Quantcast
Channel: සිංහල – Colombo Telegraph
Viewing all 2978 articles
Browse latest View live

ආයෙත් ඒවිද ඒ (යතුරු හිලෙන් බලා සිටින) සමනළයා?

$
0
0

ගෘෂා ඇන්ඩ්රූස්

“හිරමණය එරෝප්පෙට ගෙනිච්චත් ඒකෙන් කළ හැක්කේ පොල් ගාන්ට පමණක්” බව අපේ අත්තම්මලා පැරැණ්නන් උපුටා දක්වමින් අපට කියා ඇත. හීන දීන මිනිසුන්ට ලැජ්ජා නැති බවද, ලැජ්ජා නැති කම මහමුදලි කමට වඩා ලොකු බවද ඔවුහු කියා දුන්හ. ලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකු බව පෙන්වමින් ශ්‍රී ලංකා දේශපාලනයේ නින්දිතම  ප්‍රජාතන්ත්‍රවාදයේ පාවා දීම සිදු කළ මෛත්‍රිපාල සිරිසේන සිය අධ්‍යාත්මය ද කෙතරම් නින්දිත සහ දරිද්‍ර එකක් දැයි පෙන්වමින් අද දින බත්තරමුල්ලේ පවතී මහින්ද- මෛත්‍රී ජනරැලියේදී සමරිසි පුරවැසියන්ට අපහාස කිරීමට භාවිතා කරන වචනයක් වන “සමනලයා” යනුවෙන් අපගේ ජනරජයේ අගමැතිවරයාව සහ ඔහුගේ අනුගාමික දේශපාලකයන් හඳුන්වා දුන්නේය. 

මෙම නිහීන, සිය ධුරයට ගර්භා කරන, අසික්ෂිත ප්‍රකාශය අපගේ ජනරජයේ ජනාධිපතිවරයා විසින් කරනු ලබන අවස්ථාවේ එම වීඩියෝවේ පෙනෙන්නට සිටි සියළු දේශපාලකයන් – එනම්- මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන සියල්ලෝම කොක් හඬ නගමින්, අත්පොලසන් දෙමින් සිනාසෙනු දක්නට ලැබුණි. මෙම තුච්ඡ ක්‍රියාවට සිතූ පැතූ ලෙසම රැස්වී සිටි ජනතාවද අත් ඔසවමින්, ඔල්වරසන් දෙමින් සහය දක්වනු දක්නට ලැබුණි. මෙසේ මනුෂ්‍යයකුගේ ලිංගිකත්වය පිළිබඳව අනුමාන කර ඊට ගැරහීම, තවෙකකුගේ දුර්වලතාවයක් හෝ වැරද්දක් ඔහුගේ ලිංගිකත්වය නිසා ඇති වූවක් බව සිරිසේන විසින් ප්‍රකාශ කිරීම අපගේ ජාතියේ නායකයා කෙතරම් නූගත්, අමන, පටු අදහස් දරන මෝඩයෙක් දැයි පසක් කරයි. 

මේකයිසංස්කෘතින් දෙකක වෙනස”!

අන් මිනිසුන්ගේ ජාතිය, ආගම, කුලය, ලිංගික නැමියාව, ජීවත් වන ප්‍රදේශය ආදී වශයෙන් පහත් කොට සැලකීම මිනිසකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණයකි. ඊටත් වඩා එය දීන, ග්‍රාම්‍ය, කෲර සහ අසංස්කෘතික නිවටයකුට පමණක්  කළ හැකි ක්‍රියාවකි. රනිල් හා සිරිසේන අතර ඇති බවට සිරිසේන විසින්ම කියන සංස්කෘතික ගැටුමද මෙයයි. තමාගේ නිදන කාමරයේ සිදු වන දෙය නිදන කාමරයේ තබා ගැනීමට ශික්ෂණයක් තිබීම සංස්කෘතිකය. අන් අයගේ නිදන කාමර වලට එබිකම් කරමින් යතුරු හිලෙන් මෛතුන්‍යයන් නරඹ්මින් හෝ එවැනි ෆැන්ටසි ගැන සිහින දැකීම අසංස්කෘතිකය. බලාගෙන යද්දී අපට ඉන්නේ ජනාධිපති කෙනෙක් නොව “peeping Tom” කෙනෙකි. 

දේදුනු සංවාද නමැති ෆේස්බුක් පිටුවෙහි මෙම අසංස්කෘතික භාවය හා බැඳුනු සමාජ ඛේදවාචකය ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ පහත ආකාරයෙනි. (උපුටාගැනීම):

“සදාචාරවාදී යැයි කියා ගන්නා අපේ වැනි සමාජවල පොදුවේ ලිංගික අසහනයක් තිබේ. ඇත්තටම එහි ඇති සදාචාරයක් නැත. අපි එය අත්විඳිමින් සිටිමු. පියා විසින් දියණිය අපයෝජනයට ලක් කරද්දී, ආගමික නායකයන් විසින් ළමුන් අපහරණය කරති. ළමුන් පාසැල්වලට ඇතුළු කිරීම සඳහා ගුරුවරු මව්වරුන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලති. රටට නීති සාදන දේශපාලනඥයෝ ඊට වඩා අසහනයකින් පෙළෙති. ඔවුන් ඡන්ද ලැයිස්තුවට කාන්තාවන් ඇතුළු කර ගන්නේ ද ලිංගික අල්ලස් ලබා ගෙනය. ඒ අතර නීතිය ක්‍රියාත්මක කරන හමුදාවට, පොලීසියට විරුද්ධව ලිංගික අපචාර චෝදනා එල්ල වෙයි. නීතිය පසිඳලන උසාවිය ද ලිංගික හිංසනයෙන් පිරි එකකි. මේ අතර සාම්ප්‍රදායික පවුල් ව්‍යුහයේ සුවිසල් කඩා වැටීමක් අපි අත් දකිමු. මේ කිසිවක් බැලූ බැල්මට විසඳිය නොහැක. මුවා හේනේ ගොයම් කා පලා ගිය කල, ගෙදර තියෙන මුවහමට තලනවා සේ මේ සියල්ලට වැරදිකාරයන් සේ අල්ලා ගැනෙන ප්‍රධාන සතුරෙකු වන්නේ ‘සමලිංගිකයා’ය” (උපුටාගැනීම නිමි)

සිරිසේන තමාගේ ලිංගික නැමියාවතෝරාගත්තේ” කවදාද? 

අවඥාවෙන්, මහත් ජයග්‍රාහී සහ කෘර ලෙස සිනාසෙමින් සිරිසේන කතා කරන ආකාරයෙන් හැගී යන්නේ ඔහු සමලිංගිකත්වය යනු පහත් කොට සැලකිය යුතු දුර්වලතාවයක් ලෙස සලකන බවය; එය  අවඥා සහගත තෝරා ගැනීමක් බවය. ලිංගික නැමියාව අප විසින් සවිඥානිකව තෝරා ගනු ලබන්නක් යයි මේ නුගත් ජනාධිපති සිතයිද? ඔහු සිතන්නේ නව යොවුන් වියට එළඹෙන මනුෂ්‍යයින් රෝස පාට කමිසයද? නිල් පාට කමිසයද කියා ඇඳුමක් තෝරන්නාක් මෙන් ලිංගිකත්වය තෝරා ගන්නවා කියාද? එසේ නම් සිරිසේන විෂම ලිංගිකයෙක් වීමට තෝරා ගත්තේ කවදාද?  

තවද, සිරිසේන කියු පරිදි ඔහු කරු ජයසූරියට අගමැතිකම භාර ගැනීමට ආරාධනා කළේය. කරු ජයසුරිය විෂම ලිංගිකයෙක්දැයි සිරිසේන සහසුද්ධයෙන් දන්නවාද? එතකොට ඊළඟට ඔහු ආරාධනා කළ සජිත්? සජිත් විෂම ලිංගිකයෙක්ද? සිරිසේන කරුගේ සජිත්ගේ කාමරයේ යතුරු හිලෙන් බලා සිටද ඒ දෙදෙනාට ආරාධනා කළේ අගමැති වන්නට? දිනේෂ් ගුණවර්ධන ඒ සභාවේ කොක් හඬලන්නේ මන්ද? ඔහුගේ සියලු සහෝදරයන්-නෑසියන් විෂම ලිංගිකයන්ද? එම සභාවේ සිටි පොහොට්ටුවේ මහා ලේකම් ජී එල් විෂම ලිංගිකයෙක් කියා සිරිසේන සහතික කරගෙන ඇත්ද?

එමතුදු නොවේ, තමාගේ දරුවකු හෝ මිනිබිරියක කෙදිනක හෝ තමා සමරිසි ලිංගික නැමියාවක් ඇති අයෙකු බව නොකියනු ඇතැයි සිරිසේනට සහතිකයක් තිබේද? එවැනි සහතිකයක් අප කාහට හෝ තිබේද? අප ආදරය කරන්නෙක් එසේ වුවහොත් අපි වේදිකාවක නැගී ඔවුන්ට ඔලොක්කුවට සිනාසෙනවාද? ගරහනවාද? තවද, සිය ධූරයේ බලය පාවිච්චි කර යටත් රජයේ සේවිකාවන් සමග කාර්යාලය තුළ සහවාසයේ යෙදීම, රාජ්‍ය දේපොළ භාවිතයෙන් එම කාන්තාවන්ට අයුතු ලෙස මුදල් ඉපයීමට මග සැලසීම, විදේශ සවාරි ලබාදීම, ඒවා පිලිබඳ සාක්ෂි දේශපාලන පසමිතුරන් අතට ගිය විට ඒවා වැසීමට ජනමතය පාවා දෙමින් ඩීල් දැමීම ජනාධිපතිගේ ලිංගිකත්වයේ කොටසක්ද? නැතිද? 

සිරිසේන, දෛවය ඔබ සිතනවාට වඩා අනපේක්ෂිතය; නාටකීයය; එහි කාව්‍යමය යුක්තියක් ඇත. මිනිසුන්ට අවඥා කිරීමට පෙර දහස් වර සිතන්න!

ආයෙත් ඒවිද සමනළයා?

දේශපාලන දළඹුවෙක්ව, කඳුළු සලමින්, රාජපක්ෂවරයකුගේ අනාගත අභිෂේකය හමුවේ සිය දේශපාලන ජීවිතයේ අවසානයට ලඟා වී සිටි මෛත්‍රිපාල සිරිසේනව රන්වන් පාට සමනලයකු කොට ඔහුගේ රූපාන්තරණය සම්පුර්ණ කරනු ලැබුනේ එජාප, ශ්‍රීලනිප ඇතුළු තවත් සමාජ බලවේග රැසක අනුහසිනි. 2019 ආපසු සමනළයෙක් ව පියාඹීමට සිහින මවන සිරිසේන මදුරුවකු වෙන් මහින්ද රාජපක්ෂ අත්ලෙන් ඛේදනීය ලෙස චප්පා වීමට වැඩි කලක් ගත නොවනු ඇත. ඔහු අද වේදිකාව මත පෙන්වූයේ යහපාලන සහජීවනය බිදී යාමට ඔහු කෙතෙරම් දායකත්වයක් සපයන්නට ඇතිද යන්නයි. මර්වින් සිල්වා, ඔසී අබේගුණසේකර, රාජිත සේනාරත්න, චතුර සේනාරත්න, පවිත්‍රා වන්නිආරච්චි පන්නයේ කුණු වුනු දිව සහිත, කුණුහරුප වලින් සැදුනු, කුණු වුණු දේශපාලනයේ නියෝජිතයා තමා බව පමණක් ඔහු අද පසක් කළේය. මෙවැනි තුන්වැනි පන්තියේ, මුග්ධ කතාවකින් චිත්තවේග කළමනාකරණයේ කෙළ පැමිනි රනිල්ව සොලවන්නට සිරිසේනට බැරිය. සමහර විට රනිල්ට මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට ඔහු හැමදා කරන පරිදි නිකම් ම බලා සිටීමද සෑහෙන්නට ඉඩ තිබේ. මෙම අසාර්ථක, අලජ්ජී, නූගත් ජනාධිපතිට සිය ආත්ම විනාශනය ඉතා පහසුවෙන් ලඟා කර ගත හැක. 

මෛත්‍රිපාල සිරිසේන නමැති ඒ සමනළයාට තමාගේ ජීවන චක්‍රය දිගු කර ගැනීමට යතුරු හිල් කීයකින් බලා සිටියද නොසෑහෙනු ඇත.  

Print Friendly, PDF & Email

දේශපාලනික දේ පුද්ගලික ද වේ –අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි

$
0
0

ජයදේව උයන්ගොඩ

මහාචාර්ය ජයදේව උයන්ගොඩ​

‘‘මගේ රට නැවත පාවා දී තිබේ’’- පැබ්ලෝ නෙරූදා (මතක සටහන්)

රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කෙළේ මන්දැ යි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කෙළේ ඔවුන් දෙදෙනා අතර පැවති ප‍්‍රතිපත්තිමය සහ පුද්ගල වෙනස්කම් ගෙනහැර පාමිනි. ඔහුගේ කතාව විමසා බලන විට, ප‍්‍රතිපත්තිමය හේතුවලට වඩා පුද්ගල හේතු වඩා ප‍්‍රබල බව පෙනී යයි. ඒ පුද්ගල හේතු බෙහෙවින් දේශපාලනික බවත් පෙනී යයි. ජනාධිපති සිරිසේන ජාතිය අමතා කළ කතාව පුරවැසියන්ගේ මතකයට නංවන්නේ, ඔහුගේ හිටපු දේශපාලනික හාම්පුතා වූ මහින්ද රාජපක්ෂ අතහැර ඒමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් 2014 අවසාන භාගයේ ඔහු කළ පැහැදිළි කිරීමයි. එදාත්, පුද්ගලිකත්වය දේශපාලනික විය. ඔක්තෝබර් 26 වැනි දායින් පසු, දේශපාලනික වීම පුද්ගලික වන්නේ කෙසේද යන්න, වැඩියත්ම මා සම්බන්ධයෙන් එය කම්පන සහගතව පුද්ගලික වන්නේ මන්ද යන්න පෙන්නුම් කිරීමට මේ ලියවිල්ලෙන් මම උත්සාහ කරමි.

ඔක්තෝබර් 26 සිකුරාදාවකි. මා මිථ්‍යා විශ්වාසවල එල්බගෙන නැතත්, ඒ වැහි බර මූසල සිකුරාදා දිනය මගේ මතකයේ ඇඳී ඇත්තේ මා පුද්ගලිකව පාවා දුන් බවට හැඟීමක් මා තුළ ජනනය කළ දවසක් වශයෙනි. මේ රටේ පුරවැසියන්ගේ, වැඩියත්ම මේ රටේ තරුණ පරම්පරාවේ, දේශපාලනික අපේක්ෂාවේ සංකේතයක් වශයෙන් තවදුරටත් මෛත‍්‍රීපාල සිරිසේනව සැලකීමට මට පුළුවන් කමක් නැත. ඒ සිකුරාදා ඔහුගේ ක‍්‍රියා කලාපය මගින් සනිටුහන් කෙරුණේ, 2014 නොවැම්බර් 21 වැනි දා පටන් මූර්තිමත් කළ දේශපාලනික ප‍්‍රාර්ථනාවේ සහ ප‍්‍රතිඥාවේ සංවේගකර ඛේදනීය නිමාවයි.

2015 ජනවාරි ජනාධිපතිවරණයට සිරිසේන මහතාව ඉදිරිපත් කළ, අලූතින් පිහිටවූ විපක්ෂ පෙරමුණ වෙනුවෙන් මම සක‍්‍රීයව දායක වීමි. මා වැඩියත්ම එසේ කෙළේ, සිරිසේන මහතා, පසුව අප ආදරේට ආමන්ත‍්‍රණය කිරීමට පටන් ගත් මෛත‍්‍රී, නිසා ය. එදා ජනාධිපති අපේක්ෂකයා වුණේ රනිල් වික‍්‍රමසිංහ නම්, මහින්ද රාජපක්ෂට විරෝධය පෑමක් වශයෙන් ඔහුට මගේ ඡුන්දය දී පැත්තකට වෙනවා මිස, ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මා සක‍්‍රීයව කටයුතු නොකරනවා ඇත. නැවත වතාවක් මැතිවරණ දේශපාලනය ගැන මා උද්‍යෝගීමත් කෙළේ මෛත‍්‍රී ය. ඒ, චන්ද්‍රිකා සහ රනිල් ඇතුළු බොහෝ නායකයන් පිළිබඳ සුන් වු අපේක්ෂා පෙරදැරිව සිටි කාලයකි.

රනිල් වෙනුවෙන් ඡුන්දය පාවිච්චි කිරීම, මා සම්බන්ධයෙන් ගත් විට, හුදෙක් උපයෝජ්‍යතාවාදී විය. අනිත් පැත්තට, මෛත‍්‍රී වෙනුවෙන් වැඩ කිරීම, දේශපාලනික-සදාචාරමය වගකීමක් විය.

මා පමණක් නොව. තමන්ට විශ්වාසය තැබිය හැකි, තමන්ට අනන්‍ය විය හැකි, තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය දේශපාලනික දෛවයන් භාර දිය හැකි මිනිසා අවසානයේ තමන්ට හමුව ඇතැයි ශ‍්‍රී ලාංකික ඡුන්දදායකයන්ගෙන් සියයට 51.28 ක් විශ්වාස කළහ. දේශපාලන විද්‍යාඥයන් වන අප ‘ඇට්ටර බලාධිකාරවාදය’ නැතහොත් ‘දෘඪ අධිකාරවාදය’ වශයෙන් හඳුනා ගන්නා මාවතක එදා පැවති රජය ගමන් කරමින් සිටි වෙලාවක ඇත්තෙන්ම ඔහු ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවසාන අපේක්ෂාව විය.

ඒ දරුණු සිහිනය සැබෑ වීම නතර කිරීමට ආණ්ඩු වෙනසක් අවශ්‍ය කෙරුණි. ඒ සඳහා රනිල් වික‍්‍රමසිංහට වඩා විශ්වසනීය ජනාධිපති අපේක්ෂකයෙකු අවශ්‍ය කෙරුණි. අපේ පුරවැසියන්ගේ අනාගත පරම්පරාවන්හි, විශේෂයෙන් තරුණයන් සහ ප‍්‍රථම ඡුන්දදායකයන්ගේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනික ප‍්‍රාර්ථනා මූර්තිමත් කළ හැකි පිරිමියෙකු හෝ ගැහැනියක් අවශ්‍ය කෙරිණ. අලූත් නායකයා, ආණ්ඩු නායකයෙකු වශයෙන් දේශපාලන බලය කලින් විඳ නැති, එබැවින්, ¥ෂණය, බල අපයෝජනය, මනෝන්මාදය, (ආත්මාඩම්බරය) පුද්ගල කේන්ද්‍රීය පාලනය සහ අසීමිත දේශපාලනික උන්නතිකාමයෙන් තොර කෙනෙකු විය යුතුව තිබුණි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ අපේක්ෂා වට්ටෝරුවට සපුරා ගැලපුණි. දේශපාලනික අපේක්ෂා භංගත්වයේ සහ නරුමවාදයේ මහා ප‍්‍රවාහය ඔහුට නතර කළ හැකි බව පෙනුණි. මගේ හිතෙත් වැඩ කළ එක් ප‍්‍රාර්ථනයක්, හිනිදුම නෙළුව ග‍්‍රාමයේ තරුණ එළවළු වෙළෙන්දන් දෙන්නෙකු 2014 නොවැම්බර් අවසානයේ දවසක සරළ භාෂාවෙන් කීවේ මෙසේ ය: ‘‘මෛත‍්‍රී ඇරෙන්න වෙන කා ගැන ද අපිට විස්වාසයක් තියන්න පුළුවන්?’’

ඉතා බරපතල පුද්ගල අවදානම් දැරීමට එදා මෛත‍්‍රී පසුබට වූයේ නැත. දැන් ඔහුගේ දියණිය සිය පියාගේ දේශපාලනික චරිතාපදානය තුළ ඒවා විස්තරාත්මකව සංගෘහිත කොට තිබේ.

2015 විශිෂ්ටතම දේශපාලනික සෞන්දර්යය රැුඳී තිබුණේ, ජනාධිපති අපේක්ෂක සිරිසේනගේ පණිවිඩයේ පැවති ආචාරධර්මීකත්වයේ ය. උන්නතිකාමය වෙනුවට දේශපාලනික සදාචාරය අගයන, බලයේ නිර්දය භාවය වෙනුවට දයාව අගයන අලූත් නායකයෙකු ශ‍්‍රී ලංකාවට අවශ්‍ය විය. 2015 ශ‍්‍රී ලාංකීය ඡුන්දදායකයන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ දේශපාලනික පරිකල්පනය ඇවිළුණේ මෛත‍්‍රීගේ යහපාලන සටන් පාඨයේ පැවති දේශපාලනික සදාචාරයෙනි.

2015 වන විට මට මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී නොතිබුණි. එක වරක් පමණක් මා ඔහු දැක තිබුණේ, කොළඹ විශ්ව විද්‍යාලය අසළ ශාන්ති විහාර් ආපන ශාලාවේ දී ය. ඒ කාලයේ ඔහු බලයේ නොසිටියත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා විය. ඔහු කලිසමක් සහ අත් දිග, තරමක් ලොකු සුදු කමිසයක් හැඳ සිටියේය. මා දැන සිටි, පොලොන්නරුවේ හිටපු දිසාපතිවරයෙකු සහ තවත් දෙන්නෙකු කෑම මේසයේ වාඩි වී උන්හ. හිටපු දිසාපතිවරයා සමග මා වචනයක් දෙකක් කතා කරන අතරේ සිරිසේන මහතා මා සමග යාන්තමට සිනාසුණි.

සිරිසේන මහතා සමග කිසි පුද්ගල දැන හැඳුනුම් කමක් නොමැති වීම, මා තුළ ඔහු කෙරෙහි පුද්ගල ප‍්‍රසාදයක් ලියැලීමට බාධකයක් වුණේ නැත. පුද්ගල ස්වභාවයෙන් ගත් විට මා ඔහු දුටුවේ, සෞම්‍ය ගති පැවතුම් ඇති, ආචාරශීලී පුද්ගලයෙකු වශයෙනි. දරුණු දේශපාලනික උන්නතිකාමයෙන් තොර, තැන්පත් පුද්ගලයෙකු වශයෙනි. මගේ බොළඳ කමට එදා මට හැඟුණු ඒ චරිත විනිශ්චය මත පදනම් වෙමින් මම දේශපාලනික නිගමනයකට පැමිණියෙමි: ඒ නම්, දරුණු පාලකයෙකු වීමට තරම් අභ්‍යන්තරික හැකියාවක් නැති, මධ්‍යස්ථ මනස් ප‍්‍රකෘතියකින් යුත්, ආචාරශීලී කරුණාවන්ත පිරිමියෙකු හෝ ගැහැනියක්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්තී‍්‍රය උන්නතියේ අපේක්ෂාවන් සහ අභිලාෂයන් මූර්තිමත් කැරවීම සඳහා අපට අවශ්‍ය කරන බවයි. අවසානයේ ගත් විට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු, දේශපාලනික බලයේ සීමාවන් පිළිබඳ දැනුවත්ව සහ ඒවාට අවනතව එම බලය භාවිත කරන මැදහත් පුද්ගලයන්ගේ ආණ්ඩුවකි.

ප‍්‍රජාතන්ත‍්‍රීය දේශපාලඥයෙකුට තිබිය යුතු වූ එවැනි හරවත් පුද්ගලික ගුණාංග තිබියදීත්, බොහෝ දෙනා කෙළේ සිරිසේන මහතාව අපවාදයට ලක් කිරීමයි. හෑල්ලූවට ලක් කිරීමයි. සමහර විරුද්ධවාදීහූ පරිභවකාරී විකට නම් පටබැඳ ඔහුට ගැරහුවෝය. ඒ සියල්ලන්ම, ඔක්තෝබර් 26 වැනි දායින් පසුව, සාවද්‍ය වූත් අතිශය අවස්ථාවාදී වූත් හේතු මත ඔහුව වර්ණනා කිරීමට පටන්ගෙන තිබේ. ඔහු තුළ මහා දේශපාලනික සුචරිතයක් දැකීමට පටන්ගෙන තිබේ.

ශ‍්‍රී ලංකාවේ ජනාධිපති වූ පසු මට සිරිසේන මහතා හමු වී ඇත්තේ, සමහර විට පස් වතාවකට අඩුවෙනි. එහිදී ඔහු මට පෙනී ගියේ ප‍්‍රියමනාප, සහෘද දේශපාලන නායකයෙකු වශයෙනි. කොළඹ දේශපාලන ප‍්‍රභූ පැලැන්තියේ පුහු සාටෝපවලින් දූෂ්‍ය නොවූ පුද්ගලයෙකු වශයෙනි. මා මුලින්ම ඔහුව මුණගැසුණු දවසේ, ඒ දක්වා හිතේ තිබූ තවත් බොළඳ මායාවක් යළි පිබිදුණේය: එනම්, ග‍්‍රාමීය සමාජ පසුබිමකින් එන, නාගරික මාන්නයෙන් සහ විදග්ධතාවෙන් ¥ෂ්‍ය නොවූ දේශපාලඥයෙකු වඩාත් යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු විය හැකි බවයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව ගොඩනැගූ ආණ්ඩුව ගෙන යාමට ප‍්‍රමාණවත් තරමේ ස්ථායී කාර්ය සබඳතාවක් ගොඩනගා ගැනීමට දෙදෙනා අසමත් වූ බව අපි දැන සිටියෙමු. එසේම 2015 දී ඔවුන්ව බලයට ගෙනා ජනතා වරමට ප‍්‍රමාණවත් තරමින් ඔවුන් සංවේදී නොවූ බවත් අපි දැන සිටියෙමු. තවද, සභාග ආණ්ඩුව තුළ මතු වූ ගැටුම් දේශපාලනිකව කළමනාකරණය කර ගැනීමට බැරි තරමට මේ නායකයන් දෙන්නාම ළාමක වූ බවත් අපි දනිමු. එහෙත් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩගැනීමේ ක‍්‍රියාවලියට ඔවුන්ගෙන් අනතුරක් සිදු නොවනු ඇතැයි අපි උදේ හවා බලාපොරොත්තු වීමු.

තතු එසේ වුව ද, අගමැතිවරයා සමග අප‍්‍රසන්න දේශපාලනික සහ පුද්ගල ප‍්‍රශ්න මොන තරම් තිබියේ වී නමුත්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩ ගැනීමේ සහ තහවුරු කර ගැනීමේ ගමන ජනාධිපති සිරිසේන තමාගේ තනි මතේට ආපසු හරවති යි මා කිසි විටෙක බලාපොරොත්තු වුණේ නැත. ඔහු එසේ කෙළේ, මා ව්‍යවස්ථාව වටහාගෙන ඇති පරිදි, එහි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වචන මෙන්ම සාරයත් උල්ලංඝණය කරමිනි. ඒ උල්ලංඝණය යුක්ති සහගත කර ගැනීම සඳහා ඔහුට නීති උපදෙස් දී ඇතැයි සිතෙන සමහර දෙනා, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සාරයට සහ ආත්මයට පරම හතුරුව සිටි අයවළුන් ය. තවත් අය, දේශපාලනික ගැත්තෝ ය. ව්‍යවස්ථා නීතියේ සූක්ෂම තැන් ගැන වැඩි අවබෝධයක් නැති ජනාධිපතිවරයෙකුගෙන්, තමන්ගේ ආත්මාර්ථකාමී දේශපාලනික ඕනෑ එපාකම් පිරිමසා ගැනීමට වැඩි ඉඩක් ඇතැයි ඔවුන් සිතුවාට සැක නැත.

ඒ සියල්ලටමත් වඩා අපේ දුර්භාග්‍යය වන්නේ, රටේ දූෂිත දේශපාලනය ඉවරයක් කරති යි අප සිතූ පුද්ගලයාම, අපේ දේශපාලන වාංමාලාවට යහපාලනය යන වචනය හඳුන්වා දුන් පුද්ගලයාම, දැන් දේශපාලනික දූෂණයේ නිරතව සිටීම සහ හැරෙන හැරෙන පැත්තට මහ පරිමාණව මන්ත‍්‍රීවරුන්ව දූෂ්‍ය කරන සැටි බලාගෙන සිටීමට අපට සිදු වීම ය. තමාගේ වාසියට ගැනෙන තාක්, දේශපාලනික දූෂණය සුජාත මෙවලමකැ යි ජනාධිපති සිරිසේන සිතන සෙයකි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත්, ජනාධිපති සිරිසේනගේ මෙන්ම මගේ ද දරු මුණුපුරන් අයත් තරුණ පරම්පරාවේ ප‍්‍රජාතන්ත‍්‍රීය අනාගතයටත්, ඔක්තෝබර් 26 වැනි දා හැන්දෑවේ කරන ලද සහ තවමත් කරමින් සිටින හානිය, මාව පුද්ගලිකව සංවේගයෙන් කම්පනය කළ පසුබෑමකි. මෙතැන් පටන්, ශ‍්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාව සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩ ගැනීමට මත්තෙන්, බරපතල ප‍්‍රජාතන්ත‍්‍රීය සහ මානව අයිතිවාසිකම් උල්ලංඝණයන්, පසුබෑම්, ප‍්‍රචණ්ඩත්වයන්, ප‍්‍රතිරෝධයන්, සහ අපේ අවාසනාවට, සමහර විට ලේ වැගිරීම් සහිත තවත් අවදියක් පසු කිරීමට සිදු විය හැකිය.

එබැවින්, මා සම්බන්ධයෙන් ගත් විට, දේශපාලනික දේ පුද්ගලික ද වන්නේය.

2018 නොවැම්බර් 4 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Political Is Personal – An Essay In Despair නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

තරුණ “සමනළයෙකු”විසින් ජනාධිපති සිරිසේන වෙත ලියන ලද විවෘත ලිපියකි

$
0
0

මහේල ගමගේ

මම අද රැකියාව නිමා කර ගෙදරයමින් සිටියදී, මගේ මිතුරෙකුගෙන් ලද පණිවිඩයකින් ඔබගේ ගේ නවතම ප්‍රකාශය ගැන අසන්නට ලැබුණි.

එහි මාතෘකාව කියවූ මම, නැවත නැවතත් එය කියවීමටත් අන්තර්ගත වීඩියෝ පටය නැරඹීමටත් වුනෙමි. වීඩියෝවේ මාතෘකාව දුටු මා, කිසිම විටෙක රටේ ජනාධිපතිවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කරතැයි යන්න බලපොරෝත්තුවුයේ නැත. ඔහුගේ ප්‍රකාශය තවදුරත් විස්තර කිරීමට මගේ කැමැත්තක් නැත. ඔබ දැනටමත් එය කිහිපවරක්ම නරඹා ඇති බව මගේ විශ්වාසයයි.

මම මුලින්ම කිවයුතු වන්නේ, කිසිම දේශපාලන පක්ෂයක් ගැන මගේ කිසිඳු විශ්වාසයක් නොමැති බවයි.මෙම විවෘත ලිපිය කිසිඳු දේශපාලන ගැති භාවයකින් තොරව ලියමි. රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ මෙන්ම ඔබද ජනාධිපතිතුමනි, වැඩිම මුදලට විකිණෙන ලංසු දේශපාලන ක්‍රමයේ ඉත්තන් පමණි.

නැවත ඔබගේ ප්‍රකාශය වෙත මම යොමු වෙමි. ඔබට රනිල් වික්‍රමසිංහ ට පහර දීමට ඕනෑ තරම් හේතු ඇත. ඔහුගේ අකාර්යක්ෂමභාවය, ඔහුගේ අසාර්ථක ප්‍රතිපත්ති ඕනෑ තරම් ඇත. ඒ කිසිත් ඔබට අදාල නැත. දෙදහස් පන්සීය වසරක ඉතිහාසයේ හා සංස්කෘතියේ මහා ආරක්ෂකයා ලෙස ඔබ, අප කිසිවෙකුටත් විශ්වාස කරගත නොහැකි පරිදී පහල මට්ටමකට ඇදවැටුණි. පසුගිය දින කිහිපය තුල ඔබගේ ක්‍රියවලිය දුටු අප සිතුවේ, තවත් නම් පහලට අද වැටීමට ඔබට නොහැකි බවයි. අපිව දිනපතා පුදුම කිරීමට ඔබට හැකිය. ඔබ රනිල්ට සමනලයා යයි ආමන්ත්‍රණය කළේය. සමනළයා යනු සමලිංගිකයින් අපහසුතාවයට පත්කිරීමට යොදා ගන්නා යෙදුමකි. ඔබ රනිල් ප්‍රමුඛ කණ්ඩායම හැදින්වුයේ සමනළ කල්ලිය නමිනි. ඔබට පුද්ගලයන් අපහසුතාවයට පත්කිරීමට ඉතා පහසුවෙන් හැකියාව ඇත. මිනිස් සමාජයේ අන්‍යන්ට කරන මුලික ගෞරවය ඔබට අවශ්‍යම නැත.

ඔබ සුරකිනවායැයි පවසන ශ්‍රී ලාංකේය සංස්කෘතිය සියළු දෙනා සමව පිළිගන්නට ඉඩ සලසනවා මිස අවමන් කිරීමට මග පාදන්නක් නොවේ.

ඔබට එතරම් අවබෝධයක් නැති වුවද ජනාධිපති මහතාණෙනි, ඔබගේ වචන වල දැඩි ප්‍රතිවිපාක තියෙනවා. රටේ ජනතාව ඔබව ජනාධිපති වරයා ලෙස පත්කළේ සියලු පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට මිස එක කණ්ඩායමක් ආරක්ෂාකිරීමට නොවන බව ඔබට අමතක වී ඇති බව පැහැදිළියි. මට ඔබ වෙනුවෙන් චන්දය භාවිතකිරීමට ලැබුනේ නෑ. 2015 ජනාධිපතිවරණය වනවිට මම අවශ්‍ය වයස සපුරා සිටියේ නෑ. එහෙත් මගේ මතකය නිවැරදි නම් ඔබ පත්වන විට පැවසුවේ, සියලු පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පැමිණි බවයි. වසර තුනකදී මෙසේ වේ යැයි අප කිසිම මොහොතක සිතුවේ නෑ. නමුත් ඒ සියල්ල පසෙකලමින් ඔබ ඔබගේ මුලින් මිතුරාවුත් දැන් දේශපාලන සතුරාවුත් පුද්ගලයෙකු සමග ඇති තරහාව පිරිමැහිමට, රටේ සමස්ථ පුද්ගල කණ්ඩායමකටම පහර ගසිමින් සිටිනවා. සියලු පුරවැසියන් නියෝජනය කලයුතු නායකයා මෙතරම් පහලට අද වැටී සිටීම ඉතා කණගාටුව දනවන කරුණක්.

ඔව්. මම තරුණයෙක්. නමුත් මම ඇති තරම් හිරිහැර විඳි ඇති තරුණයෙක්. අඛණ්ඩ සමච්චලයට ඔච්චමට ගැරහීමට ලක්වූ තරුණයෙක්. භීතියෙන් ශෝකයෙන් ලජ්ජාවෙන් නොනිද පහන් කල රාත්‍රීන් රැසක් ඇති තරුණයෙක්. මම දැන් වැඩිහිටියෙක්. එමෙන්ම අභිමානවත් පුරවැසියෙක්. ශක්තිමත් සමනලයෙක්. නමුත් ඔබතුමාගේ අදහස් දැක්වීම අසා සිටින, එයට හුරේ දමන ඔබතුමන්ගේ ආධාරකරුවන් දෙස බලා සිටින, රනිල් වික්‍රමසිංහගේ හා ඔහුගේ කණ්ඩායමේ පුර්වඅනුමානිත ලිංගිකත්වයට ඔච්චම් කරන සහචරයන් නිසා බියෙන් තැවෙන මට වඩා හුඟක් බාල, නමුත් මා වැනිම තවත් තරුණ තරුණියන් ලංකාවේ සිටින බව ඔබ දන්නවාද?

පුද්ගලයෙකුගේ ලිංගිකත්වය අරමුණු කරගනිමින් සිදුකරන පහරදීම් ඉතා අශෝබන තැතිගන්වන සුළු ඒවා බව කිවයුතුමය. අපේ ශ්‍රී ලංකාව අප සියළුදෙනාටම ආරක්ෂාකාරී විය යුතුය. අපි ඉදිරියට යා යුත්තේ එකාමෙන්, ශක්තිමත්වය .

නමුත් ඔබ දැක්වූ අදහස් වත්මන් තරුණ පරපුර වෙත දන්වා සිටින්නේ, ඔවුන්ගේ රට ඔවුන්ව පිළිනොගන්නා බවයි. ඔවුන්ගේ ජනාධිපතිවරයා ඔවුන්ව සම තත්වයේ නොසලකන බවයි. ඔවුන්ගේ ලිංගිකත්වය නිසා බලය හා නායකත්වීය තනතුරක් නොදැරිය යුතු බවයි. අපි සෑමවිටම අමතක නොකළ යුතු කරුණක් වන්නේ ජනාධිපති තුමනි, ඔබගේ හැදින්වීම අනුවම ගත් කල, Alan Turing, Tim Cook, Ellen De Genres, Leo Varadkar, Arthur C. Clarke වැනි සියළු දෙනාම, සමනළයින් වන බවයි. මේ ආදර්ශවත්, තම අරමුණු මුදුන් පමුණුවා ගන්නා, ලොව පුරා වෙසෙන තරුණ සමලිංගික පුද්ගලයන් වෙනුවෙන් මංපෙත් විවරකරවන මොවුන් සමනළකල්ලියක් බවයි. ලංකාවේ සමලිංගික තරුණයන්ට ආදර්ශයන් සෑමවිටම විදෙස්රටෙන් ලබාගැනීමට සිදුවීම ශෝක ජනකයි. නිදහසේ පියාසර කරමින්, තම අනන්‍යතාවය මත පිහිටා කටයුතු කිරීමට හැකි දිනක් නුදුරු අනාගතයේ ලංකාවේ ඇති නොවන බව දැනටමත් පැහැදිලි වී අවසානයි. මෙවැනි ජනාධිපතිවරයෙක් යටතේ නම් එය සිදුනොවන බව ස්ථිරයි.

ඔබේ ලිංගිකත්වය කුමක් වුවත්, එක ලෙසින් ඔබට සැලකීමක් ලැබෙන බව අපේ දරුවන්ට කවදා පැවසිය හැකිද? පෙර රජය LGBTIQ පුද්ගලයන්ට හොදින් සැලකුබව කිසිවිටෙක කිව නොහැක. නමුත් ඔවුන් කිසිවිටෙක ප්‍රසිද්ධ වේදිකාවන් මත LGBTIQ කණ්ඩායම් අපහාසයට, උපහාසයට ලක් කරමින් දේශපාලන වාසි ලබාගත්තේ නැත.

ස්තුතියි ජනාධිපතිතුමනි ඔබගේ අදහසට. එය මා තවත් ශක්තිමත් කලා පමණි.

මගේ සහෝදර LGBT තරුණ තරුණියන්ට, මෙවැනි ප්‍රකාශ කිසිවිටෙක ඔබගේ පුද්ගලත්වයට හානියක් කර නොගන්න. ඔබට අන් සියළු තරුණයන්ට මෙන්ම සිහින දකින සියලු දේ ඉෂ්ට කරගත හැකි බව මතක තබා ගන්න. මෙවැනි අපහාස දනවන ප්‍රකාශයන් තුලින් ඔබව අපහසුතාවයට පත් කිරීමට ඉඩ නොදෙන්න. ඉදිරියටම යන්න. ශක්තිමත් වන්න. සුරක්ෂිත හෙටක් උදෙසා බලාපොරොත්තු තබාගන්න.

මහේල ගමගේ hashtag පරපුරේ තරුණ සමාජිකයෙකි. ඔහු ලිංගික හා ප්‍රජනන අයිතීන් පිලිබඳ මානව හිමිකම් ක්‍රියකාරකයෙකි.

Print Friendly, PDF & Email

ඉදිරි දිනවලදී සමරිසියන්හට විරුද්ධව සිදුවන අගතිගාමී ක්‍රියාවන්ට ජනාධිපතිවරයා වගකිව යුතුය: ශ්‍රී ලාංකික සමරිසි ප්‍රජාව

$
0
0

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 නොවැම්බර් 5 වැනිදා පැවැති මහජන රැලියේදීසමරිසි භීතිකාවෙන්පෙළෙමින් කරන ලද කතාව සම්බන්ධයෙනි

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 නොවැම්බර් 5 වැනිදා සඳුඳා කොළඹ පැවැති මහජන රැලියකදී සමරිසි ප්‍රජාව පිළිබඳව බියකින් පෙළෙමින් අදහස් දැක්වීය. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් ගෙන යමින් සිටි ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ මහතා ජාතික වටිනාකම් ප්‍රතික්ෂේප කරමින් සමනළ ජීවිතයට ඇතුළත් වූ බව ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ ප්‍රධාන තීන්දු තීරණ ගත්තේ ජනාධිපතිවරයා හෝ පක්ෂයේ ප්‍රධානීන් නොව වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සමනළ රැල යැයි ද එහි පැවැසීය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ රැලියට රැස්ව සිටි පිරිසගේ අත්පොළොසන් හඬ මධ්‍යයේය. ඔහු එම අදහස් පළ කරන අවස්ථාවේදී වේදිකාවේ සිටි සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස ද සිනාසෙමින් අත්පොළොසන් දුන්හ. 

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා විවෘතව සමරිසි භීතිකාවක් ව්‍යාප්ත කිරීම සහ එම භීතිකාවට සහාය දක්වමින් කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ‘සමරිසි ප්‍රජාව’ සහ සමරිසි ප්‍රජාවට සහයෝගය දක්වන ජනතාව ලෙස අපි දැඩිව හෙළා දකිමු. ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුගේම මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් සහ මානව ආත්ම අභිමානය පිළිබඳව ජනාධිපතිවරයාට කිසිදු කැපවීමක් හෝ හැඟීමක් නැති බව ජනාධිපති සිරිසේන මහතාගේ එම ප්‍රකාශවලින් පෙනී යයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි කාලයේදී සමරිසි භීතිකාවක් ද එය මැඩ පැවැත්වීමක් ද පැවැති තත්ත්වයකදී ශ්‍රී ලංකාවේ ‘සමරිසි ප්‍රජාවේ’ බොහෝමයකගේ ද ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයකු මෙවැනි ප්‍රකාශ කිරීම අතිශය කනගාටුදායක තත්ත්වයකි.

එක්සත් ජාතික පෙරමුණ සමරිසි ප්‍රජාවේ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන බවට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද නැවත වරක් අවධාරණය කළ යුතුය. එක්සත් ජාතික පෙරමුණ ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවගේ මෙන්ම අනෙකුත් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සීමා කිරීමට උත්සාහයන්වල අත්දැකීම් අප සතුව ඇත. සමරිසි මෙන්ම විසම ලිංගික පිරිස්වල මූලික අයිතිවාසිකම් සුරක්ෂිත නොකළ, නොසලකා හැරී අවස්ථාවලට ඕනෑ තරම් උදාහරණ ඇත. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 377 වැනි වගන්තිය ඉවත් කිරීමට ගත් ප්‍රගතිශීලි සහ සාධනීයේ තීරණයෙන් පසු ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවේ වෘත්තිකයන් එක්සත් ජාතික පෙරමුණේ අධිකරණ අමාත්‍යවරිය හමුවීමට අවස්ථාවක් ඉල්ලූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීම එවැනි සිදුවීම්වලට උදාහරණයකි. එක්සත් ජාතික පෙරමුණ සමරිසි ප්‍රජාවට අවශ්‍ය පරිදි කටයුතු කළා නම් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ඒ යන කොටස් මේ වනවිටත් අවලංගු කළ යුතුව තිබිණි. එම පක්ෂය හෝ එම පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව සමරිසි ප්‍රජාවේ න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කළ නම් ලිංගික හැඩගැස්ම, ලැදියාවන්, ස්ත්‍රී පුරුෂ හඳුනාගැනීම සහ/හෝ ලිංගික මුහුණුවර/ලක්ෂණ යනාදිය නොසලකමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වනවිට සමානාත්මතාවයට මුල් තැන දිය යුතුව තිබිණි. 

මේ නිසා ජනාධිපතිවරයා ඔහුගේ පක්ෂයත් ඔවුන්ට සහයෝගය දක්වන්නන් සියලු දෙනාටත් වැරැදි තොරතුරු ලබාදෙමින් ඔවුන් සියලු දෙනා නොමඟ යවා ඇත. සමරිසි භීතිකාවක් ඇති කරමින් ඔහුගේ දේශපාලන ගැලරිය පිනවීමට කරන කතාව අපි දැඩි සේ හෙළාදකිමු. සමරිසි භීතිකාවක් ඇති කිරීමේ වගකීම ජනාධිපතිවරයා බාර ගත යුතු අතර ඉදිරි දිනවලදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට අත්විඳීමට සිදුවන විශේෂයෙන්ම සමරිසි භීතිකාවට සම්බන්ධ සිදුවීම්වලට ජනාධිපතිවරයා වගකිව යුතුය. 

සමානාත්මතාව, යුක්තිය හා සාධාරණත්වය සහ අභිමානය වෙනුවෙන් සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුම සතු මූලික අයිතිවාසිකම්වලට ගරු කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු. එමෙන්ම සමරිසි භීතිකාවක් ඇති කරමින්, සමරිසි ප්‍රජාව පිළිබඳව වෛරයක් ඇති කරමින් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයට විරුද්ධ වීමට අපි සමඟ එක්වන්නැයි ද අපි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමු. 

  1. A.M.M.Safran
  2. Abinaya Rajasekaran
  3. Adil Suraj
  4. Aji V.Y
  5. Akila Dias
  6. Aloka Wijesinghe
  7. Amalini De Sayrah
  8. Amarasiri Abegunawarena
  9. Amila Sampath Wijegunaratne
  10. Ammaarah Zuhry
  11. AMS Gunawardene
  12. Amy Hunter
  13. Anonymous
  14. Aritha Wickramasinghe
  15. Arun Welandawe-Prematilleke
  16. Asiri Ekanayake
  17. Bashya Ratnayake
  18. Benjamin Subasinghe
  19. Bunty Burah
  20. Camryn S. Kingsley
  21. Chamath
  22. Chameli Karunathilake
  23. Chandana Gunarathne
  24. Chanuka Kaluthanthri
  25. Charith Silva
  26. Chathu Dhamsara
  27. Chathurya Silva
  28. Chathushka Perera
  29. Chethana Daniels
  30. Chethika Hapugalle
  31. Chiranthi Rajapakse
  32. Christos Perera
  33. Damiru Siriwardana
  34. Danuja Perera
  35. Dasanayaka
  36. Dasun Wijewardena
  37. Dave Hunter
  38. Devin Hewage
  39. Devindani Saranga
  40. Diani Dodamgoda
  41. Dilvi
  42. Dimuthu Ranasinghe
  43. Dinesh Perera
  44. Dinesh Rajawasam
  45. Dinuka perera (Firon Seshon)
  46. Dr Chamindra Weerawardhana
  47. Dr Fiona Kumari Campbell
  48. Dr Neshantha Harischandra
  49. Dushan Kumaravel
  50. Eema
  51. Eesha Coswatte
  52. Ephraim Shadrach
  53. Erica
  54. Eshanthi
  55. Farah Macan Markar
  56. Fatema
  57. Gayan sanjeewa
  58. Gayathri Abeywickrama
  59. Gihan Alwis
  60. Haleema Iftikar
  61. Hans Billimoria
  62. Hansi Deshapriya
  63. Harini
  64. Harini Perera
  65. Dhanushaka Thilina
  66. Hashan Komasaru
  67. Hasna Farouk
  68. Imaad Majeed
  69. Imap ukey
  70. Infaz
  71. Inoka Priyadarshani
  72. Inshira
  73. Inura Kadawatha Arachchi
  74. Ishan Ali Marikar
  75. Ishan Jalill
  76. Isuru Gunasekara
  77. J Fernandez
  78. Janindu de Zoysa
  79. Janith Weerasinghe
  80. Jerad Perera
  81. Joel Pett
  82. K.S Gihan
  83. Kanchana Nanayakkara
  84. Karthiga
  85. Kasro Turai
  86. Kasun Ehelapola
  87. Kasun Rajapaksa
  88. Kaushalya Ariyarathne
  89. Kaushalya Perera
  90. Parami Anuththara
  91. Kavindya
  92. Kisal
  93. Kuma Chandrathilake
  94. Kumeli Iddamalgoda
  95. Kumudini Samuel
  96. Kumudu
  97. Kushan Thrimahavithana
  98. L M S Wijetunga
  99. Lahiru
  100. Lakkitha Samarakone
  101. Lakshan Seneviratne 
  102. Lakshani Godage
  103. Lashan
  104. Leana Pieris
  105. Lishani Ramanayake
  106. M. Maisan
  107. Mahela Gamage
  108. Suranga Chamdima
  109. Manisha Jayasinghe
  110. Manoj
  111. Marshan Murugathass
  112. Maura Nisantha
  113. Maureen Ernest
  114. Melisha
  115. Meneka Galgamuwa
  116. Miara
  117. Michael Mendis
  118. Minadi Gunawardena
  119. Miriam Alphonsus
  120. Moditha Maduranga
  121. Mohamed Shammakh 
  122. Mohan
  123. Muqaddasa Wahid
  124. mx.MIRA
  125. Nadeeru Gannoruwa
  126. Nadeesh Jayasinghe
  127. Natalie Soysa
  128. Nelie
  129. Nemindi Rathnayake
  130. Nethmi Udugama Koralalage 
  131. Nick Tillekeratne
  132. Nicole Alan
  133. Nilu rupasinghe
  134. Nimesh Fernando 
  135. Nora Deemer
  136. Osura Rathnayake
  137. Palitha vijaya bandara
  138. Pasan Jayasinghe
  139. Pathum Chamara
  140. Pawara Nilanga
  141. Prabha Manuratne
  142. Prabhashana M.
  143. Pramodha Weerasekera
  144. Rabiah Roshen
  145. Rabiah Roshen
  146. Ramudi Samarasekera
  147. Randimal Tisara
  148. Raveen Perera
  149. Ravi Tissera
  150. Ravindu Jaysinghe
  151. Riffan
  152. Rimaza Hassan
  153. Rishan
  154. Rulzmith
  155. Ruqaiya
  156. S M R Sameera
  157. Saakya Rajawasan
  158. Saarah A
  159. Sachii
  160. Sahan Indeewara Guruge
  161. Sahan Jayamanna
  162. Sakuni
  163. Sam Roxanne
  164. Samank
  165. Sampath Amarasekara
  166. Sandamal Weerasinghe
  167. Sandeepa Perera
  168. Sanjeewa
  169. Sanjeewa T. P
  170. Sathya Amaratunge
  171. Savini Ganhewa
  172. Senel Wanniarachchi
  173. Shabbeer
  174. Shakeel
  175. Shamala Kumar
  176. Shanelle Jayawardena
  177. Shazana Zarook
  178. Shehara Gunaratne
  179. Shenella I
  180. Shermal Wijewardene
  181. Soysa W.D.A
  182. Sudath rohana
  183. Supul Amarakoon
  184. Supun Thrikawala
  185. Suren Weerasekera
  186. Talya Cassim
  187. Taniya
  188. Taniya Pillai
  189. Tharinda Mallawaarachchi
  190. Thilini Perera
  191. Thisara
  192. Thiyagaraja Waradas
  193. Thushara Manoj
  194. Tony Ouyang
  195. Tulana Ariyaratne
  196. Thanuja Wijewardena
  197. Upul Kumara Wickramasinghe
  198. Ursula Bastiansz
  199. Venura kasun
  200. Vidarshana Dominic Fernando
  201. Vinidu Jayasekera
  202. Vishane Herath
  203. W.P. Eran
  204. Wijith Rohan
  205. Yamuna Guruge
  206. Yasheera Fernando 
  207. Young Out Here Sri Lanka
  208. Zahrah
  209. Zahrah Rizwan
  210. Zarha
Print Friendly, PDF & Email

දෙදෙනෙක් සහ ආතතියක් කළ හදියක්

$
0
0

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කවුරු කොහොම යහපාලන ආණ්ඩුවට බැන වැදුන ද ලබන මාසය වනවිට රාජපක්ෂවරු හිටියේ එක් අයකු හෝ දෙදෙනකු හෝ කල්දේරම් බතේ රස බැලීමට සිදුවන අවධානමක ය. ඒ නාමල් රාජපක්ෂ විය හැකි ය. ගෝටාභය රාජපක්ෂ විය හැකි ය. එහෙමත් නැත්නම් බැසිල් රාජපක්ෂ විය හැකි ය. ඒ තිදෙනාට එරෙහිව අධිකරණයේ ඇසෙමින් තිබුණ නඩු පැවතුනේ තීරණාත්මක මංසන්ධියක ය. 

ඒ අවධානමට සමාන්තරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද බරපතල දේශපාලන අවුලකට මැදිව සිටියේ ය. ඒ තව වසරකින් පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඔහුට සිදුවන්නේ කුමක් ද යන්න හිතා ගැනීමට නොහැකිවීමයි. ඔහුව පොදු අපේක්ෂකයා වශයෙන් තෝරා ගන්නට නොහැකි බව එක්සත් ජාතික පක්ෂය කල් ඇතිවම පවසා තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩී බිදී ගොසින් ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්ථිරවම අපේක්ෂකයකු ඉදිරිපත් වන්නේ ය. ඒ සංදර්භය තුළ ජනාධිපතිවරණයට තරග කළහොත් මෛත්‍රීපාල සිරිසේනට අත්වන්නට තිබුණ ඉරණම හාස්‍යජනක ය. එනම් බලයේ සිටින ජනාධිපතිවරයකු සිය දෙවැනි ධූර කාලය සදහා වූ ජනාධිපතිවරණයේ දී තුන්වැනි ස්ථානයට පත්වන්නට නියමිතව තිබුණි. 

මේ කරුණු කාරණා අස්සේ මෛත්‍රීපාල සිරිසේනට ඉතිරි වූයේ තමා මරන්නට පසු පස පන්නනවා යැයි තමාම චෝදනා කළ හිටපු ජනාධිපතිවරයාම ය. ඒ දෙදෙනාටම දෙදෙනා අවශ්‍යව තිබූ මොහොතකි. තමන්ගේ පවුලේ සාමාජිකයන් නඩ හබ වලට අසු වී හිරේ විලංගුවේ වැටෙන්නට යන මොහොතක මොකා සමග හෝ එකට එකතුවී රාජ්‍ය බලය ලබා ගැනීම එකම විකල්පය වේ. එනිසා තම හිතෛෂීන්ටවත් පක්ෂවල  තනතුරු දරන්නන්ටවත් නොකියාම එකට එකතුවීමේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය දියත් කළහ. 

රාජපක්ෂවරුන්ට 2014 දී මෛත්‍රීපාල සම්බන්ධයෙන් ඇතිවූයේ වෛරයකි. ඒ වෛරය බලය ලබා ගැනීම සදහා අමතක කරන්නට නොහැක්කක් නොවේ. එහෙත් මෛත්‍රීපාලට රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් තිබුණේ මර බියකි. ඒ ඔහුව මරන්නට රාජපක්ෂවරුන් කුමන්ත්‍රණය කළ බව කියමිනි. ඊට අමතර ඔහුගේ නහයෙන් ඇඩීම් තුළ දහසකුත් එකක් නොසලකා හැරීම් අඩංගුව තිබුණි. එක අතකින් සිගරට් පෙට්ටියේ අනතුරු හැගවීම් වලට කළ බාධා ය. අනෙක් අතින් තම පුත්‍රයා සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමේ දී තදින් නීතිය ක්‍රියාත්මක කරවීමට රාජපක්ෂලා කළ බලපෑම් ය. ඇත්ත වශයෙන්ම අගමැතිකම නොදීම ඔහු නොකියා කියූ මූලිකම දුක් ගැනවිල්ල ය. ඒ සියල්ල අමතක කරන්නට මෛත්‍රීට හැකිවූයේ 2019 ජනාධිපතිවරණ අපේක්ෂකකම ලැබේ යැයි සිතා ය. 

වාර්තාවන පරිදි මෛත්‍රීත් මහින්දත් එකට එකතු වූයේ ගිවිසුම් ගතව ය. මහින්දගේ නඩු හබ ටික නතර කරන්නට මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය මෛත්‍රීට ලබා ගැනීම ද ඒ අලිඛිත ගිවිසුමේ සදහන් ය. ඒත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ  ව්‍යවස්ථාවට පටහැනිව දිවුරුම්දුන් දිනට පසු දා පදනම් ආයතනයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතූ විමල් වීරවංශ කීවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය මෛත්‍රීට ලබාදීමේ එකගතාවක් නොමැති බව ය. 

මේ අතර පසුගිය දා ජනාධිපතිවරයා හමුවන්නට ගිය රාජිත සේනාරත්න හා ජෝන් අමරතුංග වැනි දේශපාලකයන් හමුවේ සාකච්ඡා කරමින් රනිල් වික්‍රමසිංහ නොමැතිව වෙනත් යූඑන්පීකාරයකු අග්‍රාමාත්‍ය ධූරයට පත් කර ආණ්ඩුව දිගටම ගෙනයෑමට ඇති කැමැත්ත ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණැයි මාධ්‍ය වාර්තා කර තිබුණි. එය සත්‍යක් නම් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ තබා ගන්නට පවා මෛත්‍රීපාල සිරිසේන තුළ  ඇත්තේ උපක්‍රමික කල් බැලීමේ අරමුණක් පමණි. 

කෙසෙල් කැනක් හොරෙන් කැපූ ගම් හොරෙකුට එය කඩයකට දී කීයක් හෝ සොයා ගන්නා තෙක් අනුගමනය කරන්නට වෙන්නෙ හොර වැඩම ය. ඒ අනුව ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් දියත් කළ ජනාධිපතිවරයාට ශිෂ්ඨ දේශපාලන ප්‍රයෝගයන් අනුගමනය කළ නොහැක. ඔහු තවදුරටත් කළ යුත්තේ හොර වැඩම ය. ඒ නිසා වරෙක ඔහු මහින්ද රාපක්ෂ හා එකගතාවකට පැමිණේ. තවත් වරෙක එක්සත් ජාතික පක්ෂය හා එකගතාවකට පැමිණීමට උත්සාහ ගනී. සමහරවිට මීට වෙනස් අමුතුම දෙයක් අනුගමනය කරන්නට ද ඔහු නොපැකිළිය හැකිය. ඊට හේතුව ජනාධිපතිවරයාට ඇත්තේ බලය පිළිබද ප්‍රශ්නයක් නිසා ය.

පාර්ලිමේන්තු වටරවුමේ දී පැවැති විශාල ජන රැලියේ දී ජනාධිපතිවරයාට සෙනග දැක එළොව මෙලොව නැති විය. ඔහු මිනිසුන්ගේ ලිංගිකත්වය පවා හාස්‍යයට ලක් කළේ ය. බටහිර රටක නම් මෙවැනි මිනිසුන් යවන්නේ හිරගෙවල් වල ය. එහෙත් වේදිකාවේ සිටි ජේෂ්ඨ දේශපාලකයන්ගේ සිට සියළු ජනතා කොටස් ඊට හුරේ පිට හුරේ තැබී ය. ජනාධිපතිවරයා පවසන පරිදි ඩී ඇස් සේනානායක හා ඩඩ්ලි සේනානායකවරුන් හොද වූවා නම් සග, වෙද, ගුරු, ගොවි, කම්කරු මූලික වූ 56 විප්ලවය පට්ට පල් බොරුවකි. ඊට හේතුව ශ්‍රීලනිප ආරම්භකයා වූ බණ්ඩාරනායක 56 ජනතා පෙරලිය කළේ ඩීඇස් හා ඩඩ්ලි ප්‍රවර්ධනය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව ය. ජනාධිපතිවරයාගේ තර්ක ඔහුටම එරෙහිව නැගී සිටියේ ඛේදජනක ලෙස ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ සමග ආණ්ඩු කරන්නට ජනාධිපතිවරයාට අපහසු වූවානම් ඔහුට කරන්නට තිබුණේ යටිකූට්ටු වැඩ කරමින් අගමැතිකම භාර ගන්නැයි කරු ජයසූරියගෙන් හා සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටීම නොවේ. ඔහුට ජයග්‍රහණය කරන්නට අතදුන් එක්සත් ජාතික පක්ෂය සමග විවෘත සංවාදයකට යන්නට ජනාධිපතිවරයාට වගකීමක් තිබුණි. එහෙත් එවැනි ශිෂ්ට ක්‍රමයක් අනුගමනය නොකළ ඔහු කරූට හා සජිත්ට කතා කරමින් අගමැතිකම භාර දෙන්නට මහන්සි ගත්තේ ජනාධිපතිවරයාගේ අකෘතඥකම නිසා ය. එසේම ජනාධිපතිවරයා මුහුණ දුන්නේ යැයි කියන ප්‍රශ්න සමග ඔහු මහජන නියෝජිතයන් සිටින ව්‍යවස්ථාදායකයේ උපදේශයක් ගන්නට ද කල්පනා නොකළේ ය. ඒ ඔහුගේ නොමේරුම්කම නිසා වන්නට ඇත. 

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ අශ්ලීල ක්‍රියාවට මුලින්ම අභියෝග කරමින් එළියට බැස්සේ ඔහුගේ පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර ය.මනූෂගේ තීරණයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාව පිළිකුලෙන් යුතුව බැහැර කරන්නන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින බව ලෝකයාටම පැහැදිලි විය. තවත් මන්ත්‍රීවරු තිදෙනෙකු ජනාධිපතිවරයාගේ තීරණයට විරෝධය පාමින් හෙට අනින්දාම එළියට එන බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයාට බලයට පත්වූ දා සිටම තිබුනේ බල පෙරේතකමකි. ඔහු මුලින් කීවේ තමා පදවිය දරන්නේ එක්වරක් පමණක් බවකි. එහෙත් පසුව ඊළග ජනාධිපතිවරණයේ දී ද තමා තරග කරන බව ගෝලයන් ලවා කියවා ගත්තේ ය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගනිමින් ජාතික වගකීම පසෙක ලා පක්ෂ වගකීම් ඉටු කරන්නට ගියේ ය. මහජන ඡන්දයෙන් පරාජය වූවන් ජාතික ලැයිස්තුවෙන් පත් කර ගනිමින් තමාට හූමිටි තියන චක් ගෝලයන් පිරිසක් ද ඇති කර ගත්තේ ය. අනතුරුව සියල්ල පසෙක ලා ඊලග ජනාධිපතිවරණයට කල් යල් බැලී ය.

එහෙත් ජනාධිපතිවරයා ජනවරම ලබාගත් අන්දමින්ම ධූරයට පත්වූ පසුව මහා මැතිවරණය පවත්වා තමන් කැමැති ආණ්ඩුවක් පත් කර ගන්නට ඉඩ දී ඒ පත්වන ආණ්ඩුවත් සමග යහපාලන ප්‍රතිපත්ති ශක්තිමත් කළා නම් ශක්තිමත් නායකයකු බවට පත්වන්නට ඔහුට අවස්ථාව තිබුණි. එවිට ඔහු නිර්පාක්ෂික දේශපලාන නායකයෙකි. ඔහුට ඇත්තේ යහපාලනය ශක්තිමත් කිරීම ය. ඒ හැරෙන්නට කිසිම අරමුණක් ඔහුට නොමැත. එසේවූවා නම් මිය යන තුරුම නායකයකු ලෙස ගෞරවයට ලක් වන්නට ජනාධිපතිවරයාට ලොකු ඉඩක් තිබුණි.

දැන් ජනාධිපතිවරයා පමණක් නොව මුළු රටම සිටින්නේ සිරවීමක ය. මේ සිරවීමෙන් ගැලවීමේ මාර්ගය ඇත්තේ ජනාධිපතිවරයා තුළ මය එහෙත් ඔහු ඒ සිරවීම තුළ ගුළි වෙමින් සිරවීමෙන් ගැලවීම මග හරී. නොවැම්බර් 16 දා ට කල් තැබූ පාර්ලිමේන්තුව කැදවන්නැයි දස දෙසින් බලකෙරීම් කෙරේ. ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාරයක් ලෙස පාර්ලිමේන්තුව කැදවා ඇත්තේ නොවැම්බර් 14 වැනි දා ටය. ඔහු දැන හෝ නොදැන හාස්‍යයට ලක් කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයි. ඒ අනුව රටට අපකීර්තියක් ගෙන ඒම මෛත්‍රීගේ ප්‍රධාන ඉලක්කය බව පෙනේ. 

රටේ මුදල් ඒකකය සීඝ්‍රයෙන් අව ප්‍රමාණය වෙමින් තිබේ. කොටස් වෙළෙද පළෙන් විදේශ ආයෝජන ඉවත් වෙමින් තිබේ. ලංකාවේ සංචාරයේ නොයෙදෙන්නැයි අවවාද කෙරෙමින් පවතින අතර ඒ අනුව කාමර වෙන් කිරීම් අවලංගු කෙරෙමින් පවතී. ගෙවුම් ශේෂ හිගය බරපතල ප්‍රශ්න ඇති කරමින් පවතින අතර යන්තමින් අල්ලාගෙන ආ ආර්ථිකය කඩා වැටීමේ අනතුරක් පවතී. මේ සියල්ල සිදුවූයේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බල අරගලය නිසා ය. එහෙත් තම දේශපාලන ප්‍රතිවාදියාට අශ්ලීල අපහාස කරමින් ගැලරිය පිනවනවා මිස රටේ ආර්ථිකය කඩා වැටීමට ඔහු සංවේදී නොවේ. 

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ 113 සරළ බහුතරය තාමත් නොමැත. එනිසා ඔහු සරළ බහුතරය සකස් කර ගන්නට අසීරු උත්සාහයක යෙදෙමින් සිටී. ඒ කාලය තුළ රට බරපතල කඩා වැටීමකට ලක්වන බව ඔහුට නොතේරේ. රටකට සිටිය යුතු නායකයා දේශපාලකයකු නොව රාජතාන්ත්‍රිකයකු යැයි මෛත්‍රීපාල සිරිසේන කවදාවත් අසා පුරුදු බවක් දකින්නට නැත.

Print Friendly, PDF & Email

ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් ද, අර්බුදයක් ද: ප්‍ර​ශ්නෝත්තර මාලාවක්

$
0
0

මාස් එල්. යූසුෆ්

මාස් එල්. යූසුෆ්

2018 ඔක්තෝබර් 26 වැනි දා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත්කිරීමත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමත් පිළිබඳ ආරංචියෙන් රට හෙල්ලූම් කෑවේය. දැන් හැමෝම කතා කරන්නේ, දේශපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතිය ගැන ය. දෙපැත්තේම පිරිස්, අගමැතිවරයා ඉවත් කිරීම සහ අලූත් අගමැතිවරයෙකු පත්කිරීම පිළිබඳව පක්ෂව හෝ විපක්ෂව කතා කරති. දේශපාලනික සහ නෛතික කාරණා අතර ඇති වෙනස හඳුනා ගැනීමට බැරි තවත් සමහරු, ආතක්පාතක් නැතිව සිටිති. ‘නීති විශාරදයන්’ යැයි කියා ගන්නා ඇතැම්හු ඊට පිදුරු දමති.

මගේ මේ කොලමේ අරමුණ පැහැදිළි කළ යුතුව තිබේ. මුලින්ම, නෛතික අගමැතිවරයාට (රනිල් වික‍්‍රමසිංහ) හෝ තත්වාකාර අගමැතිවරයාට (මහින්ද රාජපක්ෂට) හෝ ඔවුන්ගේ කිසි පක්ෂයකට හෝ මගේ දේශපාලනික ඇඟෑලූම්කමක් නැති බව කිව යුතුය. දෙවැනුව, මගේ පක්ෂපාතීත්වය පවතින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ධර්මතාවන් කෙරෙහි බව කිව යුතුය. ඒවාට මරු පහරක් වැදී ඇති බව මම දනිමි. අප කළ යුත්තේ, කෙසේ හෝ ඒ ධර්මතා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඇපකැප වීමයි.

මේ කාරණය තුළ පවතින ව්‍යවස්ථාමය නෛතික තත්වය වටහා ගත නොහැකිව ලත වෙන බොහෝ දෙනා සිටිති. එය හිසේ දරාගෙන, සාමාන්‍ය පුද්ගලයන්ට වටහා ගත හැකි වන ආකාරයෙන්, අර්බුදයේ ස්වභාවය ප‍්‍රශ්නෝත්තර ක‍්‍රමයෙන් ඉදිරිපත් කිරීමට මට සිතුණි. ඒ ඇතැම් තැන්වල මගේ අදහස් ද එකතු කොට ඇත.

ප‍්‍රශ්න අංක 1: ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පැවරෙන බලතල සහ වගකීම් කවරේ ද?

පිළිතුර: ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ කාර්යය විය යුත්තේ-
1. (අ) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලා ගැනීම,

ජනාධිපතිවරයාට බලය ඇත්තේ-
2. (ඌ* ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක හෝ විධිවිධානවලට පටහැනි නොවන්නා වූ ද, ජාත්‍යන්තර නීතිය, චාරිත‍්‍රවාරිත‍්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇත්තා වූ ද, නියමිතව ඇත්තා වූ ද, සියලූ ක‍්‍රියා හා දේ කිරීමට ය.

ඉහත සඳහන් 33 (1) ඉතා සරළ ය. පැහැදිළි ය. 33 (2) සම්බන්ධයෙන් බැලූවොත්, ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැත්තේය. එවැනි ආකාරයකින් ඔහු කටයුතු කළොත් එය බලය අවභාවිතයක් වශයෙන් සැලකිය යුතු ද?

ප‍්‍රශ්න අංක 2: ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීමක් පුරවැසියන්ට තිබේ ද?

පිළිතුර: ඔව්. 28 (අ) වගන්තිය යටතේ- ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කොට අනුගමනය කිරීම ශ‍්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේම යුතුකම වන්නේය.

ප‍්‍රශ්න අංක 3: ජාතික ආණ්ඩුවක් යනු කුමක් ද?

පිළිතුර: 46 (5) වගන්තිය යටතේ, ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේය.

ප‍්‍රශ්න අංක 4: මේ කියන 46 වැනි වගන්තියේ සඳහන් ජාතික ආණ්ඩුවක් පිළිබඳ මුලික ලක්ෂණ කවරේ ද?

පිළිතුර: වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගත් පක්ෂය, වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීම.

ප‍්‍රශ්න අංක 5: ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සුදුසුකම් ලබන්නේ කවර පක්ෂය ද?

පිළිතුර: 46 (4) වැනි වගන්තියට අනුව, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගත්, පිළිගත් පක්ෂයයි.

ප‍්‍රශ්න අංක 6: ජාතික ආණ්ඩුවේ එක පක්ෂයක් ඉන් ඉවත් වුණොත් ජාතික ආණ්ඩුවට කුමක් සිදු වේ ද?

පිළිතුර: ව්‍යවස්ථාවේ ඒ ගැන සඳහනක් නැත. මන්ද යත්, කෙනෙකුගේ සාමාන්‍ය බුද්ධිය අනුව එය තීරණය කළ හැකි බැවිනි. ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගත් පක්ෂය විසිනි. ඕනෑම පාර්ශ්වකාර පක්ෂයක් ඒ ආණ්ඩුවෙන් ඉවත් වුණොත්, ඉන් පසුවත් අර කියන ප‍්‍රධාන පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති තාක් කල් ආණ්ඩුව දිගටම ගෙන යා හැකිය.

ප‍්‍රශ්න අංක 7: ‘ජාතික ආණ්ඩුවක්’ සහ ඇමති මණ්ඩලය අතර ඇති අදාළත්වය කුමක් ද? එවැනි අදාළත්වයක් තිබෙන්නේ ඇයි?

පිළිතුර: ‘ජාතික ආණ්ඩුවක්’ සහ ඇමති මණ්ඩලයක් අතර ඇති එකම අදාළත්වය වන්නේ, ‘ජාතික ආණ්ඩුවක්’ යටතේ ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට ඇති හැකියාව පමණි. වෙන කිසිවක් නොවේ. එය 46 (4) යටතේ මෙසේ දැක්වෙයි: ‘‘ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවෙදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාව ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් සංඛ්‍යාව ද, නියෝජ්‍ය අමාත්‍යවරයන් සංඛ්‍යාව ද, පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුත්තේය.’’

‘ජාතික ආණ්ඩුවක්’ නොවන සාමාන්‍ය ආණ්ඩුවක් යටතේ පත්කර ගත හැකි අමාත්‍යවරුන් සංඛ්‍යාව ව්‍යවස්ථාවෙන්ම තීන්දු වී තිබේ. එය ව්‍යවස්ථාවේ 46 (අ) සහ (ආ) යටතේ මෙසේ දැක්වෙයි: ‘‘අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරයන් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතුය. අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාවේ එකතුව හතළිහ නොඉක්මවිය යුතුය.

ප‍්‍රශ්න අංක 8: කැබිනට් ඇමතිවරුන්ගේ සංයුතිය ජනාධිපතිවරයාට වෙනස් කළ හැකි ද?

පිළිතුර: ඔව්, එසේ කළ හැකිය. 43 (3) වගන්තියට අනුව, ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්යය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේය.

ප‍්‍රශ්න අංක 9: ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කරනු ලැබීම නිසා, පවතින අමාත්‍ය මණ්ඩලය අහෝසි වෙයි ද?

පිළිතුර: නැත. ඉහත සඳහන් 43 (3) වගන්තියේම තවදුරටත් දැක්වෙන පරිදි, ‘‘ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම, අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරණ වගකීමේ අඛණ්ඩ පැවැත්මට බල නොපාන්නේය’’.

ප‍්‍රශ්න අංක 10: ජාතික ආණ්ඩුවට සම්බන්ධ පක්ෂයක් හෝ කිහිපයක් ආණ්ඩුවෙන් ඉවත් වූ විට අමාත්‍ය මණ්ඩලයත් අහෝසි වන්නේය යන්න සැබෑවක් ද?

පිළිතුර: නැත. අමාත්‍ය මණ්ඩලය යනු ආණ්ඩුවේ අති වැදගත් අංශයකි. 47 (1) වගන්තියට අනුව, ‘‘පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලබන තෙක් ක‍්‍රියා කළ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබුව ද, දිගටම ක‍්‍රියා කළ යුත්තේය.’’ එහි අදහස වන්නේ මුළු පාර්ලිමේන්තුවම විසුරුවා හැරිය අවස්ථාවකදී පවා අමාත්‍ය මණ්ඩලය විසිරවෙන්නේ නැති බව ය. එබැවින්, එක් පක්ෂයක් ඉවත් වූ පමණින් අමාත්‍ය මණ්ඩලයක් අහෝසි වන්නේය යන්න අතාර්කික කතාවකි.

ප‍්‍රශ්න අංක 11: අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වෙනස් වීම, අගමැතිවරයාගේ තනතුරට බලපාන්නේ ද?

පිළිතුර: නැත. අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් වීමක් නිසා අමාත්‍ය මණ්ඩලය අහෝසි නොවන බැවින්, අගමැතිවරයාගේ තනතුරට එය බල නොපාන්නේය.

ප‍්‍රශ්න අංක 12: අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් වූ අවස්ථාවක පවා අමාත්‍ය මණ්ඩලය දිගටම කටයුතු කරන්නේ නම්, අගමැතිවරයාත් දිගටම කටයුතු කරති යි කීම හරි ද?

පිළිතුර: හරියටම හරි.

ප‍්‍රශ්න අංක 13: අමාත්‍ය මණ්ඩලය අහෝසි වුණොත්, අග‍්‍රාමාත්‍යවරයාගේ ධුරයත් ඒ සමගම අහෝසි වන බව කීම සත්‍යයක් ද?

පිළිතුර: ඔව්. එය සත්‍යයකි. 46 (2) වගන්තියේ එය මෙසේ දැක්වෙයි: ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද, ඒ තාක් කල් අගමැතිවරයා ස්වකීය ධුරය දරන්නේය.’’

ප‍්‍රශ්න අංක 14: අමාත්‍ය මණ්ඩලයක් විසිරී ගියේ යැයි සලකන්නේ කුමන අවස්ථාවකදී ද?

පිළිතුර: ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 48 (1) වගන්තියේ එය මෙසේ දැක්වෙයි: ‘‘මරණයට පත්වීම නිසා හෝ ඉල්ලා අස්වීම නිසා හෝ අන්‍යාකාරයකින් හෝ අග‍්‍රාමාත්‍ය ධුරය දැරීම නතර වූ විට, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.’’

(ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සිංහල පරිවර්තනය තුළ, ඉහත කී ‘මරණයට පත්වීම නිසා’ යන්න වෙනුවට, ‘ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන්’ යනුවෙන් වැරදියට පරිවර්තනය වී තිබේ. කෙසේ වෙතත්, අගමැතිවරයාව ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලයක් ගැන වර්තමාන ව්‍යවස්ථාවේ කිසි තැනක සඳහන් නොවන නිසාත්, 18 වැනි ව්‍යවස්ථාවේ 47 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට තිබූ එම බලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ප‍්‍රකාශිතවම ඉවත් කොට ඇති නිසාත්, ඉහත කී ඉංග‍්‍රීසි මුල් පිටපතේ සිංහල පරිවර්තනය හුදු දෝෂ සහගත එකක් බව වටහා ගැනීම අපහසු නැත- පරිවර්තක).

48 (2) වගන්තියේ මෙසේ ද දැක්වෙයි: ‘‘පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප‍්‍රතික්ෂේප කළොත් එවිට ද, ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කළොත් එවිට ද, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.’’

ඉහත කී අවස්ථා දෙකෙන් එකක්වත් මේ දක්වා සිදු වී නැත. එබැවින්, අග‍්‍රාමාත්‍යවරයාගේ ධුරය අහෝසි වී නැත. එහි තාර්කික දිගුව වන්නේ, අමාත්‍ය මණ්ඩලය ද විසිරී ගොස් නැති බවයි.

ප‍්‍රශ්න අංක 15: පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය විසිරී යන්නේ ද?

පිළිතුර: නැත. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අවස්ථාවකදී පවා, අමාත්‍ය මණ්ඩලය එක දිගටම පවතී. එය 47 වැනි වගන්තියේ දැක්වෙන්නේ මෙසේ ය: ‘‘පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන තෙක් ක‍්‍රියා කළ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුව ද, දිගටම ක‍්‍රියා කළ යුතුය.’’

එවැනි තත්වයක් තිබියදී, ආණ්ඩුවේ එක් පාර්ශ්වකරුවෙකු වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම ඉල්ලා අස් වූ පමණින් අමාත්‍ය මණ්ඩලයත් විසුරුවා හරිනු ලැබූ ලෙස සලකන්නේ කෙසේද? ඔවුන්ගේ ඉල්ලා අස්වීම නිසා ඇති වූ වෙනස සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කටයුතු කළ හැක්කේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42, 43, 44 සහ 45 යන වගන්ති යටතේ, අගමැතිවරයාගේ උපදෙස් මත අලූතින් ඇමතිවරුන් ඒ තනතුරුවලට පත්කිරීමයි.

ප‍්‍රශ්න අංක 16: අගමැති ධුරය අහෝසි වූ ලෙස සලකන්නේ කුමන අවස්ථාවකදී ද?

පිළිතුර: ව්‍යවස්ථාවේ 46 (2) වගන්තිය (අදාළ කොටස): ‘‘අග‍්‍රාමාත්‍යවරයා-

(අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ,

(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු නොවුවහොත් මිස,

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද, ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.’’

ප‍්‍රශ්න අංක 17: අග‍්‍රාමාත්‍යවරයා පත්කිරීමට අදාළ නීතිය කුමක් ද?

පිළිතුර: ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය මෙසේ කියයි: ‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය’’

පසුගිය ඔක්තෝබර් 28 වැනි දා ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේදී අලූත් අගමැතිවරයෙකු පත්කිරීමට හේතු වූ කරුණු ගණනාවක් කීවේය. එහෙත් අවාසනාවට, ඒ හේතු කිසිවක්, ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි, ‘‘පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කළ යුතුය’’ යන්න සමග ගැලපෙන්නේ නැත. ඊටත් වඩා, අලූතින් පත්කරන ලද අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති බව පෙන්වීමට අවස්ථාවක් නොදෙමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම නිසා තත්වය තවත් නරක අතට හැරුණි.

අවසාන වශයෙන් සලකා බලන විට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 (1) සහ (2) වගන්තිවලට පටහැනිව ජනාධිපතිවරයා විසින් බලය අපයෝජනය කොට ඇත්තේ ද යන ප‍්‍රශ්නය මතුවෙයි. එසේම, ව්‍යවස්ථාව අනුගමනය කරන බවට සහ ආරක්ෂා කරන බවට වගබලා ගැනීමට ඔහු අසමත්ව ඇත්තේ ද ප‍්‍රශ්නයත් මතුවෙයි.

2018 ඔක්තෝබර් 30 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Constitutional Coup Or Crisis – Questions & Answers නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා අනුග‍්‍රහයෙනි

Print Friendly, PDF & Email

ව්‍යවස්ථා කුමණ්ත්‍රණය හා ශ්‍රී ලංකාවේ ආර්ථිකය

$
0
0

මංගල සමරවීර –

මංගල සමරවීර​

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නීතිවිරෝධී ලෙස සිදුකරන ලද ව්‍යවස්ථා කුමණ්ත්‍රණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මහත් අනතුරකට පත්ව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොල විශාල කඩාවැටීමකට ලක්ව ඇති මොහොතක, ජනපති විසින් ඇතිකරන ලද මෙම අවිනිශ්චිත තත්ත්වය නිසා රටට අහිතකර බලපෑම් ඇතිව තිබේ.

මෙහි පළමු අහිතකර බලපෑම ඇතිවූයේ කොළඹ කොටස් වෙළඳපොළටය. කොළඹ කොටස් වෙළඳපොළේ සඳුදා සිට බ්‍රහස්පතින්දා දින හතරක් වැනි කෙටි කලක් තුළ රු බිලියන 4 ක මුදලක් රටින් බැහැරව ගෙන ගොස් තිබේ. 2018 ජනවාරියේ සිට සැප්තැම්බර් දක්වා වූ මාස 9 ක් තුළම (දින 270 ක්) සමස්ථයක් වශයෙන් රටින් බැහැරව ගෙන ගොස් ඇත්තේ රු බිලියන 6.1 කි.

ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණය පිළිබඳව විශ්වාසය පළුදුවීම හේතුවෙන් විදේශිකයන් තම කොටස් සීඝ්‍රයෙන් අලෙවි කරමින් සිටිති. මෙසේ විදේශිකයන් තම ආයෝජන මුදල් රටින් බැහැරව ගෙනයාම ජාත්‍යන්තර මුල්‍ය අර්බූදය මධ්‍යයේ අප රටේ ආර්ථිකයට මහත් බලපෑම් ඇති කරයි. 2019 ජනවාරි මස කල් පිරෙන ඇ.ඩො. බිලියනයක ස්වෛරී බැදුම්කරයේ ඉපැයීම කිසිදා නොවූ විරූ අයුරින් 5.6% සිට 9.9 % දක්වා දෙගුණයකින් පමණ වැඩි විය. ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් මෑතදී ඇතිවූ වැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් විදේශීය ආයෝජකයන්, ජාත්‍යන්තර ආයෝජකයන් වැඩි පොළියක් ඉල්ලා සිටින නිසා මෙම තත්වය උද්ගතව ඇත. මෙය වනාහී ශ්‍රී ලංකාවේ විදේශ ණය ගැනීමේ පිරිවැය දෙගුණයක් වනු ඇත.

ශ්‍රී ලංකාව එහි විදේශ ණය ගෙවීමට අපොහොසත් වූවහොත් රට මෙවැනිම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ ආර්ජන්ටිනාවේ තත්ත්වයට නැතහොත් වෙනිසියුවේලාවටත් වඩා අන්ත තත්ත්වයට පත්වීම නොඅනුමානයි. මෙවැනි සහසික හා අවස්ථාවාදී  ක්‍රියා නිසා පීඩාවට පත්වනුයේ අප රටේ පුරවැසියන් ය . ශ්‍රී ලංකාව වැනි අභියෝගවලට මුහුණ දෙන ආර්ජන්ටිනාවේදී ද, මෙම සතිය තුළ අප රටේ සිදු කරන ලද්දක් මෙන් ප්‍රතිපත්තිමය වෙනස් කිරීම හේතුවෙන් එහි පොළී අනුපාතය 74% ට වැඩිවිය. උද්දමනය 22% ක් වූ අතර එහි මුදල වන පෙසො හි අගය 115% ප්‍රතිශතයකින් අවප්‍රමාණය විය.

ශ්‍රී ලංකාවේ ණය සහ කොටස් වල සිදුවන්නාවු සීඝ්‍ර විදේශ අලෙවිකරණයෙහි ප්‍රතිපලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ රුපියලේ අගය හා දේශීය පොළී අනුපාතය කෙරෙහි සැලකිය යුතු පීඩනයක් ඇතිවනු ඇත. රුපියල් 175 ට අඩුවෙන් ස්ථාවර වී තිබූ රුපියලේ අගය සිව් දිනක් තුළ රුපියල් 174 සිට 177.3 දක්වා අවප්‍රමාණය විය. රුපියල ආරක්ෂා කිරීම සඳහා ඉතා අමාරුවෙන් ගොඩ නැගූ විදේශ සංචිතයේ මුදල් විකිණීමේ පැරණි රාජපක්ෂ උපාය මාර්ගය දැනටමත් ක්‍රියාවට නංවා තිබේ. මෙය නැවත වාරයක් අසාර්ථක උපාය මාර්ගයක් ලෙස ඔප්පු වනු ඇත. සංචිතය ට ඇතිවන්නාවූ පාඩුව ඉදිරියේදී තිබෙන විදේශ ණය සේවාකරණය ගෙවීම සඳහා තිබෙන දුෂ්කරතාවය තවත් තීව්‍ර කරනු ඇත.

ද්‍රවශීලිතාවය තියුණු ලෙස දැඩිව ඇති බැවින් දේශීය පොළී අනුපාතය කෙරෙහි සැලකිය යුතු අයුරින් බලපෑම් දැනටමත් එල්ලවී තිබේ. මෙම සතිය තුළ ඇතිවූ පීඩණය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොළී අනුපාතය වැඩි කිරීමේ දැඩි සම්භාවිතාවයක් පවතියි. මෙය නිසා ණය ගැනීමේ පිරිවැය වැඩි වන අතර ආයෝජන හා ආර්ථික ක්‍රියාවන් අඩපණ කරනු ඇත.

පිරිහෙමින් පැවති අපනයනය සහ එක තැන පල්වෙමින් පැවති සෘජු විදේශ ආයෝජන ආපස්සට කැරකවීමට හරවන්න ශ්‍රී ලංකාව යාන්තමින් සමත්වූවා පමණි. 2017 වසර තුළ අපනයනය හා සෘජු විදේශ ආයෝජනය විශිෂ්ඨ තත්ත්වයේ පැවති අතර එය 2018 මුල් මාස හය තුල අඛණ්ඩව වර්ධනය විය. අවාසනාවකට මෙන්,  මෙම නීති විරෝධී ආණ්ඩුවේ නිර්ලැජ්ජිත ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සහ ව්‍යවස්ථානුකූල නොවන ක්‍රියා නිසා අප විසින් ඉතා වෙහස වී යුරෝපීය වෙළඳපොල පිවිසුම හා 

ජී එස් පී + (GSP+) වැඩසටහන අවදානම් තත්ත්වයට තල්ලුකර ඇත. මෙම වෙළඳපොළ අවස්ථා අපට අහිමි වුවහොත් , ලොව විශාලම වෙළඳපොළ අවස්ථාව අහිමිවී, අපගේ ධීවර හා මුහුදු ආහාර ක්ෂේත්‍රය මෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයටද බෙහෙවින් අහිතකර බලපෑම් ඇතිවනු ඇත. සංවෘත ආර්ථික ක්‍රමය, ආරක්ෂණවාදය සහ ප්‍රතිගාමී ප්‍රතිපත්ති කෙරෙහි නැඹෘවන්නේ නම් අප රට යළි ආර්ථික අර්බුධ කරා තල්ලුවීම වැළැක්විය නොහැක.

මෙම සෘණාත්මක ප්‍රවණතාවය ජාත්‍යාන්තර ඇගැයුම් ආයතනවල (International Rating Agencies) ක්ෂණික අවධානය ට ලක්ව තිබේ. නිරතුරුව වෙනස්වන ප්‍රතිපත්ති සමගින් වූ දික්ගැස්සුණු දේශපාලන කැළඹීම ආයෝජකයන්ගේ විශ්වාසය නැතිකරන අතර  2019- 2022 කාලය අතර විශාල වශයෙන් ගෙවිය යුතු විදේශ ණය සේවාකරනය ඉටුකිරීම ද රජයට විශාල අභියෝගයක් වේ. තවත් ඇගයීම් ආයතනයක් වූ මූඩි ආයතනය (Moody’s) පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ දරුණු තත්ත්වයක පවතිද්දී, අනාගත ප්‍රතිපත්තිය කෙරෙහි අවිනිශ්චිත තත්ත්වයක් පැවතීම ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීමේ දී  සෘණ බලපෑමක් ඇති වනු ඇත. 

මූල්‍ය ආයතනයන් ඇගයීමට ලක්කරන ජාත්‍යන්තර  ආයතන ශ්‍රී ලංකාව පිළිබඳ ඔවුන්ගේ ඇගයීම් තත්ත්වය පහත හෙළීමේ බරපතල අවදානමක් පවතියි. මේ හේතුවෙන් ජාත්‍යන්තර ස්වෛරී ණය සඳහා පොළී අනුපාතය වැඩිවීමට සහ ශ්‍රී ලංකාවට ණය දෙන්නන් අතිශයින් පසුබසින්නට ඉඩ ඇත. ඒ පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ව්‍යාකූල දේශපාලන තත්ත්වය හමුවේ ඇරඹි මූල්‍ය ප්‍රතිපත්තිය හේතුවෙනි. ඉදිරි වසර තුන ඇතුළත ශ්‍රී ලංකාව විසින් විදේශයන්ට ගෙවිය යුතු ඇ.ඩො. බිලියන 15 ක ණය සේවාකරණය සඳහා ණය ලබා ගැනීම අති දුෂ්කර කරුණක් වේ. අප රජය විසින් ඉතා කල්පනාකාරීව ක්‍රියාවට නංවන ලද ප්‍රතිපත්තිවලට යළි මෙම රට යොමු කරමින් ආර්ථිකය යළි ප්‍රතිෂ්ඨාපනය නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය නොගෙවීමේ බරපතල අවධානමට මුහුණ දීමට සිදුවනු ඇත.

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය හා සාර්ව ආර්ථික ස්ථායිතාවය ඇති කිරීම සඳහා පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව ඉතා අමාරුවෙන් කටයුතු කළේය. 2019 – 2022 කාලය තුළ අපට විශාල ප්‍රමාණයෙන් විදේශීය ණය සේවාකරණ බන්ධනයන් තිබෙන බැවින් ජගත් මූල්‍ය වෙළඳපොළ තුළ විශ්වසනීයත්ව දිනාගැනීම සඳහා කැපකිරීම් කරන ලදී. මෙම විශ්වසනීයත්වය වගකීම් රහිත ආකාරයට මෙම නීති විරෝධී ආණ්ඩුව විසින් සතියක කාලය තුළ කෙලසා දමා තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා සිදු කරන ලද විවිධ බදු කපාහැරීම් රාජ්‍ය ආදායමට පීඩා පමුණුවනු ඇත. 2019 වසර තුළ රුපියල් ට්‍රිලියන 2 ක ණය සේවාකරණයක් කිරීමට සහ අපගේ රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන දෙකකට ආසන්නව තිබෙන සංදර්භය තුළ අදායමේ කිසිදූ අඩුවීමක් සිදුවීම යනු මූල්‍ය බන්ධනයන් හා රාජ්‍ය සේවයට ප්‍රතිපාදන ලබාදීමට තිබෙන රජයේ හැකියාවන් වෙත අතිශයින් විනාශ දායක වේ.

වත්මන් පාලනය විසින් අනාවරණය කරන ලද බදු අඩුකිරීමේ යෝජනා 15 න් තුනක් වන විදුලි සංදේශ බදු අඩුකිරීම, වැට් සඳහා ආදායම් සීමාවන් වැඩිකිරීම සහ පොළී ආදායම් මත වූ රඳවාගැනීමේ බද්ද අඩුකිරීම ආදීය පමණක් ගතහොත් එයින් රු බිලියන 75ක ආදායම් අඩුවීමක් සිදු වනු ඇත. (මෙය සමෘදිය ලබාදීම සඳහා වසරකට වැය කරන මුදල මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකි). සැබවින්ම 5% ක අවසන් රඳවාගැනීමේ බද්ද ඉවත් කරන්නේ නම්, පොළී ආදායම, ආදායම් ලෙස ප්‍රකාශයට පත් කොට දැනට වලංගු 5% වෙනුවට 24% ආදායම් බද්දක් අය කිරීමට ඔවුන් බලාපොරුත්තු වෙනවා විය හැක.

මෙම නීති විරෝධී රජය විසින් විසින් ඔවුන්ගේ අස්ථිර, වගකීම් විරහිත එහෙත් ජනප්‍රිය බදු අඩුකිරීම් තුළ රජයේ වියදම් අඩුකරනුයේ කෙසේදැයි තවමත් පැහැදිලි නැත. 2018 වසරේ මුල් මාස 6 තුළ සමස්ත රාජ්‍ය ආදායම රු බිලියන 925 කි. රාජ්‍ය වැටුප් සඳහා රු බිලියන 316  ක්, පොලි ගෙවීම් සඳහා රු බිලියන 391 ක් සහ සුභ සාධන වියදම සඳහා රු බිලියන 223 ක් වන අතර මෙම වියදම් තුනේ එකතුව පමණක් රු බිලියන 930 කි. මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සේවක ප්‍රමාණය අඩු කරයි ද ? රාජ්‍ය වැටුප් අඩු කරයි ද ? සමහරවිට ඔහු විශ්‍රාම වැටුප අඩු කරාවි ද ?

සැබැවින්ම මෙම කුමණ්ත්‍රණය හේතුවෙන් භාණ්ඩාගාර බිල්පත්වල පොළී අනුපාතය පෙර ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා බෙහෙවින්ම වැඩිවනු ඇත. ඔහුට ඇති එකම විකල්පය සංවර්ධන කටයුතු සඳහා තිබෙන වියදම් කපාහැරීමය. එසේ කිරීමට අප රජය කිසිදු ආකාරයකින් කටයුතු කළේ නැත. ආදායම් අඩුවීම් ආවරණය කිරීම සඳහා “අමාත්‍ය මණ්ඩලය අඩු කරනවා” සහ “ප්‍රාග්ධන වියදම් නැවත සමාලෝචනය කරනවා” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීම යනු ජනතා අවධානය වෙනත් මගට යොමු කර ඔවුන් රැවටීමට ගනු ලබන හුදු ප්‍රයත්නයන් පමණි.

ඉන්ධන මිල සූත්‍රය ඉවත් කිරීමෙන්, මෙම නීති විරෝධී පාලකයන් උත්සහ කරනුයේ ඉන්ධන මිල තීරණය කිරීමේදී  විනිවිද නොපෙනෙන, දේශපාලනීකරණය වූ මිල ක්‍රමයක් අනුගමනය කිරීමටය. එයින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රු බිලියන 350 ට අධික පාඩුවක් සිදු වනු ඇති අතර එම බර අවසානයේ බදු ගෙවන ජනතාව මත පටවනු ඇත. ඔක්තෝම්බර් 10 වන දිනට පසුව සිංගපූරු ප්ලැට්ස් තෙල් මිලෙහි 12 % ක අඩුවීමක් වාර්තා වූ අතර ඉන්ධන මිල සූත්‍රය අනුව ද තෙල් මිල අඩු කිරීමට හැකිව තිබිණි.

පසුගිය සතිය තුළ ගනු ලැබූ වගකීම් රහිත ක්‍රියාවන් ආර්ථික කළමනාකරණ මූලික සිද්ධාන්තවලට පවා පටහැනි ඒවාය. මෙම කෙටි කාලීන, පහත් මජර ක්‍රමයන්, බලය ඩැහැ ගැනීම සඳහා ජනතාව රැවටීමට කරනු ලබන උත්සාහයන් වන අතර ඔවුන්ගේ මූලික අරමුණ වී ඇත්තේ, මේ වන විට උසාවියේ පවත්නා නඩුවලින් නිදහස්වීමය. මෙවැනි අඥාන ක්‍රියාමාර්ග තුළින් අපේ රට විශාල ආර්ථික අගාධයකට ඇද දමනු ඇත.

අප රජය විසින් ආර්ථික වර්ධන උත්තේජනය කිරීම හා ජනතාවගේ ජීවන මට්ටම නංවන්නට ඉතා සැලසුම් සහගතව වැඩසටහන් සමූහයක් ක්‍රියාවට නංවන ලදී. සුලු ව්‍යාපාර හා ආයතන බලගැන්වීම සඳහා හඳුන්වාදෙන ලද “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා“ වැඩසටහන විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබේ. ‘ගම්පෙරලිය‘ වැඩසටහන ග්‍රාමීය ආර්ථික යටිතල පහසුකම් දිරිමත් කිරීම සඳහා ප්‍රධාන මූලාශ්‍රයක් බවට පත්ව ඇත. අපගේ ප්‍රායෝගික සාර්ව ආර්ථික ප්‍රතිපත්ති හරහා උද්ධමනය පාලනය කර තිබෙන අතර  ඔක්තෝම්බර් මාසය තුළ ආහාර මිල ගණන් 2.3 % අඩුවිය. මෙම සතියේදී හඳුන්වා දෙන ලද ආකාරයේ බාල, අදූරදර්ශී සහ වගකීම් විරහිත ක්‍රියාවලට අප රජය පෙළඹ වූයේ නැත.

අසාර්ථක, පවත්වාගෙන යා නොහැකි මෙම වංචනික ක්‍රියාවන්ට නොරැවටෙන ලෙසත්  මෙම නීති විරෝධී පාලකයන්ගේ  ප්‍රජාතන්ත්‍ර විරෝධී, ව්‍යවස්ථා විරෝධී වංචනික උපායයන් ප්‍රතික්ෂේප කරන ලෙස මේ රටේ සියලු සබුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

Print Friendly, PDF & Email

මාදුලුවාවේ සෝභිත හිමි සමරු දේශනය: දේශපාලන අන්ධකාරය සහ දේශපාලන අපේක්ෂාව

$
0
0

ජයදේව උයන්ගොඩ

මහාචාර්ය ජයදේව උයන්ගොඩ

අප මාදුලුවාවේ සෝභිත හිමියන් සිහිකරන්නේ, අප රටේ දේශපාලනය තීරණාත්මක සන්ධිස්ථානයකට ප්‍රවේශ වී ඇති මොහොතය. මේ සතියේ ලංකාවේ දේශපාලනය පවතින්නේ මීට සති දෙකකට පෙර පැවති තත්ත්වයෙන් නොවේ.ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකය. එහි මුඛ්‍ය ලක්ෂණය වන්නේ, මාදුලුවාවේ සෝභිත හිමියන්ගේත්, එතුමන් නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේත් අනුප්‍රාණ ලැබ සිදු වූ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පුනර්ජීවන ක්‍රියාදාමය නොසිතූ විරූ සහ ඛේදනීය පසුබෑමකට ලක්වීමයි. නිර්ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලන අන්ධකාරය නැවත අප වෙත පියමන් කරමින් සිටියි. එම පසුබෑමේ සහ අන්ධකාරයේ කර්තෘකයන් වී සිටින්නේ 2015 දේශපාලන පුනර්ජීවනයේ නායකයින්ම වීම එම ඛේදනීයභාවය තවත් තියුණු කරයි. මේවා ඇසින් දකින්නට පෙර මෙලොව හැර යාමට අවස්ථාව ලැබීම ගැන සමහරවිට බොහෝ බෞද්ධයින් විශ්වාස කරන ආකාරයෙන් දේවතාවෙකු වී සිටින සෝභිත ස්වාමීන් වහන්සේ සැනසුම් සුසුමක් හෙළනවා විය හැකිය.

සෝභිත ස්වාමීන් වහන්සේ මා පුද්ගලිකව දැන හඳුනාගෙන සිටි කෙනෙකු නොවේ. එහෙත් අසම්මතවාදී සහ අයුක්ති විරෝධී ධර්ම දේශකයෙකු බව, 1970 ගණන්වල මුල් භාගයේ සිට උන්වහන්සේ ගැන මා දැනගෙන තිබිණ. 1971 තරුණ කැරැල්ලෙන් පසුව එම කැරැල්ලේ තිබුණ සමාජ සාධාරණත්වවාදී අර්ථය ගැන උන්වහන්සේ ප්‍රසිද්ධියේම තම අදහස් පළ කළහ. 1977න් පසුව ඇති වූ නිර්ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රභූතාන්ත්‍රික ආණ්ඩුකරණය ගැන ද උන්වහන්සේ ප්‍රසිද්ධියේම විවේචනය කළහ. 1994 ඇති වූ ආණ්ඩු වෙනස සඳහා ද සෝභිත හිමියන් කළේ වැදගත් දායකත්වයකි. උන්වහන්සේගේ වැදගත්ම දේශපාලන මැදිහත්වීම වූයේ පසුගිය දශකයේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තියුණු පසුබෑමකට පත් වූ අවධියක, ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලන අපේක්ෂාව පුනර්ජීවනය කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකට අවශ්‍ය සමාජ ප්‍රතිරෝධය ගොඩනගන සිවිල් සමාජ ව්‍යාපාරයකට නායකත්වය දීමයි. ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ වගකීම ඉටුකිරීමට දේශපාලන පක්ෂවලට නොහැකි වූ විට සහ දේශපාලන පක්ෂ අධිකාරවාදී, නිර්ප්‍රජාතන්ත්‍රවාදී බලව්‍යාපෘතිවල පහර ඉදිරියේ දුබල වී සිටි වකවානුවක, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් දේශපාලන පක්ෂවලට පිටින් ගොඩනැගීමේ පුරෝගාමියා වූයේ උන්වහන්සේයි.

සෝභිත හිමියන් මුහුණට මුහුණ ලා හමුවීමට මට ලැබුණේ එක් අවස්ථාවක පමණි. ඒ 2015 අප්‍රියෙල් මාසයේ, යහපාලන ආණ්ඩුව පිහිටුවා තුන් මසකට පසු යහපාලන පරිවර්තනයේ අත්දැකීම සමාලෝචනය කිරීමට, කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති සම්මන්ත්‍රණයේදීය. සෝභිත හිමි සහ මාද එම සම්මන්ත්‍රණයේ කථික මඬුල්ලේ සිටියෙමු. මේ සම්මන්ත්‍රණයේ කථා පැවැත් වූ 2015 දේශපාලන වෙනසට සෘජුව දායක වූ සිවිල් සමාජ සහ බුද්ධි ශ්‍රේණිවල නියෝජිතයන් පොදුවේ ඉදිරිපත් කළ අදහසක් නම්, යහපාලන ආණ්ඩුවේ නායකයින්ට තමන් ජනතාවගෙන් ඉල්ලා සිටියා වූත්, ජනතාවගෙන් ලැබුණා වූත් ජනවරම ගැන නිසි අවබෝධයක්වත්, එය සාක්ෂාත් කරලීමට අවශ්‍ය දේශපාලන කැපවීම හෝ අධිෂ්ඨානය හෝ ප්‍රමාණවත් ලෙස නොතිබුණේය යන්නයි. ලිප ගිනි මොළවා දීම, තාච්චිය රත්කර දීම, පිටි අනා දීම සහ එහෙත් රොටිය පුළුස්සා බිමට නොගැනීම පිළිබඳ එතුමාගේ ප්‍රසිද්ධ දෘෂ්ටාන්තය නැතහොත් උපමාකථාව ඉදිරිපත් කළේ මෙම සම්මන්ත්‍රණයේදීය. අද සිදුවන සිදුවීම් දෙස වෙන ලොවක සිට බලා සිටින උන්වහන්සේ කියනු ඇත්තේ ‘මේ ගොල්ලෝ ලිfma  ගින්දරත් නිවලා නේ’ යන්න යැයි මට සිතේ.

මේ නිරීක්ෂණය වනාහී වර්තමාන ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනය මුහුණ දෙන මහා අර්බුදයේ පරිමාව කියාපාන්නකි. මෙම අර්බුදයේ මූලික ලක්ෂණ කිහිපයක් අපට පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකිය. ඉන් පළමුවැන්න නම්, ප්‍රතිසංස්කරණවාදී පොරොන්දුවක් සහිතව මහජන සහයෝගය ලබාගෙන බලයට එන දේශපාලන නායකත්වය එම පරිවර්තනයේ කර්තෘක කාර්යය අතරමගදී අතහැර දැමීම පමණක් නොව, එය ආපසු හැරවීමේද කර්තෘකයන් වීමේ o අනතුර නිරන්තරව තිබෙන්නේය යන්නයි. එය වැළැක්විය හැක්කේ කෙසේද යන්න ගැන පැහැදිලි අදහසක් තවමත් අප අතර නැත. 

දෙවැන්න නම්, ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තන ක්‍රියාවලිය බිඳ දැමීම සඳහා දූෂණය විසින් ඉටුකරනු ලබන සෘජු කාර්යභාරයයි. අප රටද, ඉන්දියාවද ඇතුළුව බොහෝ රටවල දේශපාලනඥයින් සහ ආණ්ඩු සම්බන්ධ දූෂණය දෙයාකාරයකින් සිදු වන බව පෙනේ. පළමුවැන්න ආර්ථික ක්ෂේත්‍රයට සම්බන්ධ දූෂණයයි. දෙවැන්න දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ දූෂණයයි. පසුගිය සති දෙක තුළ අප රටේ අපට නිරීක්ෂණය කළ හැකි වූයේ දේශපාලන දූෂණය ඉතා ඉහළ මට්ටමෙන් ප්‍රසිද්ධියේ සහ දෛනිකව සිදුවන ක්‍රියාවලියක් බවයි. මෙම ක්‍රියාවලියේ ප්‍රධාන ප්‍රවණතා තුනක් පවත්නා බව කෙනෙකුට නිරීක්ෂණය කළ හැකිය. පළමුවැන්න ආණ්ඩුකරණයේ ඉහළම බලධරයන්ගේ අවශ්‍යතාව, අනුදැනුම සහ ආශිර්වාදය ඇතිව දේශපාලන දූෂණ සිදුවීමයි. දෙවැන්න දේශපාලන දූෂණය ආණ්ඩුකරණ, එනම් ආණ්ඩු පිහිටුවීමේත්, ආණ්ඩු බිඳ දැමීමේත් ක්‍රියාවලියේ අනිවාර්ය සහ සුජාත අංගයක් ලෙස අපගේ දේශපාලන පංතිය විසින් සලකනු ලැබීමයි. තුන්වැන්න දේශපාලන දූෂණය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සමඟ සම්බන්ධ කිරීමයි. ‘ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව දූෂණය පැවතිය හැකි වුවත්, දේශපාලන දූෂණයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදයට පැවතිය නොහැකියි’ යන නව දේශපාලන න්‍යායික මූලධර්මය අප රටේ දේශපාලන නායකයින් ලෝක දේශපාලන චින්තාවට එකතු කරමින් සිටින නවතම ප්‍රවාදය බව පෙනේ. දේශපාලන දූෂණය ලැජ්ජා විය යුතු නැති, ආඩම්බර විය යුතු දේශපාලන යහගුණයක් ලෙසත්, එය ‘යහපාලනය’ යන සංකල්පයේ අලුත් අර්ථය වී ඇති බවත් ඔවුහු මෙරට පුරවැසියන්ට කියති.

තුන්වැනි නිරීක්ෂණය නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කුමක්ද?, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කාර්යභාරය කුමක්ද?, පුරවැසියන් මෙන්ම වෘත්තීය දේශපාලනඥයින්ද ආණ්ඩුක්‍රම වශවස්ථාවට දැක්විය යුත්තේ කවර සැලකිල්ලක්ද? යන්නයි. ඡන්ද අයිතියවත් තවමත් නොලැබූ උසස්පෙළ පන්තිවල ඉගෙනගන්නා පාසැල් දරු දැරියන්ට දේශපාලන විද්‍යාව යන විෂය යටතේ උගන්වන පාඩමක තේමාව ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා’ යන්නයි. එම පාඩම යටතේ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙන ගන්නා අදහසක් නම් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටක මූලික සහ උත්තරීතර නීතිය වන්නේය’ යන්නයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට භක්තිමත්ව, එය ආරක්ෂා කරන බවට රජයේ රැකියා ලබා ගන්නා සෑම පුරවැසියෙක්ද, ජනාධිපති, අගමැති, ඇමති, මන්ත්‍රී, ප්‍රාදේශීය සභා සභික ආදී දේශපාලන තනතුරු ලබා ගන්නා සෑම වෘත්තීය දේශපාලනඥයෙකුද  දිවුරා පොරොන්දු වෙති. එහෙත් මෙරට පුරවැසියන් ඔක්තෝබර් 26 දා සැන්දෑවේ හදිසියේම දුටුවේ කුමක්ද? අප රටේ මූලික උත්තරීතර නීතියට භක්තිමත්ව, එය ආරක්ෂා කිරීමට ශපථ වී ඇති ඉහළම පිරිසෙන් කොටසක් එම උත්තරීතර නීතිය හිතුමතේ උල්ලංඝනය කිරීමයි. ඊට පසුව පුරවැසියන් දුටුවේ කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති විවෘතව උල්ලංඝනය කිරීමම ව්‍යවස්ථානුකූල ක්‍රියාවක් යැයි නීති විශාරදයින් යැයි කියාගන්නා පුද්ගලයින් මහජනතාව හමුවේ කියාපෑමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රාජ්‍ය බලය හිමි පාලකයින් විසින් තම කෙටිකාලීන දේශපාලන ස්වාර්ථය සඳහා සිතැඟි ලෙස උල්ලංඝනය කළ හැකි ලියවිල්ලක් නම්, අප රටේ නායකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සළකන්නේ රටේ මූලික සහ උත්තරීතර නීතිය ලෙස නොවේ. තම තනතුරුවල දිවුරුම් දෙන විට ඔවුන් දැන් කියවිය යුත්තේ අලුත් ප්‍රකාශයකි. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බලයේ රැඳී සිටීමටත්, දේශපාලන බලය අයුතු ලෙස සහ සදාචාර විරෝධී ලෙස අවභාවිතා කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවත්නා සීමා පවතින්නේ නම් ඒවා නොසලකා හැරීමටත් මම දිවුරා පොරොන්දු වෙමි.” යනු ඒ සඳහා දැනට යෝජනා කළ හැකි විකල්ප දිවුරුම් ප්‍රකාශයකි. අප දැන් පිවිස සිටින්නේ ආණ්ඩුක්‍රමව්‍යවස්ථාමය පාලනය බිඳවැටී නොව බිඳදමා ඇති පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී අවධියකටය. එහි විනාශකාරීමය බැරෑරුම්කම wjfndaOùu තවමත් පටන්ගෙන නැත. එහි පළවිපාක විවෘතව ප්‍රකාශ වීමට පටන්ගත් විට අප සමාජය තුළ නැවත වරක් දේශපාලන ප්‍රචණ්ඩත්වය, දරුණු මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, ලේ වැගිරීම් සහ දේශපාලන අස්ථාවරභාවය පිළිබඳ නව අවධියකට අප පත් වී සිටින බව අපට පෙනෙනු ඇත.

සිව්වැනි නිරීක්ෂණය අපට කළ හැක්කේ ‘දේශපාලන විශ්වසනීයත්වය(Political trust)’යන සංකල්පය යටතේය. 2015 ජනවාරි මාසයේ සිදු වූ ආණ්ඩු වෙනසෙහි සන්දර්භයේ තිබුණු එක් ලක්ෂණයක් වූයේ දේශපාලන ආයතන සහ දේශපාලන නායකයින් පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටී ;îSuhs. එම බිඳවැටුණ මහජන විශ්වාසය යළි ගොඩනැගීම යහපාලනය පිළිබඳ දේශපාලන පොරොන්දුවේ එක් අංගයක් විය. එහෙත් 2015 වසරේ මැද භාගයේ සිට miq.sh ඔක්තෝබර් මස අවසන් සතිය දක්වා ආණ්ඩුවේ නායකයින් ක්‍රියාත්මක කළ ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ, පුරවැසි විශ්වසනීයත්වය යළි ගොඩනැගීමේ පොරොන්දුවට ලබා දී තිබුණේ මඳ සැලකිල්ලකි. සභාග ආණ්ඩුවේ එක් පාර්ශ්වයක නායකයින් කළේ ආර්ථික දූෂණය තම දේශපාලන පැවැත්මේ අංගයක් බවට පත්කර ගැනීමයි. එම ක්‍රියාවලිය එළිදරව් වූ විට ඔවුන් කළේ ඒවා වසා ගැනීමට තම දේශපාලන කූඨ බුද්ධිය උපරිම ලෙස යොදා ගැනීමයි. ඒ අතර ආණ්ඩුවේ සිටි අනෙක් පාර්ශ්වය කළේ, ආණ්ඩුව ඇතුළත දේශපාලන බලතුලනය තමන්ට වාසිදායක ලෙස හරවා ගැනීමට තම එදිරිවාදී පාර්ශ්වයේ ආර්ථික දූෂණය පිළිබඳ සිදුවීම් දේශපාලනිකව පාවිච්ච් කිරීමයි. මෙම පසුබිම තුළ පුරවැසියන් මුහුණ දෙන උභතෝකෝටිකය මෙයයි. දේශපාලන ජීවිතය පිරිසිදු කිරීමට ශපථ කරමින් ආණ්ඩුබලය ලබා ගන්නා දේශපාලන නායකයින්ට ආර්ථික සහ දේශපාලන දූෂණයේ යෙදෙන විට, මෙම දේශපාලන නායකයින් ගැන අපට තව දුරටත් දේශපාලන විශ්වාසයක් තැබිය හැකිද? දේශපාලන ජීවිතය පිරිසිදු කිරීමට තරම් අප රටේ ආයතන ශක්තිමත් නැත්නම්, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණ ආයතන ගැන අපට විශ්වාසයක් තැබිය හැකිද? මෙම උභතෝකෝටිකයට විසඳුම් පුරවැසියන් ඉදිරියේ දැනට නැත. දැනට ඉදිරිපත් වී තිබෙන දේශපාලන විකල්පයට කළ හැක්කේ එම උභතෝකෝටිකය තියුණු සහ උග්‍ර කිරීම පමණි.

‘දේශපාලන නායකත්වය පිළිබඳ විශ්වාසය බිඳවැටීම’ යන ඉහත අප කළ නිරීක්ෂණය තරමක් දුරට විභාග කළ යුතු කාරණයකි. මේ විභාගය ආරම්භ කිරීම සඳහා 2014 අග කාලයේ අප රටේ පැවති දේශපාලන වාතාවරණය ගැන මඳක් සිහිපත් කර ගනිමු. 2014 වන විට අප රටේ තියුණු දේශපාලන අර්බුදයක් පැවතිණ. එහි එක් ප්‍රධාන ලක්ෂණයක් වූයේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරගෙන දේශපාලන අධිකාරවාදය පෙරට පැමිණ තිබීමයි. ඒ අනුව 2014 වන විට ලංකාවේ දේශපාලනය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබිණි. එය වූ කලී දෙමං සන්ධිස්ථානයකි. දෘඪ අධිකාරවාදයක් කරා  පරිවර්තනය වන්නේද? ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය  කරන්නේද? යනු මෙම එකිනෙකට විරුද්ධ මාවත් දෙක විය.  2014 වසරේ අවසාන කාර්තුව පැමිණෙන විටද රටේ දේශපාලන බල තුලනය පැවතියේ දෘඪ අධිකාරjdoS මාවතට ප්‍රවිෂ්ඨ වීමේ විකල්පයකය. fï w;r ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ විකල්පයට මහජන සහයෝගය ගොඩනැfගමිka තිබිණ. අද අප ගුණ සමරන මාදුලුවාවේ සෝභිත හිමි සහ උන්වහන්සේ නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මෙම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මහජන අභිලාෂය ශක්තිමත් කිරීමේ කාර්යයේ පුරෝගාමී වැඩ කොටසbgq කර තිබිණි. එහෙත් මෙම ප්‍රජාතන්ත්‍රවාදී විකල්පය ශක්තිමත් මැතිවරණ විකල්පයක් වී නොතිබුණු අතර, එය එම මොහොතේ ලංකාවේ දේශපාලනයේ තිබුණු මූලිකම හිඩැසද විය. ජනාධිපතිවරණ මැතිවරණයක් ළඟ එමින් තිබුණු සන්දර්භය තුළ දේශපාලන වෙනසක් ඇති කිරීමේ ක්ෂණික කර්තෘක කාර්යය හිමිව තිබුණේ දේශපාලන පක්ෂ සන්ධානයකට සහ විකල්ප ජනාධිපති අපේක්ෂකයෙකු වෙතය. එවකට ශ්‍රීලනිපයේ මහ ලේකම්ව සිටි සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපය අතහැර විරුද්ධ පක්ෂ සන්ධානය වෙතට පැමිණීම නිසා 2014 ඔක්තෝබර් මාසයේ තුන්වැනි සතිය තෙක් පැවති දේශපාලන බල තුලනය, ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ විකල්පයට වාසිදායක ලෙස මාරු විය. 2018 ජනවාරි 08 දින සිදු වූ ජනාධිපති මැතිවරණයේ දී දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ ව්‍යාපාර අතර පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගී තිබීමත්, එම සන්ධානයේ නියෝජිතයා වූ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමත් ඒ මත ආණ්ඩු වෙනසක් ඇතිවීමත්, ලංකාවේ දේශපාලනයේ අධිකාරවාදී පරිවර්තනය ආපසු හැරවීමට අවශ්‍ය දේශපාලන අවකාශය විවෘත කළ සිදුවීම් දෙකයි.

එයින් අවුරුදු තුනහමාරකට පසු, ජනවාරි 08 දායින් පසුව සිදු වූ ක්‍රියාවලිය දෙස ආපසු හැරී බලන පුරවැසියන්ට පෙනෙන්නේ, තම ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයේ ඉරණම භාර දුන් දේශපාලන නායකත්වය එම වගකීම ඉටුකර  නැති බවයි. ප්‍රධාන නායකයින් දෙදෙනාගේම දේශපාලන චර්යාව දෙස විචාරාත්මකව පසු විපරමක යෙදෙන පුරවැසියන්ට එම නායකයින්ගේ දේශපාලන අසාර්ථකත්වයට තුඩු දුන් විවිධ සාධක හඳුනාගත හැකිය. ඒ අතර එක් සාධකයක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිෂ්ඨාපනය කේන්ද්‍ර කොටගත් පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ සහ පරිවර්තනීය පෙරොන්දු සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කැපවීම, දේශපාලන පරිණත බව, දේශපාලන අධිෂ්ඨානය සහ මහජන විශ්වාසය දිනා ගැනීමේ හැකියාව නව නායකත්වය සතු නොවීමයි. පක්ෂ කිහිපයක සන්ධානයක් වූ එම සභාග ආණ්ඩුවට සහ එහි ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගයට සාමූහික නායකත්වය දීමට එම නායකයෝ අසමත් වූහ. ඒ සමගම දූෂණය පිටුදැකීමේ පොරොන්දුව රහසේ කඩකරමින් නව ආණ්ඩුවේ සදාචාරාත්මක පදනම දෙදරා හැරීමට එක් නායකයෙකු සමත් විය. සභාග ආණ්ඩුව තුන්වැනි වසරට පා තබන විට නායකයින් දෙදෙනා එකිනෙකාහට නොගැළපෙන මාවත් දෙකකට තනි තනිව පිවිස ඇති බව පෙණිණ. ඔවුන් අතර වර්ධනය වූ සමනය කළ නොහැකි පුද්ගලික ප්‍රතිවිරෝධතා පසමිතුරු දිසාවන් කරා ගමන් කිරීමේ පළවිපාක දැන් අප ඉදිරියේ දිගහැරෙන දේශපාලන අර්බුදයේ එක් පැත්තක් පමණි.

මෙම ආණ්ඩුව පිළිබඳ අත්දැකීම පුරවැසියන්ගේ දෘෂ්ටිකෝණයෙන් බලනවිට අප රටේ පුරවැසියන් මුහුණ දෙන බැරෑරුම් උභතෝකෝටිකs’ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ පුරවැසියන්ට කළ හැක්කේ තම දේශපාලන අපේක්ෂා ඉටුකරනු ඇත යන විශ්වාසය මත දේශපාලන නායකත්වයකට ආණ්ඩුකිරීමේ  වරපත්‍රය ලබා දීමයි. බලය පැවරීමයි. එහෙත් එසේ බලය පවරනු ලැබූ නායකයින් තම වගකීම පැහැර හරින විට ඒ වෙනුවට තෝරා ගත හැකි විකල්ප ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් ඇත්තේද නැත. අධිකාරවාදී පරිවර්තනයකට නායකත්වය දිය හැකි දේශපාලන නායකයන් ලංකාවේ පහසුවෙන් සොයා ගත හැකියි. එහෙත් එක් ප්‍රජාතන්ත්‍රවාදී නායක පරපුරක් අසාර්ථක වන විට ඒ හිඩැස පිරවිය හැකි නව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකත්වයක් අප සමාජය විසින් බිහිකරනු නොලැබීම යන යථාර්ථයට අප රටේ පුරවැසියන් ළඟදීම මුහුණ දෙනු ඇත. මේ දිනවල සීමාවක් නොමැතිව සිදු කෙරෙන දේශපාලන දූෂණය, අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නව නායකත්වයක් බිහිවීමට ඇති අවකාශය විනාශ කිරීමේ අලුත් සාධකයක්ව පවතී. කෙටිකාලීන බල ව්‍යාපෘතීන් සහ දේශපාලන න්‍යාය පත්‍රවලට ගැළපෙන ලෙස දේශපාලන දූෂණ මෙහෙයුම්වල යෙදෙන ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයින ;මන් අලුතෙන් බිහිවන දේශපාලන නායක පරපුරද දූෂණය කරන බව සහ විනාශ කරන බව කල්පනා නොකරති. මෙම ජ්‍යෙෂ්ඨ මෙන්ම කණිෂ්ඨ දේශපාලන නායකයින් පිළිබඳ අප රටේ තරුණ පරපුරේ විශ්වාසය බිඳවැටීම කොතරම් තියුණු ලෙස සිදුවෙමින් පවතින්නේද යන්න සමාජ මාධ්‍යය තුළ මේ දිනවල සිදුවන සාකච්ඡා, පළකෙරෙන උපහාස සහ කාටූනවලින් ප්‍රබල ලෙස ප්‍රකාශ වේ.

‘දේශපාලන නායකත්වය සහ දේශපාලන විශ්වාසනීයත්වය’ පිළිබඳ ගැටලුව දැන් ගුණාත්මක වශයෙන් නව අවධියකට ළඟා වී තිබෙන බව මේ දිනවල අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. එම නව අවධියේ ලක්ෂණය නම් උගත් තරුණ පරපුර ප්‍රතිෂ්ඨාපිත දේශපාලන නායකත්වය පිළිබඳ දක්වන විශ්වාසය භංගත්වයයි. ප්‍රතිපත්ති විරහිත, අත්‍යන්තයෙන්ම අවස්ථාවාදී, දේශපාලන සහ ආර්ථික ස්වාර්ථය පමණක් තම දේශපාලන ජීවිතයේ අරමුණ කරගෙන ඇති සහ දේශපාලන බලය යනු තම ආත්මාර්ථකාමී දේශපාලන වුවමනාවන් සාක්ෂාත් කර ගැනීමේ ඵලදායී මාර්ගයක් ලෙස සලකන ප්‍රතිෂ්ඨාපිත දේශපාලන නායකත්වය පිළිබඳ මෙම උගත් තරුණ පරපුර සමාජ මාධ්‍යය වෙතින් ප්‍රකාශ කරන අප ඉහත සඳහන් කළ උපහාසය සහ අවඥාව, මේ දිනවල ලංකාවේ සිදුවන දේශපාලන වශයෙන් ඉතාම නිර්මාණාත්මක එකම දෙයද වෙයි. අනපේක්ෂිත සහ පිළිකුල් සහගත දේශපාලන සිදුවීම් දෙස බලා සිත කළකිරීමට පත්වන ප්‍රජාතාන්ත්‍රික දේශපාලන විඥානයක්ද, සංවේදී දේශපාලන මනසක්ද ඇති පුරවැසියන්ට යහපත් දේශපාලන අපේක්ෂා පිළිබඳ සුළු හෝ බලාපොරොත්තුවක් ජනිත කරන්නේ මෙම නිර්මාණශීලී තරුණ පෙළ ප්‍රකාශයට පත් කරන විචාරාත්මක දේශපාලන සංවේදීතාවය විසිනි.

‘දේශපාලන බලාපොරොත්තුව’ පිළිබඳ මෙම අදහස්, මාදුලුවාවේ සෝභිත හිමියන් පිළිබඳ දේශපාලන ස්මරණයට කරන ගෞරවයේ සංකේතයක් ලෙස අවධාරණය කරන්නට මම කැමැත්තෙමි. ඉතාම අන්ධකාර ආගාධයක වැටී සිටියදී පවා මනුෂ්‍යයන්ට නොනැසී පැවතිය හැක්කේ ආලෝකයේ බලාපොරොත්තුව තිබෙන විටය. දේශපාලන අන්ධකාරය මැද සිටින මනුෂ්‍යයින්ට අවශ්‍ය වන්නේ දේශපාලන ආලෝකයේ බලාපොරොත්තුවයි. ලංකාවේ දේශපාලනය අර්ධ අන්ධකාරයේ පැවති වකවානුවක දේශපාලන බලාපොරොත්තුවේ පහන්සිළුව  දැලුවූයේ මාදුලුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේය. සමාජය වෙලාගන්නා දේශපාලන අන්ධකාරය ඉදිරියේ, අන්ධකාරය වෙතටම ආපසු පැන දුවන්නේ නැතිව, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිවර්තනයක් සිදු කළ හැකිය යන බලාපොරොත්තුවේ කුඩා ගිනිසිළුව දැල්වීමේ ගිණිකූර පත්තුකර දේශපාලන ඉදිරි ගමනේ මාවත වසාගෙන සිටි අන්ධකාරය දුරු කිරීමට අවශ්‍ය අරගලයට අනුප්‍රාණය සපයමින් උන්වහන්සේ දුන් ආදර්ශය වෙන කවරදාටත් වඩා ඉදිරි කාලය තුළ අප සැමට අදාළ වනු ඇත.

මෙම කතාව අවසන් කිරීමට පෙර වර්තමාන අර්බුදය ගැන කෙටියෙන් අදහසක් පළ කළ යුතු වේ. අද අප රට මුහුණ පා සිටින අර්බුදය බහුමානීය, එනම් පැතිකඩ කිහිපයකින් සමන්විත අර්බුදයකි. එය ආර්ථික, දේශපාලනික, ආණ්ඩුක්‍රමව්‍යවස්ථාමය, ආයතනික සහ දේශපාලන සදාචාරාත්මක යන පැති සහිත මහා අර්බුදයකි. අප රටේ සිටින දේශපාලන ප්‍රභූතන්ත්‍රයේ ප්‍රධාන කණ්ඩායම් තුන අතර පසුගිය අවුරුදු කිහිපය තුළ වර්ධනය වූ ප්‍රතිවිරෝධතා දැන් විවෘත බල අරගලයක් සහ රාජ්‍ය බලය සඳහා විවෘත සටනක් බවට පත් වී තිබේ. කලින් තුන්කොන් අරගලයක්ව පැවති එය දැන් දෙකොන් බල අරගලයක් බවට පරිවර්තනය වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ස්වාධිපත්‍ය බලය ඇතැයි සැලකෙන මහජනතාව මෙම බල අරගලය දෙස හුදෙක් බලරහිත බලාසිටින්නන් බවට ලඝුකරනු ලැබ සිටිති. මහජන නියෝජිතයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ දොර අගුලු ලා වසා තැබීම නිසා සිදුවී තිබෙන්නේ, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ මහජන පරමාධිපත්‍යයේ ඉහළම ආයතනික ප්‍රකාශනය වන ව්‍යවස්ථාදායකය විධායකයේ අණසක යටතට ගැනීමයි. විධායක ජනාධිපති ක්‍රමය ‘සම්පූර්ණයෙන් අහෝසි කිරීම’ යන දේශපාලන ඉලක්කය සූත්‍රගත කිරීමෙන් මාදුලුවාවේ සෝභිත හිමියන් 2013-2014 වසරවල මෙරට ජනතාව ඉදිරියේ තැබූ දේශපාලන පරිකල්පනය වෙතට නැවත හැරීමට දැන් කාලය එළඹ ඇත.

ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට බොහෝවිට ඉඩකඩ තිබෙන බව පෙනෙන්නේ, දැනට දෙපාර්ශ්වයක් අතර ද්‍රැවීකරණය වී තිබෙන දේශපාලන බල අරගලය, විධායකය හා ව්‍යවස්ථාදායකය, එනම් ජනාධිපති ධූරය සහ පාර්ලිමේන්තුව අතර විවෘත සටනක් බවට පත්වීමයි. දැනට බල අරගලයේ යෙදී සිටින එක් පාර්ශ්වයකට ව්‍යවස්ථාදායකයේ බහුතරය තිබෙන බව පෙනේ. අනෙක් පාර්ශ්වයට රාජ්‍ය බලයේ කේන්ද්‍රීය ආයතනවල පාලනය සතුව තිබේ. මෙම පසුබිම තුළ මේ දිනවල අප රටේ මෝරමින් පවතින්නේ ද්වන්ද්ව බල සටනකි. රාජ්‍ය බලය සඳහා පවත්නා අරගල ගැන අවබෝධයක් ඇති කෙනෙකුට මෙම තත්ත්වය පෙනෙනු ඇත්තේ භයානක ප්‍රතිඵල ඇති කිරීමේ විභවතාව ඇති ද්වkaoaව බල තත්ත්වයක් ලෙසයි. සාමකාමීව විසඳුමක් ඇති නොවුවහොත් එය නග්න ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමෙන් පමණක් විසඳිය හැකි රාජ්‍ය බලය පිළිබඳ අර්බුදයක් බවට තියුණු වීමේ අනතුර අද අප සැම දෙනාම ඉදිරියේ ති‍බේ.

දිනෙන් දින උග්‍ර සහ තියුණු වන මෙම බල අර්බුදය සාමකාමීව විසඳීමට ඇති මාර්ග ගැන සිතීම පරිණත දේශපාලන විඥානයක් සහිත මෙරට පුරවැසියන්ගේ ක්ෂණික කාර්යභාරය වී තිබේ. එය මොහොතක් හෝ ප්‍රමාද කළ නොහැකිය. එය ප්‍රමාද නොකිරීම, මාදුලුවාවේ නායක හිමියන් පිළිබඳ දේශපාලන ස්මරණයට මේ මොහොතේ අප කළ යුතු ගුණ පූජාවද වෙයි. සිය බලය රැක ගැනීමේ දේශපාලන අරගලයේ දී ලේ වැගිරීම්වලටත්, අරාජකත්වයටත්, ඒකාධිපතිවාදයටත් මග විවෘත නොකරන දේශපාලන මැදිහත්වාදී බව; ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවාදයේ ප්‍රතිමානීය මූලධර්මවලට ගරු කිරීම, ස්වාර්ථයට නොව පොදු ජන යහපතට කැප වී දේශපාලන යහගුණය වර්ධනය කර ගැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉවසීමෙන් සහ පරිණතතාවයෙන් සිතීම, කතා කිරීම, සහ ක්‍රියා කිරීම යන සතර ශීලයේ පිහිටන ලෙස අපේ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටීම, මාදුලුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් අප රටේ පුරවැසියන් වහාම කළ යුතු එක් කාර්යයකි.

Print Friendly, PDF & Email

අධිපතිවාදියෙකු ආපහු ඇවිත්

$
0
0

අනුර ගුණසේකර –

‘දේශපාලනය තුළ සදාකාලික මිතුරන්වත්, සදාකාලික හතුරන්වත් නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි’ යන, අර පට්ට ගැසූ කතාව, ශ‍්‍රී ලංකාවේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අභූතරූපී රංගනය තුළ තරම් මනාව විසද වෙන වෙනත් කිසි අවස්ථාවක් තිබී නැත. මීට වසර හතරකට පෙර, දිවි හිමියෙන් සුරකින් බවට ජනාධිපති සිරිසේන පොරොන්දු වූ නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය පිළිබඳ සකල සාරධර්ම, හුදෙක් දේශපාලනික වාසිය සඳහා, හිතාගත නොහැකි අන්දමින් ඔහු අද පාවා දී ඇත. අවිශිෂ්ට චර්යාවක් සහිත අවිශිෂ්ට මිනිසෙකු වූ මෛත‍්‍රීපාල සිරිසේන, යුග පෙරලිකාරී සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් දවසක සැමරෙනු ඇත. ඒ දෙකම සිදුව ඇත්තේ ඔහුගේ දේශපාලනික දිවියේ සැන්දෑ සමයේ ය. ඒ සිදුවීම් දෙක නොවන්නට, ඔහුගේ මට්ටමේ වෙනත් ඕනෑම සාමාන්‍ය දේශපාලඥයෙකු මෙන් ඔහු ද කාලයාගේ ඇවෑමෙන් ජනතා මතකයෙන් වියැකී යන්නට තිබුණි.

Maithripala Sirisena

පළමු සිදුවීම ඇති වුණේ 2014 නොවැම්බර් මාසයේ ය. සමගාමී දේශපාලන ව්‍යාපාරයේ සගයන් සහ සහායකයන් පිරිවරාගෙන ඔහු එදා ජාතිය ඉදිරියේ පෙනී සිටිමින්, නිදහසින් පසු මේ රට හඳුනාගෙන සිටි වඩාත් ජනකාන්ත සහ වඩාත් බලවන්ත දේශපාලඥයාට අභියෝග කෙළේය. ඒ කාලයේ හැටියට, එසේම එදා සිටි ප‍්‍රතිවාදියාගේ තරමේ හැටියට, එය එඩිතර ක‍්‍රියාවක් විය. එය, සාමාන්‍ය තත්වයන් යටතේ වැඩි ආටෝපයක් නොතිබුණු මිනිසෙකුගේ සැබෑ ශ්‍රේෂ්ඨත්වය නිරූපණයට පත් අවස්ථාවක් විය. මහින්ද රාජපක්ෂගේ අතීත ක‍්‍රියාකලාපය දෙස බලන විට, මෙවැනි අභියෝගයක් හේතුවෙන් සිරිසේනට එල්ල විය හැකිව තිබූ ජීවිත තර්ජනය අතිශයෝක්තියක් නොවේ. බිහිසුණු ඝාතනය, අතුරුදහන් කැරැුවීම, තනතුරුවලින් පහ කිරීම, සිරගත කිරීම හෝ විදේශයකට පලා යාමට සැලැස්වීම ආදී නොයෙක් අත්දැකීම්, ඊට කලින් මහින්ද රාජපක්ෂගේ යකඩ හස්තයට අභියෝග කළ අයවළුන් සම්බන්ධයෙන් අනන්තවත් අප දැක තිබුණි.

දෙවැනි සිද්ධිය ඇති වුණේ දැන් දින කිහිපයකට කලිනි. අගමැති රනිල් වික‍්‍රමසිංහව හිටිගමන් අස් කිරීමෙන් හැට දෙලක්ෂයක් ජනතාව සිරිසේන කෙරෙහි තැබූ විශ්වාසය කඩ කොට, තමා විසින්ම කලකට ඉහතදී නතර කරන ලද යක්ෂයාව සිරිසේන මුදා හැරියේය. තමා විසින්ම කලකට ඉහතදී නතර කිරීමට පියවර ගත් රාජපක්ෂ රාජාවලී ව්‍යාපෘතිය එක පෑන් පහරකින් යළිත් සිරිසේන ස්ථාපනය කෙළේය. යම් හාස්කමක් සිදු නොවෙතොත්, ඒ ව්‍යපෘතිය දැන් මහ දවල් පාරට බැස තිබේ. මගේ විශ්වාසයේ හැටියට හාස්කම් සිදු වන්නේ නැත. රාජපක්ෂ කල්ලියෙන් ඉස්සර සිදුවූ අතපසු වීම් යළි සිදුවන එකක් නැත. ඒ, ඉස්සරට වඩා ඔවුන් දැන් හැදී වැඞී ඇති නිසා නොවේ. විපක්ෂයකට යළි හිස එසැවීමට ඉඩ නොදෙන ලෙස, වඩාත් පරිස්සමින්, වඩාත් නිර්දය ආකාරයෙන් සහ නියත භාවයකින් යුතුව මෙවර ඔවුන් කටයුතු කළ හැකි බැවිනි.

විශේෂයෙන්, රජවරුන්ම පතන, ලජ්ජා නැති ජී. ඇල්. පීරිස් වැනි පුද්ගලයන්ගේ නීති තර්ක කෙසේ වෙතත්, වික‍්‍රමසිංහව ඉවත් කිරීම සහ රාජපක්ෂව පත්කිරීම පිළිබඳ සමස්ත ක‍්‍රියාදාමය තුළ ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රණයක සියලූ අඩුවැඩිය තිබේ. එය, රහසින් සැලසුම් කරන ලද, හදිසියේ ක‍්‍රියාවට යොදවන ලද, බිල්ලට ගැනෙන පුද්ගලයාගෙන් අවසානය දක්වාම වසං කරගෙන සිටි, කුමන්ත‍්‍රණයකි. පාර්ලිමේන්තුව සහ කතානායකවරයා මෙන්ම, කුමන්ත‍්‍රණකරුවාවත්, එහි බිල්ලට පත් වින්දිතයාවත්, තමන්ව බලයට ගෙනා ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් මේ ක‍්‍රියාවලිය ගැන අඳුරේ තබා ගැනීමට ඔහු වගබලාගෙන තිබුණි. මෙය, වර්ණවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ කිසි විටෙක සිදු නොවිය යුතුව තිබුණකි. එය, රාජපක්ෂ පාලන කාලයේ ලංකාව පත්කොට තිබුණු ආකාරයේ, ලෝකයේ ඉතා නොදියුණු වෙනත් තැන්වල සිදුවන ආකාරයේ සංසිද්ධියකි. වෙනසකට ඇත්තේ, එවැනි රටවල්වල සිදුවන්නා සේ, (සීපෙට්කෝ කාර්යාලයේ හැරුණු කොට), තවම වෙඩි තැබීම් සිදු වී නොතිබීම පමණි. එහෙත්, සාධාරණ වූත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූත් පිළිගත හැකි විසඳුමක් සොයා නොගත්තොත්, රටේ වෙනත් තැන්වලත් වෙඩි තැබීම් සිදු වීමට ඉඩ තිබේ.

මෑත කාලීන ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රීය ඉතිහාසයෙන් කිසි තැනක සිරිසේනගේ මේ ක‍්‍රියාවට සාම්‍යත්වයක් දරන සාදෘශ්‍යයක් සොයා ගැනීමට නැත. මෑතකදී ජාතිය අමතා ඔහු කළ කතාවේදී, තමා මේ පියවර ගැනීමට හේතු වූ පසුබිම වශයෙන් ඔහු ගෙනහැර දැක්වූයේ, අගමැතිවරයා කෙළේ යැයි කියන වැරදි මාලාවකි. ඒ වැරදිවලට, ඔහු සහ අගමැතිවරයා අතර පැවතිණැයි කී සංස්කෘතික පරතරයක් ද ඔහු එක් කෙළේය. වික‍්‍රමසිංහ රට කරවන්නේ, ඔහුට සමීප වරප‍්‍රසාදිත පංතියේ කල්ලියක් සමග ය යන්න ඔහුගේ චෝදනාවයි. සිරිසේනගේ ක‍්‍රියාවේ ප‍්‍රතිඵලය වන්නේ රාජපක්ෂලා යටතේ ඇති විය හැකි බිහිසුණු පාලනයක සම්ප‍්‍රාප්තිය නොවන්නට, ඔහුගේ මේ ප‍්‍රකාශය ගැන අපට සිනාසී නිකං ඉන්නට තිබුණි.

වික‍්‍රමසිංහට වඩා වෙනස් ආකාරයකින් සහ ඊට වඩා ප‍්‍රජාත්නත‍්‍රවාදී ආකාරයකින් රාජපක්ෂලා කටයුතු කරති යි සිරිසේන සැබවින්ම විශ්වාස කරන්නේ ද? රාජපක්ෂ යටතේ රට පාලනය වනු ඇත්තේ, ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ තවත් සමීපතම අතලොස්සකගේ බැල්ම යටතේ ය. අවුරුදු නවයක ඔහුගේ පාලන කාලය තුළ අප ලද අත්දැකීම එයයි. වික‍්‍රමසිංහගේ සහ රාජපක්ෂලාගේ පාලන ක‍්‍රම අතර එක් වෙනසක් නම් සැබවින්ම පවතිනු ඇත. එනම්, රනිල් වික‍්‍රමසිංහ යටතේ, පාලකයන්ව විවේචනයට ලක්කිරීමට සහ පාලකයන්ට එරෙහිව කටයුතු කිරීමට ලැබී තිබූ ඒ මුග්ධ අවසරයේ ඉඳුරා ප‍්‍රතිලෝමය රාජපක්ෂලා යටතේ අත්දකින්ට සිදුවිය හැකි වීමයි.

රනිල් වික‍්‍රමසිංහව ඉවත් කිරීමේ නෛතික සහ ව්‍යවස්ථාමය වලංගු භාවය තවදුරටත් වාද විවාදයට ලක්වනු ඇත. එය අවසානයේ විසඳා ගත හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. එහෙත් ඒ, රාජපක්ෂලා සීග‍්‍රයෙන් අත්පත් කර ගනිමින් යන ඒ යකඩ පාලනය යටතේ එවැනි ආයතනයකට ඉඩක් ඉතිරි වුණොත් ය. මාත්, මේ රටේ වෙසෙන සාධාරණ කවුරුත් වටහා ගන්නා පරිදි, ආණ්ඩුවක සුජාත භාවය නිශ්චය කෙරෙන තීරණාත්මක ලිට්මස් පරීක්ෂාව වන්නේ, පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට ඇති බව පෙන්වීමයි.

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම සම්බන්ධයෙන් ඊට පක්ෂ පිරිස් දක්වන හේතුවාචක කුමක් වුවත්, සැබවින්ම එය, රාජපක්ෂගේ අවජාතක උසස් වීම, මිල මුදලින් සහ වෙනත් වරදාන පිරිනැමීමාදියෙන් සුජාත කර ගැනීම සඳහා ලබා දෙන ලද සහන කාලයක් බව පැහැදිළි ය. පාර්ලිමේන්තුව නැවත කැඳවීමට මත්තෙන් රාජපක්ෂ බලය රාජ්‍ය පරිපාලනය කෙරෙහි තහවුරු කර ගැනීම, සමහර විට අවසානයේදී, මේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී නෛතික විනිශ්චයකට එළැඹීමට බාධාවක් විය හැකිය. මේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයේ මධ්‍යකාලීන අරමුණ වන්නේ, රාපක්ෂලාගේ කඩප්පුලියෙකු වශයෙන් දෙවැනි වතාවටත් සිරිසේනට ජනාධිපති වීමේ අවස්ථාව ලබා ගැනීම බව පෙනේ. එය ඔහුට එක්සත් ජාතික පක්ෂයෙන් කිසි දවසක නොලැබෙන්නකි.

නෛතික සහ ව්‍යවස්ථාමය තර්ක විතර්ක පැත්තකින් තිබ්බොත්, සිරිසේන මේ අපරීක්ෂාකාරී ක‍්‍රියාව හරහා දියත් කොට ඇත්තේ පෙර නොවූ විරූ ව්‍යවස්ථා අර්බුදයකි. අගමැති පුටුව සහ පාලන බලය පිළිබඳ මාරාන්තික අරගලයකට ඔහු පාර කපා ඇත. ඊට අමතරව, පවතින ව්‍යවස්ථාවේ වලංගු භාවය සහ සුජාත භාවයත් ඔහු අනතුරේ හෙලා තිබේ. මහජන කෝලාහලවලට පරිසරය සකස් කොට තිබේ. එය, රාජපක්ෂලාට තෝතැන්නකි. ජයග‍්‍රහණය සඳහා කෙටිම මාර්ගය, බලය පාවිච්චි කිරීම සහ එම බලය අවභාවිතයත්, අනීතික බිය වැද්දීම්, බලාත්කාරය පෑම් සහ කුලී හමුදා මර්දනයත් බවට පත්වන පරිසරයක සිටිය හැක්කේ එක ජයග‍්‍රාහකයෙකු පමණි.

ඒ සඳහා වන මනා නිදර්ශනය වන්නේ, මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් දිව්රුම් දුන් ගමන්ම, ජාතිකරූපවාහිනියේ සහ අයි.ටී.එන්. නාලිකාවේ දිග හැරුණු ප‍්‍රචණ්ඩත්වයයි. එසේම, රනිල් වික‍්‍රමසිංහව බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයෙන් එළියට ඇද දැමීම ගැන විමල් වීරවංශ කී කතාව, ඔහුගේ හාම්පුතාගේ හඬ ප‍්‍රතිරාව කිරීමක් බව පෙනේ.

මේ ලිපියේ අරමුණ වන්නේ, වික‍්‍රමසිංහට සුදු හුණු ගෑමවත්, රාජපක්ෂව යක්ෂයෙකුට ඇන්දවීමවත් නොවේ. දෙදෙනාම, වෙනස් ආකාරයන්ගෙන්, දුෂ්ට ය. ප‍්‍රතිපත්ති විරහිත ය. එක හා සමානවම බලයට කෑදර ය. වික‍්‍රමසිංහගේ වෙනස වන්නේ, විසම්මුතිය මැඩ පවත්වා තමාගේ බලය ස්ථාපනය කර ගැනීම ඔහුගේ ක‍්‍රමය නොවීමයි. එසේම, බිය වැද්දීම සහ ඝාතනය ඇතුළු කායික තර්ජන ඔහුගේ විලාසයට අයත් නොවීමයි. අද අප ඉදිරියේ මතුව ඇති ප‍්‍රශ්නය වන්නේ, අගමැති තනතුරට සුදුස්සා කවුරුන්ද යන්න නොව, රටේ ප‍්‍රජාතන්ත‍්‍රීය පාලනයේ සුජාත භාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයයි. එය, මේ කියන පුද්ගලයන් දෙන්නාට වඩා බෙහෙවින් වැදගත් ය.

රාජපක්ෂ පාලනයක් යටතේ වහා අපේක්ෂා කළ හැකි ප‍්‍රතිවිපාක ගණනාවක් තිබේ. මුලින්ම, දැනට පටන්ගෙන ඇති මූල්‍ය අක‍්‍රමිකතා පිළිබඳ සියලූ පරීක්ෂණ නතර වනු ඇත. රාජපක්ෂ සමයේ සිදු වූ, දේශපාලනික ඝාතන පිළිබඳ සියලූ පරීක්ෂණ නතර වනු ඇත. දැනට සිර භාරයේ සිටින, තෝරා ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු හිරෙන් එළියට එනු ඇත. ගලගොඩඅත්තේ ඥානසාර ජම්පරය ගලවා, බුදුන්ගේ පූජණීය සිවුරට බැස, නැවත වරක් මුස්ලිම්-විරෝධී සංග‍්‍රාමය අරඹනු ඇත. වැඩි කල් නොගොස් දුමින්ද සිල්වා නැවත වරක් මැතිවරණ රැුස්වීම් අමතනු ඇත. සන්නද්ධ සේවාවන් තුළ, පොලීසිය තුළ, අධිකරණය තුළ රාජපක්ෂවාදීන් අරක්ගනු ඇත. ජාතියට අපක්ෂපාති සේවයක් කිරීමට සිටින රාජ්‍ය සේවය, රාජපක්ෂ ව්‍යාපෘතියේ ස්වේච්ඡුා ගමන් සගයන් වනු ඇත.

දැනටමත් ආර්ථික ප‍්‍රශ්නවලටත්, යෝධ රාජ්‍ය දූෂණයන්ටත් මුහුණදී සිටින රටක්, හැම පැත්තකින්ම ව්‍යාකූලත්වයට සහ අරාජකත්වයකට පත්කරන තත්වයක් සිරිසේන නිර්මාණය කොට ඇත. එය වහා විසඳීම ඔහුගේ වගකීමකි. රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම සඳහා තමාගේ ජීවිතය පවා පරදුවට තබන බව 2015 දී ඔහු කීවේය. අද රට මුහුණදී දී සිටින තත්වය එදාට වඩා අතිශය භයානක වෙතත්, දැන් ඔහුට නැවතත් කිරීමට ඇත්තේ එයයි. තමන්ගේ අරමුණුවලට ද්‍රෝහී වන්නන්ට සමාව දීම රාජපක්ෂලාගේ සිරිත නොවේ. විශේෂයෙන් දෙවැනි වරටත් එවැනි ද්‍රෝහී ක‍්‍රියාවකට ඔවුන් සමාව නොදෙනු ඇත.

මෛත්‍රීපාල​ සිරිසේනගේ ජයග‍්‍රහණය මහින්ද රාජපක්ෂ විසින් නිල වශයෙන් පිළිගත්, මීට වසර හතරකට පමණ පෙර උදා වූ ඒ ඉරණම්කාරී දා මට මිතුරෙක් දුරකථනයෙන් කතා කෙළේය. ‘සිලෝන්’ නමින් හැඳින්වුණු ලංකාවේ සිවිල් සේවය තුළ අති ගෞරවයට පාත‍්‍රව සිටි ඔහු මට කතා කරන විට සිටියේ එංගලන්තයේ විශ‍්‍රාම සුවයෙනි. මා සිටියේ නපුරට එරෙහිව යහපත ජයග‍්‍රහණය කිරීමෙන් පිනා ගිය මනෝ භාවයක ය. එහෙත් මගේ මිතුරා මාව මහ පොළොවට ගෙනාවේය. ‘‘කවදාවත් දේශපාලඥයෝ ගැන විස්වාසේ තියන්න එපා. මං හුඟ කාලයක් තිස්සේ ඒගොල්ලෝ එක්ක ළඟින් වැඩ කරලා තියෙනවා. සිරිසේනම දවසක මහින්ද රාජපක්ෂට ආයි සැරයක් ජයග‍්‍රාහීව එන්න පාර කපන්න පුළුවන්.’’

1967-1970 කාලයේ ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් කටයුතු කළ, විවිධ අවස්ථාවල යාපනේ සහ වව්නියාවේ දිසාපතිවරයා වශයෙන් කටයුතු කළ නෙවිල් ජයවීර එදා හරියටම පාවිච්චි කළ වචන එයාකාර ය. වෙනස් ආකාරයක දේශපාලඥයන් රට කැරැුවූ යුගයක දේශපාලඥයන්ගේ හොඳ මෙන්ම නරකත් ඉතා ළඟින් දැන සිටි මිනිසෙකුගේ ඒ වචන තුළ ඇත්තෙන්ම අනාගත වක්තෘවරයෙකුගේ දැක්ම තිබුණි.

මෛත්‍රීපාල​ සිරිසේන, ආපසු හැරවිය නොහැකි ආකාරයෙන්, තමා මොන තරම් තුච්ඡ මිනිසෙකු ද යන්න දැන් පෙන්වා තිබේ. ගිනි තියන්නන්ම ගින්නෙන් දැවී යාම සදාතනික නියාමයකි.

2018 නොවැම්බර් 3 වැනි දා අනුර ගුණසේකර ලියූ “Sri Lanka: The Return of a Supremacist” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන

$
0
0

ජයම්පති වික්‍රම​රත්න

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රම​රත්න

(මෙය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් ලියන ලද්දකි)

පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කතාබහක් තිබේ. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් තිබෙන බවට සහ නැති බවට තර්ක විතර්ක ඉදිරිපත් කෙරේ.

ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමේදී අනුගමනය කරන ස්වර්ණමය රීතිය වන්නේ, එහි අඩංගු තනි විධානයක් හුදෙකලාව නොගෙන, ව්‍යවස්ථාව දෙස සමස්තයක් වශයෙන් බැලිය යුතු බවයි. ප‍්‍රශ්නයක් පැනනැගී ඇත්තේ ව්‍යවස්ථාවට කරන ලද යම් සංශෝධනයක් ආශ‍්‍රයෙන් නම්, එම සංශෝධනය කිරීමට මත්තෙන් ඊට අදාලව ව්‍යවස්ථාවේ පැවති විධිවිධාන සලකා බැලිය යුතුය. සංශෝධනය ගෙන ඒමට බලපෑ අභිලාෂය සැලකිල්ලට ගත යුතුය. සංශෝධනය ගෙන එන ලද්දේ, මැතිවරණයකදී දෙන ලද පොරොන්දුවක් ප‍්‍රකාරව නම්, එම මැතිවරණයේ පසුබිම සැලකිල්ලට ගත යුතුය. ව්‍යවස්ථාමය විධිවිධාන, හුදෙකලාව ගෙන, රික්තයක බහා කියැවිය නොහැකිය.

2015 මැයි 15 වැනි දා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පෙරාතුව, තමාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පරම බලයකට ආසන්න බලයක් ජනාධිපතිවරයාට තිබුණි. මේ සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය තුළ මේ බලය සීමා වී තිබුණේ එක කොන්දේසියකින් පමණි. එනම්, කලින් පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණේ වසර හයක් වන එහි පූර්ණ කාලය අවසන් වීමට පෙර නම්, අලූත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසිරවිය හැක්කේ අවුරුද්දකින් පසුව පමණක් බව ය.

2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයේ දී මතු කෙරුණු එක් ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වුණේ විධායක ජනාධිපති ක‍්‍රමයයි. පොදු අපේක්ෂකයාට ආධාර කළ බලවේග පැහැදිළිවම පෙනී සිටියේ ජනාධිපති බලතල සීමා කරමින්, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට ය. ඒ ගැන අමුතු විස්තරයක් කිරීම මෙහිදී අවශ්‍ය නොකෙරේ.

පාර්ලිමේන්තුවේ එක් මන්ත‍්‍රීවරයෙකු හැරුණු කොට සියල්ලන්ගේ එකඟත්වයෙන් සම්මත වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු වාර කාලය අවුරුදු පහකට අඩු කරන ලදි. ජනමත විචාරණයක් අවශ්‍ය කරති යි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටි ඇතැම් විධිවිධාන, එක්කෝ නැවතත් සංශෝධනය කරන ලදි. නැත්නම් අතහැර දමන ලදි. මෙහිදී, ඉහත කී 70 වැනි වගන්තිය සංශෝධනය කොට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය සීමා කරන ලදි. දැන් ඒ 70 වැනි වගන්තියේ සඳහන් වන්නේ මෙසේ ය: ‘‘ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය. එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත‍්‍රීවරන් ද ඇතුළුව මුළු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැුස්වීම සඳහා නියම කර ගැනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.’’

ඒ අනුව, පළමු අවුරුදු හතර හමාරක කාලය ඇතුළත ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 150 කට නොඅඩු සංඛ්‍යාවකින් සම්මත කරගන්නා යෝජනාවක් ඇතොත් පමණි. මේ බව සඳහන් කොට ඇති ඉහත වචන ඉතා පැහැදිළි ය. නිශ්චිත ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අසීමිත බලයක් ඇතැයි පවසන පුද්ගලයන් ඒ සඳහා තර්කයක් වශයෙන් පාවිච්චි කරන්නේ ව්‍යවස්ථාවේ 33 (2) (අ) වගන්තියයි. එහි මෙසේ සඳහන් වෙයි: ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට- (ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය.’’

මේ වගන්තිය ඉහතින් කී 70 වැනි වගන්තිය අභිබවා යන්නේ යැයි ඔවුහු තර්ක කරති. මේ (33) වගන්තියෙන් කෙරෙන්නේ ජනාධිපතිවරයා සතු පොදු බලතලවලින් සමහරක් දක්වා සිටීම පමණි. එම බලය (පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය) පාවිච්චි කළ හැක්කේ කෙසේ ද සහ කුමන තත්වයන් යටතේ ද යන්න 70 වැනි වගන්තියෙන් පෙන්වා දෙයි. ඊට අනුව, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුත්තේ ප‍්‍රකාශනයක් මගිනි. ඊළඟට, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක යෝජනා සම්මතයකින් ඉල්ලා සිටියොත් මිස ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට ඉතා පැහැදිළි සීමාවක් පනවා ඇත. 33 (2) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමි කිසි බලයක්, ව්‍යවස්ථාවේ ප‍්‍රකාශිතවම සඳහන් විධිවිධානයන් උල්ලංඝණය කිරීමකට තුඩු නොදිය යුතුය. ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව..’’ යන්න, ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් ප‍්‍රකාශිතවම සඳහන් කොට ඇති ව්‍යවස්ථාමය සීමාවන් අභිබවා යාමට පාවිච්චි කළ නොහැක.

උදාහරණයක් වශයෙන්, 33 (2) වගන්තියේ (ඊ) අනුෙඡ්දනය සලකා බලන්න: ‘‘ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමට ද, අග‍්‍රාමාත්‍යවරයා ද, අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන් ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් ද පත් කිරීමේ අධිකාර පත‍්‍රවල සහ ජනරජයට අයත් වූ ද, ප‍්‍රදානය කිරීමට සහ පවරා දීමට ජනාධිපතිවරයාට නීතියෙන් නියමව ඇත්තා වූ නැතහොත් බලය පැවරී ඇත්තා වු ද ඉඩකඩම් සහ අනෙකුත් නිශ්චල දේපළ ප‍්‍රදානය කිරීමේදී හෝ පවරා දීමේදී ඒ සම්බන්ධයෙන් ප‍්‍රදාන පත‍්‍රවල සහ පැවරුම් පත‍්‍රවල රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීම ද, රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමට ද, ජනාධිපතිවරයාට බලය ඇත්තේය.’’

මේ විධිවිධානය පාවිච්චියට ගනිමින් ජනාධිපතිවරයාට තමන් කැමති පරිද්දෙන් අග‍්‍රවිනිශ්චයකාරවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙක් විනිශ්චයකාරවරුන් පත් කළ හැකි ද? කොහෙත්ම නොහැක. මන්ද යත්, 41 (ඇ* වගන්තියට අනුව, එම පත්වීම් කිරීම සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඔහුට අවශ්‍ය කරන බැවිනි.

තව ද, ජනාධිපතිවරයාට විධායක බලය ඇති බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියෙන් කියැවේ. එසේ වූ පමණින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාළ ප‍්‍රකාශිත ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන නොතකා හරිමින් රාජ්‍ය සේවයේ තනතුරු සඳහා ඔහුට පත්වීම් කළ හැකි ද?

තමාගේ අභිමතය පරිදි ජනාධිපතිවරයාට ඕනෑම වේලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් ඇතැයි යන තර්කය නිවැරදි නම්, අලූත් පාර්ලිමේන්තුවක් පත්වී එක දවසකින් පසුව වුවත් ඔහුට පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය හැකිය. ඊට කලින් පැවති පාර්ලිමේන්තුවේ වාර කාලය අවසන් වීමට කලින් ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණත් ඔහුට එසේ කළ හැකි විය යුතුය. මෙය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කලින් පැවති ව්‍යවස්ථාව යටතේ පවා ජනාධිපතිවරයාට කළ නොහැකි දෙයකි. එබැවින් ඉහත කී අයවළුන්ගේ තර්කයේ ඇති මුග්ධ භාවය එයින්ම පෙනේ.

2018 නොවැම්බර් 09 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ On Dissolution Of Parliament නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

සිරිසේන-රාජපක්ෂ ජුන්ටාව පරදවමු

$
0
0

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ සියලුම ඒකාධිපතියන් පෞර්ෂ දුර්වලතාවයන්ගෙන් හෝ මානසික හෝ ශාරීරික සංකූලතාවයන්ගෙන් යුතු අය වෙති. විශේෂයෙන් ආණ්ඩුක්‍රම වැනි මුලික නීති ලියවිල්ලක් අභිබවා යාමට නැතිනම් තමන් එකගව සිටි සමාජ ගිවිසුමකට පිටින් වැඩ කිරීමට සැලකිය යුතු සංකුලතාවයන් තිබිය යුතුය. ඉරාකයේ සදාම් හුසේනද ලිබියාවේ ගඩාබි ද එවැනි අයවලුන්ය. ඔවුන් කාන්තාරයේ  එළුවන් බලමින් තම ළමා කාලය අපයෝජනයට ලක් වූ සමාජය කෙරෙහි වූ ඇති වෛරයට දේශපාලනයට පිවිසි අය වෙති. එසේම රුසියාවේ ස්ටලින්ද එසේමය. ඔහු ජෝජියාවේ දී ළමා කාලයේ අපයෝජනයට ලක් වූ හිටපු බැංකු මංකොල්ල කරුවෙකුය. අපි කවුරුත් දන්නා හදුනන හිට්ලර් ඔස්ට්‍රියාවේ ලුම්පන් පන්තියේ සාමාජිකයෙකි. ඔවුන් ජිවිතේ විශාල කාලයක් හිගන්නන් හා පාදඩයන් හා අගු පිල් වල ජීවිතය ගත කල අයයි. එමනිසා කිව යුත්තේ ඒකාධිපතියන් බිහි වන්නේ පිස්සන්ගෙනි.

ලෝක ඉතිහාසයේ ප්‍රජාත්‍රන්තවාදී නායකයෝ දහස් ගණනක් බිහිව තිබේ. ඔවුන් විසින් ගොඩනගන ලද ලෝකය මිනිසුන් බිලියන ගණනක් සාමකාමීව සහජීවනයෙන් එදිනෙදා අවශ්‍යතා ඉටු කරගනිමින් සතුටින් ගත කරයි. නමුත් ඒකාධිපතියන් බිහිව ඇත්තේ ඉතාම සුළු පිරිසකි. ඔවුන් මුළු ලෝක ඉතිහාසයේම සියයකට අඩු ගණනකි. එම පිස්සු ඒකාධිපතියන් ලෝකයේ ජන සංහාර යුද්ධ දේපල හානි කුරිරු අත්හදා බැලීම් ලෙඩ රෝග බෝකිරීම් හා ලෝකය මිහිපිට අපායක් කිරීමට අදාල බොහෝ දේ සිදුකර තිබේ. එය නැපෝලියන්ගේ සිට හිට්ලර් දක්වා සදාම් හුස්න්ගේ සිට පෝල්පොට් හරහා සියාඋල්හක් දක්වාත් සමානය. 

ලෝකයේ මනුෂ්‍ය වාසයට සුදුසුම මිනිසුන් සතුටින් ජීවත් වන අර්බුදයන්ගෙන් තොර සමාජයන් ඇත්තේ ප්‍රඡාත්‍රන්තවාදී මානව නිදහසට ගරුකරන නීතියේ ආධිපත්‍ය හොදින් ඇති සමාජයන්ය. වෙනිසියුලාව, ඉරාකය, ඉරානය, ලිබියාව, උතුරු කොරියාව, කියුවාව හා මියන්මාරය වැනි රටවල් මිහිපිට අපායන්ය. එ්වායේ ජීවත්වන මිනිසුන්ට එදිනෙදා ආහාර බෙහෙත් හේත් ඉන්ධන නොමැතිය. රජය විසින් ඒ මිනිසුන්ගේ ජීවිතය උදෙසා කිසිම සමාජ ආරක්ෂණ ක්‍රමයක් නොකරන්නේය. නමුත් රජයට විරුද්ධව හෝ රජයේ අභිමතයට පිටින් යන අයගේ නිවසට විනාඩි කිහිපයකදී රජයේ ත්‍රස්තවාදීන් හෝ හමුදා පොලීසිය පැමිණෙනු ඇත. රාජපක්ෂවරු හා සිරිසේන ජනාධිපතිවරයා මේ රටට යෝජනා කරන්නේ එවැනි ක්‍රමයක්ය. 

ලංකාව තීරණාත්මක කඩ ඉමකට පැමිණ තිබේ. වසර 70කටවත් වඩා ප්‍රඡාත්‍රන්තවාදය භුක්තිවිදි සමාජයක් කුමන අඩුපාඩුකම් මධ්‍යයේ වුවද නිදහස් අධ්‍යාපනය, ජාතීන් අතර සමගිය, මානව අයිතිවාසිකම් රැකගත් ජාතියකි. එසේම නීතියේ ආධිපත්‍ය, අධිකරණය, හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක දිවුරුමක් මගින් ආරක්ෂා කිරීමට බැදී සිටි නිළධාරීන්, දේශපාලඥයින් හා වෘත්තිකයින් ජීවත් වු සමාජයකි. එම සමාජය තුල වසර 30ක් පැවති කුරිරු යුද්ධය වුව ආරාජිකත්වයට ඉඩක් නොතිබිණි. යුද්ධය පවතිද්දීත් උතුරේ හා නැගෙනහිර ත්‍රස්තවාදීන් පාලනය කල ප්‍රදේශ වල නිසි කලට විභාග පැවැත්වුයේය. රජයේ පරිපාලන කටයුතු සිදු කළේය. උප්පැන්න සහතික නිකුත් කළේය. මරණ සහතික නිකුත් කළේය. ගමන් බල පත්‍ර ලබා දුන්නේය. බැංකු කටයුතු සිදු කළේය. පාසල් මධ්‍යම ආණ්ඩුවෙන් පවත්වාගෙන ගියේය. දරුවන් විශ්ව විද්‍යාල වලට ගියේය. රජයේ රෝහල් රජයේ වෛද්‍යවරු හා සෞඛ්‍ය සේවය හොදින් පවත්වාගෙන ගියේය. සමහරක් අවස්ථා වල දකුණටත් වඩා හොදින් උතුරේ කටයුතු සිදු කළේය. කලට වේලාවට මැතිවරණ පැවැත්වුයේය. 

රාජපක්ෂ-සිරිසේන ජුන්වට අවශ්‍ය මෙම සමාජ ක්‍රමය බිද වට්ටා දැමීමටය. රාජපක්ෂවරු වැනි දරුණු පලිගන්නා සුළු බල ලෝභී බලවේගයක් සමග සිරිසේන වැනි අන්ත තක්කඩි ජනාධිපතිවරයෙක් මේ රට තුල සිදුකරමින් සිටින ක්‍රියාවලිය රටේ ආයතන පද්ධතිය, ප්‍රඡාත්‍රන්තවාදය හා නීතියේ ආධිපත්‍යය දැනටමත් විශාල අවුලකට පත්කොට ඇත්තේය. ඉදිරි සති කිහිපය තුල මෙම ජුන්ටාව පරාජය කිරීමට මේ රටේ ජනතාවට නොහැකි වුවහොත් ඉතා ඉක්මනින් ලංකාව මියන්මාරයක්, උතුරු කොරියාවක්, වෙනිසියුලාවක් වනු ඇත. 

මන්ද යත් ලංකාවේ මුලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන ජුන්ටාවකට රටක ඕනෑම දෙයක් කල හැකිය. එවැනි නායකයින් ජීවත්වන සමාජයක් අනාරක්ෂිතය. එවැනි සමාජයක මිනිසුන්ට බියෙන් ජීවත් වීමට සිදුවනු ඇත.

දැනටමත් ජාත්‍යන්තරව අප හුදකලා කොට ඇත්තේය. ඉදිරි සති කිහිපයතුල අපට විශාල ප්‍රථිපල වලට මුහුණ දීමට සිදුවනු ඇත. එය සම්භාධක වලට මුහුණ දීමේ සිට විදේශ ගමන් තහනම දක්වා දික්වීමට ඉඩ තිබේ. විශේෂයෙන් පිටරටවල සිටින ලංකාවේ ඩයස්පෝරාවට මෙරටට පැමිණීමටත් මෙරට සිටින ඔවුන්ගේ ඥාතීන්ට දෙමාපියන්ට දු දරුවන්ට එම රට වලට ගමන් කිරීමට ඇති හැකියාව අසුරා දැමීමට ඉඩ කඩ තිබේ.

අවසාන වශයෙන් මට කිව හැක්කේ වඩා දරුණු ඒකාධිපතිත්වයක් ඇති වන්නේ මානසික හා ශාරීරික සංකූලතා සහිත පිස්සන්ගෙනි. එම නිසා ශ්‍රී ලංකාවේ ජනතාව රාජපක්ෂ සිරිසේන ජුන්ටාව ක්‍රියාත්මක කරමින් සිටින මෙම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පරාජය කල යුතුය. ඒ වෙනුවෙන් මේ රටේ සිවිල් සංවිධාන වෘත්තීය සංවිධාන මාධ්‍ය ආයතන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් රජයේ නිලධාරීන් දෙමළ සිංහල මුස්ලිම් දේශපාලන පක්ෂ හා දේශපාලන බල වේග ජාත්‍යන්තර ප්‍රඡාව ඩයස්පෝරාව එක පිලකට එක බලවේගයකට එක්විය යුතුය. 

එසේ ගොඩනගන පුළුල් බල වේගයක් මගින් මොවුන් පරාජය කල හැක්කේය. ඒ 2015 ජනවාරි 08 වනදා කලා මෙන් තාවකාලිකව නොව සදාකාලිකව පරාජය පත්කල යුතුය. තිස් අවුරුදු ප්‍රභාකරන් යුද්ධයෙන් ප්‍රභාකරන් පරාජය කොට එවැනිම රුදුරු කුරිරු ඒකාධිපති රාජපක්ෂලාට රට යටත්කොට දෙනවාද යන්න මේ රටේ බුද්ධිමත් සිවිල් ප්‍රඡාවගෙන් හා පුරවැසියන්ගෙන් අප අසන ප්‍රබල ප්‍රශ්නයයි.

Print Friendly, PDF & Email

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවට මංගල සමරවීරගෙන් පිළිතුරක්

$
0
0

මංගල සමරවීර

මංගල සමරවීර​

පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා තමන් විසින් දියත් කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයෙන් පසුව ජනාධිපතිවරයා තුන්වන වතාවටත් මේ රටේ ජනතාව අමතමින් තමන් තවදුරටත් සත්‍යයට ගරු නොකරන, බලය වෙනුවෙන් ඕනෑම බොරුවක් පවා කියන්නට පුළුවන් ඒකාධිපති වියරුවෙන් පෙළෙන මානසික රෝගියකුගේ තත්ත්වයට ඇද වැටී ඇති බවට පැහැදිලි විය.

ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද එම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණකාරී ක්‍රියාවලිය මේ රටේ යුක්තිය සාධාරණත්වය ගරු කරන සමස්ත පුරවැසියාම පක්ෂ පාට භේදයකින් තොරව පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කොට ඇත. එසේම ජාත්‍යන්තර ප්‍රජාව පවා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද හොර ඇගමැති  ප්‍රමුඛ ඇමති මණ්ඩලය ද පිළිගැනීමට මෙතෙක් ඉදිරිපත් වී නැත. එවැනි පසුබිමක සිරිසේන ජනාධිපතිවරයා පෙරේදා (11) සිදුකළ කතාවෙන් මේ තත්ත්වය තව තවත් උග්‍ර වනවා නියතය. 

නීති විරෝධීව කල්දමන ලද පාර්ලිමේන්තුව, ව්‍යවස්ථා විරෝධීව විසුරුවා හැරීමට බලපෑ හේතුකාරණා පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මුදලට මිලදී ගැනීමට ඇතමුන් කටයුතු කළ බවය. මෙහිදී පවසන ආකාරයට සමහර මැති ඇමතිවරුන්ට රුපියල් මිලියන 100, 150 පමණක් නොව මිලියන 500ක් වුවද ලබාදීමට කතාකර ඇති බවය. එය එසේ සිදුකරන ලද්දේ අපගේ කිසිවකු නොව මේ ප්‍රකාශය සිදුකරන ජනාධිපතිවරයාගේම හිතවත් නියෝජිතයන් ය. 

අපගේ මැති ඇමතිවරු තමන් ළඟට ගෙන්වා ගෙන ජනාධිපතිවරයා විසින්ම ඇමතිකම් ලබාදීමට පොරොන්දු වූ ආකාරයත්, ජනාධිපතිවරයාගේ හිතවත් නියෝජිතයන් ලවා ඔවුන්ට දුරකථනයෙන් අමතා සිතාගත නොහැකි තරමේ මුදල් ලබාදීමට පොරොන්දු වූ කතාබහත් මේ වනවිට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත. ඒ අනුව මැති ඇමතිවරු මිලදී ගැනීමේ මිනිස් ජාවාරමට නායකත්වය දී ඇත්තේ අන් කිසිවකු නොව තමන්ගේ වැරදි වසා ගැනීමට බොරු කියන ජනාධිපතිවරයාම බව පැහැදිලිය. ඒ සම්බන්ධයෙන් වූ සාක්ෂි අප සතුව ඇත. ඒ සියල්ල දැනට උද්ගතව ඇති ව්‍යවස්ථාදායක අර්බුදය විසඳුණු වහාම අල්ලස් හා දූෂණ කොමිසමට භාරදීමට අප සුදානම් ය.

තවද කෙසේ හෝ  පාර්ලිමේන්තුව යළි කැඳවූයේ නම් ඒ තුළ මිනීමරා ගනී යැයි බියක් තිබූ නිසා පාර්ලිමේන්තු කැඳවීම අත්හිටු වූ බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටී. අපේ පැත්තේ මිනීමරුවන් කිසිවකු නොමැති බවත් ජනාධිපතිවරයාගේ අලුත් පාර්ශ්වයේ නම් ඕනෑතරම් මිනීමරුවන් සිටින බවත් මේ රටේ කුඩාදරුවකු පවා හොඳින්ම දන්නා කරුණකි. එය එසේ හෙයින් පාර්ලිමේන්තුවේ මිනීමරාගනී යැයි බිය විය යුත්තේ ජනාධිපතිවරයා නොව අප ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවීම පසෙකලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළේ, ඔවුනට කෝටි ගණන් මුදල් විසිකරලත්, ඇමතිකම් වෙන්දේසි කරලත් අපගේ මන්ත්‍රීවරු, ඇමතිවරු ලබාගැනීමට නොහැකි වූ බැවිනි. මේ තුළින් එක්සත් ජාතික පෙරමුණේ සාතිශය බහුතරය යනු රුපියල් සතවලට සිය පක්ෂය පාවානොදෙන ප්‍රතිපත්තිගරුක මිනිසුන් පිරි පක්ෂයක් බව යළි වතාවක් ලෝකයා ඉදිරියේ ඔප්පු කර සිටියේය.

එමෙන්ම 2015 ජනවාරි 09 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කරන විට එක්සත් ජාතික පක්ෂයට සිටියේ මන්ත්‍රීවරු 41ක් පමණක් බවත් ඒ අවස්ථාවේ බහුතරය පිළිබඳව කිසිවෙක් කතා නොකළ බවත් ජනාධිපතිවරයා කියා සිටී. 2015 දී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරු 41ක් සිටිය ද එදා පටන් සෑම අවස්ථාවකදීම රජයට සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහතාටත්, එතුමාගේ රජයටත්, එතුමාගේ ප්‍රතිපත්තිවලටත් සෑම අවස්ථාවකදීම පෙනී සිටි බව සිහිපත් කළ යුතුය. එමනිසා බහුතරය පිළිබඳ කිසිදු ගැටලුවක් මතු වූයේ නැත.

එපමණක් නොව ජනාධිපතිවරණයෙන් පසු 2015 ජනවාරි 20 දා පාර්ලිමේන්තුව යළි වතාවක් රැස් විය. ඉන් අනතුරුව අපගේ ආණ්ඩුවේ පළමු අයවැය පෙබරවාරි 07 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහිදී අපගේ පළමු පුංචි අයවැයට පක්ෂව ඡන්ද 104තුක් විරුද්ධව 01 ඡන්දයකුත් ලැබුණු අතර වැඩි ඡන්ද 103කින් සම්මත කරගන්නා ලදී.

එසේම 2015 අප්‍රේල් 28 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා සතු  බලතල සීමා කිරීම සඳහා ඉදිරිපත් කළ 19වන සංශෝධනයේ දී ද ඊට පක්ෂව ඡන්ද 215ක් ද විපක්ෂව එක් ඡන්දයක් ද ඡන්දය දීමෙන් වැළකී සිටි එක් මන්ත්‍රීවරයෙක් සමඟ නොපැමිණි 07ක් ද වශයෙන් 5/6 බහුතරයකගේ කැමැත්තෙන් එය සම්මත කරගන්නා ලදී. මේ ගෙවුණු කාලය තුළ අප පාර්ලිමේන්තුව තුළ බහුතරයේ හීනතාවයකින් හෝ ඌනතාවයකින් පෙළුණේ නැත. එසේම ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු කල් තැබීමක් හෝ සිදු කළේ නැත. 2015 සිට මේ දක්වා පාර්ලිමේන්තුවේ පැවැති සෑම ඡන්දයකටම අප ජයග්‍රාහීව මුහුණ දී ජය තහවුරු කර ඇත.

එය එසේ සිදුවෙමින් තිබිය දී සිරිසේන ජනාධිපතිවරයා විසින් මේ වසරේ අප්‍රේල් මාසයේ දී අගමැතිවරයාට විරුද්ධව කූඨ ලෙස දියත් කළ විශ්වාසභංගය ද ඔවුන් නොසිතූ ලෙස ජයග්‍රහණය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමත් විය. ඒ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 76ක් ද විරුද්ධව ඡන්ද 122ක් ද නොපැමිණි මන්ත්‍රීවරු 26ක් ද සමඟ වැඩි ඡන්ද 46කින් පරාජයට පත්කර දැමීමෙනි.

මේ ආකාරයට පාර්ලිමේන්තුවේ දී කිසිදිනක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට බහුතරය සම්බන්ධයෙන් කිසිම අවධානමක් තිබුණේ නැත. ඒ අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ශිෂ්ටත්වය, සංස්කෘතිය හා පවුල් පසුබිම කෙරෙහි ක්‍රෝධයෙන් හා ද්වේශයෙන් පිරීගිය සිරිසේන ජනාධිපතිවරයා විසින් නීත්‍යනුකූල අගමැතිවරයා ඉවත් කිරීමත්, පාර්ලිමේන්තුව කල් දැමීමත්, විසුරුවා හැරීමත් මුළුමණින්ම ඒකාධිපති වියරුවෙන් ආවේශ වුණු බුද්ධිහීන ඔල්මාදකාරයකුගේ මුග්ධ ක්‍රියාවක් බව පැහැදිලිය.

මේ අශික්ෂිත ක්‍රියාවට එරෙහිව නොබියව නැගී සිටි ගරු කතානායකවරයාට ද ඉතාම පහත් අයුරින් දෝෂාරෝපණය කිරීමට ජනාධිපතිවරයා සිය කතාව තුළ වැඩි වෙලාවක් වෙන්කර තිබිණි. 

ප්‍රජාතන්ත්‍රවාදයේ යථාපැවැත්ම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන මූලික කුළුණු මත රඳා පවති. ඒ වෙනුවෙන් එහි ස්වෛරීත්වය මෙන්ම ස්වාධීනත්වය ආරක්ෂා කළයුතුව ඇත. විධායකය වල්වැදී ඇති පරිසරයක් තුළ ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය ආරක්ෂාකර ගැනීමට උරදීම කතානායකවරයා සතු වගකීමකි. ව්‍යවස්ථාදායකයේ ස්වෛරීත්වය රැකගැනීම නීතියෙන්ම එතුමාට පැවරී ඇත. මන්ත්‍රීවරුන්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට එතුමා බැඳී සිටී. එසේම සියලු ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය වෙනුවෙන් වගකීමක් ද එතුමා සතුය. ඒ වෙනුවෙන් එතුමා නොබියව පෙනී සිටියේය.

කුමන්ත්‍රණකාරී කුහකයන්ගේ තර්ජන ගර්ජන මැද්දේ කරු ජයසූරිය කතානායකවරයා සිදුකළ මේ නිර්භීත කාර්යය වෙනුවෙන් අප සියලු දෙනා සදා ණයගැති විය යුතුය. එසේම එතුමාගේ ජීවිතය ආරක්ෂාකර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සියලු පුරවැසියන්ගේ වගකීමක් බව සිහිපත් කළයුතුය.

අවසාන වශයෙන් සඳහන් කළයුතුව ඇත්තේ, 2015 ජනාවාරි 08 වෙනස නියෝජනය කළ මේ රටේ සුවහසක් ජනතාවගේ පරම අභිලාශයන්ට පයින් ගසා ජනාධිපති සිරිසේන සිය ගෝත්‍රිකත්වයේ මුල් බිම් සොයා නිර්ලජ්ජිත ලෙස පසුබැස ඇති බවය.  එසේනම් ඊට එරෙහිව උස් නිදහස,  ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන, ඊට ගරු කරන සියලු ජනතාවත් සමඟ අප වීරියෙන් යුතුව නිවහල්බවේ උස් බිම් කරා පියනැගීමට සුදානම් බව කිව යුතුය.

Print Friendly, PDF & Email

වියරු වියවුල

$
0
0

තිසරණී ගුණසේකර

එතෙක් පැවති නිසි ක්‍රම​වේදය එක මිනිහෙක් කැඳ හැළියක් කෙළේය. පතුලක් නොපෙනෙන මානයේ මහා අවුලකට රටම ඇද දැම්මේය. ඒ තනි මිනිහාට ඊට ගතවුණේ සති දෙකක් පමණි.

විධායක ජනාධිපති ක්‍රම​යක් නොවන්නට, සමස්ත රටක් මත මේ මහා ව්‍යසනය මුදා හැරීමට මෛත‍්‍රිපාල සිරිසේනට හැකි වනු ඇත් ද?

සිදුවන දේවල්වල දිග පළල මැන ගැනීම සඳහා, විටෙක ප‍්‍රහසණය දෙසට හෝ සාහිත්‍යය දෙසට හැරීමට කෙනෙකුට සිදුවෙයි. මෙය එවන් අවස්ථාවකි. මෛත‍්‍රීපාල සිරිසේන නීති විරෝධීව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මගින් තමන්ගේ දෙවැනි ව්‍යවස්ථා-විරෝධී ක‍්‍රියාවට අතගැසූ අවස්ථාවේ කෙනෙකු මෙවැනි ට්විටර් සටහනක් තබා තිබුණි. ‘‘මරිජුවානා, කොකේන් සහ එක්ස්ටසි වෙළඳාම ඇණහිට තිබේ. මන්ද යත්, ඊට වඩා සැර යමක් කවුරුත් ඉල්ලා සිටින බැවිනි. ඒ නිසා, කරුණාකර, සිරිසේන පාවිච්චි කරන දෙයක් අපටත් දෙන්න.’’

සිරිසේන පාවිච්චි කරන මත්ද්‍රව්‍යය, මිනිස් ශිෂ්ටාචාරය තරමටම පැරණි ය. ඒ, බලය නමි. ඔහුට දෙවැනි වරටත් ජනාධිපති වීමට අවශ්‍ය කර තිබේ. ඒ පිස්සු ආශාව, අනිත් සෑම දෙයකටම- එනම්, විනීත කම, ලැජ්ජාව, කෘතඥතාව, සාමාන්‍ය බුද්ධිය, සාධාරණ ස්වාර්ථය සහ ප‍්‍රතිපත්ති- ආදී සෑම දෙයකටම ඔහුගේ ඇස් අන්ධ කොට තිබේ. ඒ වනාහී, අදෘෂ්‍යමාන බලය ගෙන දෙන ඉන්ද්‍රජාලික ‘පේරැුස්’ මුදුවක් තමාගේ කරගෙන, එහි දාසයෙකු බවට පත්ව, ඒ වෙනුවෙන්ම ජීවත්ව, ඒ නිසාම මියගිය, ජේ.ආර්.ආර්. ටොලිකියන්ගේ එක් නවකතාවක එන චරිතයක් වන, ගෝලම් නැමැති අපරූපිකයාගේ තත්වයට සිරිසේන පත්වීමකි.

බලයට පත්වූ සැණින්, නැවත වතාවක් නම් ජනාධිපති නොවෙමි යි සිංහ නාද කළ සිරිසේන, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් කුඩුපට්ටම් කරගෙන නැවත වතාවක් ජනාධිපති වීමට බලයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එක් නිර්මාතෘවරයෙකුගේ සිට එහි ඝාතකයා බවට ඔහුගේ පත්වීමේ කතාන්තරය මගින්වත් මේ විධායක ජනාධිපති ක‍්‍රමයේ නපුර අපට ඒත්තු නොයන්නේ නම්, වෙන කිසිවක් ඒ පාඩම අපට කියා දීමට සමත් නොවනු ඇත.

ලංකා දේශපාලනයේ අශුද්ධ වූ ‘රුධිර තැටිය‘ විධායක ජනාධිපති ක‍්‍රමයයි. ඒ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ප‍්‍රතිඥාව සිරිසේන සහ වික‍්‍රමසිංහ යන දෙදෙනාම අත්හලෝය. තමාගේ අනාගත ජනාධිපති අපේක්ෂාවන් උදෙසා රනිල් වික‍්‍රමසිංහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ කොට තබා ගනු වස්, රාජපක්ෂලාව නීතියේ දඬු අඬුවෙන් බේරා ගැනීමට වගබලා ගත් බව කවුරුත් දනිති. එක වරක්වත් ජනාධිපති වීමට වික‍්‍රමසිංහට තිබූ ආශාවත්, තවත් වරක් ජනාධිපති වීමට සිරිසේනට තිබූ ආශාවත් අද අප පත්ව සිටින මේ අවුලට දායක විය.

විධායක ජනාධිපති පාලනයේ ලංකා මොඩලයේ නිර්මාතෘ ජේ. ආර්. ජයවර්ධන එහි ඇති සර්වබලධාරීත්වය ගැන පාරම්බෑවේ, ගැහැනියක පිරිමියෙකු කිරීම සහ පිරිමියෙකු ගැහැනියක කිරීම හැරුණු කොට, වෙන කළ නොහැකි දෙයක් ඊට නැති බව කියමිනි. සංකල්පයක් වශයෙන් ගත් විට, එම පාලන ක‍්‍රමය අන්තගාමී ය. අශීලාචාර සීමාන්තිත බව, ඊට නෛසර්ගික ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බැලූවේ, විධායකය සතුව තිබූ අධිකතර බලතල සහ වරප‍්‍රසාද කප්පාදු කිරීමෙන් එම ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රීය තත්වයට පත්කිරීමටයි. සිරිසේනගේ වර්තමාන ක‍්‍රියාව මගින් පෙන්වන්නේ, 19 ව්‍යවස්ථා සංශෝධනයේ පැවති දුර්වලතාවක් නොව, ජනාධිපති ක‍්‍රමයේ පවතින අවදානමේ මහතයි. මෙය, මැඩලිය නොහැකි, හීලෑ කළ නොහැකි ක‍්‍රමයකි. ඉහතින් කී ඉන්ද්‍රජාලික මුද්ද සම්බන්ධයෙන් කළා සේ, මේ සඳහා ඇති එකම විසඳුම වන්නේ මේ සමස්ත නිර්මාණයම අහෝසි කර දැමීමයි.

රණසිංහ පේ‍්‍රමදාසගෙන් පසු බලයට පත් සෑම ජනාධිපති කෙනෙකුම එම ජනාධිපතිවරණය ජයගත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ප‍්‍රතිඥාව දෙමිනි. ඒ හැම කෙනෙක්ම එකා මෙන් ඒ ප‍්‍රතිඥාවට පිටුපෑවේය. මහින්ද රාජපක්ෂ තවත් පියවරයක් ඉදිරියට යමින්, එතෙක් එහි තිබූ ජනාධිපති වාර සීමාවත් වෙනස් කොට තවත් එය තිරිහන් කෙළේය. ඒ වනාහී, ඉහත කී ‘පේරැුස් මුද්ද’ සන්තකයේ තබාගෙන සිටි ගෝලම් කී ‘ප‍්‍රාතිහාර්ය බලයයි.’ විධායක ජනාධිපති ධුරයට පත්වූ පසු එය අහෝසි කිරීමට කෙනෙකු තුළ තිබෙන කැමැත්ත ‘හෝස් ගා’ අහෝසි වී යන්නේය. ඒ වෙනුවට ඒ තැනැත්තා කරන්නේ, තමාගේ ප‍්‍රථම ධුර කාලය තවත් ධුර කාලයක් වෙනුවෙන් සූදානම් වීම සඳහා යොදා ගැනීමයි.

සමහර විට සිරිසේන, මේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව, ඊට කලින් සිටි සියලූ ජනාධිපතිවරුන්ට වඩා අව්‍යාජව ගත්තා විය හැකිය. එහෙත්, බලයේ විෂබීජවලින් අනතුරුව ඔහු ඔත්පල විය. 2015 දී ජනාධිපති ධුර කාලය අවුරුදු 4 දක්වා අඩු කිරීමට කැමැත්තක් දැක්වූ පුද්ගලයා, 2017 වන විට එය අවුරුදු 6 ක් කර ගැනීමට බැලූවේය. එහෙත් අධිකරණය ඊට ඉඩ නොදුනි. පළාත් පාලන ඡන්දයේ මරාලය කඩා වැටුණේ එවිට ය. එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ/එක්සත් ජනතා නිදහස් සන්ධාන ඡුන්ද මල්ල සියයට 12.1 ක් දක්වා කඩා වැටුණි. තමාගේ තනි හයියෙන් දෙවැනි වරටත් ජනාධිපති වීමේ සිරිසේනගේ සිහිනය එතෙකින් නිමා විය.

2020 ජනාධිපතිවරණයේදී සිරිසේනට පිටුබලය දීමට රනිල් වික‍්‍රමසිංහ එකඟ වූයේ නම්, සිරිසේන අඩු වශයෙන් 2020 දක්වාවත් තම අගමැතිවරයාට මිත‍්‍රශීලීව සිටින්ට තිබුණි. සිරිසේනගේ ග‍්‍රාම්‍යත්වය, සංස්කෘතික ගතානුගතිකත්වය සහ සමකාමී ප‍්‍රජා-ද්වේෂය සත්තකින්ම ඔහු තුළ මුල් බැසගෙන තිබෙනවා විය හැකිය: එහෙත් ඒ සියල්ල සහ තවත් ඕනෑම දෙයක්, 2020 ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වයට වික‍්‍රමසිංහගෙන් අනුග‍්‍රහයක් ලැබිණි නම්, ඔහු ඉවසා වදාරන්ට තිබුණි. එහෙත් රනිල් වික‍්‍රමසිංහගෙන් ඊට අනුබලයක් නොලැබුණු තැන සිරිසේන බැලූවේ තමාට අනුග‍්‍රහශීලී නායකත්වයක් එක්සත් ජාතික පක්ෂය තුළ බලයට පත්කර ගැනීම සඳහා නායකත්ව කැරැුල්ලක් උසිගැන්වීමටයි. ඒ සියල්ල ව්‍යර්ථ වූ තැන, අප කාටත් හිතාගත නොහැක්කට ඔහු අත ගැසුවේය. මහින්ද රාජපක්ෂ සමග සන්ධානය ගොඩනැගුණේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

රාජපක්ෂලා එන්නේ ආපසු යන්නට නොවේ

සිරිසේන-වික‍්‍රමසිංහ පාලනයේ දේශපාලනික සහ ආර්ථික අසාරත්වයට පිංසිදු වන්නට, රාජපක්ෂලා මැතිවරණ ජයග‍්‍රහණයේ මාවතට පිවිස සිටිති. 2020 තෙක් ඔවුන් ඉවසා සිටියේ නම්, කරදරයකින් තොරව, නීත්‍යානුකූලව සහ ව්‍යවස්ථානුකූලව යළි බලය ලබා ගැනීමට ඔවුන්ට හැකියාව තිබුණි. එහෙත්, ඞී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය පිළිබඳ නඩුව, දෙසැම්බර් 4 වැනි දා සිට විශේෂ මහාධිකරණය ඉදිරියේ දිනපතා විභාග වීමට නියමිතව තිබුණි. එහි ප‍්‍රධාන චූදිතයෙකු වන්නේ ගෝඨාභය රාජපක්ෂ නිසා, එය කෙසේ හෝ වැළැක්වීම, රාජපක්ෂලා සම්බන්ධයෙන් ගත් විට, අත්‍යාවශ්‍ය කාරණයක් විය.

දෙවැනි වාරයක් සඳහා වන සිරිසේනගේ උමතු ආශාව සන්තර්පණය කර ගනු වස් එල්ලීමට පරඬැලක් හෝ සිරිසේනට අවශ්‍ය විය. ඒ සමගම, බලයට පැමිණීම සඳහා රාජපක්ෂලාට ක්ෂණික වාහකයක් අවශ්‍ය විය. කිසි දා හමු නොවීමට ඉරණම් කෙටී සිටි ජෝඩුව එහි දී යළි මුණගැසුණි.

තමා මහින්ද රාජපක්ෂව අගමැති වශයෙන් පත්කෙළේ, රනිල් වික‍්‍රමසිංහව පෙරලාගෙන යා හැකි කෙනෙකු තමාට අවශ්‍ය කළ නිසා යැයි පසුගිය දා සිරිසේන කීවේය. ඕනෑම කෙනෙකු හෝ ඕනෑම දෙයක් පෙරලාගෙන යාමට රාජපක්ෂ කප්පිත්තෙකි. දැන් බලයට අත ගසා ඇති තත්වය තුළ ඔහු සියල්ල සහ සියල්ලන් පෙරලාගෙන යනු නොඅනුමානයි. ඉතිරිව ඇති ප‍්‍රශ්නය වන්නේ, ඔහු සිරිසේනවත් පෙරලාගෙන යයි ද යන්න නොව, එසේ යන්නේ කවදා ද යන්නයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ද විය හැකිය. ජරපත් මහල්ලෙකු හරහා ඇති කර ගත් ‘ඞීල්’ එකක් ඔස්සේ ජර්මනියේ නව චාන්සලර්වරයා බවට පත් වූ සැණින් හිට්ලර් මැතිවරණයක් කැඳවීය. පාර්ලිමේන්තුව අකර්මණ්‍ය කිරීම සඳහා පාර්ලිමේන්තු බහුතරයක් තමන්ට අවශ්‍ය බව හිට්ලර්ගේ නට්සිවාදිහූ දැන සිටියහ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩාත් සාර්ථකව සහ වඩාත් පහසුවෙන් නසාලිය හැක්කේ ජයග‍්‍රාහී මැතිවරණයකින් ලබන සුජාත භාවය හරහා බව ඔවුහු අබබෝධ කරගෙන සිටියෝය.

ගෝඨාභය රාජපක්ෂ දැනට කියා ඇති පරිදි, ඔවුන්ගේ අරමුණ වන්නේ තුනෙන් දෙකක බහුතරයක් දිනා ගැනීමයි. එවැනි බහුතරයක් ඇති විට, දෝෂාභියෝගයක් පිළිබඳ තර්ජනය දමා ජනාධිපතිවරයාව නිශ්ක‍්‍රීය කළ හැකිය. ජනාධිපති වාර සීමාව ඉවත් කොට නැවත වරක් මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයා වීමේ අවස්ථාව උදා කර ගත හැකි වන පරිද්දෙන්, 19 වැනි සංශෝධනය අහෝසි කොට 20 වැනි සංශෝධනයක් ගෙන ඒමටත් පුළුවන් කම තිබේ.

2018 පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සියයට 40.47 ක් ලබා ගත්තේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ/එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට 12.1 ක් ලබා ගත්තේය. සිරිසේන සමග එක්ව තරග කිරීමෙන්, ප‍්‍රචණ්ඩත්වය සහ හිංසනය හැකි තාක් අවම කරගෙන, සියයට 50 ක පමණ ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගැනීමේ ඉඩකඩක් ඔවුන්ට තිබේ. (එවැනි තීන්දුවකට තවම පැමිණ නැත. මන්ද යත්, බොහෝ රාජපක්ෂවාදීන්ට තනියෙන් ගොස් ජයග‍්‍රහණය කිරීමේ අවශ්‍යතාව ඇති බැවිනි). එහෙත් තුනෙන් දෙකක බහුතරයක් දිනා ගැනීම සඳහා හිංසනයත්, නීති විරෝධී භාවයත් ඉහළින්ම අවශ්‍ය කෙරේ. එක පිට එක ව්‍යවස්ථාව උල්ලංඝණය කළ සිරිසේන දැන් ඒ මාවතත් ඔවුන්ට පාදා දී තිබේ.

හිට්ලර්ගේ නට්සිවාදීන් සිය මැතිවරණ ජයග‍්‍රහණය සහතික කර ගත්තේ පාර්ලිමේන්තුව ගිනි තබා මැතිවරණ පරිසරය වෙනස් කර ගැනීමෙනි. ව්‍යවස්ථා-විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, මැතිවරණ කොමිසම සහ අධිකරණය විසින් පිළිගනු ලැබුවහොත්, සිරිසේන-රාජපක්ෂ ජෝඩුවත් එවැනි උපක‍්‍රම පාවිච්චි කළ හැකිය. තමන්ගේ යෝධ පාවා දීම සහ රාජපක්ෂලා සමග විලිලැජ්ජා නැති සන්ධානයකට යාම සඳහා සිරිසේන පාවිච්චියට ගත් ඝාතන සැලසුමක් ගැන අර ඔල්මොරොන්දන් කතාව වැනි තවත් බොහෝ පිස්සු කතා අපට ඉදිරියේදී අසන්ට ලැබිය හැකිය. (සමහර විට ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ) එක්සත් ජාතික පක්ෂ නායකයන් අත්අඩංගුවට ගැනීම සහ ප‍්‍රචණ්ඩකාරී පරිසරයක් මැතිවරණය සඳහා නිර්මාණය කර ගැනීම වැනි තත්වයක්, ජර්මනියේ පාර්ලිමේන්තු ගින්නේ ලාංකීය අනුවාදය බවට එදාට පත්වනු ඇත.

සිරිසේන ජනාධිපති වීමෙන් පළමු සංවත්සරය සැමරීම සඳහා පොළොන්නරුවෙන් බිහි වූ රජ කෙනෙකු ගැන ගීතයක් එදා සූදානම් කෙරුණි. ඒ බව කල්තියා ප‍්‍රසිද්ධියට පත්වීමත් සමග මහා විරෝධයක් මතු විය. එතැනින් ඒ සැලැස්ම අවසන්ව, අර ගීතයක් හකුලා ගැනුණි. බලය පිළිබඳ මහමාරිය සිරිසේනගේ ශරීරගත වූ ප‍්‍රථම අවස්ථාව සමහර විට එය විය හැකිය.

දැන් පොළොන්නරුවේ රජාත්, රුහුණේ රජාත් එක ගෙයි කති. ඒ හවුල තුළ තිබිය හැක්කේ එක අවසානයක් පමණි. ජනවහර පිළිබඳ තම දැනුම දැන්වත් සිරිසේන සිහිපත් කර ගැනීම වටී. ටොල්කියන් නැමැති නවකතාකරුවා ගැන ඔහු කිසිත් නොදන්නවා විය හැකිය. එහෙත්, කොටියාව වලිගෙන් අල්ලා ගත් මිනිසා පිළිබඳ කතාව ඔහු අසා ඇතිවාට සැක නැත.

අපේක්ෂාව සහ ප‍්‍රතිරෝධය පෑම

ඉතිහාසය පිනා යන උත්ප‍්‍රාසයන් ද තිබේ. 2015 ජනවරම රාජපක්ෂගේ මහා හිම පතනයකට යට කොට වළ ලෑමට සිරිසේන ගත් ප‍්‍රයත්නය, ප‍්‍රජාතන්ත‍්‍රීය බලවේගවලට නැවතත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අල්ලා ගැනීමට පොටක් පාදා දී තිබීම එවැන්නකි. 2015 ජනවාරි 8 වැනි දා හැට දෙලක්ෂයක් ජනතාව සිරිසේනට ඡුන්දය පාවිච්චි කළ අවස්ථාවේ ඉන් බොහෝ දෙනා ඡුන්දය දුන්නේ පුද්ගලයාට නොව, ඒ පුද්ගලයා සංකේතවත් කළ ප‍්‍රාර්ථනයකටයි. ඒ වනාහී, රාජපක්ෂ පවුල් පාලනයෙන් නිදහස් වීමේ ප‍්‍රාර්ථනයයි. අද ඔහු විසින්ම රාජපක්ෂලාගේ පුනරාගමනයක් සඳහා දොර විවර කර දී තිබේ. නීති විරෝධී විසුරුවා හැරීම සහ නීති විරෝධී මැතිවරණය නොනැවතී ඉදිරියට ගියොත්, 2019 ජනවාරි 6 වැනි දාට, අර කලින් ජනවාරිය කිසි දා නොපැවතුණු දෙයක් වශයෙන් පෙනේවි ද?

ගත වූ තුන් වසරකට වැඩි කාලයක් තිස්සේ ඇති කර ගත් ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණවල ශක්තිය උරගා බැලීමේ අවස්ථාවක්, අගමැතිවරයෙකු නීති විරෝධීව පහ කිරීමත්, පාර්ලිමේන්තුව නීති විරෝධීව විසුරුවා හැරීමත් විසින් උදා කර දී ඇති බව අප වටහා ගත යුතුය. ඒවායේ සැබෑ අරුතක් තිබේ ද, ඒ ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ කල් පවත්නා ගතියකින් යුක්ත වන්නේ ද, එසේ නැතහොත්, හුදෙක් මායාවක් ද නැත්නම් වහා නස්නා සුළු වේද? ස්වාධීන කොමිෂන් සභා සැබවින්ම ස්වාධීන ද? කොල්ලකාරී දේශපාලඥයන්ගෙන් ව්‍යවස්ථාව ආරක්ෂා කර දීමට සහ නිසි ක‍්‍රියාපරිපාටි පවත්වාගෙන යාම සහතික කර දීමට අධිකරණයට ශක්තියක් තිබේ ද? 2015 න් පසු ඇති කර ගත් හෝ ප‍්‍රකෘති තත්වයට පත්කර ගත් ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන ආක්‍රෝශකාරී විධායකයකට මුහුණදීමට තරම් ජවයෙන් යුක්ත ද? මෙය, එනම් සිරිසේනගේ පාවාදීම, ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රාර්ථනයේ අවසානය ද, නැතහොත් හුදු පසුබෑමක් පමණක් ද?

අධිකරණය විනිශ්චයන්ට එළැඹෙන්නේ නීතිරීති මත පමණක් පදනම්ව නොවේ. විශේෂයෙන් රටක ඉරණම අවදානමට ලක්ව ඇති මොහොතක, දේශපාලනය ද යම් භූමිකාවක් රඟපායි. සිරිසේනගේ ක‍්‍රියාකලාපයේ නීති විරෝධී භාවය අධිකරණය අනුමත නොකළොත්, එයම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රහණයකි.

එහෙත් නග්න බලය ඉදිරියේ මැතිවරණ කොමිසම දණ ගැසුවොත් සහ ලාංකීය අධිකරණයේ ස්වාධීනත්වය හුදෙක් අවාරයේ එළැඹෙන දෙයක් පමණක් බවට වුණොත් තත්වය කවරේ ද? එවිට අනීතිකත්වය ජය ගනු ඇත. මැතිවරණය පැවැත්වෙනු ඇත. එවැනි මැතිවරණයක ස්වභාවය විසින්ම එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභ්‍යාසයක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි අභ්‍යාසයක් බවට පත්වනු ඇත.

බලාපොරොත්තු විය හැකි නරකම තත්වය එයයි. ඊට අප සූදානම් විය යුතුය.

අප ජීවත් වන්නේ. ක‍්‍රමානුකූලව, සමහර විට ප‍්‍රචණ්ඩ ආකාරයෙන්, පසුබෑමට ලක්විය හැකි කාලයකයි. එහෙත් ඒ අන්ධකාරය අස්සේ දීප්තිමත් එළි ද විහිදෙයි. එය, ආචාර්ය දේවනේසන් නේසයියා ගත් ප‍්‍රතිපත්ති ගරුක ස්ථාවරය වේවා, වැඩිමනත් සාමාන්‍ය පුරවැසි කණ්ඩායම් දිනපතා දක්වන විරෝධතාවන් වේවා, ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කිරීමට දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව ගත් ස්ථාවරය වේවා, 2009 දී පුද්ගලයන් දෙදෙනෙකු පැහැර ගැනීමේ චෝදනාවට ලක්ව සිටින නාවුක හමුදා නිලධාරියාව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වේවා, ඒ හැම තැනකම, ලොකු කුඩා වශයෙන්, විරෝධතාවයේත්, එඩිතර භාවයේත්, ශිෂ්ට සම්පන්න භාවයේත් නිමිති දකින්ට තිබේ. ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ වාර්තාවකට අනුව, මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් සිරිසේනව හමුවීම ප‍්‍රතික්ෂේප කොට තිබේ. (රාජපක්ෂටත් මේ දේම වෙන්නට ඇති. මන්ද යත්, ඔක්තෝබර් 26 න් පසු ඔහු නුවරට ගිය දේශපාලන වන්දනාවට මල්වතු මහා විහාරයට යාමක් සිදු නොවුණු බැවිනි).

ප‍්‍රාර්ථනය ඝාතනය කොට ඇති මුත් නෂ්ටාපේක්ෂාවට පත්වීමට හේතුවක් නැත.

සිරිසේන-වික‍්‍රමසිංහ හවුල ඉදිරියටත් ඉබාගාතේ ගියේ නම්, 2020 වන විට එය ජනතා අප‍්‍රසාදයේ පතුලටම යන්නට තිබුණි. එහි ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාකාරීත්වය විසින් ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් බොහොමයක්, එක්කෝ රාජපක්ෂගේ තුරුලට, නැත්නම් හුදු අපේක්ෂා භංගත්වයට හෝ ඡුන්දය පවා පාවිච්චි කිරීමට නොසිතෙන ආකාරයේ අක‍්‍රීයත්වයකට, තල්ලූ කිරීමට තිබුණි.

එහෙත් සිරිසේන-රාජපක්ෂ ජෝඩුව සිදු කළ ව්‍යවස්ථා-විරෝධී අපරාධ හේතුවෙන් අද වන විට දේශපාලනික සහ මනෝමය භූමි දර්ශනය ප‍්‍රබල වෙනසකට ලක්කොට තිබේ. ඒ මගින්, සැබවින්ම පරදුවට වැටී ඇත්තේ කුමක් ද යන්න පැහැදිළිව බෙදා වෙන් කොට දක්වා තිබේ. මෙය සාමාන්‍ය අර්බුදයක් නොවේ. අද අප ගන්නා තීරණයන්, අප පුරවැසියන්ගේ තත්වයේ සිටිනු ඇත් ද, නැත්නම් ඉස්සරටත් වඩා යටත් වැසියන්ගේ තත්වයට පත්කරනු ඇත් ද යන්න විනිශ්චය කරනු ඇත.

ඒ අනුව බලන විට අප ඉදිරියේ ඇත්තේ, 2015 තිබුණාටත් වඩා බරපතල අභියෝගයකි. ඊට සාර්ථකව මුහුණදිය හැක්කේ, එක් මුලික සත්‍යයක් එක්සත් ජාතික පක්ෂය අවබෝධ කර ගන්නේ නම් පමණි. එන මැතිවරණය ඔවුන්ට තනියෙන් ජය ගත හැකි නොවේ. එහි නායකත්වය රනිල් වික‍්‍රමසිංහ වේවා, සජිත් පේ‍්‍රමදාස වේවා, වෙන ඕනෑම කෙනෙකු වේවා, එය කළ නොහැක්කකි. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉරණම තීන්දු කරන මැතිවරණයකි. ඒ බව හඳුනාගෙන ඒ ආකාරයෙන් ඊට මුහුණදිය යුතුව තිබේ. පක්ෂ මතවාදයෙන් මැතිවරණයට මුහුණදුන්නොත්, එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකි වනු ඇත්තේ සියයට 35 ක පමණ ඡන්ද ප‍්‍රතිශතයකි.

අලූතින් තිරිහන්ව සිටින රාජපක්ෂ ගල්රෝල නතර කළ හැක්කේ පුළුල්ම දේශපාලනික සන්ධානයකට පමණි. ව්‍යවස්ථාව අමු අමුවේ ඝාතනය කිරීමට එරෙහිව පෙළ ගැසුණු ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග‍්‍රසය සහ වෙනත් සියලූ පක්ෂ එකතුව ඇති කර ගන්නා සන්ධානයක එක්සත් ජාතික පක්ෂය කොටස්කරුවෙකු විය යුතුය. මේ සංග‍්‍රාමය සඳහා, හැකි තාක් බලවේග ඇතුළත් කර ගන්නා කූඩාරමක් තැනිය යුතුව තිබේ. එය, දියත් කළ යුතු, නිවැරදිව දියත් කළ යුතු, ප‍්‍රතිඵලය කුමක් වුවත් දියත් කළ යුතු, අනිවාර්ය සංග‍්‍රාමයකි.

2018 නොවැම්බර් 11 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Deranged නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

සංස්කෘතිකවත් සමාජයක් ගොඩනැගීම සහ ව්‍යවස්ථාමය සදචාරය

$
0
0

ලියනගේ අමරකීර්ති

මහාචාර්ය ලියනගේ අමරකීරිති

ජාතික විද්වත් සංවිධානය ජනතා විමුක්ති පෙරමුණ වටා පළල් ප‍්‍රගතිශීලි පෙරමුණක් උදෙසා ක‍්‍රියා කරමින් සිටිනවා. මේ වන විට එහි අනුකමිටු දහයක් යටතේ ජාතික ප‍්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කරමින් සිටිනවා. මා සමාජිකත්වය දරන කලාව සහ සංස්කෘතිය පිළිබඳ අනු කමිටුව ඉතා දැඩි සහෝදරත්වයකින් යුතුව කිහිපවරක් රැුස්වී තිබෙනවා. තිස්දෙනෙකුටත් අධික කමිටු සාමාජික සාමාජිකාවන්් තනි තනිව ගත්තමත් මේ රටේ කලාව සංස්කෘතිය ගැන ඉතා හොඳ අදහස් තියෙන අය. සාහිත්‍යය, සිනමාව, නාට්‍යය ආදී තම තම කලාව ගැන, ඒ ඒ කලා දියුණු කරන ආකාරය ගැන පැහැදිලි අදහස් තියෙන අය. එපමණක් නොවේ, ලංකාවේ විවිධ නගරවල මේ කමිටුවලට යෝජනා රැුස්කරන සම්මන්ත‍්‍රණවල අපේ කමිටුවේ බොහෝ දෙනෙක් සහභාගි වී තිබෙනවා. සමහර සහෝදරවරු, සහෝදරියො මටත් වඩා වාරගණනක් ඒ රැුස්වීම්වලට සහභාගි වී තිබෙනවා. අපට අදහස් සම්බන්ධ හිගයක්නෑ. සංස්කෘතිය කුමක්ද, කුමක් විය යුතුද, සංස්කෘතිකවත් මිනිසා කවුද, එවැන්නෙක් ගොඩනගන්නේ කෙසේද යන්න ගැන සැලකිය යුතු අවබෝධයක් අපිට තියෙනවා. ඒ අවබෝධය එන්නෙ අපි කවුරුවත් අසීමිත ප‍්‍රාඥයො නිසා නොවෙයි. අප බොහෝ දෙනාට සවන් දෙන්න කැමති අය නිසා. අපි ලංකාවෙ සිටින මේ ක්ෂේත‍්‍ර ගැන සිතන මතන ප‍්‍රවීණයන්ට සවන් දීලා තියෙනවා. තව දුරටත් සවන් දෙන්න සූදානම්. කලාව, සංස්කෘතිය ආදිය පිළිබඳ ලෝකෙ සිටි, දැනට සිටින න්‍යායධරයන්ගේ දැනුම අප ලබාගෙන සිටිනවා, ලබා ගනිමින් සිටිනවා, ලබාගන්න සූදානමින් සිටිනවා. ඒ විතරක් නෙමේ මේ සාකච්ඡුාවලින්, හැදෑරීම්වලින් පස්සෙ අපි ලේඛනගත කරන කලා සංස්කෘතික ප‍්‍රකාශනයත් නොවෙනස් වන, සංවෘත, වසාදමන ලද ලේඛනයක් නෙමේ. කලා-සංස්කෘතික පොලිස් නියෝගයක් නෙමේ. අපි විවෘතයි. මනුෂ්‍ය ඥානයේඅඛණ්ඩ වර්ධනය පිළිගන්න අපි විවෘතයි. මනුෂ්‍ය නිර්මාණ ශක්තියේ අතිවිශාල, අනන්ත විභවතාව පිළිගැනීමට අපි විවෘතයි. අපගේ මූලික ප‍්‍රතිපත්තිමය රාමුව ප‍්‍රසාරණය කරන්නට අපි විවෘතයි.

කලාව පිළිබඳ විවෘත අදහසක්

අපි කලාව කියන්නෙ මේකයි කියලා එක් තනි අධිපති අදහසක්, ප‍්‍රභූ අදහසක්, පුරුෂ මූලික අදහසක්, සිංහල කේන්ද්‍රීය අදහසක්, එක් තනි ලිංගික නම්නතාවක් නියෝජනය කරන අදහසක් රාජ නියෝගයක් වගේ පනවන පිරිසක් නෙමේ. කලා සංස්කෘතික ලෝකය බෙහෙවින් විවිධයි, විචිත‍්‍රයි කියා විශ්වාස කරන පිරිසක්. කලා රසිකත්වය නොයෙක් පැහැයන්ගෙන්, නොයෙක් විචිත‍්‍ර වර්ණවලින් මතු වෙන බව විශ්වාස කරන පිරිසක්. කලා සංස්කෘතික ක්ෂේත‍්‍රවල නිර්ධනයින්ට, ස්ත‍්‍රීන්ට, ජනවාර්ගික සුළුතර පිරිස්වලට, එවැනි තවත පීඩිත කණ්ඩායම්වලට සුවිශේෂ ගැටලූ ඇති බව විශ්වාස කරන පිරිසක්.

ඒ නිසාම අපේ ප‍්‍රතිපත්තිය විශිෂ්ට සංස්කෘතික මිනිසා කඨෝර දරද`ඩුවෙක් නොවෙයි ඉතා සුඛනම්‍ය මිනිසෙක් කියා විශ්වාස කරන ප‍්‍රතිපත්තියක්. කලාව කුමක්ද? කලාවෙහි අර්ථය කුමක්ද? සංස්කෘතිකවත් භාවය කුමක්ද? යන ප‍්‍රශ්න නොනවතින සංවාදයක් රටක තිබිය යුතු කියා විශ්වාස කරන ප‍්‍රතිපත්තියක්.

ඒවගේම අපි විශ්වාස කරනවා සංස්කෘතික, කලා ක්ෂේත‍්‍රවල ඇති ගැටලූ විසඳීම විතරක් නෙමේ සංස්කෘතික විශිෂ්ටත්වය අත්පත් කර ගැනීම හුදෙක් සංස්කෘතිය නමැති අඩවියේ විසඳිය නොහැකි බව. ජාතික විද්වත් සභාවෙහි අඩංගු සියලූම අනුකමිටු අතර සියුම් අනෝන්‍ය අවබෝධයක් අවශ්‍යයි. අපි කමිටු දහයකට බෙදී ක‍්‍රියා කළත් අප ගොඩනගන්නට යන සමාජමය විශිෂ්ටත්වය, යුක්තිය පිළිබඳ මූලික ගෞරවයක් ඇති සමාජය, සාධාරණය පිළිබඳ මූලික විශ්වාසයක් ඇති සමාජය, මනුෂ්‍යයත්වය එහි සියලූ අංග අතින් පොහොණි කරන්නට නම්, පොහොසත් කරන්නට හැකියාවක් කමිටු දහය අතර ඉතා හොඳ අවබෝධයක් නැත්නම්. මේ කමිටු දහයට අයිති නොවන දැනුම් පද්ධති, ඥාන පද්ධති සමගත් අපට සම්බන්ධ වෙන්න සිදු වෙනවා.

සංස්කෘතිකවත්භාවය සහ අධ්‍යාපනය

සංස්කෘතික විශිෂ්ටත්වය පිළිබඳ මූලික අදහසක් රටක අධ්‍යාපනයට නැති නම් කොහොමද අපි ඒ සංස්කෘතික විශිෂ්ටත්වය ගොඩනගන්නෙ? අධ්‍යාපනය තියෙන්නෙ මානව විමුක්තිය පිණිස මිස සහතික ටිකක් එකතු කරන්න නොවේ කියලා නොදන්න අධ්‍යාපනයකින් කොහොමද අපි සංස්කෘතිකවත් මිනිසා හදන්නෙ? අධ්‍යාපනය මූලික වශයෙන් විමුක්ති මාර්ගයක්. හොඳ අධ්‍යාපනයකින් පුළුවන් වෙන්න මනුෂ්‍යයා සිරගත කර තිබෙන, සමාජමය, ආර්ථිකමය, සංස්කෘතික සිරගෙවලින් මනුෂ්‍යයා නිදහස් කරන්න. ඒක තමයි විමුක්තිකාමී අධ්‍යාපනය. මනුෂ්‍ය බුද්ධියට, මනුෂ්‍ය ප‍්‍රතිභාශක්තියට හැකියාවක් නිදහසේ වැඩෙන්නට විතරක් නෙමේ නිදහස සොයා වැඩෙන්නට දිරිදීම තමයි නියම අධ්‍යාපනය. ප‍්‍රංශ විප්ලවයේ දාර්ශනිකයා විතරක් නෙමේ අදටත් අපිට වැදගත් අධ්‍යාපන දාර්ශනයෙක් වන රූසෝ එදා කිව්වා මනුෂ්‍යන්ගේ ඉරණම තීන්දු කරන දුක්ඛය සහ අයුක්තිය ඇති වන්නේ බයිබලයෙහි එන හැටියට ප‍්‍රථම මනුෂ්‍ය යුවළ පාපය නිසා පරම ආනන්දයෙන් පහළට ඇද වැටීම නිසා නොවන බව. ඒවගේම රූසෝ කිව්වා මනුෂ්‍යයන්ගේ දුක්ඛය ඇති වන, මනුෂ්‍ය සමාජයේ අයුක්තිය ඇති වන ප‍්‍රධාන කාරණය මනුෂ්‍ය ස්වභාවය නොවන බව. අපේ සංස්කෘතියේ වචනවලින් කියනවා නම් අප සමාජයේ මනුෂ්‍යයන්ගේ දුක්ඛ්‍යය, පීඩිතභාවය, අයුක්තියට ගොදුරු වීම පව්කාරකමක් හෝ දේව ශාපයක් හෝ හූනියමක් හෝ නිසා සිදුවන දෙයක් නොවේ. මනුෂ්‍ය යථාර්ථය පිළිබඳ එවැනි ආගමික හෝ සාම්ප‍්‍රදායික ඉගැන්වීම්වලට අප ඉතා ඉවසීමෙන් සවන් දුන්නා වුණත් අප වටහාගත යුතුයි අපේ යථාර්ථය ඓතිහාසික නිර්මිතයක් බව. මනුෂ්‍ය නිර්මිතයක් බව. රූසෝගේම වචනයෙන් කියනවා මනුෂ්‍යයා බැඳ තබන යදම් මනුෂ්‍යයන් විසින් මෙලොව දී වාත්තු කරන ලද යදම්. මෙලොවදී පාස්සන ලද යදම්. ඒවා දිවිය ලෝකයේදී හෝ අපායේදී වාත්තු කර මනුෂ්‍ය ලෝකයට එවන ලද යදම් නොවේ. ඒ නිසා යදම් බිඳිය හැක්කේ මනුෂ්‍යයන්ගේ කුළුගෙඩිවලින් විතරයි. ඒ යදම් බිඳිය යුත්තේ මනුෂ්‍යයන්ගේ කුළුගෙඩිවලින් මනුෂ්‍යයන්ම පහර දී මිස අන් ලෙසකින් නොවේ. රූසෝ විතරක් නෙමේ මාක්ස් ඔස්සේ ග‍්‍රාම්ස්චි හරහා පාවුලෝ ෆ්‍රෙයිරේ දක්වා මේ අදහස් ගමන් කරනවා. අපේ බුදු හාමුදුරුවන්ගේ මූලික ඉගැන්වීමවල පවා මානව විමුක්තිය මෙලොවදී සාදාගත යුත්තක්ය කියන මානය තිබෙනවා.

අපි කලාව, විතරක් නෙමේ සංස්කෘතිය දකින්නෙ අප හමුවේ දැනට තියෙන යදම්වල තවත් හිරවෙන්නට මනුෂ්‍යයන් පොලඹවන විදියක් විදියට නෙවෙයි. ඒ යදම් බිඳින විදියක් විදියට. අපිට අපේ පැරණි සංස්කෘතික උරුමය වැදගත්. අපිට ඒ සංස්කෘතික අනන්‍යතාව වැදගත්. නමුත් ඒ උරුමයක් විදියට මිසක් යදමක් විදියට නෙවෙයි. සංස්කෘතිය පිළිබඳ අපගේ අදහස හුදෙක් සංසරක්ෂණවාදී එකක් නොවෙයි. සංස්කරණවාදී එකක්. නව නිර්මාණවාදී එකක්. මනුෂ්‍යයා සෑම විටෙකම සංස්කෘතිය අලූතින් නිර්මාණය කළ යුතුයි කියා විශ්වාස කරන අදහසක්.

සංස්කෘතික ජයග‍්‍රහණවල උරුමය

එහෙත් නැවතත් අවධාරණය කළ යුතු දෙයක් තියෙනවා. යම් සමාජයක සංස්කෘතික ජයග‍්‍රහණ ඒ සමාජයේ ඇති ආර්ථිකයෙන් වෙන් කොට අත්පත් කරගත හැකි යැයි අප සිතන්නේ නෑ. කොහොමට වත් සිතන්නේ නෑ. කලා-සංස්කෘතික කටයුතු යනු ආර්ථිකය විසින් මෙහෙය වනු ලබන, නිර්ණය කරනු ලබන අකර්මණ්‍ය රූකඩයක් යැයි අප විශ්වාස කරන බව නොවෙයි එහි අදහස. නමුත් රටක ජාතික ධනය ඒ රටේ වසන සියලූ මනුෂ්‍යයන්ගේ ජීවිත පොහොසත් කරනු පිණිස සාපේක්ෂ සමානත්වයකින් බෙදී යන සමාජයක් නැතිව මනුෂ්‍ය සංස්කෘතික ජීවිතය පොහොසත් කිරීම කරන්නට බෑ.

අපි හිතමු මෙහෙම. ලංකාවේ ඕනෑම පාසැලක, ඕනෑම පවුලක දරුවෙකුට ලෝක මානවයාගේ විශිෂ්ට සංස්කෘතික උරුමය උකහා ගන්නට අවස්ථාව නැති නම් ඒක මූලික වශයෙන්ම ධනය බෙදීයාම පිළිබඳ ප‍්‍රශ්නයක්. ඒක ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්නයක්. විලියම් ශේක්ශ්පියර් විශිෂ්ට නාට්‍යකරුවෙක්. ඔහුගේ නාට්‍යවල නියම මිහිර, ඔහුගේ අනුපමේය භාෂා වික‍්‍රම ඉංග‍්‍රීසියෙන්ම කියවා විඳගන්නට ලැබෙන්නෙ එක්තරා පන්තියක, එක්තරා පාසැල් පද්ධතියක දරුවන්නට විතරක් නම් ඒක මූලික වශයෙන්ම ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්නයක්. ජාතික ධනය විසරණයවීමේ ගැටලූවක් පිළිබඳ ප‍්‍රශ්නයක්. යුරිපිඞීස්ගේ නාට්‍යයක් ග‍්‍රීක බසින්ම කියවා විඳගැනීමේ අවස්ථාව තියෙන්නෙ එක්තරා පන්තියක දරුවන්ට, එක්තරා පාසැල් විශේෂයකට යන දරුවන්ට විතරක් නම් ඒක මූලික වශයෙන්ම ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්නයක්. ලෝකයේ පළමු නවකථාව යැයි ඇතැම් අය සලකන මුරසකි ආර්යාවගේ ගෙන්ජි මොනොගතරි ජපන් බසින්ම කියවා විඳින්නට අවස්ථාව තියෙන්නෙ එක පිරිසකට විතරක් නම් ඒක ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්නයක්. මනුෂ්‍ය වර්ගයාගේ සංස්කෘතික ප‍්‍රාග්ධනයත් සාපේක්ෂ සාධාරණත්වයකින් බෙදී යා යුතු යැයි හිතනවා. එසේ නොවන සමාජයක් සංස්කෘතිකවත් සමාජයක් යැයි අපි විශ්වාස කරන්නේ නෑ.

ඒ වගේම අපි සංස්කෘතිය කියන සංකල්පය තුළට ආත්ම පරීක්ෂාව කියන මානය අඩංගු කරනවා. මොකක්ද ආත්ම පරීක්ෂාව කියලා කියන්නෙ? මූලික වශයෙන් ඉන් අදහස් වෙන්නෙ මේකයි. අපි පුරවැසියො විදියට යුක්තිය, සාධාරණය, සහ සදාචාරසම්පන්භාවය පිළිබඳ මූලික සම්ප‍්‍රදායවලටවත් ගරු කරන, අපගේ ජීවිතය පිළිබඳ අභිමානයකින් අපි ජීවත් වෙනවද කියන ප‍්‍රශ්නෙ. මූලික සදාචාර ධර්මවලට අපි ගරු කරනවාද? ඒවා අපි අතින් අවිඥානකව හෝ උල්ලංඝනය වුණොත් අවංකව පශ්චාත්තාප වන හෘදය සාක්ෂියක් අපට තියෙනවාද? සංස්කෘකික මනුෂ්‍යයා පිළිබඳ අපේ කතිකාවට මේ මානය නැති වුණොත් මොකද වෙන්නෙ?

අපි මේ වැදගත් ප‍්‍රශ්නය අසමින්, ඒ ගැන යම් දාර්ශනික පසුබිමකින් යුතු පිළිතුරක් ගොනු කරමින් ඉන්න වෙලාවෙ ඉතිහාසය විසින් අපට බල කරනු ලැබ තිබෙනවා මේ ප‍්‍රශ්නය පොදු සමාජයෙන් උස් හඬින් අහන්න. අපගේම හදවතට තට්ටු කරමින් අසන්න.
එක තනි මිනිසෙකු අත, එත තනි පවුලක් සමස්ත රටේම බලය ගොනු කරගත් මිනිහෙකුට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික හරය වත් ආරක්ෂා කරන්නට පැමිණි මිනිහෙක් රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමග නාහෙට අහන්නැති මෝඩ දරුවෙක් වගේ, කිසිම වරදකාරී හැ`ගීමක් නැතිව, පශ්චාත්තාපයක් නැතිව සෙල්ලම් කරන මනුෂ්‍යයෙක් අපිව ඉතිහාස ප‍්‍රවාහයේ හරි මැදට ඇදල දාල. ජේම්ස් ජොයිස්ගේ යුලිසිස් නවකථාවෙ ප‍්‍රධාන චරිතය එක වෙලාවක කියන ”මා අවදි වී ඉවත් වෙන්නට තැත් කරන නපුරු සිහිනය නම් ඉතිහාසයයි” කියලා.history is the nightmare from which I am trying to awake. අපි දැන් ඉන්නෙ එවන් නපුරු සිහිනයක් මැද්දෙ. ඒ වෙතින් අපි යථාර්ථය වෙත අවදි වෙන්නෙ කොහොමද? ඒ නපුරු සිහිනයෙන් සුබ සිහිනයක් කරා අපි මාරු වෙන්නෙ කොහොමද?

සංස්කෘතිය, කලාව, ආදිය පිළිබඳ අපේ කතිකාව ඇතුළට අර ආත්ම පරීක්ෂාව කියන මානය එක් කරන්නෙ කොහොමද? අපි අපේ බිරිඳගෙ හිත රිදෙන වචනයක් කියවුණොත් දවස්ගාණක් පසු තැවෙන පිරිමි. අපි අපේ සැමියගෙ හිත රිදෙන වචනයක් කියවුණොත් දවස් ගාණක් පසු තැවෙන ගැහැණු. අපේ දරුවන්ගෙ හිත් වැරදිලාවත් රිදුණොත් දුක් වෙන දෙමව්පියො අපි. අපේ සිසු දරුවන්ගේ බුද්ධියට ගරුත්වය පිදිය හැකි ආකාරයකින් දේශනය කරන්න බැරිවුණොත්, පාඩම කරන්න බැරිවුණොත් බොහෝ වෙලාවක් පසු තැවෙන ගුරුවරු අපි. මේ බිඳෙනසුලූ හෘදය සාක්ෂියෙන් කියවෙන්නේ කුමක්ද? අපි ගැනම ආත්ම පරීක්ෂාව අවශ්‍ය යැයි කියන හැ`ගීම අප තුළ තිබෙන බව. ඒ හැ`ගීම සංස්කෘතිකවත්භාවයේ ලක්ෂණයක්. මේ සති කිහිපය ඇතුළත ජනාධිපති සිරිසේන දෙවරක් කර ඇති නීති උල්ලඝනය අපේ හෘදය සාක්ෂියට කරන ලද සරදමක් හැටියටයි අප බාර ගත යුත්තේ. අපි අපෙන්ම අහමු ඒ සරදමින් ඒ අපේ හෘදය සාක්ෂිය රිදෙනවාද කියන ප‍්‍රශ්නය. එසේ ඇසීම තමයි සංස්කෘතික විශිෂ්ටත්වය.
ජනාධිපතිවරයා විසින් අරඹන ලද මේ විකට නාටකයෙන් පස්සෙ සිදු වෙන දේ බලන්න. රංගෙද? කොහෙද ඉන්නෙ? එනව නේද? නෑ බං. – අපිට. – එනව නේද? මේ අශිෂ්ට මිනිස්සු මේ ගනුදෙනු කරන්නෙ ඔට්ටු සෙල්ලම් කරන්න පිල් දෙකකට කට්ටිය එකතු කරනව වගේ සැහැල්ලූවෙන්. මේ සෙල්ලම පිටිපස්සෙ තියෙන්නෙ කුමක්ද? අශිෂ්ටත්වය. ඒවා දැක්කම අපට ඇති වෙන වේදනාව තමයි අපේ හෘදය සාක්ෂිය මිය නොගිය බවට සාක්ෂිය. ඔබ දකින්න ඇති.

දැන් බලන්න අද මගේ වෘත්තියට සිදු වෙලා තියෙන දේ. මහාචාර්ය වෘත්තියට සිදුවෙලා තියෙන දේ. රටේ මූලික නීති පද්ධතිය උල්ලංඝනය කරන පගා මලූ අරන් එහෙට මෙහෙට යන නාට්ටිමිලා බවට මහාචාර්යවරු ඌනනය වී සිටීම ගැන ඒ අයට හෘදය සාක්ෂියක් නැති වුණත්, පොදු සමාජයට තිබිය යුතුයි කම්පාවක්. ඒ කම්පාව මගින් ප‍්‍රකාශ වෙන්නේ කුමක්ද? ඒ තමයි අපේ සාමූහික හෘදය සාක්ෂිය.

සල්ලි ගෝනි අදින මහාචාර්ය නාට්ටාමිලා

මහචාර්යවරු සල්ලි බෑග් එහෙට මෙහෙට ගෙනි යන පාතාලකාරයො බවට පත් වෙලා. “මහාචාර්ය අහවල් බණ්ඩාර කියල එකෙක්”- එහෙමනෙ අර ඞීල්කාරයා කියන්නෙ- ”එකෙක්.” විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට සංස්කෘතිකවත්භාවයක් තියෙනවා ඇසිය යුතු නැද්ද අපේ සමාජිකයෙක් එහෙට මෙහෙට සල්ලි ඇද්දද නැද්ද කියල කියන්න. රටක ඊ ළ`ග උගතුන් පරම්පරාව බිහි කරන වෘත්තිකයන්ගේ මේ කඩා වැඞීම, මේ බලූවීම, සංස්කෘතික ඛාදනයක්ද නැද්ද?

ව්‍යවස්ථාමය සදාචාරය

මේ සියල්ල අතරම ඊට වඩා ප‍්‍රධාන ප‍්‍රශ්නයකට අපට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ තමයි ව්‍යවස්ථාමය සදාචාරය හා සංස්කෘතිකවත්භාවය පිළිබඳ ප‍්‍රශ්නෙ. ව්‍යවස්ථාමය සදාචාරය කියන්නෙ තමා ව්‍යවස්ථාවක් මගින් පැනවෙන සිමා කිරීම්, අනිවාර්යතා විසින් සීමා කරනු ලැබ ඇත්තෙකියි යනුවෙන් කෙනෙකුට, විශේෂයෙන් රාජ්‍ය පාලකයෙකුට දැනෙන වගකීම පිළිබඳ හැ`ගීම්. ඒක ව්‍යවස්ථාව නිසා වගා වූ හෘදය සාක්ෂියක් වගේ දෙයක්. මෙය වැදගත් වෙන්නෙ එය නීතියේ පාලනය වෙත ඇති ප‍්‍රධාන යතුර වන නිසා. ඒ අනුව යම් පාලන තනතුරක් දරන කෙනෙක් ව්‍යවාස්ථාමය ව්‍යූහයක් තුළ ක‍්‍රියා කරද්දි පැවතිය යුතු ගුණධර්ම සමුදායක් තමයි ව්‍යවස්ථාමය සදාචාරය කියන්නෙ. ඒකෙන් අදහස් වෙන්නෙ යහපත් පුද්ගලයෙකු ලෙස, බෝධිසත්ත්ව චරිත ලක්ෂණ වගේ දේවල් දේශපාලකයෙකුට තියෙනවද නැද්ද කියන එකෙ නෙමේ. මත්පැන් නොබොනවද නැද්ද කියන එක නෙමේ. ව්‍යවස්ථාව විසින් ඇ`ගවෙන අචාරධර්ම රකිනවද කියන එක. ව්‍යවස්ථාවෙන් බලය වෙන් කර ඇති ආකාරය පිළිබඳ ගෞරවයක් තියෙනවද නැද්ද කියන එක. (Frohnen, Bruce,  Constitutional morality and the rise of quasi-law [p. 10]).

මේ මූලික සංස්කෘතිකවත්භාවය නැතිව, විශේෂයෙන් ඒ සංස්කෘතිකවත්භාවය රටක ඉහළ පරිපාලකයන්, ඉහළ නිලධාරීන්, යනාදීන් තුළ නැතිව නීතියේ පාලනය පවත්වාගෙන යන්න බෑ. 
 නීතියේ පාලනය හෙවත් රූල් ඔෆ් ලෝ, (රූල් බයි ලෝ නොවේ,) කියන්නෙ දැනට එක`ග වෙලා තියෙන නීතිවලට අනුව පාලනය කිරීම. එය ඉතා වැදගත් දෙයක්. මොකද ඉන් ස්ථාපිත වෙනවා පූර්වයෙන් උපකල්පනය කළ හැකි, අනාවැකි කිවහැකි පර්යායක්. (predictable order) එම පර්යාය වැදගත් වෙනවා ඉහළ දේශපාලන ප‍්‍රයාමයන්වලට වගේම මූලික මනුෂ්‍ය ජීවිතයේ පොහොණි බවටත්. කෙනෙකු මන්ත‍්‍රීවරයෙකු ලෙස බලය ලබා ගන්නේ කෙසේද කියන වගේම මගෙ දුවට නිසි වයසෙදි පාසැලක් ලැබීම ගැනත් කලින් අනාවැකි කිවහැකි පර්යායක් තියෙන්න ඕනෙ. නීතියෙන් බඳින ලැබ සිටින්නේය යන හැ`ගීමෙන් නීතියට අනුව ක‍්‍රියා කිරීම, ඉහළ පරිපාලකයන් තුළ පැවතීම සමාජයක පැවැත්මට අවශ්‍යයි.

නීතියේ පාලනය නිසා තමයි පාලකයන්ට තමන්ගෙ මනෝ විකාර, ක්ෂණික සිතිවිලි, ඒකපුද්ගල බලකාමීකම, විජීගීෂාව ක‍්‍රියාත්මක කරන්න බැරි වෙන්නෙ. එමගින් වෙන්නෙ පාලකයන්ගෙ අධිෂ්ඨානය සම්මත නීති මාලාවකට යටත් කොට තැබීම.
නීතිය සහ නීතියේ පාලනය පරම සුන්දර දෙයක් නෙමේ. පාලකයො ඉතා මර්දනීය නීති පනවා සම්මත කරගෙන ඒ අනුව පාලනය කරන්න පුළුවන්. ඒ නිසා නීතියේ පාලනය මගින් මානව විමුක්තිය, විශේෂයෙන් දණ්ඩනයෙන් නිදහස, බලෙන් අල්ලාගෙන ගොස් වහල්භාවයට පත් නොකිරීම, විමුක්තිය හෙවත් කසඉැරඑහ ඇති කරන්න බැරි වෙන්න පුලූවන්. ඒත් ඒක තමයි විමුක්තිය ඇති කිරීම පිණිස ශිෂ්ට සමාජයක තිබිය යුතු පළමු කොන්දේසිය. පළමු කොන්දේසිය.

අද අපේ රටේ බිඳවැටී ඇත්තේ ඒ මූලික ශිෂ්ටසම්පන්නභාවයයි. එය බිඳ වැටී ඇති තැනක කලා-සංස්කෘතික කමිටුව විදියට අද අපට මෙතැන ශ‍්‍රී රාහුල හිමියන්ගෙ ඛවි කොච්චර ලස්සනද කියල කතා කරන්න පුළුවන්ද? නල බල සසල දළ රළපෙළ නුබනැගෙන, කියන කොට අනුප‍්‍රාසෙ කොච්චර ලස්සනද කිය කියා තොඳොල් වෙන්න පුළුවන්ද? ඒක අතිශයින්ම අසංස්කෘතික වැඩක්. ඒ නිසා අද අපට අහිමි කරනු ලැබ තිබෙන්නේ සංස්කෘතිකවත් ජීවිතයකට අවශ්‍ය මූලික කොන්දේසිය බව අපි අමතක කරන්න හොඳ නෑ.

මම දන්නව හවසට ටියුෂන් පන්ති දාල සල්ලි කීයක් අරන පාසැල් දරුවන්ට උගන්නන, තමන්ගෙම පාසැලේ දරුවන්ට උගන්නන ගුරුවරු ඇතැම් රාත‍්‍රිවල හිත හිත දුක්වෙනවා තමන්ට කරන්න වෙලා තියෙන දේ ගැන. මම දන්න ඇතැම් වෛද්‍යවරු ඉන්නවා ඉහළ මධ්‍යම පාන්තික පරිභෝජන මැසිමක් බවට තමන් ඌනනය වී තිබීම ගැන දුක්වෙන. ඊට වඩා වෙනස් පරමාදර්ශ විශ්වාස කරන වෛද්‍යවරු අපිත් එක්කත් එකතු වෙලා ඉන්නවා. අපේ කමිටුවල වැඩ කරනවා. අපේ රැුස්වීම්වලට ඇවිල්ල කතා කරනවා. සවන් දෙනවා. ඒ මීට වඩා විශිෂ්ට සංස්කෘතික ජීවිතයක් හොයන ප‍්‍රබුද්ධ පුරවැසියො. තමන්ගේම ආධ්‍යාත්මය ඇතුළෙන් කුණු වෙන බව දැනි දැනී දුක් විඳින්නට මනුෂ්‍යයන් සිදු නොවන සමාජයක් තමයි නියම සංස්කෘතිකවත් සමාජය.

පරමාදර්ශ විනාශකයා

2015 ජනවාරි ජනවරම පිටුපස යම් වූ පරමාදර්ශ සමූහයක් තිබුණද ඒ පරමාදර්ශ විනාශකයා නැවත අගමැති බවට පත් කරද්දී උල්ලංඝනය වන්නේ ඒ පරමාදර්ශ විතරක් නෙමේ. ඒ නිසා වේදනාවට පත් වන්නේ අපේ හෘදය සාක්ෂිය පමණක් නොවේ. රටේ මූලික නීතියද උල්ලංඝනය වෙනවා. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් කියන්නෙ හුදෙක් නීතියක් පමණක් නොවේ. පරමාදර්ශ මාලාවක්. කෙතරම් අසම්පූර්ණ ව්‍යවස්ථාවක වුවත් එක්තරා සමාජ ගිවිසුමක් තියෙනවා. ඒ තමයි තනි තනි මනුෂ්‍යයන් හැටියට අපේ ආත්මාර්ථකාමයන්, අපේ හිංසක ක‍්‍රියා, අපේ උමතු ආශා, අපේ බලකාමය, අපේ විජීගීසා, උන්නතිකාම පොදු ආචාරධර්ම පද්ධතියක් මගින් හික්මවා පාලනය කිරීම. ජනාධිපතිවරයා ඒ ආචාරධාර්මික සමාජ ගිවිසුම උල්ලංඝනය කරනවා විතරක් නොවේ ඔහු කරන්නේ ඒවා තමාගේ බලකාමය, තමාගේ ආත්මාර්ථකාමය වෙනුවෙන් භාවිත කිරීම. මේ පිළිකුළ සහගත තත්ත්වය තමයි අප 2015 දී පරාජය කරන්නට තැත් දැරුවේ.

රටක විශිෂ්ට සංස්කෘතිකවත් මිනිසෙක් ගොඩ නගද්දි, ශිෂ්ටාචාරවත් මිනිහෙක් ගොඩනගද්දී, ඒ සමාජයට තියෙන්න ඕනෙ ඒ සමාජයේ තනි තනි මනුෂ්‍යයන්ට වඩා විශාල පරමාදර්ශ. අපිට තියෙන්නෙ අපේ ජීවිතවලට වඩා විශාල පරමාදර්ශ. අපේ දෛනිකත්වයට වඩා විශාල සිහින. රටේ මූලික නීති පද්ධතිය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ංඝනය කරන කොට ඉන් කියවෙන්නේ කුමක්ද? ශිෂ්ටභාවය පිළිබඳ අපේ විශාල සිහිනයට වඩා එක මිනිහෙකුගේ, එක පවුලක ආශාව ලොකුයි කියන එක නේද? එවැනි උමතු මිනිහෙක් ඉන්න සමාජයක් සංස්කෘතික යැයි කියන්න පුළුවන්ද? ඕනෑම ගැමියෙකු ඇසුරින් වුණත් මේ උමතු මිනිසා බිහි කරන්නට තරම් අපේ ව්‍යවස්ථාව අශිෂ්ට බව දන්නා නිසා එය තරමක් හෝ ශිෂ්ට කරන අරමුණින්ම යෙදූ වැකි, යෙදුම්, වචන උල්ලංඝනය කරන විට එවන් මිනිසෙකුගේ අසංස්කෘතිකවත්භාවය අප පිහිටුවන්නේ කොහෙද? ඒ මිනිසාගේ විඥානය තුළද ඉන් පිටද?

මේ දිගු කාලීන අරගලයක්. නමුත් ශිෂ්ට අරගලයක්. ඒ අරගලය පිණිස ජාතික විද්වත් සංවිධානය සහ ජවිපෙ කේන්ද්‍රකරගත් සුවිශාල පෙරමුණක් ගොඩනගමු.

*2018 නොවැම්බර් 12 ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී ජාතික විද්වත් සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව සංවිධානය සම්මන්ත‍්‍රණයෙහි පැවැත් වූ දේශනයෙහි පිටපත. එහිදී ඉදිරිපත් කරන්නට අවකාශ ලැබුණේ මින් අඩක් පමණි. එම අර්ධය යූටියුබ් ඔස්සේ සවන් දෙන්නට අවස්ථාව ඇති නිසා මෙහි ඉදිරිපත් වන්නේ සංස්කරණය කළ කොටසකි.

Print Friendly, PDF & Email

ජනතා පරමාධිපත්‍යට ඉඩ දෙමු

$
0
0

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

2018 නොවැම්බර් 15 වෙනි බ්‍රහස්පතින්දා මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ කළ කතාවේ පිටපත: 

ගරු කථානායකතුමනි, 

පැවති ආණ්ඩුව විසිරුවල  ඊලඟ මහ මැතිවරණය තෙක් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවපු හේතු ජනාධිපතිතුමා පැහැදිලි කරලා තියෙනවා. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා වෙනකොට ජනතාව හිටියේ විශාල පීඩනයකින්. ඉන්ධන මිල සූත්‍රය හා රුපියලේ කඩාවැටීම නිසා දිනෙන් දින වැඩිවෙන ජීවන වියදම, කිසිදාක අත්නොදුටු ආකාරයේ බදු බර, මහ බැංකු මංකොල්ලය නිසා දෙගුණයකින් වැඩි වුණු පොලී අනුපාතය, රටේ වරායවල්, ගුවන් තොටුපොලවල්, රජයට අයත් ලාබදායි ව්‍යාපෘති, ඇතුලු සියලු රජයේ දේපොල විදේශිකයන්ට විකිනීමට සැරසීම, ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට විකිනීමට නව නීති සැකසීම, විද්වතුන් හා දේශීය ව්‍යාපාරිකයන්ගේ මතය නොසලකා විදෙස් ගිවිසුම් වලට එළැඹීම, අයෝජකයන්ගෙන් මහා පරිමාන අල්ලස් ඉල්ලීම වගේ කාරණා නිසා පැවති ආණ්ඩුව ගැන රටේ විශාල අප්‍රසාදයක් තිබුණා.

අපි දැක්කා ජනාධිපතිතුමා පසුගිය කාලේ එක්සත් ජාතික පක්‍ෂෙය් ආර්ථික කළමණාකරන කමිටුව විසිරුවල රටට වෙමින් තිබෙන විනාශය අවම කරගන්න යම් උත්සාහයක් ගන්නවා. මේ කාරණා ගැන අගමැතිතුමා සමඟ කැබිනට මණ්ඩලයේ බහින්බස්වීම් ගැනත් අපිට අහන්න ලැබුණා.  ඒ අවස්ථාවේ තමයි පොලීසියේ පිරිසකුත් හවුල් වෙලා ජනාධිපතිවරයාවත්, හිටපු  ආරක්‍ෂක ලේකම්වරයාවත් ඝාතනය කරන්න එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් කුමන්ත්‍රණය කලායි කියන ආරංචිය පටිගත කරපු සාක්‍ෂිත් සහිතව අපිට අහන්න ලැබෙන්නේ. තත්වය එතනට ගියාට පස්සෙ තමයි, ජනාධිපතිවරයා තීන්දු කලේ ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් කරගන්න. එජනිසය ආණ්ඩුවෙන් ඉවත් වෙනවත් එක්කම පැවතුණු සභාග ආණ්ඩුව විසිරුනා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී ඇති බලතල අනුව මට ආරාධනා කලා අග්‍රාමාත්‍ය ධූරය භාර අරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න කියලා. 

ඒ අවස්ථාවේදී මට තෝරා ගැනීමක් තිබුණා එක්කෝ ඒ ආරාධනය පිළිගන්න, නැතිනම් ප්‍රති‍ක්‍ෂේප කරන්න. මට ඕනනම් කියන්න තිබුණා  UNP එක අවුරුදු හතරකට කිට්ටු කාලයක් හිටපු විදියට ඉතිරි ටිකත් හිටපුදෙන් කියලා. තව අවුරුද්දයි තිබුණෙ. නමුත් අපි තමයි ප්‍රධාන විපක්‍ෂ බලවේගය. අපි තමයි රටේ ලොකුම දේශපාලන පක්‍ෂය. අපිට යුතුකමක් තියෙනවා රටේ ජනාධිපතිතුමා මුලු රටටම වෙන්න ගිය මහා වින්නැහියක් වලක්වාගන්න අපිට රට බාරදෙනකොට, ඒ වගකීම් බාරගන්න. ඒ අනුව මම ඒ වගකීම  බාරගත්තා. ඒ වගේම මට තිබුණු ප්‍රශ්නය තමයි එජාප ආණ්ඩුව තවත් අවුරුද්දක් තිබුණනම් රටට මොනවායින් මොනව වෙලා තියෙයිද කියන එක. 2015 ජනවාරියේ ඉඳලා එජාප ආණ්ඩුව විදේශ විනිමය ණය විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 21 ක් ලබාගෙන තියෙනවා.  

මේ ඉවක් බවක් නැති ණය ගැනිල්ල තමයි රටට වෙමින් තිබුණු ලොකුම විනාශය. අපි පිහිටෙවුවේ මහ මැතිවරණයක් පවත්වන තුරු අන්තර්කාලීන ආණ්ඩුවක් පමණයි. ඒ නිසා තමයි, ඒකාබද්ධ විපක්‍ෂෙයේ සුළු පිරිසක් පමණක් ආණ්ඩුවේ ඇමතිකම් බාර ගත්තෙ. රට ප්‍රපාතයට යනවත් එක්කම අපි ඒකාබද්ධ විපක්‍ෂය හැටියට පසුගිය කාලේ දිගින් දිගටම මහ මැතිවරණයක් ඉල්ලා හිටියා. 

නමුත් පැවති ආණ්ඩුව මැතිවරණ සිතියම අකුළලයි තිබුණෙ.  2015 මාර්තුවේ විසිරුවපු පලාත් පාලන ආයතන වලට ඡන්ද පවත්වාගන්න අවුරුදු තුනක් ගියා. පලාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරලා, සීමා නීර්ණය ගැටළු තියෙනවය කියල ඡන්දය කල් දැම්මා.  උසාවියේ නඩු දාලා පලාත් පාලන ඡන්දය නොතියන තැනට වැඩ සලස්සන්න හදන කොට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, සීමා නීර්ණ ගැටළු නැති පලාත් පාලන ආයතන සඳහා ඡන්දය පවත්වන්න සූදානම් වුනහම තමයි ආණ්ඩුව අවසානයේදී ඒ මැතිවරණයවත් පැවැත්වූයේ. අද වෙන විට සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පලාත් සභා විසිරුවලා අවුරුද්දකට වැඩිය කාලයක් ගතවෙලා තියෙනවා. පසුගිය මාසය වන විට උතුරු පළාත් සභාව ඇතුලු තවත් පළාත් සභා තුනක් විසිරිලා ගියා, නමුත් ඡන්ද නෑ.

ජනාධිපතිතුමා තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලතල අනුව පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයක් කැදෙවුවාම, ලංකා ඉතිහාසයේ පලමු වතාවට එජාපය, ජවිපේ ඇතුළු පක්‍ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා මැතිවරණයක් පවත්වනවට විරුද්දව. මේ පාර්ශවම තමයි ගිය අවුරුද්දෙ කිසිම හිරිකිතයක්, ලැජ්ජාවක් නැතුව පලාත් පාලන ඡන්දයත් පලාත් සභා ඡන්දත් දින නියමයක් නැතුව කල් දාගන්න, වෙනත් කාරණා වලට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණු පනත් කෙටුම්පත්වලට කාරක සභා අවස්ථාවේදී පස්සා දොරෙන් සංශෝධන ගෙනල්ලා ඡන්ද ක්‍රමයත් මුලුමනින්ම අවුල් කරලා ඒ ඡන්ද කල් දාගත්තේ. මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැරගත්තා. 

අද මම පාර්ලිමේන්තුවට එනකොට දැක්කා පෝස්ටරයක් – “මහ මැතිවරණයකින් මූලික මිනිස් අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේද?” මේක වැදගත් ප්‍රශ්නයක්. 

අපේ රටේ 1947, 1951, 1956, 1960 පත් වෙච්ච සියලුම පාර්ලිමේන්තු කලින්විසිරුවලා මහ මැතිවරණ තිබ්බේ ජනතාවට තම පරමාධිපත්‍ය බලය තුළින් තමාට කැමති ආණ්ඩුවක් පත් කරගන්න ඉඩ දෙන්නයි. ඒකෙන් තමයි ඒ කාලේ ජනතාවගෙ පරමාධිපත්‍ය බලය රැකුණෙ. පැවති ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසදන්න බෑ කියලා අවබෝධ වුණු නිසා තමයි ජනාධිපතිතුමා මට රට භාර ගන්න කියලා කිවුවෙ. මම අගමැති හැටියට දිවුරුම් දීපු ගමන්ම රට පුරා නව බලාපොරොත්තු සහගත  හැඟිමක් පැතිර ගියා.

අපේ කථානායකතුමා බටහිර තානාපති කාර්යාල හා තමන්ගේ පක්‍ෂය එක්ක එකතුවෙලා රටේ ව්‍යවස්ථාවටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලටත් පටහැනිව මට විරුද්ධව “ශබ්දය අනුව” විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගත්තයි කියලා කියනවා. සද්දෙන් බෑ යෝජනා සම්මත කරන්න. කථානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයේන්  පස්සෙ  හිටපු අගමැතිතුමා නැවතත් අගමැති වෙලයි කියලා හිටපු ඇමතිවරු ඒගොල්ලන්ට කලින් තිබ්බ අමාත්‍යංශ වලටත් ගිහිල්ලා තියෙනවා. රටේ අගමැතිවරයා ඇතුලු ඇමති මණ්ඩලය පත් කරන්නෙ ජනාධිපතිතුමා. පාර්ලිමේන්තුවට හෝ කථානායකවරයාට ඒ බලය ව්‍යවස්ථාවෙන් දීල නැහැ.

නමුත් දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශවයක් අතර මත ගැටුමක් තියෙනවා. මේ ආරවුල පාර්ලමේන්තුවේ ඉන්න 225 දෙනා අතරේ විසදාගන්න හදන්නේ නැතුව මේ රටේ ලක්‍ෂ 150 ක් ඉක්මවන ඡන්ද දායක ජනතාවට බාර දෙමුයි කියලා මම යෝජනා කරනවා. ඒකයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. දේශපාලඥයෝ හැටියට අපි හැමෝම තේරුම් ගන්න ඕන, අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොවෙයි, ජනතාවටයි කියන එක. මම සංතෝස වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කිවුවා පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයකට යන්න යෝජනාවක් අවොත් ඒගොල්ලෝ ඒකට පක්‍ෂ වෙනවා කියලා. එක්සත් ජාතික පක්‍ෂය ඒ ගැන දරණ ස්ථාවරය මොකක්ද කියලා මේ පාර්ලිමේන්තුව තුළ අද ප්‍රකාශයක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.  

ජනතාවට තමන්ගේ අභිමතය අනුව නව රජයක් තෝරා පත්කරගන්න සාධාරණ, යුක්තිසහගත මැතිවරණයක් පවත්වන්න මා සමඟ අත්වැල් බැඳගන්නා ලෙස පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලා 225 දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා. 

ස්තුතියි.  

Print Friendly, PDF & Email

රාජපක්ෂවාදය යනු පාදඩ සමාජ ක්‍රමයකි

$
0
0

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

මහින්ද රාජපක්ෂ නියෝජනය කරනු ලබන්නේ දේශපාලන පක්ෂයක්වත්, දේශපාලන වැඩපිළිවෙලක්වත් නොව සමාජ ක්‍රමයකි. එනම් ඕනෑම සමාජයක එක්තරා ජන කොටසක් පාදඩ, ලුම්පන්, ජාතිකවාදී, ක්‍රම විරෝධී වේ. එසේම නූගතුන්ද වේ. තවත් සරලව කියන්නේ නම් නරක මිනිසුන් වේ. ඊටත් වඩා දේශීයකරණය කරන්නේ නම් බයියන් වේ. රාජපක්ෂවරු නියෝජනය කරන්නේ මෙම බයි, පාදඩ, ලුම්පන් සමාජ තීරුවයි. සමාජ ක්‍රමයයි. ඔවුන් ඉදිනෙදා දිවි ගෙවන ජීවන ක්‍රමයයි. (Life Style) 

පාර්ලිමේන්තුව යනු රටක උත්තරීතර නීති සම්පාදන ආයතනයයි. එහි කතානායක පුටුව ඔසවා පොළොවේ ගසද්දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රහාර එල්ල කරද්දී, කතානායකවරයාට වතුර බෝතල් වලින් පහර දෙද්දී, හැත්තෑ හත් වියැති ජ්‍යෙශ්ඨ මන්ත්‍රීවරයාට මිරිස් කුඩු ප්‍රහාර එල්ල වෙද්දී, එහි කිසිදු වරදක් නොදැක හුරේ දමන්නේ එම සමාජ තීරුවයි. මෙම සමාජ තීරුව තුළ රටේ ඉහළ පන්තියේ ව්‍යාපාරිකයින්, වෘත්තිකයින්, සුළු වෙළද ව්‍යාපාරිකයින්, රජයේ සේවකයින් මෙන්ම මුට්ට කර ගසන්නන්ද වේ. රාජපක්ෂවරු ගොඩනගන ලද මෙම පාදඩ සමාජ තීරුව වෙන් කරන රේඛාව වන්නේ දැන උගත් කම්, ආර්ථිකය, සමාජ පන්තිය නොව එම මිනිසුන් හා ගැහැණුන් දරණා සමාජ ආකල්පයයි. 

මෙම පාදඩ සමාජ ක්‍රමය තුළ විශේෂඥ වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මියත්, කැළණියේ රස්තියාදුකාර ප්‍රසන්න රණවීරත් සමාන වේ. හැත්තෑ හත් වියැති මහලු මන්ත්‍රීවරයාට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළ විට එය උත්කර්ෂයට නංවමින් තම පෞද්ගලික ෆෙස්බුක් පිටුවේ ප්‍රචාරය කරන්නට කෝට්ටේ මැද පාන්තික වෘත්තීයවේදී මන්ත්‍රීවරියන්ට පුලුවන්ය. නීලා වික්‍රමසිංහට (ගායිකාවක්) සිතනුයේ ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය වූ විට මරලා හෝ බලය ලබාගත යුතු බවය. රාජපක්ෂවරු අමු අමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරද්දී නෑසුකන් සිටීමටද එමගින් මුළු රටමත්, මුළු ජාතියමත්, තම දූ දරුවනුත් ආනාගතයේදී විශාල අවදානමකට ලක්වන බව දැන දැනත් රාජපක්ෂවරුන්ට එරෙහිව වචනයක්වත් නොකීමටද එම අයුක්තිසහගත සියලුම ක්‍රියා මහ දවල් හොරකම් වුවද සාධාරණීකරනය කිරීමට මෙම පාදඩ සමාජ තීරුවට හැකිය. මෙම පාදඩ සමාජ තීරුවේ ගැහැණුන් හා පිරිමින් රටේ ඕනෑම ස්ථරයකදී හමුවිය හැක. ඔවුන් හදුනා ගැනීමට පොදු වූ ලක්ෂණ ගණනාවක් තිබේ. එම ලක්ෂණ වලින් එකක් හෝ කිහිපයක් ඇත්නම් ඔවුන් බයියෝය. නැතහොත් රාජපක්ෂ පාදඩ සමාජ තීරුවේ සමාජිකයෝය. මේ එම ලක්ෂණ වලින් කිහිපයකි. 

1. ඔවුන් ස්වාභවයෙන්ම රුසියාව හා චීනය මාර රටවල් ලෙස සලකයි. 2. ඩොනල් ට්‍රම්ප් මාර පොරක් සේ කල්පනා කරයි. 3. බුද්ධාගම හා සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්න වුවද සූදානම්ය. 4. සමහරක් අය බුදුහාමුදුරුවන් ලංකාවේ ඉපදුනේ යැයි කියයි. 5. මේ දිනවල කතානායකතුමා, නයාට අදු කොළ වගේය. 6. යු. ඇන්. පී. සජිත් ප්‍රේමදාස මාර පොර නායකයෙක්ය. 7. රනිල් මරා දැමිය යුතු තිරිසනෙක්ය. 8. ජාත්‍යන්තරය උදේ සිට රෑ වෙනතුරු කල්පනා කරන්නේ ලංකාව ආක්‍රමණය කිරීමට යැයි සිතයි. 9. රට වෙනුවෙන් නම් මොකද්දෝ අපබ්‍රන්සයක් දොඩවයි. 10. ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, සමාජ යුක්තිය, සමාජ සාධාරණය බටහිර කුමන්ත්‍රණ සේ දකී. 11. දන් දීමට පින් දීමට සාත්තර ඇසීමට දැඩි කැමැත්තක් දක්වන අතර ඒවා සමාජ ජාල වල ප්‍රදර්ශනය කිරීමටද ගිජු කමක් දක්වයි. 12. සිංහ කොඩිය, බුදු පින්තූර, බුදු බණ හා සුදු හාමුදුරුවරු සමාජ ජාල පිටුවල පළ කරයි. 13. විජය කුමාරයාට විරුද්ධ වන අතර සිංහල ජාතිය පැවත එන්නේ රාවණාගෙන් යැයි සිතයි. නමුත් ඔවුන් රාමායණය කියවා නැත්තේය. 14. දේශපාලන සාකච්ඡා යනු කුණුහරප කීම යැයි විශ්වාස කරයි. 15. සමලිංගිකත්වය හා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීමට විරුද්ධය. (සමහරු සමලිංගිකයෝ වුවත්) 16. සිංහල භාෂාව මාර භාෂාවක් යැයි සිතයි. 17. ශිෂ්‍යත්ව විභාගයට 100% ක් පක්ෂය. 18. පලිගැනීම තම දිවි දෙවෙනු කොට සලකයි. 19. රාජපක්ෂවාදී දේශපාලනය වෙනුවෙන් ඕනෑම සමාජ සම්බන්ධතාවයක් විනාශ කරගත හැකිය. 20. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේද බයි ලක්ෂණ දැකිය හැකිය. (ගෙදර ගෑණිට ගහනවා වගේ) 

මෙවැනි ලක්ෂණ සිය ගණනක් කිව හැකිය. මෙයින් එක ලක්ෂණයක් හෝ කිහිපයක් ඇති බොහෝ දෙනා සමාජයීය බයියෝය. ප්‍රතිගාමී වූ අයය. ඔවුන් සොම්බිවරුන් වෙති. අප අතර ගැවසේ. කයි, බොයි, රමණය කරයි, ප්‍රේම කරයි. නමුත් හදිසියේම ඔවුන් සොම්බිවරුන් මෙන් වෙනස් වෙයි. රාජපක්ෂවරු වෙනුවෙන් ජීවිතය පුදන්නට කතා කරයි. ජාති ආගම වැනි පාරභෞතික කාරණා මතුවී විත් සොම්බිවරුන් මෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් කටයුතු කරයි. රාජපක්ෂවරුන්ගේ පවුල මෙම තත්ත්වය හොදින් අවබෝධ කරගෙන තිබේ. ඔවුන් මෙම සොම්බිවරුන් සමග රාජ්‍ය පාලනය ව්‍යවස්ථා විරෝධීව පැහැර ගැනීමටත් එම පාදඩ ක්‍රමයට මේ රට පාලනය කිරීමටත්, ජාතික දේපළ හොරකම් කිරීමටත්, නඩු හබ වලින් බේරීමටත් කල්පනා කරයි. ඔවුන් බලහත්කාරයෙන් රාජ්‍යයේ එක්තරා කොටසක් අත්පත් කරගත් දිනම නීතිපතිවරයා විසින් එම දෙපාර්තමේන්තුවට විශේෂ කාර්ය බලකාය යොදවන්නේ රාජපක්ෂවරු නඩු ලිපිගොනු බැහැර ගනිති යැයි ඇති බියෙනි. ලංකාව අද කටයුතු කරනුයේ මහා භීෂණයක්, ආර්ථික අවපාතයක්, සමාජ අසාධාරණයක්, සාමාන්‍ය තත්ත්වයක් වෙමින් පවතින බයි පාදඩ බලහත්කාරකමක් යටතේය. 

මෙම තත්ත්වයෙන් මේ රට බේරා ගත හැක්කේ උගත් බුද්ධිමත් යුක්තිය පතන මිනිසුන්ට පමණි. මෙම පාදඩ පාලනයට හා සමාජයට අප යටත් වන්නේ නැත. අප සිටින්නේ සීලාචාර වැදගතුන්ගේ පිලේය. සමාජ සාධාරණය හා යුක්තිය ඇත්තේ අප සමගය. අප නපුරට එරෙහිව යක්ෂයාට එරෙහිව සටන් කරන්නෙමු. 

Print Friendly, PDF & Email

සිරිසේනගේ ළාමක හැසිරීමට වන්දි ගෙවන්නේ මුළු රටම ය

$
0
0

මීට වසර තුන හතරකට කලින් තමන්ටත්, තමන්ගේ ආධාරකාරයන්ටත් මහත් වු අවදානමක් ඉදිරියේ තබාගෙන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව පරාජය කළ සිරිසේන විසින්ම පසුගිය ඔක්තෝබර් 26 වැනි දා රටේ අගමැති ධුරයට එම මහින්ද රාජපක්ෂව නැවත පත්කිරීම කාගේත් විමතියට කාරණයක් විය.

තත්වය තවත් ව්‍යාකූල වීමට ගියේ දින කිහිපයකි. පාර්ලිමේන්තුවේ නියමිත වාර කාලය තව අවුරුදු දෙකක් පමණ ඉතිරිව තිබියදී ජනාධිපතිවරයා විසින් හදිසියේම පාර්ලිමේන්තුවත් විසුරුවා හරින ලදි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාගේ එම ක‍්‍රියාව අත්හිටවූ පසු නැවත පාර්ලිමේන්තුව රැුස් විය. රාජපක්ෂගේ අවාසනාවට මධුසමය ඉතා වේගයෙන් සමාප්ත විය. අගමැතිවරයා වශයෙන් ඔහු පාර්ලිමේන්තුවට පය ගැසූ මුල් දවසේම වැඩි ඡුන්දයෙන් ඔහුව පරාජයට පත්කෙරුණි. ලජ්ජාවෙන් ගැලවීමට මගක් සෙවූ රාජපක්ෂ, ඊළඟට පාර්ලිමේන්තුවේ කාර්ය පරිපාටිය කඩාකප්පල් කරමින් අලූත් මැතිවරණයක් ඉල්ලා සිටියේය.

රාජපක්ෂව අගමැති වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයාට ලණුව දී ඇත්තේ ඔහුගේ සහෝදරයෙකු වන, විවාදාපන්න ව්‍යාපාරිකයෙකු වන, ඩඞ්ලි සිරිසේනයි. ජනාධිපති සහෝදරයාගේ අනාගතය රැුක දීමටත්, තමාගේ ව්‍යාපාරික අවශ්‍යතා පිරිමසා ගැනීමටත් ඔහු එසේ කරන්නට ඇති. එහෙත් ඒ මාර්ගයෙන් තමන්ගේ සහෝදරයා වැටෙන්ට යන වළ ඔහු දකින්ට නැතුව ඇති.

එපමණක් නොව, කතානායකවරයාගේ තීන්දුව පිළිනොගන්නා ලෙසත් ඔහු ජනාධිපති සහෝදරයාට උපදෙස් දී තිබේ. කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්තක් ඇති බව තමාට පෙන්වා සිටියොත් එය පිළිගැනීමට තමා සූදානම් බව, සිවිල් සමාජයේ බලපෑම මත, සිරිසේන දන්වා සිටියේය. එහෙත් ඒ, එක් කොන්දේසියකට යටත්ව ය. එනම්, අගමැති තනතුරට රනිල් වික‍්‍රමසිංහ හැර වෙනත් අයෙකු පත්කළ යුතුව ඇති බවයි. ජනාධිපතිවරයාගේ එකී අදහසට ප‍්‍රතිචාර දක්වමින් ඊට දින කිහිපයකට පසු පැවති මහජන රැුළියකදී රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ, තමා සමග ජනාධිපතිවරයාට මොන තරම් කෝන්තර තිබිය හැකි වෙතත්, එය ජනාධිපතිවරයාගේ නීති විරෝධී සහ සදාචාර විරෝධී ක‍්‍රියාවන් හරහා රට ව්‍යවස්ථාමය ප‍්‍රපාතයක හෙලීමට හේතුවක් කර ගත යුතු නැති බව ය.

එසේ වෙතත්, රනිල් වික‍්‍රමසිංහ සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට තමාට හැකියාවක්වත්, උවමනාවක්වත් නැති බව එක්සත් ජාතික පක්ෂයට දන්වා සිටි සිරිසේන, වෙනත් කෙනෙකු අගමැති ධුරයට නම් කරන ලෙස දන්වා සිටියේය. පසුගිය දා එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ ඔහු දන්වා ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ හැර වෙනත් කෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා කරන්නේ නම්, මහින්ද රාජපක්ෂව අගමැති තනතුරෙන් ඉවත් කිරීමට තමන් සූදානම් බව ය. එසේම, ප‍්‍රශ්නය තවදුරටත් ඇදගෙන නොගොස් එය විසඳීම සඳහා තමාට ආධාර කරන්නැයි ද එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගෙන් ඒ අවස්ථාවේ සිරිසේන ඉල්ලා ඇත. ඒ අනුව, අගමැති තනතුර සඳහා ඔහු සජිත් පේ‍්‍රමදාසව යෝජනා කොට තිබේ. එහෙත් පක්ෂයට හෝ පක්ෂ නායකත්වයට එරෙහිව යාමට කැමැත්තක් නැති සජිත් පේ‍්‍රමදාස, පවතින තත්වයන් යටතේ ඇති කර තිබෙන උග‍්‍ර අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා රනිල් වික‍්‍රමසිංහ වැනි ජ්‍යෙෂ්ඨයෙකුම අගමැති තනතුරේ පිහිටුවීම වඩාත් වැඩදායක බවත් පෙන්වා දී තිබේ.

කිසි දවසක පාඩමක් ඉගෙන නොගැනීම

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර නායකත්වයේ අදහසට අනුව, රනිල් වික‍්‍රමසිංහ යනු, අතීත වැරදිවලින් කිසි දවසක පාඩමක් ඉගෙන නොගන්නා පුද්ගලයෙකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඔහුට එරෙහිව ඉතා කර්කශ විශ්වාස භංගයක් ගෙන ඒමෙන් පසුව ඔහු තමන්ගේ ක‍්‍රියාකලාපය වෙනස් කර ගනිතැ යි බොහෝ දෙනා අපේක්ෂා කළහ. එහෙත් ඉන් පසුවත් ඔහු එක දිගටම කෙළේ, පක්ෂය පැත්තකින් තියා, මලික් සමරවික‍්‍රම, සාගල රත්නායක සහ අකිල විරාජ් කාරියවසම් වැනි සමීපතමයන් කිහිප දෙනෙකු සමග පාලනය ගෙන යාමයි. ‘සමනල රැුළ’ වශයෙන් සිරිසේන ප‍්‍රසිද්ධියේම හැඳින්නුවේ ඒ කණ්ඩායමයි. මොවුන්ගෙන් කිසිවෙකු ආණ්ඩුව තුළ සිටිනු දැකීමට තමාගේ කැමැත්තක් නැති බව සිරිසේන මේ වන විට වෙනත් නායකයන්ට දන්වා තිබේ. අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනා ද මේ පුද්ගලයන් කෙරෙහි ප‍්‍රසාදයක් දක්වන්නේ නැත. මේ පිරිසෙන් වික‍්‍රමසිංහ ඉක්මණින් ඈත් වන තරමට, එය ඔහුටත් පක්ෂයටත් වැඩදායක විය හැකි බව ඔවුන්ගේ මතයයි.

සිරිසේන

අනිත් අතට, වික‍්‍රමසිංහ ගැන කෝන්තර රාශියක් සිරිසේනට තිබේ. එහෙත් මේ වැඩිහිටියන් දෙන්නාගේ එම කෝන්තර සඳහා රටක් වන්දි ගෙවිය යුතු නැත. සිරිසේනගේ ඉල්ලීම ප‍්‍රකාරව, පාර්ලිමේන්තුවේ නිසි ක‍්‍රියාපරිපාටියට අනුගතව, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ගෙන ආ විශ්වාස භංග යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප‍්‍රකාරව සම්මත වී ඇති බව කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත දැන් ලිඛිතව දන්වා ඇති තත්වය තුළ, තමන් විසින්ම නිර්මාණය කරන ලද මේ අර්බුදය එකලාසයක් කිරීම සිරිසේනගේ වගකීමයි. ඒ විශ්වාස භංගයට පක්ෂව ඡුන්දය පාවිච්චි කළ මන්ත‍්‍රීවරුන් 122 කුගේ ලැයිස්තුවක් ද කතානායකවරයා විසින් සිරිසේන ජනාධිපතිවරයාට භාර දී තිබේ.

විවිධ අධිකරණ ඉදිරියේ තමන්ගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව බොහෝ නඩු පැවරී තිබියදී, තමන්ගේ පුද්ගල ඕනෑ එපාකම් මත, පවතින අර්බුදය තමන්ගේ වාසියට හරවා ගැනීමට උත්සාහ කළ මහින්ද රාජපක්ෂ, දැන්වත් වටහාගත යුතු දෙයක් තිබේ. එනම්, තමන් දෙවැනි වරටත් විශ්වාස භංගයකින් පරාජයට පත්ව සිටින බවයි. ඔහුගේම ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන කුමාර වෙල්ගමට මේ අවස්ථාවේ ඔහු කන්දිය යුතුය. ඔහු කියා සිටින පරිදි, රාජපක්ෂ මේ අවස්ථාවේදී කළ යුතුව ඇත්තේ, වසර ගණනාවක් තිස්සේ උපයාගෙන සිටි මේ රටේ ග‍්‍රාමීය ජනතාවගේ ප‍්‍රසාදය තවදුරටත් නැති කර නොගෙන, පාර්ලිමේන්තුවේ පසු පෙළක අසුන් ගැනීමයි.

*2018 නොවැම්බර් 17 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ “Country Paying for Sirirsena’s Childlike Behaviour” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

ශ්‍රී ලාංකිකයනි වහා අවදිවන්න! මේ මාතෘභූමියට ඔබ අවශ්‍ය මොහොතක්!

$
0
0

ෂාර්මිනී සේරසිංහ

ෂාර්මිනී සේරසිංහ

එක්සත් බව අප ශක්තිය වේබෙදී වෙන්වීම අප දුර්වල වේ” ~ ඊසොප් ආප්තෝපදේශ 

රටේ පවතින වත්මන් අඳුරු මොහොතක බලාපොරොත්තු නොවූ පෙර නොවිරූ දේශපාලන අර්බුදය පිලිබඳ අශුභවාදී කතා කියවීම සහ ඇහුන්කම් දීම මා හට මහත් හිසරදයක් වේ. ඒ හා සමානම මෙම අර්බුදය ඇතිනොවීමට කල යුතුව තිබු කාර්යන් සම්බන්ධ පැමිණිලි ඇසීම  සහ කියවීම කලකිරවන සුළු ය. මෙම අශුභවාදී කතා සහ පැමිණිලි කිරිම් මාගේ මතය අනුව මහත් අඥානවන්තකමකි. මෙය වටිනා කාලය සහ ශක්තිය ජවය අපතේ යාමක් වේ. එසේ වන්නේ මෙම සිදුවීම සිදුවී හමාරවී එය කනපිට හැරවීමේ නොහැකියාව නිසාම වේ.

නමුත් එය වෙනුවට අප සලකා බැලිය යුත්තේ ඉදිරියට කුමක් කල යුතුද සහ කුමක් කල හැකිද යන්න විය යුතුයි. අප ඡන්දදායකයෝ ලෙස අප රට වර්තමානයේ පත්ව ඇති තත්වයට සාමූහික වශයෙන් වගකිව යුතුය. මක් නිසාදයත් අප ඉතා අමනෝඥ්ඥ ලෙස අපගේ විශ්වාසය වත්මන් දේශපාලඥයන් මත තබා ඇති නිසාය.

ඔවුන්, පක්ෂ භේදයෙන් තොර හෝ සාමුහික ලෙස හෝ සාමුහික නොවන ලෙස ජනතාව වන අපහට ඉතා නින්දිත සහ පහත් ආකාරයෙන් සලකා පයින් ගසා ඇත. එම නිසා ඔබ තම ඇඟිල්ල දිගුකල යුත්තේ දේශපාලකයින්ට නොව ඔබටමයි. අප උඩුගම් බලා අපහටම කෙල ගසා ගෙන ඇත.

ජාතික කොඩිය සහ ජාතික ගීය වෙනුවෙන් නැගී සිටිනා සැඟවුණු දේශප්‍රේමින් කොහෙද?: “සිංහලේ” නහර පුරා දුවනවා යැයි පැවසු සිංහයන් ගෙන් පැවත එනවැයි පැවසු දේශප්‍රේමී මැරයන් අද කොහෙද? ඔවුන් නැට්ට පස්සේ ගසා වනගත වී ඇත්ද? එසේම මාතෘ භුමිය ආරක්ෂා කිරීමට ඔබ මොබ දිවූ ජාතිකවාදී කහ සිවුරු දරන්නන් සහ ඔවුන්ගේ පිරිස් කොහෙද? මන්දගාමී අලස මහානායක ස්වාමීන් වහන්සේලා කොහෙද? ඔවුන් ගේ දිව ගිලි ඇත්ද? “මා සාඩම්බරවත් ශ්‍රී ලාංකික” යැයි කියාගන්නන් කොහෙද?ඔබගේ දේශප්‍රේමී අභිමානය අද කොහේද?

අප ශ්‍රී ලාංකිකයන් ලෙස ලෝකයා ඉදිරියේ දේශප්‍රේමිත්වයෙන් තොර, මෙමෙ පෙර නොවිරූ අඳුරු කාල පරිච්චේදයේ සාමුහිකව ක්‍රියා නොකිරීම නිසාත් නිර්ලජ්ජිත සහ නිවට  ජාතියක් ලෙස ප්‍රදර්ශනය වී ඇත. අප ඉතා ආත්මාර්ථකාමී දුර්වල මානසිකත්වයක් ඇති කශේරුකාවක් රහිත ජාතියක් ලෙස ලෝකයා හමුවේ ඔප්පුවී හමාරය. මෙය අපගේ  අවුරුදු 2500 ක් වූ ප්‍රෞඩ සංස්කෘතියට නින්දාසහගත අපහාසයකි. අපේ අනාගත පරම්පරාවට අප ඉතිරි කර යන උරුමය මෙයද? අපව අනාගත පරම්පරාව විසින් ස්මරණය කලයුත්තේ මෙලෙසද?

අද අපරට නාම මාත්‍රික ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් පමණි. අප රට ආසමත් රාජ්‍යක ප්‍රතිමුර්තියක් ප්‍රජත්තවාදය හාස්‍යට ලක්වී ඇත.

මේ මොහොතේ අවැසි වන්නේ අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපෙන් ගිලිහුණු ආත්ම ගරුත්වය නැවත ලබා ගැනීම වේ. මෙය කල යුත්තේ ලෝකයා හමුවේ, අප රට ඉතා අශිලාචාර අශිෂ්ට ඛේදනීය ඉරණමකට පත් කල දේශපාලකයන් හට පිටවීමේ දොර පෙන්වා ඔවුන් පන්නා දැමීමෙනි. එය අපගේ ඇති මහත් වගකීම සහ යුතුකම වන අතර මෙය එකම මාර්ගය වේ. මක්නිසාද යත් වත්මන් ත්ත්වය අප නියෝජනය කරනා දේශපාලකයන්ට නොව, ශ්‍රී ලාංකික පුරවැසියන් වන අපට අගතිගාමී වී ඇති හෙයිනි.

රටේ මතුවී ඇති අත්‍යවශ්‍යම අවශ්‍යතාවය වන්නේ රට වෙනුවෙන්  මහජයනයා සාමුහිකව සහ සාමකාමීව එකාවන් ව ක්‍රියාත්මකවී ඉතා සුළුතරයක් වන අප සිවිල් සමාජ ක්‍රියාකාරීන් හට ඔබගේ ශක්තිය ජවය ලබාදීම වේ.අප සිවිල් ක්‍රියාකාරීන් ලෙස රට වෙනුවෙන් ගෙනයන හුදකලා සටන මෙහෙයවීම තුල අප ඉතා වෙහෙසට පත්වී ඇති නමුත් අවසන් හුස්ම පොද තෙක් මාතෘභූමියේ නාමයෙන් අප සටන ඇත හැරීමට බලාපොරොත්තු නොවේ. නමුත් මෙම කර්තව්‍ය අපහට පමණක් කල නොහැකි අතර ශ්‍රී ලාංකික ඔබගේ ජවය ශක්තිය අත්‍යාවශ්‍යවේ. රට වෙනුවෙන් ඔබගේ වගකීම ඉටු කිරිමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ඔබට තුල පවතීද?

සියලුම  නිකායන් ට අයත් ගරුතර මහනායක ස්වාමින්ද්‍රයන් වහන්ස, නිද්‍රාශීලි අලස බවෙන් මිදී රට වෙනුවෙන් නැගී සිටීමට කාලය පැමිණ ඇත. වීදි බැස ජනතාව සාමකාමිව ඒකරාශී කිරිමේ වගකීම ඔබ වහන්සේලා හමුවේ ඇත. එසේ කිරීමට අසමත් වුවහොත් ඔබ නිවටයන් සහ ජාති ද්‍රෝහින් ලෙස  ඔබ අභිමානයෙයෙන් සලකන “බෞද්ධ ශ්‍රී ලංකාවේ” ඉතිහාස පොත් තුල ඉතිහාසගත වනු ඇත. 

මෙය ඔබේ වාරයයි !!

*2018 නොවැම්බර් 11 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Rise Sri Lankans Our Country Needs You NOW!” නැමති ලිපියේ සිංහල පරිවර්තනය නාලක බණ්ඩාර දිසානායක

Print Friendly, PDF & Email

ඉතින් ඇයි නයිහාමි පෙනේ පිප්පුවෙ නැත්තෙ?  

$
0
0

පුණ්‍යා සමරකෝන් –

පුණ්‍යා සමරකෝන්

හිතාදර මෛත්‍රී,

මීට හරියටම අවුරුදු හතරයි මාස හතරකට කලින් මමයි ජනාධිපති සිරිසේන වන ඔබයි අතර ලියුම් කිහිපයක් හුවමාරු වුනා. ඒ වනාහී මා විසින් ස්වාධීන රූපවාහිනියේ ඉන්න ගමන් ස්වාධීන මාධ්‍යකරණයක නිරත වීමේ අතුරු ප්‍රතිඵල ලෙස මාගේ වැටුප් කපා හැරීම ඇතුලු අනෙකුත් දඩුවම් දැක්වෙන ලිපි කිහිපයකි. ඒ ලිපි වල ඔබතුමාගේ නම කිහිප පොලකින් සටහන් වී තිබුන වග ඔබට මම කාරුණිකව සිහිපත් කර දෙමි. ඒක පොඩි කේස් එකකි. අපි ඒක අමතක කරමු. 

පසුව අහම්බයකින් ජනාධිපති වූ ඔබ හමුවූ එක අවස්ථාවක මගේ ලිපියක ඔබේ පෑනෙන් මගේ අත්සන ගැසූ සැටිත්, ඔබේ ස්ටෙප්ලරයෙන්ම එය අමුණා ඔබටම දීමට තරම් මා දඩබ්බර වූ හැටිත් ඒ සියල්ල දෙස ඔබ ඉවසීමෙන් බලා සිටය හැටිත් දැනට අමතක කරමු. ජනාධිපති නිල නිවසේ, නිල ඔෆිස් කාමරයේ, නිල මේසය මත ඔබ වටා ඉදිවුන ෆයිල් පවුරක් මැද ටෙලිෆෝන් දෙකතුනක් එකවර නාදදෙන හැටිත්, ඔබ ඒවා සමග තනියෙන් අරගල කරන හැටිත්, මා ඒ දෙස පුදුමයෙන් බලා සිටිය හැටිත් අමතක කරමු. ඇයි ලිපිකරුවෙක් තියාගන්නෙ නැත්තෙ? ඔය විදියට කොහොමද ජනාධිපති රස්සාව කරන්නෙ කියල මට නුඹෙන් අහන්නට හිතුනා. අපි ඒ සියල්ල අමතක කරමු. අද ඔබ සිදුකරමින් සිටින මේ දේවල් හා ඔබේ ස්වරූපය දකින විට මට ඔබ තාමත් එහෙම අපිළිවෙලකට ඇති කියා සිතෙනවා. 

ඔබ පොදු අපේක්ෂක ලෙස පත්වූ මොහොතේ සිට ජේ. ආර් ගේ ව්‍යවස්ථාවේ විධායක බලතල සියල්ල ඔබට ලැබුනා. ඔබ ඒ බලතල ළඟ​ තබාගෙන සරල වෙන්න ගොස් ගොං පාට් එකක් වුනා. උත්සව එපා කියල මාසයක් යන්නත් කලින් උත්සව පැවැත්තුවා. පාසල් ළමුන් පාරවල් දිගේ කොඩි වනන්න දාන්නෙ නෑ කියල පහුවදාම ඒ කතා බොරු කලා. හෙලිකොප්ටර් පාවිච්චි කරන්නෑ කියල හෙලිකොප්ටරයේ ගෙදර ගියා. පුත්තු නලවන්නෑ කියල පුතා එක්ක හැම මාසෙම වාගෙ රට සවාරි ගියා. දුව අනුන්ට කියල ලියපු පොත් වලට එයාගෙ නමයි ඔයාගෙ නමයි දෙකම දාගත්ත. විමල්ගෙ භාෂාවෙන් කියනවනං බයි බෝස් එකෙන් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල ප්‍රචාරණ බජට් හූරල අරං දුවට දුන්න. පොඩි පොඩි වැඩ කරල ජීවත් උන මගේ මිත්‍රයින් ගොඩකට බිස්නස් නැතුව ගියා. තොපෙ ජනාධිපතියගෙ දෝනියන්දැ අපිව කෑව කියල මගෙත් එක්ක ඔබේ හා පවුලේ පලු ඇරපු මිනිස්සු හිටිය.

යහපාලන ආණ්ඩුව ආවෙ හොරු අල්ලන්නනේ. ජනාධිපති වෙච්ච දවසෙ ඉදල හොරු අල්ලනව කිවුවට කෝ? කියල මිනිස්සු අහනකොට ඒ හැම කෙහෙල්මලක්ම ගියෙ රනිල්ගෙ පිටින්. රනිල් එලවන්න සජිත්ගෙ කල්ලිය කුලප්පු වෙලා එනකොට සිරිකොතේ පාරට තාර දාල රනිල් බේරගත්තෙ මහින්දනෙ. ඒ නිසා රනිල් හොරු ඇල්ලිල්ල කල් දදා කළගුණ සලකනව කියල පොදු ජනතාවත් හිතුව. අනිත් එක ඔබතුමාට මහින්ද පවුලෙන් අත්වුනු ඉරණම අපි හොදාකාරවම  දන්න නිසා ඇත්තටම ඔබතුමා එයාල රකින්න හේතුවක් නෑ කියල අපි හිතුව. හැබැයි දැන් තේරෙනව යකඩ කෑල්ල අරන්තියාගත්තෙ මොකටද කියල. දැන් යකඩෙට හෙන පිට හෙන වදිනව. ඔබතුමා අර මන්දිරේ සමාදානයේ සැතපෙනව. හැබැයි ඉතින් වැඩි දවසක් ඔහොම ඉන්න හම්බ වෙන්නෙ නෑ. මොකද යකඩ ඉතින් යකඩම තමයි. වෙනස් වෙන්නෙ නෑ.  

පහුගිය අවුරුදු තුනේ ඔබතුමාට අද ඔය පෙන්නන හයිය තිබ්බ බවක් පෙනුනෙ නෑනෙ. පොඩි සින්දුවක් කියල පොඩි පින්තූරයක් දෙකක් දාගෙන හිටය ඇරෙන්න ඇත්තටම වෙන වැඩක් කලේ නෑනෙ. ඒත් ඔය බලයම එදත් ඔබ සතුව තිබුනනෙ. ඉතින් නයි හාමි ඇයි රනිල් පිලට පෙනේ පිප්පුවෙ නැත්තෙ? මේ හැම දේම ගැන හිතනකොට දැන් ඇත්තටම රනිල් පිලට දාන පාට් දැක්කම මට හිතෙන්නේ ඔය බල ඇදුම දැන් ඇඳගෙන ඉන්නෙ වෙන කවුරු හරි කියල. ලැජ්ජ වෙන්නැතුව කියන්න. මහින්ද හයර් එකට ගත්තෙ  ඒකට නේද? පොළොන්නරුවේ පැත්තෙ පොළොවෙන් මතුවුන නිසා මේ කතාව අහල නැතුව ඇති සමහරවිට. මේ ප්‍රශ්නත් එක්ක අමතකත් ඇති. ඒ නිසා මම මතක් කරල දෙන්නං. ඔන්න එක රජ කෙනෙක් හිටිය. එයාගෙ නම යසලාලක තිස්ස. එයා සරල, විනෝදයට බර සාමාන්‍ය මනුස්සයෙක්. එයාට හිටිය සුභ කියල දොරටුපාලයෙක්. එයා හරි කපටිය. බලයට ඉව අල්ලගෙන හිටියෙ. මේ දෙන්නට තිබුනෙ පුදුම සමාන පෙනුමක්. රජාව ගොනාට අන්දන හැටියක් කල්පනා කර කර ඉන්න වෙලාවෙ දොරටුපාලකයට අපූරු අදහසක් ආව. එයා රජාට සෙල්ලමට වෙස් මාරුකරගමුද කියල ඇහුව. අනිත් අය රවට්ටල සතුටු වෙන්න පුලුවන් කියල හිතපු රජා දොරටුපාලකගෙ කපටි යෝජනාවට කැමති උනා. රජාගෙ ඇදුම් ආයිත්තම් පැළදගෙන ඔටුන්නත් දාගෙන සිංහාසනෙත් ඉදගත්තා. රජා රැවටුනා. සියලු සේවකයො හොර රජාගෙ අනට කීකරු උනා. එතැන් පටන් යසලාලක තිස්ස තාමත් සෙල්ලං කරනව, වංචාවෙන් රජ වුන  පුරෝහිත රජකං කරනව. 

මම පුණ්‍යා 

Print Friendly, PDF & Email

ලසන්තගේ දියණිය අහිම්සා මෛත්‍රීට යැවූ ලිපිය

$
0
0

2018 නොවැම්බර් 20 දින

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 

ජනාධිපති ලේකම් කාර්යාලය 

ගාලුමුවදොර 

කොළඹ 1 

හිතවත් සිරිසේන ජනාධිපතිතුමනි ,

පොලිස් පරීක්ෂක ඒඩ්රියන් නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ඔබ ගත් තීරණය 

2018 නොවැම්බර් මස 18 වන ඉරිදා දිනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ 73 වන උපන්දිනයයි. එම දිනය සැමරීමට ජනාධිපති රාජපක්ෂ ඔහුගේ නිල නිවාස අසල පන්සලක සිදු කළ පින්කමට ඔබගේ පොලිස්පතිවරයා වන පුජිත ජයසුන්දර ද සහභාගී විය. හිටපු ජනාධිපතිවරයාගේ උපන්දිනය හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ ද කැටිව සැමරූ පුජිත ජයසුන්දර ඉන් පසු පොලිස් මූලස්ථානය වෙත ගියේය. එහිදී  ඔහු 2018 නොවැම්බර් මස 18 වන දාතමින් අංක D/HRM/ADM/1869/2018 දරන සේවා ස්ථාන මාරු කිරීමේ නියෝගය​ අත්සන් තැබුවේය.

ඔබ ඉතා හොඳින් දන්නා පරිදි එම සේවා ස්ථාන මාරු නියෝගය නිකුත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල​ ඒකකය භාර නිලධාරියාව සිටි පොලිස් පරීක්ෂක එඩ්රියන් නිශාන්ත සිල්වා ව අනිර්දිෂ්ට “සේවා අවශ්‍යතාවයක්” මත මාරු කර හැරීමටය. බැලූ බැල්මට නියෝගය නිකුත් කර ඇත්තේ පොලිස්පතිවරයා වුවද, එම නියෝගය ඔහු නිකුත් කළේ ඔබගේ දැඩි ඕනෑකම මත සහ සිය දැඩි අකමැත්ත මත බවට පොලිස්පතිවරයා සැඟවූයේ  නැත. එය කොතරම් කාරුණික උපන්දින තෑග්ගක්ද? නමුත් උපන්දිනය මහින්දගේය; ගෝඨාභය ගේ නොවේය.

2009 ජනවාරි 8 වන දින ඵෙතිහාසික ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔබ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට හරියටම වසර හයකට පෙර මගේ පියා වන ලසන්ත වික්‍රමතුංගව කෲර ලෙස ඝාතනය කරන ලදී. ඔබේ මැතිවරණ වේදිකාව එවැනි සාපරාධි ඝාතන වලට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු දුන් වේදිකාවක් විය. මා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ව හඳුනන්නේ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිලිබඳ අපරාධ පරීක්ෂණය මෙහෙයවනු ලැබු නිලධරයා වශයෙනි. 

2009 ජනවාරි මස වවුනියාවේදී තරුණය දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඔවුන්ව අමු අමුවේ ඝාතනය කරන ලදී. ඔවුන්ගේ මල කඳන් අනුරාධපුරයේදී දවා අළු කරන ලද අතර එය එසේ සිදු කළේ ඔවුන් සතු මෝටර් සයිකලය මගේ පියාගේ ඝාතනය කල ස්ථානයේ සාක්ෂියක් වශයෙන් තැබීමටය. මගේ පියාගේ ඝාතකයින් හඳුනා ගැනීමට ඉවහල් විය හැකි ඔහුගේ අවසන් වචන ලියැවුණු දිනපොත් සටහන් විනාශ කර දැමීමට ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් ක්‍රියා කළෝය​. මේ සියල්ල අප දන්නේ නිශාන්ත සිල්වා නිසාවෙනි. පසු ගිය වසර දෙක ඇතුලත ඔහු වෙහෙස නොබලා අනුරාධපුරයේ සහ වවුනියාවෙහි සැරිසරමින් සාක්ෂිකරුවන් දුසිම් ගණන් ප්‍රශ්න කළේය. දශකයකට වඩා පැරණි සාම්පල මත DNA ජාන පරීක්ෂණ සිදු කිරීමට විධානය කළේය. ඒ සියල්ල අවසානයේ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයකු ඇතුළු මෙම ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් ව අත් අඩංගුවට ගත්තේය.  

2010 ජනවාරි 8 වන දින අපරාධ පරීක්ෂන් දෙපාර්තමේන්තුව විසින් මගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් පෙර නොවූ විරූ හෙළිදරව්වක් සිදු කර ගන්නා ලදී. එනම් නුවර එලිය ප්‍රදේශයේ කාර්මිකයකු විසින් “ට්‍රිපොලි” සන්නද්ධ ඔත්තු පාබල ඛණ්ඩයේ සොල්දාදුවකු එම කාර්මිකයාගේ ජාතික හැඳුනුම් පත භාවිතා කරමින් ජංගම දුරකතනයකට සිම් පතක් ලබා ගත් පුද්ගලයා ලෙස හඳුනා ගැනීමය. එම සිම් පත යොදා ගනු ලැබුයේ මගේ පියාගේ ඝාතනය සංවිධානය කිරීමෙහි සන්නිවේදන කටයුතු සඳහාය. එම සාක්ෂිකරුගේ සාක්ෂි සටහන් වල තීන්ත වෙලේන්නටත් පෙර සර්වබලධාරී ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කලේ කුමක්ද? ට්‍රිපොලි සන්නද්ධ ඔත්තු පාබල ඛණ්ඩයේ අණ දෙන නිලධාරියාව සැණින් ඩැහැ ගෙන තානාපති සේවයේ රැකියාවක් සඳහා විදේශයකට පිටත් කර යැවීමය. රැය පහන් වෙන්නට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙම පරීක්ෂණය ඉවත් කරන ලද අතර එය ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දෙන ලදී. ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඉහත සඳහන් අහිංසක කාර්මිකයාව අත්අඩංගුවට ගෙන ට්‍රිපොලි පාබල ඛණ්ඩයේ ඇති සියලු සම්බන්ධතා වැසෙන පරිදි සාක්ෂි මවන ලදී. මේ සියල්ල අප දන්නේ නිශාන්ත සිල්වා ට ස්තුති වන්නටය. එම අසරණ කාර්මිකයා 2011 ඔක්තෝම්බර් මස රිමාන්ඩ් භාරයේදී අභිරහස් ලෙස මිය නොයන්නට අපට මීටත් වඩා කරුණු දැනගන්නට හැකි වන්නට තිබුණි.  

මා විසින් නිශාන්ත සිල්වා හඳුනා ගනු ලැබුයේ මගේ පියාගේ ඝාතනය පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ඔහු මෙල්බර්න් නුවරදී මා හමු වූ අවස්ථාවේදීය. මා ඔහු හට පැවසුයේ මගේ පියා මට විවිධ අවස්ථා වලදී ප්‍රකාශ කර සිටියේ මිග් ගණුදෙණුවේ දූෂණය හෙළි කිරීම නිසාවෙන් ගෝඨාභය රාජපක්ෂ වීසින් තමාව ඝාතනය කරනු ලබනු ඇති බවට ඔහු විශ්වාස කරන බවය. නිශාන්ත සිල්වා නිර්භයව මගේ ප්‍රකාශය ගල්කිස්ස අධිකරණයට වාර්තා කළේය. මගේ පියාගේ ඝාතනයට අණ දුන්නේ කවුද යන්න තීරණය කල හැක්කේ අධිකරණයකට පමණි. නමුත් මිග් ගණුදෙණුව පිළිබඳව මගේ පියා නිසැකයෙන්ම නිවැරිදි විය. ඒ මක් නිසාද යත්, බරපතල මුල අපරාධ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගෙවූ මුදලින් අඩක් අතරමැදියන් වීසින් පවත්වාගෙන ගිය රහස් කොම්පැනියක් මගින් සොරා ගන්නා ලදී. මගේ පියා විසින් මෙම​ හෙළිදරව්ව සිදු කරන අතර තුර එම ගනුදෙනුවේ හරි මැද සිටියේ කවුරුන්ද? ගොටාභය රාජපක්ෂගේ ඥාති සොයුරා වන උදයංග වීරතුංග ය. 

මා නිශාන්ත සිල්වා හඳුනා ගත දින සිටම ඔහුගේ සෞම්‍ය, නිහතමානි ගතිගුණ සහ රැකියාවට ඇති කැපවීම නිරීක්ෂනය කලෙමි. ඔහු විසින් සිදු කරගෙන යනු ලබන ඉහල ඝනයේ අපරාධ පරීක්ෂණ සංඛ්‍යාව පිළිබඳව මම පුදුම වුනෙමි. 2008 මැයි මස කීත් නොයාර් ව කෲර ලෙස පැහැර ගෙන ගොස් වධ හිංසා කිරීමේ අපරාධයද විමර්ශනය කරනු ලැබුයේ නිශාන්ත සිල්වා විසිනි. පැහැර ගත් කීත් නොයාර්ට දරුණු වධ හිංසා සිදු කිරීමට සම්බන්ධ මිලියන ගණනක් දුරකථන සංවාද වාර්තා සාක්ෂිකරුන්ගෙන් වාර්තා කර, සිය ගණනක් ප්‍රකාශ සොයා ගනු ලැබුවේද, රහස් ඔත්තු සේවයට අයත් ආරක්‍ෂිත නිවසක් තුලදී නොයාර්ව කෲර වධ බන්ධයන්ට ලක් කිරීම පිළිබඳව සාක්ෂි සොයා ගනු ලැබුවේද, ඒ හා සම්බන්ධව හිටපු හමුදා ප්‍රධානියෙකු (chief of staff) ඇතුළු හමුදා නිලධරයන් අත් අඩංගුවට පත් කරනු ලැබුයේද එම විමර්ශනය භාරව සිටි නිශාන්ත සිල්වා විසිනි. මෙම සක කරුවන් අතරින් 7 දෙනෙකු මගේ පියාගේ ඝාතනයට සම්බන්ධ කුප්‍රකට “ට්‍රිපොලි” සුදු වෑන් පාබල ඛණ්ඩයට අයත් වූවන් විය. 

වෙන මොනවත් අවශ්‍ය​ නැත! නිශාන්ත සිල්වා එම කුප්‍රකට සුදු වෑන් රථයද සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. ඔබේ ජනාධිපතිවරණ චන්ද ව්‍යාපාරය තුල “මරණයේ රිය” ලෙස විරුදාවලි ලැබූ , ඔබේ ප්‍රතිවාදියාගේ කෲරත්වයේ සංකේතය ලෙස ඔබ හැඳින්වූ ඒ වෑන් රිය ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහුගේ වෘත්තීමය ජීවිතයට අකුල් හෙළනවා වෙනුවට ඔහුට ඔබ උසස් වීමක් ලබා දෙනු ඇතැයි කෙනෙක් අපේක්ෂා කරන්නට ඇත. “ජාතික ආරක්ෂාව” හේතු වශයෙන් දක්වා ඔබ පෞද්ගලිකවම හමුදාවට නියෝගයක් නිකුත් කලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය විසින් ඉල්ලා සිටි හමුදාවට සහ ආරක්ෂක අමාත්‍යංශයට අයත් වාර්තා සහ අත්‍යවශ්‍ය ලිපි ලේඛන ඔවුන්ට ලබා නොදෙන ලෙසය. ඔබගේ එම විධානය නොවන්නට මෙම අපරාධයන් විධානය කළවුන් සහ ට්‍රිපොලි පාබල ඛණ්ඩය අතර සම්බන්ධතාවය දැනටමත් සොයාගෙන තිබෙනු ඇත.   

කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ ව 2010 ජනාධිපතිවරණය සිදු වූ රාත්‍රියේ දී පැහැරගෙන ගොස් ඝාතනය කල හමුදා බුද්ධි අංශ ඛණ්ඩය හඳුනා ගෙන ඔවුන්ව අත් අඩංගුවට පත් කරන ලද්දේ නිශාන්ත සිල්වා විසිනි. තවද ඔහුගේ විමර්ශන කණ්ඩායම විසින් දස දහස් ගණන් දුරකථන සංවාද, වාර්තා, සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ දහස් ගණනක් පීරමින් මෙම විමර්ශනය සිදු කරන ලදී. අවම වශයෙන් සාක්ෂිකරුවන් දෙදෙනෙක් විසින් ප්‍රකාශ කරනු ලැබුයේ එම ඝාතනය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ විධානය පරිදි සිදු වූ බවය. 

2005 වසර මුල් භාගයේ ඇවන්ට් ගාර්ඩ් අවි ගබඩාව පිළිබඳව නිරාවරණය කිරීම තුලින් ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනම පැනවීම දක්වා දිවුණු  විමර්ශනය සිදු කරනු ලැබුවේ නිශාන්ත සිල්වා විසිනි. ඔහු සහ ඔහුගේ වීමර්ශන කණ්ඩායම ඇති විශාල කාර්යභාරයක් සිදු කරමින් ගෝඨාභය රාජපක්ෂගේ අණින් ශ්‍රී ලංකා වෙරල තීරයේ ගිල්වා සඟවන ලද පුපුරන ද්‍රව්‍ය, එම අවි ගබඩාවට අයත් අවි ලයිසතු, බැංකු ගිණුම් විස්තර සොයා ගන්නා ලදී. ජනාධිපතිතුමනි, ඔබගේ නීතිපතිවරයා විසින් 2015 ජූනි මස ත්‍රස්තවාදය වැළක්වීමේ පනත, ගිනි අවි පනත සහ පුපුරන ද්‍රව්‍ය පනත යටතේ සිදු වුනු අපරාධ පිලිබඳ කරුණු නිරාවරණය නොකළ හැකි බවට තීරණය කල අවස්ථාවේ එම වටිනා විමර්ශනය ශුන්‍ය භාවයට පත් විය. 

2008 සහ 2009 වසර තුල තරුණයන් 11 දෙනෙක් කෲර ලෙස පැහැර​ ගෙන යන ලදී. ඔවුන් ව නිදහස් කිරීමට ඔවුන් ගේ පවුල් වලින් කප්පම් ඉල්ලා, ඉන්ඳ නොනැවතී ඔවුන්ව අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳව නාවුක හමුදාවේ ජ්‍යෙෂ්ට නිලධාරීන් කිහිපදෙනෙක් ගේ සම්බන්ධය ඉතා සූක්ෂ්ම විමර්ශනයක ප්‍රතිපලයක් ලෙස සොයා ගන්නා ලද්දේ නිශාන්ත සිල්වා විසිනි. එම නාවුක හමුදා නිලධරයන් අත්අඩංගුවට පත් වූ අතර හිටපු නාවුක හමුදාපති හෙවත් වත්මන් Chief of Defence Staff එම දරුණු අපරාධයට සම්බන්ධ වුවන් රැකගැනීමට සහ ඔවුන්ව ආරක්‍ෂිත ලෙස රටින් පිටතට ගෙන යාමට සම්බන්ධය. 

දෛවයේ සරදමක් ලෙස ඔබ හට නිශාන්ත සිල්වා LTTE අතකොළුවක් බවට කිසිදු සාක්ෂියක් නොමැති “කරුණු” ඉදිරිපත් කර ඇත්තේ නිශාන්ත සිල්වා විසින් අත්අඩංගුවට ගැනීමට ඉදිපත් කල හමුදා ප්‍රධානියාමය (Chief of Defence Staff) ! ශ්‍රී ලංකා පොලිසියේ සිටින වඩාත්ම සේවට කැපවුණු නිර්භීත රහස් පරීක්ෂකයකුගේ කීර්ති නාමය​ විනාශ කිරීමට ඔබ ඔබගේ පොලිස්පතිට බලෙන් ගිල්ලවූ “ඔත්තු සහ සාක්ෂි” පැමිණියේ එවැනි හමුදා නිලධාරියෙකු ගෙනි. 

මම නිශාන්ත සිල්වා ගැන විශේෂයෙන්ම කනගාටු වෙමි. මගේ ජීවිතය පුරාවටම මා දුටුවේ මගේ පියා කිසිවකුගේ දූෂණයක් හෙළි කල විට, දිදුලන සත්‍යය විසින් සිය ප්‍රතිරූප සුනු විසුනු කර ගත්තවුන් කිසිදු සාක්ෂියකින් තොරව මගේ පියාට “LTTE අතකොලු” ලේබලය ඇලවීමයි. ඔහු විසින් මිග් ගනුදෙනුව හෙළි කල විට ආරක්ෂක අමාත්යංශය විසින් සිදු කලේ ඔහුගේ පුවත්පත LTTE සංවිධානයේ අංගයක් බව ප්‍රචලිත කිරීමය. නමුත් සත්‍යය නිරාවරණය වෙයි. සත්‍යය සැමවිට අවසානයේ නිරාවරණය වෙයි. 

සත්‍යය නම් නිශාන්ත සිල්වා යනු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු ඉතිහාසය පුරාවටම LTTE සංවිධානයට සිටින ලොකුම කරදරකාරයාය. කනිෂ්ට නිලධරයකු ලෙස ඔහු LTTE බුද්ධි අංශයේ ජාලයන් සුනු විසුනු කල පරීක්ෂණ වලට සහභාගී විය. ඒ අතර 2000  වසරේදී කටුනායක ගුවන් තොටුපොල ප්‍රහාරය දියත් කල LTTE බුද්ධි අංශ ජාලයද වෙයි. 2006 වසරේදී ගොටාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා ට එල්ල කල LTTE ප්‍රහාර සහ 2008 වසරේ ජෙනරාල් ජානක පෙරේරා ඝාතනයට සම්බන්ධ විමර්ශන තුලින් එම LTTE බුද්ධි ජාල සොයා ගොස් ඒවා දැදුරු කරනු ලැබුවේද ඔහු විසිනි.  

ජාතික වීරයකු බඳු වූ නිශාන්ත සිල්වා නැමති රාජ්‍ය සේවකයාව ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගැසීමට දත කෑමට තරම් ඔබ පිරිහී ඇත්තේ ඔබගේ අලුත් දේශපාලන සඟයන් ව සතුටු කර ඔවුන්ගෙන් “ලකුණු දමා ගැනීමට” විය යුතුය. නමුත් එසේ කිරීම තුලින් ඔබ ඔබගේ පූර්ව ප්‍රාප්තිකයන් කිසිවෙකුත් නොවැටුණු පහත තැනකට ඔබගේ ධූරයේ ගෞරවය ඇද දමා ඇත. මගේ පියා විවිධ කාල වලදී ජනාධිපති කුමාරතුංග සහ රාජපක්ෂ වැනි ජනාධිපතිවරුන් සමඟ​ ඉතා දරුණු විවාද වල එල්බ සිටියේය. ඔවුන් ඔහුට විවිධ කෲර වචන භාවිතා කල අතර ඇතැම් විට එසේ නොකීවා නම් හොඳ යයි ඔවුන්ම සමහර විට සිතනවා ඇත. නමුත් ඔවුන් දෙදෙනාගෙන් එක අයෙකුවත් මගේ පියා LTTE හිතවාදියකුයි හංවඩු ගැසීමට තරම් පහත් තත්ත්වයකට ඇද වැටුනේ නැත. එතරම් ම ගර්භිත මිනිසුන් සිටින්නේ දෙදෙනෙකි. ඒ ගොටාභය රාජපක්ෂ සහ ඔබය.  

ඔබ විසින් මේ රටෙහි ව්‍යවස්ථාව සුරැකීමට ප්‍රතිඥා දී ඇති බව මා ඔබට මතක් කර දෙන්නෙමි. ඔබ හමුදාපතිවරයකු හෝ සුදු වාන් වලින් රාජ්‍යය පවත්වාගෙන ගිය වුන් ආරක්ෂා කිරීමට ප්‍රතිඥාවක් දී නැත. මොවුන් මේ අපරාධ වලට සැබවින්ම වගකිව යුතුයි මම නිශ්චිතව දන්නේ නැත. එය ඔබ දන්නේ ද නැත. ඔය නිශාන්ත සිල්වා වැන්නවුන් විමර්ශනයට ලක් කර අධිකරණයක කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් තහවුරු කල හැක්කකි. ඒ සඳහා වෙහෙස​ නොබලා සිය රාජකාරිය ඉටු කරමින් සිටි නිශාන්ත සිල්වාගේ දණහිස් බිඳ දැමීමය ඔබ විසින් කර ඇත්තේ. අපගේ යුතුකම වන්නේ එවැනි විමර්ශන සිදු කරන්නවුන්ට කවර ආකාරයකින් හෝ උපකාර කිරීමය. එහි තේරුම නම්, සාක්ෂිකාරියක ලෙස මා විසින් සම්පූර්ණ සත්‍යය හෙළි කිරීමය. ඔබගේ කාර්යය නම් රාජ්‍ය නායකයා ලෙස නීතිය ඔබගේ පෞද්ගලික බැඳීම්, දේශපාලන අවශ්‍යතා සහ සිතු මනාපයන්ට වඩා ඉහලින් තැබීමය. ඔබ විසින් සිදු කළ යුත්තේ මෙම විමර්ශනයන් සිදු කරන්නවුන්ට අධිකරණය ඉදිරියේ සත්‍යය ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන සම්පත්, දේශපාලන ආධ්‍යාශය සහ උපකාරයන් සැපයීමය. ඒ සියල්ලටමත් වඩා, ඔබගේ කාර්යභාරය වන්නේ නිශාන්ත සිල්වා විසින් කළ පරිදි යුක්තිය පසිඳලීම කෙරෙහි ඇති කැපවීම ගෙන දෙන්නේ පූජනීයත්වයක් මිස පළිගැනීමකට ලක්වීමක් නොවන බව, රට පුරා සිටින පොලිස් නිළධාරීන්ට ඒත්තු යන ලෙස හැසිරීමය.

මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක වන ජාතික පොලිස් කොමිසම සහ ව්‍යවස්ථා කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව විශ්වාසයෙන් පසු වෙමි. ඔවුන් කිසි දිනක ඔබ විසින් මහා දවාලේ සිදු කරන මේ බලය අයුතු ලෙස භාවිතාව නොඉවසනු ඇත. 

ජනාධිපති තුමනි, ඔබ ඉදිරියේ තෝරාගැනීම් දෙකක් ඇත. සිය වැරදි මතයක් වහා නිවැරදි කර ගෙන වහාම නිශාන්ත සිල්වා ගේ මාරුකර යැවීම නවතවා ඔහුට ඔහුගේ රාජකාරිය කරගෙන යාමට ඉඩ දුන් ජනාධිපතිවරයා ලෙස ඔබට ජනතාවගේ මතකයේ රැඳෙන්නට ඉඩ ඇත. එසේ නැතහොත්, ස්වාධීන පොලිස් කොමිසම හෝ අධිකරණයක් විසින් ඔබගේ විධානය විශ්ලේෂණය කර එය වළක්වාලනු බලා සිටීමටද ඔබට පුළුවන. එසේ වුවහොත් රටෙහි ඉතා වැදගත් අපරාධ පරීක්ෂණයක් නවත්වන්නට තැත් කර පැරදුනු ජනාධිපති ලෙස ඔබ සදා මතකයේ රැඳෙනු ඇත. 

අමතක නොකරන්න ජනාධිපතිතුමනි, මගේ පියා ඇතුළු කෲරත්වයේ ගොදුරු බවට පත් වූ අන් සියලු මිනිසුන් වෙනුවෙන් ඇරුණු යුක්තියේ මග අහුරන්නට තැත් කළහොත් ඔබ නියත වශයෙන්ම පරදිනු ඇත.

මීට විශ්වාසී 

අහිම්සා වික්‍රමතුංග 

පිටපත්: සභාපති, ව්‍යවස්ථා සභාව​

: සභාපති ජාතික පොලිස් කොමිසම 

: පොලිස්පති 

:අධ්‍යක්ෂක, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව

අහිම්සා වික්‍රමතුංග විසින් යවන ලද ඉංග්‍රීසි ලිපිය සිංහලට පරිවර්තනය කරන ලද්දේ ගෘෂා ඇන්ඩ්රූස් 

Print Friendly, PDF & Email
Viewing all 2978 articles
Browse latest View live