථාවේ නිර්දේශ කොට තිබෙන ක‍්‍රියාපටිපාටියට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුකූලව සිදුවිය යුතුයි කියල විපක්‍ෂය යෝජනා කරලා තියෙනව. කලින් මේ ව්‍යවස්ථාවට සංශෝධන ගෙනඒමේදී අනුගමනය කළ ක‍්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීමෙන් අදාල කාරණය සාර්ථකව කළ හැකි බව මම විශ්වාස කරනවා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නම්‍යශීලී විය යුතුයි.

2015 ජනාධිපතිවරණය සදහා “මහින්ද චින්තන ලොව දිනන මග” නැමැති මගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදානය කිරීමට පියවර ගන්නා බව කියල තිබුණා. ඊට කලින් 2011 දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ විධායක ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් කළ යුතු වෙනස්කම් ගැන සොයාබලා වාර්තා කරන්න මගේ ආණ්ඩුව නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරලා තිබුණා. දැන් මේ කටයුතු වල වගකීම තියෙන්නේ වර්ථමාන ආණුඩුවට. මේ ආණ්ඩුව බලයට පැමිණිමේ දී දුන් ප‍්‍රධානම ප‍්‍රතිඥාව තමයි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන එක. ගිය අවුරුද්දේ 19 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන බව කිවුවාට ඒ බලතල දැනුත් ඒ ආකාරයටම පවතිනවා.

පසුගිය සෙනසුරාදා අග‍්‍රාමාත්‍යවරයා විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මුලපුරමින් ඉදිරිපත් කරපු යෝජනාවේ ප‍්‍රස්තාවනාවේ අවධාරණය කරල තිබුණේ මේ සම්පාදනය කරන අලූත් ව්‍යවස්ථාවේ මූලික පරමාර්ථය වෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමත් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමත් වන බවයි. මේ අරමුණු සාක්ශාත් කර ගැනීම සදහා අපි කවුරුත් සහයෝගය දෙන්න ඕන.

විධායක ජනාධිපතිකම කියන්නෙ මුල ඉදලම මතභේදයට ලක්වුණු තනතුරක්. මේක ඇතිකරනකොටත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධ වුණා. දැන් විධායක ජනාධිපති ධූරය ඇතිකරපු UNP එකම ඒ තනතුර අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරනකොට ඒකට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපිට විරුද්ධ වෙන්න බෑ. මේ තනතුරේ නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන මහතාගේම ඥාති පුත‍්‍රයෙක්ම තමයි ඒක අහෝසි කරන්න යෝජනාව ගෙන එන්නෙත්.

ඒ වගේම මම කියන්න ඕන මේක තවත්සැරයක් ජනතාව මෝඩයට අන්දන උත්සාහයක් නොවිය යුතුබව. විධායක ජනාධිපති ධූරය අහෝසකරනවාය, ව්‍යවස්ථාව වෙනස්කරනවාය කියල මහ සද්දයක් දාලා, ආණ්ඩුව මුහුන දෙන දහසකුත් එකක් ප‍්‍රශ්න යට ගහන්න හිතාගෙන ඉන්නව නම් ඒක හරියන්නෙ නැහැ. ආණ්ඩුවෙ බොරු අහලම මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නෙ. ඒ හින්දා ව්‍යවස්ථාව වෙනස්කරන එකවත් අවංකව සිද්ධ වෙන්න ඕන. මාදුළුවාවේ සෝභිත හාමුදුරුන්ගේ ශ‍්‍රී දේහය ඉදිරියේ ජනාධිපතිතුමා ප‍්‍රසිද්ධියේම විධායක ජනාධිපති ක‍්‍රමය මුලූමනින්ම අහෝසි කරනවාය කියල දිවුරපු නිසා, මේවතාවේ නම් ආණ්ඩුව ඒ කාරණය ඉටුකරයි කියලා තමයි මට සිතුනේ.

ඒ වගේම කාලාන්තරයක් මුලූල්ලේ සමාජය තුළ පොදු එකඟතාවයක් ගොඩනැගිලා තියෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම යන මේ ප‍්‍රධාන කාරණා එක්ක වෙන ව්‍යවස්ථාමය සංශෝධන කවලම් කරගතයුතු නැතැයි කියලා තමයි මට හිතෙන්නේ. අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන මේ ක‍්‍රියාදාමය අදියර කීපයකින් සිදුවෙන්න ඕන. මුල් අදියරේ විධායක ක‍්‍රමය අහෝසි කිරීමත් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමත් කරලා අනිත් වෙනස්කම් ඊට පස්සෙ තමයි කරන්න ඕන.

මේකට පූර්වාදර්ශයක් තියෙනවා. විධායක ජනපති ක‍්‍රමය මුලින්ම හදුන්වලා දෙන කොට ඒක ආවේ 1972 ව්‍යවස්ථාවට සිදු කරපු දෙවන සංශෝධනය හැටියට 1977 ඔක්තෝබර් මාසයේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 1978 පෙබරවාරි 04 වන දා ලංකාවේ පළමු විධායක ජනාධිපති හැටියට දිවුරුම් දුන්නේ ඒ සංශෝධනයට අනුවයි. 1978 ව්‍යවස්ථාව සම්පාදනය කලේ විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කළාට පස්සෙ. අලූත් ව්‍යවස්ථාවට අලූතින් ඇති කරපු විධායක ජනාධිපති ක‍්‍රමයත් ඇතුල් කළා. අද මේ රටේ පවතින සුවිශේෂ තත්වය නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේදීත් ඒ වගේම අදියර දෙකකින් කරන්න ඕන කියලා තමයි මම හිතන්නෙ.

අපේ ව්‍යවස්ථාවේ පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකේ බලයට අමතරව ජනමත විචාරණයක් ද නැතුව වෙනස් කරන්න බැරි වගන්ති එකොළහක් තියෙනවා. අලූත් ව්‍යවස්ථාවක් සම්පූර්ණයෙන් කෙටුම්පත් කරලා ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගෙන ජනමත විචාරණයකට ඉදිරිපත් කළොත් මේ සුවිශේෂ වගන්ති එකොළහම වුනත් එකසැරේ වෙනස් කරන්න පුලූවන් වෙනවා. ඉතින් හුගක් අයට මේ ගැන සැක පහල වෙලා තියෙනවා. මේ ආකාරයට සියල්ල එක සැරේ වෙනස් කරන්න ඉඩ ලැබුණොත් ලංකාවේ ඒකීය භාවයට හානිකර වගන්ති අලූත් ව්‍යවස්තාවට ඇතුල් වෙයි කියලා සැකයක් පවතිනවා. මේ වගේ සැකයක් තුළින් ව්‍යවස්තා සම්පාදන ක‍්‍රියාවලිය ඇණහිටින තැනට වැඩ සිද්ධවෙන්න ඉඩ තියෙනවා.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න නම් අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් පවත්වන්න වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් ඒ ගැන මතයක් පළ කරලා ඉවරයි. අනෙක් අතට රටේ ඒකීය භාවයට හෝ බුදු දහමට තියෙන ප‍්‍රමුඛත්වයට කිසිදු වෙනසක් නොකරන බවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පොරොන්දු වෙලා තියෙනවා. එනම් ජනමත විචාරණයක් නැතුව වෙනස් කරන්න බැරි ඒ සුවිශේෂී වගන්ති එකොළහ අතරින් ජනමත විචාරණයක් පවත්වන්න වෙන්නේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න විතරයි. ඉතින් මේ නව ව්‍යවස්තාව සම්පාදනය කිරීමේ ක‍්‍රියාදාමය අදියර දෙකකට කැඞීමෙන් ජනමත විචාරණයක් අවශ්‍ය වන කාරණා මුලින්ම ගෙනල්ලා ඉතුරු ටික පස්සෙ සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් වෙනස් කරන්න පලූවන්.

1987 දී 13 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරනය පළ කරපු මතය නිසා පළාත් සභා වලට පවරල තියෙන බලතල හමුවේ රටේ ඒකීය භාවය රකින ආයතනය හැටියට ඇතැම් අය විධායක ජනාධිපති ක‍්‍රමය දකිනවා. ඉතින් මේ ආයතනය අහෝසි කර දැමීම ගැන ඒ අයතුළ බයක් තියෙනවා. ඉන්දියාවේ ප‍්‍රාන්ත සම්බන්ධයෙන් ඉන්දීය ජනාධිපතිවරයාට, කැබිණට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට (ඉන්දීය උත්තර මන්ත‍්‍රී මණ්ඩලයත් ඇතුලූව) පවරා ඇති බලතල ගැන අපි හොදින් හදාරලා බලන්න ඕන. ඒ බලතල අවශ්‍යනම් වැඩිදුරටත් ශක්තිමත් කොට අපේ පළාත් සභා ක‍්‍රමයට ආදේශ කරන්න ඕන. අපේ මේ පළාත් සභා ක‍්‍රමය ඉන්දීයාවේ බලතල බෙදීමේ ක‍්‍රමය මත පදනම් වෙලා තියෙනවා කිවුවට ඉන්දීයාවේ ඒකීය බව රැකීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට ලැබිල තියෙන බලතල සෑහෙන ප‍්‍රමාණයක් ලංකාවේ ආණ්ඩුවට දහතුන්වන සංශෝධනයෙන් ලැබිල නැහැ. මේ අඩුපාඩු ගැන හොයලා බලන්න ඕන.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන එක හැරුණු කොට වත්මන් ආණ්ඩුව ජනතාවට දීපු තවත් ප‍්‍රධාන පොරොන්දුවක් වෙන්නේ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කරන එකයි. 2008 දී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම ගැන සලකා බැලීමට ඇති කර තිබුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් යෝජනා කරපු සමානුපාතික හා කේවල ආසන දෙමුහුන් මැතිවරණ ක‍්‍රමය පළාත් පාලන මට්ටමට හදුන්වලා දුන්නේ මාගේ ආණ්ඩුවෙන් බව මෙහිදී මතක් කරලා දෙන්න ඕන. ඊළඟ පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ඒ අලූත් ක‍්‍රමයට. දැන් ඉතිරිවෙලා තියෙන්නේ මේ ක‍්‍රමය පළාත් සභා හා පාර්ලිමේන්තු මට්ටම් වලටත් හදුන්වලා දෙන එක. පළාත් පාලන මට්ටමෙන් ඡන්ද කොට්ඨාශ නීර්ණය කිරීමේ දී ඇති වෙච්ච මතභේද වගේ තත්වයන් වළක්වන්න මැතිවරණ ක‍්‍රමයට සංශෝධන ගේන්න කළින් මැතිවරණ කොට්ඨාශ නීර්ණය කරලා තියෙනවනම් හොදයි කියලා තමයි මට හිතෙන්නෙ.

අලූත් ව්‍යවස්ථාවේ බලතල බෙදීම වර්තමානයේ ක‍්‍රියාත්මක කරලා තියෙන 13 වන සංශෝධනයේ වගන්ති වලින් ඔබ්බට නොයා යුතුයි. ඒ වගේම පළාත් ඒකාබද්ධ කිරීමත් කිසි ලෙසකින් නොවිය යුතුයි. 13 වන සංශෝධනයේ පළාත් සභාවලට දීලා තියෙන පොලිස් හා ඉඩම් බලතල ගැන නැවත සලකලා බලන්න ඕන. ඉඩම් සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට තිබෙන බලතල 13 වන සංශෝධයෙන් ලංකාවේ ආණ්ඩුවට දීල නැහැ. ඉන්දීය ව්‍යවස්තාවට අනුව ඒ රටේ මධ්‍යම ආන්ඩුවට ආදාල කරුණු සදහා ඕනෑම ප‍්‍රාන්තයකින් ඕනෑම ඉඩමක් ප‍්‍රාන්ත ආණ්ඩුවෙන් කිසිම විමසීමකින් තොරව පවරාගන්න පුලූවන් කියලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 1962 දී විභාග කළ බටහිර බෙංගාල ප‍්‍රාන්තය එරෙහිව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව කියන නඩුවේ තින්දු කරලා තිබුණා. නමුත් අපේ ව්‍යවස්තාවේ 9 වැනි පරිශිෂ්ඨයේ දෙවන උප ලේඛනයට අනුව ලංකාවේ ආණ්ඩුවට යමිකිසි පළාතක තියෙන ඉඩමක් ආණ්ඩුවේ වැඩකට ගැනීමට නම් අදාල පළාත් සභාවේ අවසර පැතිය යුතු බව කියලා තියෙනවා.

ලංකාවේ තත්වය හැටියට ඒ වගේ වගන්තියකින් ඇති විය හැකි ප‍්‍රශ්න කාටත් පැහැදිලි වෙන්න ඕන. ඒ නිසා මම මෙහිදී යෝජනා කරනවා 2013 දී විභාග වුණු වැවිළි කර්මාන්ත අමාත්‍යංශය එරෙහිව සොලෙයිමුත්තු රාසු යන නඩුවේ තීන්දුව අලූත් ව්‍යවස්ථාවට අන්තර්ගත කළ යුතුයි කියලා. ඒ අවස්ථාවේ දි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ රජයේ ඉඩම් බලතල ලංකාවේ ආණ්ඩුවට මිස පළාත් සභා වලට අයිති නැති බවයි. ඒ නඩුවේදී එවක අගවිනිසුරු මොහාන් පීරිස් මහතා හා වත්මන් අගවිනිසුරු ශ‍්‍රී පවන් මහතා හා ඒවා වනසුන්දර විනිසුරුතුමිය එකිනෙකා සමග ඒ කරුණ සම්බන්ධයෙන් එකඟ වෙමින් වෙන වෙනම නඩු තීන්දු ප‍්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක් හැටියට අපි සලකන්න ඕන.

අපේ ව්‍යවස්ථාවේ 9 වැනි පරිශිෂ්ඨයේ පළමුවන උප ලේඛණයේ 13 වන සංශෝධනය ප‍්‍රකාරව පළාත් සභාවට ලැබී ඇති පොලිස් බලතල ගැන සදහන් වෙනවා. මේ වගන්ති ක‍්‍රියාත්මක වුනොත් දැනට පවතින ජාතික පොලිස් සේවාව නැති වෙනවා. සියලූම වැදගත් පොලිස් කටයුතු වෙනම ක‍්‍රියාත්මක වන පළාත්බද පොලිස් සේවාවන් 9 කට හිමි වෙනවා. මේ වගේ ක‍්‍රමයක් ඉන්දියාව වැනි විශාල රටක ක‍්‍රියාත්මක කරන්න පුලූවන්. ඉන්දියාවේ ප‍්‍රාන්ත බොහෝ ජාතික රාජ්‍යයන් වලටත් වඩා විශාලයි. ලංකාව වගේ කුඩා රටක ඒ වගේ දෙයක් ක‍්‍රියාත්මක කරන්න බැහැ. ලංකාවට වඩා කිහිප ගුණයක් විශාල තමිල්ණාඩු ප‍්‍රාන්තයේ ක‍්‍රියාත්මක වන්නේත් එක පොලිස් සේවයයි. ඉන්දියාව වැනි රටක උප මහද්වීප මට්ටමෙන් ක‍්‍රියාත්මක වන ක‍්‍රමයක් ඇතැම් කුඩාම ඉන්දීය ප‍්‍රාන්ත වලටත් වඩා කුඩා ලංකාව වැනි රටක් තුළ ක‍්‍රියාත්මක කරන්න හදන එක නුවණට හුරු දෙයක් නෙවෙයි කියලයි මටනම් හිතෙන්නෙ. පළාත් සභා ක‍්‍රමය ඇති කරලා ගතවුණු දශක තුන මුලූල්ලේ ආණ්ඩු වෙනස්කම් ගණනාවක්ම සිදුවුණා. නමුත් 13 වන සංශෝධනයෙන් පළාත් සභාවලට දුන් පොලිස් බලතල කිසිම නායකයෙකු ක‍්‍රියාත්මක නොකලේ එයින් මේ රට සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වන නිසයි. ඉතින් මේ කටයුත්තේ දී බොහොම පරිස්සමින් ක‍්‍රියා කරන්න ඕන. අලූත් ව්‍යවස්ථාවක් සෑදීමේ දී පවතින ව්‍යවස්ථාවේ තිබෙන ක‍්‍රියාත්මක කරන්න බැරි වගන්ති ඉවත් කරන්න ඕන.

ඒ වගේම බලතල බෙදිමේ දී අපි පළාත් පාලන ආයතන වැනි බිම් මට්ටමේ ආයතන හැකිතාක් දුරට බලාත්මක කළ යුතු බවට මම යෝජනා කරනවා. ඒ ඒ ප‍්‍රදේශ වල ජීවත් වන ජනතාවට සැබෑ බලයක් ලැබෙන්නෙ ගම් මට්ටමට බලය බෙදුනොත් විතරයි. ප‍්‍රධාන පක්‍ෂ දෙකේම නායකයන් මේ කාරණය ගැන විවිධ අවස්ථාවල අදහස් දක්වලා තියෙනව. අලූත් ව්‍යවස්ථාව හදන කොට ඒ අදහසුත් සලකලා බලන්න ඕන.

ලංකාවේ බෙදුම්වාදය වැලැක්වීමට ගෙනාපු 6 වැනි සංශෝධනය ගැන අපි විමර්ශනය කරලා බලන්න ඕන. ඉන්දියාව තුල බෙදුම්වාදය පාලනය කිරීමට ජවහර්ල්ලාල් නේරු විසින් ඒ රටේ ව්‍යවස්තාවට හදුන්වා දීපු 16 වන සංශෝධනය අපේ 6 වන සංශෝධනයට වඩා සාර්ථක වෙලා තියෙන බව පේනවා. ඉන්දියාවේ ජයලලිතා ජයරාම්ගේ පක්‍ෂය හීනෙකින් වත් නොගන්නා ස්ථාවර අපේ රටේ දෙමළ ජාතික සංධානය දෙවරක් නොසිතා කිසිදු පැකිලීමකින් තොරව ගන්නේ ඇයි කියලා තමයි අපි විමසලා බලන්න ඕන. ඒ අය ඉන්දියාවේ 16 වන සංශෝධනය වැනි නීතියකට යටත් වුණා නම් ඔය ස්ථාවර ගන්නේ නෑ.

අලූත් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක‍්‍රියාපටිපාටිය ගැන දැනට ප‍්‍රකාශ වෙලා තියෙන අදහස් දිහා බලන කොට ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් වීමක් ඇතැම් අය බලාපොරොත්තු වන බව පේනවා. ඒ අයට ඕන අලූත් ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවය වෙනස් වෙනවා ද නැද්ද කියන එක ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනගන්න. අපේ ව්‍යවස්ථාවේ 120 (ආ) වගන්තියට අනුව කැබිනට් මණ්ඩලය විසින් යම්කිසි ව්‍යවස්ථා සංශෝධනයක් “පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයට අමතරව ජනමත විචාරණයකනුත් සම්මත වෙන්න ඕන” කියලා ප‍්‍රකාශ කලොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ පනත් කෙටුම්පත පිළිබදව විමර්ශනය කරන්න බලය නැති වෙනවා. ඒ වගේ තත්වයක් යටතේ බොහෝ අයතුල නොයෙක් සැකයන් පහළ වෙන්න ඉඩ තියෙනවා.

ඉතින් අර මම කලින් ප‍්‍රකාශ කළ ආකාරයට මෙම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය අදියර කීපයකට කඩන අතරම ඒ එක් එක් අදියර සම්බන්ධයෙන් අවශ්‍ය කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසන්න ඉඩ ඉතුරු කරගන්න ඕන. ඒ නිසා නව ව්‍යවස්ථාව අදියරෙන් අදියර සම්මත කර ගන්නකොට අදාල කෙටුම්පත් වර්තමාන ව්‍යවස්ථාවේ 120(අ) වගන්තිය ප‍්‍රකාරව “ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා කෙටුම්පතක්” හැටියට පමණක් කැබිනට් මණ්ඩලය විසින් නම්කල යුතු යැයි මම යෝජනා කරනවා. 120 (අ) වගන්තිය යටතේ කෙටුම්පතක් නම් කරනු ලැබීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ කෙටුම්පත සම්බන්ධයෙන් හොයලා බලන්න ඉඩ ඉතුරු වෙනවා. රටේ ඒකීය භාවය ගැන සැලකිළිමත් වන ජනාතාවට ඒක ලොකු අස්වැසිල්ලක් වේවි කියල මම හිතනවා.

අලූත් ව්‍යවස්ථාව සම්පාදනය කෙරුවට පස්සෙ ඒ යටතේ අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම සදහා ඡන්දයක් පවත්වන එකත් සුදුසුයි කියලා මම යෝජනා කරනවා.

ස්තුතියි.

*හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැත්වූ දේශනයක පිටපත

Print Friendly

යෝජිත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද​?

$
0
0

රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ ජනතාවටයි. එම පරමාධිපත්‍ය බලය අන්තර්ගත කොට ඇති මූලික ලියවිල්ල වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී මුළු රටම ඊට එකතු කරගෙන විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම අපේ අරමුණයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් පමණක් නොව මුළු රටේම කැමැත්ත ජනමත විචාරණයකින් ලබා ගන්නවා.

නව ව්‍යවස්ථාව සැකසීමේදී පාර්ලිමේන්තුවේ සියලූම දෙනා ඊට සම්බන්ධ කර ගත යුතුයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේ කැමැත්ත හොඳ නැහැ, 25 ක් 30 ක් පමණ දෙනාගේ කැමැත්ත තමයි හොඳ කියා යමෙක් කියනවා නම් ඊට හේතුව කුමක් දැයි මම අහනවා? මෙම 25 හෝ 30 දෙනා තෝරන බලය ප්‍රධාන පක්‍ෂ හතරට භාරදෙනවා ද? නැතිනම් කෑනොගසා ඉන්නවාද?

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා වැදගත්. 2005 වසරේදී ජනාධිපතිවරණය පැවැත්වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට වූ පොරොන්දුව ලබාදීමෙන් පසුවයි. ඒ පිළිබඳව නොයෙක් පක්‍ෂ නොයෙක් ස්ථාවරයන්හි සිටියා. අප ජනාධිපතිතුමා සමග සාකච්ඡා කොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට යැව්වා. විධායක ජනාධිපතිතුමාගේ ඇතැම් බලතල ජනමත විචාරණයකින් තොරව අඩු කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවා. එම ශ්‍රේෂ්ඨාධිකරණ මතයට ගරු කරමින් අප විධායක ජනාධිපතිවරයා සතු බලතල සම්පූර්ණයෙන්ම ඉවත් කළේ නැහැ. මෙවර මහ මැතිවරණයෙන් පසුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අප තීරණය කළා.

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන් ජනාධිපතිතුමාගෙන් සහ මගෙන් අවසන් සාකච්ඡාවේදී ඉල්ලා සිටියා. එම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මිස පාර්ලිමේන්තුවෙන් පිටස්තරව ඇති කළ නොහැකි බව එහිදී අප සඳහන් කළා. සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවය දා ජනාධිපතිතුමා ද ඒ පිළිබඳව ප්‍රකාශයක් කළා. සෝභිත හිමියන්ට අප විසින් දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා අප දැන් ක්‍රියාත්මක වී සිටිනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසන්නේ කෙසේ දැයි අප පළමුවෙන්ම විමසා බැලිය යුතුයි. ලංකා ඉතිහාසයේ මීට පෙර ව්‍යවස්ථා පිළිබඳව සලකා බැලීමේදී සෝල්බරි කොමිසම අවසානයේ පිළිගත්තේ ශ්‍රී ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා කෙටුම්පතයි.

ඒ සදහා සියලූම දෙනා එකඟ නොවූවත් සියලූම දෙනාට සහභාගිවීමේ අවස්ථාව ලැබුණා.

1971 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කැදෙව්වා. පළමුවෙන්ම ඇය පාර්ලිමේන්තුවේ රාජාසන කතාවේදී ඊට අනුමැතිය ලබාගත්තා. ඒ සඳහා සියලූම දෙනා සහභාගි වුණා. එකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපේ අදහස් පිළිගත්තේ නැති වුවත් අපත් ඊට සහභාගී වුණා. සියලූම දෙනාට අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබුණා. අප එම ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ ඉහත දැක්වූ පිළිවෙළටයි.

1977 පාර්ලිමේන්තුව මමත් නියෝජනය කළා. එකළ පාර්ලිමේන්තුවේ තිබුණේ පක්‍ෂ තුනක් පමණයි. එක්සත් ජාතික පක්‍ෂයට හයෙන් පහක බලයක් තිබුණා. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ලිමේන්තුව නියෝජනය කළ සෙසු පක්‍ෂයි. එවකට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට ගතවී තිබුණේ වසර 5 ක් පමණයි. එම ව්‍යවස්ථාව අසාර්ථක නිසා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වරම ලැබුණා. මෙහිදී පාර්ලිමේන්තුවම එකතු කර ගෙන ව්‍යවස්ථාව සම්පාදනය කළ යුතු ද යන ප්‍රශ්නයේදී අමිර්තලිංගම් මහතා පැවසූයේ “අපට ඊට සහභාගී වෙන්න බැහැ, අපට වරමක් ඇත්තේ වෙනම රාජ්‍යයක් ලබා ගැනීමට පමණයි” යනුවෙනි. එවන් තත්ත්වයක් යටතේ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කිරීමට නොහැකි වුණා.

එවකට රටේ දෙවැනි පක්‍ෂය වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සහභාගීත්වයෙන් තොරව ව්‍යවස්ථාව සම්පාදනය කළ හැකි දැයි එහිදී ප්‍රශ්නයක් ඇති වුණා. ඒ නිසා අප සාම්ප්‍රදායික තේරීම්කාරක සභාවක් මගින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය ද සෙසු දෙමළ නායකයින් ද සමග එක්වී නව ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කළා. ව්‍යවස්ථාවේ මූලික අංශ සංශෝධනය කොට ජනමත විචාරණයකට යා යුතු යැයි අප කොන්දේසියක් පැනෙව්වා. 1982 වසරේදී ලංකාවේ ජනමත විචාරණයක් පැවැත්වුණා. එහිදී පළමු වතාවට පාර්ලිමේන්තුවේ කාලය ද දීර්ඝ කළා.

බලය බෙදාහැරීම සම්බන්ධයෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සකසන විට සර්ව පාක්‍ෂික සම්මේලනයක් කැඳවා සියල්ලන්ගේම එකඟතාවයෙන් සිදු කිරීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තීරණය කළා. ඒ සඳහා පක්‍ෂ දෙක තුනක් සහභාගී නොවුණත් අනෙක් සියලූම දෙනාම සහභාගිවී එය සම්මත කර ගත්තා. පාර්ලිමේන්තුවේ සියලූම දෙනාගේම එකඟතාවය පරිදි නව සම්මත කර ගැනීම් සිදු කිරීම සම්ප්‍රදායයි. තේරීම් කාරක සභා ක්‍රමය සාර්ථක වී නැහැ.

නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී මුළු පාර්ලිමේන්තුවේම සහයෝගය ලබා ගැනීමට අප අදහස් කළේ ඒ නිසයි. පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්‍ෂ කිහිපය මෙන්ම කුඩා පක්‍ෂත් තිබෙනවා. මෙම සියලූම පක්‍ෂ ඇතුළත් කොට තේරීම් කාරක සභාවක් පිහිටුවහොත් එම කමිටුව සඳහා අඩුම තරමේ පනස් දෙනෙක්වත් පත් කිරීමට සිදු වනවා.

ජී.එල්. පීරිස් උන්නැහේ පනස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ගොස් සියල්ල කඩා වැටුණා. කමිටුව වගේම ආණ්ඩුවත් ගහලා ගියා. එම නිසා සියලූම දෙනාගේ සහභාගීත්වයෙන් මේ වැඩ කටයුතු කිරීම අපේ අරමුණයි.

පළමුවෙන්ම මේ පිළිබඳව මා පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කළා. කිහිපවතාවක්ම පක්‍ෂ නායකයින් කැඳවනු ලැබුවා. සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවයේදී විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් පොරොන්දුව මත නොවැම්බර් 16 වැනිදා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත්, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටත්, නව ඡන්ද ක්‍රමයක් ගෙන ඒමටත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කිරීමටත් එයින් ගත යුතු පියවර පිළිබඳවත්, ජනාධිපතිතුමා යෝජනා කළා.

එම කැබිනට් අනුකාරක සභාවට මගේ සභාපතිත්වයෙන් නිමල් සිරිපාලද සිල්වා, ලක්‍ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම්, සුසිල් පේ‍ර්මජයන්ත, රිෂාඩ් බදුයුදීන්, පාඨලි චම්පික රණවක, විජයදාස රාජපක්‍ෂ, ඩී.එම්. ස්වාමිනාදන්, මනෝ ගනේෂන්, මලික් සමරවික්‍රම අමාත්‍යවරුන් පත් කළා. අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම් කමලිනී ද සිල්වා මහත්මිය එම අනුකාරක සභාවේ ලේකම් ලෙස පත් කරනු ලැබුවා. මහාචාර්ය සූරි රත්නපාල මහතා එහි උපදේශක ලෙස පත් කර තිබෙනවා. මේ වැඩ කටයුතු සඳහා සම්බන්ධ වන කණ්ඩායම් කිහිපයක් ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යෝජනා සකස් කර තිබෙනවා.

පක්‍ෂ නායකයින් සමග මා රැස්වීම් හයක් හතක් පමණ පැවැත් වුවා. එමෙන්ම පාර්ලිමේන්තුවේ කාරක සභා ඇති කිරීම පිළිබඳවත් අප එහිදී සාකච්ඡා කළා. අප අදහස් ඉදිරිපත් කිරීමට පෙර ව්‍යවස්ථාදායක මණ්ඩලය අදහස් ඉදිරිපත් කළ යුතුයි. එමෙන්ම ජනතා අදහස් ද ලබා ගත යුතුයි. ජනතා අදහස් ලබා ගත් පසුව අපට ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවස්ථාව ලැබෙනවා. අප පළමුවෙන් කළ යුතුතේ කෙටුම්පත සැකසීම නොව ක්‍රමවේදය පිළිබඳ එකඟත්වයට පැමිණ ව්‍යවස්ථාදායක මණ්ඩලය පිහිටුවීමයි. එමෙන්ම කාරක සභා ක්‍රමය ඇති කිරීමට අවශ්‍යයි.

කාරක සභා පත්කිරීම සඳහා ස්ථාවර නියෝගවල ඉඩක් නැහැ. ඒ නිසා අප ව්‍යවස්ථාවේ 74 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම සහ පිළිවෙළ විධිමත් කිරීම සඳහා ද යෝජනා සම්මතයෙන් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධිවිධාන සැලසීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය යන වගන්තිය පිළිගෙන තේරීම් කාරක සභා ඇති කිරීමට අප යෝජනා ගෙන එනවා. එම නිසා යෝජනා සම්මතයෙන් තේරීම් කාරක සභා ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටු වන්නේ මේ අයුරිනුයි. ව්‍යවස්ථාවේ 74 වැනි වගන්තිය යටතේ මේ කටයුතු සිදු කරනවා.

ඊට අමතරව මහජන අදහස් ලබා ගත යුතු නිසා පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයට නම් ඉදිරිපත් කළා. ව්‍යවස්ථා ප්‍රතිසංවිධානය ගැන මහජන අදහස් ලබා ගැනීම සඳහා දෙසැම්බර් 12 වැනි දා කමිටුවක් පත් කළා. එම අදහස් ලබා ගැනීම සඳහා ඔවුනට මාස තුනක කාලයක් ලබා දුන්නා. මෙම කමිටුව 24 දෙනෙකුගෙන් සමන්විතයි. ඔවුන්ට අනුකමිටුවලට බෙදී රටවටා යෑමේ හැකියාව ද තිබෙනවා. මාර්තු අවසානයේ හෝ අපේ‍ර්ල් මාසයේදී මෙම අදහස් අපට ලබා දෙන ලෙස දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ඇති කිරීම සඳහා ඉකුත් 09 වැනි දා මා පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කළා. නව ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 14, ඔක්තෝම්බර් 23, නොවැම්බර් 05, නොවැම්බර් 19, නොවැම්බර් 28, දෙසැම්බර් 07 යන දිනවලදී පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කළා. එම සියලූම දෙනා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම සම්බන්ධයෙන් එකඟතාවය පළ කළා.

පාර්ලිමේන්තුව අවසන් වරට රැස්වූ දෙසැම්බර් 19 වැනි දා අප කාරක සභා පිළිබඳව යෝජනා ඉදිරිපත් කළා. එය පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලැබුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වැනි වගන්තිය යටතේ මෙම යෝජනා සම්මත කර ගැනීමෙන් පසුව 74 වැනි වගන්තිය යටතේ කටයුතු කළ නොහැකි යැයි නැවත කියන්නේ කෙසේද? කාරක සභා වලංගු නම් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයත් වලංගු විය යුතුයි. අප මෙම යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ ඒ අනුවයි. මේ ආණ්ඩුවෙන් ගත් තීරණයක්. අප ඒ අනුව තීරණය කරනවා.

මෙහි යම් යම් සංශෝධන අවශ්‍ය යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් පැවසුවා. ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවීමේ යෝජනාවට අනුකඣලව ඕනෑතරම් යෝජනා ලබා දෙන්නැයි මා එහිදී පැවසුවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් සංශෝධන ලබා දුන්නා. අනෙක් පක්‍ෂවලටත් මේ පිළිබඳව දැනුම්දී සාකච්ඡා මාර්ගයෙන් සිදු කිරීම අපේ යුතුකමයි. නැතිනම් ප්‍රධාන පක්‍ෂ දෙක පමණක් එක්වී ව්‍යවස්ථාව හදනවා යන චෝදනාව එල්ල වේවි. මේ සම්බන්ධයෙන් යෝජනා නැති බව එක්සත් ජාතික පක්‍ෂය දැනුම් දුන්නා. යෝජනා තිබෙන බවට තවත් පක්‍ෂ කිහිපයක් දැනුම් දී තිබෙනවා. අප සංශෝධනවලට සූදානම්. ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය සමග සංශෝධන පිළිබඳව සාකච්ඡා කරන්නම්.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් කැමැතිනම් ඒ බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී කැබිනට් අනුමැතිය පරිදි ජනමත විචාරණයක් සඳහා යොමු කරනවා. මේ පිළිබඳව තවදුරටත් සංශෝධන තිබේ නම් ලබා දෙන්නැයි සභා නායක ලේකම්වරයාටත් දන්වනවා. විදේශ සංචාරයෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසුව මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. හැකිතරම් සංශෝධන පිළිගෙන ඉදිරියට යාමට සූදානම්. අප ක්‍රියාත්මක වන මාර්ගය මෙයයි. හදන ව්‍යවස්ථාව කුමක් දැයි මා දන්නේ නැහැ. එය තීරණය කළ යුත්තේ අප සියලූ දෙනාම එක්වී සියලූම දෙනාගේම අදහස් ලබා ගැනීමෙන් පසුවයි.

නව ව්‍යවස්ථා සම්පාදනය කළ නොහැකි යැයි මාධ්‍ය මගින් විශාල ව්‍යාපාරයක් ගෙන යනවා. ජී.එල්. පීරිස් හිටපු ඇමැතිතුමා එහි ඉස්සරහින්ම සිටිනවා. බුදුගුණ ගායනා කරන්න දේවදත්තයා ගේන්නේ කවුදැයි මා මෙහිදි ප්‍රශ්න කරනවා. ජනතාව මොවුන් කියන දේ පිළි ගන්නවාද?

මෙම නව ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ ඒකීය බව නැති වනවා. බුද්ධාගම නැති වෙනවා යැයි තවත් සමහරුන් පවසනවා. රටේ ඒකීය බව කඩන්නවත්, වෙන කරුණු සඳහාවත් අප කතා කරලාවත් නැහැ. මොනවා කරන්නත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබිය යුතුයි. රටේ එකමුතුකම අප රැකගත යුතුයි. අප දැන් ඇති කරන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පමණයි.

1971 වසරේදී ඇති කළාක් මෙන් අප ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ඇති කළා පමණයි. අප සියලූම දේ කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනයට යටත්වයි. අපට රට බෙදන්න බැහැ. අප හැමවිටම ක්‍රියා කරන්නේ ඒ අනුවයි.

තවත් සමහරුන් බුදුදහම ගැන කතා කරනවා. ස්විස්ටර්ලන්තයේ සංචාරයෙන් පසුව නැවත මව්බිමට පැමිණි පසු ඒ පිළිබඳව මා ප්‍රකාශයක් කරනවා. මේ ව්‍යාපාර ගෙනියන්නේ කවුද? දළදා මාලිගාවට බෝම්බ ගහනවා යැයි කියූ මිනිසුන් ද? පන්සල් වටේ කැසිනෝ ශාලා ඇරඹු මිනිසුන්ද? මේ සියලූම කරුණු පිළිබඳව මා පැමිණි වහාම කරුණු කියන්නම්. අප සියලූම දෙනා බෞද්ධයෝ. මම බෞද්ධයෙක්, මම සිංහලයෙක් ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක්. බේදී ගිය රට ඒකරාශී කිරීම මගේ එකම අරමුණයි. අප ඉදිරියට යා යුතුයි. පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා රට පාවා දෙන්න එපා යැයි මා කුඩා දේශපාලන කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජනාධිපතිතුමාට මෙන්ම මටත් ජනතාව වරමක් ලබාදී තිබෙනවා. අප කිසිවෙකුටත් එම ජන වරමෙන් පිට ක්‍රියා කිරීමට හැකියාවක් නැහැ. 18 වැනි සංශෝධනය යටතේ ශ්‍රී ලංකාව ඒකාධිපති රාජ්‍යයක් බවට පත් වුණා. අද එම ඒකාධිපති බවක් නැහැ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් සමාජ වෙබ් අඩවි මගින් ද අදහස් ලබා ගැනීමට අප තීරණය කර තිබෙනවා. අනාගතයේ ජීවත් වන්නේ තරුණ පරපුරයි. තරුණයින්ට විවිධ අදහස් තිබෙනවා. සමාජ වෙබ් අඩවි මගින් ද අදහස් ලබා ගෙන ව්‍යවස්ථා සම්පාදනය කරන ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාවයි. නිවසේ සිටම ඔබට මේ කාර්ය කළ හැකියි. හොඳ නම් හොඳ කියන්න. හොරා නම් හොරා කියන්න. මෙම ව්‍යවස්ථාව නිර්මාණය කරන්නේ ඔබ වෙනුවෙන් බව අමතක කරන්න එපා. මේ ඔබ සඳහා වන ව්‍යවස්ථාවයි. කිහිප දෙනෙකු පාරට බැස කෑගැසුවාට අපේ කටයුතු නවතා දැමිය නොහැකියි.

ව්‍යවස්ථා සම්පාදනය සඳහා වන මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව සඳහා විසුම්පාය භාරදී තිබෙනවා. පැදුරු පාටි දැමූ විසුම්පාය දැන් ව්‍යවස්ථා සම්පාදන කටයුතු සඳහා යොදා ගෙන තිබෙනවා. ඔබත් එහි ගොස් අදහස් ලබා දෙන්න. මුළු රටම එකතු කර ගෙන සියලූම පක්‍ෂවල අදහස් ලබා ගෙන අප මෙම කාර්ය සිදු කරමු. කාමරයක් ඇතුළට වී ජුන්ටාවකින් ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීමට මම නම් අදහස් කරන්නේ නැහැ.

*නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම පිළිබඳව අරලියගහ මන්දිරයේදී 2016.01.17 දින විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්

Print Friendly

මෛතී‍්‍ර දේශපාලනයේ බිල්ලා මවා පා රාජපක්ෂ දේශපාලනයේ යක්ෂයා ආරක්ෂා කිරීම –චරිත හේරත්ට පිළිතුරක්

$
0
0

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

2015 ජනවාරී අටවැනිදා මෛතී‍්‍රපාල සිරිසේන රටේ ජනාධිපති ධූරයට පත් වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අධ්‍යාත්මය තදින් අල්ලා ගැනීමට තරම් තවමත් ශක්තිමත් වී නොමැති බව තිත්ත ඇත්තයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාව සිටි හේ සම්ප්‍රදායික පක්ෂ කාඩරය නියෝජනය කළ ද ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ සහාය ගෙන ශ්‍රී,ල.නි.ප.යේ නිල අපේක්ෂකයා පරාජය කිරීම ඔහුට එම පක්ෂයේ අධ්‍යාත්මය වැළද ගැනීමට නොහැකිවීමේ හේතුව වන්නට ඇත. එහෙත් මේ ජනප්‍රිය මතය ඉක්මවා යන වෙනත් ඇත්තක් එහි පවතින බව එදෙස ගැඹුරින් බලන්නෙකුට තේරුම් ගත හැකිය.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් මෙහයවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ බල හවුල රාජ්‍යයේ බලය ලබා ගන්නා තෙක් ශ්‍රීලනිපය දේශපාලන වේදිකාවේ මුල්ලකට වීසිවී තිබුණේ ලෝක දේශපාලනයට එම පක්ෂය සංවේදී නොවූ බැවින් විය හැකිය. විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ලබාදෙන්නට 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක පොරොන්දුවෙන තෙක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමන් කළේ රාජ්‍ය කේන්ද්‍ර කර ගත් සුභ සාධනවාදී ආර්ථික දේශපාලන ගමන් මගකය. බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූයේ අවංකවම එ.ජා.ප.යේ අධිරාජ්‍යවාදී දේශපාලනයට එරෙහිව යැයි කිව නොහැක. එහෙත් ලෝක දේශපාලනයේ ධ්‍රැවීකරණය වී තිබූ හැඩතල අනුව බණ්ඩාරනායකගේ දේශපාලනයට යම් ඉඩක් විවරව තිබුණි. එහෙත් ඒ අවකාශය 1977 වනවිට අවසන්ව තිබූ අතර ඒ වෙනස 1994 දී ශ්‍රී.ල.නි.ප.ය විසින් තේරුම් ගන්නා තෙක් විපක්ෂයට වී සිටීමට සිදුවීම එතිහාසිකව වැදගත් ය.

Maithripala1994 දී බණ්ඩාරනායක ප්‍රතිපත්ති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් කාලානුරූපව ප්‍රතිසංස්කරණය කළ බව ඇත්තකි. එහෙත් ඒ දේශපාලන ප්‍රතිසංස්කරණ ආපිට හරවමින් රාජ්‍යයේ හරය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අගුපිළකට කැදවාගෙන ගියේ මහින්ද රාජපක්ෂ විසිනි. 1978 දී එක්සත් ජාතික පක්ෂය විසින් ශක්තිමත් කළ ලූම්පන් ආර්ථිකයෙන් පොහොසතුන් වූ ධනවත් පන්තිය රාජපක්ෂ රෙජීමයේ හේවායන් වුණි. නව ලිබරල් ආර්ථික ක්‍රමයේ නැගෙනහිර ආසියානු මොඩලය ආර්ථිකයේ පදනම වුණි. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය රෙජීමයේ දෘෂ්ඨිමය ආරක්ෂාව වුණි.

ඒ වටපිටාව තුළ බණ්ඩාරනායක විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගුපිළ මෙත්‍රීපාල සිරිසේනලාට දි මු ජයරත්නලාට බර්ටි දිසානායකලාට හිමි වුණි. අධිරාජ්‍යවාදී නව ලිබරල්වාදී එක්සත් ජාතික පක්ෂයෙන් ආ ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙලිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන. දුමින්ද සිල්වා, ගාමිණී ලොකුගේ රජ අසුනේ වාඩි කෙරිණි. ශ්‍රී.ල.නි.ප මැද මාවතේ ආ බළල් පැටවුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, එස්. එම්. චන්ද්‍රසේන, නිමල් ලංසා, ලක්ෂ්මන් පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටිගම රාජපක්ෂගේ සුරතලුන් වුණි.

දේශපාලන රගමඩල මෙලෙසින් දිස්වූ අතර රාජ්‍ය මෙහය වූයේ ඇමෙරිකාවෙන් ආනයනය කළ බැසිල් රාජපක්ෂ හා ගෝටාභය රාජපක්ෂයි. බැසිල් රාජපක්ෂ සියළු ප්‍රතිවාදී පක්ෂ බේදභින්න කරමින් රෙජීමය ස්ථාවර කර ගැනීමට දේශපාලන අංචි ඇද්දේය. ගෝටාභය රාජපක්ෂ රටම ලේ විලක් කරමින් ඒකාධිපතිවාදය ශක්තිමත් කළේය.

අධිරාජ්‍යවාදී නව ලිබරල්වාදී එක්සත් ජාතික පක්ෂය 1978 දී රට පරිවර්තනයකට ලක් කළ අතර එහි වැඩි වාසිය ලබා ගත්තේ රාජපක්ෂ රෙජීමය යැයි කිවොත් එය අසත්‍යයක් නොවේ. ලුම්පන් ආර්ථිකයේ සමාජ තීරුව රෙජීමයේ ආර්ථික ශක්තිය වූ අතර සිංහලබෞද්ධ ජාතිකවාදී පිටපොත්තට මුවා වූ ගෝටාභයගේ ඒකාධිපති හැඩය රෙජීමයේ පාලන ස්වරූපය වුණි. දසවසරකට ආසන්න මහින්ද චින්තන යුගය අවසන් වූයේ මේ ඒකාධිපති ස්වරූපය පුපුරා යෑමෙනි.

ඒ පුපුරා යෑමත් සමග කළු ආර්ථිකයේ ශක්තිමත් ව්‍යාපාරිකයෝ අතර මං වුණි. කොමිස් ආදී වංචා දූෂණ වලින් ඇති දැඩි දේශපාලකයෝ දුප්පත් වුණි. එතෙක් නීතිය නොතකමින් ඒකාධිපති ගති ලක්ෂණ පෙන්වූ සමාජ විරෝධීන් බියෙන් සැලුණි. රෙජීමයට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරමින් පැවැත්ම තහවුරු කර ගත් ලිබරල් මහත්වරු නන්නත්තාර වුණි. ඊට පිළියමක් ලෙස මේ සියල්ලෝම විවිධ ක්‍රම අත්හදා බලමින් “අප්පච්චි සමග යළි නැගිටීමට මාන බැලූහ”. මැතිවරණ දෙකකින් පිට පිට පරාජය වෙද්දීත් බල පෙරේතකම අවසන් නොවුණි.

රාජපක්ෂ රෙජීමයේ දෘෂ්ඨිවාදය ගොඩනැංවීමට, ශක්තිමත් කිරීමට හා යාන්ත්‍රණය බල ගැන්වීමට මහත් වෙහෙසක් දැරූ ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්/ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය චරිත හේරත් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්නට අලුත් වෙහෙසකට අත් පොත් තබන්නේ මේ තත්ත්වය තුළය. පසුගිය දා “කලම්බු ටෙලිග්‍රාෆ්” වෙබ් අඩවියට ලියමින් චරිත හේරත් පවසන්නේ නව නායකයා හෝ අනෙකුත් නායකයන් පක්ෂයේ දේශපාලන දිශාව තේරීමේ දී එජාප විරෝධය අවධානයට නොගන්නා තරමට පක්ෂය අර්බූදයට යන බවයි.

පක්ෂයක් අර්බූදයට යන්නේ බලය ලබා ගැනීමේ යහපත් ප්‍රතිපත්ති හා යාන්ත්‍රණයක් ද ගාමක බලයක් ද පක්ෂයක් වටා නොවූ විටය. ඒ අර්ථයෙන් 1977 සිට 1994 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බූදයට ගියේය. ඒ අර්බූදයෙන් පක්ෂය ගලවා ගනිමින් ප්‍රතිසංවිධානය දියත් කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. ඒ ප්‍රතිසංවිධානය පක්ෂයට පමණක් නොව සමාජයට ද ධනාත්මකව වැදගත් වුණි. එහෙත් එය ආපිට හරවමින් පක්ෂය යළි අර්බූදයකට තල්ලු කළේ මහින්ද රාජපක්ෂයි. පක්ෂය බලය දැරූවද එහි මුළුමහත් ක්‍රියාකාරීත්වය රදා පැවතියේ ආඥාදායකත්වය මතය. එසේම නව ලිබරක්වාදයේ නැගෙනහිර ආසියානු මොඩලය ආර්ථික ස්වරූපය වුණි. නීතියක් ක්‍රියාත්මක නොවූ අතර මූල්‍ය වංචා හා දූෂණ රජ කෙරිණි. එම ප්‍රජාතන්ත්‍ර විරෝධී යහපාලන විරෝධී පාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බූදයට යැව්වේ නැද්ද?

රාජපක්ෂ රෙජීමයේ මධු සමය වූ 2008 පමණ චරිත හේරත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශකවරයකුව සිටිය දී පවා රාජපක්ෂ අර්බූදයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගලවා ගැනීමට ඔහුට අවශ්‍යතාවක් නොවුණි. එදා ඔහු උත්සාහ කළේ එක්සත් ජාතික පක්ෂය කොනිත්තමින් රාජපක්ෂ රෙජීමය ශක්තිමත් කිරීමටයි. 2008 දී පවත්වන ලද සබරගමුව පළාත් සභා මැතිවරණයේ දී රත්නපුරයට තරග කළ සුප්‍රක්‍රට මැරවරයකු වූ සර්පයා දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනියාවීමත් පරණ කොමිනිස්ට්කාරයකු වූ දෙයියා අන්තිමයාවීමත් චරිතට ආශ්වාදයක් වුණි. ඒ අවස්ථාවේදී චරිත උත්සාහ ගත්තේ යූඑන්පී දේශපාලනයේ බිල්ලා මවා පා මහින්ද චින්තනයේ යක්ෂයා ආරක්ෂා කර ගැනීමටයි. අට වසරකට පසුත් චරිත හේරත් උත්සාහ ගන්නේ ඒ පටු දේශපාලන උත්සාහයටමවීම උත්ප්‍රාසජනකය.

බණ්ඩාරනායක විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ දා පටන්ම එම පක්ෂය දැරූවේ සේවල මතයන් යැයි කීවොත් වඩා නිවැරදිය. එක්සත් ජාතික පක්ෂය අධිරාජ්‍යවාදය නියෝජනය කරන විට ජාත්‍යන්තරවාදී නිර්ධන පන්ති දේශපාලනය නියෝජනය කිරීමට වාමාංශයට තිබූ අවකාශය උදුරා ගත්තේ බණ්ඩාරනායක විසිනි. එහෙත් එජාපයට එරෙහි ශක්තිමත් මතයක් ජාතිකවාදී බණ්ඩාරනායකට නොවුණි. නමුත් ජාතිකවාදී රාජ්‍ය කේන්ද්‍රීය සුභසාධනවාදයට එදා තිබූ ලෝක වලංගුතාව මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සමාජයේ වලංගු වුණි. චරිත හේරත් කියන පරිදි එජාපයේ ආර්ථික ප්‍රතිපත්තියට 1977 සිටම විවිධ ආකාරයේ අභියෝගයන් කළේ ශ්‍රීලනිපයයි. එහෙත් එම වකවානුව තුළ ශ්‍රීලනිපය සිටියේ එජාප ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට අභියෝග කළ හැකි ස්ථාවරයක නොවේ. පාන් කියා ගන්නටවත් බැරි අසරණ තත්ත්වයකට ඒ යුගය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටී තිබුණි. පක්ෂයක් ලෙස එසේ අසරණ වූයේ ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් ශ්‍රීලනිපයට නොවූ බැවිනි. එය ශ්‍රීලනිපයට ආවේනික දුර්වලතාවකි.

මහින්ද රාජපක්ෂට බලය නොමැතිවත් පක්ෂ නායකත්වය නොමැතිවත් මහජනතාව ඔල්වරසන් දෙන්නේ ඔහුගේ එජාප විරෝධී දේශපාලනය නිසා බව චරිත හේරත් පවසයි. එහෙත් මහින්ද රාජපක්ෂ එජාපයට එරෙහිවූ තීරණාත්මක මොහොතක් ඉතිහාසයෙන් නම් සොයා ගන්නට නොමැත. ඔහු කරන තරමක් කළේ ශ්‍රීලනිප ආණ්ඩුවල කැබිනට් රහස් එජාපයට ලබාදීමයි. එසේම එජාපයේ අටුවන් බැහැපු චෝදනාලාභීන් ශ්‍රීලනිපයට බදවාගෙන බලවත් ඇමතිකම් ලබාදීමයි. ඒ අර්ථයෙන් චරිත හේරත් පවසන්නේ දේශපාලන බොරුවකි. මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂට ඔල්වරසන් දෙන්නේ නම් එසේ කරන්නේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ සතුරා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් සමූල ඝාතනය කිරීමට මහින්ද රාජපක්ෂ කටයුතු කළ නිසාය. ඒ ලේ හැලීම නොවන්නට මහින්ද රාජපක්ෂ සිංහලබෞද්ධ සමාජයේ වීරයකු වන්නේ නොමැත. එහෙත් පසුගිය ජනාධිපතිවරණය හා මහාමැතිවරණය වනවිට සිංහලබෞද්ධ මැතිවරණ කොට්ඨාශ වලින් ද මහින්ද රාජපක්ෂ ප්‍රතික්ශේප කිරීම ආරම්භ කර තිබුණි.

අද වනවිට සමාජය ඉදිරියේ පවතින දේශපාලන අභියෝගය වන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම නොවේ. බණ්ඩාරනායක ප්‍රතිපත්ති ශක්තිමත් කරන මුවාවෙන් රාජපක්ෂ චින්තනය ශක්තිමත් කිරීම ද නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති මෙන්ම රාජපක්ෂ චින්තනය ද මේ වනවිට අවලංගු වී අවසන්ය. ඒ අර්ථයෙන් සමාජයට අවශ්‍යව ඇත්තේ නව දේශපාලන දර්ශනයකි. එය නව ලිබරල්වාදය සමග පොර බදිමින් ඊට සපුරා ප්‍රතිවිරෝධී වෙමින් ධනේශ්වර සංවර්ධනයකට ඉඩදෙන දේශපාලනයකි. එසේම නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන යහපාලනයකි. එසේ නොවන්නට ඉතිහාසයේ කුණු බක්කියට සමාජය විසින්ම ඇද දැමූ බණ්ඩාරනායක ප්‍රතිපත්ති හා මහින්ද චින්තන ප්‍රතිපත්ති නොවේ.

රාජපක්ෂ රෙජීමය තුළ ශක්තිමත් වූ සමාජ විරෝධීනට සම්මුතිවාදී ආණ්ඩුව හානිකර විය හැකිය. ඔවුන්ට වඩා ප්‍රියකරු විය හැක්කේත් සනීපජනක විය හැක්කේත් තනි පක්ෂ ආණ්ඩුවකි. එහෙත් සම්මුතිවාදී ආණ්ඩු ව්‍යුහය පක්ෂ දේශපාලන අර්බූදයන් ඉක්මවා සමාජයට අත්කර දෙන්නේ වැඩි වරප්‍රසාදයකි. එය සමාජයට වැදගත්ය. තවදුරටත් සම්ප්‍රදායි පක්ෂ දේශපාලනය තුළ එකිනෙකා බැහැර කරන ස්වරූපය ඉක්මවා රටක් ලෙස ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට උත්සාහ දැරීම අතිශයෙන් වැදගත් ය. එහෙත් එය රදා පවතින්නේ සම්මුතිවාදී ආණ්ඩුවේ නායකයන්ගේ දේශපාලන හැකියාව මතය.

පක්ෂ දේශපාලන ගැටුම් උලුප්පා දැක්වීමෙන් වාසි ලබාගන්නේ ගමේ අප්පුහාමිලාය. වහලයට දමන උළු කැටයට, වැසිකිළි කටට හා දරුවාට ලබා ගන්නා රැකියාවට දේශපාලනය කරන ගමේ අප්පුහාමිගේ දේශපාලනය අත්හැරිය යුතුය. එහෙත් වරදානයට, වරප්‍රසාදයට දේශපාලනය කළ නගරයේ අප්පුහාමිලා ද අද හැසිරෙන්නේ ගමේ අප්පුහාමිලා අන්දමින්මය. ඒ අර්ථයෙන් මෛතී‍්‍ර දේශපාලනයේ බිල්ලා මවා පා රාජපක්ෂ දේශපාලනයේ යක්ෂයා ආරක්ෂා කිරීමට චරිත හේරත් දරන තැත භයානකය.

*shan.info1978@gmail.com

Print Friendly

මෙය පොලිස්පතිවරයාගේ ‘කොන්ද’පිළිබඳ ප්‍රශ්නයකි

$
0
0

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

පොලිස්පති යනු පොලිස් දෙපාර්තමේන්තුවේ ලොක්කාය. ඔහු හැරුණු විට අන් සියලුම පොලිස් නිලධාරීහු ඔහු ඉදිරිපිට සැලියුට් ගසති, දෙකට නැමෙති, ok සර් කියති. ඔහුට ජංගම දුරකතනයෙන් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඇමතීමට හැකි සේම ඇතැම් අවස්ථාවල ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැනි අය නොසලකා සිටීමටද හැකිය. ජනාධිපතිවරයා පවා සුවිශේෂී අවස්ථාවල තීරණ ගැනීමට පෙර ඔහුගේ අදහස් විමසයි. මේ හැරුණු විට රාජ්‍ය උත්සවවලදී ජනපතිගේ පස්සෙන් සිටගෙන සිටීමේ වරප්‍රසාදයද ඔහුට හිමි වෙයි. මේ සියල්ලම පොලිස්පති පුටුවට අදාළ පිළිගැනීම, වරප්‍රසාද, වගකීම් සහ අභිමානය පිළිබඳ කාරණාය. ඉබේම පුටුවට ලැබෙන එකී වරප්‍රසාද හා පිළිගැනීම පුටුවෙන් නැගිටින විටද රැක ගැනීම පුද්ගලික කාරණාවකි. සාමාන්‍යයෙන් තමා යටතේ සිටින්නන් පිස්සු නටමින් අයාලේ යන විට ඔවුන් පාලනය කර ගැනීමට නායකයෙකු අසමත් වන්නේ එක්කෝ නිවටකම නිසාය, නැතහොත්, තම ආයතනය මහජන සේවයට කැප වූ එකක් බව සහතික කරනු වෙනුවට පාලකයන් පිනවමින් පෞද්ගලික වරදාන පැතීමේ පහත් කැමැත්ත නිසාය (එයද නිවටකමේම දිගුවකි).

රාජ්‍ය සේවකයා සෑම විටම දේශපාලඥයා විසින් යටකරනු ලැබ ඇතත්, තමා යටතේ පවතින අභ්‍යන්තරික ආයතන ව්‍යුහය තම අභිමතය පරිදි පාලනය කරගත හැකි සෑම විටම එසේ කිරීමට මැළි නොවීම තුළින් නිවටයන් නොවී සිටීමට උත්සාහ ගන්නා ඉහළ රාජ්‍ය නිලධාරීන් අපි කොතෙකුත් දැක ඇත්තෙමු. ජනවාරි 08 වැනි දා මැතිවරණ කොමසාරිස්තුමා විසින් මීට අදාළ හොඳම නිදසුන සපයනු ලැබිණ.

පොලිස්පතිවරයා මේ පාරවල් දෙක තුනෙන් එකක් තෝරා ගැනීමට තව තවත් පමා විය යුතු නැත. 2015 ජනවාරි 08 දින මෙරට පුරවැසියන් අති බහුතරය විසින් ගනු ලැබුවේ ඉතාම තීරණාත්මක හා ඓතිහාසික තීරණයකි. එය මහින්ද රාජපක්ශ නමැති තනි දේශපාලඥයාට එරෙහි වෛරයකින් ගනු ලැබූවක් නොව ඔහු විසින් ව්‍යාප්ත කරන ලද හානිකර දෘෂ්ටිවාදයම පරාජය කර අඩපණ කිරීමේ පුරවැසි අවශ්‍යතාවක් ඉටු කිරීමක් ලෙස වටහා ගත යුත්තකි. කෙසේ වුවද, මහින්ද රෙජීමයෙන් පසුව බලයට පත් වූ ආණ්ඩුවේද තිබෙනවා යැයි කියූ ‘ඡන්දෙට පෙර යහපාලනකාමීත්වය’ දිය වී ගොස් 48 න් පසු ලංකා දේශපාලනයට සුපුරුදු හිවල් ගතිය ඉස්මතු වන්නට වැඩි කල් ගත වූයේ නැත (එහෙත් ඉන් අදහස් වන්නේ මහින්ද රෙජීමයේ පරාජය පිළිබඳව අප පසුතැවිලි විය යුතු බව නම් නොවේ). IGP Police

යහපාලන ආණ්ඩුව විසින් සිදු කළ යුතුව තිබූ, එහෙත් මේ වන විට අමතක කර දමා ඇති තත්ත්වයට පත්ව ඇති වැදගත්ම ප්‍රතිසංස්කරණ කිහිපයෙන් එකක් නම් මහජනයාට අතිශයින්ම වැදගත් හා අදාළ වන ආයතන සම්බන්ධ ආයතනික ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම බව මීට ඉහතදීද මා විසින් ලියා තිබේ. විශේෂයෙන්ම, පොලීසිය වැනි ආයතන සම්බන්ධයෙන් මේ කරුණ වඩාත් අදාළ වේ. පසුගිය කාලය පුරාවටම පොලීසිය පිළිබඳ අපගේ අත්දැකීම කිසිසේත්ම සුභදායක එකක් නොවේ. මෑත ඉතිහාසයේ බොහෝ සිදුවීම්වලදී පොලීසිය හැසිරුණේ කිසිදු පාලනයක් හෝ හික්මීමක්, නීතියක් හෝ සදාචාරයක් නොමැති රස්තියාදුකාර මැරයෙකු පරිද්දෙනි. රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් පිහිටුවන ලද ආයතනයක් හුදෙක්ම ජන ජීවිතය අඩාළ කරන හා ප්‍රජා පීඩක කරුමයක් බවට පත්වීම පිළිබඳ උදාහරණ ආසන්නතම සිදුවීම් නිරීක්ෂණය කිරීමෙන් පවා වටහා ගැනීම අසීරු නැත.

මේ සියලු සිදුවීමකදීම අප දුටු තවත් පොදු ලක්ෂණයක් නම්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙන්ම තවත් උසස් යැයි කියා ගන්නා නිලධාරීන් රංචුවක් කොහේ හෝ මාධ්‍ය හමු කැඳවා පොලීසියේ සුදු හුණු ගෑමට පටන් ගැනීමයි. සේයා දැරිය ඝාතනය සම්බන්ධ පරීක්ෂණවලදී, HNDA සිසු උද්ඝෝෂණයට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයේදී සහ මීට දින කිහිපයකඒ ඉහතදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේදී ‘නිසි පරීක්ෂණ පවත්වා සාපරාධී පාර්ශ්වවලට එරෙහිව නීති ප්‍රකාරව කටයුතු කරන’ බව කීම වෙනුවට පොලීසිය පැත්තෙන් නැගුණු ප්‍රතිචාරය වූයේ ‘පොලීසිය හරි, ජනතාව වැරදි’ යන්නයි. පරීක්ෂණයකට පෙර හරි වැරැද්ද ගැන පාරම්බෑමට උත්සාහ කරන්නේද ස්වයං-සාපරාධීභාවය නිසා හෘද සාක්ෂියට මුහුණ දීමේ අපහසුවෙන් පෙළෙනවුන්ය. ඇඹිලිපිටිය සිද්ධිය ගැන මාධ්‍ය ප්‍රකාශකට හැදුණු අසාමාන්‍ය කුලප්පුවෙන්ම පොලීසිය ගැන අමතර සැකයක් ජනතාවගේ සිතට ඇතුළු වීම නොවැළැක්විය හැක්කක් විය. මේ අතරම, පොලීසියට එරෙහිව නඩුවක් ඉදිරිපත්ව තිබියදී නීතීඥ ඇඳුමට මුවා වී පොලීසිය වෙනුවෙන් කරුණු දැක්වීමට අධිකරණයට යන පුද්ගලයාම රාත්‍රී පුවත් විකාශය අතරතුරදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පුටුව මත අපට හමු වීමද පුදුම එළවන සුළු සිදුවීමකි. යහපාලනයේ මූලික ලක්ෂණයක් වන වගවීම පැහැදිලිවම උල්ලංඝනය වන අවස්ථාවකි.

මේ සියල්ලම මහින්ද දෘෂ්ටිවාදයේ ගතිලක්ෂණ බව වත්මන් ආණ්ඩුවත්, පොලිස්පතිවරයාත් වටහා ගන්නා තුරුම මේ පරිහානිකර තත්ත්වයෙන් පොලීසිය ගලවා ගැනීම හිතළුවක් පමණක් වනු ඇත. පොලීසියේ පිරිහීම ගැන කැක්කුමක් පුරවැසියාට නැත. එහෙත්, පොලීසිය යනු පුරවැසි ජීවිතයට ඇඟිලි ගසන මර්ධන යාන්ත්‍රණයක් ලෙස රාජ්‍ය දෘෂ්ටිවාද ක්‍රියාවට නංවන ආයතනයක්ද වේ. කැක්කුම උපදින්නේ මෙතැනය. වත්මන් ලංකාවේ පොලීසිය යනුම ‘අමනකමින් සදාචාරය වෙත’ මෙහෙයවිය යුතු ආයතනයක් බවට පත් වී හමාරය. නිල ඇඳුම ඇඳගත් සැණින් ලෝකය තමන් අතේ වැනි හැඟීමකින් මඬනා ලදුව හැසිරෙන ‘නූගත් මැරයන්’ නෛතික වශයෙන් බැඳ තැබීම කාලීන අවශ්‍යතාවක් වන්නේ එහෙයිනි. කතා කිරීමට නොදන්නාකම, නීතිය පිළිබඳ හරිහමන් අවබෝධයක් නොමැති කම, උද්දච්ඡකම ආදිය වර්තමාන ලංකාවේ පොලිස් නිලධාරීන් බොහොමයකගේ ආවේණික ලක්ෂණ බඳුය. වාසනාවකට මෙන් මෙය සමාජ මාධ්‍ය යුගයක් නිසාම පොලීසියේ අමනකම් ගැන ප්‍රසිද්ධ සංවාද ඇති වීමද හොඳ ප්‍රවණතාවකි.

යහපාලන ආණ්ඩුවෙන් අප තවමත් බලාපොරොත්තු වන්නේ මීනී මරන හා මැරීමට අනුබල දෙන, පුරවැසියන්ට වෙඩි තියන මහින්ද ශෛලියේ රස්තියාදුකාර පොලීසියක් නොවේ. මහින්ද රෙජීමය යටතේ දූෂිතභාවයේ පතුලටම කිඳා බැස තිබූ පොලීසිය ඇතුළු තීරණාත්මක රාජ්‍ය ආයතන විෂයික ජනහිතකාමී ප්‍රතිසංස්කරණ රැසක් සිදු වනු ඇත යන බලාපොරොත්තුව පුරවැසි මනස තුළ තදින්ම ඉස්මතු වූවකි. එක්කෝ රෙජීමයේ දේශපාලඥන් නැතහොත් පොලීසිය විසින්ම සිදු කරන ලද මැරකම් හා අසාධාරණකම් අවසන මාධ්‍ය හමු කැඳවා ජාතික රූපවාහිනියෙන් සහ ස්වාධීන රූපවාහිනියෙන් ජනතාව ගොනාට ඇන්දීමට අමූලික බොරු කී අජිත් රෝහණ වැනි විහිළුකාරයෙකු වත්මන් ආණ්ඩුව යටතේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පුටුවේ වාඩි ගෙන පොලීසියට අරක්ගෙන ඇති සුපුරුදු වනචාරී ගතිය දිගටම ගෙන යනු දැකීමට අපට තවදුරටත් අනවශ්‍ය බවද සමාජය තුළින්ම අවධාරණය විය. ජනවාරි 08 වැනි දා බහුතර පුරවැසියන් විසින් මෛත්‍රීපාල සිරිසේන යන නම ඉදිරියෙන් සලකුණු කරන ලද කතිරයෙන් ඒ සියල්ලම අදහස් වූ බව ආණ්ඩුවට සිහිපත් කළ යුතුය.

පොලීසියට සමාජය ඉදිරියේ තවදුරටත් පිරිහෙන්නට අඩියක් නැත. එය අන්තෙටම පිරිහී හමාරය. මේ අත්තනෝමතික හැසිරීම අත්හැරීමට පොලීසිය දිගටම මැළි වන්නේ නම් ජනතාව තවදුරටත් පොලීසිය ගැන විශ්වාසය තබා කටයුතු කිරීම සහමුළින්ම අත්හැර දමන දිනයක් එළැඹීම ඉක්මන් වනු ඇති බවද අවධාරණය නොකරම බැරිය. සාමාන්‍යයෙන් මිනිසුන් අවනතභාවය දක්වන්නේ තමන්ට විශ්වාස කළ හැකි හා ගරු කළ හැකි ආයතන හා පාර්ශ්ව වෙත පමණි. ඇතැම් විට ඇඹිලිපිටිය සිද්ධියේදී එහි වූ පිරිස් පොලීසියට එරෙහි කලහකාරී හැසිරීමක් ප්‍රකට කළා නම් (ඔවුන් කියන හැටියට) එයද කාලාන්තරයක් තිස්සේම ‘පොලීසියේ කෙරුවාව’ විසින්ම ජනයා අතර ස්ථාපිත කර ඇති පිරිහීමේ කලඑළි බැසීමක් වන්නටද බැරි නැත. පොලීසිය කී සැණින් ජුගුප්සාවක් ඇති වීම දැන් සාමාන්‍ය දෙයකි. මෙය ප්‍රායෝගිකව මැන ගැනීම සඳහා ‘පොලීසිය’ යන වචනයම පවා මේ වන විට සිතට නගන්නේ කෙබඳු අදහස් දැයි පෞද්ගලිකව සිතා බැලීමම ප්‍රමාණවත්ය.

මේ පොලීසිය විෂයික ආයතනික-ප්‍රතිපත්තිමය පරිවර්තනයක් සිදු කිරීම කෙරෙහි පොලිස්පතිවරයාගේ නොමඳ අවධානය ඉක්මනින්ම යොමු විය යුතුය. අඩුම කරමින් පොලීසිය හෑල්ලු කීරීමට කටයුතු කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇතුළු කැපී පෙනෙන මෑතකාලීන විහිළුකාරයින් තම මේසය ඉදිරියට කැඳවා ‘තමුසෙලට ඇත්තටම පිස්සුද ඕයි?’ යන්නවත් ඇසීම පවා වැදගත් බව ඔහුගේ අවධානයට යොමු විය යුතුය. අප අමතක නොකළ යුතු වැදගත්ම කරුණක් වන්නේ පොලිස් දෙපාර්තමේන්තුව යනු ලංකාවේ සිවිල් සේවය දේශපාලන මඩගොහොරුවේ ගිලෙන්නට පෙර ඉතාම ස්වාධීන හා ගරු කටයුතු ආයතනයක් ලෙස පැවති එකක් බවය. මෙම සිවිල් සේවයට ඊට ආවේණික නම්බුවක් තිබිණ. මේ නිසාම, එහි පිරීහීමට පාර කැපූ අවස්ථාවාදී දේශපාලඥයින්ම එම පිරිහීමෙන් පොලීසිය ගලවා ගෙන එය ජනහිතකාමී එකක් බවට පරිවර්තනය කරනු ඇති බව සිතීම මුළාවකි. මන්ද, එවැනි උත්සාහයක ප්‍රතිඵල අවශ්‍යයෙන්ම ඔවුන්ගේ අනාගත හැසිරීමට බාධාකාරී වනු ඇත යන සරල සත්‍යය වටහා ගත හැකි තරම් ඔවුන් කපටි නිසාය.

මෙහි ඉහතද දැක්වුණු පාරවල් කීපයෙන් එකක් පැහැදිලිව තෝරා ගැනීමට පොලිස්පතිවරයා දැන් කටයුතු කළ යුතුය!

ashanweerasinghe@gmail.com

Print Friendly

මෛත්‍රිපාල ගේ මහින්දකරණය

$
0
0

මාලින්ද සෙනෙවිරත්න

මාලින්ද සෙනෙවිරත්න

මාලින්ද සෙනෙවිරත්න

“මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමාගේ නිල තේමා ගීතය” නමින් එතුමා බලයට පත්ව වසරක් ගත වීම නිමිත්තෙන් ඉකුත් ජනවාරි 8 දා නිකුත් කල ගීතය නිකුත් කර පැය විසි හතරක් ගත වීමටත් පෙර යූටියුබ් සහ වෙනත් වෙබ් අඩවි වලින් ගලවන ලදී. අනතුරුව එම වීඩියෝව ජනපති අනුමැතියකින් තොරව නිපදවූවක් ලෙස කියන්නට ජනාධිපති මාධ්‍ය ඒකකය අසාර්ථක උත්සාහයක යෙදුනි [එම පැටලවිල්ලේ විස්තරය මෙහි ඇත]. සියලු කරුණු කාරණා සලකා බලද්දී “ගැලවීම” හැරුණු විට වෙන විකල්පයක් තිබුනේ ද නැත. ඒ කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන එම වීඩියෝ පටය හරහා තමන් ගැන බොහෝ දේ පවසා ඇත.

මහින්ද රාජපක්ෂ ජනපති ලෙස පත්ව කළ මංගල කථාවේ ඔහු එක ඉල්ලීමක් කළේය: “ප්‍රශස්ති ගායනා නොකරන්න”. එම ඉල්ලීමට “මිත්‍රත්වය” පිලිබඳ යමක් ද ඔහු එකතු කළේය: “මාගේ සැබෑ මිතුරන් වන්නේ සාධාරණ විවේචන කරන්නන් මිස ප්‍රශස්ති ගායනා කරන්නන් නොවේ”. ඒ 2015 නොවැම්බර් මාසයේ ය. කාලය සමග ඔහුට ද ඔහුගේ පාක්ෂිකයින්ටද විශේෂයෙන් ඔහු වටා රොක් වී විවධ වරප්‍රසාද දිනාගෙන සිය පැවැත්ම ඔහුගේ දේශපාලන අනාගතයට ගැට ගැසූ අයට ද ඒ ඉල්ලීම අමතක වුවා විය හැක. ප්‍රශස්ති වල නම් අඩුවක් නොවින, විශේෂයෙන්ම 2009 මැයි 18 දාට පසුව.MS 6

1978 ව්‍යවස්ථාව යටතේ ජනාධ්පතිට පිරිනැමෙන බලතල සලකා බලද්දී ප්‍රශස්ති ගායනා ඉල්ලීමටත්, ප්‍රතික්ෂේප කිරීමටත්, අවශ්‍ය නම් තහනම් කරන්නටත් මහින්ද ට හැකියාව තිබිණ. එබැවින් ඒවා සඳහා ඔහුගේ සක්‍රීය දායකත්වය හෝ නිහඬ අනුමැතිය ලැබුනේ යැයි නිගමනය කල යුතු ය. ඔහුගේ ධූර කාලය තුල සිදුවූ සියලු අක්‍රමිකතා සහ සාහසිකකම් වලට අඩු වැඩි වශයෙන් ඔහු වග කිව යුතුය. එබැවින්ව 2009 මැයි මස එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරීමේ ප්‍රධාන ගෞරවය හිමි වන්නේද ඔහුටමය. ඉතින් එම ජයග්‍රහණය වෙනුවෙන් නිර්මාණය වූ “ආයුබෝ වේවා මහා රජාණෙනි” ගීතය ජනප්‍රිය වීමද සාමාන්‍ය දෙයකි. රජවරු ගැන කියවුනද එම වකවානුවේ පොදුවේ රාජපක්ෂගේ නායකත්වය ට වටිනාකම තිබුනේ ය. පසු කාලයේ (විශේෂයෙන්ම 2010 ජනාධිපති මැතිවරණ සමයේ) එම ගීය යම් යම් පාර්ශව වල උදහසට ලක්වීම වෙනත් කාරණයකි. ප්‍රශස්ති ගායනා ඉවසීමේ සහ ඒවාට අනුබල දීමේ ආදීනව පෙන්වා දුන්නද [2011 නොවැම්බර් 7 දා “ද නේෂන්” පුවත්පතේ කතුවැකිය, “Friendship and Hosanna-Singing” කියවන්න] ඔහු සිය ප්‍රධානම ප්‍රතිවාදියා බවට තමන්වම පත්කරගත්තේය [මහින්ද රාජපක්ෂ ගේ දෙවන වාරය ඇරඹුන සමයේ ලියු “Mahinda Rajapaksa’s most formidable enemy” කියවන්න].

“සිව් මහා බඹුන් දුන් විවරණින්
අපටත් රජෙක් පහලව ඇතේ
ඒ මහා රජුන් පෑ පෙළහරින්
මේ දෙරණ එක්සේසත් වුනේ”

බෙදුණු රටක් එක්සත් කලේ ඔහු ගේ නායකත්වයෙනි. “දෙස් විදෙස් අභියෝග බිඳ” නායකයෙකි ඔහු. 2005-2015 කාලය තුල මේ රටේ සිදුවූ සියලු දූෂණ, වංචා, තක්කඩිකම්, මිනීමැරුම් ගත්කල ඒවා ජේ.ආර්-ප්‍රේමදාස සහ චන්ද්‍රිකා යුග වලදී ජනතාවට අත්විඳින්න වූ පීඩාවන්ට සාපේක්ෂව ‘සුළු අපරාධ’ ලෙස සැලකිය යුතු වුවද ඒ රජයන් වෙත ‘දෙස් විදෙස්’ අවලාද නැගුනේ නැති බව ද මතක් කල යුතු ය.

ඒ කෙසේ වෙතත් “ආයුබෝ වේවා” ප්‍රශස්ති ගැයුමකි. එයට රාජපක්ෂ ගේ අනුමැතිය ලැබුණි. ඒ ගීතයේ සහ මෛත්‍රිපාල සිරිසේන ජනපති ගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිති කොට නිර්මාණය වූ “ඔබ අපේ මිනිසෙක්” ගීතය අතර ඇති ප්‍රධාන සමානකම එය වේ. දැන් වෙනස සලකා බලමු.

අප මුලින් සඳහන් කල පරිදි, මහින්ද ගේ ගීතය මහා පොළොවේ යථාර්ථයක් පිළිබිඹු කළේය. මෛත්‍රී ඇත්තටම “අපේ මිනිසෙක්” ද? බහුතරයක් ඡන්දය දුන් බැවින් බහුතරයකට ඔහු ‘අපේ මිනිහෙක්’ යැයි තර්ක කල හැක. එනමුත් ඔහුම කියා ඇත්තේ “මේ රටේ කවුරු මොනවා කිව්වත් ජාත්‍යාන්තරය (ඔහු) සමග” බවයි. මෙහි ඇත්තක් තිබේ, මන්ද මේ රටේ ඔහුගේ නම ඉදිරියෙන් කතිරයක් ගැසූ බොහෝ දෙනාට අවශ්‍ය වුයේ ඔහු ජනපති කරනවාට වඩා මහින්ද රාජපක්ස බලයෙන් ඉවත් කිරීමයි. ඔහු ජනපති වීම මහින්ද ‘එලවීමේ’ අතුරු ඵලයක් වැනිය.

“ඔබ අපේ මිනිහෙක්” ගීතයෙන් මෛත්‍රිපාල අපේ මිනිහෙක් වන්න උත්සාහා කරනබවක් දැනෙන්නේ එම නිසා විය යුතුයි. අරමුණ එය වුවත් ගීතයෙන් නම් සිද්ද වෙන්නේ අනිකකි. එනම් ඔහු මේ රටේ මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ දේශපාලන, සාමාජීය අවශ්‍යතා හා අනන්‍ය නොවන කෙනෙකු බවය. මහින්ද ගේ ‘රජකම’ තුල ඇති උද්දච්චකම යම් ප්‍රමාණයකට මැකී යන්නේ රට එක්සේසත් කිරීම සඳහා සැබවින්ම ඔහු තීරණාත්මක ලෙස දායක වූ බැවිනි [එක්සේසත් වීම හොඳද නරකද යන්න මෙහිදී අදාළ නොවේ — ඇතැම් විචාරකයින්ට එම “ප්‍රතිඵලය” ජනතාවට විඳින්න සිද්ද වූ දැවැන්ත පරාජයකි; එහෙත් අති බහුතරය එය “ජයග්‍රහණයක්” ලෙස වැළඳ ගත් බව පැහැදිලිය].

මෛත්‍රී ගේ ‘රජකම’ විහිළුවක් වන්නේ ‘අපේ මිනිහෙක්’ වීමේ කයිවාරුව බරපතල ලෙස ඔහුගේ ක්‍රියාකලාපය මෙන්ම එම වීඩියෝ වෙන් ද ප්‍රශ්න වන බැවිනි. මෙය වඩාත් ම පැහැදිලි වන්නේ මෛත්‍රිපාලගේ ගීයටම මහින්ද ගේ රූප පෙළක් එකතු කර නිර්මාණය කර ඇති වීඩියෝවෙනි. එහි දෙවිවරු නැත. රජවරු නැත. සුදු අශ්වයෝ නැත. මිනිසුන් ඇත. ගැලපීමක් ඇත. ඇතැම් විට මෛත්‍රිපාල ‘මිනිසුන් අතර’ සිටින ඡායාරූප පෙළක් පසුබිම් කොට “ඔබ අපේ මිනිසෙක්” නිර්මාණය කලේ නම් මේ තරම් අභව්‍ය නොවනු ඇත. එසේ නොවුනේ මෛත්‍රී සහ ඔහුට ප්‍රශස්ති ගයන වන්දිභට්ටයින් ඒ තරම්ම් ම පොදු සමාජයෙන් (සහ මැතිවරණ සමයේ ඉස්මතු වූ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ කතිකාවෙන්) විතැන් වී ඇති නිසා විය හැක.

මෙන්න මෛත්‍රී විසින් මෛත්‍රී සඳහා මෛත්‍රී සමග නිර්මාණය කරන ලද ගීතය:

අභිමාන පුලතිසි මහා පැරකුම් විජයබා කුලයේ
ඉතිහාසයම යලි ගොඩ නගන්නට නුඹට බාරයි අපේ මව් දෙරණේ
විරාජිත වේ නුඹ සදාකල් ම
අතීතයමයි අනාගත අරුත
වැටෙන අහසින් දිය බිඳක් වත් අහක නොදමා ඉතිරි කල නිරිඳෙක්
රටට ඕනෑ මහ පොළොවේ තතු හඳුනා ගත මිනිහෙක්
නුඹට පුළුවන් රට හදන්නට නුඹ අපේ මිනිහෙක්

එදත් ගැයුවා බොරු ප්‍රශස්ති වන්දිභට්ටයෝ වටකරන් නිරිඳුන්
නොරැවටී නොසැලී පෙර මෙන් යායුතුයි හෙටටත්
නුඹට පුළුවන් රට හදන්නට නුඹ අපේ මිනිහෙක්
නුඹ අපේ මිනිහෙක්

විජාතික පර අඳුරු සෙවනැලි නුඹ වටත් කැරකේවී ළඟ හිඳිමින්
අව්‍යාජකම හා මෛත්‍රියමයි නුඹට හිමි අවියත්
ජාතියම ලෙලවා තබනු මැන හෙට එයයි අපේ පැතුමත්
එයයි අපේ පැතුමත්

රජවරු කුමාරවරු යුගය අවසන් කර ඇති බව ආඩම්බරයෙන් පැවසූ මෛත්‍රිපාල දැන් රජවරු කුමාරවරු නොව දෙවි වරු සහ දේව වරම් වැළඳ ගැනීම මොනතරම් හාස්‍යජනකද? රටේ ජනතාවගේ ආදරය, ගෞරවය සහ විශ්වාසය ට වඩා පිටරැටියන්ගේ “කරුණාව” අගයන කෙනෙකුට, එවන් බලවේග වල ආධාරයෙන් බලයට පත් කෙනෙකුට (හියුගෝ ස්වයර් එසේ පවසා ඇත) “විජාතික පර අඳුරු සෙවණැලි” වල භයානක කම පහදා දෙන්නේ කෙසේද? ප්‍රජාතන්ත්‍රවාදය රට තුල යලි ස්ථාපිත කරන, පුරවැසිකමට නැවත අරුතක් දෙන නායකයා මොහු යැයි සිතු කෙනෙක් වේ නම් ඔහු හෝ ඇය ඒ මායාවන් ගෙන් මිදීමට මෙයම ප්‍රමාණවත් සාධකයක් වේ.

“විරාජිත වේ නුඹ සදාකල් ම”. මහින්ද ද මෙලෙස සිතන්නට ඇත. ඔහු ගැන ප්‍රශස්ති ගැයුවන් ද ඔහුට වන්දිභට්ටකම් කල අයද මෙලෙස සිතන්නට ඇත. මෛත්‍රිපාල යනු රාජතාන්ත්‍රිකයෙකු නොව තවත් එක දේශපාලනඥයෙකු බව පහුගිය වසර තුල ඔහු මොනවට ඔප්පු කර ඇත. ඥාති සංග්‍රහ, පලිගැනීම්, බලය අයුතු ලෙස යෙදවීම් පහු ගිය මාස දොළහ තුල එමටය. වඩාත් ම හාස්‍යජනක වන්නෙ වන්දිභට්ටයින් වටකරන් සිටින, වන්දිභාට්ටයින්ට ප්‍රේම කරන මෛත්‍රිපාල ට වන්දිභාට්ටයින්ගෙන් නොරැවටෙන්න කියා වන්දිභට්ටයින් ම ප්‍රකාශ කර සිටීම යි. ප්‍රශස්ති ගායනයකින් ප්‍රශස්ති ගායකයින් ට නොරැවටෙන ලෙස ඉල්ලා සිටීම යි. වෛරය සහ පළිගැනීමේ ඡේතනාවෙන් මෙහෙයවෙන කෙනෙකු ට ‘මෛත්‍රිය’ නම් අවියක් ඇති බව කීමයි. ව්‍යාජත්වය පිරී ඇති ගීයකින් ව්‍යාජත්වයේ සතුටින් කිමිදෙන කෙනෙකු අව්‍යාජ යැයි පැවසීමයි.

මෙම පද රචනයෙහි එකම එක නිවැරදි පදයක් ඇත: “අතීතයමයි අනාගත අරුත”. එයද ගීත රචකයා අදහස් කරන අරුතින් නොව “මහින්ද” නම් වූ ‘අතීතය” “පශ්චාත්-මහින්ද” නම් වූ “අනාගතය” වීමේ අරුත ය.

“වෙනස සැපද?” යැයි අපි අසන්නේ නැත. ඒ “වෙනස” විවිධාකාරයෙන් නිර්වචනය කළ හැකි බැවිනි. මෛත්‍රිපාල ගේ මහින්දකරණය ඉතා සාර්ථකව සිදුවන බව සටහන් කර තැබීම දැනට ප්‍රමාණවත් වේ.

Print Friendly

උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා වූ නිවාස ව්‍යාපෘති ආන්දෝලනය

$
0
0

නාමිනී විජේදාස

නාමිනී විජේදාස

නාමිනී විජේදාස

උතුරු නැගෙනහිර පළාත්වල අවතැන් වූ ජනයා වෙනුවෙන් නිවාස 65,000 ක් ඉදිකිරීමට ආණ්ඩුවේ මූලිකත්වයෙන් මේ වනවිට දියත් වී තිබෙන ව්‍යාපෘතියක් විශාල ආන්දෝලනයක් ඇති කොට තිබේ.

එක් එක් නිවාසවල වටිනාකම ලෙස ඇස්තමේන්තුගත කොට තිබෙන රු. මිලියන 2.1 ක මුදල සිවිල් සමාජ කණ්ඩායම් විසින් ප‍්‍රශ්න කිරීමට ලක්කොට ඇත. විවාදයට තුඩු දී ඇති අනෙක් ප‍්‍රශ්නය වනුයේ අදාල ව්‍යාපෘතිය සඳහා අයැදුම් කළ කොන්ත‍්‍රාත්කරුවන් තෝරාගනු ලැබූ ‘අධිවේගී’ ක‍්‍රමවේදයයි. කොන්ත‍්‍රාත්කරුවන් විසින් ඉදිකරන මේ නිවාස සම්බන්ධයෙන් කිසිදු අදහසක් දැක්වීමට අවතැන්වූවන්ට අවස්ථාවක් නොමැත. ඉදි කරනු ලැබෙන නිවාස එලෙසින්ම ඔවුන් භාරගත යුතු අතර ඒ ඒ පුද්ගලයින්ගේ අවශ්‍යතා මත නිවාසවල වෙනස්කම් සිදුකිරීමට ඇති ඉඩකඩ අතිශය අල්පය. එසේ නැතිනම් එවැනි ඉඩක් නැති තරම්ය.

නිවාස සැලැසුම කොන්ත‍්‍රාත්කරු විසින් කලින් සැලසුම් කරනු ලැබේ. සෑම නිවාස ඒකකයක්ම වර්ග අඩි 520 න් සමන්විත වන අතර ඒවා වානේ ව්‍යුහයකින් සහ කෘතිම ජැනේලවලින් යුක්ත වනු ඇත. නිවාසවල මිලට රූපවාහිනී යන්ත‍්‍රයක, ගෘහ භාණ්ඩ කිහිපයක හා සූර්ය කෝෂ පද්ධතියක වටිනාකම ඇතුලත් කොට තිබේ.

‘‘මේ වියදම් ඇස්තමේනතුවේ පදනම පැහැදිලි නැති වූවත් එම වටිනාකම ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ නිවාස වටිනාකමට වඩා හතර ගුණයකින් වැඩි බවත්, දැනට සම්පූර්ණ කොට තිබෙන හෝ තවමත් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන වෙනත් ඕනෑම නිවාස ව්‍යාපෘතියකට වඩා මෙහි මිල ගණන් අධික බවත් ඉතාම පැහැදිලි’’ යැයි මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන සමූහයක් විසින් නිකුත් කරන ලද ප‍්‍රකාශයක දැක්වේ. මෙම ප‍්‍රකාශය සකස් කිරීම සඳහා විශේෂඥයින්ගේ හා පර්යේෂකයින්ගේ සහයෝගය ලැබී ඇත.

මෙම වටිනාකම් වෙනස අසමානතා වැඩි වීම සහ බහුවිධ සම්මතයන් ඇති වීම කෙරෙහි පමණක් නොව ප‍්‍රජාවන් අතර ආතතිකාරී තත්වයන් වර්ධනය වීම කෙරෙහි ද බලපෑ හැකි බව එම ප‍්‍රකාශය වැඩි දුරටත් දක්වයි.

2013 සහ 2015 වර්ෂ අතර කාලයේ දරිද්‍රතා අධ්‍යනය සඳහා වූ කේන්ද්‍රය (Centre For Poverty Analysis – CEPA) විසින් සංවර්ධන සහයෝගීතාවය සඳහා වූ ස්විට්සර්ලන්ත ඒජන්සිය විසින් දියත් කරන ලද නිවාස ව්‍යාපෘතිවල ප‍්‍රතිලාභීන් පිළිබඳ පර්යේෂණයක් සිදුකළේය. මෙම ව්‍යාපෘතිය අවතැන් වූවන්ට තම නිවාස ඉදිකිරීම සඳහා රු. 550 000 ක මුදලක් ප‍්‍රදානය කළේය. CEPA ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙක් වන වගීෂ ගුණසේකර මෙසේ කියයි

‘‘ සමීක්ෂණයට ලක්වූ පළමු නියැදිය තුළ නිවාස ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලයනයකට වැඩියෙන් වැය කොට තිබුණේ නිවාස දෙකක් පමණයි. දෙවැනි නියැදිය තුළ මිලියනයකට වඩා වියදම් කොට තිබුණු නිවාස ගණන තුනයි’’
සිවිල් සමාජ කණ්ඩායම් විසින් මතු කරන තර්කය වන්නේ හොඳ නිවාසයක් රුපියල් මිලියනයකින් ඉදි කළ හැකි නම් ඉතිරි මුදල ජීවනෝපාය මාර්ග හා වෙනත් අවශ්‍යතා ආදී වූ ක්ෂේත‍්‍ර මත ඵලදායීව ආයෝජනය කළ හැකි බවයි. නිවාස සඳහා අවශ්‍ය ජැනේල හා

වෙනත් ව්‍යුහයන් ආනයනය නොකොට නිවාස දේශීයවම ඉදිකළ හැකි නම් එමගින් රැුකියා අවස්ථා ජනිත වනු ඇති බවත් ප‍්‍රදේශයේ ආර්ථිකයට එය උපකාරයක් වනු ඇති බවත් ඔවුහු පවසති.

‘‘ යුද්ධයෙන් පසු ගත වූ අවුරුදු කිහිපය තුළ කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය ආශ‍්‍රිත ආදායම්වල විශාල පහත වැටීමක් සිදුවී තිබෙන අතර එය උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල බරපතල ණයගැතිභාවයක් නිර්මාණය කොට තිබෙනවා’’ යාපනයේ දේශපාලන ආර්ථික විද්‍යාඥයෙක් වන අහිලන් කදිරගාමර් කියයි. ‘‘නිවාස ඉදිකිරීමේ වගකීම එහි හිමිකරු වෙතම පවරන ඉන්දීය හා ස්විට්සර්ලනස්ත නිවාස වයාපෘති ආදී විවිධ ව්‍යාපෘති නිසා ප‍්‍රාදේශීය වශයෙන් මේසන්වරුන් හා දෛනික කුලී පදනමක් මත වැඩ කරන කම්කරුවන් ආදී ශ‍්‍රමිකයින් සඳහා නව ඉල්ලූමක් ජනිත වුණා’’

කදිරගාමර්ට අනුව නිවාස ඉදිකිරීම් තුළින් ජනනය වන මෙබඳු ආදායම් ග‍්‍රාමීය ආර්ථිකයේ වර්ධනය සම්බන්ධයෙන් වූ වැදගත් උත්තේජනයකි.

‘‘රජයේ වියදමෙන් දියත් වෙන, එහෙත් විදේශ කොන්ත‍්‍රාත්කරුවෙක් විසින් මෙහෙයවනු ලැබෙන ප‍්‍රශ්නගත නිවාස 65,000 ව්‍යාපෘතියේ තිබෙන ප‍්‍රශ්නය තමයි මේ විශාල මූල්‍ය ආයෝජනය ප‍්‍රදේශයේ ආර්ථිකය උත්තේජනය කිරීමට දක්වන දායකත්ව ඉතාම අවම වීම’’

‘‘මේ නිවාස කලින් ඉදිකරනු ලැබ මෙරටට ගෙන්වා සවි කරන වර්ගයේ ඒවා නම් වැටුප් ලෙස ග‍්‍රාමීය ආර්ථිකයට ලැබිය හැකිව තිබූ ඩොලර් මිලියන ගණනක් විදේශ ශ‍්‍රමය සහ විදේශ කොන්ත‍්‍රාත්කරුවන්ට ලාභ ලෙස ගලා යනවා’’ ඔහු වැඩිදුරටත් කියයි. ‘‘ඒ වගේම දේශීයව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් මනාව සැලසුම් කළා නම් එවැන්නක් උලූ නිෂ්පාදනය, වඩු වැඩපොලවල් වගේ නිවාස ඉදිකිරීම හා සම්බන්ධ වෙනත් කුඩා කර්මාන්ත ප‍්‍රසාරණයටත් හේතු විය හැකිව තිබුණා. එම නිසා විදේශීයව ඉදිකළ නිවාස ආනයනය කරන්නට ගත් තීරණයේ ආවස්ථික පිරිවැය බොහොම ඉහළයි’’

කෙසේ වූවද ආණ්ඩුව පවසන්නේ ඉන්දීය නිවාස ව්‍යාපෘතිය මෙන්ම ස්විට්සර්ලන්ත නිවාස ව්‍යාපෘතිය යන දෙකේම ප‍්‍රතිලාභීන් නිවාස ඉදිකිරීමේ ක‍්‍රියාදාමයේ දී ණයගැතිභාවට ලක්වූ බවයි. CEPA ආයතනයේ අධ්‍යනයන්ට අනුව බොහෝ අවස්ථාවල දී රු. 650 000 තරම් වූ ණය බරකට නිවාස හිමියෝ ගොදුරු වූහ.

සන්ඬේ ටයිම්ස් පුවත්පත වෙත අදහස් දක්වමින් පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු භාර අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන් ප‍්‍රකාශ කළේ ‘‘නිවාස හිමිකරු විසින් මෙහෙයවන’’ ප‍්‍රවේශයක් වෙනුවට ‘‘කොන්ත‍්‍රාත්කරුවෙක් විසින් මෙහෙවන’’ ප‍්‍රවේශයකට යාමට රජය තීන්දු කළේ මෙන්න මේ ප‍්‍රශ්නය නිසා බවයි.

‘‘ නිවාස අයිතිකරු විසින් නිවාසය ඉදිකිරීමේ ප‍්‍රවේශය අසාර්ථකයි. මොකද මිනිස්සු ණය වෙන නිසා’’ ඔහු කියයි.

කොහොම උනත් සිවිල් සමාජ සංවිධාන තමන් විසින් සිදුකල පර්යේෂණ මත පදනම්ව නිකුත් කළ ප‍්‍රකාශය මීට වඩා වෙනස් අදහසක් ඉදිරිපත් කරයි. ‘‘උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල නිවාස ඉදිකිරීම් හා සම්බන්ධ ණයගැතිභාවය ඉහල ගොස් තිබෙන්නේ ඒවා හිමිකරු විසින් මෙහෙවන ඉදිකිරීම් වීම නිසා නොවේ. මූල්‍ය පහසුකම් සැපයීම සඳහා සාධාරණ හා සූරාකෑමෙන් තොර ආකෘතියක් නොමැති වීම සහ ආරක්ෂිත හා හොඳ ආදායම් ලැබෙන ජීවනෝපාය මාර්ග නොමැති වීම ආදී හේතු කාරණා නිසාය ණයගැතිභාවය ඇති වූයේ ’’

‘‘නිවාස ව්‍යාපෘති හා සම්බන්ධ මෙම සැබෑ ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කරනු වෙනුවට කොන්ත‍්‍රාත්කරුවන්ට වාසිදායක වන ලෙස විශාල ප‍්‍රතිපත්තිමය විතැන් වීමක් සිදුව තිබෙන අතර ඒ ප‍්‍රතිපත්තිමය වෙනස සඳහා ප‍්‍රමාණවත් හේතු පැහැදිලි කිරීමක් ද සිදු වී නොමැත’’ සිවිල් සංවිධාන ප‍්‍රකාශය වැඩිදුරටත් කියයි.

කොන්ත‍්‍රාත්කරුවන් තෝරා ගනු ලැබූ ක‍්‍රමවේදය – විශේෂයෙන්ම එහි කඩිනම් ස්වභාවය – පිළිබඳව ද විවේචන එල්ල වී තිබේ. උතුරු නැගෙනහිර පළාත්වල නිවාස 65 000 ක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේ සැප්තැම්බර් මාසයේය. ඉන් දවස් දොලහකට පසු පුවත්පත් දැන්වීමක් මගින් ව්‍යාපෘතියට අදාල කොන්ත‍්‍රාත් සඳහා ඇරයුම් ඉදිරිපත් විය. පුවත්පත් දැන්වීමට අනුව අයැදුම් කරන පාර්ශවයන්ට සහනදායී මූල්‍ය පහසුකම් උත්පාදනය කිරීමේ හැකියාව සහ වසර පහක් තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමේ හැකියාව තිබිය යුතුය. ඉදිකෙරෙන නිවාස සාලයක්, කැම කාමරයක්, නිදන කාමර දෙකක්, කුස්සියක් හා ආලින්දයක් යන අංගවලින් සමන්විත විය යුතුය. මේ දැන්වීමට ප‍්‍රතිචාර 35 ට ආසන්න ප‍්‍රමාණයක් ඉදිරිපත් වූ අතර දැන්වීමෙන් දවස් විසි හතරකට පසු තෝරාගත් අයැදුම්කරුවන් පහලොස් දෙනෙක් ප‍්‍රසිද්ධ කරනු ලැබීය.

අමාත්‍යංශය එසේ නම් ප‍්‍රසිද්ධ කරන ලද පාර්ශවයන්ට තම තමන්ගේ සැලසුම් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා දින විසි පහක කාලයක් ලබා දුන්නේය. කෙසේ වූවද නිවාස ඉදිකිරීමට අදාල කොන්දේසි වෙනස් කෙරිණ. ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා වූ කාලය වසර පහේ සිට හතර දක්වා අඩු කරන ලදී.

ලංසු කැඳවීමට පෙර තිබූ රැුස්වීමේ දී අයැදුම්පත් ඉදිරිපත් කළ බහුතරයක් ඉල්ලූම්කරුවෝ වඩා හොඳ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා යෝජනා භාරගන්නා අවසන් දිනය දීර්ඝ කරන මෙන් ඉල්ලා සිටියෝය. කෙසේ වූවද අවසාන දිනය දීර්ඝ කරනු ලැබූයේ දවස් තුනකින් පමණි.

ඒ අනුව යෝජනා අටක් ඉදිරිපත් වී තිබේ. අමාත්‍ය ස්වාමිනාදන් පවසන පරිදි තවමත් ටෙන්ඩරය නිකුත් කොට නැත. එහෙත් විශ්වසනීය ආරංචි මාර්ග දක්වන ආකාරයට ලක්සම්බර්ගය මූලස්ථාන කොටගත් ්ArcelorMittal සමාගම වෙත ටෙන්ඩරය හිමිවනු ඇත.
‘‘අගෝස්තු මාසයේ පමණ අමාත්‍යවරයා අපට නිවාස 65 000 ව්‍යාපෘතිය ගැන් දැන්වූවා. ප‍්‍රංශ සමාගමකට කොන්ත‍්‍රාත්තුව දෙන බව ඔහු කීවා’’ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි. ‘‘ මේ අනුව පැහැදිලියි කොන්ත‍්‍රාත්තුව දෙන්නේ කාටද කියලා ඒ කාලයේම තීරණය කොට තිබූ බව. ටෙන්ඩර් ක‍්‍රියාවලිය හුදු ඇස්බැන්දුමක් විතරයි එහෙමනම්. ඒක සම්පූර්ණ රැවටිල්ලක්’’

ප‍්‍රංශ, ස්පාඤ්ඤ හා ලක්සම්බර්ග් හවුල් සමාගමක් වූ (Arcelor) සමාගම 2006 දී ඉන්දියානු හිමිකමක් තිබෙන බහුජාතික වානේ නිෂ්පාදන සමාගමක් වන (Mittal Steel) විසින් මිලට ගන්නා ලදී. ArcelorMittal සමාගම නිර්මාණය වූයේ ඒ අනුවය.

‘‘ මේ නිවාස ජාත්‍යන්තර ප‍්‍රමිතිය අනුව ඉදිකරාවි’’ ඇමති ස්වාමිනන්දන් පවසයි. ‘‘ ලෝකයේ හොඳම නිවාස අතර මේ නිවාස තිබෙන බවට සැකයක් නැහැ’’

ව්‍යාපෘතියට අදාල කොන්ත‍්‍රාත්තුව ලබාදීමේ අධිවේගී ක‍්‍රියාවලිය පිළිබඳ එල්ල වී තිබෙන චෝදනා ඔහු ප‍්‍රතික්ෂේප කරයි.

‘‘එහෙම හදිසියක් තිබුණේ නැහැ. ඒකට මාස තුන හමාරක් ගතවූවා. තවම ටෙන්ඩර් ක‍්‍රියාවලිය අවසන් වෙලා නැහැ. ටෙන්ඩරය ලැබිය යුතු සමාගම තවමත් තෝරාගෙන නැහැ’’

නිවාස ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභීන් කවුද යන්න අදාළ දිස්ත‍්‍රික්කවල ආණ්ඩුවේ ආයතනවල අදහස් විමසා බැලීමෙන් ඉක්බිති තීරණය කරන බව අමාත්‍යවරයා පවසයි. අවතැන්වූවන් සඳහා ප‍්‍රමුඛත්වය ලැබෙනු ඇත.

එහෙත් රජයේ පරිපාලන ආයතන තවමත් මෙම කරුණු පිළිබඳ දැනුවත් නැත. යාපනය, කිලිනොච්චිය හා මුලතිවු දිස්ත‍්‍රික්කවල දිසාපතිවරු අප සමග ප‍්‍රකාශ කළේ තවමත් නිල වශයෙන් ව්‍යාපෘතිය පිළිබඳ තමන්ට දැනුම් දී නැති බවත් එවැන්නක් තිබෙන බව ‘සමහර පුද්ගලයින්’ පවසනු පමණක් අසා තිබෙන බවත්ය.

*2016 ජනවාරි 17 වැනි දා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ “Houses at Rs. 2 m. each for North-East displaced” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය

Print Friendly

ව්‍යවස්ථාව පිළිබඳ පලහිලව්ව

$
0
0

සෝමපාල ගුණධිර

සෝමපාල ගුණධිර

සෝමපාල ගුණධිර

අලුත් අවුරුද්දේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන්නට ආණ්ඩුව පොරොන්දු වී තිබිණ. දැනට වලංගු ව්‍යවස්ථාව කාලානුරුප කර, තවම අවුරුද්දක් ගත වී නැත. ජයෝදාවත් සමග, උත්සවශ්‍රීයෙන්, ඒ කටයුත්ත සැල කළ නමුත්, පැලැස්තර දැමූ ලේඛනයක් ඉතිරි කොට වැඩේ හීන්සීරුවේ නිමාවට පත්වුණේය. අලුත් අවුරුද්දේ නමෝවීත්තියෙන් ව්‍යවස්ථාවක් ගෙන එන්නට රට කරවන්න්නන් පෙළඹ වුයේ ඒ පටලැවිල්ල විය යුතුය.

අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී, ගිය අවුරුද්දේ එවැන්නක් සඳහා ගත් උත්සාහය ව්‍යාර්ථ වුයේ මන්දැයි සිතා බැලීම නුවණට හුරුය. එහිදී ඇතැම් පාරළිමේන්තු මන්ත්‍රීවරුන් යෝග්‍ය පරිදි, ජාතික අවශ්‍යතාවක් සපිරීමේ පරමාර්ථයෙන් ක්‍රියා නො කළ බව පැහැදිලි විය. පැහැදිලිවම ඔවුන් මෙහෙයවනු ලැබුවේ කණ්ඩායම් අතර ඇති භේදයන්ට වඩා ඒවා තුළම වූ හැලහැප්පිලිවලිනි. පැවති අධිකාරයට හිතවත් කණ්ඩායම ඒ දෝස්මුර දැම්මේ ප්‍රතිපත්ති මුලකව නොව, උපායමාර්ගයක් වශයෙනි. දබරය මුහුකුරා යත්ම, ආරම්භයේදී ප්‍රකාශිත යහප්‍රතිපත්ති හුළඟේ ගියේය. ඔරුව නො පෙරළී, බේරා ගැනීම සඳහා, නොයෙක් ඉඩප්‍රස්ථා දී, කේවෙල් කරන්නට බලධාරීන්ට සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ වහාම විසඳා ගතයුතු අවුල්ජාලයකි. ඒ තත්වය තවමත් පහව ගොස් නැත. ඇත්ත වශයෙන් එය තව තවත් කුරෝළු වෙමින් පවතී.

ඇම හා කේවෙල්

අලුත් ව්‍යවස්ථාව හදන්නට පෙර, ඒ සම්බන්ධයෙන් ගිය අවුරුද්දේ දැරූ උත්සාහයට සිදු වූ ඉරණම මෙනෙහි කිරීම ප්‍රයෝජන වත් වනු ඇත. ව්‍යවස්ථාවක් සෑදීමේ දී, මන්ත්‍රීවරුන්ට තමන්ගේ යුතුකම් හා සදාචාරය අමතක කරවන හේතු හා හිඩැස් මොනවා දැයි අප විසින් සොයා බැලිය යුතු ය. නිදහස ලැබූ දා පටන්, කීප වතාවක් ම උත්සාහ ගත් නමුත්, කාලයටත්, පරිනාමණයටත් ඔරොත්තු දෙන, ව්‍යවස්ථාවක් හදා ගන්නට අපට නො හැකි වූ බව ප්‍රත්‍යක්ෂ ය. නව ව්‍යවස්ථාවක් තැනූ සෑම අවස්ථාවක ම, කාලය හා අත්දැකීම විසින් එහි අඩුපාඩු පෙන්වා දෙන තෙක්, එය ඉස්තරම් යයි අප සිතා සිටි හැටි විස්මය ජනක ය. ශිෂ්ට ලෝකයේ නියම ප්‍රජාතන්ත්‍රවාදී ජාතියක් වන්නට අපට සැබෑ උවමනාවක් ඇත්නම් පෙර කළ වැරැද්දෙන් මෙවර වැළකෙමු.

ජාතිවාදය, ආගම්වාදය වැනි හේතු කීපයකට අමතරව, අපේ ව්‍යවස්ථාදායකය සුදු පොලක් බවට පත් කළ, හේතු දෙකක් මම දකිමි.

1. ඉන් එකක් ඇම දැමීමයි. එනම් බලයේ රැඳී සිටීම සඳහා, නායකයන් තමන්ගේ බහුතරය තර කර ගැනීම පිණිස, සාමාජිකයන් ඇද ගැනීම සඳහා රෙපෝරු වශයෙන් ඇමති තනතුරු පාවිච්චි කිරීම යි. පාරලිමේන්තුවේ බහුතරය යෝග්‍ය පරිදි, ප්‍රතිපත්ති මත නොව, වාසිය හා ලාභය මත රැඳී ඇත්තේ මේ කේවල් කිරීම හේතු කොට ගෙන ය.

2. අනික හෙට්ටු කිරිම යි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බලයේ රැඳී සිටීම සඳහා පක්ෂයෙන් පක්ෂයට මාරු වීමෙන් මේ තත්වය ඇති වේ. මෙහි දී, තමන් කෙරෙහි ඡන්දදායකයන් තැබූ විශ්වාසය බිඳ දැමීමට ඔවුන් මෙහෙය වනු ලබන්නේ, බලයට ඇති කෑදර කමෙන් ජනිත වන පෞද්ගලික වාසිය යි. ජනතා විශ්වාසය බිඳ දැමීමට ප්‍රධාන වශයෙන් වගකිය යුත්තේ ව්‍යවස්ථාවේ 99 (13) වගන්තිය, පියවරෙන් පියවර දියාරු කළ, අධිකරණය යි.

සූදු පොලක්

දේශපාලන ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් ඔට්ටු මඩුවක් බවට පත් වුන හැටි ප්‍රත්‍යක්ෂය. අපේ දේශපාලන ඉතිහාසය පුරාම විද්‍යමාන වූ මේ ප්‍රවණතාවය 2004 දී උත්සන්න වී, සියුම් බල තුලනයක්, ඒකාධිකාරයක් බවට පත් කළේ ය. එහෙත් ඊට අභියෝග කළවුන්ගේ කාර්යසාධනය ඊටත් අන්ත වී තිබේ. කාලයක් තිස්සේ යටපත් වී තිබුණු, ජනතා අභිලාෂයක් සන්තර්පණය කරමින් 19 වන සංශෝධනය කඩිමුඩියේ සම්මත කර ගන්නා ලදී. එමගින් රට පුරා නැගුණු ප්‍රීති ඝෝෂා මධ්‍යයේ අමාත්‍යාංශ ගණන, සාධු සිතින් 35ට සීමා කරන ලදී.

එහෙත් මාස කීපයක් ගත වන්නට පෙර, සංශෝධනය තුළ උපක්‍රමශීලිව සඟවා තිබූ ගැටයක් ඔස්සේ ඒ සීමාව හීන්සීරුවේ උල්ලංඝනය විය. උල්ලංඝනයට මග පෑදූ අවසරය රඳා තිබුණේ කැබිනෙට්ට්වේ ප්‍රමාණය අනුව නොව හරවා ගත යුතු ප්‍රතිලාභ අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව මත බව පෙනී ගියේ ය. එමගින් පාලක පිළ ශක්තිමත් කරන්නට අවශ්‍ය මන්ත්‍රීවරුන් ගණනට සමාන අමාත්‍යාංශ ගණනක් මවන්නට රජයට අවස්ථාව පෑදුණ නමුත්, ඒ පියවර නිසා ප්‍රතිපාදන නාස්තියේ බර දරන්නට සිදු වූ, ඔවුන් බලයට පත් කළ, ජනතාව අතරේ ආන්දෝලනයක් ඇති කළේ ය.

මේ උප්පරවැට්ටි නිසා අපේ පාරලිමේන්තුව වෙන්දේසි පොලක් බවට පත් වී තිබේ. එමගින් ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් අතර තිබිය යුතු සාමාන්‍ය අනුපාතය උඩු යටිකුරු වීම නිසා අපේ ව්‍යවස්ථාදායකය විහිළුවක් බවට පත් වී ඇත. තවත් අමාත්‍යංශ ළඟ දීම තනන්නට යන බවක් ද සැල ය. උපරිම සීමාව කාර්යභාරය නොව පාරලිමේන්තුවේ සිටින මන්ත්‍රීන් ගණන බව පෙනේ. පාලකයන්ගේ වාසනාවට ශබ්දකෝෂයේ පදවි නාම හිඟයක් නැත.

වෘත්තීය ප්‍රවේශයක්

2015 ඔක්තෝබර් 2 දා අයිලන්ඩ් පත්‍රයේ පළ වූ “අලුත් ව්‍යවස්ථාවක් තැනීම: ප්‍රජාතන්ත්‍රවාදයේ සැඟවුණු ඒකාධිකාරයෙන් වැළකෙන්න” නමින් පළ වූ මගේ ලිපියේ මෙසේ සැල කළෙමි:

“අලුත් ව්‍යවස්ථාවක් තනන ප්‍රයත්නයේ දී, අතීත අත්දැකීම්වලින් වර්තමාන රජය ඉගෙන ගත යුතු පාඩමක් ඇත. එනම් තමන්ගේ පුද්ගලික වාසිය හා මහජන සුබ සිද්ධිය අතර ඇති විය හැකි ගැටීම නිසා, බලයේ සිටින මන්ත්‍රීවරුන් ව්‍යවස්ථා කරණයට සහභාගි වීමෙන් එය විකෘති වීමට ඉඩ තිබෙන බව ය.. මෙසේ සිදු විය හැක්කේ නඩුවත් බඩුවත් තමන් සතු වීම නිසා, ඔවුන්ගේ පෞද්ගලික වාසිය ජනතා අවශ්‍යතාවට උඩින් තැබීමට ඉඩ ඇති බැවිනි. එපමණක් නොව, ලේඛනයේ දර්ශනය හා පරිමාව ද ව්‍යවස්ථා දායකයාගේ නිපුණත්වයට සීමා වේ. ඒ තත්වය වළකා ගැනීම සඳහා යෙදිය යුතු ප්‍රත්‍යක්ෂ පිළියම නම් පෞද්ගලික බලපෑම්වලින් හා සීමාවන්ගෙන් වියුක්ත වීම පිණිස ක්‍රියාකාරී දෙසපාලකයන්ට විවෘත නො වූ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලවා ව්‍යවස්ථාවේ කෙටුම්පත සකස් කරවීම යි. අතීත අත්දැකීම්වලින් පැහැදිලි වන්නේ, ව්‍යවස්ථාවක් ජනහිතකාමී, සමබර නීතියක් කරන්නට අවශ්‍ය නම් එය නිර්මාණය කිරීමේ කටයුත්ත තාවකාලික ව්‍යවස්ථා දායකයන් කණ්ඩායමකට පැවරීම අඥාන ක්‍රියාවක් බව ය.

ඇරත් ව්‍යවස්ථාව ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කරන ලියවිල්ලකි. ව්‍යවස්ථාදායකය ඒ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන එක අංශයක් පමණි. සීමිත කාලයක් තුළ, නියමිත වැඩසටහනක් මෙහෙය වන්නට තේරී පත් වන ඔවුන්ට ජනතාවගෙන් වරමක් නො ලබා පවතින ව්‍යවස්ථාව වෙනස් කරන්නට බලයක් නැත. ඒ හේතුව නිසා, පසුගිය දා පාරලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ සඳහන් යෝජනාව ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීමකි. ඒ සත්‍යය වැටහීමෙන් දෝ, දැන් ඒ යෝජනාව අකුළ ගෙන ජනතාවගේ අදහස් විමසීම සඳහා රට වටා යන කමිටුවක් පත් කර තිබේ.

ඒ පියවරෙන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අනිත් පර්යන්තයට තල්ලු වී ඇත. අසංවිධිත කණ්ඩායමකට හිතුමතේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා පිටවාන විවෘත කර තිබේ. එසේ කිරීමේ දී, පිල් බෙදීම නිසා අලුත් ව්‍යවස්ථාවක් තැනීමට විරුද්ධ කල්ලියක් ඇති බව අමතක වූ සේ ය. දිස්තිරික්කයෙන් දිස්තිරික්කයට යාමට නියමිත වීදි නාටකය විසිරි සිටින, නො දැනුවත් ජනතාව අතර කලබල ඇති කිරීමට යොදා ගෙන, වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්නට ඔවුන්ට ඉඩ ඇති බව නො පෙනුණේ ද? සුලබ ජනප්‍රියත්වයක් පතා, ගෙන ඇති ඒ පියවරේ දුර්විපාකයන්ට මුහුණ දීමට රජය සුදානම් බවක් නො පෙනේ.

පළාත් සභාවලට තැනක්

ඇරත් අතරමග අහම්බෙන් එකතු කර ගත් පුද්ගලික මතවල ඇති ව්‍යවස්ථාමය වටිනාකම කුමක් ද? ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ඇති විය හැකි අර්බුදවලට වග කියන්නේ කවුද? ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ මූලික පියවරක් වශයෙන් ජනතා මතය විමසිය යුතු බව සත්‍යයකි. එහෙත් ඒ විමසීම නිසි පරිදි සංවිධානය විය යුතු ය. ජනමත විමසීමක් නියම කර ඇත්තේ ඒ නිසා ය. පරිපූර්ණ ජනමත විමසීමක් පැවැත් වීමට අවශ්‍ය අවබෝධය හා තාක්ෂණය මෙරට සතු නො වීම අභාග්‍යයකි. ඒ අඩුව පිරවීමට ඇති හොඳ ම විකල්පය දැනටමත් පිහිටුවා ඇති පළාත් ආණ්ඩු ක්‍රමය යොදා ගැනීම යි.

පළාත් සභා විමසීමෙන් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගත හැක. මහා රජයෙන් තමන්ට නිසි තැන නො ලැබීම ගැන පළාත් සභා කලකිරී සිටින බව පැහැදිලි ය. මේ නො සැලකිල්ලට එරෙහිව නඩු මගට බහින බවට පවා තර්ජන එල්ල වී තිබේ. එබඳු පසුබිමක ව්‍යවස්ථාව පිළිබඳ ව ඔවුන් විමසීමෙන් අන්නෝන්‍ය සම්බන්ධය තහවුරු වී, ඔවුන් මහ රජයට වඩා සමීප කෙරෙනු ඇත.

පළාත් සභා විමසීමෙන් ලැබිය හැකි තවත් සැඟවුණු වාසියක් තිබේ. පළාත් සභා පිහිටුවීමේ එක ම පරමාර්ථය විසිරෙන සුළු ජන කොටස් රඳවා ගැනීම බව පෘථුල දුර්මතයකි. එනිසා ඔවුන් අතර ඇති පොදු ප්‍රශ්න රාශියක් අමතක ව ගොස් තිබේ. එක ම වේදිකාවක ඔවුන් විමසීමෙන් ඔවුන්ගේ පොදු ප්‍රශ්න ඉස්මතු වී එකට එකතු වී, ඒවාට සාමූහික විසඳුම් සොයන්නට ඔවුන් පෙලඹෙනු ඇත. එසේ කිරීමේ දී, වාර්ගික ප්‍රශ්න යට පත් වී, ආර්ථික හා කළමනාකරණ ප්‍රශ්න ඉස්මතු වී, ඒවාට විසඳුම් සොයන්නට ගන්නා සාමූහික ප්‍රයත්නයේ දී, පරම්පරා ගත එදිරිවාදිකම් කාලයත් සමග මැකී යාම ස්වාභාවික ය.

අසාධාරණ සීමාවක්

ව්‍යවස්ථාව වෙනස් කිරීමේ බලය පාරලිමේන්තුව පවරා ගෙන ඇත්තේ, සෝල්බරි ව්‍යවස්ථාවේ නියමයක නෂ්ටාවශේෂයක් වූ 1978 ව්‍යවස්ථාවේ 82 වගන්තිය යටතේ විය යුතු ය. එහි ප්‍රතිඵලය යටගිය ව්‍යවස්ථාදායකයක බලය පණ ගැන්වීමකි. 1972 ව්‍යවස්ථාව ඒ බලපෑමෙන් ඉවත් වී, පාරලිමේන්තුවෙන් පිට තැනක අලුතින් ම ව්‍යවස්ථාවක් නිර්මාණය කළේ ය. ඔවුන් අතින් වෙනත් වැරැද්දක් සිදු විය. එනම් ව්‍යවස්ථා නිර්මාණය මන්ත්‍රීන්ට පමණක් සීමා කිරීම ය. එනිසා පරමාධිපත්‍යය දරන ජනතාව කොන් වී මන්ත්‍රීන්ගේ සිතැඟි පමණක් ඉස්මතු විය. ප්‍රතිඵලය වුයේ ව්‍යවස්ථාව ඒකාධිපති ස්වරූපයක් ගැනීම යි.

මෙබඳු පසුබිමක, 1972 දී මෙන්, ඓතිහාසික හේතූන් නිසා, තමන් මත පැටවෙන බැඳීම් පසෙක ලා, ජනතා සහභාගිත්වය පිළිබිඹු කරන, ව්‍යවස්ථාදායක සභාවක් නිර්මාණය කිරීම බුද්ධි ගෝචර ය. මෙහි දී ජනතාව සමග ඇති කර ගත හැකි හොඳ ම ව්‍යුහාත්මක සම්බන්ධය රාජ්‍ය තන්ත්‍රයේ දැනට පවතින සැකිල්ල යි. ඒ අනුව, දැනට බලපවත්වන දේශපාලන ආරුක්කුවේ පුරුක් පහත දැක්වෙන පරිදි සංග්‍රහ කොට, ව්‍යවස්ථාදායක සභාවක් පිහිටු වන්නැයි මම යෝජනා කරමි.

1. සෑම පළාත් සභාවකින් ම නියෝජිතයෙක්

2. පාරලිමේන්තුවේ නියෝජනය වන සෑම පක්ෂයක ම නියෝජිතයෙක්

3. විරුද්ධ පක්ෂයේ නායක

4. කථානායක

5. අගමැති

ව්‍යවස්ථාදායක සභාවේ මුලසුන ජනාධිපතිට පිරි නැමේ.

සර්වතෝභද්‍ර කෙටුම්පතක්

සාකච්ඡා මෙහෙයවීම සඳහා අග්‍රගණ්‍ය කෙටුම්පතක් අවශ්‍ය වේ. රජය විසින් ව්‍යවස්ථා කරණයට සහය වීමට පත් කර ඇති කමිටුවේ සාමාජිකයන්ගේ සුදුසුකම් ගැන ප්‍රශ්නයක් නැති නමුදු, ඒ සෑම කෙනෙකුට ම නියමිත කර්තව්‍යයට, විශේෂයෙන් ම කෙටුම්පත් කාර්යයට, අදාළ වෘත්තීය නිපුනත්වය හා අත්දැකීම ඇද්දැයි ප්‍රශ්නයක් මතු වේ. මෙරටේ එබන්දන්ගේ අඩුවක් ඇතුවා නො වේ. තමන්ගේ විශේෂඥ දැනීමෙන් හා අත්දැකීමෙන් කෙටුම්පත පෝෂණය කළ හැකි කීප දෙනෙකු ම මම දනිමි. ඔවුන් අතර, ව්‍යවස්ථා කරණ ක්‍රියාවලියට සක්‍රිය ව සහය වී ඇති විශ්‍රාමික ලේකම්වරු, ව්‍යවස්ථා නීතිය ප්‍රගුණ කළ, ජාත්‍යන්තර ආභාසය ලත් විශේෂඥයෝ, මහාචාර්යවරු සිටිති. ඔවුන්ගෙන් සමහරු නිතර මේ විෂය ගැන පුවත්පත්වල අදහස් පළ කරති. පාරලිමේන්තුවේ පළ වන විවිධ මත සංග්‍රහ කොට, ආදර්ශ කෙටුම්පතක් සකස් කරවා ගැනීම සඳහා ඔවුන්ගේ දේශපාලන ප්‍රවණතා නො සලකා, එබඳු පුද්ගලයන්ගේ සහාය ලබා ගත යුතු යයි යෝජනා කරමි.

එබන්දන් ප්‍රවර්තන ව්‍යාපෘතියට සහභාගී කර නො ගැනීම මවිතයට කරුණකි. ඔවුන් කොන් වී ඇත්තේ දේශපාලන හේතුන් මත ද? ව්‍යවස්ථා සම්පාදනය, තරඟකාරී හෝ විරුද්ධවාදී ක්‍රියාවලියක් නො වන බව මෙනෙහි කළ මැනවි. එහි සාර්ථකත්වය රඳා ඇත්තේ, සම්මුතිය මත ය. ඒකාබද්ධ විපක්ෂය ඉදිරි පත් කළ යෝජනා කීපයක් පිළිගැනීමෙන් පසු ඔවුන් දැක්වූ සුබ ප්‍රතිචාරය මේ සත්‍යය ඔප්පු කර ඇත. අලුත් ව්‍යවස්ථාවේ සාර්ථකත්වය රඳා ඇත්තේ, අදාළ පාර්ශවවල නියෝජනයත්, අවංක සම්මුතියත් මත ය. වාර්ගික හා ආගමික විෂයන්ට සම්බන්ධ වගන්තිවලට පරස්පර මතවාද ඉදිරිපත් වී හැක. බහුතරයේ පරම්පරා ගත අයිතිවාසිකම් යට පත් කරතියි සැක කෙරෙන පියවරයන්ට විරුද්ධ ව ඇතැම් කණ්ඩායම් විසින් දැනටමත් උද්ඝෝෂණ පවත් වති. කෙටුම්පත් කරුවන් ඉදිරියේ ඇති අභියෝගය එබඳු හැල හැප්පිලිවලට ඉඩ නො තබා පිටපත සකස් කිරීම ය.

මහජන යහපත පාව දිය නො හැක

පරිසමාප්ත කෙටුම්පතක් සැකසීම කටයුත්තෙන් බාගයක් පමණි. අනිත් බාගය, 19 වන සංශෝධනය අනුමත කිරීමේදී සිදු වුනාක් මෙන්, තමන්ගේ පෞද්ගලික වාසිය සලසා ගැනීම සඳහා එය විකුර්ති කිරීමට මන්ත්‍රීවරුන්ට ඉඩ නො දීම ය. තමන්ගේ පෞද්ගලික ස්ථාවරයන්ට හෝ වාසියට පටහැණි වගන්ති ඔවුන් නියාලු ව පිළිගනිතැයි සිතීම ප්‍රඥාගෝචර නො වේ. එබඳු අවස්ථාවක දී, ඔවුන් ස්ථාවර නියෝග තුළ ඇති හිඩැස්වලින් රිංගා පනත අනුමත කර ගැනීමට බාධා කිරීමෙන් දෙපාවක් මතු වනු ඇත. අමාත්‍යංශ ගණනට උපරිම සීමාවක් හෝ පිල මාරු කිරීමට තහනමක් ඔවුන් ඉබේම පිළිගනිද්ද? ඊට නායකත්වය ද, 19 වන සංශෝධනයේ දී දැක්වූ, ප්‍රතිචාරය ම දැක්වුව හොත් අලුත් ව්‍යවස්ථාවත් පරණ පාරේ ම යනු නො අනුමාන ය. ව්‍යවස්ථා කරණ ක්‍රියාවලියට මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගත යුතු නැතැයි යෝජනා කෙරෙන්නේ ඒ නිසා ය. ඊට ව්‍යතිරේකය, සෑම මට්ටමක ම නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සැකසුණු ව්‍යවස්ථාවකට දැක්වෙන පෞද්ගලික විරුද්ධත්වයක නෛතික වටිනාකම තීරණය කරන්නට උපරිමාධිකරණයට පැවරීම ය. නැතහොත් ඒ විරෝධතා ජනමත විචාරණයකට යොමු කිරීම ය.

Print Friendly

සිංහ ලේ: මස්වැද්දාගේ දේශප්‍රේමය

$
0
0

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ‘ජාතිවාදය’ යන වචනය/සංකල්පය අදාළ වන්නේ එකිනෙකට පරස්පර පැති දෙකකිනි. පසුගිය ජනාධිපතිවරණය අභියස මහින්ද කල්ලිය වෙතින් අප දුටු රස්තියාදුකාර මැර හැසිරීමෙහි නියත ලක්ෂණයක් වූයේ සිංහල-බෞද්ධ අන්තවාදය වූ අතර ඊටම සරිලන චීවරධාරී නඩයක් විසින් මහින්ද වෙනුවෙන් බුදු දහම කෙළෙසීමේ මුද්ධ උත්සාහය අපූරුවට සාධාරණීකරණය කරනු ලැබිණ. මහින්ද මෙන්ම ඔහුගේ සහචරයින් පිරිසද හැසිරුණේම ලංකාවේ ආණ්ඩු කරවන්නට නම් සිංහල-බෞද්ධ ඡන්ද පදනම ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වැනි හැඟීමකිනි. එහෙත්, මහින්ද වටහා නොගත් වැදගත්ම කාරණය වූ සුළු ජාතික ඡන්දවල තීරණාත්මක බලපෑම ජනාධිපතිවරණයේදී මනාව ඔප්පු වූ අතර එහි වැදගත්ම ගම්‍යාර්ථය ලෙස අප ගත යත්තේ සුළු ජාතික ජන මතය ලංකා දේශපාලනයේ දිශානතිය තීරණය කිරීම සඳහා කොතරම් වැදගත්ද යන්නයි. ජාතිවාදය ගැන කරන සංවාදයකදී එකී මාෆියාවෙන් ශ්‍රී ලංකා ජන සමාජය විකෘති කරන්නට මහින්ද දෘෂ්ටිවාදය විසින් දැක්වූ මෑතකාලීන දායකත්වය අමතක කළ නොහැක. විකෘති කරන ලද ජාතික කොඩි ඔසවාගෙන, වෛරී ප්‍රකාශ නිකුත් කරමින් තැන තැන නටන ‘මහින්ද පැටවු’ අදටත් එම තර්කයට ප්‍රායෝගික නිදර්ශන සපයමින් සිටිති.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ සිය ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂගේ දේශපාලනික උපායමාර්ගයේ ප්‍රතිපක්ෂය වූ ‘යහපාලනය’ හා ‘වාර්ගික සංහිඳියාව’ වැනි පොරොන්දු වැකි ඉදිරිපත් කරමින් බව අපට අමතක නැත. මහින්ද විසින් අවුළුවනු ලැබ තිබුණු ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීමද ඒ අතර විය. මෙවැනි පසුබිමක් තුළ ‘ජාතිකත්ව’ කතිකාවට අදාළව අපට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දෙස බලන්නට සිදු වන්නේ වෙනස් ඇසකිනි. මෑත අතීතය තුළ තමන් විසින්ම කියන ලද කතා ‘නොකී ගානට’ හැසිරෙන්නට හැක්කේ හෘද සාක්ෂියක් නැති අයෙකුට පමණි. එහෙත්, ජනාධිපති මෛත්‍රීපාල එවැන්නෙකැයි අපට කිසිසේත්ම නොසිතේ. තමන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ කියනු සඳහා එවකට මහින්ද රජයේ හවුල්කාරයින්ව සිටි තවත් පිරිසක් සමග මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු ගම්‍ය කළ මූලික අදහසක් වූයේ මහින්ද රෙජීමයේ දූෂිතභාවය හා මර්ධනය දරාගත නොහැකි තැන ඉන් කැඩී වෙන් වන්නට හිත හදා ගත් බවයි. මට මේ ලියන මොහොතේද එදා මෛත්‍රීපාල සිරිසේනගේ මුහුණේ හැඟීම් මැවී පෙනේ. එවැනි පුද්ගලයෙකු යටතේ පාලනය වන රටක් අප දකින්නට බලාපොරොත්තු වන්නේ මීට වඩා සහමුලින්ම වෙනස් මුහුණුවරකින් බව ඔහුට නොකියාම බැරි එහෙයිනි.

Maithriගෝඨාභය රාජපක්ෂගේ හෙවණැල්ලට මුවා වී පසුගිය කාලයේ බොදු බල සේනාව විසින් මෙරටට කරන ලද හානිය සුළුපටු නොවේ. ඔවුන් සිය කටයුතු ආරම්භ කළ මුල් අවධියේ ‘කොච්චර වුණත් බුද්ධාගම වෙනුවෙන් පෙනී හිටින්න කට්ටියක් ඉන්න එක හොඳයි’ කී ඇතැම් අය පවා අවසානයේදී මෙම පහත් අන්තවාදීන් එළිපිටම ප්‍රතික්ෂේප කරන තැනට ඔවුන් පිරිහීම ස්වභාව ධර්මයේ නීතිය ඉස්මතු වීමක් බඳු සිදුවීමකි. බොදු බල සේනාව ගැන අමුතුවෙන් ලිවිය යුතු නොවන තරමටම ඥානසාර නම් ව්‍යාජ චීවරධාරියා ප්‍රමුඛ මොවුන්ගේ සැබෑ ස්වරූපය හෙවත් නිරුවත සමාජගත වී හමාරය. මේ අතරම සද්ධාතිස්ස වැනි තවත් බොරු භික්ෂූන් පිහිප දෙනෙකු තැන් තැන්වල අටවා ගත් විවිධ සංවිධාන හා ව්‍යාපාර හරහා බුද්ධාගම රැකීමේ මුවාවෙන් ජනතාව ගොනාට ඇන්දවූ සැටිද අමුතුවෙන් මතක් කර දීම අනවශ්‍ය තරම් මෑතකාලීනය. වරින් වර පාරට බසිමින් ඉතාම ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් මේ ම්ලේච්ඡයින් සිදු කළ විනාශයට උදාහරණ ඕනෑතරම් දිය හැක. අවසන් වශයෙන් ලංකාව සිංහල-බෞද්ධයින්ගේ බූදලයක් බව සිතන්නට පෙළඹෙන අවිචාරවත් පුරවැසි මනසක් බිහි වීම වෙනුවෙන් ඥානසාර, සද්ධාතිස්ස ඇතුළු ම්ලේච්ඡ නඩ වෙතින් එල්ල වූ බලපෑම මිනිස්ගමට නිගා දෙන්නක් බවද කිව යුතුය.

මෑතක සිට වැඩ අල්ලා ඇති ‘සිංහ ලේ’ අන්තවාදය අප වටහා ගත යුත්තේ මෙකී ආසන්නතම අතීත අත්දැකීම් ඇසුරිනි. රට, ජාතිය හා ආගම යන මේ සංකල්ප වෙනුවෙන් ඕනෑම කුණු ගොඩකට ඇන්දී අනුන්ගේ අල්ලේ නැටීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන බහුතරයක් සිටින රටක ‘ජාත්‍යාල’ ලේබලය එල්ලා ගත් මැර කල්ලිවලට පහසුවෙන්ම ඉස්මතු වීමට හැකි වීම සමස්ථ ජාතියක්ම වශයෙන් අප කම්පා විය යුතු තත්ත්වයකි. දැනටමත් ඇතැම් ත්‍රී රෝද රථ හා වෙනත් වාහනවල සිංහ ලේ ස්ටිකර් අලවාගෙන යන අවස්ථා මහමග හමු වේ. මීට අමතරව, සමාජ මාධ්‍ය භාවිත කරමින් සුළු ජාතීන්ට, විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන්ට, ඉතාම පහත් අන්දමේ මඩ ව්‍යාපාරයක්ද දියත් කර ඇති බවද පෙනේ. මේවායෙහි අන්තිම ඉලක්කය රට ජාතික රැක ගැනීම යැයි කෙනෙකු සිතන්නේ නම් එය තරම් මුළාවීමක් තවත් නොමැති තරම්ය. බහුවාර්ගික ‘රටක’ අයිතිය එක් ජනවර්ගයකට පමණක් ලියා දිය යුතු බවට කෑ මොර දෙමින් රැකෙන්නේ කවර නම් ‘රට’ද? කවර නම් ‘ජාතිය’ද? ආගමේත්, රටේත් නාමෙන් ‘බලු වැඩ’ කරන විට ඒ ආගමත් රටත් යන දෙකම ‘බලු’ වීම නොවැළැක්විය හැක්කකි. සිංහලයාටත්, බුද්ධාගමටත් ඇත්තටම ආදරේ කළ හැක්කේ සිංහලයාගේත්, බෞද්ධකමේත් නම කැත පරිදි වෛරය පැතිරවීමෙන්ද?

සිංහ ලේ මිථ්‍යාව ආශ්‍රිතව මා විසින් සිදු කර ඇති වැදගත්ම නිරීක්ෂණය නම් ඒ සඳහා කඩේ යන බොහෝ දෙනාගේ නොමේරූ ගතිය හා සමාජ-දේශපාලනික අවබෝධයයි. යම් හෙයකින් පදනම් විරහිත ආවේගශීලීත්වය හා හැඟුම්බරභාවය මනින්නට උපකරණයක් බිහි කළහොත් ඊටද ඔරොත්තු නොදෙතෙයි සිතෙන තරමේ අමුතු ආවේගශීලීත්වයකින් අන්ධව කටයුතු කිරීම මේ අයට පොදු ලක්ෂණයකි. ඒ ආවේගශීලීත්වය හේතුවෙන් වියරු වැටී ‘සිංහ ලේ යකෝ’ කියමින් ෆේස්බුක්හි status update දැම්මාට සිංහල ජාතියවත්, බෞද්ධ ආගමවත් ආරක්ෂා වන්නේ නැත. ආරක්ෂා කිරීම කෙසේ වෙතත් අඩුම තරමින් ආදරය කිරීමටවත් අවශ්‍යතාවක් මේ අය තුළ ඇත්තටම තිබේ නම් කළ යුතු වැදගත්ම දෙය කාලාන්තරයක් ගොඩගැසී ඇති ජාතිවාදී කුණු සෝදා හැරීමට දායක වීමයි. සිංහල-බෞද්ධයා යනු මැරවර රස්තියාදුකාරයෙකු නොවන බව ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට ක්‍රියාවෙන්ම කැප වීමයි. ලංකාව සිංහලයාට ලියාගත්තා කියා සුනාමි, භූ කම්පන ආදී ස්වභාවික විපත් නතර වන්නේ නැත. ‘සිංහ ලේ’ ටැටූ ගැසුවා කියා ලංකාව සදාතනික වන්නේද නැත. වැදගත් වන්නේ, වසර තිහකට අධික කාලයක් වාර්ගික අර්බුදවලින් බැට කා හෙම්බත් වුණු රටකට නැවත එවැනි ඛේචවාදකයක් උරුම නොකිරීමට කැප වීමයි. එසේ නොවන පරිදි හැසිරීමයි.

‘සිංහ ලේ’ මාෆියාවේ කුණු සේදීම හා අන්‍ය ජාතීන්ට මෙන්ම බහුවාර්ගිකත්වයට ගරු කරන අයට පහර (මූලික වශයෙන්ම ‘මඩ’) ගැසීම සඳහා ‘ෆෙස්බුක් චණ්ඩින්’ ලෙස යොදාගනු ලැබෙන බොහෝ පිරිස් ඊයේ පෙරේදා ඉස්කෝලෙන් අවුට් වුණ පොඩි කොල්ලන් වීම ගැන මට ඇත්තේ කණගාටුවකි. පැය විසිහතරම ඩේටා කපා ගනිමින් අතින් කා හරක් බලන මේ අය තේරුම් ගත යුතු වැදගත් ඇත්තක් ඇත. එනම්, මෙවැනි මූලධර්මවාදී ව්‍යාපාර ඇති කරන සහ ඒවා වැඩි වැඩියෙන් සමාජගත කරන අය එසේ කරන්නේ ‘කැහිල්ලකට’ නොව තම පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් බවයි. එය ඔවුනට යැපීම පිළිබඳ තවත් එක් උපායමාර්ගයක් නිසා එවැනි ව්‍යාජ දෘෂ්ටිවාද තමන්ගේ කරගෙන හැසිරීමට වඩා තමන්ටත්, රටටත් වැඩක් ඇති දෙයක් කිරීම අඩුම තරමින් තමන්ගේ පෞද්ගලික අනාගතය වෙනුවෙන්වත් හොඳ වනු ඇත.

මෙම පසුබිම තුළ ආණ්ඩුවෙන් අප බලාපොරොත්තු විය යුත්තේ ‘ජාතිවාදය හොඳ නෑ, අපි ඕවට කැමති නෑ’ වැනි ප්‍රකාශ නිකුත් කිරීම්වලට සීමා වීම නොවේ. මහින්ද රෙජීමය යටතේ බොදු බල සේනාව, රාවනා බලය වැනි ගෝත්‍රික කණ්ඩායම් සිවිල් ජීවිතවලටද හානි වන අයුරින් මහමගට බැස, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන විට ‘එකෙක්’ අත්අඩංගුවට ගන්නට හැකියාවක් පොලීසියට තිබුණේ නැත. ජාතිවාදය විසින් අප සමාජයට ඇති කර ඇති බලපෑම කොතෙක්ද යත්, තම අධ්‍යාපනික අයිතිවාසිකම් ඉල්ලා පාරට බසින සිසුන්ගේ ඔලු පලන පොලිසියට පවා ​’එහෙයි හාමුදුරුවනේ’ කියාගෙන දෙකට නැමෙන්නට සිදු වන තත්ත්වයක් උදා වී තිබුණි. ඊට අවශ්‍ය නෛතික හා ආයතනික ඉඩකඩ ගෝඨාභය වැන්නවුන් විසින් කදිමට සලසා තිබුණි. එහෙත්, මේ තත්ත්වයම ‘යහපාලන’ ආණ්ඩුව යටතේ බලා පොරොත්තු වීමට අප සූදානම් නැත යන පණිවුඩය පුරවැසියන් කෙරෙන් ආණ්ඩුව වෙත සන්නිවේදනය වීමද හැකි සෑම ආකාරයකින්ම සිදු විය යුතුය. මහින්ද දෘෂ්ටිවාදයේ ශෛලිය අපට ‘සෙට් වෙන’ එකක් නම් අප කිසිසේත්ම මහින්ද යවා මෛත්‍රී ගෙන්වා ගන්නේ නැත. ජාතිවාදී ම්ලේච්ඡ කල්ලිවලට එරෙහිව ගත හැකි සෑම නෛතික, පරිපාලනමය හා අධිකාරීමය තීරණ සියල්ලම ගන්නා ලෙස ආණ්ඩුවට බල කිරීමට අපට අයිතියක් ඇත්තේ එහෙයිනි.

තන පටයකට මඩු වලිග හෙවූ මෛත්‍රීගෙන් ජාතිවාදයට ප්‍රතිචාරාත්මකව මීට වැඩි සක්‍රීයතාවක් අපේක්ෂා කරන්නට සිදු වීම වැළැක්විය නොහැක්කකි. ඔහුට ඒ සඳහා බැඳීමක්ද ඇත. 2015 ජනවාරි 08 ඔහුගේ නම ඉදිරියේ කතිරය ගසමින් මෙරට බහුතර පුරවැසි පිරිසක් සන්නිවේදනය කරන්නත තැත් කළ පණිවුඩ අතර එවැනි පණිවුඩද විය.

‘රෙජීමයක්’ ‘ප්‍රජාතන්ත්‍රයක්’ බවට පරිවර්තනය කිරීම (එවැන්නක් කරන්නේ නම්) බැලූ බැල්මටම වෙනස් ලෙස කැපී පෙනෙන්නක් විය යුතුය. වෙනත් වචනවලින් කියනවා නම්, මේ දෙක කිසිදු අසීරුවකින් තොරව වෙන් කර හඳුනාගත හැකි විය යුතුය. එහෙත්, එසේ කළ හැකි වන්නේ ඒ අතර මැද අති විශාල පරතරයක් ඇත්නම් පමණි. වත්මන් ලංකාවේ සිදු වන බොහෝ ක්‍රියාකාරකම් දකින විට අපට ‘පෙර’ සහ ‘පසු’ වශයෙන් තත්ත්ව දෙකක් හඳුනා ගැනීම උගහටය. බලයට පත්ව කෙටි කලකින්ම යහපාලන ආණ්ඩුව පවා කරන්නට පටන් ගත්තේ සැබෑ ‘යහපාලනය’ වෙනුවෙන් කැපවීමටත් වඩා තමන්ගේ හැසිරීමට ඔබින පරිදි එම වචනයේ නිර්වචනය වෙනස් කර ගැනීම බවට තර්ක කරන්නට හේතු ඕනෑ තරම් තිබේ. වත්මන් ආණ්ඩුවට මහින්ද රෙජීමයේ (සහ එම දෘෂ්ටිවාදයේ) දිගුවක් ලෙස ක්‍රියාත්මක වීමට කිසිදු සදාචාරාත්මක පදනමක් නැති බවද සිහිපත් කළ යුතුය.

මෛත්‍රී, අප ඔබව පත් කළේ ඔබට ආදරේට නොව අපට ආදරේටයි!

ashanweerasinghe@gmail.com

Print Friendly
Viewing all 2980 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>