Quantcast
Channel: සිංහල – Colombo Telegraph
Viewing all 2982 articles
Browse latest View live

මෝල්ලූ සහ මෝරු

$
0
0

තිසරණී ගුණසේකර

විධායක ජනාධිපති තනතුරට නාමල් රාජපක්ෂව කොහෙත්ම නුසුදුසු කරවන එකම සාධකය වයසම නොවේ. දේශපාලනික ප‍්‍රභාව ඇතිව සිටි කාලයේ මේ ගැටයා කළ කී කිසි දෙයකින්, වගකීමක් ඇති තනතුරක් දැරීමට අල්ප හැකියාවක්වත් ඇති බවක් පෙන්වා නැත. ජනබල මෙහෙයුමත්, එහි අනිවාර්ය අසාර්ථකත්වයත් සංකේතවත් කෙළේ, කෝමල කකුලට වඩා තඩි සපත්තු දාගෙන ලොකුවට ඇවිදින්ට ගිය ඉළන්දාරියෙකුගේ අබග්ගයකි.

එහෙත් ඔහුගේ අප්පාට අනුව, නාඹර නාමල් ජනාධිපති අපේක්ෂකත්වයට හෝ ජනාධිපති තනතුරට හෝ නොපෑහෙන එකම කාරණය වන්නේ වයසයි. 19 වැනි ව්‍යවස්ථාවේ ඒ විශේෂිත වගන්තිය නොවන්නට, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ සිය වැඩිමල් පුතාව අභිෂේක කරනු ඇත. හිටපු ජනාධිපතිවරයා ‘හින්දු’ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඒ බව හෙළි කොට තිබුණි. ‘‘30 ට තිබිච්ච අවම වයස් සීමාව ඒගොල්ලෝ දැන් 35 කරලා නිසා මගේ පුතාට 2019 දී ඉදිරිපත් වෙන්න බැහැ.’’

ලාංකීය ප්‍රජාත්‍රන්ත්‍රවාදය​ 19 වැනි ව්‍යවස්ථාව හරහා බේරා ගැනීමට හැකි වේද නැද්ද යන්න, ඉදිරියට බලා ගත යුතුව ඇති දෙයකි. එහෙත් ‘බේබි ඩොක්’ ගැටයෙකුගේ විගඩම් පාලනයකින් දැනට ලංකාව බේරී ඇති බව කිව හැකිය. (‘බේබි ඩොක්’ යනු, වසර 15 ක් හයිටි රාජ්‍යය අව-පාලනය කළ මරුමුසු කොලූ ගැටයෙකි – පරිවර්තක). නාමල් රාජපක්ෂ කෙනෙකු රටේ ජනාධිපති වුවහොත් සති කිහිපයක් ඇතුළත එය මාරක විකාරයක් දක්වා පල්ලම් බසිනු නියති. කෙසේ වෙතත්, අප්පාගේ බොරු කකුල් මත සිටගෙන පූච්චානම් දොඩන එවැන්නෙකුගේ ඛේද-විකට අනාගතයක් ගැන, අඩු වශයෙන් 2025 දක්වාවත්, බියවීමට කාරණා නැත.

ලංකාවේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය​ට ඉහළින් 2020 දී රඟදෙන හොල්මන වන්නේ නාමල් රාජපක්ෂගේ කැහැටු හෙවනැල්ල නොව, ගෝඨාභය රාජපක්ෂගේ තඩි හෙවනැල්ලයි. මහින්ද රාජපක්ෂ ‘හින්දු’ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවෙන් හෙළිදරව් වන පරිදි, රාජපක්ෂලා එදා මෙන්ම තවමත් පවුල් සමාගමකි. ලොකු පුතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි නම් මහින්ද රාජපක්ෂ ඒ වරය දෙනු ඇත්තේ සහෝදරයන්ගෙන් කෙනෙකුට ය. රාජපක්ෂ දරුවන්ට සහ සහෝදරයන්ට වඩා එම තනතුරට සුදුසුකම් ඇති තවත් අය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටිය හැකිය. එහෙත් ඔවුහූ උත්පත්තියෙන් නුසුදුස්සෝ වෙති. රාජපක්ෂ කෙනෙකු සිටින කවර තැනක් වුව, දේශපාලන පක්ෂයක් වේවා, රටක් වේවා, එය පවුල් නින්දගමක් වනු ඇත. පවුලට උපන් සහ පවුලේ හැදුණු වැඩුණු එකෙකු විසින්ම පාලනය කරනු ලබන පවුලේ බූදලයක් වනු ඇත.

ඉතිං, අනාගතයේ සේයාව පැහැදිළි ය. රාජපක්ෂලාගේ යළි පැමිණීමක්, පවුල් පාලනයක සහ රජ පෙළපතක යළි පැමිණීමක් වනු ඇත. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිටින රාජපක්ෂලා නොවන ඕනෑම නායකයෙකු කොච්චර දත්මිටි කෑවත්, ඔහුට හෝ ඇයට සිටීමට සිදුවනු ඇත්තේ වලව්වේ එළිපත්තේ ය. ඉහළ තානාන්තර සියල්ල පවුලට වෙන් කොට තිබේ. ඒවා යාවජීව ය.

සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව තමන් ලද ජනතා වරම කෙරෙහි අතරමැද ලැදියාවකින් හෝ සිටියේ නම්, රාජපක්ෂලාගේ මේ සංදර්ශනය අපට විනෝදාත්මක වන්නට තිබුණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශ‍්‍රී ලංකාවක රැුකවරණය තුළ, තාත්තා-පුතාලා, මාමලා-බෑනලා සහ බාප්පලා නටන මේ දේශපාලන තොවිලය නරඹමින් හිනාවෙන්නට තිබුණි.

එහෙත් සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව සිටින්නේ ඈලියාවට යමිනි. සරළම වචනාර්ථයෙන් ගත්තත්, මෙය යහපාලනය නොවේ. උදාසීන ප‍්‍රතිපත්ති සහ ග‍්‍රාම්‍ය කි‍්‍රයාකාරීත්වයෙන් යුත් මෙය, මුග්ධ පාලනයකි. ජනාධිපතිවරයා කජු ඇටේක එල්ලීම සහ අගමැතිවරයාගේ ‘ගම්පෙරළිය’ ආපදාව, මේ පරිපාලනය තුළ පවතින ස්වයං-විනාශය කෙරෙහි වන නැමියාව කියාපායි. චාලි චැප්ලින් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදියා’ නමින් සිනමා පටයක් කෙළේ නම්, මෙය ඊට අගනා ප‍්‍රස්තුතයක් වන්නට තිබුණි. (ඔහු ‘ඒකාධිපතියා’ නමින් චිත‍්‍රපටියක් කර තිබේ- පරිවර්තක).

අපේ කාලයේ සැබෑ ඛේදවාචකය ඇත්තේ එතැනයි. මොන අසාර්ථකතා තිබුණත් මේ පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ය. රාජපක්ෂගේ භුක්තියේ තිබෙන ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට වඩා මේ ආණ්ඩුව වගවීමෙන් යුක්ත ය. පාරදෘෂ්‍ය භාවයෙන් යුක්ත ය. ඊට වඩා මධ්‍යස්ථ ය. ඉවසන සුළු ය. සිරිසේන-වික‍්‍රමසිංහ පාලනයට, අධිකාරීවාදී ආවේශයන් සහ මර්දනකාරී අභිලාෂයන් නැතිවා නොවේ. එහෙත් ඒවා ඕනෑම ආණ්ඩුවක් තුළ පොදුවේ දක්නට ලැබෙන දේවල් ය. බලය, වෙන් වෙන් ආයතන වෙත බෙදා වෙන් කොට පවත්වා ගත යුත්තේ එබැවිනි. ඒ බල-විභේදනය ප‍්‍රායෝගික සත්‍යයක් කර ගත හැකි තරමට, ආයතන පද්ධති ශක්තිමත් කර ගත යුත්තේ එබැවිනි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව බලයට පත්කර ගත්තේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කර ගැනීමට ය. ඒ කාරණයේදී සෑහෙන දුරකට එය සාර්ථකව තිබේ. වර්තමාන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තුවාල කර-ගැට තිබුණත්, මීට වඩා යහපත් තැනකට සම්ප‍්‍රාප්ත වීමේ හැකියාව ඊට තිබේ. තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර ගැනීම සහ අඳුරු අහුමුළු විවර කර ගැනීම සඳහා එම අයිතිය පාවිච්චි කෙරෙමින් තිබීමත් කියාපාන්නේ, කාලයත් සමග අවස්ථාව ලදොත්, ශ‍්‍රී ලංකාවට තව දුර යා හැකි බවයි.

වර්තමාන කාර්ය භාරය වන්නේ, ගත වූ වසර තුනක කාලය තුළ අත්පත් කර ගත් ජයග‍්‍රහණයන් තවත් ශක්තිමත් කර ගනිමින්, අපේ දේශපාලනික ගමන ආපස්සට නොව ඉදිරියට යන බවට වගබලා ගැනීමයි. එහෙත් අවදානම වන්නේ, ආණ්ඩුවේ අවපාලනය කෙරෙහි කෝපයට පත්වන ඡුන්දාදායකයන්, අනාගත යහපත් ඒකාධිපතියෙකු පතා ඒ ජයග‍්‍රහණයන් පාගා පොඩි කර දැමීමට ඇති ඉඩකඩයි.

ඒකාධිපතියන් ගැන පවතින මිථ්‍යාවන්

හොඳ වැඩකාරයෙකු වන ඒකාධිපතියෙකු ගැන පවතින මිථ්‍යාව, බාගවිට උපන්නේ ඉතාලියේ විය හැකිය. පළමු ලෝක යුද්ධය නිසා ඉතාලියේ දුම්රියට සේවාව කඩා වැටුණි. යුද්ධයෙන් පසුව මෙය යුරෝපයේ හොඳම දුම්රිය සේවාව බවට පත්කරන බවට එරට ෆැසිස්ට්වාදියෝ ජනතාවට පොරොන්දු වූහ. දුම්රිය සේවාව ඇත්තෙන්ම ඉන් පසු යම් ප‍්‍රගතියක් ලැබුවේය. ඒ, බොහෝ කොට, ආයෝජනවලටත්, මුසෝලිනී බලයට පත්වීමට පෙරාතුව සකස් කොට තිබූ සැලසුම්වලටත් ස්තුතිවන්ත වන්නට ය. එසේ වෙතත් එය යුරෝපයේ හොඳම දුම්රිය සේවාව බවට නම් කවදාවත්ම පත්වුණේ නැත. සත්‍යය එසේ වී මුත්, ෆැසිස්ට්වාදීන්ගේ කයිවාරුව නැවතුණේ නැත. ගුවන් විදුලි අවකාශය තුළ පාලකයන්ට එරෙහිව හඬ නැගීම තහනමට ලක්කොට එය අපරාධයක් බවට පත්කොට තිබුණු තත්වයක් තුළ, ෆැසිස්ට්වාදී පාලකයන් දෙසාබාන ඕනෑම බොරුවක් සාමූහික ජන විඥානය තුළ සටහන් වුණේ ‘සත්‍ය දත්ත’ වශයෙනි.

ඊළඟට, අලූතින් කාර්මීකරණය වූ නැගෙනහිර ආසියාතික රටවල් කිහිපයක් බිහි වීම හේතුකොටගෙන, සාර්ථක ඒකාධිපතියෙකු පිළිබඳ මිථ්‍යාව තවත් ජනප‍්‍රිය වුණි. දරිද්‍රතාවයේ සහ අසංවර්ධනයේ කරවටක් ගිලී සිටි තුන්වැනි ලෝකයේ රටවල් අතරින් ‘නැගෙනහිර ආසියාතික ව්‍යාඝ‍්‍රයන්’ වශයෙන් හැඳින්වුණු මේ රටවල් කිහිපය බොහෝ දෙනාට දර්ශනය වුණේ මහා හාස්කමක් වශයෙනි. අලූතින් කාර්මීකරණය වී සංවර්ධනය වූ මේ නැගෙනහිර ආසියාතික රටවල් හතරේම තිබුණේ මහජන ඡුන්දයෙන් තේරී පත් වූ ආණ්ඩු නොවූ නිසා, සීග‍්‍ර ආර්ථික සංවර්ධනය අත්කර ගැනීමට නම්, නැණවත්, සොඳුරු ආඥාදායකයෙකුගේ මගපෙන්වීම අවශ්‍ය බවට බලවත් විශ්වාසයක් ගොඩනැගුණි.

එහෙත් ඒකාධිපතියන්ගේ කෙරුවාව නැණවත් වන්නේවත්, සොඳුරු වන්නේවත් නැති බව ඔප්පු කිරීමට, තුන්වැනි ලෝකයේ සෙසු රටවල අත්දැකීම් හොඳටම සෑහේ. ඇත්ත වශයෙන්ම, 1990 දශකය දක්වාම, ආසියාවේ, අප‍්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ බහුතරයක් රටවල සිටියේ සිවිල් හෝ හමුදා ඒකාධිපතියන් ය. ඒ කිසි රටක්, අර කී අලූතෙන් කාර්මීකරණය වූ රටවල් අත්කර ගත් සංවර්ධන මට්ටමට කිට්ටු වුණේවත් නැත. ඒකාධිපතිත්වය සහ සංවර්ධනය අතර තිබෙතැ යි කියන මිථ්‍යාව බිඳලීමට එයම සෑහේ.

ඉහතින් කී ‘නැගෙනහිර ආසියාතික ව්‍යාඝ‍්‍රයන්’ පිබිදුණේ, ඒ රටවල පැවති ඒකාධිපතිත්වයන් නිසා නොව, භූ-දේශපාලනය නිසා ය. සීතල යුද්ධය නොතිබුණි නම්, චීන විප්ලවය නොවුණි නම් සහ කොරියානු යුද්ධය ඇති නොවුණි නම්, අර කී ව්‍යාඝ‍්‍රයන් නිකංම බළලූන් විය හැකිව තිබුණි. නැගෙනහිර ආසියාවේ පැතිරෙමින් පැවති ‘කොමියුනිස්ට්වාදයට’ එරෙහි ඔසුවක් වශයෙන් එම රටවල් ආර්ථික වශයෙන් නගා සිටුවීමේ අවශ්‍යතාවක් බටහිරට තිබුණි. (දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශ වී ගිය යුරෝපය පසුව ගොඩ ගත්) ජෝර්ජ් මාර්ෂල් ආර්ථික සැලැස්මේ ආකෘතියක්, විශේෂයෙන් දකුණු කොරියාවේ සහ තායිවානයේ දියත් කෙරුණි. ඒ අනුව, ‘බටහිර ලෝකයේ ආරක්ෂක වළල්ලේ ප‍්‍රධාන මුරපොළක් බවට තායිවානය පත්විය.. 1950 දශකය තුළ තායිවානයට ගලා ආ විදේශ ආර්ථික ආධාර, එරට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 ක අගයක් ගත් අතර, දළ ආයෝජනයන්ගෙන් සියයට 40 කට ආසන්න අගයක් ගත්තේය.’ එම දශකය තුළ දකුණු කොරියාවේ ආනයනයන්ගෙන් සියයට 80 කටත් වැඩි ප‍්‍රමාණයක් සඳහා වන වියදම පිරිමසා ගැනුණේ ඇමරිකානු ආධාරවලිනි. ලෝකයේ වෙනත් තැන්වල ඉඩම් ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව බද්ධ හතුරුව සිටින ඇමරිකාව, දකුණු කොරියාවේ සහ තායිවානයේ සීග‍්‍ර ඉඩම් ප‍්‍රතිසංස්කරණ දිරි ගැන්නුවේය. එය, එම රටවල් දෙකේ පැවති ‘ගොවිජන ප‍්‍රශ්නය’ විසඳා ගැනීමටත්, ග‍්‍රාමීය දරිද්‍රතාව පිටුදැකීමටත් මහඟු අත්වැලක් විය. ඉහත කී නැගෙනහිර ආසියාතික රටවල්වලට ඒ සා කෙටි කාලයකින් කාර්මීකරණය විය හැකි වුණේ, එක් මහ බලවතෙකු එම රටවල් සඳහා ආයෝජන සහ වෙළඳ පොළවල් සපයා දීමට ඉදිරිපත් වීම නිසා ය. ඇමරිකානු පරිත්‍යාගශීලීත්වයට ස්තුතිවන්ත වන්නට, දේශපාලනික වශයෙන් අවදානම්කාරී ආර්ථික බර කන්දරාවක් ජනතාව මත පැටවීමකින් තොරව සංවර්ධන ක‍්‍රියාදාමයන් දියත් කිරීමට එම රටවලට පිළිවන් විය.

මේ සත්‍යය, මෑත ඉතිහාසය තුළ ඇති වූ එක් විපර්යාසයක් මගින් මනාව පෙන්නුම් කෙරේ. චියැං කායි ෂෙක් චීනය පාලනය කරන අවධියේ, දූෂණයට සහ අකාර්යක්ෂමතාවට කුප‍්‍රකට ය. ඔහුගේ පාලනය යටතේ චීනය ව්‍යසනයෙන් ව්‍යසනයට පත්විය. හමුදාමය පරාජයන් සහ විදේශ බලවේග චීනය තුළ පැලපදියම් වීම් ද ඒ අතර වෙයි. චීන සමාජවාදී විප්ලවය ඇති වීමෙන් පසු චියැං කායි ෂෙක් ෆෝමෝසා දූපතට පලා ගියේය. අද තායිවානය නමින් හැඳින්වෙන්නේ ඒ ෆෝමෝසා දිවයිනයි. චීනය හිඟන අඩියට ඇද දැමූ චියැං කායී ෂෙක්, තායිවානය ආර්ථික වශයෙන් සංවර්ධනය කෙළේය. චියැං කායි ෂෙක් ගේ පරණ පුරුදු අව-පාලනය හරහා තායිවානය කඩා වැටෙන තෙක් චීනය පුලපුලා බලා සිටි තත්වයක් යටතේ, කිසි වරදක් කිරීමේ හැකියාවක් චියැං කායී ෂෙක්ට නොවුණි. ඔහු චීනයේ කළ දේ තායිවානයේත් කරන්ට ගියේ නම්, ඔහුගේ ඇමරිකානු අනුග‍්‍රාහකයන් ඔහුව පන්නා දැමීමට පවා ඉඩ තිබුණි. අලූත් භූ-දේශපාලනය, චියැං කායි ෂෙක්ට වෙනස් වීමට බල කෙළේය. එසේ නොවුණොත් ඔහු අතුගෑවී යාමට නියමිත වුණේය. ඇමරිකානු මුදල් සහ උපදෙස් යටතේ ඔහු වෙනස් වුණි.

‘ආසියානු ව්‍යාඝ‍්‍රයන්’ පිළිබඳව දේශපාලනික හේතු මුල් කරගෙන පතුරුවන ජනප‍්‍රිය ප‍්‍රවාදය තුළ, ඉහත කී අතිශය වැදගත් භූ-දේශපාලනික හේතු පැත්තකට දමා අවධාරණය කරන්නේ, දරදඬු පාලකයාව ය. ‘ඔබටත් ව්‍යාඝ‍්‍ර රටක් අවශ්‍ය නම්, හොඳ ඒකාධිපතියෙකු පත්කර ගන්න’ යන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවල ඔලමොට්ටලකම්වලින් හෙම්බත්ව සිටින ජනතාවට, අපේක්ෂිත ඒකාධිපතියන් (සහ ඔවුන්ගේ සහචරයන්) කියන දේශනාව ය. ඒ සයිරන් නළාවට ඇදෙන ලෝලියෝ, විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ, බොහෝ ය.

ඒකාධිපතියන් සහ ධන කුවේරයන්

සොඳුරු ආඥාදායකයෙකු පිළිබඳ මිථ්‍යාව ශ‍්‍රී ලංකාවේ බෝ වී ඇති තරම ගිය මාසයේ මනාව පෙනුණි. ඇමරිකානු ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ජනප‍්‍රිය රේඩියෝ වැඩ සටහනකට මුල පිරුවේය. එය, ‘ෆයර්සයිඞ් චැට්’ නමින් හැඳින්වුණි. ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයත් මෙනමින් සාකච්ඡුා මාලාවක් පවත්වයි. ගිය මාසයේ සාකච්ඡුා මණ්ඩපයට ව්‍යාපාරික ධන කුවේරයෝ කිහිප දෙනෙක් සහභාගී වූහ. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා ආණ්ඩුව පිළිබඳ විවේචනාත්මක මතයක් දැරූහ. එය පුදුමයක් නොවේ. ‘සොෆ්ට් ලොජික්’ ව්‍යාපාරයේ අශෝක් පතිරගේ කළ එක් ප‍්‍රකාශයක් මේ වැඩ සටහනට දේශපාලනික වැදගත්කමක් එක් කෙළේය. ඔහු මෙසේ කීය: ‘‘අපිට ඕනේ ශක්තිමත් නායකත්වයක්. අපිට ඕනේ කරන්නේ, පුංචි පහේ ඒකාධිපතියෙක්.’’

ඒකාධිපතියන් සහ ගජමිතුරු ධනපතියන් අතර ඇති පේ‍්‍රමය පරණ ය. විශ්වව්‍යාපී ය. ඒකාධිපතියන්ට, තමන් වඩාත් ප‍්‍රිය කරන ධනපතියෝ සිටිති. එවැන්නන්ට දියුණු විය හැකිය. ඒ දියුණුව ඔවුන් අත්කර ගන්නේ ජනතාවගේ වියදමින් පමණක් නොව, අවශේෂ ව්‍යපාරිකයන් ද බිල්ලට ගනිමිනි. වැඩියත්ම ඊට බිලි වන්නේ, සම්බන්ධකම් නැති හෝ අඩු ව්‍යපාරිකයන් ය. වෙනත් සෑම ක්ෂේත‍්‍රයකදී සේම ආර්ථිකය තුළත් ඒකාධිපතියෝ තමන්ට සහ තමන්ගේ ව්‍යාපාරික ගජමිතුරන්ට වාසි සහගත ප‍්‍රතිපත්ති පනවා ගැනීමට වගබලා ගනිති. ඒ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේදී ජනතාව ගැන හෝ නීතිරීති සහ අනපනත් ගැන හෝ හැඟීමක් ඔවුන්ට නැත.

තමා සිතන ‘පුංචි පහේ ඒකාධිපතියා’ කවුරුන් ද යන්න පතිරගේ මහතා කීවේ නැත. එසේ කීමේ අවශ්‍යතාවක් තිබුණේ ද නැත. වෙඬරුවේ උපාලි තෙරුන් සේ පතිරගේ මහතා ද බලා සිටින්නේ, ජනාධිපති රාජපක්ෂ කෙනෙකු ගැන ය. වැඩියත්ම, ගෝඨාභය ජනාධිපති කෙනෙකු ගැන ය. මේ අතර අහම්බෙන් මෙන්, විශේෂ මහාධිකරණය ඉදිරියේ ගෝඨාභයට සහ තවත් කිහිප දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවක පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වශයෙන් පතිරගේ මහතාගේ නම සඳහන් වෙයි. ඔහු ගෝඨාභයගේ නඩු නිමිත්තට අදාළ ව්‍යාපෘතිය සඳහා මාළු ටැංකියක් සහ සුරතල් මසුන් සපයා ඇති බව කියැවේ.

ඒකාධිපති පාලනයක් ප‍්‍රායෝගිකව කටයුතු කරන ආකාරය, ඞී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය පිළිබඳ සිද්ධියෙන් පැහැදිළි වෙයි. රාජපක්ෂලා තමන්ගේ රාජකීය ව්‍යාපෘතියට අනුගතව, තම දෙමාපියන් සැමරීමේ කෞතුකාගාරයක් හම්බන්තොට ගොඩනැගූහ. එවැන්නක් ප‍්‍රශ්නකාරී සිද්ධියක් නොවිය යුතුව තිබුණි. එපමණක් නොව, ප‍්‍රශංසණීය ක‍්‍රියාවක් ද විය යුතුව තිබුණි. ඒ, ඔවුන්ගේ මුදල් ඒ සඳහා වියදම් කෙළේ නම් ය. නැත්නම්, ‘රාජපක්ෂ පදනම’ හරහා අරමුදල් සපයා ගත්තේ නම් ය. එහෙත් ඒ සඳහා වැය කළ රුපියල් මිලියන 80 කට වැඩි මුදල ඔවුන් ගත්තේ මහජන ධනයෙනි. එයින් යම් කොටසක් ‘රාජපක්ෂ පදනම’ මගින් ආපසු රජයට ගෙවන ලදි. එහෙත් ඒ, බලයෙන් වීසි වූ පසුව ය. තව මිලියන 40 ක් ගෙවීමට තිබේ.

‘කාර්යක්ෂම ඒකාධිපතියන්’ ප‍්‍රායෝගිකව වැඩ කරන්නේ එලෙස ය.

මහින්ද අයියාගේ ජනකාන්ත භාවයේ ආශීර්වාදය සහ බැසිල් මල්ලීගේ සංවිධාන ශක්තිය නැතිව ගෝඨාභයට ජනාධිපතිවරණයකින් දිනිය නොහේ. පවුල මුල් කර ගත් වෙනත් ඕනෑම සංවිධානයක සාමාන්‍යයෙන් සිදුවන්නා සේ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළත් නෑ හුටපට යම් කාලයක් තිබිය හැකිය. බස් පුරවා කොළඹට මිනිසුන් ගෙන ඒමෙන් ආණ්ඩු බලය අල්ලා ගැනීමට ගිය නාමල් රාජපක්ෂගේ කුරුළු මොළේ විකාරරූපී අසාර්ථකත්වය, එවැනි නෑ හුටපටයක ප‍්‍රතිඵලයකි. එහෙත් අවසානයේදී පවුල එක්සත් වීමට ඉඩ තිබේ. ඒ අස්සේ ආණ්ඩුවත් හැම පැත්තකින්ම නා ගන්නා විට, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයකින් ජය ගැනීමේ ඉඩකඩ බොහෝ ය.

විදේශ ණය නිසා මානව හිමිකම් කෙරෙහි ඇති කෙරෙන බලපෑම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥ හුවන් පැබ්ලෝ බොහොස්ලව්ස්කි මෑතකදී ශ‍්‍රී ලංකාවේ කළ සංචාරයකින් පසුව මෙසේ කීය: ‘‘ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව තමන්ගේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ ප‍්‍රතිපත්ති තුළින් මෙන්ම යටිතල ව්‍යාපෘති විසින් ද මානව හිමිකම් කෙරෙහි ඇති කරන ලද බලපෑම පිළිබඳ නිසි තක්සේරුවක් කළ යුතුව තිබේ.’’ එසේම, සමාජ වියපැහැදම් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ගැනත්, ප‍්‍රගාමී බදු ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම ගැනත් ඔහු කතා කෙළේය. ඒවා මහඟු උපදෙස් ය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, එය වටහා ගැනීමට තරම් ප‍්‍රඥාවක් ආණ්ඩුවට තිබේ ද යන්නයි.

අවාසනාවකට, මේ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිවලින් නිරූපණය වන්නේ, දේශපාලන-සමාජ ලිබරල්වාදය සහ දේශපාලන-ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර පවතින භයානක නොපෑහීමයි. මේ මාසයේ පමණක්, පිටි සහ පිටි නිෂ්පාදනවල මිල ඉහළ ගියේය. පෙට‍්‍රල් මිල නැවත වැඩි විය. දුම්රිය ගාස්තු වැඩි කිරීමක් ප‍්‍රකාශයට පත්විය. එය, නියඟයෙන් පීඩාවට පත්ව සිටින දිස්ත‍්‍රික්ක 11 ක ජීවත් වන 600,000 ට අධික ජනතාව ඇතුලූ දැනටමත් පීඩාවට පත්ව සිටින ජනතාවට දැරිය නොහැකි බරකි.

අඟහිඟකම් විඳ දරා ගැනීම කවුරුන් අතරෙත් බෙදාහදා ගැනෙන්නේ නම් එය කාටත් පිළිගත හැකිය. ජනතාවට අඟහිඟකම් පටවන පාලකයන් ජනතා මුදලින් සුඛ විහරණයේ යෙදෙන්නේ නම්, එය ජනතා කෝපයට තුඩුදෙයි. ඒ කෝපය, ජනප‍්‍රිය දේශපාලනයේ යෙදෙන බාල ජනතාවාදියාට කියාපු තුරුම්පුවකි. වැඩියත්ම, ලෝකය පුරා හිස ඔසවමින් සිටින දක්ෂිණාංශිකයන්ට එය, අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමේ ඉල්ලමකි. අතාර්කිකත්වය සහ වෛරය උසිගැන්වෙන විට වැඩියත්ම ඊට බිලි වන්නේ, ආර්ථික දරිද්‍රතාවෙන් පෙළෙන මිනිසුන් ය. ජීවන වියදම් ඉහළ යන විට සහ සාක්කු හිස් වන විට, ජාතිවාදී සහ ආගමික භීතිකා ඉබේ ලියලයි.

ශ‍්‍රී ලංකාවේ සංක‍්‍රමණික ප‍්‍රශ්නයක් නැත. එහෙත් ඉන්දියානු පවුල් 250 ක් නෙදුන්කෙර්නි නැමැති ගමේ පදිංචි කරවා ඇති බවට පැතිරුණු බොරු ආරංචියක් නිශ්ප‍්‍රභ කිරීම සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට සිදු විය. මේ බොරු ප‍්‍රවෘත්තිය, රටේ පවතින අතාර්කික වටපිටාව මනාව නිරූපණය කරයි. ඊළඟ මැතිවරණය දියත් වන්නේ සහ අවිචාර බලවේග විසින් එවැන්නක් ජයගනු ලබන්නේ එවැනි අතාර්කික පරිසරයක ය.

*2018 සැප්තැම්බර් 15 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ “Idiots and Sharks” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

ජ්‍යෝතිෂය, තාරකා විද්‍යාව සහ හේතු බුද්ධිය

$
0
0

උපතිස්ස පෙතියාගොඩ

අචාර්ය​ උපතිස්ස පෙතියාගොඩ

අපේ ජනතාව කෙරෙහි ඇති කරනු ලබන බරපතල බලපෑම නොවන්නට, ජ්‍යෝතිෂය අවුලක් නැති පිනවීමක් වශයෙන් අපට බැහැර කළ හැකිය. මේ ශාස්ත‍්‍රය පදනම්ව ඇත්තේ තාරකා විද්‍යාව මත යැයි ජනප‍්‍රිය විශ්වාසයක් තිබේ. අපට බලපෑම් කරන මේ ශාස්ත‍්‍රය තුළ ඇති ප‍්‍රධාන නිරූපකය වන්නේ හඳහනයි. අපේ ජීවිතයට අදාළ බොහෝ දේවල් රැුඳී ඇත්තේ ඒ මත ය. මේ හඳහන් සැකසීම සහ ඒවා භාවිතයේදී කාරණා තුනක් සැලකිල්ලට ගැනේ. ඒවා නම්, උපන් වෙලාව, උපදින අවස්ථාවේ ග‍්‍රහයන්ගේ පිහිටීම සහ ඒ අනුව ලියැවෙන වේලාපත්කඩය අර්ථ නිරූපණය කිරීමයි. මේ කාරණා තුන සම්බන්ධයෙන්ම පවතින්නේ දැඩි අවිනිශ්චිතතාවකි.

උපන් වෙලාව

ඉපදීම අරුත් ගන්වන්නේ කෙසේද? හිස එළියට එන මොහොත ද, මුළු සිරුරම එළියට එන මොහොත ද, එසේත් නැත්නම් වැදෑමහ කපන අවස්ථාව ද? එසේත් නැතහොත් පිළිසිඳ ගන්නා මොහොත විය නොහැකි ද? ඔරලෝසුව කොතෙක් දුරට නිවැරදි වේ ද? නිරවද්‍යතාව තත්පරයට ගණනය කෙරේ ද? එය ග‍්‍රීන්විච් වේලාව ද, නැත්නම් උපදින ස්ථානයේ වේලාව ද?

ඒ මොහොතේ ග‍්‍රහ පිහිටීම්

අන්තරීක්ෂ අවකාශය, රාශී දොළහක් නියෝජනය වන සේ බෙදා තිබේ. සූර්යයා සහ චන්ද්‍රයා හරියටම ගත්තොත් ග‍්‍රහයන් නොවුණ ද, හඳහනට ඒවා ද සැලකිල්ලට ගැනේ. තාරකා මණ්ඩල (මන්දාකිණි) මිලියන 30 ක් ඇතැයි කියති. අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය එයින් එකක් පමණි. හඳහන සඳහා එය පමණක් සැලකිල්ලට ගැනීම සාධාරණ ද? කාලය සටහන් කිරීමේ ඉතා සුළු දෝෂයක් නිසා වුව, නියමිත රාශිය වෙනස් විය හැකි නිසා, ඒවායේ පැහැදිළි සීමා මායිම් තිබිය යුතුය. එසේම ආලෝකයත් අන්තරීක්ෂයේ ගමන් කළ යුත්තේ සෘජු රේඛාවක් ඔස්සේ ය. ආලෝකය ‘නැවෙන්නේ’ ද? සාපේක්ෂතා න්‍යාය මේ ගැන කියන්නේ කුමක් ද?

ලග්න නිශ්චය කිරීමේ විවිධ ක‍්‍රම ඇති බව පෙනේ. ‘බටහිර’ ක‍්‍රමයට එය නිශ්චය කෙරෙනුයේ, ඒ ඒ මාසයේ දින පරාසයන් අනුව ය. උදාහරණයක් වශයෙන්, ජනවාරි 21 වැනි දා සිට පෙබරවාරි 20 වැනි දා දක්වා උපදින සියලූ දෙනා අයත් වන්නේ එක ලග්නයකට ය. පෙබරවාරි 21 වැනි දා සිට මාර්තු 20 වැනි දා දක්වා උපදින අය අයත් වන්නේ එක ලග්නයකට ආදී වශයෙනි. පෙරදිග ක‍්‍රමය ඊට වඩා සංකීර්ණ ය. එහිදී තනි දවසක උපදින පුද්ගලයන් ලග්න කිහිපයකට අයත් විය හැකිය. තෝරා ගත යුත්තේ මොන ක‍්‍රමය ද කියා හෝ එක ක‍්‍රමයක් අනිත් ක‍්‍රමය සමග පෑහිය හැකි ද කියා හෝ දැන ගැනීම ප‍්‍රහේලිකාවකි. අපේ වැනි රටවල්වලටත් වෙන වෙනම හඳහන් ඇති බව කියනු ලැබේ. ඒවා නිශ්චය කරන්නේ කෙසේද? පැහැදිළිවම, එම රටවල් බිහි වූ නිශ්චිත හෝ විශ්වාස කරනු ලබන වේලාවක් අනුව විය නොහේ. අපේ පෘථුවිය පාදක කොටගෙන ඇති වෙලාවල් සහ දින, අනිත් ග‍්‍රහයන්ටත් සම්බන්ධතාවක් දක්වයි ද?

ක‍්‍රමය කුමක් වෙතත්, ප‍්‍රශ්න බොහෝ ය. බිලියන හතක් වන මුළු ලෝක ජනගහනය රාශි දොළහෙන් එකකට අයත් විය යුතු නිසා, එක රාශියකට අයත් වන ජනගහනය ආසන්න වශයෙන් මිලියන 585 ක් වන්නේය. ඒ සියල්ලන්ට තිබිය යුත්තේ එක ලග්නයකි. එනිසා ඒ සියල්ලන්ගේ අනාගතය සමාන විය යුතුය. පුවත්පත්වල පළවන ලග්න ඵලාඵල තුළ අඩංගු අනාවැකි කියැවීම අපූරු අත්දැකීමකි. එකම දෙය නැවත නැවතත් කීම සහ ඒ පැත්තටත් නැති මේ පැත්තටත් නැති වචනවලින් ඒවා ගහණ ය. පුවත්පත් තම වටිනා ඉඩකඩ මේ සඳහා වෙන් කිරීම අරුමයකි. මගේ ලග්නය සතියක් තිස්සේ නිරීක්ෂණය කළ විට, ඒවායේ ඒකාකාරී බව, අස්පෂ්ට බව සහ හිස් බව මට කැපී පෙනුණි. ඔබේ ලග්නයත් එසේ නිරීක්ෂණය කොට බලන්න. ඉන් පසු, මෙතරම් නිරර්ථක නොවන වෙනත් කාරණයක් සඳහා ඒ ඉඩකඩ පාවිච්චි කරන්නැයි කතුවරයාට ලියා දන්වන්න.

වේලාපත්කඩය සහ එහි අර්ථ නිරූපණය

යට සඳහන් කළ කරුණු මත හඳහනක් සකස් කිරීමේදී අඳින ද්වි-මාන වේලාපත්කඩය තුළ ග‍්‍රහයන් 9 දෙනා ස්ථානගත කරනු ලැබේ. බොහෝ ප‍්‍රශ්න පැන නගින්නේ මේවා අර්ථකථනය කිරීමේදී ය. එය කියැවීම රඳා පවතින්නේ පංචාංග ලිත සහ කියවන්නාගේ නිපුණත්වය මත ය. ඒ අනුව, ‘හොඳ’ හඳහන් බලන්නෝ සහ ‘එතරම් හොඳ නැති’ හඳහන් බලන්නෝ සිටිති. ඇතැම් අනාවැකි සහ සිදුවීම් සමපාත වීම, ප‍්‍රමාණවත් ඔප්පු කිරීමක් නොවේ.

ග‍්‍රහයන්ගේ විශේෂ පිහිටීම්වලින් සහ ග‍්‍රහයන්ගේ සංගමනයන්වලින් අදහස් වන්නේ කුමක් ද යන්න වඩාත් පැටලිලිකාරී ය. ග‍්‍රහ බලපෑම රඳා පවතින්නේ ස්කන්ධය මත ද, දුර මත ද? ග‍්‍රහ පිහිටීම්වලින්, එකිනෙකාගේ බලපෑම් හිලව් කරන්නේ හෝ වැඩි කරන්නේ හෝ කෙසේද? නක්ෂස්ත‍්‍රය බොහෝ කොට රඳා පවතින්නේ පුරාතන විශ්වාස සහ ප‍්‍රාදේශීය සම්ප‍්‍රදායයන් මත ය.

ඒ සියල්ල සලකා බලන විට, සාධාරණව නිගමනය කළ හැක්කේ, තාරකා විද්‍යාවට හෝ ගණිතයට හෝ වෙනත් විද්‍යාවකට නක්ෂස්ත‍්‍රයට නෑකම් කිව නොහැකි බව ය. එය ආවේශය ලැබිය යුත්තේ වෙනත් තැන්වලිනි.

හිටපු ජනාධිපතිවරයා මොන තරම් ගුප්ත-විද්‍යා මත රැුඳී සිටියේ ද යත්, ‘රාජකීය නක්ෂස්ත‍්‍රකරුවෙකු’ ස්ථාපනය කිරීමටත් ඉඩ තිබුණි. වාසනාවකට, ‘වැරදියට කියැවූ’ අනාගත මැතිවරණ ප‍්‍රතිඵලයක් නිසා ඒ අබග්ගයෙන් අපි බේරුනෙමු. එසේ වෙතත්, සුර, පංචායුධ, වළලූ, හක්ගෙඩි, මැණික් වැද්දූ මුදු සහ යන්ත‍්‍ර අපේ රටේ මෝස්තරයක් වී තිබේ. සමහරුන්ව බිය වද්දා ඒවා විකුණනු ලැබේ.

රටක්, නැකැත් වෙලාවල්, සුභ දිසාවන් සහ වෙනත් ‘ෆෙං ෂුයි’ ආදිය මත විශ්වාසය තැබීම අමන කමකි. විශේෂ අවස්ථාවල්, විශේෂයෙන් අලූත් අවුරුද්ද වැනි අවස්ථාවල් හැම වැඩකටම වෙලාවක් නියම කරයි. (ලිප ගිනි මෙලවීම, ඇඳුමේ වර්ණය සහ පළමු ආහාර වේල ගැනීමේ වේලාව ආදිය ඊට නිදසුන් ය*. එක ‘රාශියකින්’ තවත් රාශියකට සූර්යයා මාරු වීම නොනගතය වෙයි. අලූත් අවුරුද්දේ හිස තෙල් ගෑම රාජ්‍ය රාජකාරියක තත්වයට පත්ව තිබේ.

එහෙත් මේ ගාම්භීර පිළිපැදීම්, රටේ ඇමති මණ්ඩලය තෝරා ගන්නේ යැයි කියන ‘විද්‍යාත්මක’ ක‍්‍රමය සමග පෑහෙන්නේ නැත. මෙවැනි ඇදහිලි සහ විශ්වාස අස්සේ විද්‍යාව ඉගැන්වීම සඳහා වැය කරන අධ්‍යාපනයේ අදාළත්වයත් කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකිය.

හඳහන ඉතා හානිකර අන්දමින් පාවිච්චියට ගැනෙන එක් අවස්ථාවක් වන්නේ, විවාහ කටයුතුවලදී ය. ඉරිදා පත්තරේක මංගල යෝජනා තීරු දිහා බලන්න. ‘පිළිතුරු ලිවීමේදී හඳහනේ කොපියක් අත්‍යාවශ්‍යයි’, ‘කේතු හතේ නම් ඉල්ලූම් නොකරන්න’ ආදී කතා එමට හමු වෙනු ඇත. ඒ සමගම, ‘දෙමාපියන් දෙන්නාම වෘත්තිකයන්’ යැයි සඳහන් පාඨවලින් කියැවෙන්නේ, අධ්‍යාපනය හෝ සමාජ පංතිය අනුව මේ විශ්වාසයන් වෙනස් නොවන බවයි. මේ අතින් අන්තිම නරක, සිංහල සහ දෙමළ පුවත්පත් ය. මෙවැනි විශ්වාස නැති, හඳහන් පවා නැති වෙනත් රටවල්වල මිනිස්සු ප‍්‍රීතිමත් විවාහ ජීවිත ගත කරති. අපේ තරුණ තරුණියන්ගෙන් කොපමණ පිරිසක්, ‘හඳහන් නොගැලපීම’ නිසා, තමන්ගේ මනාපයට සහකාරයෙකු/සහකාරියක සොයාගෙන ප‍්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීමෙන් වළක්වනු ලැබ ඇත් ද? විවාහවල සාර්ථක අසාර්ථක භාවය සහ හඳහන් ගැලපීම සහ නොගැලපීම අතර සහසම්බන්ධය පිළිබඳ දත්ත පිරික්සා බැලූවොත් සමහර විට සත්‍යය අවබෝධ වනු ඇත.

විපතට පත් දුප්පතුන් යම් සහනයක් සොයන විට ඔවුහූ ඉතා පහසුවෙන් සාස්තරකාරයන්ගේ අනුග‍්‍රාහකයන් බවට පත්වෙති. මේ සාස්තරකාරයෝ, මිල අධික ‘පූජා’ ඇතුළු වෙනත් යාතුකර්ම නිර්දේශ කරති. එය, මිනිසුන්ව බිය වැද්දීමකි. මිනිසුන්ව සූරාකෑමකි. වංචාකාරී ප්‍රෝඩාවකි.

යමෙකු අධි-තාත්වික මෝහනයක සහනය සොයන්නේ නම් එය ඔහුගේ හෝ ඇගේ පුද්ගල වරණයකි. එහෙත් වැදගත් පුද්ගලයන් රජයේ වියදමින් එසේ කරන විට සහ දුප්පතුන්ව බිය ගන්වා මිල අධික යාතුකර්මවලට තල්ලූ කරන විට, එසේ නොකළොත් මාරක අනතුරුවලට මුහුණදීමට සිදුවිය හැකි බවට තැති ගන්වන විට, එය සාපරාධී ය. උදාහරණයක් වශයෙන් ගතහොත්, අපේ දේශපාලඥයන් වරම් පතා වෙනත් රටවල දේවාලවලට යන්නේ අපේ දෙවිවරුන්ට වඩා ඒ දෙවිවරුන් බලවත් නිසා ද? සාමාන්‍ය සිහි බුද්ධිය ඇති මිනිසුන් පවා පොල් ගසා හතුරන්ට ශාප කිරීම, පළතුරු වට්ටි පූජා කොට වරම් ඉල්ලීම, මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතු තත්වයකි.

මගේ අරමුණ වන්නේ, හේතු බුද්ධියෙන් යුතුව මේ පිළිබඳ සංවාදයක් ඇති කිරීම මිස අවුලක් ඇති කිරීම නොවේ. ශිෂ්ට සම්පන්න ආකාරයෙන්, වරදක් පෙන්වා දෙතොත්, එය නිවැරදි කර ගැනීමටත් මම මැළි නොවෙමි.

2018 සැප්තැම්බර් 16 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Astrology, Astronomy & Reason නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

නිවාඩ් කබ්රාල්

$
0
0

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

රාජපක්ෂ ආණ්ඩුවේ 2006 සිට 2010 දක්වා මහා බැංකු අධිපති ධූරය දරන ලද්දේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාය. ඒ මහතා ගණකාධිකාරි වරයෙකි. එසේම ඔහු මහා බැංකු අධිපති ධූරයට පත් වන විට රජයේ වගකිවයුතු කිසිඳු බරපතල තනතුරක් දරා නොතිබුන අතර එවකට 2006 දී හා ඊට පෙර දසකයේදී ලෝකයේ ප්‍රමුඛ සුදුකරපටි හොරුන්ගේ වංචාවක් වූ පිරිමීඩ මුල්‍ය සුදුවේ ලංකාවේ නියෝජිතයා වූ අතර ඒ වන විටත් රටේ සාර්ථක මිනිසුන් සිය ගනනක් පිරිමීඩ ජාවාරමට  අසුව තම ජිවිතයෙන් වන්දි ගෙවා තිබුණු අතර ලක්ෂ ගනනක් මිනිසුන් රුපියල් කොටි  දහස් ගනනක් මෙම සුදුවට යොදා තිබිණි. එම ජාවාරම නිර්මාණ ශීලි සුදු කරපටි හොරුන් විසින් ලෝකය පුරා ගොඩ නගන ලද මහා පරිමාණ වංචාවකි. එය ඇමරිකානු ජතාවගේ ආර්ථිකය පවා අර්බුදයට යැවිය. එමෙන්ම තුන්වැනි ලෝකයේ රටවල් බොහොමයක එදිනෙදා ජන ජීවිතය මෙන්ම ආර්ථිකයන්ද විනාශ කළේය. ලෝකයේ ශීලාචාර රටවල් බොහොමයක් නව නීති ගෙන එමින් ආර්ථිකය තුල එවැනි ක්‍රියාකාරකම් වල යේදීම තහනම් කොට බොහෝ දෙනෙකු සිරගත කළේය. නමුත් ලංකාවේදී රාජපක්ෂ වරු බලයට පත් වීමත් සමගම පිරිමීඩ ජාවාරමේ මහා මොළකරු රටේ ඉහලම මුල්‍ය ආයතනයේ ප්‍රධානියා කළේය. මහා බැංකුව යනු රටේ මුල්‍ය පරිපාලනයේ රන් දෙවොලයි. 2006 සිට අද දක්වා මේ මොහොතේත් රටේ ඇති වන මුල්‍ය ක්‍රියාකාරකම් වලට කබ්රාල්ගේ බලපෑම ඇති විශාලය. එදා කබ්ාරල්ගේ පත් වීම අනාගත ලංකාවේ ආර්ථිකයේ විනාශයේ හැඩය පෙන්වා දීමක් ලෙස එවකට සිටි මුල්‍ය විශේෂඥයින් පෙන්වා දුන්නේය.

යහපාලන රජයට විශේෂයෙන් එල්ල වන චෝදනාවක් වන බැදුම්කර ගනුදෙනුවේදී එහි අදාල සමාගමේ එක අධ්‍යක්ෂකවරියක් වන්නේ නවාඩ් කබ්රාල්ගේ සහෝදරියකි. ඇයට අයත් විවිධ සමාගම් රාශියක්  විසින්  නිවාඩ් කබ්රාල් මහා බැංකු අධිපති ධූරය දරන සමයේ රුපියල් කෝටි විසිහත් දහසක බැදුම්කර ගනුදෙනු මහා බැංකුව සිදු කොට තිබිණි. ඒවා ගැන සොයා බැලිය යුතු හා ලංකවේ නීති ක්‍රියාත්මක කරන ආයතන වලට කල නොහැකි තරම් සංකීර්ණ මුදල් ගනු දෙනුය. තාක්ෂණිකව ගත හොත නිවාඩ් කබ්රාල් දැන් සිටිය යුත්තේ සිර ගෙදරය. මන්ද රටේ සංවේදී මුල්‍ය රහස සමග සිදු කලයුතු මහබැංකු බැදුම්කර ගනුදෙනු වලට තම එක කුස උපන් සහොදරිය සමග සම්බන්ද වීමය. මෙය ඉතාම අශිලාචාර ලැබැදියාව පිළිබඳ ගැටලුවකි.

එසේම කබ්රාල්ගේ සමයේදී රටේ ආර්ථිකයට විශාල හානියක් කල සිදු වීමක් වන්නේ ග්‍රීක බැදුම්කර ගනු දෙනුවයි. එනම් ග්‍රීසිය බංකොලොත් බව ප්‍රකාශ කිරීමට පැය කීපයකට පෙර රුපියල් කොටි විසි දහසකට වඩා වැඩි මුදලක් ලංකාවේ මහා බැංකුව විසින් ග්‍රීක බැදුම් කර මත ආයෝජනය කළේය. සැබවින්ම ඊට පැය කීපයකට පසු ග්‍රීසිය නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශයට පත් කල අතර ලංකාවට එම මුළු මුදල් ප්‍රමාණයම අහිමි විය. රාජපක්ෂ වරුන්ට හෝ ලංකාවේ ජනතාව ආර්ථික කටයුතු ගැන දැනුමක් තිබේ නම් නිවාඩ් කබරල් ට අද එම ගනුදෙනුව නිසාම පමණක් සිර ගෙදර හෝ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වනු ඇත. අපි අද මුහුණ දෙන බොහෝ ආර්ථික ගැටළු ඒවායේ ප්‍රතිපලය. ඉන් පසුවද කබ්රාල් තවත් බොහෝ කාලයක් ලංකාවේ මහා බැංකුවේ අධිපති දුරය දැරිය. ලංකාව යනු සුදු කරපටි හොරුන් ආර්ථිකය ගැන තීන්දු ගන්නා රටක් බව ලෝකයම දැන ගත්තේ එදාය. එහිදී එම ගනුදෙනුවේ රටේ මුදල් අයතා ලෙස යොදවා ඔහුන් ඉපයූ මුදල කොතෙක්දැයි සෙවිය යුතුය.

අනෙක් විශාලතම ගනුදෙනුව වන්නේ හෙජින් තෙල් ගනු දෙනුවයි. එහිදී රටට සිදු වූ පාඩුව ඩොලර් බිලියනයකට ආසන්නය තවමත් ලංකාවේ රජය එම මුදල් ලෝකයේ මුල්‍ය ආයතන ගනනාවකට ගෙවමින් පවතී. ලංකාවට චීනයෙන් අධික පොලියට ණය ගැනීමට සිදු වුයේ හෙජින් ගනු දෙනුවෙන් ලෝකයේ මුල්‍ය ආයතන  සමග ඇති කර ගත ගැටළු නිසාවෙ. එම ගනුදෙනුවද නිවාඩ් කබ්රාල්ට තම ජිවිත කාලයම සිර ගෙදරක ගත කිරීමට ප්‍රමාණවත්ය. රජපක්ෂ වරු එදා ආර්ථිකය පාලනය කිරීමට බර දී තිබුනේ සුදු කාරයෙකුට බවට ඇති හොදම සාක්ෂිය හෙජින් ගනු දෙනුවයි.

මේ පිලිබඳව පරීක්ෂණ පවත්වා වැරදි කරුවන්ට දඩුවම් කිරීමට යහපාලන රජය කටයුතු නොකිරීම අරුමයකි. එදා කබ්රාල්ලා විසින්  පාලනය කරන ලද ආර්ථිකය විසින් රටට කරන ලද හානියේ ප්‍රතිපල අද මෙම ආණ්ඩුවත් රටේ ජනතාවත් විදිමින් තිබේ. මිනිසුන් සිල්ලර කඩයෙන් අද මිලදී ගන්න හාල් ටිකට සිනි ටිකට කිරි පැකට්ටුවට හෙජින් ගනුදෙනුවේ පාඩුව එකතු වී තිබේ. පාමසියෙන් ගන්නා පැනඩෝල් පෙත්තට පවා ග්‍රීක ගනුදෙනුවේ පාඩුව, වංචාව එකතු වී තිබේ. රටේ අද පවතින මෙකි නොකී සමාජ ආර්ථික ගැටළු වලට එදා කබ්රාල් ලගේ සුදු වගකිව යුතු වේ. 

එවන් අය මහින්ද රාජපක්ෂ සමග ඉදිරියට පැමිණ ආර්ථිකය ගැන ප්‍රකාශ දීම ලංකාවේ තුල ඔවුන් නැවත බලයට පත් වුව හොත් අනාගතයේ දී ක්‍රියාත්මක කරන ආර්ථික වැඩ පිළිවෙල හා මිනිසුන් පිලිබඳ කදිම සාක්ෂිකයකි. විමල් වීරවංශගේ වචනයෙන්ම කියන්නේනනම් ආර්ථික එ ඝාතකයින්ය. ඔවුන් ඝාතනය කල ආර්ථිකය අපි අද විදවන්නේය.

Print Friendly, PDF & Email

රුපියලේ බිඳවැටීම හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික අවපාලනය 

$
0
0

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

යහපාලන ආණ්ඩුව බලයට පැමිණි දා සිට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය පහත වැටීමේ ප්‍රවනතාවයක් පැවතුණි. එය අද වන විට  භයානක නාය යෑමක් දක්වා වර්ධනය  වී ඇත. 2014 අවසානයේදී රුපියල් 131 ක් වූ ඩොලරයේ මිල අද රුපියල් 170 ඉක්මවා ගොස් දිනපතාම තවදුරටත් අවප්‍රමාණය වෙමින්  පවතී. රුපියලේ වටිනාකම මේ ආකාරයට කඩා වැටීමට හේතුව වෙනත් මූල්‍ය ඒකකයන්ට සාපේක්‍ෂව ඩොලරයේ අගය ඉහල යෑම යැයි ආණ්ඩුවේ ප්‍රධානීන් කියයි. මගේ ආණ්ඩු කාලය තුළ 2007 – 2008 වසර වලදී ඇතිවූ ලෝක ආර්ථික අර්බුදය හේතුකොටගෙන දකුණු කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක මුදල් ඒකක ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව විශාල වශයෙන් කඩා වැටුණි.  එදා ඒ ඇතිවූ ලෝක ආර්ථික අර්බුදයෙන් ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවට වලබලා ගැනීමට අපේ ආණ්ඩුව සමත්විය.  

2007 – 2008 වසර වලදී මුලු  ලෝකය පුරාම හමාගිය දරුණු  ආර්ථික අර්බුදයක් තිබුණු බව වත් බොහෝ ශ්‍රී ලාංකිකයින් දැනගෙන සිටියේ නැත. 2007 දී රුපියල් 110.62 ක් වූ ඇමරිකානු ඩොලරය 2009 දී ලෝක ආර්ථික අර්බුදය අවසන් වූ පසුත් රු. 114.94 ක අගයක පැවතියේය. 2008 දී ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට නම්කරනු ලැබූ කොටි සංවිධානය මගේ ආණ්ඩුව විසින් පරාජය කරනු ලැබුවේ 1930 ගණන් වලින් පසුව ලෝකයේ ඇතිවූ දරුණුම ආර්ථික බිඳවැටිම මධ්‍යයේය. ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ අර්බුද කළමනාකරණය කිරීම මිස ඒ ගැන මැසිවිලි නැඟීම නොවේ. 2008 දී මුලු ලෝකය පුරාම හමා ගිය ඒ දරුණු ආර්ථික අර්බුදයෙන් බේරී සිටීම අපටද යුහුසුලුව නොයෙක් පියවර ගැනීමට සිදුවිය. ලංකාවේ එක් වානිජ බැංකුවක් අස්ථාවර බවක් පෙන්නුම් කල විට, අපි එය වහාම රාජ්‍ය බැංකුවක අධීක්‍ෂණය යටතට පත්කොට මුලු බැංකු ක්‍ෂේත්‍රය පුරාම පැතිරීමට ඉඩ තිබූ අර්බුදයක් වලක්වා ගත්තෙමු. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ව්‍යාපාරික ආයතන වලට දිරිගැන්වීම් ලබාදී දේශීය නිශ්පාදනය උනන්දු කරවීම සඳහා ආනයන බදු වැඩි කිරීම වැනි ක්‍රියාකාරකම් තුළින් ඇමිරිකානු ආර්ථිකය ශක්තිමත් කොට ඇත. දේශීයව නිපදවිය හැකි දේවල්, විශේෂයෙන්ම කිරි නිශ්පාදන, බඩ ඉරිඟු, සෝයා, සීනි, ලූනු, අර්තාපල්, පලතුරු, එලවලු, කුකුල් මස් හා ඇතැම් කාර්මික නිශ්පාදන මෙරටේම නිපදවා ආනයන අඩු කිරීමේ ප්‍රතිපත්තියක් මගේ ආන්ඩුවටද තිබුණේය. ඊට වෙනස්ව වත්මන් ආණ්ඩුව අනුගමනය කරන්නේ කෙලවරක් නැති නිදහස් ආනයනික වෙළඳ  ප්‍රතිපත්තියකි. ආනයන අඩුකොට අපනයන වැඩි කිරීමට කිසිදු උපායමාර්ගයක් ඔවුන්ට නැත. ආණ්ඩුවක කාර්යභාරය වන්නේ ලෝක ප්‍රවනතා අධ්‍යනය කොට එයට සමගාමීව අපගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගැනීම මිස විදේශීය රටක නායකයෙකු ඔහුගේ ආර්ථිකය ශක්තිමත් කර තිබෙන බවත්, ඒ හේතුවෙන් අපේ රුපියලේ අගය බිඳ වැටෙමින් පවතින බවත් කියමින් මැසිවිලි නැගීම නොවේ.  

අපගේ මුදල් ඒකකයේ වටිනාකම පවත්වාගෙන යෑම සඳහා විදේශීය රටවල ආර්ථික උදාසීනත්වය මත රදා පවතින ආණ්ඩුවක් අපට සිටියහොත් මේ රට දරුණු අර්බුදයකට ඇද වැටීම වැලැක්විය නොහැක. රුපියලේ බිඳවැටීම නිසා සිදුවන්නේ සියලුම පරිභෝජන භාණ්ඩ හා අමුද්‍රව්‍ය වල මිල වැඩිවීම පමණක් නොවන බව අප අවබෝධ කරගත යුතුය. 2015, 2016, 2017 යන වසර වලදී අදට වඩා තරමක් අඩුවෙන් රුපියලේ අගය පහතවැටීම හේතුවෙන් වුවද ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර රුපියල් බිලියන 697 කින් වැඩිවී ඇති බව මහ බැංකු වාර්තා වල සඳහන් වේ. විදේශීය ණය ගෙවීම සඳහා රුපියල් වලින් ආදායම් උපයා ඩොලර් මිලදී ගැනීමට ආණ්ඩුවට සිදුවේ. මෙම වසර තුළ සිදුවී ඇති රුපියලේ කඩාවැටීම නිසා විදේශීය ණය බර කලින් අවුරුදු වලටත්  වඩා දරුණු අන්දමට වැඩිවනු ඇත. 

2015 පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම සදහා වත්මන් ආණ්ඩුව කිසිදු වග විභාගයකින් තොරව සිදුකල වැටුප් වැඩි කිරීම, ඉන්ධන මිල පහත හෙලීම හා ඇතුම් ආනයනික ආහාර ද්‍රව්‍ය වල බදු අඩු කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා ආණ්ඩුවේ වියදම් එක්වරම වැඩිවූවා පමණක් නොව ඉන්ධන හා මෝටර් රථ ආනයනයද වැඩි විය. මේ නිසා ඇතිවු වෙලඳ හා අයවැය පරතරය පියවීමට ආණ්ඩුව මහා පරිමානයෙන් ණය ගැනීමට පටන් ගත්තේය. විනිමය අනුපාතයේ සුලු වෙනසකින් වුවද විදෙස් ණය බර විශාල වශයෙන් වැඩිවිය හැකි නිසා මගේ ආණ්ඩුව විදේශීය වානිජ ණය ගැනීමේදී ඉතාමත්ම ප්‍රවේසම් විය. උදාහරණයක් වශයෙන් මගේ ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ අවුරුද්දකට දෙවතාවක් පමණි. එයින් ලබා ගන්නා ලද ණය ප්‍රමාණයද අවුරුද්දකට ඩොලර් මිලියන 350 ක සාමාන්‍ය අගයක් ඉක්මවූයේ නැත. 

ණය ආපසු ගෙවීම ආර්ථිකයට දරාගත නොහැකි බරක් නොවන්නට නම්, විදේශ විනිමය ණය පරිමාව ඉතා ප්‍රවේසමෙන් පාලනය කළ යුතුය. නමුත් වත්මන් ආණ්ඩුව ඉවක් බවක් නොමැතිව විදේශීය වානිජ ණය ලබාගෙන තිබේ.  2015 ජනවාරියේ සිට අද දක්වා මෙම ආණ්ඩුව ලබාගෙන ඇති මුලු විදේශ විනිමය ණය ප්‍රමාණය ඇ.ඩො. බිලියන 20.7 ක් වේ. ඒ 2015 ජනවාරියේ සිට අද දක්වා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම තුළින් ඩොලර් බිලියන 8.2 ක්, 2015, 2017 හා 2018 වන වසර වලදී නිකුත් කරන ලද සවරින් බොන්ඩ් තුළින් ඩොලර් බිලියන 6.1ක්, 2015 හා 2016 ඉන්දියාව සමඟ ඇතිකරගත් කරන්සි ස්වොප් ණය තුළින් ලබාගත් ඩොලර් බිලියන 2.2 ක්, 2016, 2017 හා 2018 යන වසර වලදී ජාත්‍යන්තර බැංකු හාරහා ලබාගෙන ඇති සින්ඩිකේටඩ් ලෝන් ඩොලර් බිලියන 2.7 ක් හා 2016 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් ඩොලර් බිලියන 1.5 ක් වශයෙන් වෙන්කොට පෙන්විය හැක. 

විදෙස් ණය බර නිසා රුපියලේ අගය අවප්‍රමාණය වීමත්, ඒ අවප්‍රමාණය නිසාම අපගේ විදේශීය ණය බර තවත් වැඩිවන විෂම චක්‍රයකට අප දැන් හසුවී සිටී. රුපියලේ බිඳ වැටීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපලේ භාණ්ඩ වල මිල අඩුවීමේ වාසියද ලංකාවේ ජනතාවට අහිමි වී තිබේ. මෙම වසර තුළ තුන් වතාවක් ඉන්ධන මිල වැඩිකොට ඇත. අද පෙට්‍රල් ලීටරයක් රු.149 ක් වන අතර ඩීසල් ලීටරයක් රු. 123 ක් වේ. නමුත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ටත් අඩුය. මගේ ආණ්ඩුවේ අවසන් අවුරුදු හතර තුළ දී වූ බැරලයකට ඩොලර් 109 ක්වූ සාමාන්‍ය බොරතෙල් මිලට වඩා අද බොරතෙල් මිල බෙහෙවින්ම අඩුය. 2008 දී අපි බැරලයකට ඩොලර් 97 ගණනේ බොරතෙල් ගෙන්වන විට ලංකාවේ පෙට්‍රල් ලීටරයක මිල රු. 120 ක් වූ අතර ඩීසල් රුපියල් 70 ක් විය. අද ලෝක වෙළඳපොලේ බොරතෙල් වල අඩු මිලත් ලංකාවේ ඉන්ධන වල ඉහල මිලත් අතර නොගැලපීමට  ප්‍රධාන හේතු රුපියලේ අවප්‍රමාණය හා ඉන්ධන මත පනවා ඇති බදුය. ආණ්ඩුව ඔවුන්ගේ ඉන්ධන මිල සූත්‍රය මොනම හේතුවකටවත් ප්‍රසිද්ධ නොකරන්නේ එයින් ආණ්ඩුවේ නොහැකියාව මෙන්ම ඉන්ධන මත අයකරන බදු ප්‍රමාණයද හෙළිවන නිසාය. 

ඉන්දියානු රුපියල ලංකාවේ රුපියලටත් වඩා අවප්‍රමාණය වී ඇති බව කියමින් ආණ්ඩුව මේ ඇති වී තිබෙන තත්වය සුලුකොට පෙන්වීමට උත්සාහ දරමින් සිටී. නමුත් ඉන්දියාවේ ආර්ථිකය ලංකාවේ ආර්ථිකය මෙන් දෙගුණයක පමණ අගයකින් වර්ධනය වෙමින් පවතින නිසා ඔවුන්ගේ ඔරොත්තු දීමේ ශක්තිය වැඩිය. අප අද මේ අත්විදිමින් සිටින්නේ මාගේ ආණ්ඩුව කාලයේ මතුවෙමින් පැවති නිශ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්ති අනුව වෙලඳ ආර්ථිකයකට පරිවර්තනය වීමේ ආනිසංශයි. අපට දැන් ලැබී ඇති දායදය වන්නේ 4% කටත් අඩු වර්ධන වේගයත්, බඩු මිල ඉහල යෑමත්, දේශීයව නිශ්පාදනය කල හැකි භාණ්ඩ පවා වැඩි වැඩියෙන් ආනයනය කිරීමත්, වත්මන් ආණ්ඩුව පරිභෝජනය සඳහා ලබා ගත් කෙටි හා මධ්‍යම කාලීන විදේශීය වානිජ ණය ගෙවීමත්, දිනෙන් දින බාල්දු වන රුපියලත්ය. මේ මතුවෙමින් තිබෙන ආර්ථික අර්බුදය වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්තිය හා ලංකාවට අවේනික ආර්ථික කලමණාකරන උපායමාර්ගයක් නොමැතිවීමේ ආනිසංශයි.

Print Friendly, PDF & Email

දෙමළ නඩුව නිසා සිර දඬුවම් ලැබූ ඩෙන්මාර්කයේ අධිකරණ ඇමතිවරයා

$
0
0

නවින්ද්‍ර ද සොයිසා

ආචාර්ය නවීන්ද්‍ර ද සොයිසා

මහජනතාවගෙන් ලැබෙන බලය දේශපාලන නායකයින් විසින් අයුතු ලෙස පරිහරණය කිරීම් දියුණු නොදියුණු සෑම රටකම සාපේක්‍ෂව අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන නීතියේ ආධිපත්‍යය සුරැකී පවතින රටවල වෙනස නම් මාර්ග නීති කඩකරන රියදුරාගේ සිට බලය අවභාවිතා කරන දේශපාලකයා දක්වා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වීමයි. 

තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා දේශපාලන බලය යොදා ගන සිදු කල අක්‍රමිකතාවයන් හේතුවෙන් දඬුවම් ලැබූ දේශපාලන නායකයන් පිළිබඳව ලංකාවේ නැතත් විදේශ රටවලින් මෑතකදීද අසන්නට ලැබේ. දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය වූ පාර්ක් ගන්-හේ මහත්මියට සහ බ්‍රශිලයේ හිටපු ජනපති ලූලා ද සිල්වා මහතාට විරුද්ධව දේශපාලන බලය අවභාවිතා කිරීමේ චෝදනාවලට එම රටවලදී නීතියෙන් දඬුවම් පැමිණවීම මෙයට කදිම උදාහරණයකි. තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන කෙසේ වෙතත් රටට සුභදායක වේ යයි අනුමාන කොට තීරණ ගැනීමේදී පවා තමාට පැවරී ඇති බලය ඉක්මවා යාමක් හෝ බලය අනවශ්‍ය ලෙස භාවිතා කිරීමක් සිදු කල අයට දඬුවම් ලබා දුන් අවස්ථාද දක්නට ඇත. මෙම ලිපියෙන් විස්තර කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වූ දෙමළ සරණාගතයින් සම්බන්ධයෙන් ඩෙන්මාර්කයේ හිටපු අධිකරණ ඇමතිවරයෙකු ගත් අත්තනෝමතික තීරණයක් ඔහුගේ දේශපාලන ජීවිතය අවසන් කල ආකාරයයි.

දෙමළ නඩුව ලෙස මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම සිදු වීම ආරම්භ වන්නේ 1987 දීය. 1980 දශකයේ මුල සිට ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයෝ දහස් ගණනක් ඩෙන්මාර්කයට සංක්‍රමණය වූහ. එම දශකයේදී පමණක් 3000 ඉක්මවූ මෙම සරණාගතයින් ඇතුළුව මැද පෙරදිග සහ යුගෝස්ලාවියාව වැනි රටවලින්ද විශාල වශයෙන් ඩෙන්මාර්කයට පැමිණියේ එම රටවල පැවති දේශපාලන සහ ජනවාර්ගික ගැටළු හේතුවෙනි. කෙසේ වෙතත් මෙසේ පැමිණෙන දහස් ගණනින් වූ සරණාගතයින් නඩත්තු කිරීම ඩෙන්මාර්ක රජයට ගැටළුවක් වන්නට විය. විශේෂයෙන්ම 1982 දී බලයට පත් වූ දක්ෂිනාන්සික දේශපාලන පක්ෂයක් වූ කොන්සර්වැටිව් පක්ෂය ප්‍රමුඛ රජයට මෙම තත්වය කෙසේ හෝ පාලනය කිරීමට අවශ්‍ය විය. 

මෙවකට අධිකරණ අමාත්‍යවරයා වූ එරික් නීන් හැන්සන් මහතාද සුළුතර ජනවර්ගයන්, විශේෂයෙන්ම සරණාගතයින් සම්බන්දයෙන් දරණ ලද්දේ ඍනාත්මක ආකල්පයකි. තම පෞද්ගලික දේශපාලන මතවාදය මෙන්ම තම රජයේ කැබිනට්ටුවේද මතය ගැන සැලකිලිමත් වූ එරික් නීන් හැන්සන් මහතා සරණාගත ප්‍රශ්නයට විසඳුම් සෙවීමට උත්සුක විය. 3000 ක් පමණ වූ ද්‍රවිඩ ජාතික සරණාගතයින් රටින් පිටුවහල් කිරීමටද මේ වන විට රජය සැලසුම් සකස් කරමින් තිබුණි. මේ තත්වය යටතේ එරික් නීන් හැන්සන් මහතා ද්‍රවිඩ ජාතික සරණාගතයින්ගේ පවුල් වල අයව ඩෙන්මාර්කයට ගෙන්වා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබු ඉල්ලුම්පත්‍ර විශාල සංඛ්‍යාවක් සලකා බැලීම නවත්වන්නට උපදෙස් ලබා දුන්නේය. අධිකරණ අමාත්‍යංශයේ උසස් නිළධාරින් තිදෙනෙකුද මෙම උපදෙස ලහි ලහියේ ක්‍රියාත්මක කර ඉල්ලුම්පත් සියගණනක් සලකා බැලීම අත්හිටවීය.

කෙසේ වෙතත් වැඩිකල් නොගොස්ම ජනමාධ්‍ය සහ විපක්‍ෂයේ දේශපාලන පක්ෂ විශාල සංඛ්‍යාවක් මෙම තීරණය නීති විරෝධී ක්‍රියාවක් මෙන්ම අධිකරණ අමාත්‍යවරයා තම බලය අයුතු ලෙස භාවිතා කිරීමක් ලෙස මතු කර පෙන්වන්නට වුහ. ඔවුනගේ මතය වූයේ රටේ පවතින නීතිය හරියාකාරව ක්‍රියාත්මක කල යුතු බවයි. පවතින නීතියට අනුව ඩෙන්මාර්කයට පැමිණ සිටි මෙම ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතයින්ට තම පවුල් වල සාමාජිකයින්ද ඩෙන්මාර්කයට ගෙන්වා ගැනීමට අයිතියක් තිබෙන බව ඔවුහු පෙන්වා දුන්හ. දූරදර්ශීව කල්පනා කර නීති සම්පාදනය කරනවා වෙනුවට නිතිය පසෙක තබා හිතු මතයට තීන්දු තීරණ ගෙන තම ධූරයට හිමි බලය අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා වූ එරික් නීන් හැන්සන් මහතාව තද බල ලෙස විවේචනයට ලක් විය.   

මේ අනුව 1989 ජනවාරි මාසයේදී එරික් නීන් හැන්සන් මහතා තම ධූරයෙන් ඉල්ලා අස්විය. රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට සහය දුන් අයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකුද වූ නිසා නොබෝ දිනකින් කථානායක ධූරයට පත් කලද පාර්ලිමේන්තුවේ සහ ජනමාධ්‍ය තුලින් මතු වූ විරෝධතා හමුවේ එම වසරේම ඔක්තෝබර් මස කථානායක ධූරයෙන්ද ඉල්ලා අස්වීමට සිදු විය. කෝපන්හේගන් විශ්වවිද්‍යාලයෙන් නීතිය හැදෑරූ, වසර 50ට ආසන්න කාලයක් දේශපාලනය වෙනුවෙන් තම ජීවිතය වෙන් කළ වරෙක  ඩෙන්මාර්කයේ ආරක්ෂක ඇමති වශයෙන්ද වරෙක  මුදල් ඇමති වශයෙන්ද කටයුතු කළ පරිණත සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයාට තම දේශපාලන දිවියට සමු දෙන්නට සිදු වූයේ 1910 න් පසු ඩෙන්මාර්ක් පාර්ලිමේන්තුවේ පළමු වරට දෝෂාභියෝගයකට ලක් වූ දේශපාලනඥයා හැටියටය. අධිකරණ අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පමණක් සිදු වූ බලය අවභාවිතාවට ප්‍රමාණවත් නොවන බව තර්ක කළ විපක්ෂය සහ ජනමාධ්‍ය දිගින් දිගටම එල්ල කල විරෝධතා හමුවේ 1990 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට සිදු විය.

වසර දෙකකට ආසන්න කාලයක් පවත්වන වන ලද විමර්ශන කටයුතු වල ප්‍රතිඵලය නම් පිටු 6000 ට ආසන්න පරීක්ෂණ වාර්ථාවක් 1993 ජනවාරි මස 14 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. මෙම වාර්ථාවට අනුව ඔප්පු වූයේද අධිකරණ අමාත්‍යවරයා නීති විරෝධී ක්‍රියාවක් සිදු කර ඇති බවයි. විදේශ ජනමාධ්‍ය “ඩෙන්මාර්කයේ වෝටර් ගේට් සිද්ධිය” මෙන්ම “ටැමිල්ගේට්” ලෙසද හැඳින්වූ මෙම සිදුවීම හේතුවෙන් 1993 දී කොන්සර්වැටිව් රජය විසුරුවා හැරීමටද සිදු විය.  

අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම, දෝෂාභියෝගයකට ලක්වීම හෝ රජය විසුරුවා හැරීම තුලින් පමණක් වරද කරුවනට නිසි දඬුවම් නොලැබෙන අතර මේ සඳහා පරීක්ෂණ වාර්ථාවෙන්ද නිර්දේශකර තිබුනේ අපරාධ නඩු පැවරීමට හැකි බවයි. මේ අනුව හිටපු අමාත්‍ය එරික් නීන් හැන්සන් මහතා සහ අධිකරණ අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව බලය අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ අපරාධ නඩු කටයුතු ආරම්භ කළේය. නඩු කටයුතු ආරම්භයේදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් රජයේ නීතිඥ වරයා පවසා සිටියේ “සරණාගතයින් හෝ සංක්‍රමණිකයින් පිලිබඳ ප්‍රතිපත්ති පසෙක තැබිය යුතුය. මෙම නඩුව ද්‍රවිඩ ජාතිකයින් පිළිබඳව පමණක් සීමා වූ නඩු කටයුත්තක් නොව සැම පුරවැසියෙකුටම, අධිකරණ අමාත්‍යවරයාට වුවද නීතිය බලපවත්වන ආකාරය පිලිබඳ නඩුවකි” යනුවෙනි.

අපරාධ නඩු විභාගය අවසානයේ 1995 දී බලය අවභාවිතා කිරීම පිලිබඳ චෝදනා තුනකට හිටපු අමාත්‍ය වරයා සහ ඔහු යටතේ සේවය කල අධිකරණ අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් තිදෙනෙකු වරදකරුවන් විය. එරික් නීන් හැන්සන් මහතාගේ සෞඛ්‍ය තත්වය සහ වයස ගැන සැලකිලිමත් වූ අධිකරණය මාස හතරක අත් හිටවූ සිර දඬුවමක් නියම කළේය. තීන්දුව පිලිබඳව සැහීමකට පත් නොවූ එරික් නීන් හැන්සන් මහතා මානව අයිතිවාසිකම් පිලිබඳ යුරෝපීය අධිකරණයට අභියාචනයක් (නීන් හැන්සන් එරෙහිව ඩෙන්මාර්කය 28972/95) ඉදිරපත් කලද යුරෝපා අධිකරණය විසින් ඩෙන්මාර්කයේ අධිකරණය සාධාරණ සහ අපක්ෂපාති ලෙස කටයුතු කර ඇති බව පවසා අභියාචනා ඉල්ලුම් පත ඉවත දමන ලදී.

දෙමළ නඩුව සම්බන්ධයෙන් “බලය ලත් මිනිසුන්” (Magtens Maend 1993) නම් වූ කෘතිය සම්පාදනය කළ මාධ්‍යවේදීන්ට අනුව අධිකරණ අමාත්‍යවරයා පමණක් නොව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධානියා ඇතුළු උසස් පරිපාලන නිලධාරීන් ගණනාවකට මෙම අපයෝජන සිද්ධිය නිසා තනතුරු අහිමි විය. 

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල නීතියේ ආධිපත්‍ය සුරැකීම සහ සියලුම පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන වන්නේ කෙසේද යන්න මෙම සිදුවීම තුලින් පෙන්වා දෙනවාට අමතරව නීතිගරුක පාලකයින් විසින් තම තීන්දු තීරණ සහ ක්‍රියාවන් වල වගකීම භාර ගන්නා ආකාරයද පෙන්වා දෙයි. දෙමළ නඩුවෙන් වසර දහයකට පසු ඩෙන්මාර්කයේ පළවන යූලන්ඩ්ස්-පෝස්ටන් පුවත් පතට එරික් නීන් හැන්සන් මහතා ප්‍රකාශ කර සිටියේ කිසිදු සැකයකින් තොරව තමා විසින් ගනු ලැබූ තීන්දු තීරණ වල වගකීම භාර ගන්නා බවයි. 

*පොත පත ඇසුරින් සකස් කලේ ආචාර්ය නවින්ද්‍ර ද සොයිසා – ඩෙන්මාර්කය

Print Friendly, PDF & Email

ශ්‍රී ලංකාව: අමුතුම රටක්

$
0
0

විශේෂ දේශපාලනික ලියුම්කරුවෙකු විසිනි –

දුෂ්කර අඩියකට මුහුණදී සිටි මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙන්ම මුදල් අමාත්‍ය මංගල සමරවීරත්, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉදිරි සති කිහිපය තුළ තවත් අඩු වීමට ඉඩ ඇතැයි දින කිහිපයකට පෙර කීහ. එසැණින්ම, විදේශ මුදල් හුවමාරුව සඳහා ඉල්ලා සිටින අනුපාතික වියදම සියයට 20 කින් ඉහළ ගියේය. මේ සිද්ධිය අපේ මතකයට ගෙනාවේ, හිටපු ජනාධිපති ඞී. බී. විජේතුංග දවසක් අපේ රාජ්‍ය බැංකු දෙක බංකොලොත් වී ඇති බව ප‍්‍රසිද්ධියේ කී අවස්ථාවේ තමන්ගේ මුදල් ආපසු ලබා ගැනීමට දෙනෝ දාහක් පොරකෑ සිද්ධියට ය.

රුපියල බාල්දු වීම වළක්වා ගැනීමට පුළුවන් කමක් නැතැයි මුදල් ඇමතිවරයා සහ මහබැංකු අධිපතිවරයා කියන විට වහා සිදු විය හැකි ප‍්‍රතිවිපාක දෙකක් තිබේ. රුපියල්වලින් ලංකාවේ ආයෝජනය කර ඇති විදේශිකයන් තමන්ගේ මුදල් ආපසු ගෙන යාමට එක පැත්තකින් තැත් කළ හැකි අතර, අනිත් පැත්තෙන් ඩොලර් මුදල් සතුව සිටින විදේශීය ශ‍්‍රී ලාංකිකයන් එම මුදල් ආපසු ලංකාවට ගෙන ඒමෙන් වැළකී සිටිය හැකිය. එසේම, තමන් සතු රුපියල් මුදල් ඇතොත් හැකි තාක් ඉක්මණින් ඩොලර්වලට ඒවා මාරු කර ගැනීමට ඔවුන් පෙළඹිය හැකිය. අවසානයේ ගත් විට ඒ සියල්ලෙන් ලංකාවේ ආර්ථිකයට සිදුවිය හැක්කේ මහත් වින්නැහියකි.

පසුගිය කාලය තුළ ලංකා රුපියල පමණක් නොව, වෙනත් බොහෝ ආසියාතික රටවල මුදල්වල වටිනාකමත් අවප‍්‍රමාණය වී ඇති බව අපි දනිමු. ශ‍්‍රී ලංකාවේ රුපියල සියයට 8 කින් බාල්දු වන විට, ඉන්දියානු රුපියල සියයට 13 කින් බාල්දු වී තිබේ. පාකිස්තානු රුපියල සියයට 12 කින් ද, ඉන්දුනීසියානු රුපියියා සියයට 9 කින් ද බාල්දු වී තිබේ.

එහෙත් ශ‍්‍රී ලංකාවේ අවාසනාව වන්නේ අප ඉතා කුඩා ආර්ථිකයක් වීමයි. අපේ මුළු දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් බිලියන 90 කි. ඉහත සඳහන් කළ රටවල් තුනේම අපනයනවල වටිනාකම පමණක් අපේ මුළු දළ දේශීය නිෂ්පාදිතයට වැඩි අගයක් ගනී. එසේම රුපියලේ අගය තීන්දු වන්නේ විදේශ විනිමය වෙළඳපොළ මත බවත්, ඒ සම්බන්ධයෙන් ගත් විට අපේ රුපියලේ වටිනාකම තීන්දු වන ප‍්‍රධාන නිර්ණායක දෙක වන්නේ, අපේ භාණ්ඩ සහ සේවා සම්බන්ධයෙන් පවතින ආනයන සහ අපනයන වටිනාකම් බවත් අපි දනිමු.

දැන් පවතින රුපියලේ ආරාවුල අපේ ආනයන ව්‍යාපාර අඩපන කරයි. අපනයනකරුවෝ පවා, දීර්ඝ කාලීන සැලසුම් ඇති කර ගන්නවා වෙනුවට, සමපේක්ෂණය කරමින්, එනම් අනාගතයේ සිදුවිය හැකි ලාබ අලාබ ගැන සිතමින් කල් මරති. ඩොලර් පැත්තකින් තබාගෙන ඔවුන් තව තවත් ණය ගැනීමට ඉඩ තිබේ. එවිට වෙනත් ව්‍යාපාර පැත්තකට තල්ලූ වෙයි. අද බොහෝ සමාගම්වල ව්‍යාපාරික සැලසුම් සහ වැය ශීර්ෂ මේ නිසා ව්‍යාකූල වී තිබේ.

විදේශ මුදල් පිටරටට ගලා යාම නතර කිරීම සඳහා ආණ්ඩුව, අත්‍යාව්‍ය නොවන වාහන ආනයනය සඳහා නිකුත් කෙරෙන ණයවර ලිපි සඳහා වන මුදල් සීමාව සියයට 100 කින් වහා ක‍්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. එසේම, එන්ජින් ධාරිතාව 1000 ට අඩු වාහන සඳහා අවම බද්දක් නියම කිරීම තුළින් සහ වෙළඳපොල විසින් නිශ්චය කෙරෙන ඉන්ධන මිල සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීම තුළින්, එතෙක් පැවති අධිකතර ආනයන වර්ධනය යම් තාක් දුරකට පාලනය කිරීමට සමත් වී ඇතත්, ඊට සමගාමීව සුඛෝපභෝගී වාහන සඳහා තිබෙන බද්ද වැඩි කොට නොතිබීම ප‍්‍රශ්නයකි.

වඩාත් අනතුරුදායක දෙය වන්නේ, රුපියලේ අගය බාල්දු වීම හේතුවෙන් රටේ භාණ්ඩ මිල වැඩි විය හැකි අතර ඒ හේතුවෙන් පාරිභෝගිකයන්ගේ ක‍්‍රය ශක්තිය බාල වී, ආර්ථික ක‍්‍රියාකාරකම් බෙලහීන වීමට ඇති ඉඩකඩයි. 2014 පැවති සියයට 6.25 අනුපාතිකය නැවත කිසි දවසක ඇති කර ගැනීමට හැකි වෙතැයි සිතිය නොහැකි මුත්, වර්තමාන අනුපාතිකයේ කප්පාදුවක් අවශ්‍ය කෙරේ. ඒ මගින් ආර්ථික වර්ධනයට තල්ලූවක් සැපයිය හැකිය. රටක ණය සැපයීමේ චක‍්‍රය නිසියාකාරයෙන් ක‍්‍රියාත්මක වන විට රටක ආර්ථික ක‍්‍රියාවලිය පණ ගසා නැගී සිටී.

ඇත්ත, ආර්ථික ක‍්‍රියාකාරීත්වයේ ප‍්‍රවේගය වර්ධනය කිරීම සඳහා තවත් ගත හැකි මාර්ග බොහොමයක් තිබේ. ව්‍යපාරික විශ්වාසය ඉන් ප‍්‍රධාන තැනක් ගනී. ආර්ථිකය නිසියාකාරයෙන් කළමනාකරණය කර ගන්නා රටවල පොලී අනුපාතය ඉහළ යන අතරේම රටේ ආර්ථික වර්ධනයත් සිදුවෙයි. සිංගප්පූරුවේ සහ ඇමරිකාවේ කෙටිකාලීන පොලී අනුපාත ඉහළ යමින් තිබේ. ඇත්තෙන්ම සිංගප්පූරුවේ ප‍්‍රතිපත්තිමය අනුපාතිකයක් ඇත්තේ නැත. එසේ තිබියදී, පොලී අනුපාත නොකපා රටේ ආර්ථික වර්ධනය ඇති කර ගැනීමට එරට සමත්ව තිබේ.

කෙසේ වෙතත්, අපේ තත්වය ඊට ඉඳුරා වෙනස් ය. විනිමය අනුපාතිකය ආරක්ෂා කර ගැනෙන යම් කඩුල්ලක් මහ බැංකුව තනා ගත යුතුව තිබේ. මන්ද යත්, විටින් විට මෙරටින් විදේශයට ආපසු ප‍්‍රාග්ධනය ඇදී යාම දැන් නිතර සිදුවන බැවිනි. ඇමරිකාව තවදුරටත් තමන්ගේ පොලී අනුපාත ඉහළ දැමීමට ඉඩ තිබේ. එසේ වන විට, ඒ ඩොලරය සඳහා අප ගෙවිය යුතු මිල තවත් ඉහළ යයි. එබැවින්, රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා අපේ විදේශ සංචිතය ප‍්‍රසිද්ධියේ වියදම් කිරීමට කැමති නැති වුවත්, ඉහත කී අපේ විනිමය අනුපාතිකය යම් තාක් දුරකට හෝ ආරක්ෂා කර ගැනෙන බාධක කඩුල්ලක් තනා ගත යුතුව තිබේ.

ලංකාවේ පරිභෝජන මට්ටමට සාපේක්ෂව ගත් විට අපට ඇත්තේ කුඩා දේශීය නිෂ්පාදන පදනමකි. එසේම, දේශීය ණයත් ඩොලර්කරණය වුණොත් මූල්‍ය අර්බුදයක අවදානම මතුවිය හැකිය. ශ‍්‍රී ලංකාවේ තවත් අවාසනාවක් වන්නේ, අපේ විදේශ බැරකම්වලින් බහුතරයක් රාජ්‍ය ණයවලින් සමන්විත වීමයි.

දේශපාලනික තත්වය

රටේ ආර්ථික ස්ථායිතාව ඇති කර ගැනීම සඳහා, පවතින දේශපාලනික තත්වයෙන් උදව්වක් ලැබෙන්නේ ද නැත. ජනාධිපති සිරිසේන නිතරම පාහේ අගමැතිවරයා එල්ල කරගෙන ගෙන යන ප‍්‍රහාරය හේතුවෙන් සිදුවන්නේ, ව්‍යාපාරික විශ්වාසය බිඳ වැටීමයි. රටේ උද්ධමනය සියයට 5 ක පමණ ඉහළ මට්ටමක පැවතියත් මේ වසරේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 3.7 කින් වර්ධනය වීමට නියමිත ය. එහෙත් එය, පසුගිය පස් වසරක සාමාන්‍ය වර්ධන අනුපාතිකය වන සියයට 4.2 සමග සසඳද්දී, අඩු වර්ධනයකි. 2020 දීත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මේ වන විට වැඩි වැඩියෙන් කැමැත්තක් දක්වන බව පෙනෙන ජනාධිපතිවරයා, ඉදිරි අයවැයෙන් පසුව දැනට රටේ ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින ආර්ථික විද්වතුන්ව ඉවත් කොට තමාගේ පිරිසක් ඒ තැන්වලට පත් කිරීමට ඉඩ තිබේ. ඒ, අනාගත ජනාධිපතිවරණයක දී තමාට විශේෂ දේශපාලනික වාසියක් ලබා ගත හැකි ආකාරයේ පොදු අපේක්ෂකයෙකු බවට යළිත් වරක් පත්වීමට ය.

එක්සත් ජාතික පක්ෂය විසින් ගනිමින් සිටින ආර්ථික පියවර ඔහු ප‍්‍රසිද්ධියේ විවේචනය කරයි. එසේම වික‍්‍රමසිංහට කිට්ටුවෙන් සිටිතැයි කියන සගයන්ට විරුද්ධව තමා පියවර ගන්නා බවට ඔහු තර්ජනය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙකුට සම්බන්ධකම් ඇති ගොඩනැගීම් ව්‍යාපාරිකයෙකුට රාජ්‍ය බැංකු දෙකෙන් අනවශ්‍ය අන්දමේ විශාල ප‍්‍රමාණයේ ණය සපයා තිබීම පසුගිය දා ඔහු ප‍්‍රසිද්ධියේ විවේචනය කෙළේය.

අනිත් අතට, මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ පවතින ඒකාබද්ධ විපක්ෂයත් මහත් වූ ප‍්‍රශ්නවලට මුහුණදී සිටී. මෑතකදී ඔවුන් පැවැත්වූ විරෝධතාව කෙළවර වුණේ, ඔවුන්ගේම ගණනයන් අනුව පවා අසාර්ථකත්වයකිනි. මනා සැලසුමකින් තොරව දියත් කළ එම විරෝධතාව බැසිල් රාජපක්ෂගේ නොසතුටට හේතු වී ඇති බව ප‍්‍රසිද්ධ කාරණයකි. පැහැදිළිවම, ඒකාබද්ධයේ මධුසමය සමාප්ත වී තිබේ. තවත් රාජපක්ෂ කෙනෙකුගේ පැමිණීම පිළිබඳ නොසතුට එම කඳවුර තුළින්ම මතුවෙමින් තිබේ. රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇත්තෙන්ම ක‍්‍රියාත්මක වන්නේ එයාකාරයෙනි.

කෙසේ වෙතත්, මේ රටට අවශ්‍ය කරන්නේ හොඳ නීතිරීති ය. ශක්තිමත් ආයතන පද්ධතීන් ය. අකමැත්තෙන් වුවත්, සීමා මායිම්වලට ගරු කරමින් වැඩ කරන දේශපාලනික නායකයන් ය. අන්ත අසරණ දුප්පතුන්ව කබලෙන් ලිපට වැටිය හැකි ආකාරයෙන් හදිසියේ ඇති වන බාහිර ආර්ථික කම්පනයන්ගෙන් ශ‍්‍රී ලංකාව ආරක්ෂා කරගත හැකි ආකාරයේ නායකයන් ය.

*2018 සැප්තැම්බර් 22 වැනි දා ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ “Sri Lanka: A Land Like No Other” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

රාජපක්ෂවරු අවසානයක් නැති උගුලක

$
0
0

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ලංකාවේ දේශපාලනයේ ඊලග තීරණාත්මක මැතිවරණය බවට ජනාධිපතිවරණය පත් වෙමින් තිබේ. පවතින දේශපාලන තත්වය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නිතීයානු කූල පසුබිමක් නොමැති අතර එය පැවැත්විය යුතුනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් නව මැතිවරණ පනතක් සම්මත කර ගත යුතු වේ. ඒ අනුව තාක්ෂණිකව නැවත ලංකාව තුල පළාත් සභා පිහිටුවීමට ආණ්ඩු ක්‍රමය තුල ඇති ප්‍රතිපාදන අකර්මන්‍ය කොට ඇත. එබැවින් ලබන වසරේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභාමැතිවරණ පවත්වෙතැයි කිව නොහැක. මේ කාරණා අනුව ලංකාවේ ඊලග මැතිවරණය වන්නේ ජාතික මැතිවරණයක් වන ජනාධිපතිවරණයයි.

එම මැතිවරණය ලංකා ඉතිහාසයේ අඩුම බලතල සහිත ජනාධිපතිවරයා තේරීම සදහා පවත්වනු ලබන මැතිවරණයයි. එනම් 19 වන ආණ්ඩුක්‍රම සංශෝදනයට අනුව ජනාධිපතිවරයාට නියමිත බලතල විශාල ප්‍රමාණයක් මීලග ජනාධිපතිවරණයෙන් පසුව එම ධූරයට අහිමි වන අතර  ඒවායින් වැඩි ප්‍රමාණයක් අගමැතිවරයා සතු වේ. මේ අනුව රටේ බලවත්ම හා තීරණාත්මක තනතුර බවට අගමැතිධූරය පත් වේ.

එක්සත් ජාතික පක්ෂයත් අවශේෂ පක්ෂත් ජනාධිපතිවරණයට එලඹෙනුයේ ජනාධිපතිවරයා මෙන්ම අගමැති අපේක්ෂකයාද රටට හෙළි කරමිනි. මෙවන් තත්වයක් තුල පොහොට්ටු පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ ඉදිරිපත් විය හැකි අතර ජනාධිපති අපේක්ෂකයා තවමත් නිශ්චිතව කිව නොහැකිය. එය බොහෝ විට නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය පදනම් කරගනිමින් එසේම රාජපක්ෂ පවුලට වඩාත් බලවත්ව රට පාලනය කල හැකි චරිතයක් ඉදිරිපත් කිරීමට ඉඩ තිබේ. ඒ සදහා ඔවුන් සලකා බලමින් සිටිනුයේ ශිරන්ති රාජපක්ෂ ඉදිරිපත් කිරීමටය. පක්ෂ අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් ඒ වෙනුවෙන් තිබුනද මහින්ද රාජපක්ෂ සිටිනුයේ ශිරන්ති ජනාධිපති ධූරයටත් තමන් අගමැති ධුරයටත් ඉදිරිපත්ව රටේ බල කේන්ද්‍රය තම න්‍යෂ්ටික පවුල සතු කර ගැනීමේ චේතනාවෙනි.

එම පිල තුල රාජපක්ෂ වරුන්ගෙන් තොර පැවැත්මක් නොමැති අතර ජිවිතයේ හත් වන දශකයේ කල් ගෙවන මහින්ද රාජපක්ෂගේ එකම අරමුණ තමන්ට ස්වභාවධ​ර්මයෙන් ලැබී ඇති සිමා සහිත කාලය ඉක්ම යෑමට ප්‍රථම නාමල් රාජපක්ෂට හා ඔවුන්ගේ සහෝදරයන්ට රට තුල ස්ථාවරත්වයක් හා ආරක්ෂාව සකස් කොට දීමටය.

එමෙන්ම දැන් පවතින දේශපාලන තත්වය අනුව රාජපක්ෂවරු සිටිනුයේ විශාල අර්බුදයකය. විශේෂයෙන් යෝෂිත රාජපක්ෂ හා නාමල් රාජපක්ෂට එදිරිව බරපතල මුල්‍ය අපරාධය නඩු දෙකකක් ඇසෙමින් පවතී. එසේම තවත් නඩු ගණානවක් ආරම්භ වීමට නියමිතය. ඉන් සමහරක් ඉතා බරපතල මනුෂ්‍ය ඝාතන වැනි අපරාධයන්‍ ය​. එම නිසාම රටේ බලය ලබා ගෙන එම නඩු වලින් නිදහස් වීම ඔවුන්ගේ විශලතම හා බරපතලම ප්‍රමුඛතාවයයි. බලය ලබා ගැනීමට හැකියාවක් නොමැති බව හෝ ඒ පිළිබඳ සැක සංකා පවතීනම් ඔවුන්ගේ ඊලග තෝරා ගැනීමට බොහෝ විට ඉඩ ඇත්තේ ඔවුන්ගේ නිදහස හා ආරක්ෂව වෙනුවෙන් තමන් සතුව ඇති බලය ආණ්ඩුව සමග බෙදා ගැනීමයි. දේශපාලන වේදිකාවේ කියන පරිදි වර්තමාන බල අධිකාරිය සමග ඩීල් දැමීමයි දැනටමත් ඒ සදහා මුලික පදනම් දමා ඇති බවට කනින් කොනින් ඇසේ.

මෙමගින් සැබෑ ලෙසම අර්බුදයට යන්නේ විමල් විරවංශ හා ජෝන්ස්ටන් වැනි දැටමත් නඩු වලින් වරදකරුවන් වීමට අසන්න ව සිටින එම පිලේ පිරිස් ය. ඔවුන්ට එම පිලට බලය ලබා ගැනීමෙන් තොර පැවැත්මක් නොමැත්තේය. නමුත් රාජපක්ෂවරු සිටිනුයේ වෙනත් මතයකය. එනම් බලය ලබා ගැනීම සම්පුර්ණයෙන් සියයට සියක් විශ්වාසදායක ලෙස සාර්ථක නොවන්නේනම් ඒ වෙනුවෙන් අවංක හා බරපතල උත්සහයක් යොදා ආණ්ඩුව අපහසුතාවයට පත් කොට ආණ්ඩුව සමග විරසක නොවීමේ ගිවිසුමකය. ඒ එම පවුලේ  ආරක්ෂාවටය. එම නිසාම එදා බරපතල ගෝසාවක්ව තිබු ආණ්ඩු විරෝධය අද සිහින් කෙදිරියක් බවට පත් වී තිබේ.

අවසාන වශයෙන් කිව යුත්තේ ආණ්ඩුව ඒ එයට සම්බන්ද දේශපාලන බලවේග වලට 2020 ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට මුහුණ දීමට සිදු වනුයේ පවුල් වාදයෙන් ඔත්පල වූ, ජාතිකවාදයෙන් අබලන් වූ, වයස මරණය අවිනිශ්චිත බව නිසාම දුර්වල වූ කැලි කැඩී වෙන් වූ ග්‍රාමීය මට්ටමේ නියෝජිතයින්ගේ අශීලාචාර ගිලිහි ගිය ගෞරවයෙන් යුතු විපක්ෂ බලවේගයකටය. එය ජය ගැනීම ආණ්ඩුවේ දේශපාලන පක්ෂ වල වගකීමයි.

එකස්ත් ජාතික පක්ෂයෙන් එම අවස්ථාවේ ඉදිරිපත් කල යුතු හොදම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවට මේ වන විටත් ජනතාවට කියා තිබේ. එය රනිල්, සජිත් විය හැකිය. රනිල් නවීන් විය හැකිය. සජිත් අකිල වීමටද ඉඩ තිබේ. සමහර විට නවීන් අජිත් පෙරේරා වූව වීමට ඉඩ තිබේ, ඒ සදහා එකසත් ජාතික පක්ෂය තුල එකගතාවයක් තිබේ. එම මොහොතේදී හොදම අපේක්ෂකයා ඉදිරිපත් වනු ඇත.

කෙසේ වෙතත් රටේ සිවිල් බලවේග හා ජාත්‍යන්තරය තවදුරටත් රාජපක්ෂවරු මේ රට පාලනය කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ නැත. විශේෂයෙන් ඉන්දියාව හා බටහිර අපේ පැරණි මිතුරන් රාජපක්ෂවරු බලයට පත්වනවාට විරුද්ධය. රාජපක්ෂවරු නැවත බලයට පත්වුවහොත් එය කලාපයේ ආරක්ෂාවටත් ප්‍රඡාත්‍රන්ත්‍රවාදයටත් මානව අයිතිවාසිකම්වලට විශාල ගැටළුවක් බව ඉන්දියාව හා බටහිර කල්පනා කරයි.

චීනය රාජපක්ෂවරු බලයට පත් වීම අපේක්ෂා කරද්දී මුළු ලෝකයම රාජපක්ෂට විරුද්ධව විශාල බලවේගයක් ක්‍රියාත්මක කරමින් තිබෙනුයේ ඔවුන්ගෙන් මේ ලෝකයේ දේශපාලනයට අනිකුත් ආර්ථික හා සාමාජීය තත්වයන්ටත් විය හැකි හානිය පිළිබදව තක්සේරුවක් ඇතිවය.

මේ අනුව රාජපක්ෂවරුන්ට බලයට පත් වීම හුදු සිහිනයක් වන තරමට අර්බුදයක ගිලී තිබේ.

Print Friendly, PDF & Email

විරෝධතාව, අරාබි වසන්තය සහ සිම්බාබ්වේ

$
0
0

රවි පෙරේරා

රවි පෙරේරා

‘‘ක්‍රිකට් ක්‍රීඩාවෙන් මිනිසුන්ව ශිෂ්ට සම්පන්න කෙරේ. යහපත් මහත්වරුන්ව නිර්මාණය කෙරේ” – රොබට් මුගාබේ

සැප්තැම්බර් 5 වැනි දා උදෑසන වෙන දාට වඩා කොළඹ නගරය නිශ්ශබ්ද විය. එසේම යම් අපහසුවක් දනවන වාතාවරණයක් ද එහි විය. ලොකු දෙයක් වීමට යන පාටක් පෙනෙන්ට තිබුණි. පවතින ආණ්ඩුව කඩා වැටෙන්ට ඉඩ තිබුණි. ලේ වැගිරීමක් පවා සිදුවන්ට ඉඩ තිබුණි.

එදා කොළඹ පාරතොටේ වෙන දා මෙන් යානවාහන තදබදයක් නොවීය. බස්වල බාගයක්වත් සෙනග සිටියේ නැත. වෙන දාට උදේ රැුයින් දකින්ට ලැබෙන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එදා දක්නට නොවීය. යම් කලබලයක් ඇති වෙතැයි සැක කළ ගෘහනීහූ සකසුරුවමින් ඉතිරි කළ සොච්චම් ඉතිරිය පවා වැය කරමින්, හාල්, පරිප්පු, පොල් ආදී අත්‍යාවශ්‍ය දේවල් කල් තියා රැුස්කර ගන්ට පෙළඹුණහ.

ප‍්‍රධාන විපක්ෂය වූ ඒකාබද්ධය දින ගණනක් තිස්සේ සිටියේ තර්ජන පාමිනි. මහා බල සෙනගක් කොළඹට ගෙන්වා අගනුවර වටලා දුර්වල ආණ්ඩුව පෙරලා දමන බවට ඔවුහූ ඉඟි කළෝය. එනම්, මැතිවරණයකින් හෝ කුමන්ත‍්‍රණයකින් නොව, බල සෙනග පෙන්වා ජයග‍්‍රහණය අත්පත් කර ගැනීම ඔවුන්ගේ අරමුණ වූ බවයි. ඒ මහා සෙනගේ විරෝධතාව උඩ ආණ්ඩුව අස්ථාවර කොට ගෙදර යැවීමට එහි නායකයෝ බලාපොරොත්තු වූහ. එසේ ආණ්ඩුව පෙරලා දැමීමෙන් පසු බලයට පත්වන්නේ කවුරුන් ද, ඒ මොන වැඩ පිළිවෙලක් යටතේ ද යන්න ගැන කිසි පැහැදිළි කිරීමක් නොවුණි.

ජනතා විරෝධතා හරහා ආණ්ඩු පෙරලා දැමූ මෑත කාලීන ඉතිහාසයක් අප දැක තිබේ. එසේ පෙරලා දැමුණේ, බොහෝ කාලයක් තිස්සේ එම රටවල් පාලනය කළ ශක්තිමත් පාලන තන්ත‍්‍රයන් ය. ඒ තත්වය වැඩියත්ම දැක ගැනීමට ලැබුණේ අර්බුදකාරී මැද පෙරදිග කලාපයෙනි. එය ‘අරාබි වසන්තය’ වශයෙන් හැඳින්විණ. ටියුනීසියාව, ලිබියාව සහ ඊජිප්තුව එසේ ජනතාව බලමුළු ගැන්වීමෙන් පෙරලා දැමුණු රාජ්‍යයන් ය. බලසම්පන්න පවුල් පාලනයක් යටතේ අත්තනෝමතික පාලකයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ පාලනය කෙරුණු මේ රටවල් බෙහෙවින් දූෂිතව පැවතියේය.

ඔවුන්ගෙන් බොහෝ දෙනා තම දේශපාලනය පටන්ගෙන තිබුණේ කැරලිකරුවන් වශයෙනි. එසේ වෙතත්, සීමාන්තික බලය පරිහරණය කිරීමේදී ඔවුහූ දුෂ්ට නරුමයන් බවට පත්ව සිටියහ. බටහිර සියල්ලට එරෙහිව මහා ඝෝෂා කළ ලිබියානු නායක ගඩාෆිගේ පවුලේ සාමාජිකයන්, විශේෂයෙන් ඔහුගේ පුතුන් බටහිර රටවල මහ පරිමාණව ආයෝජනය කොට තිබුණි. ස්විස් බැංකුවල විශාල රහස් ගිණුම් පවත්වාගෙන ගිය ඔවුන්ට, බටහිර රටවල නිශ්චල දේපළ සහ නවීන පන්නයේ යානවාහන පමණක් නොව, සුඛෝපභෝගී විනෝද නාවුක යාත‍්‍රා පවා තිබුණි.

මේ අරාබි රටවල පාලක පවුල් තම තමන්ගේ රටවල් මොන තරම් ගෙල ග‍්‍රහණයෙන් ගෙන තිබිණි ද යත්, පවුලේ කෙනෙකුගේ ආශීර්වාදය නැතිව රටේ කිසිවක් කර ගත නොහැකි තත්වයක් උද්ගතව තිබුණි. කොමිස් ගැහිලි සහ වෙනත් අයථා වරදාන, සමාජයේ සාමාන්‍ය සම්මතය බවට පත්ව තිබුණි. ඒ සියල්ල, පාලක පවුලේ සාමාජිකයෙකුව ඉපැදීමේ ආනුභාවයෙනි. එහෙත් මේ මහ බලධාරී කල්ලියට පිටින් සියල්ල ඇනහිට තිබුණේ නැත. මේ සමාජ කෙමෙන් ඉදිරියට ගියේය.

අධ්‍යාපනය ඉහළ යද්දී, ලෝකයේ වෙනත් තැන්වල සංචාරය කරද්දී සහ ලෝකය දැන කියා ගද්දී, ජනතාවගේ අපේක්ෂාවන් ද ඊට සමගාමීව වර්ධනය විය. ඒ අනුව ඔවුන් වඩා යහපත් ජීවිතයක් සහ වඩා පුළුල් නිදහසක් සොයා යද්දී, අතීතයේ සිටි ‘විමුක්තිදායකයන්’ දැන් වන විට තමන්ගේ පීඩකයන් බවට පත්ව ඇති බව ඔවුන්ට අවබෝධ විය. තෙල් ආකරවලින් මොන තරම් තෙල් ගලා ආවත්, තම තමන්ගේ වාසිය සඳහා පමණක් පේ වී සිටි කුඩා පාලක කල්ලිය වැඩ කෙළේ රටේ සමස්ත ආර්ථික කාර්යක්ෂමතාව සඳහා නොව. රටේ ධනය තමන්ගේ සාක්කුවේ දමා ගැනීම සඳහා ය.

2011 වන විට මිනිස්සු පාරට බැස්සෝය. එහෙත් මේ බලවත් පවුල් නිකංම බලය අතහැරියේ නැත. එවිට ලේ වැගිරීම් සහ ප‍්‍රචණ්ඩත්වය රජ විය. එහෙත් ජනතාව නතර කළ නොහැකි විය. දශක ගණනක් තිස්සේ බලයේ සිටි පාලකයන් වාෂ්ප වී ගියේ, වසන්තයේ හිරු උදාවත් සමග හිම දිය වී යන්නා සේ ය. දීර්ඝ කාලයක් තිස්සේ මර්දනයට යටත්ව සිටි මේ රටවල්වල අලූත් ආරම්භයක් සඳහා නව ප‍්‍රාර්ථනා ලියලන්නට විය.

අවාසනාවකට, එතෙක් ආශාවෙන් බලා සිටි වසන්තය වහා නැසී ගියේය. අරාබි ලෝකය, සමහර විට, බුද්ධිමය, සංස්කෘතිකමය සහ අධ්‍යාත්මික වශයෙන් තවමත් පුරුදු කෝවෙන් කැඞී යාමට සූදානමක් නැතිවා විය හැකිය. ‘වසන්තය’ හේදී ගියේය. අලූත් ‘බලවත්තු’ බලයට ආහ. නැවතත් එම රටවල් ඇදී යන බව පෙනෙන්නේ, ‘අසන්තෝසයේ ශීත සෘතුව’ දිසාවටයි.

මේ ‘අරාබි වසන්තය’ සමග සැප්තැම්බර් 5 වැනි දා ලංකාවේ සැලසුම් කළ තොවිලය මොන ආකාරයකින්වත් සමාන කිරීමට බැලීම විකාරයකි. මේ දෙක, අහස පොළොව තරමට සම කළ නොහැකි අවස්ථා දෙකක් වන බැවිනි.

කොළඹට පැමිණෙන විරෝධතාව සංවිධානය කෙළේ, දෙවරක්ම මෙරට ජනාධිපති පදවිය දැරූ මහින්ද රාජපක්ෂ ය. එම විරෝධතාවයේ සංවිධායකයන් බොහොමයක් දෙනා ජනතාවගෙන් පඩි ලබන සහ ජනතා ධනයෙන් අනේක වරදාන භුක්ති විඳින, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ය. රජයෙන් ලැබෙන බංගලාවල වෙසෙන මොවුන් විරෝධතා ව්‍යාපාරය පැවැත්වෙන ස්ථානයට පවා ගියේ අධි සුඛෝපභෝගී යානවාහනවලිනි. ඒවා ද, ජනතා මුදල්වලින් ලබා ගත් පාරිතෝෂික මිස අන් කිසිවක් නොවේ. මොවුන්ගේ ආරක්ෂාවට රියැදුරන් සහ ආරක්ෂකයන් ද සපයා දී තිබුණේ ජනතාවමයි. ඒ වහල්ලූ, හාම්පුතුන්ගේ ආවතේව කළෝය. මන්ත‍්‍රීවරයාගේ ටෙලිෆෝනය රැුගෙන යාම, ඔහුගේ වතුර බෝතලය උස්සාගෙන යාම වැනි තවත් රාජකාරි ඒ අතර වෙයි. වැදගතා එවැනි දේවල් තමන්ම කර ගැනීම තමාගේ තත්වයට තරම් නොවන දෙයක් සේ සලකයි.

ඇත්ත වශයෙන්ම, අද ප‍්‍රශ්නය තිබෙන්නේ ආණ්ඩුව සහ විපක්ෂය අතර නොව. ඒ දෙගොල්ලන්ම තම තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සිටින්නේ එකම කඳවුරක ය. මේ රටේ සැබෑ සටන ඇත්තේ ඊනියා ජනතා නියෝජිතයන් සහ ඔවුන්ට බලය පවරන ඡුන්දදායකයන් අතර ය. අපේ යුගයේ මහා සදාචාර අරගලය ඇත්තේ එතැනයි.

අවුරුදු හැත්තෑවක් තිස්සේ අපේ ජනතාව මහා බලාපොරොත්තු පුරවාගෙන ඡුන්ද පොළට ගියහ. එහෙත් මෙතෙක් බලයට පත් සෑම ආණ්ඩුවක්ම ඒ ජනතා බලාපොරොත්තු සාධනය කිරීමෙහි ලා එක්කෝ තත්පරව නැත. නැත්නම් අසමත්ව ඇත. එහි ප‍්‍රතිවිපාකය වී ඇත්තේ, රට දිනෙන් දින දිළිඳු භාවයට පත්වීමත්, ලෝකයට ණයගැති වීමත් ය.

මීට ප‍්‍රතිපක්ෂව, 1965 දී මැලේසියාවෙන් කැඞී ගිය සිංගප්පූරුව නැමැති පුංචි දිවයිනට තනියෙන් ගෙන යන අනාගතයක් ගැන සිතා ගැනීම පවා එදා ලේසි පහසු දෙයක් නොවීය. එරටේ ස්වභාවික සම්පත් තිබුණේ නැත. විරැුකියාව තිබුණේ ඉතා ඉහළ මට්ටමක ය. මැලේසියාව නැමැති එතෙක් තිබූ මහා වෙළඳපොලත් ඊට අහිමි විය. එහෙත් අවුරුදු පහක් ඇතුළත් ඔවුහූ තමන්ගේ නිවැරදි ගමන් මග සොයා ගත්හ. අවසානයේ සාඩම්බරයෙන් යුතුව එම රට නැගී සිටියේ, ශ්‍රේෂ්ඨ නායකයන් එරටේ සිටි බැවිනි.

1950 දශකයේ මුල් කාලයේ දකුණු කොරියාව යුද්ධයෙන් විනාශ වී ගියේය. එහෙත් 1970 දශකය වන විට එරට ධනවත් රටක තත්වයට පත්වීමේ අඩිතාලම් දමා ගත්තේය. 1970 දශකයේ චීනය ඉතා දිළිඳු රටකි. එහෙත් දශක දෙකක කාලයක් තුළ එරට ලෝක ආර්ථිකයේ ප‍්‍රධාන බලවතෙකුගේ තත්වයට පැමිණියේය.

අප මුහුණදෙන සංකීර්ණ ප‍්‍රශ්න, හුදෙක් කාලෙන් කාලෙට අලූත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමෙන් විසඳා ගත නොහැකි බව පැහැදිළි ය. හැම මැතිවරණයකින්ම පසුව, සුදු හැඳ ගත් රංචුවක් දිව්රුම් දෙති. ඔවුන්ගෙන් සෑහෙන පිරිසක්, හිටපු මැති ඇමතිවරුන්ගේ දූ පුතුන් ය. මේ කල්ලියේ සේවා කාලයෙන් පසුව, මොන තරම් කෑකෝ ගැසුවත්, කයිවාරු ගැසුවත්, රට තිබෙන්නේ පහළ ශ්‍රේණියේ රටක් වශයෙන්ම ය.

වැරදියට සිදුවිය හැකිව තිබූ සෑම දෙයක්ම වැරදියට සිදුව ඇති රටක් වන්නේ සිම්බාබ්වේ ය. රොබට් මුගාබේ 1980 සිට 1987 දක්වා එරටේ අගමැතිවරයා විය. (එකල ජනාධිපති ක‍්‍රමයක් නොතිබුණි). අනතුරුව 1987 සිට 2017 දක්වා එරටේ ජනාධිපතිවරයා විය. එනම්, පුරා අවුරුදු 37 ක් එක දිගට මේ තනි නායකයා බලයේ සිට ඇති බවයි. ඒ කාලය තුළ, එතෙක් සාමාන්‍ය සමෘද්ධියක් ලබා සිටි එම රට, විනාශයෙන් විනාශයට ගියේය. දළ දේශීය නිෂ්පාදිතය අඩකටත් වැඩි ප‍්‍රමාණයකින් මේ කාලය තුළ අඩු වුණේය. රටේ විරැුකියාව ඉහළ ගියේය. අධි-උද්ධමනය හේතුවෙන්, රටේ මුදල බිංදුවටම බැස්සේය. එපමණක් නොව, මිනිසුන්ගේ ආයු කාලය පවා පහළ ගියේය. අවසානයේ බොහෝ සේවකයෝ රට අතහැර අසල්වැසි රටවලට ගියෝය. ඒ රටවල් ද දුප්පත් ය. එහෙත් අඩු වශයෙන් එම රටවල ජීවත් වීමට සරිලන වැටුපකටවත් හිමිකම් කිව හැකි විය.

අවසානයේ 2017 දී හමුදා කුමන්ත‍්‍රණයක් මගින් මේ උන්මත්තක පාලකයාව බලයෙන් පහ කෙරුණි. එහෙත් ඒ බල මාරුව පවා කර ගැනුණේ ‘සිම්බාබ්වේ ක‍්‍රමයට’ ය. එනම්, මුගාබේගේම ක‍්‍රමයට යැයි කිව හැකිය.

සාමකාමීව බලය අතහැර යාම සඳහා, මේ ජාතික කොල්ලකරුවා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නඩු නොපවරන බවට පොරොන්දු වන්නට සිදු වූ බව කියැවේ. එසේම ඒ සඳහා වන ‘බෝනස්’ එකක් වශයෙන් ඩොලර් මිලියන 10 ක් ගෙවීමටත් සිදුවිය. ඒ සියල්ලට අමතරව, නිල නිවාස, නිල යානවාහන, කාර්යාල සහ ආරක්ෂක නිලධාරීන් ඇතුළු තවත් පහසුකම් රාශියක් සැපයූ බව කියැවේ. වර්තමාන පාලකයන්, කාලයාගේ ඇවෑමෙන් පරණ පාලකයන්ගේ තත්වයටම තමන්මත් පත්වීමට ඇති ඉඩකඩ සලකා බලා සමහර විට මේ ක‍්‍රමය අනුගමනය කළා විය හැකිය.

මේ සියලූ සාපරාධී විකාර, ‘සිම්බාබ්වේ ක‍්‍රමයට’, ඔවුන්ගේ යථාර්ථයට සහ ඔවුන්ගේ සාරධර්මවලට සපුරා පෑහෙන බවක් පෙනේ. සිම්බාබ්වේ දේශපාලනය තුළ බලය පිළිබඳ කාරණය විසඳා ගැනෙන්නේ, බටහිර ක‍්‍රමයට කලිසම් කෝට් හැඳ ගත්, සමහර විට අතීතයේ දඩයක්කාර ගෝත‍්‍රික ප‍්‍රධානීන්ගෙන් පැවත එන කළු ජාතික නායකයන් අතලොස්සක් අතරේ කතිකා කරගන්නා ගනුදෙනුවක් වශයෙනි. ලෝකයේ දේවල් එකලාසයක් කර ගැනීමේ තවත් එක් මාර්ගයක් එය විය හැකිය.

සැප්තැම්බර් 5 වැනි දා කොළඹ විරෝධතාව සංවිධානය කළ පිරිසත් ලෝකය දෙස බලන වෙනම ක‍්‍රමයක් තිබේ. ජනතාව වන අප තුළ අද ඇති අසන්තෝෂය සහ අතෘප්තිය වසර හතරක්වත් නැති මේ ආණ්ඩුවේ වරදකැයි ඔවුහූ සිතති. එහෙත් එය වසර 70 ක උරුමයක් බව අපි දනිමු.

විරෝධය පෑමට, ප‍්‍රකෝප වීමට කාරණා ඇති බව ඇත්ත. එහෙත් ඒ අහවල් ආණ්ඩුව නිසා පමණක් නොවේ. සමස්ත ක‍්‍රමයටම එරෙහිව අප ප‍්‍රකෝප විය යුතුය. අපේ නායකත්වයේ අසම්මජාති අසාර්ථකත්වය, ඔවුන්ගේ මානසිකත්වය, සංස්කෘතිය, ආකල්ප සහ සාරධර්ම, ඒ සියල්ලටමත් වඩා අපේම නොහැකියාව ගැන අප ප‍්‍රකෝප විය යුතුව තිබේ. නිදහස ලබන විට අප සාර්ථක අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකිව සිටි ජාතියක් විය. ඒ බලාපොරොත්තුව දැන් කෙමෙන් වියැකී ගොස් තිබේ. තව කෙනෙකුට වරද පැටවීමෙන් සතුටු වීම ඉතා පහසු ය. අපේ නායකයන් අසමත් වී ඇති බව ඇත්ත. එහෙත් ඒ අසමත් භාවය ඔවුන්ගේ වරදක් පමණක් ද?

*2018 සැප්තැම්බර් 27 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ “Protest, Arab Spring & Zimbabwe” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

සිරිසේන සහ මැන්ඩෙලා මොහොත

$
0
0

නෙවිල් ද සිල්වා –

නිව්යෝර්ක් නුවර ‘නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවේ’ කතාවක් පැවැත්වීමට ජනාධිපති සිරිසේනට ඇරියුම් කෙළේ කවුද යන්න දන්නවා ඇත්තේ ශ‍්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සහ දකුණු අප‍්‍රිකානුවන් පමණි. ඊට දවසකට පසුව එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමටත් ඔහු නියමිතව සිටි නිසා, මැන්ඩෙලා කතාව සංවිධානය කළ පිරිස එක මිලකින් වැඩ දෙකක් කරවා ගැනීමට හෙවත් එකක් මිලට ගන්නා විට තව එකක් නිකං ගැනීමේ ආර්ථික න්‍යාය අනුගමනය කරන්නට ඇත. එහෙත් දැන් අවුරුදු පතා නිව්යෝර්ක් වන්දනාවේ යන සිරිසේනගේ කතා යුගලය එකට ගෙන ඇසුවොත් එහි මහ ලොකු වටිනාකමක් කෙනෙකුට නොදැනෙනු ඇත. මැන්ඩෙලා සමුළුව අමතා සිරිසේන කළ කතාව සංක්ෂිප්ත ය. එය ඇසුවේ නම් මැන්ඩෙලා සිටින තැනක සිට දහස් වාරයක් අපේ ජනාධිපතිවරයාට ස්තුති කරනු නොඅනුමානයි. ඊට සවන්දුන් දකුණු අප‍්‍රිකානු නායකයන් වුව එසේ කරනු ඇත.

මැන්ඩෙලා කෙරෙහි සිරිසේන දැක්වූ උපහාරය, ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුව අමතා කළ කතාව සමග එකට ගෙන කියවිය යුතුව තිබේ. එවිට, පිටස්තරයෙකුට වඩා ශ‍්‍රී ලාංකිකයන්ට සහ ශ‍්‍රී ලංකාවේ කටයුතු ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට සිරිසේනගේ කුහක තර්ජනය වඩාත් හොඳින් වැටහෙනු ඇත. දේශීය මාධ්‍ය තුළ පළවූ සිරිසේනගේ මැන්ඩෙලාභිවාදනය, එහි සමස්තය ද නැතහොත් ඉන් උපුටා ගැනීම් කිහිපයක් පමණක් ද යන්න මම නොදනිමි. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මීට වඩා සවිස්තරාත්මක වාර්තාවක් සොයා ගැනීමට මා උත්සාහ කළත් එවැන්නක් හමු නොවීය. ඒ ගැන මොන දෙයියන්ට ස්තුති කරන්නදැ යි මම නොදනිමි. අපේ නායකයන් යන්නේ, තමා ගැන තමාම කර ගන්නා වර්ණනාව තරම් නොවන ඕනෑම ප‍්‍රවෘත්තියක් ‘ව්‍යාජ ප‍්‍රවෘත්තියක්’ වශයෙන් දකින අර නැහැදිච්ච ඇමරිකානු ජනාධිපතියාගේ අඩි පාරේ විය හැකි නිසා, ආණ්ඩුවේ පුවත්පතක්ම මේ ගැන කියන වාර්තාවක් උපුටා ගැනීම යෙහෙකැයි මට සිතේ.

‘‘වර්ණභේදවාදයට විරුද්ධව සිටි විප්ලවීය රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වන නෙල්සන් මැන්ඩෙලාගේ අඩි පාරේ යන්නැයි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටි ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, සාමය සංහිඳියාව සහ ඒ සියල්ලටමත් වඩා සකල මනුෂ්‍යත්වය සඳහා වන බොහෝ පාඩම් මැන්ඩෙලාගේ ජීවිතය තුළින් සැපයෙන බව කියා සිටියේය. කැපී පෙනෙන නායකත්ව ගුණාංග ප‍්‍රකට කළ ඔහුගේ ජීවිතය සහ කාර්ය භාරය ගැන ලෝක නායකයන් උගත යුතුව ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය. තවද, ලෝකයා ඔහුගේ නායකත්ව ගුණාංගයන්ගෙන් අගනා මාර්ගෝපදේශ ලැබිය යුතුව ඇති අතර ඒ අසාමාන්‍ය නායකයාගේ ගමන් මගේ යා යුතුව ඇතැයි ඔහු කීය. තවදුරටත් කරුණු දැක්වූ ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, නෙල්සන් මැන්ඩෙලා තමන් අතේ පැවති බලය අතහැරීම හෝ සීමා කිරීම සම්බන්ධයෙන් අගනා පාඩම් ගණනාවක් ලෝකයාට පෙන්වා දී ඇති බව ද කීවේය.’’

මැන්ඩෙලාගේ මාර්ගයේ යන්නැයි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින නලාකාරයා වීම ගැන සිරිසේනට ස්තුති කළ යුතුය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, කියන පාඩම් ඉගෙනගෙන නොතිබීමයි. කාහල නාදය නිකුත් කිරීමට පෙර ඒ පාඩම සිරිසේන ස්වකීය ආදර්ශයෙන් පෙන්වා සිටියේ නම් මීට වඩා වැදගත් වන්නට තිබුණි. තවත් විදිහකින් කිවහොත්, මැන්ඩෙලා කළ කී දේවල්වලට පටහැනි දේවල් කරනවා වෙනුවට, මැන්ඩෙලාගේ කාර්ය භාරයෙන් අංශුමාත‍්‍රයක් හෝ කිරීමට සිරිසේනට හැකි විණි නම් මේ කතාව අපූරු එකක් වන්නට තිබුණි.

පුවත්පත් වාර්තාවල සඳහන් වන අවසාන වැකිය ගෙන බලන්න: ‘‘තමා අතේ ඇති බලය අතහැරීමේ හෝ සීමා කිරීමේ’’ ආදර්ශය මැන්ඩෙලා ක‍්‍රියාවට නැගූ එක් ක‍්‍රමයක් වුණේ, දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වීමෙන් පසු තමාගේ ධුර කාලය එක වරකට පමණක් සීමා කර ගැනීමට වගබලා ගැනීමයි. අවශ්‍ය විණි නම්, ජීවිත කාලයටම එරටේ ජනාධිපති වශයෙන් සිටීමේ හැකියාව ඔහුට තිබුණි. 1990 පෙබරවාරි මාසයේ මැන්ඬේලා හිරෙන් නිදහස් කිරීමෙන් මාස 15 කට පසුව, ‘හොංකොං ස්ටැන්ඩර්ඞ්’ පුවත්පතේ මාධ්‍යවේදියෙකු වශයෙන් මා එරටට ගිය අවස්ථාවේ මට පෙනුණු යථාර්ථය එයයි.

රටේ කළු ජාතික අති-බහුතරයේ අසහාය සහාය තමන්ට තිබුණත්, මර්දනයට සහ පීඩාවට ලක්ව සිටි ඒ බහුතරයත්, ඔවුන්ව පීඩාවට පත් කළ වර්ණභේදවාදී සුදු ජාතික සුළුතරයත් එක තැනකට ගෙනැවිත් තනි ජාතියක් ගොඩනැගීමේ ඇති බරපතල අභියෝගය මැන්ඩෙලා වටහාගෙන සිටියේය. ඒ අලූත් දකුණු අප‍්‍රිකාව උපදින්නට විළිලමින් සිටි ආකාරය එදා මා දුටු ආකාරය විස්තර කිරීමට මෙය තැන නොවේ. එහෙත් පවතින අභියෝගය ඉදිරියේ, වෛරය පැත්තකින් දමා, මර්දකයාට සහ මර්දිතයාට යුක්ති ධර්මය පිළිබඳ හැඟීමෙන් යුතුව එක ආකාරයෙන් සැලකීමේ ඇති වැදගත් කම ඔහු තේරුම් ගෙන සිටි බව පැහැදිළි ය.

එහෙත් එසේ කිරීම සඳහාවත්, බලයේ එල්ලී සිටීමට ඔහු බැලූවේ නැත. එක වරක් පමණක් ජනාධිපති ධුරයේ සිටි ඔහු, කලින් පොරොන්දු වී සිටි පරිද්දෙන්ම, එම ධුරය කැමැත්තෙන්ම අත්හලේය.

ශ‍්‍රී ලංකාවේ බලයට පත් සිරිසේනත් මහජන වේදිකාවේ සිට කීවේ එක දෙයකි. එනම්, එක ධුර කාලයකින් පසුව ඉන් ඉවත් වී තමාගේ ගමට ගොස් ගැමියන් සමග ජීවත් වන බව ය. දැන් ඒ මිනිසා තවත් වරක් බලයේ රැුඳී සිටීමට බලයි. (ඒ කියන්නේ, ඊළඟ ජනාධිපතිවරණයකින් ජය ගත හැකි නම් ය). මැන්ඩෙලාගේ පුරුෂාර්ථ සහ භාවිතය උකහා ගන්නැයි ලෝක නායකයන්ගෙන් අද ඉල්ලා සිටින්නේ ඔහු ය. බලයේ සිටීමට තමා තුළ ඇති අභිලාෂය ඔහු දැනටමත් ප‍්‍රකාශ කොට හෝ ප‍්‍රකාශ කරවාගෙන හෝ තිබේ.

ඊළඟට, පසුව දා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතමින් ඔහු රාජ්‍ය නායකයන්ගෙන් තවත් දෙයක් ඉල්ලා සිටියේය. එනම්, ලංකාව දෙස වෙනත් මානයකින් හෙවත් වඩාත් සානුකම්පික ඇසකින් බලන ලෙසයි. ‘‘මගේ රට දෙස, කුරුරි යුද්ධයකින් පසු දැන් සාමය උදා කරගෙන ඇති මගේ රට දෙස, අලූත් අදහස් සහිත අලූත් මානයකින් බලන්නැ යි මම ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජාතික සංහිඳියාව පවතින රටක් ලෙස, තවත් යුද්ධයක් ඇති වීම වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගෙන ඇති සහ ගනිමින් සිටින රටක් ලෙස සහ මානව හිමිකම් අගයන සහ ආරක්ෂා කරන රටක් ලෙස එදෙස බලන්නැයි මම ඉල්ලා සිටිනවා.’’

කදිම ය/ අපූරු ය/ ලෝක නායකයන්ගෙන් ලංකාව දෙස මානුෂීය ඇසකින් බලන්නැයි ඉල්ලා සිටීමට කලින්, ඒ නායකයන්ට දී ඇති පොරොන්දු මොහුගේ ආණ්ඩුව ඉටු කර තිබුණේ නම් කතාව ටිකක් වැදගත් වන්නට තිබුණි. ඊට අදාළව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක්, ශ‍්‍රී ලංකාවේ සම සහභාගීත්වයෙන් යුතුව සම්මත කරගෙන තිබේ. හිටපු විදේශ ඇමතිවරයා විසින් සම-යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කොට සම්මත කර ගන්නා ලද මෙම යෝජනාව තුළ වගවීමේ යාන්ත‍්‍රණයක් පිහිටුවීමේ පොරොන්දුව තිබුණි. එනම්, දකුණු අප‍්‍රිකාවේ නායක නෙල්සන් මැන්ඩෙලා විසින් ඇති කරගෙන තිබූ ‘සත්‍යය සහ සංහිඳියා කොමිසම’ බඳු යාන්ත‍්‍රණයක් පිහිටුවන බව ය.

එවැනි කොමිසමක් පිහිටුවීම ගැන දකුණු අප‍්‍රිකාවෙන් උපදෙස් ද ලබා ගත් ලංකාව එවැන්නක් ලංකාවේ පිහිටුවන බව 2015 සැප්තැම්බර් 14 වැනි දා ප‍්‍රකාශයට පත්කෙළේය. ස්වයං-විජයග‍්‍රාහී ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ අඩිපාරේ යමින් තමන්ගේ ආණ්ඩුව ඇති කරගෙන තිබෙන ජයග‍්‍රහණයන් ගැන අපේ ජනාධිපතිවරයා කතා කළත්, අර කියන ‘සත්‍යය කොමිසම’ ගැන කතා කෙළේ නැත. එහෙත්, ඒ සඳහා කටයුතු කිරීමට ජාත්‍යන්තරයෙන් අපේ ආණ්ඩුව කල් ලබාගෙනත් තිබුණි. මුලදීම අවුරුදු දෙකක කාලයක් ලබා ගත්තේය.

මැන්ඬේලාගේ අඩිපාරේ යන්නැයි ලෝකයට කියා දෙන පුද්ගලයාගේ ආණ්ඩුව, මැන්ඩෙලාගේ ඉහළම ජයග‍්‍රහණය වන ‘සත්‍යය කොමිසමට’ පස්ස හරවා සිටී. එසේ තිබියදී, ඒ ලෝක නායකයන් සියල්ලන්ම තමන්ගේ ඇස්වල සුදු ඉංගිරියාව සාමූහිකව අලූතින් බද්ධ කරගෙන නැත්නම්, ලංකාව දෙස වෙනත් ඇසකින් කෙසේ නම් බලන්න ද?

මෑතකදී දකින්ට ලැබුණු ලොකුම මායාව වුණේ, 2016 අගෝස්තු මාසයේ කොළඹ පැවති ආසියාතික නීති විශාරදයන්ගේ සමුළුවකදී, එවක ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වූ උපුල් ජයසූරිය, අපේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනව ශ‍්‍රී ලංකාවේ නැගී එන මැන්ඩෙලා කෙනෙකු වශයෙන් හඳුන්වා දීම ය. තමාගේ ආරම්භක දේශනයේදී ජනාධිපතිවරයාට ආමන්ත‍්‍රණය කරමින් උපුල් ජයසූරිය මෙසේ කීය: ‘‘අපේ රටත් ජනතාවත් එක්සත් කළ, එක ජාතියක් සහ එක ජනතාවක් ගොඩනැගූ පුරවැසියා වශයෙන් නූතන ශ‍්‍රී ලංකාවේ නෙල්සන් මැන්ඩෙලා ඔබතුමා වන බවට ඉතිහාසය තීරණය කරනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.’’ ජනාධිපති සිරිසේන රට සහ ජනතාව එක්සත් කළ නායකයා වශයෙන් දැක්වීම මගේ මතකයට ගෙනාවේ, ‘සැකය ඕනෑ කමින් නතර කර තබා ගැනීම’ ගැන සැමුවෙල් කොල්රිජ්ගේ කවියක සඳහන් කොටසකි.

ශ‍්‍රී ලංකාවේ කටයුතු ගැන තරමක් හෝ දන්නා කියන විදේශීය නියෝජිතයන්ට පවා, ජනාධිපති සිරිසේන ‘අපේ රට’ එක්සත් කොට ඇතැයි පිළිගැනීම අමාරු වූවාට සැක නැත. මන්ද යත්, ඒ වන විට ඔහුගේ පක්ෂයම පවා එක්සත් බව නැති කර ගනිමින් සිටි බැවිනි. සභාග ආණ්ඩුවත් අවුලට යමින් සිටි බැවිනි. ඒ නිසා, ගාන ඕනෑම සායමක් තාවකාලික එකක් පමණක්ම වීමට නියමව තිබුණි.

ඉතිහාසය යළිත් එයාකාරයෙන්ම සිදුවෙයි නම් මුලින් එය ඛේදවාචකයක් වශයෙන් සිදුවිය හැකි බවත්, දෙවැනුවත් එය ඒ ආකාරයෙන්ම සිදුවෙයි නම් ඒ විගඩමක් වශයෙන් බවත්, මාක්ස් (ගෘචෝ නොව, කාර්ල්) කියා ඇත. මෙය, විගඩම් වටයක් වශයෙන් ඉතිහාසය යළිත් කැරකී ඒමකැ යි පෙනේ. එය මගේ මතකයට ගෙනෙන්නේ, කාර්ල්ව නොව, ගෘචෝව ය.

* ගෘචෝ මාක්ස් යනු, ගත වූ සියවසේ විසූ ශ්‍රේෂ්ඨ ඇමරිකානු විකට රංගනවේදියෙකි.

2018 සැප්තැම්බර් 30 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ “Sirisena & the Mandela Moment” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

රුපියලේ ඉරණම: මහ බැංකුව ‘යක්ෂයාගේ විකල්පයට’ මැදිව

$
0
0

ඩබ්. ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

රුපියල අවප්‍ර​මාණ වීම නිසා සියල්ල නැති වන්නේ නැත

ඇමරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල අවප‍්‍රමාණ වීම හේතු කොටගෙන සමස්ත රටම පිස්සු වැටී ඇති සෙයකි. මාධ්‍යයත්, විපක්ෂයත් මෙය කෝලම් මඩුවක් කරගෙන තිබේ. අනිත් පැත්තෙන්, රුපියල අවප්‍ර​මාණ වීම නිසා අවාසියට පත්වන ජන කොටස් මෙන්ම එයින් වාසියක් ලබන ජන කොටස් ද, තමන්ට ලැබෙන වාසියත් අමතක කොට, අවාසිය පිළිබඳ හැඟීමටම යට වී සිටිති.

උදාහරණයක් වශයෙන් ගතහොත්, භාණ්ඩ සහ සේවා අපනයනය කරන අංශයේ සිටින අයවළුන්ට මෙන්ම, විදේශයන්හි සේවයේ යෙදෙමින් මෙරටට සල්ලි එවන අයවළුන්ට, ඔවුන් උපයන සෑම ඩොලරයකටම ලැබෙන රුපියල් ප‍්‍රමාණය දැන් වැඩි වන්නේය. අනිත් පැත්තට, මෙරටට ආනයනය කරන භාණ්ඩ පරිභෝජනය කරන අයවළුන්ට සේම, පිටරටවල සංචාරය කරන හෝ පිටරටවල අධ්‍යාපනික හෝ සෞඛ්‍ය සේවා ලබන අයවළුන්ට (අවශ්‍ය කරන ඩොලර් ලබා ගැනීම සඳහා) දැන් වැඩි රුපියල් ප‍්‍රමාණයක් වැය කිරීමට සිද්ධ වෙයි.

රුපියල අවප‍්‍රමාණ වීම නිසා පූර්ණ වාසිය ලබන්නා ආණ්ඩුවයි

අනිත් අතට, මේ අවප‍්‍රමාණ වීමෙන් ආණ්ඩුව ශුද්ධ වාසියක් ලබයි. එසේ වන්නේ, පවතින වසරේ විදේශ (ඩොලර්) ණය ගෙවා දැමීම සඳහා ආණ්ඩුව වැඩි රුපියල් ප‍්‍රමාණයක් සොයා ගත යුතුව ඇතත්, ආනයනික භාණ්ඩ සඳහා අය කරනු ලබන බදු ආදායම, අවප‍්‍රමාණ වූ රුපියල් අගය අනුව වැඩි අගයක් ගන්නා නිසාත්, ආණ්ඩුව විදේශ මුදල්වලින් ණය ලබාගෙන එය මහ බැංකුවට විකුණන විට වැඩි රුපියල් ප‍්‍රමාණයක් ලැබෙන නිසාත්, ආණ්ඩුවට ශුද්ධ වාසියක් සැලසෙයි.

උදාහරණයක් වශයෙන්, 2018 විනිමය අනුපාතිකය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය එක රුපියලකින් අවප‍්‍රමාණ වන්නේ යැයි සිතමු. එවිට, විදේශ ණය වාරික සහ පොලී ගෙවීමට ආණ්ඩුවට වැය වන ප‍්‍රමාණය රුපියල් බිලියන 1.7 කින් වැඩි වුව ද, ඉහත කී අනිත් අංශයෙන් ආණ්ඩුවට ලැබෙන රුපියල් වාසිය ඊට වඩා දෙගුණයකටත් වැඩියෙන්, එනම්, රුපියල් බිලියන 4.5 කින් වැඩි වන්නේය. මෙය, රටක මුදලේ අගය අවප‍්‍රමාණ වීමට ඉඩ හැරීම සඳහා වලංගු හේතුවක් කර ගත යුතු නැති බව නොකිවමනා ය. මෙවැන්නක් සිදුවන්නේ, රටක විදේශ ආර්ථික අංශයේ මූලික අංගෝපාංග ඇදේට සිටින විට ය. එනම්, විදේශයන්ට ගෙවීමට ඇති විදේශ විනිමය ප‍්‍රමාණයට සරිලන තරමින් විදේශයන්ගෙන් ලංකාවට ඉපැයීමක් කර ගැනීමට වසරක් පාසා එක දිගටම නොහැකි වන විට ය. ඒ ප‍්‍රශ්නය විසඳා ගැනීම සඳහා, ආණ්ඩුවේ සිටින ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට වෙනම ප‍්‍රතිපත්ති මාලාවක් තිබිය යුත්තේය.

කුලප්පු වූ විට තෝරා ගැනෙන්නේ වැරදි දත්තයන්ම ය

රට කුලප්පු කරවන්නන් විසින් පාවිච්චියට ගෙන ඇත්තේ, බැංකු විසින් තම තමන් අතර කෙරෙන ගනුදෙනුවලදී ඩොලරයක් සාමාන්‍යයෙන් විකුණනු ලබන අනුපාතිකයයි. මහ බැංකුව ප‍්‍රසිද්ධියට පත්කරන විනිමය අනුපාතිකය වන්නේ, ඊට කලින් දා බැංකු අතරේ කෙරුණු ව්‍යාපාරික ගනුදෙනුවලදී නිශ්චය වූ විකිණුම් විනිමය අනුපාතිකයයි. එහෙත් වාණිජ බැංකු, විනිමය වෙළඳපොළ තුළ අනුපාතික දෙකක් ප‍්‍රකාශයට පත්කරයි. එකක්, විකිණුම් අනුපාතිකයයි. අනික, ගැනුම් අනුපාතිකයයි. විකිණුම් අනුපාතිකයට වඩා ගැනුම් අනුපාතිකය රුපියල් 4 ක පමණ අඩු අගයක් දරයි.

මේ ආශ‍්‍රිතව මහ බැංකුව ප‍්‍රකාශයට පත්කරන දත්ත තුළ, විකුණුම් සහ ගැනුම් අනුපාතිකයට අමතරව ප‍්‍රතීයමාන අනුපාතිකයකුත් තිබේ. එනම්, විකුණුම් සහ ගැනුම් අනුපාතිකයේ වෙනස අතරේ පවතින මැද අගයයි. සෑම කටයුත්තක් සඳහාම, බැංකුත්, රේගුව වැනි වෙනත් ආයතනත් භාවිත කරන්නේ ඒ ප‍්‍රතීයමාන අනුපාතිකයයි. මහ බැංකුවේ වාර්තාගත දත්තවලට අනුව, 2018 සැප්තැම්බර් 21 වැනි දා වාණිජ බැංකු ඩොලරයක් මිල දී ගෙන ඇත්තේ රුපියල් 166.78 කට ය. එදා ඔවුන් ඩොලරයක් විකුණා ඇත්තේ රුපියල් 170.66 කට ය. ඒ අනුව, ඩොලරයක ප‍්‍රතීයමාන විනිමය අගය වී ඇත්තේ ඩොලරයකට රුපියල් 168.03 කි. කෙසේ වෙතත්, ඩොලරයක විකුණුම් මිල ඊට වැඩි නිසා, කුලප්පුව ඇති කිරීමට යොදාගෙන ඇත්තේ එම විකුණුම් මිලයි.

‘විදේශ විනිමය හිමිකම් සහතික පත‍්‍ර ක‍්‍රමය’ යටතේ රුපියල අවප‍්‍රමාණ වීම

නිදහසේ පටන් 1968 දක්වා ලංකාවේ තිබුණේ තනි ස්ථාවර විදේශ විනිමය අනුපාතිකයකි. එය, ඩොලරයට රුපියල් 4.76 ක් විය. මේ ස්ථාවර විනිමය අනුපාතිකය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තරම් විදේශ විනිමය ශේෂයක් නොතිබුණු නිසා, ඒ අනුපාතිකය බරපතල පීඩනයට ලක්විය. එවිට ආණ්ඩුව කෙළේ (රුපියලේ අගය පහළට දමමින්) රුපියල ‘බාල්දු’ කිරීමයි.

එහෙත් 1966 වන විට මේ ප‍්‍රශ්නය උග‍්‍ර විය. බරපතල විය. එවිට, රුපියල බාල්දු කරනවා වෙනුවට ලංකාව කෙළේ, ‘ද්විත්ව විනිමය අනුපාතික ක‍්‍රමයකට’ මාරු වීමයි. ඒ ක‍්‍රමයට අනුව, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම නිල විනිමය අනුපාතිකය යටතේ සිදු කෙරුණි. අනිත් සියලූ ආනයනයන් සඳහා නිල විනිමය අනුපාතිකයට වඩා සියයට 65 ක අධි-මිලක් පනවනු ලැබුණි. එය හැඳින්වුණේ, ‘විදේශ විනිමය හිමිකම් සහතික පත් ක‍්‍රමය’ වශයෙනි. ඇත්තෙන්ම ගතහොත් එය, විදේශ විනිමය භාවිත කරන්නන් සඳහා සියයට 65 ක බද්දක් පැනවීමට සමාන ය.

අපේ රටට කෙරෙන ආනයනවලින් වැඩි කොටසක් අයත් වුණේ මේ ගණයටයි. එබැවින් එය ආණ්ඩුවට ඉතා ලාභදායී ක‍්‍රමයක් විය. එනිසාම, මෙය ආණ්ඩුවේ ‘විදේශ විනිමය කළුකඩ ජාවාරමක්’ වශයෙන් විපක්ෂයේ සිටියදී විවේචනය කළ ආචාර්ය එන්. එම්. පෙරේරා 1970 බලයට පත්ව මුදල් ඇමති වීමෙන් පසුව පවා එය අවලංගු කර දැමීමක් ගැන සිතුවේ නැත.

මෙය, රුපියල අර්ධ වශයෙන් බාල්දු කිරීමක් වශයෙන් හැඳින්විය හැක. මේ අර්ධ-බාල්දුව 1977 දක්වා පැවතියේය. ඉන් පසු බලයට පත් ආණ්ඩුව ඒ ක‍්‍රමය අහෝසි කොට නම්‍යශීලී විනිමය අනුපාතික ක‍්‍රමයක් හඳුන්වා දුනි. ඒ ක‍්‍රමය යටතේ ඩොලරයේ අගය රුපියල් 15.56 දක්වා ඉහළ ගිය අතර, එය කලින් පැවති ‘විදේශ විනිමය සහතික පත් ක‍්‍රමය’ සමග සසඳද්දී, රුපියල සියයට 7 කින් බාල්දු කිරීමකි.

මේ අලූතින් ස්ථාපිත කර ගත් නම්‍යශීලි විනිමය අනුපාතික ක‍්‍රමය යටතේ, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තීන්දු වුණේ විනිමය වෙළඳපොළ බලවේගවලට අනුව ය. ඒ අනුව, කලින් පාවිච්චි කළ ‘බාල්දු කිරීම’ වෙනුවට මේ අලූත් ක‍්‍රමය යටතේ රුපියලේ අගය පහළ වැටීම, රුපියල ‘අවප‍්‍රමාණ’ වීම වශයෙන් හඳුන්වන්නට පටන් ගත්තේය. ඒ විදිහටම, රුපියලේ ඕනෑම අගය වැඩි වීමක් හැඳින්වුණේ කලින් ක‍්‍රමය යටතේ මෙන් ‘පිළිඇගැයුමක්’ වශයෙන් නොව, ‘අගය වැඩි වීමක්’ වශයෙනි.

දේශපාලඥයන්ගේ ‘හරි-වැරදි කියා ගැනීමේ’ සෙල්ලම

එදා පටන් අප ලබා ඇති අත්දැකීම වන්නේ ලංකාවේ රුපියල එක දිගටම අවප‍්‍රමාණ වීමයි. රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම ගැන ආණ්ඩුවට බැන වැදීම හැම විපක්ෂයකම සිරිත වී තිබේ. එසේම මුදලේ අවාසනාවන්ත තත්වය පිළිබඳ වරද බාහිර බලවේග මත පැටවීම හැම ආණ්ඩුවකම සිරිත වී තිබේ. කෙසේ වෙතත්, රුපියල එක දිගටම අවප‍්‍රමාණ වීමට බලපාන මූලික දෝෂ ඉවත් කිරීම සඳහා කිසි ආණ්ඩුවක් නිසි පියවර නොගෙන ඇති තත්වය තුළ, රුපියල එක දිගටම ගමන් කොට ඇත්තේ අවාසනාවන්ත ලෙස අවප‍්‍රමාණ වීමේ තනි දිසාවටම පමණි. ඒ අනුව, දේශපාලන බලය මාරු වී ඇති අද දිනයේ, අර කියන ‘හරි-වැරදි කියා ගැනීමේ සෙල්ලම’ පැති මාරු කරගෙන දැන් කරගෙන යනු ලැබේ.

1995 සිට 2018 සැප්තැම්බර් මැද භාගය දක්වා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමක් පළමු වැනි රූප සටහනින් පෙන්වා දෙයි. අතරින්පතර උස් පහත් වීම ඇතත්, එය එක දිගටම පහළ යාමක් බව පෙනේ. එබැවින් විනිමය වෙළඳපොල තුළ එක දිගටම මේ ආකාරයෙන් රුපියල අවප‍්‍රමාණ වීමේ හේතු හඳුනා ගැනීම වැදගත් ය.

ජංගම ගිණුමේ හිඟයක් ඇති වීම වළක්වා ගැනීම

රටක් තමන්ගේ මුදල් ඒකකයේ වටිනාකම් ස්ථාවරව පවත්වා ගැනීමට කැමැත්තේ නම් ඒ සඳහා ඇත්තේ එක ක‍්‍රමයක් පමණි. එනම්, තමන්ගේ රටවැසියන් විසින්ම ඉල්ලා සිටින ඩොලර් ප‍්‍රමාණයට ප‍්‍රමාණවත් තරමින් ඩොලර් ප‍්‍රමාණයක් උපයා ගැනීම ය. රටක් විදේශ විනිමය උපයා ගන්නේ, තමන්ගේ භාණ්ඩ හා සේවා (සංචාරක සේවා ඇතුළු) විදේශයන්ට විකිණීමෙනි. ඒවා අපනයන වශයෙන් හැඳින්වෙයි. ඊට අමතරව, විකිණීමක් නොවන තවත් ආදායමක් ද ඊට එක් කෙරේ. එනම්, පිටරට සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් රටට එවන ආදායම් ය.

අනිත් අතට, ශ‍්‍රී ලාංකිකයන්ම විදේශ විනිමය ඉල්ලා සිටිනු ලැබේ. ඒ, භාණ්ඩ ආනයනය කිරීමට සහ විදේශයන්හි සේවාවන් මිල දී ගැනීමට ය. එසේම, විදේශයන්ගෙන් ලබා ගත් ණය සහ පොලී ගෙවා දැමීමටත්, ආයෝජනවල ලාභ පිටරට යැවීමටත්, ඔවුහූ විදේශ විනිමය ඉල්ලා සිටිති. ශ‍්‍රී ලාංකිකයන් විසින් විදේශිකයන්ට දෙනු ලබන තෑගි ද මීට ඇතුළත් කළ යුතුය.

මේ ගනුදෙනු සියල්ල එක ගිණුමකට ගත් විට එය ‘ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම’ වශයෙන් හැඳින්වෙයි. එම ගිණුම තුළ, මුලින් කී කොටස් බැර වශයෙනුත්, දෙවැනුව කී කොටස් හර වශයෙනුත් වර්ග කෙරේ. රටක මුදල් ඒකකයක වටිනාකම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සාධකය වන්නේ, මේ ජංගම ගිණුම තුලනය කර ගැනීමයි. යම් වසරක එහි හිඟයක් වෙතොත්, වෙනත් වසරක අතිරික්තයකින් එය පියවා ගත යුතුය. මේ ගිණුම තුළ එක දිගටම අතිරික්තයක් පැවතුණොත් එහි අදහස වන්නේ අවශ්‍ය කරනවාට වඩා විදේශ විනිමය ප‍්‍රමාණයක් එම රට උපයනවා ය යන්නයි.

ඒ අතිරික්තයන් වෙනත් රටවලට ණයට නොදුන්නොත් එම රටේ මුදලේ අගය එක දිගටම ඉහළ යා හැකිය. එසේම, එක දිගටම හිඟයක් තිබුණොත් එම හිඟය පියවා ගැනීම සඳහා වෙනත් රටවලින් ණය අරගෙන මුදලේ අගය තාවකාලිකව ස්ථාවර කර ගත හැකිය. එහෙත් එයින් සිදුවනු ඇත්තේ ක‍්‍රම ක‍්‍රමයෙන් ණය ප‍්‍රමාණය වැඩි වී රට ණය උගුලක සිර වීම ය. එයින් රෝගය තවත් උත්සන්න කෙරේ. ඉන් පසු සිදුවන්නේ, එම මුදලේ අගය එක දිගටම අවප‍්‍රමාණ වීමේ තනි දිසාවේ ගමන් මගකට වැටීමයි.

ජංගම ගිණුම පිළිබඳ ශ‍්‍රී ලංකාවේ අසතුටුදායක අතීතය

1977 සිට ශ‍්‍රී ලංකාව එක දිගටම මුහුණදුන්නේ ඉහත සඳහන් තත්වයටයි. එනම් ජංගම ගිණුමේ හිඟයක් එක දිගටම පැවති බව ය. අද වන විට එම හිඟය, දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 2 ක් පමණක් වුව ද, 1980 මුල් භාගය වන විට එය සියයට 16 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. මේ කියන ජංගම ගිණුමේ හිඟය ඉහළ යන විට කුලප්පු වන ආණ්ඩුව, විදේශ විනිමය තත්වයන්ට අදාළ ප‍්‍රතිසංස්කරණ ගැන මහත් උනන්දුවෙන් කතා කරන්ට පටන් ගනී. එහෙත් එම අවදානම සුළුවෙන් හෝ අඩු වන විට එතෙක් තිබූ භයානක අවදානම අමතක කොට අර ප‍්‍රතිසංස්කරණ කතා පැත්තකින් දමයි.

2012-2017 කාලය තුළ මේ ජංගම ගිණුමේ හිඟය රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 3 ක සාමාන්‍ය වාර්ෂික අගයක් ගත්තේය. එහි අදහස වන්නේ, එක දිගටම අවප‍්‍රමාණ වීමේ තෙරපුම යටතේ රුපියල තිබී ඇති බවයි. මීට කලින් පැවති ආණ්ඩුව කෙළේ, පිටරටින් ණයට ගෙන මේ තෙරපුම ලිහිල් කිරීමයි. එය හරියට, පිළිකා රෝගියෙකුගේ වේදනාව නැති කිරීම සඳහා වේදනා නාශකයක් දීම වැනි ය. එය, රෝගය සුව කිරීමේ පිළියමක් නොවේ. එයින් සිදුවන්නේ, රෝගයට අහන නිසි බෙහෙතක් නැතිව රෝගය තවත් උත්සන්න වීමයි. දවසක පිළිකාව ලියලා ගොස් කිසි බෙහෙතක් අහන්නේ නැති තත්වයට පත්ව රෝගියා මියයයි.

අලූත් ආණ්ඩුවේ අකර්මණ්‍යතාව

අලූත් ආණ්ඩුව 2015 බලයට පත්වන විට මේ තත්වය දැනගෙන සිටියේය. එහෙත් මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයත්, මුදල් ඇමතිවරයාත් හැසිරුණේ රටේ ආර්ථික අර්බුදයක් නැති ගානට ය. 2015 අපේ‍්‍රල් මාසයේ නව ආණ්ඩුව යටතේ ප‍්‍රකාශයට පත්කළ ‘2014 මහ බැංකු වාර්ෂික වාර්තාව’ තුළ, ඩොලරයට සාපේක්ෂව රුපියලේ ස්ථාවර භාවය ගැන කතා කොට තිබුණේ, අර්බුදය පිළිබඳ ගානක් නැති ගානට ය. ඊටත් වඩා, (ඩොලරය හැරුණු කොට* සාමාන්‍ය වශයෙන් වෙනත් විදේශ මුදල් ඉදිරියේ රුපියල යම් අගයක් ඒ කාලයේ අත්කරගෙන තිබුණු නිසා ඒ පිළිබඳ සැලකිල්ල තවත් අඩු විය.

නාමික සහ මූර්ත ඵලදායී විනිමය අනුපාතික

ලංකාව ගනුදෙනු කරන වෙනත් විදේශ මුදල් ඉදිරියේ රුපියලේ අගය තුළ ඇති වන මේ වෙනස ගණනය කිරීම සඳහා මහ බැංකුව විනිමය අනුපාතික දර්ශක දෙකක් පාවිච්චි කරයි. එකක්, රුපියලේ නාමික අගය දැක්වීමට ය. අනික, රුපියලේ සැබෑ අගය හෙවත් මූර්ත අගය දැක්වීමට ය. ඉහත ෙඡ්දයක සඳහන් කළ පරිදි, 2014 වසරේ දී, මේ දර්ශක දෙකේම (රුපියලේ) අගය ඉහළ ගොස් ඇත. එහි අර්ථය වන්නේ කුමක් ද? අපනයන සම්බන්ධයෙන් රුපියලට තිබූ තරගකාරී වාසිය අඩු වන බව ය. (අපනයනකරුවාට එක ඩොලරයක් සඳහා දැන් ලැබෙන්නේ අඩු රුපියල් ප‍්‍රමාණයකි). අනිත් අතට, ආනයන සඳහා වැඩි වාසියක් ලැබෙන බව ය. (ආනයනකරුවා කලින් වියදම් කළ ඩොලරය සඳහා දැන් ගෙවන්නේ අඩු රුපියල් ප‍්‍රමාණයකි). මෙය රෝගයකි. මන්ද යත්, එයින් අපනයන මර්දනය කෙරෙන අතර ආනයන වර්ධනය කෙරෙන බැවිනි. දීර්ඝ කාලීන වශයෙන් රුපියල අවප‍්‍රමාණ වීමේ ප‍්‍රධාන හේතුව එයයි.

විදේශ විනිමය හිඟය, ණය ගැනීමෙන් පියවා ගැනීම

2010 සිට 2018 ජුලි දක්වා, ශ‍්‍රී ලංකාවේ මූර්ත ඵලදායී විනිමය අනුපාතිකය සහ නාමික ඵලදායී විනිමය අනුපාතිකය පැවති තත්වය 2 වැනි රූප සටහනින් පෙන්නුම් කෙරේ. 2012 ජනවාරි දක්වා, මේ විනිමය දර්ශක දෙකම එකිනෙකට අනුරූප ගමනක යෙදී ඇති බව එයින් දැක්වෙයි. එසේ වෙතත්, 2012 පටන් මූර්ත ඵලදායී විනිමය අනුපාතිකය එක දිගටම වටිනාකමින් ඉහළ ගොස් ඇති අතර, නාමික ඵලදායී විනිමය අනුපාතිකය හැම විටකම තිබී ඇත්තේ 100 ට පහළින් බව එයින් දැක්වේ.

රුපියලේ මූර්ත වටිනාකම ඉහළ යන විට ශ‍්‍රී ලංකාවේ අපනයනවලින් ලැබෙමින් තිබෙන තරගකාරී වාසිය අඩු වී ගොස්, ආනයන සඳහා වන වාසි වැඩි වීම නිසා, ඇත්තෙන්ම සිදුවන්නේ, රටේ විදේශ වෙළඳ ශේෂයේ හිඟය වැඩි වීමයි. ඒ අනුව, 2012 දී ඩොලර් බිලියන 9.4 ක් වූ අපේ වෙළඳ ශේෂයේ හිඟය 2018 වන විට ඩොලර් බිලියන 11 දක්වා වැඩි විය. වෙළඳ ශේෂයේ ඇති වන මේ හිඟය පියවා ගැනීමට සිදුවන්නේ පිටරට සේවයේ යෙදෙන ශ‍්‍රී ලාංකිකයන් එවන මුදල්වලිනි. එහෙත් එම ආදායම කෙමෙන් වැඩි නොවී ඩොලර් බිලියන 7 ක සීමාවේ පමණක් රැුඳීම නිසා ජංගම ගිණුමේ ඩොලර් බිලියන 3 පමණ හිඟයක් ඇති විය. එය පියවා ගත හැකි වුණේ විදේශයන්ගෙන් ණය ගැනීමෙනි. මේ මුළු කාලය තිස්සේම ශ‍්‍රී ලංකාව අනුගමනය කොට ඇත්තේ ඒ ක‍්‍රියා පිළිවෙතයි. එහි අවසාන ප‍්‍රතිඵලය වී ඇත්තේ, ගෙවා ගත නොහැකි ණය කන්දරාවක් ගොඩ ගැසීම ය.

උදාහරණයක් වශයෙන් ගතහොත්, ඉදිරි මාස 12 කාලය තුළ ණය වාරික සහ ඒවා සඳහා වන පොලිය ගෙවීම සඳහා ඩොලර් බිලියන 6.2 ක් පමණ අවශ්‍ය කෙරේ. තත්වය එසේ තිබියදී, ශ‍්‍රී ලංකාව සතුව ඇති විදේශ මුදල් සංචිතය වන්නේ ඩොලර් බිලියන 7.7 ක් පමණි. රුපියල අවප‍්‍රමාණ වීම නතර කර ගැනීම සඳහා අප මේ මුදල් වියදම් කළොත් අපට ඉතිරි වන්නේ ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් සංචිතයක් පමණි. මේ තත්වය තුළ ශ‍්‍රී ලංකා මහ බැංකුවට බරපතල තීරණයක් ගැනීමට සිදුවෙයි: ඉතිරිව ඇති ඩොලර් බිලියන 1.5 ත් වැය කළ පසු ශ‍්‍රී ලංකාවේ රුපියලට කුමක් වේද?

මේ අබග්ගයෙන් ශී‍්‍ර ලංකාව පාඩමක් උගත යුතුය

මේ අර්බුදයට මුහුණදුන් රටවල්වල අත්දැකීම ඉතා නීරස ය. උදාහරණයක් වශයෙන්, 1997 ආසියානු මූල්‍ය අර්බුදය ඇති වීමට ටිකකට පෙරාතුව මා ලියා ඇති ‘‘මහ බැංකු ව්‍යාපාරය: අභියෝග සහ අපේක්ෂා’’ නැමැති කෘතියේ 191 වැනි පිටුවේ තායිලන්තයේ මහ බැංකුවේ අත්දැකීම විස්තර කොට ඇත. ඩොලරයට සාපේක්ෂව තායි මුදල් ඒකකයේ වටිනාකම බාත් 25 ක්ව තිබියදී ඇති වූ පීඩනය හමුවේ තායි මුදලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා ඩොලර් බිලිනය 25 ක සංචිතයක් තායි ආණ්ඩුව නාස්ති කර ගත්තේය. ඉන් පසු, තමන් සතු සියලූ විදේශ මුදල් සංචිත අවසන් වීමෙන් පසු සිය මුදල් ඒකකයට නිදහසේ අවප‍්‍රමාණ වීම සඳහා ඉඩ හැරීමට එම රටට සිදුවිය. අවසානයේ ඒ මුදලේ වටිනාකම ඩොලරයට තායි බාත් 50 ක් බවට පහළ බැස්සේය.

රට සතුව තිබූ වටිනා විදේශ මුදල් සංචිතය නාස්ති කර ගැනීම සම්බන්ධයෙන් පසුව එරට මහ බැංකු අධිපතිවරයාට විරුද්ධව නඩු පවරන ලදි. ඊට වැරදිකරු වූ ඔහුට තායිලන්ත ඉතිහාසයේ විශාලතම දඩය වන ඩොලර් බිලියන 4.6 ක දඬුවමකට යටත් වන්ට සිදුවිය. මෙයින් කියැවෙන්නේ, වෙළඳ පොළ බලවේග සියල්ල විසින් යම් රටක මුදල් ඒකකය අවප‍්‍රමාණ වීමට තල්ලූ කරනු ලැබීමේදී එය වළක්වා ගැනීම සඳහා රටේ විදේශ මුදල් සංචිතය නාස්ති කර ගැනීම මොන තරම් අවදානම්කාරී ද යන්නයි.

වෙළඳ පොළෙන් එල්ල වන පීඩනය වැඩි නම්, මොන තරම් විදේශ සංචිත වියදම් කළත් ගැලවීමක් නැත

ෆ්‍රෙඩරික් ෆෝර්සිත්ගේ ප‍්‍රකට නවකතාවක් වන ‘‘යක්ෂයාගේ විකල්පය’’ නැමැති කෘතියේ සඳහන් වන්නේ එවැනි තේරීමකි. කෙනෙකු ඉදිරියේ ඇත්තේ යක්ෂයාගේ තේරීමක් නම් මොන දේ කළත් ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන්නේය. මෙය, වර්තමාන මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඔහුගේ මෑතක දේශනයක දී අගේට පැහැදිළි කොට තිබුණි.

ඔහු මෑත අතීතයේ අසාර්ථක උත්සාහයන් දෙකක් එහිදී උදාහරණයට ගෙන තිබුණි. 2011/2012 කාලයේ, එවක මහ බැංකු පරිපාලනය, රුපියල ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙන් අපේ විදේශ මුදල් සංචිතයේ තිබූ මුදලින් ඩොලර් බිලියන 4.2 ක් වියදම් කොට තිබුණි. එහෙත් ඒ වෑයම අසාර්ථක වූ අතර රුපියලේ අගය සියයට 13.5 කින් අවප‍්‍රමාණ විය. ඒ ආකාරයන්ම 2015 දී මේ ආණ්ඩුව යටතේත් රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා ඩොලර් බිලියන 1.2 ක් වැය කොට තිබේ. එහෙත් රුපියල සියයට 9 කින් අවප‍්‍රමාණ වී ඇත.

ශ‍්‍රී ලංකාව තවම සිටින්නේ ඒ අනතුරුදායක තත්වයේ ය. ණයට ගත් මුදල්වලින් බොහෝ කොට සමන්විත වන අපේ විදේශ මුදල් සංචිතයෙන් තවත් විශාල මුදලක්, අවශ්‍ය නම්, මේ සඳහා වියදම් කළ හැකිය. හැබැයි එවිට සිදුවන්නේ විදේශ ණය ගෙවීම් පැහැර හැරීමටයි. එසේ වීත්, රුපියලේ අවප‍්‍රමාණ වීම නතර නොවනු ඇත. මන්ද යත්, එසේ වියදම් කිරීමට ගොස් විදේශ මුදල් සංචිතයත් යම් අවස්ථාවක අවසන් වන බැවිනි. කොයි පැත්තෙන් බැලූවත්, විදේශ වෙළඳපොල අංශයේ පවතින මූලික දෝෂ විසඳා ගැනීමට අපොහොසත් වන තාක් කල් ශ‍්‍රී ලංකාව මේ ප‍්‍රශ්නයෙන් බැටකනු ඇත.

මෙය, ඇත්තෙන්ම ශ‍්‍රී ලංකාව ඉදිරියේ ඇති යක්ෂයාගේ විකල්පයකි.

මෙහි දෙවැනි කොටස ඉදිරියේදී බලාපොරොත්තු වන්න..

2018 සැප්තැම්බර් 25 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ  The Fate Of The Rupee: The Central Bank Is Caught With ‘Devil’s Alternative නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා 

Print Friendly, PDF & Email

පිකාසෝ සොහොයුරන්

$
0
0

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

මෙම සති අන්තයේ සියලුම ජාතික පුවත් පත් වල මහින්ද රාජපක්ෂ පවුලේ හා ජනාධිපති තුමාගේ හමුවක් ගැන තොරතුරු පලවී තිබේ. එයට අනුව එම හමුව සිදු වී තිබෙන්නේ ගිය සතියේ බදදා දිනයේදී බත්තරමුල්ල එස්බි ට අයත් නිවසේදීය. දින හතරකට පසු එම තොරතුර සති අග පත්තර වලට එකම දැක්මකින් එක් වීමට එම පාර්ශ්වයන්ගෙන් එක් පාර්ශවයක් ඉතා හොදින් සැලසුම් සහගතව ලබා දිය යුතුය. ලැබෙමින් පවතින තොරතුරු අනුව රාජපක්ෂ පාර්ශ්වයෙන් මෙම තොරතුරු මාධ්‍ය අතට පත් වී තිබේ. මේ වනතෙක් එම තත්වයට ජනාධිපති තුමාගේ ප්‍රතිචාරය ලැබී නොමැති මුත් රාජපක්ෂ වරු එම තොරතුරු හෙළි වීම පිළිබඳව සතුටින් සිටි.

සති අග පුවත් පත්වල හා මාධ්‍යයේ ප්‍රචාරය වූ තොරතුරු අනුව මෙම දෙපාර්ශවය ඔවුන්ගේ ආණ්ඩුවක් ගොඩ නැගීමේ කටයුතු සැලසුම් කරමින් සිටි. ඒවායේ සත්‍ය  අසත්‍ය බව කෙසේ වෙතත් ආණ්ඩු ක්‍රමයේ 19 වැනි සංශෝදනයේ ප්‍රතිපාදන වලට අනුව විශ්වාස බංගයකින් මෙපිට අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යැවිය නොහැක්කේය. නමුත් යම් දේශපාලන ක්‍රියාදාමයක් ආරම්බ වී ඇති බව බැලූ බැල්මට පෙනේ.

මෙහිදී ජනාධිපති තුමා විසින් 2020 න් පසු  දේශපාලනිකව පැවතීම පිළිබදව තදින් සලකා බලන අතර රාජපක්ෂ වරු බලය ලබා ගැනීමට හෝ එය නිශ්චිත කර ගැනීමට උත්සහ කරනු ලබයි.

එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇති වට පිටාවක ජනාධිපති තුමාට එම පිලෙන් අවසථාවක් ලැබෙනු ඇතැයි සිතිය නොහැක. එබැවින් එතුමා විකල්ප සලකා බැලීම අන්තිම සාදාරණ බව මගේ හැගීමයි. 

අනෙක් අතින් රාජපක්ෂ වරු මුහුණ දෙමින් සිටින අර්බුද කාරී කාලයෙන් මිදීම උදෙසා නව දේශපාලන ක්‍රියාකාරකම් තෝරා ගැනීම විය යුක්තක්ම වේ. මෙම පාර්ශ්වයන් දෙකෙහිම පොදු සතුරා වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ආණ්ඩු බලය හොබවිම, එම නිසාම පක්ෂ අභ්‍යන්තරයේ ඉහල ගිය නොසන්සුන්කම, රටේ ආර්ථිකයේ තත්වය, ණය බර වැනි කරනා මගින් එක්සත් ජාතික පක්ෂයට  තම උපාය උපක්‍රම තේරීමට සිදුව තිබේ.

අනෙකුත් ඕනෑම සමාජ  ක්‍රියාවලියකට වඩා දේශපාලනයේ ඇති විශේෂත්වය වන්නේ එහි බොහෝ කාලයක් කටයුතු කල යුත්තේ මිතුරන් සමග නොව සතුරන් සමගය. සතුරන් සමග කටයුතු කිරීමේ කලාව හොදින් ප්‍රගුණ කල ඇත්තෝ දක්ෂ දේශපාලන නායකයෝ වෙති. එම අර්ථයෙන් ගත් කල මහින්ද, බැසිල් මෙන්ම රනිල්ද එහි කෙල පැමිණියෝය. තම හැගීම් සගවා ගනිමින් සතුරන් සමග කටයුතු කිරීමට එම තිදෙනා හොදින් ප්‍රගුණ කොට තිබේ. නමුත් ජනාධිපති තුමා කෙසේදැයි දන ගැනීමට තවමත් කල්  වැඩිය .

සතුරන් සමග දේශපාලන ගනුදෙනු කිරීම කලාවක් නම්  මහින්ද, රනිල් හා බැසිල් එහි තුන් නිවුන් පිකාසෝ සොහොයුරන්ය. 2020 මැතිවරණය යනු පවතින ආණ්ඩුවට තවත් වසර පහකට ජනවරමක් ඉල්ලා සිටින මැතිවරණයක් මිස ආණ්ඩු මාරු කරන මැතිවරණයක් නොවේ. සාමාන්‍යයෙන් ඕනෑම ප්‍රඡාතන්ත්‍ර වැඩි සමාජයක බලටයට පත් වන ආණ්ඩුවකට වාර දෙකකක් නැතිනම් දස වසරක් ජනවරමක් ලබා දීම සමාන්‍ය තත්වය. නමුත් ඉඳ හිට එක් වරකින් පරාජයට පත් වී ගෙදර යන අවස්ථාවන්ද නැතුවා නොවේ. ලංකාවේ එවැනි තත්වයක් ඇති වීමට නැතිනම් ආණ්ඩුවක් ගෙදර යැවීමට සමාජ දේශපාලන ආර්ථික ක්‍රියාකාරකම් වල දුර්වලතා හෝ දක්ෂතා පමණක්  ප්‍රමාණවත් නොවේ. මන්ද ලංකාවේ එම ප්‍රපම්න්චයන් කවදත් හොදින් තිබුනේ නැතිය.

එමනිසා 2020 දී අවශේෂ දේශපාලන කරනා සමග දක්ෂ දේශපාලන ගනුදෙනු වල දිග පලලද මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුනම් යොදා ගත යුතු වෙයි. එවැනි ගනු දෙනු වල පිකාසෝ වරු තිදෙනෙකු එකට හමු වන තැනක් ලෙස 2020 ජනාධිපති වරණය ගත හැකිය. අනෙක් සියල්ලෝ ඔවුන්ගේ දක්ෂ අදක්ෂ බව මත තම ඉරණම තීන්දු කරන්නෝ වෙති.

ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව යහපාලන ආණ්ඩුව පෙරලා නව රජයක් පිහිටුවීමට සාකච්ඡා පවත්වමින් තිබෙන බව ආණ්ඩුව අත්හැර ගිය පහළොස් දෙනාගේ කණ්ඩායමේ ප්‍රබලයෙකු මේ ලියුම් කරු හා පැවසිය. ඒ සදහා ජනාධිපතිවරයාගේ සහයෝගය ලබා ගැනීමට සැලසුම් කොට ඇති බවද ප්‍රකාශ කළේය.

ඒ වෙනුවෙන් ඇති ක්‍රියාවලියට මහින්ද රාජපක්ෂගේ කැමැත්ත ප්‍රකාශ වී ඇති බවද ප්‍රකාශ කල අතර බැසිල්ගේ මතය තාමත් අවිනිශ්චිත බව කිවේය.

මගේ පහුද්ගලික තක්සේරුව වන්නේ ජනාධිපති තුමාට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොදම තොර ගැනීම වන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව පෙරලා දම පොහොට්ටු පක්ෂය හා නව ආණ්ඩුවක් ගොඩ නැගීමයි. 

එහිදී බැසිල් රාජපක්ෂගේ මතය මෙම සති අන්තයේ පුවත් පත් වලට දී තිබේ.එනම් බැසිල් රාජපක්ෂට අනුව අපේ පක්ෂය අම්බලමක් නොවේ (ජිවිතේ අවුල් කරගත්වුන් ලගින ) සහ ආණ්ඩුව උපාය උපක්‍රම වලින් පෙරලිය  හැක නමුත් ආණ්ඩුවක් පිහිටු වීමට ජන වරමක් අවශ්‍යයි කියා බැසිල් කියයි .එක්සත් ජාතික පක්ෂය බිය විය යුතුය. බැසිල් දේශපාලනිකව පෙර නොවූ විරු ලෙස පරිනත හා උගත් වී ඇත.

Print Friendly, PDF & Email

දොස්තර නෝනා, චම්පික රණවක, විජිත හේරත් හා ජනමාජ්ජ

$
0
0

ප්‍රියන්ත හේවගේ මාතලන් –

ප්‍රියන්ත හේවගේ මාතලන්

අපි අපේ රටේ දේශපාලයන්ට පතුරු යන්න නෙලනවාය. උන් කන්න ඕනේ තණකොළ හා පුනක්කු යැයි කියා කියනවාය. උන්ගේ පොඩි මිස්ටේක් එකටත් පුක නැතිවෙන්නම ගහනවාය. එතකොට උන් සමාජ මාජ්ජ වලට රිටර්න් එක දෙනවාය. මොකෝ පාර්ලිමේන්තුවේ උන්ට ඕන එකක් ඇදලා අරින්න පුළුවන් වගේම නිදහසක්, අම්මට සිරි ලංකාවෙ ජනප්‍රියම සමාජ මාජ්ජය වෙන, ෆේස්බුක් හෙවත් වත්පොත හෙවත් මූණූපොත හෙවත් බුකියට තියෙනවාය. අපිට පාර්ලිමේන්තුවේ උන් කියන ඒවාට කේස් අදින්න පුළුවන් වගේම, දේශපාලුවෝ අපි බුකියේ ලියන කියන ඒවාටත් කොක්ක අදිනවාය.

නුවර කළකෝලාහාලය කාළේ බුකියට සති ගනනක් කෙලලා ඇරියේ ඒ නිසාය. හැබයි ආන්ඩුවේ ඔත්තු කාරයෙක්ය කියනා නාමල් කුමාරයාගේ රෙදි එකින් එක ගැලවෙන කොට, ගේම දීලා තියෙන්නේ ආන්ඩුවේ උන්මයි කියා අගේට ඔප්පු වෙනවාය. අම්පාරෙ කොත්තු කඩෙන්ම වහලා දාන්න පුළුවන් කේස් එක, නුවරදි මහා විනාශයක් කළේ, බුකිය නිසා නොව, එය ආන්ඩුවේ ගේමක් නිසාය කියන එක මොළය කළඳක් ඇති ඕනෑම ගොනෙකුට අගේට තේරෙනවාය.

අපි ආන්ඩුවේ දේශපාලුවන්ටම දොස් කීවාට, විවේචනය කළාට ප්‍රශ්ණය අපේ වූ කළ අපද හැසිරෙන්නේ එසේම බව මේ දවස්වල බුකිය බලනා ඕනා එකෙකුට පෙනෙනවාය. දුමින්ද සිල්වා මිනීමැරුම් චෝදනාවලට හිරේ ගිය දවසේ, අපේ හාමිනා ඇස් දෙකේ කඳුළු පුරවාගෙන ඇහුවේ, කොහොමද අනේ එහෙම කෙනෙක් හිරේ දාන්නේ කියලාය. මීට බොහෝ කලකට පෙර කමල් අද්දරාඅරච්චිටත් ඇතුලට යන්න උන වෙලාවේ, අපේ අක්කලා අඬ අඬා ඇහුවේ, ඇයි අනේ හොඳ මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ කියලාය. ඒ කමල් ඒ කාලයේ සිහිණ කුමාරයා වෙලා උන්නු නිසාය.

දැන් මේ බොරලැස්ගමුවේ ඇක්සිඩොන්ට් එකේ දොස්තර නෝනා ගැන බොහෝ දෙනෙකුට අනුකම්පාවක් ඇති වෙලා තියෙනවාය. දොස්තර නෝනා හරිද වැරදිද කියන්න අපි තාමත් දන්නේ නැතිය. කැකිල්ලේ සජ්ජුරුවෝ වගේ එකෙක් රට පාලනය කරනාතර, කැකිල්ලේ තීන්දූ වාගේ ඒවා අළුත්කඩෙන් එන රටක, අවසානයේදි මියගිය පොලිස් කාරයා එල්ලා මැරීමට තීරණය කලත් අපි එතරම් කළබල විය යුතු නැති අතර, එය අපි අධිකරණයේ පාරිසුද්දත්වය හා නීතියේ ආදීපත්තියද මක්කද රෙද්දක් කියා වර්ණනා කරමින් ලියා අගය කළ යුතුය.

දැන් කොහොමත් ගේම යන්නේ ඒ ආකාර්යටය. නීතිය හා සාමය කිරියාවේ යොදවනා මහ එකාත් ප්‍රසිද්ධියේ නීතිය නවන්න පුළුවන් කියා ලැච්චර් දෙන රටක, මෙය සාමාන්නිය රිය අනතුරක් වී සියල්ලෝ සතුටින් විසිර යාමේ සම්බාවිතාවය තියෙන්නේ ඉතා ඉහළම අගයක කියා බොහෝ දෙනෙකුට තේරිලා තියෙනවාය. ඉතින් මේ අනුකම්පං උපාදාය හා පෝස්ට් එන්නේ ඒවාට සප් එකටය. එක ජොස්තර කෙනෙක් ලියලා තිබුනේ මේ දොස්තර නෝනා “ඇසෙට් ටු ආ කන්ට්‍රි” එකක් හෙවත් “ජාතික වස්තුවක්” නිසා, ජනාධිපති තුමා විසින් ඇය කිසිඳු ආකාරයේ දඬුවමකට යටත් නොකොට නිදොස් කොට නිදහස් කළය යුතු බවය.

තවත් සම හරක් මාජ්ජවේදින් හා බුකියේ සමාජ මාජ්ජ වේදීන් කියන්නේ ඒකේ අනික් පැත්තය. එනම් නිව්ස් හා ගොසිප් වලට අනුව, මේ දොස්තර නෝනා “ජාතික වස්තුවක් නොව” එක්තරා “ජාතියක වස්තුවක්” නිසා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවය.

ඒ අස්සේ සම හරක් බුකි විචාරකයින්ගේ පුකේ ඉත්තෑවන් දුවන්න අරගෙන තිබෙන්නේ, මේ දෙවනියට සඳහන් කළ කාන්ඩය කරන්නේ කොතරම් පහත් තුඡ්ච ක්‍රියාවක්ද කියලාය. මේ මතුවන්නේ ප්‍රශ්ණය තමන්ගේ වූවාම ඌයියා වෙන එකය. මෙයාලා ව්‍යංගෙන් එකතු වන්නේ අර මුලින් සඳහන් කළ ජොස්තරයාගේ අදහසටය. ඔවුන්ගේ මනසේ ලියැවි ඇත්තේ, ජොස්තරවරුන් දෙවියන් හා දේශපාලුවන් යක්ෂයන් ලෙසය.

අපට මේවාට හිකෙන් පුනා යන්නේ, මේ පිරිසම, ජේවීපී විජිත හේරත් දෙකක් දමාගෙන ගොස් ලැයිට් කණුවක ප්‍රමිතිය පරික්ෂා කිරීමේදි හැසිරුන ආකාරය සහ චම්පික රණවක අහින් මෝටර් සයිකල් කරුවෙක් අනතුරට පත් වූ අවස්ථාවෙ හැසිරුන ආකාරය ගැන කල්පනාවට එන මොහොතේය. එතකොට ඒවා ඇක්සිඩන්ට්ම විතරක් උනේ නැතිය. නොම්මර එකේ ගොසිප්, නිව්ස්, එකසිය ගානට ගලාගෙන ගියේය.

ඒ දේශපාලුවන් කෙරේ සාමාන්නිය ජනතාවගේ ඇති අප්පිරියාව නිසාවෙන්මය. අද දොස්තරලාටත් වෙලා තියෙන්නේ ඒකය. අද මේ රටේ කිසිම වෘතිතිකයකු ජනතාවගේ ප්‍රසාදයට පත් වන්නේ නැතිය. සමස්ත සමාජයම එකම ගූ ගොඩක්ය. ඉහළ සිට පහළටම තත්වය එසේය.

එය එසේ වූ කළ, එක තැනකින් පමණක් ශිෂ්ඨත්වය සෙවීමට යෑම පිස්සු විකාරයක්ය. සිඳු විය යුත්තේ නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වීමය. එහෙත් එය එසේ සිඳු නොවනා බව සියල්ලන්ම දන්නවාය. මහා ළොකු යහපාලනයක් ගෙන එනවා යැයි කියූවද, එල්ලුම් ගස් ගැන කතා මෙන්ම සැකකරුවන් වතුරට පැන මිය යාම්ද වාර්ථා වන්නේ, සමස්තයම එක්ම ගූ ගොඩක් නිසාය. ඒ නිසා බුකියේ අද දිනයේම දැමූ සටහනක් පහළින් එල්ලා, මාතලන්ගේ මේ පල් හෑල්ල මෙතකින් නවතා දමනවාය.

මිනිසුන් විවිධාකාරයි..
ලෝකය ගෝලාකාරයි…
මාධ්‍ය කියන්නේ,
කොයි මාධ්‍යය ගත්තත් ඕපාදූප ගොසිප් සාගරයක්.. මිනිස්සු ඒවා බලන්නෙ අහන්නේ වං හුං වලට ඇති කැමැත්ත නිසා..
ඒ වගේම හැමෝම කැමතියි තමන් විවේචනය නොවී,
සිනහවට ලක් නොවී..
අනෙක් අය විවේචනය කරන්න..
අනෙක් අයට හිනා වෙන්න..
ඒත්,
තමන්ට හෝ තමන් ආදරය කරන කෙනෙක්
ටොපික් එක වෙලා, නිව්ස් එක වෙලා,
ගොසිප් එක උනාම,
පුකේ ඉත්තෑවෝ දුවන්න ගන්නවා..
ඒක සාමාන්‍යයි…

– සිග්මන් ප්‍රොයිඩ් –
නයිට් ක්ලබ් එකක අඩියක් ගසමින්..

බීමත්ව රිය පැදවීමෙන් වලකින්න.

එය අනුන්ගේ ජීවිත බේරනාතර,
තමන්ගේ පුකත්වය ප්‍රදර්ශණය වීමෙන්ද වලකී

– උගත් පාඩම් –

Print Friendly, PDF & Email

විශ්වාසභංගයේ දෙවැනි කොටස: භාරකාර ආණ්ඩුවක් පිළිබඳ ප්‍ර​යත්නයක්

$
0
0

රසික ජයකොඩි

රසික ජයකොඩි

මුද්‍රිත සහ සමාජ ජාලා මාධ්‍ය වාර්තා නිවැරදි නම්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන තමන්ගේ ජන්මාන්තාර ප්‍ර​තිවාදියා වන මහින්ද රාජපක්ෂ සමග භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ කල්පනාවක මේ අවස්ථාවේ නිමග්නව සිටී. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊනියා ‘15 කණ්ඩායමේ’ සාමාජිකයෙකු වන එස්. බී. දිසානායකගේ නිවසේ දී සිරිසේන සහ රාජපක්ෂ අතර සාකච්ඡාවක් පැවති බව පුවත්පත් කිහිපයක් වාර්තා කොට තිබුණි. ඒ සාකච්ඡාවේ ප‍්‍රතිඵලය කුමක්දැ යි තවම පැහැදිළි නැතත්, භාරකාර ආණ්ඩුවක් සඳහා වන යෝජනාව ඉදිරියට ගෙන යාමේ සාකච්ඡා පදනමක් ඒ හමුවෙන් ඇති කර ගන්නා ලදැයි අපට උපකල්පනය කළ හැක.

එවැන්නකින් බලාපොරොත්තු වන එල්ලයේ තරම හිතා ගැනීම අපහසු නැත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඇති කර ගන්නා තාවකාලික සභාගයක් හරහා එක්සත් ජාතික පක්ෂයත්, අගමැති රනිල් වික‍්‍රමසිංහවත් ආණ්ඩු බලයෙන් පන්නා දැමීම එහි අරමුණ බව පැහැදිළි ය. තම වාසනාව උරගා බැලීමට සිරිසේනත්, රාජපක්ෂත් 2019 අයවැය පිළිබඳ එළැඹෙන පාර්ලිමේන්තුවේ ඡන්දය ඒ සඳහා අවස්ථාවක් කර ගැනීමට බලනවා විය යුතුය.

මේ වැඩපිළිවෙල ගැන සහාය දක්වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ‘ඒෂියන් මිරර්’ සමග පැවති සාකච්ඡාවකදී ඒ පිළිබඳ අවසාන ඉලක්කය මෙසේ පැහැදිළි කොට තිබුණි: ‘‘හිටපු ජනාධිපති රාජපක්ෂ, අපේක්ෂා කරන භාරකාර ආණ්ඩුවේ අගමැති වෙන්න පුළුවන්. ඒ වැඩපිළිවෙලම ඊළඟ ජනාධිපතිවරණයටත් යනවා. ඒ ජනාධිපතිවරණයේදී සිරිසේනට සහාය වෙන්න රාජපක්ෂට පුළුවන්. ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජපක්ෂට සහාය වෙන්න සිරිසේනට පුළුවන්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩුවේ ප‍්‍රධාන චරිතය වෙන්නේ අගමැතිවරයා කියන එක ජනාධිපති සිරිසේන දැනටමත් කියලයි තියෙන්නේ. ඒක නිසා, හිටපු ජනාධිපතිවරයාට ඔහුට නිසි තැන ලැබෙනවා ඇති.’

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන ජනාධිපති සිරිසේනගේ මේ වුවමනාව එන්නේ, ඊළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයක පොදු අපේක්ෂකයා වශයෙන් තමන්ට ඉදිරිපත් වීමට ඇති හැකියාව සොයා බැලීමට ගත් අසාර්ථක ප‍්‍රයත්නයකින් පසුවයි. ඒ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ කිසි අවශ්‍යතාවක් තමන්ට නැති බව එක්සත් ජාතික පක්ෂය කෙලින්ම ජනාධිපතිවරයාට කියා ඇති බව සැලයි. තමාගේ ජනාධිපති අභිලාෂය ඉෂ්ට කර ගැනීම සඳහා සිරිසේන ඒකාබද්ධ විපක්ෂය දෙසට හැරෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

එක දෙයක් පැහැදිළි ය. භාරකාර ආණ්ඩුවක් හැදීමේ වෑයම සාර්ථක වුවහොත් වර්තමාන දේශපාලනික අර්බුදයත්, ආර්ථික අස්ථාවරත්වයත් තවත් උග‍්‍ර වනු ඇත. අඩු වශයෙන් ඊළඟ ජනාධිපතිවරණය දක්වාවත්, රට ව්‍යසනකාරී දේශපාලනික කුණාටුවකට හසුව, දැනට පවතින රුපියලේ අවප‍්‍රමාණය වීම පිළිබඳ ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වී, රටට පැමිණීමට සිටින ආයෝජකයන්වත් අධෛර්යමත් කරවනු ඇත.

කරුණු එසේ තිබියදී, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ගැන සොයා බැලීම වටී.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය ඒකාබද්ධව අවසාන වරට ගත් ප‍්‍රයත්නය වුණේ, මේ වසරේ අප්‍රේල් මාසයේ අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ගෙනා විශ්වාස භංගයයි. අවසානයේදී, එය පටන් ගත් සහ ඊට සහාය දුන් අයගේම හිස මතට එය පාරාවළලක් වී ආවේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෑහෙන මන්ත‍්‍රීවරුන් පිරිසක් එහිදී ඡුන්දය දීමෙන් වැළකී සිටි අතර, විශ්වාස භංග යෝජනාව විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජය කරනු ලැබීය.

මේ වසරේ පෙබරවාරියේ පළාත් පාලන ඡුන්දයෙන් අන්ත පරාජයට පත්ව සිටි අගමැතිවරයා ඒකාබද්ධය ගෙනා මේ විශ්වාස භංගය හරහා පාර්ලිමේන්තුවේ ඡන්ද 122 ක් ලබා ගනිමින් තමාගේ අධිකාරය යළි තහවුරු කර ගත්තේය. අගමැතිවරයාව එලවා දැමීම කෙසේ වෙතත්, ඒ මගින් අගමැතිවරයාගේ ශක්තිය තර වීම නිසා ඒකාබද්ධය හොඳටම වැටුණේය. විශ්වාස භංගයට සහාය දැක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වී වෙනම කණ්ඩායමක් හදා ගත් අතර ජනාධිපති සිරිසේනට නැවතත් අලූතෙන් පටන් ගැනීමට සිදු විය.

ඒ අනුව ගත් විට, මේ ‘ඒකාබද්ධ ප‍්‍රයත්නය’ අගමැතිවරයා එලවා දැමීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව ගන්නා දෙවැනි වෑයමයි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ඒකාබද්ධ විපක්ෂයට, අගමැතිවරයාව සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති වීමයි. ඒ නිසා, එවැන්නක් සාර්ථක වීමට නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහායත්, ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයෙන් කැඞී යාමට තරම් හයියක් ඇති මන්ත‍්‍රීවරුන් අඩු වශයෙන් 10 දෙනෙකුගේ පමණ සහායත් අවශ්‍ය කරනු ඇත.

දෙපාර්ශ්වය අතර පවතින බරපතල දේශපාලනික වෙනස්කම් ගැන සලකන විට, භාරකාර ආණ්ඩුවකට ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලැබෙතැයි සිතිය නොහැක. එසේම, ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු වන අතුරලියේ රතන හිමියන් හැරුණු කොට, එක්සත් ජාතික පක්ෂයේ වෙන කිසිවෙකු මේ අවස්ථාවේ පක්ෂයෙන් කැඞී ගොස් නායකයාට විරුද්ධ සටනකට ලැහැස්ති වෙතැයි සිතිය නොහැක. විශ්වාස භංගය ගෙන ඒමට කලින් නායකයාව විවේචනය කරමින් සිටි අයවළුන් පවා ඒ පිලිබඳ අවසාන ඡන්දයේදී සුවචව නායකයාට පක්ෂව පෙනී සිටි බව අපට මතක ය. අන්තිමට සිදුවුණේ, යෝජනාව ගෙනා සහ ඊට සහාය දුන් පිරිස බරපතල අමාරුවක වැටීමයි.

වැදගත්ම ප‍්‍රශ්නය වන්නේ, ඒකාබද්ධ විපක්ෂය හෝ එහි සහචර බලඇණිය වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇත්තෙන්ම සිරිසේන සමග ඇති කර ගන්නා සභාගයක් හරහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය වන්නේද යන්නයි. ජනාධිපතිවරයාම පිළිගෙන ඇති පරිදි, ඔහුගේ ජනප‍්‍රියත්වය මේ වන විට හොඳටම පල්ලම් බැස තිබේ. පළාත් පාලන මැතිවරණ ඡුන්දයෙන් ඒ බව සනාථ විය. එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සසඳන විට ඔහුගේ පක්ෂය මේ වන විට නොවැදගත් පක්ෂයක් බවට පත්ව තිබේ.

රාජපක්ෂලා නායකත්වය දෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒ අතින් ගත් විට, ඊළඟ ජනාධිපතිවරණයකදී ජයග‍්‍රහණය කොට තනියෙන් ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බලසම්පන්න පක්ෂයකි. රුපියලේ අගය අවප‍්‍රමාණ වීමේ ප‍්‍රශ්නය සහ පෙට‍්‍රල් මිල වැඩි වීමේ ප‍්‍රශ්නය අඩු වශයෙන් ඊළඟ වසර මැද දක්වාවත් පැවතීමට ඉඩ ඇති අතර, එය ද රාජපක්ෂලාගේ ජයග‍්‍රහණයකට අත්වැලක් වනු ඇත. එසේ තිබියදී සිරිසේන සමග භාරකාර ආණ්ඩුවකට යාම, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් ගත් විට, අනවශ්‍ය ආපදාවක් ඇති කර ගැනීමක් සහ ඊළඟ මැතිවරණයක ජයග‍්‍රහණය සඳහා පවතින අවස්ථාව දුර්වල කර ගැනීමක් විය හැකිය. ඊට හිලව්වට රාජපක්ෂලා වෙනුවෙන් සිරිසේන සතුව ඇත්තේ දිනෙන් දින ගරා වැටෙන බලයකුත්, කැඞී ගිය පක්ෂයකුත්, අසාර්ථක පරිපාලනයකුත් පමණි.

හුළං හමන්නේ කොයි අතටදැ යි කල්තියා දැන ගැනීමේ මනා හුරුවක් ඇති දේශපාලඥයෙකු වන මහින්ද රාජපක්ෂ, ඊළඟ මැතිවරණයට අවුරුද්දක තරම් කෙටි කාලයක් තියාගෙන ඇති කර ගන්නා භාරකාර ආණ්ඩුවක තිබිය හැකි හොඳ නරක හොඳින් කිරා බලා ඇතිවාට සැක නැත. එබැවින් මේ කාරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කටයුතු කරනු ඇත්තේ ඉතා පරිස්සමිනි. ඒ අනුව, සිරිසේනට ඔහුගේ ‘භාරකාර ආණ්ඩුව’ කරගෙන යාමට ඉඩ දී, එහි ඇමති තනතුරු කිසිවක් නොගෙන එළියේ සිට ඔහු ඊට සහාය දැක්වීමට ඉඩ තිබේ. ඒ ආකාරයේ දියාරු අච්චාරුවක් නිසා සිරිසේනගේ බලය තවත් පිරිහී ගොස් එක්සත් ජාතික ආණ්ඩුව තුළ ඔහුට දැනට ඇති බලය තවත් දුර්වල වීමට තුඩුදෙනු ඇත.

පිටස්තරයෙකු වශයෙන් මට පෙනී යන කාරණය වන්නේ, ‘භාරකාර ආණ්ඩුවක්’ පිළිබඳ උපදේශය ඔහුට දී ඇති කවරෙකු වුවත් කර ඇත්තේ ඔහුව ගොනාට ඇන්දවීමක් බවයි. ඒ ගැන ජනාධිපතිවරයා විමසිලිමත් විය යුතුය. ඒ නිසා වහා ආපසු හැරී දිරච්ච ලණු නොකා තමන්ගේ පැවැත්ම සඳහා වෙනත් මාර්ගයක් නොගත්තොත්, විශ්වාස භංගයේදි අත්වූ නීරස පාඩම නැවත වරක් අලූතෙන් උගෙනීමට ජනාධිපතිවරයාට සිදු විය හැකිය.

*2018 ඔක්තෝබර් 7 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ No-Confidence Saga Part Deux: An Attempt At A Caretaker Government නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

ගානක් නැති දෙවි කෙනෙක්?

$
0
0

ෂ්‍යාමන් ජයසිංහ

ෂ්‍යාමන් ජයසිංහ

විනාශය

මේවායේ අගක් මුලක් මට නොවැටහේ. ඒ සම්බන්ධයෙන් මට උදව් විය හැකි කෙනෙකු වේ නම් යෙහෙකි. ඉන්දුනීසියාවේ සුලාවෙසි පෙදෙසේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අතිශය ශෝකාකූල මිනිස් ඛේදවාචකයේ තරම ‘අල් ජසීරා’ රූපවාහිනියෙන් මේ දැන් මම දුටුවෙමි. අංශක 7.5 මහා භූමි කම්පාවකින් අනතුරුව ගැලූ භයානක සුනාමියකින් පසුව, අතදරුවන්, ළමා ලපටි, වැඩිමහලූ සහ රෝගී පුද්ගලයන් ඇතුළු ලක්ෂයකට අධික පිරිසක් උන්හිටි තැන් අහිමිව, ජාත්‍යන්තර සහනාධාර සංවිධාන මගින් ආහාරපාන ගෙන දෙන තෙක් බලා සිටිති. 1500 කට අධික පිරිසක් මරණයට පත්ව ඇත. තව ලක්ෂ ගණනක් ආගිය අතක් නැත.

‘ඇයි’ ඒ?

දවසට පස් වතාවක් යාච්ඤා කරන, ලෝකයේ විශාලතම මුස්ලිම් රාජ්‍යයට මෙවැනි විපතක් සිදු වුණේ ඇයි? මගේ ප‍්‍රශ්නයේ සාධාරණත්වය ගැන කිසිවෙකුට ප‍්‍රශ්නයක් තිබිය නොහැක. එසේම, කිසි ඇදහීමක් හෑල්ලූවට ලක්කිරීමේ අවශ්‍යතාවක් මට ඇත්තේත් නැත. මා මේ ප‍්‍රශ්නය මතු කරන්නේ, හේතු බුද්ධියෙන් යුතුව දේවල් දිහා බලන කෙනෙකු වශයෙන් මේ තත්වය මට පටලැවිල්ලක් වන බැවිනි. අභියෝගයක් අප ඉදිරියේ ඇති නිසාත්, ඊළඟ පියවර කුමක්දැ යි දැන ගත යුතු නිසාත්, ඒ ප‍්‍රශ්නයට පිළිතුරක් අපට අවශ්‍ය කෙරේ. නොදන්නා රටකට ගෙන ගොස් අතහැර දැමුවහොත් යන එන මං නොදන්නා තත්වයට පත්වන අප ඒ පළාත ගැන දන්නා කියන කෙනෙකුගෙන් පාරතොට විමසිය යුතුය. ඉන්දුනීසියාවේ මේ ඛේදවාචකය තුළ, ඔවුන්ගේ පැවැත්මේ සත්තාව පිළිබඳ බරපතල අවුලකට, හිතන-පතන මිනිසුන් පත්විය හැකි බව මගේ විශ්වාසයයි. ඒ නිසා පන්දු රකින්නාට බෝලය පාස් කොට, අපේ සුපුරුදු මතිමතාන්තර එලෙසම දරාගෙන දිගටම සිටීමේ හැකියාවක් අපට නැත. හේතුව, අප මේ තත්වයට පත්ව ඇත්තේ මන්ද යන්නට අදාළ අපේ පැවැත්ම පිළිබඳ මූලික කල්පිතයන්ම මෙහිදී අභියෝගයට ලක්ව තිබෙන බැවිනි.

ප‍්‍රකෝපණය සහ අහක බලාගෙන සිටීම

‘යුදෙව් ජන සංහාරය’ නමින් හැඳින්වෙන මිනිසා විසින් ඇති කරන ලද විසි වැනි සියවසේ මහා මිනිස් ඛේදවාචකය ගැන යමක් පැවසීම සඳහා එක් නවකතාවක් පාදක කර ගැනීමට මම කැමැත්තෙමි. හීතර් මොරිස් විසින් ලියා තිබූ එය ‘‘අවුෂ්විට්ස් පච්චකාරයා’’ නමි. අවුෂ්විට්ස් යනු, හිට්ලර් විසින් පෝලන්තයේ පවත්වාගෙන ගිය එක් ඝාතක කඳවුරකි. යුරෝපයේ විවිධ රටවලින් කෝච්චි පෙට්ටි පුරවාගෙන රැුගෙන එන ලද යුදෙව් ජාතිකයන්ව මේ කඳවුරට ගාල් කොට ගෑස් කාමර තුළ දමා ඝාතනය කෙරුණි. ගැහැනු, පිරිමි සහ ළමුන් ඇතුළු පවුල් පිටින් ඔවුන්ගේ ගම්බිම්වලින් පටවාගෙන විත් මේ කඳවුරට දැමීමෙන් පසු, ඒ අතරේ සිටි සෞඛ්‍ය සම්පන්න පිරිස් එක විට ගෑස් කාමරවලට යැවුණේ නැත. ඒ වෙනුවට, කෝටුමස් වන තෙක් ඔවුන්ගෙන් වැඩ ගත්තේය. ඔවුන්ට පැවරුණු එක රාජකාරියක් වුණේ, තමන්ගේම ආදාහනාගාර ගොඩනැගීමයි. වැඩ කිරීමෙන් හෙම්බත් වන විට අවසානයේදී තොග පිටින් ඔවුන්ව ගෑස් කාමරවලට දමා ඔවුන්ම තැනූ ආදාහනාගාරයේ පුළුස්සනු ලැබේ. ඔවුන් කළ එකම අපරාධය වුණේ යුදෙව් ජාතිකව ඉපැදීමයි. මේ නවකතාවේ ප‍්‍රධාන චරිතය වන ලේල් සොකොලෝව් තවත් සිරකාරියක් වූ ගීතා සමග පේ‍්‍රමයෙන් බැඳේ. දවසක් ගීතා ඔහුගෙන් මෙසේ අසයි:

‘ඔයා තවමත් දෙවියන් වහන්සේ ගැන විස්වාස කරනව ද?’

‘මෙච්චර දේවල් වුණාට පස්සේ මගේ ඒ විස්වාසේ නැති වෙලා.’

ලේල් සොකොලෝව් යනු, ඇති වී තිබෙන තත්වය ගැන සිතන මතන මිනිසෙකි. ඔහු බෝලය වෙනත් තැනකට පාස් කෙළේ නැත. ඇති වූ සිද්ධිය විසින් ඔහුව ප‍්‍රකෝප ගන්වනු ලැබ තිබුණි. බොහෝ ස්වාභාවික විපත් සේම, මිනිසා විසින්ම ඇති කරන ලද මහා විනාශයන් හමුවේ අපේ විශ්වාසයන් ගැන යළි සිතා බැලීමට අපව තල්ලූ කළ යුතුය. එහෙත් එවැන්නක් සිදු නොවේ. විනාශයට මුහුණදුන් වින්දිතයන් ද ඇතුළුව අප බොහෝ දෙනා කරන්නේ බෝලය වෙනත් තැනකට පාස් කිරීමයි. ඊටත් වඩා නරක තත්වය වන්නේ, තවත් බොහෝ දෙනා ඒ විනාශය යුක්ති සහගත කෙරෙන ආකාරයෙන් තමන්ගේ විශ්වාසයන් තවත් තහවුරු කර ගැනීමට බැලීමයි.

කැන්ටබරි අගරදගුරුතුමා

ශ‍්‍රී ලංකාවත් යට වු 2004 සුනාමිය මට තාම මතකයි. මා දැන් මතු කරන ප‍්‍රශ්නය එදා කැන්ටබරි අගරදගුරුතුමාට ඉදිරිපත් කළ අවස්ථාවේ තමා ඒ ගැන බලවත් ‘අපහසුතාවට’ පත්ව සිටින බව එතුමා කීවේය. එය එතුමාගේ අවංක භාවය විදහා පෑමකි. ඔහු චින්තකයෙකි. සමහර විට ඔහු සිතන්ට ඇත්තේ, ‘දෙවියන් වහන්සේ කොහේද? ඇයි උන්වහන්සේ අහක බලාගෙන ඉන්නේ? ඊටත් වඩා, එහෙම දෙවියන් වහන්සේ කෙනෙක් ඇත්තෙන්ම සිටී ද?’ ආදී දේවල් විය හැකිය. සමහර විට, මහත් හද කම්පාවට පත්ව ඔහු මෙසේත් සිතන්නට ඇති: ‘ඇත්තෙන්ම මම මගේ මීසම් වැසියන්ව රවට්ටනවා විය නොහැකි ද?’

සිද්ධිය යුක්ති සහගත කිරීම

මෙසේ ප‍්‍රශ්න කිරීමට තරම් රුදාවක් නැති පිරිස අපට පැත්තකින් තැබිය හැකිය. මන්ද යත්, ඔවුන් වනාහී එසේ ප‍්‍රශ්න කිරීමේ හැකියාවක් නැති නිසා කට වසාගෙන සිටින අවාසනාවන්තයන් වන බැවිනි. එහෙත් තවත් පිරිසක් සිටිති. ඔවුහූ ඇති වූ විනාශය යුක්ති සහගත කොට, දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය ඉදිරියටත් රැුගෙන යාමට වෙර දරති. ඉන්දුනීසියාවේ ඛේදවාචකය තුළ එක් කාන්තාවක් තමාගේ දිවි ගලවා දීම ගැන දොහොත් මුදුන් දී දෙවියන් වහන්සේට යාච්ඤා කළ බව කියැවුණි. එහෙත් තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එවන් දුකකට පත්වීමේදී දෙවියන් වහන්සේ බලාගෙන සිටියේ මන්දැයි ඇගේ සිතට නාවේ ඇයි?

මේ ආකාරයෙන්ම, පිළිකා රෝගයෙන් සුවය ලැබූවන් බොහෝ විට දෙවියන් වහන්සේට ස්තුති කරනු අප අසා තිබේ. ඉන් බොහෝ දෙනා පිළිකා රෝග ලක්ෂණ තාවකාලිකව යටපත් වූ තත්වයේ සිටි පුද්ගලයන් ය. එහෙත් ඒ පැත්තක් ගැන ඔවුන් සිතන්නේ නැත. ඔවුන් කරන්නේ, දණින් වැටී දෙවියන්ට පිං දීමයි. එහෙත් ඔවුන්ට වඩා විශාල පිරිසක් එවැනි තාවකාලික සහනයක් හෝ නොලැබ, එයින් විඳවා ජීවිතක්ෂයට පත්වන්නේ මන්දැයි මේ වාසනාවන්තයන්ට නොසිතෙන්නේ ඇයි? එය කිසිවෙකුට ස්තුති පූර්වක වීමට තරම් දෙයක් ද? ඒ සියල්ලටමත්, වඩා තමාට එවැනි රෝගයක් ඇති වීමට දෙවියන් ඉඩ හැරියේ මන්ද යන ප‍්‍රශ්නය මුලින්ම ඔවුන්ගේ සිතට නොඑන්නේ ඇයි?

මීට වඩා විදග්ධ භාවයක් පෙන්නුම් කිරීමට කැමැත්තක් දක්වන, මේ විපත යුක්ති සහගත කිරීමට බලන තවත් පිරිසක් සිටිති. ඔවුන් කියන්නේ මෙවැන්නකි: ‘දෙවියන් වහන්සේ ක‍්‍රියා කරන්නේ ගුප්ත ආකාරයකින්. මේවා ගැන ප‍්‍රශ්න කරන්න ඒක නිසා අපිට අයිතියක් නැහැ.’ අප එකිනෙකා පිළිබඳ වෙනම ‘සැලැස්මක්’ දෙවියන් සතුව ඇතැයි ඔවුන් කියා සිටිනු ඇත. ඒ දේව කැමැත්තට අප යටත් විය යුතුය. ලෝකයේ අස්සක් මුල්ලක් නෑර බිලියන 8 ක් මිනිස්සු ජීවත් වෙති. මේ පිරිසේ එක් එක්කෙනා ගැන වෙනම සැලසුමක් සහිතව කටයුතු කරන දෙවි කෙනෙක් ගැන කෙසේ නම් සිතා ගන්න ද? එහෙත් බැතිමතාට එය ප‍්‍රශ්නයක් නොවේ.

මේ සියල්ලන්ගේ පොදු ලක්ෂණයක් තිබේ. එනම්, ඕනෑම තත්වයක් යටතේ භක්තිය පවත්වාගෙන යා යුතු බවට ඇති විශ්වාසයයි. (භෞතික වාසි තකා මෙවැනි විශ්වාසයන් දරා සිටින අය ගැන අමුතුවෙන් කතා කිරීමේ අවශ්‍යතාවක් නැත.)

කර්ම නියාමය

ඉන්දියානු කර්ම නියාමය බොහෝ ආගමිකයෝ අදහති. අදේවවාදීන් වශයෙන් සැලකෙන මොවුහූ ද, යම් නිශ්චිත පරිපාටියක් සහ එක්තරා ආකාරයක ආඥාපතිත්වයක් පිළිබඳ විශ්වාසය තබති. ඒ ආඥාපති කාර්යය වන්නේ, නරකට සිටින මිනිසුන්ට නපුරක් සිදුවීමට සැලැස්වීමයි. එසේ නොවේ නම්, යම් පාප කර්මයක් නිසා ඊළඟ ආත්ම භවයේ ඊට ගැලපෙන රුදුරු ඉරණමක් කෙනෙකුට අත්වන්නේ කෙසේ ද? මගේ අම්මාට ගර්භාෂයේ පිළිකාවක් හැදුණේ ඈ තරුණ වියේදීම ය. ජ්‍යෝතිෂය විශ්වාස කළ මගේ පියා ඉන්දියානු සාස්තරකරුවෙකු ළඟට ගියේය. ඔහු මගේ අම්මාගේ අතීත භවය පිළිබඳ කතාව කීවේය. ඒ අනුව මගේ අම්මා ඉහත ආත්මයක චීන රජ පවුලක කුමාරිකාවක්ව සිටියදී බඩදරු ගැහැනියකට පයින් ගසා ඇත. ‘අන්න ඒ පාප කර්මය නිසා තමයි මේ ආත්මයේ ගර්භාෂයේ පිළිකාවක් හැදිලා තියෙන්නේ.’ තක්කඩියා කීය. මෙය බොරුවක් බව ඇත්ත. එහෙත් ඒ කතාව මා උපුටා දැක්වූයේ, ඉහත ආත්මයක කර්මයකට අනුකූලව වෙනත් ආත්මයක ඉපැදීම පිළිබඳ විශ්වාසයේ ස්වභාවය පැහැදිළි කිරීමටයි. එය සත්‍යයක් නම්, කෙනෙකුගේ සෑම ක‍්‍රියාවක්ම සැලකිල්ලට ගෙන ඊළඟ ආත්මයක් ඊට අනුගතව ක‍්‍රමායනය කිරීමේ බලධාරියෙකු හෝ ආඥාපතියෙකු පිළිබඳ අදහසක් ගම්‍ය වන්නේය. ආඥාපතියෙකු මෙන් එසේ සිදුවීම්වල ප‍්‍රතිවිපාක තීන්දු කිරීමේ හැකියාවක් හුදු සිද්ධීන්ට තිබිය නොහැක. කෙනෙකු මෙවැනි විශ්වාසයන් විචාරාත්මක පරීක්ෂාවට භාජනය නොකරන්නේ නම්, කර්ම නියාමය ඉතා තාර්කික දෙයක් සේ පෙනී යා හැකිය. ඒ කෙසේද යත්, බඩදරු ගැහැනියකට පයින් ගැසූ ගැහැනියකගේ ගර්භාෂයේ පිළිකාවක් හැදීමමයි හොද!

විචාරශීලී නිරීක්ෂණයේ අවශ්‍යතාව

අධ්‍යාපනඥයන්ගේ කාර්යය විය යුත්තේ, අනාගත ලෝකය නිර්මාණය කරන ශිෂ්‍යයන් තුළ විචාර ගුණය රෝපණය කිරීමයි. ඕස්ටේ‍්‍රලියාවේ සෑම විෂයයක් අරභයාම විචාරශීලී චින්තන ව්‍යාපෘති යොදා ගැනේ. වෙනත් සමහර බටහිර රටවල විචාර චින්තනය වෙනම උගන්වනු ලැබේ. අනිත් අයගේ මතිමතාන්තර, ඔවුන් කවුරුන් වෙතත්, ප‍්‍රශ්න නොකරන ජනතාවක් රටකට නොහොබී.

මේ නිදහස් විචාරය පිළිබඳ ප‍්‍රශ්නයේදී ආගමට විශේෂ ආරක්ෂාවක් දිය යුතු නොවේ. යථාර්ථයට සම්බන්ධ සකල කාරණා ගැන අදහස් දැක්වීම ආගමේ කාර්යයක් බවට පත්ව තිබුණි. අද වන විට එය විද්‍යාවේ කාර්යයක් බවට පත්ව තිබේ. විද්‍යාත්මක ප‍්‍රස්තුත, අඩු වශයෙන් ඒවා නිෂේධ කෙරෙන ප‍්‍රති-තර්ක හමුවන තෙක්වත් වලංගු වන්නේය. එහෙත් ආගම්කාරයන් කියන්නේ යථාර්ථය පිළිබඳ ආගමික පැහැදිළි කිරීම් හැම කාලයටම වලංගු බව ය. ඒවාට පටහැනි මොන තරම් සාක්ෂි හමු වුවත් ඒවා ප‍්‍රශ්න කිරීමේ අයිතියක් ආගමෙන් නොදෙයි. තමාගේ දුරදක්නයෙන් වෙනත් යථාර්ථයක් පෙන්නුම් කරනු ලැබූ විට කොපර්නිකස් ආගම ප‍්‍රශ්න කෙළේය. එහෙත් ඒ නිසා ඔහු අනේක ගැහැටට පත්විය. අන්තිමේදී පල්ලියෙන් සිය ජීවිතය බේරා ගැනීම සඳහා ඔහුට තම මතය වෙනස් කර ගැනීමට සිදු විය. ‘‘නැහැ.. නැහැ.. මං ඒක කිව්වේ විහිළුවටයි’’ කියා ඔහුට කියන්ට සිදු විය.

ආගමික විශ්වාසයන් පිළිබඳ විශාලතම භූමි කම්පාව ඇති කෙළේ චාල්ස් ඩාර්වින් ය. දෙවියන් වහන්සේ විසින් මිනිසා මවන ලදැයි යන විශ්වාසය, පැලෑටි සහ සත්ව පොසිල සාක්ෂි ආශ‍්‍රයෙන් ඔහු ඛණ්ඩනය කෙළේය. එහෙත් කොපර්නිකස්ට වඩා තරමක් කල්පනාකාරී වූ ඔහු තමන්ගේ සොයා ගැනීම, ‘හොඳ’ අවස්ථාවක් එන තෙක් කල් දැම්මේය.

විචාරශීලී චින්තනය ප‍්‍රවර්ධනය කිරීමේ දී ලංකාව අයාලේ ගොස් තිබීම කණගාටුදායක ය. මේ විචාරශීලී චින්තනය අපේ විෂයමාලා කිසිවක් තුළ දක්නට නැත. ඒ ගැන වෙනම ඉගැන්වීමක් කරන්නේ ද නැත. දශක හයක නිදහස් අධ්‍යාපන උරුමයක් අපට තිබුණත්, අපට සිටින්නේ, ඕනෑම ගොබ්බ කතාවක් එක උගුරට ගිලින, දේශපාලඥයන්ගේ කෙබර හිස මුදුනින් විශ්වාස කරන අවිචාරවත් ජනතාවක් ය. අපේ ජනතාවගේ සාමාන්‍ය තත්වය පහසුවෙන් වටහා ගත හැකි එක ක‍්‍රමයක් වන්නේ, ජාතිය සහ ආගම සම්බන්ධයෙන් භාවිතයට ගන්නා ඔවුන්ගේ හැඟීම්බර සටන් පාඨ දෙස බැලීමයි. රට යා යුත්තේ කොතැනකට ද, එතැනට යා හැක්කේ කෙසේද යන්න ගැන නිදහස් අදහසක් වඩවා ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැත. මේ අතර අපේ මාධ්‍ය හසුරුවනු ලබන්නේ ද, අර කී දෝෂ සහගත අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහි කළ පුද්ගලයන් විසිනි. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලද්දෝ නොවෙත්. සිදුවන්නේ, අන්ධයන් විසින් අන්ධයන්ට පාර කියා දෙනු ලැබීමයි.

අපේ මාධ්‍ය දෙස මොහොතක් හැරී බලන්න: උදාහරණයක් වශයෙන්, අපේ රූපවාහිනී නාලිකවල ජ්‍යොතිෂඥයන්ට සහ සාස්තරකාරයන්ට දෙන තැන ගැන ටිකක් සිතා බලන්න. ජාතික රූපවාහිනියේ එක් හුදෙකලා, එහෙත් ඉතා ප‍්‍රශංසනීය වැඩ සටහනක් තිබුණි. ‘යථාරූප’ නමින් හැඳින්වුණු එම වැඩ සටහනේ අරමුණ වී තිබුණේ විචාරශීලීව සිතා බලන ජනතාවක් බිහි කිරීමයි. ඒ වැඩ සටහන දැන් නතර කර දමා ඇති බව අසා මම මහත් කම්පාවට පත්වීමි. සමහර විට එසේ වන්නට ඇත්තේත් නක්ෂස්ත‍්‍රකාරයන්ගේ බහට අවනත වීම නිසා විය හැකිය.

*2018 ඔක්තෝබර් 5 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ An Indifferent God? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

රුපියලේ ඉරණම: ප්‍රශ්ණයේ මූලයන්ට ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාව

$
0
0

ඩබ්. ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

‘යක්ෂයාගේ විකල්පයට’ අදාළ තේරීමක්

අද ඊයේ පටන් නොව, 1948 දී බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ දා පටන්ම රුපියලේ අගය පල්ලම් බැසීමේ තනි දිසාවටම ගියේ කෙසේද යන්න ගිය සතියේ අපි සලකා බැලූවෙමු. ඒ අනුව, 1948 දී ඩොලරයට රුපියල් 4.76 වශයෙන් පැවති අපේ විනිමය අනුපාතිකය, 1977 දක්වා පවත්වාගෙන ගිය ඉතා තදබල ආනයන සීමාවන් සහ විනිමය සීමාවන් තිබියදී පවා, ඒ මට්ටමේ එක දිගට පවත්වා ගැනීමට නොහැකි විය. අනතුරුව, විනිමය අනුපාතිකය අර්ධ වශයෙන් නිදහස් කරන ලදි. එසේ තිබියදීත් රුපියලේ අගය පහළ ගියේය. 1977 ට කලින්, රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා රජය විටින් විට (රුපියල බාල්දු කරමින්) මැදිහත් වීම් කළත්, එසේම අපේ විදේශ විනිමය පිටතට ගලා යාම වැලැක්වීම අරමුණු කරගෙන ආනයන සහ විනිමය සීමා කිරීම් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළත්, පැවති නිල විනිමය අනුපාතිකයට වඩා සියයට 65 කින් රුපියල බාල්දු කිරීමට පියවර ගත්තේය. එය ඇත්තෙන්ම අර්ධ බාල්දුවක් විය. මන්ද යත්, එම බාල්දුව ක‍්‍රියාත්මක කරනු ලැබුවේ, තෝරා ගත් විශේෂිත ගනුදෙනු වර්ගයක් සඳහා පමණක් වූ බැවිනි. (එනම්, අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා ය). එය හැඳින්වුණේ, ‘විදේශ විනිමය හිමිකම් සහතික පත් ක‍්‍රමය’ යනුවෙනි.

1976 වන විට, විනිමය අනුපාතිකය විටින් විට මෙසේ ඕනෑකමින් සකස් කිරීමේදී රුපියලේ වටිනාකම සියයට 86 කින් බාල්දු කොට තිබුණි. ඒ අනුව ඩොලරය රුපියල් 8.83 ක් විය. ඊළඟට, අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවන ලද ‘විදේශ විනිමය හිමිකම් සහතික පත් ක‍්‍රමය’ යටතේ තවත් සියයට 65 ක් අය කළ විට, ඩොලරයේ වටිනාකම රුපියල් 14.57 ක් විය.

1977 දී මේ ස්ථාවර විනිමය අනුපාතික ක‍්‍රමය අහෝසි කෙරුණි. ඒ වෙනුවට, වඩාත් නම්‍යශීලී නිදහස් විනිමය අනුපාතික ක‍්‍රමයකට මාරු වුණි. එවිට ඩොලරයේ අගය පිහිටියේ රුපියල් 15.56 ක් වශයෙනි. කලින් පැවති තත්වය සමග සසඳද්දී එය සියයට 7 කින් පමණ රුපියල අවප‍්‍රමාණ වීමකි. එදා පටන් හැම අවුරුද්දක් පාසාම රුපියලේ අගය විනිමය වෙළඳපොළ තුළ පහළ ගියේය. හේතුව, ශ‍්‍රී ලාංකීය පුරවැසියන් විසින් ද, ව්‍යාපාර විසින් සහ ආණ්ඩුව විසින් ද වසරකට ඉල්ලා සිටිනු ලබන විදේශ මුදල් ප‍්‍රමාණයට සරිලන විදේශ මුදල් ප‍්‍රමාණයක් විදේශයන්ගෙන් උපයා ගැනීමට අපට නොහැකි වීම නිසා ය. ඒ අනුව, විදේශ මුදල් සඳහා වන ඉල්ලූම සහ සැපයුම අතර පරතරයක් ඇති වුණි. ඒ පරතරය පියවා ගැනීම සඳහා විදේශයන්ගෙන් ණය ගැනීමට සිදු වුණි. එය අපේ ආර්ථිකයට තවත් බරක් විය. මන්ද යත්, ණය වාරික සහ ඒවායේ පොලී ගෙවීම සඳහා තව තවත් ණය ගැනීමට අපට සිදු වූ බැවිනි. ඒ අනුව, අද වන විට ලංකාව ඉතා අවදානම්කාරී අඩියකට වැටී තිබේ. එහිදී මොන ක‍්‍රියා මාර්ගය තෝරා ගත්තත්, එය ඉතා වියදම්කාරී එකක් වන්නේය. එය හැඳින්වෙන්නේ ‘යක්ෂයාගේ විකල්පය’ වශයෙනි.

අතීතයේ හටගත් විදේශ විනිමය අර්බුද

මෙවැනි අවදානම්කාරී විදේශ විනිමය අර්බුදයකට ලංකාව මුහුණදෙන ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. නිදහසෙන් පසු එවැනි අවස්ථා ගණනාවකට අප මුහුණදී තිබේ. ඒ හැම අවස්ථාවකම ශ‍්‍රී ලංකාව එම අර්බුදයෙන් ගොඩ ආවේ තාවකාලිකව ය. ඒ, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර හරහා ය.

හැම විදේශ විනිමය අර්බුදයකින්ම ලංකාව ගොඩ ආවේ ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ පිහිටෙනි

1984 දී ලංකාව සතුව තිබූ ඩොලර් මිලියන 522 ක විදේශ විනිමය සංචිතයක් තිබුණි. 1988-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැුල්ලෙන් පසු, 1989 වන විට, එය ඩොලර් මිලියන 291 දක්වා පහළ බැස්සේය. 1984 දී අප සතුව පැවති විදේශ විනිමය සංචිතයෙන් මාස තුනක අපේ ආනයනික අවශ්‍යතා පියවා ගැනීමට පුළුවන් කම තිබුණි. එහෙත් 1989 දී පැවති විදේශ විනිමය සංචිතය ප‍්‍රමාණවත් වුණේ, එක මාසයකට ටිකක් වැඩි ආනයනික අවශ්‍යතා ප‍්‍රමාණයක් පියවා ගැනීමට පමණි. මේ අවස්ථාවේ ලංකාව ගලවා ගත්තේ, 1991 මැයි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් මිලියන 336 ක ණයක් පාවිච්චියට ගැනීමෙනි. එහෙත් (එය රුපියලේ අගය බේරා ගැනීම සඳහා පාවිච්චියට නොගෙන) රුපියල අවප‍්‍රමාණ වීමට ආණ්ඩුව ඉඩ හැරියේය. ඒ අනුව, 1990 දී රුපියල් 40 ක් වූ ඩොලරය, 1992 වන විට රුපියල් 46 ක් විය. එනම්, සියයට 15 කින් පමණ රුපියල අවප‍්‍රමාණ වීමකි.

ඊළඟ විදේශ විනිමය අර්බුදය ආවේ 2000 දී ය. ඒ වන විට අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 1049 දක්වා පහළ බැස තිබුණි. එය ප‍්‍රමාණවත් වුණේ මාස 2 ක ආනයනික අවශ්‍යතා පියවා ගැනීමට පමණි. එනිසා නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මිලියන 200 ක් ලබා ගන්නා ලදි. එහිදීත්, රුපියලේ අගය දිගටම අවප‍්‍රමාණ වීමට ඉඩ හැරියේය. ඒ අනුව 2002 අවසානය වන විට ඩොලරයක් රුපියල් 96.73 ක් විය.

ඊළඟ විදේශ විනිමය අර්බුදය ආවේ, එල්.ටී.ටී.ඊ. යුද්ධයේ අවසාන භාගයේ 2008 දී ය. ඒ වන විට අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 2560 ක් දක්වා පහළ බැස තිබුණි. එය ප‍්‍රමාණවත් වුණේ, මාස දෙකක ආනයනික අවශ්‍යතා පියවා ගැනීමට පමණි. නැවතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ගැලවීමට ආවේය. ඒ අනුව, 2009 ජුලි මාසයේදී මිලියන 1654 ක විශාල මුදලක් එම අරමුදලෙන් අපට ලබා දුන්නේය.

2015 දී නැවතත් ලංකාව විදේශ විනිමය අර්බුදයකට වැටුණි. එක පැත්තකින්, අපේ විදේශ විනිමය සංචිතය ඒ වන විට පහළ ගොස් තිබුණි. එනම්, ඩොලර් මිලියන 6019 ක් දක්වා පහළ වැටී තිබුණි. එය ප‍්‍රමාණවත් වුණේ, මාස තුනක රටේ ආනයනික අවශ්‍යතා පියවා ගැනීමට පමණි. තවත් පැත්තකින්, ඒ වන විට විදේශයන්ගෙන් ලබාගෙන තිබූ ණය ආපසු ගෙවා දැමීමේ බර වැඩි වී තිබුණි. කෙටිකාලීන ණය ආපසු ගෙවා දැමීම සඳහා අවශ්‍ය කරන මුදල ඩොලර් මිලියන 4300 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. එවිට, ඉහත කී ආනයනික අවශ්‍යතා පියවා ගැනීමේ මාස තුනේ කාලය, එක මාසයක කාලයක් දක්වා පහත වැටුණේය.

මේ අතර ආණ්ඩුව, සම්ප‍්‍රදායික නොවන විසඳුම් ගැන බලාගෙන සිටියේය. උදාහරණයක් වශයෙන්, නමක් නොදන්නා බෙල්ජියම් ජාතික පරිත්‍යාගශීලියෙකුගේ උදව් ලැබෙතැයි සිතා සිටියේය. එයින් සිදුවුණේ, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර පැතීම පමා වීමයි. තත්වය තවත් භයානක වන විට සහ ක‍්‍රියාකාරී වැඩපිළිවෙලක් නැතිව තවදුරටත් ඉදිරියට යාමට නොහැකි තත්වයක් උදා වූ විට, 2016 ජුනි මාසයේදී ආණ්ඩුව ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්’ මිලියන 1070 ක් ලබා ගත්තේය. එහෙත් ඒ වන විට, 2014 අවසානයේ රුපියල් 131 ක් වූ ඩොලරය 2016 අවසන් වන විට රුපියල් 149.80 ක් වී තිබුණි. මේ අනුව, වර්තමාන අර්බුදය පවතින්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහනාධාරයක් ලබන අතරතුරේ ය.

ප‍්‍රතිසංස්කරණ සඳහා වර්තමාන ආණ්ඩුව දුන් ප‍්‍රතිඥා

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර ඉල්ලා සිටීමේදී ලංකාව සිය අභිලාෂයන් ලිපියකින් දන්වා තිබේ. එම ලිපියට අත්සන් කොට තිබුණේ, එවක මුදල් ඇමති රවි කරුණානායකත්, එවක මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රනුත් ය. එම ලිපියේ දක්වා තිබුණු පරිදි, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර හරහා ලංකාවේ මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ආර්ථික වර්ධනය ඇති කර ගනු වස්, ආර්ථික ප‍්‍රතිසංස්කරණ 6 වර්ගයක් ක‍්‍රියාත්මක කරන බවට පොරොන්දු වී තිබුණි.

අයවැය සහ එහි ආදායම් ප‍්‍රවර්ධනය කර ගැනීම, රජයේ මූල්‍ය කළමනාකරණය දියුණු කර ගැනීම, රාජ්‍ය ව්‍යවසාය අංශයේ ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම, වෙළඳ සහ ආයෝජන වැඩපිළිවෙලක් හඳුන්වා දීම සහ මුදල් සැපයුම පාලනය කිරීමෙන් වෙනස්ව, කෙලින්ම පූර්ව-සැලසුම්ගත උද්ධමන මට්ටමක් පවත්වා ගැනීම වෙත මහ බැංකුවේ මූල්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාකාරීත්වය වෙනස් කර ගැනීම ඒ අතර විය.

එහෙත් ආණ්ඩුව පොරොන්දු වූ වඩාත් වැදගත් ප‍්‍රතිසංස්කරණය වන්නේ වෙනත් එකකි. එය, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ වචනවලින්ම දක්වතොත් මෙසේ ය: ‘‘2020 වන විට, සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 3.5 දක්වා අඩු කිරීම ඉලක්ක කර ගත් අයවැය පාලනයකට ආපසු යාම, ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ ප‍්‍රධාන කාරණය විය. ඒ සම්බන්ධයෙන් ගත් විට, බදු ප‍්‍රතිපත්තිය සහ පරිපාලනය යන අංශ දෙකම පුළුල් ආකාරයෙන් ප‍්‍රතිසංස්කරණය කිරීම අත්‍යාවශ්‍ය වෙයි. ඊට සමගාමීව, ආණ්ඩුවේ වියදම් වඩාත් විධිමත්ව පාලනය කෙරෙන පියවර ගැනීමත්, රාජ්‍ය ව්‍යවසායක ක‍්‍රියාකාරකම් වඩාත් වාණිජමය මට්ටමකින් පවත්වා ගැනීමත් අවශ්‍ය කෙරේ.’’

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර ලැබෙන්නේ තිරසාර වර්ධනයක් සඳහා පියවර ගැනීමට අත්වැලක් වශයෙනි

එවැනි පරිත්‍යාගශීලී ආධාර ලැබෙද්දීත්, විදේශ විනිමය අර්බුදය නිත්‍ය වශයෙන් විසඳා ගැනීමට ශ‍්‍රී ලංකාව අසමත්ව ඇත්තේ මන්දැයි කෙනෙකුට සිතෙන්ට පුළුවන. හේතුව, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර වනාහී, අපේ රටේ ගෙවුම් ශේෂයේ හිඟය තාවකාලිකව පියවා ගැනීම සඳහා පමණක් තිබෙන අත්වැලක් වන බැවිනි.

එවැනි ආධාර මගින් කෙරෙන්නේ, රටකට හුස්ම ගැනීමේ ඉඩක් සලසා දීමයි. ඒ අවකාශය තුළ එම රට සංවර්ධන හිතකාමී ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇති කර ගත යුත්තේය. දීර්ඝ කාලීන සංවර්ධන සැලැස්මක් තුළ රට ස්ථානගත කළ යුත්තේය. ඇත්ත වශයෙන්ම, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්’ ආධාර ඉල්ලා සිටින හැම අවස්ථාවකම මෙවැනි රටවල් තමන් එවැනි ප‍්‍රතිසංස්කරණ ඇති කරගන්නා බවට ප‍්‍රතිඥා දෙයි. එසේ වෙතත්, ඒවා ක‍්‍රියාත්මක කිරීමට යාමේදී මෙතෙක් බලයේ සිටි ආණ්ඩු කටයුතු කොට ඇත්තේ බාගෙට ය.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් අප ලබාගෙන ඇති එවැනි ආධාර හුදෙක් ණය බවට පත්වී ඇත්තේ, රටේ වර්ධන වේගයට සම්මාදම් නොවෙමිනි. එනිසා රටේ අසාර්ථකත්වයේ වරද ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර මත පැටවීමේ තේරුමක් නැත. එම වරද භාරගත යුත්තේ, අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ මුළු හදින් ඇති කර ගැනීමට වගබලා නොගත් මෙතෙක් බලයේ සිටි පාලකයන් ය.

මුල් වරද ඇත්තේ, හිඟ අයවැය නිරර්ථක වීම තුළ ය

2016 මැද භාගයේ මේ ආණ්ඩුව ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ, වර්තමාන රුපියලේ අර්බුදයේ මූල හේතුවට ආමන්ත‍්‍රණය කිරීමට සැලසුම් කරගෙන සිටියේය. ඒ මූල හේතුව කුමක් ද? වග විභාගයක් නැති ආණ්ඩුවේ වියදම්කාරී වැඩ සටහන්, සමස්ත ආර්ථිකයේ වර්ධනය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය කෙරෙන නිෂ්පාදන ඵලදායීතාව වැඩි දියුණු කර ගැනීමට ලොකුවට දායක වී නොතිබීම ය. රුපියලේ අර්බුදයේ ප‍්‍රධාන වරද ඇත්තේ එතැන ය.

මෙය බැලූ බැල්මටත් දකින්නට ලැබෙන තත්වයකි. වසරක් පාසා හිඟ අයවැය ඉදිරිපත් කරමින් ආණ්ඩුව උපයාගෙන ඇති අලූත් ආදායම්, වසරක් පාසා ඉහළ යන ආනයනයන් සඳහා පිටරටට ඇදී ගොස් තිබේ. ඉතා කුඩා විවෘත ආර්ථිකයක් වශයෙන් පවතින රටකට, මෙය අතිශය අනර්ථකාරී ගමන් මගක් වන්නේය. මෙවැනි ප‍්‍රතිපත්තියක් ගෙන යාමේ භයානක කම, ලංකාවේ මහ බැංකුවේ නිර්මාතෘ ජෝන් එක්ස්ටර් එදා අපේ මහ බැංකුව ආරම්භ කිරීමේදීම ඉදිරිපත් කළ වාර්තාවකින් ආණ්ඩුවට පෙන්වා දී තිබුණි.

එහෙත් ඒ අවවාදය, නිදහසෙන් පසු මුදල් ඇමති කමට පත් සෑම බීරි අලියෙකුටම ගැයූ වීණා වාදනයක් බඳු විය. ඒ තත්වයෙන් අත්මිදුණේ 1954-56 දක්වා මුදල් ඇමති පදවිය දැරූ එම්. ඞී. එච්. ජයවර්ධන පමණි. නිදහස් ලංකාවේ ඉතිහාසය තුළ අතිරික්ත අයවැයක් අපට දකින්ට ලැබෙන්නේ ඒ වසර දෙකේදී පමණි. අනිත් සෑම වසරකම, අපේ අයවැයවල විශේෂ ලක්ෂණය වුණේ, අත දිග හැර වියදම් කිරීමේ වැඩ සටහන් ය. මේ අමතර වියදම් පියවා ගැනුණේ, එක පැත්තකින් ණය ගැනීමෙනි. අනිත් පැත්තෙන්, මුදල් අච්චු ගැසීමෙනි. අරපරෙස්සමක් නැති වියදම් පියවා ගැනීම සඳහා එසේ ගත් ණය, එන්න එන්නම ගොඩ ගැසුණි. අනිත් පැත්තෙන්, මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය (අධික මිල ඉහළ යාම) ඇති කෙරුණි. අවසාන ප‍්‍රතිවිපාකය වුණේ, නිතිපතා ඇති වන ගෙවුම් ශේෂ අර්බුදයකට (පිටරටට යන මුදල් සහ පිටරටින් එන මුදල් අතර හිඟයකට) රට මුහුණදීමත්, ඒ හේතුවෙන්ම, අපේ විනිමය අනුපාතිකය අවප‍්‍රමාණ වීමත් ය.

ආනයන පාලනය සඳහා ඉඩක් නැත

දැන් රුපියලේ අර්බුදය ඉහවහ ගොස්, ඉහත කී ‘යක්ෂයාගේ විකල්පයට’ ගොදුරුව ඇති තත්වයක් තුළ, වර්තමාන දේශපාලනික නායකත්වය ආනයනයන් අඩු කිරීම කෙරෙහි වැඩි ප‍්‍රමුඛත්වයක් දෙමින් සිටී. එසේ වෙතත්, ලංකාවේ ආනයනික ව්‍යුහය සකස් වී ඇත්තේ, පරිභෝජන භාණ්ඩවලට වඩා අතරමැද භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයන්ගෙන් බව මෙහිදී සිහිපත් කර ගත යුතුය.

අපේ මුළු ආනයනයන්ගෙන් සියයට 55 ක් සමන්විත වන්නේ අතරමැද භාණ්ඩවලිනි. අතරමැද භාණ්ඩ යනු, මෙරටේ කෙරෙන නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා අත්‍යාවශ්‍ය වන ආනයනයන් ය. එසේම අපේ මුළු ආනයනයන්ගෙන් සියයට 23 ක් සමන්විත වන්නේ, ආයෝජන භාණ්ඩවලිනි. ආයෝජන භාණ්ඩ යනු, රටේ නිෂ්පාදන සීමාව පුළුල් කෙරෙන ප‍්‍රාග්ධන භාණ්ඩ ය. ඒවා බරපතල ලෙස කපා හැරීම, අපේ ආර්ථික වර්ධනයට මරු පහරක් විය හැකිය.

එවැනි තත්වයක් තුළ ආනයන සීමා කිරීම සඳහා ඉලක්ක කර ගැනීමට යන්නේ, පරිභෝජන භාණ්ඩ ය. එහි වටිනාකම ඩොලර් බිලියන 4.5 කි. එය, අපේ මුළු ආනයනයන්ගෙන් සියයට 22 කි. මෙහිදී පවා, රටට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත්හේත් වැනි දෑ ඉවත් කළ විට, (ඒවා සීමා කිරීමට පුළුවන් කමක් නැත), ආනයනය කෙරෙන පරිභෝජන භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියන 1.5 ක් පමණ වන්නේය. ඒ භාණ්ඩත් එක වර කපා හැරිය නොහැක. එසේ කිරීම යෝග්‍ය වන්නේ ද නැත. එබැවින් ආණ්ඩුවට සිදුවන්නේ, හුදෙක් සුඛෝපභෝගී භාණ්ඩ වශයෙන් ගැනෙන භාණ්ඩ ප‍්‍රමාණයක් පමණක් තෝරාගෙන ඒවා ගෙන්වීම අඩු කිරීමයි. එයින් ඉතිරි කර ගත හැකි විදේශ විනිමය ප‍්‍රමාණය වන්නේ ඩොලර් බිලියන 1 ක පමණ මුදලකි. එහෙත් රට අද මුහුණදී සිටින ප‍්‍රශ්නයේ තරම ගැන බලන විට එය ඉතා නොවැදගත් ප‍්‍රමාණයකි.

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම හෙවත් වාහන ආනයනයට වැට බැඳීම

රටට ගෙන්වන වාහන ප‍්‍රමාණය අඩු කිරීම සඳහා මහ බැංකුව, වාණිජ අවශ්‍යතා සඳහා වන වාහන හැරුණු කොට අනිත් සෑම වාහන ආනයනයක් සඳහාම සියයට 100 ලංසුවක් පැනවීය. එසේ වෙතත්, ලංකාවට එන පෞද්ගලික වාහනවලින් වැඩි ප‍්‍රමාණයක් ගෙන්වන්නේ තීරුබදු රහිත බලපත‍්‍ර පාවිච්චියට ගනිමිනි. මේ බලපත‍්‍ර නිකුත් කරන්නේ මුදල් අමාත්‍යාංශයෙනි. ඒවායේ හිමිකරුවන් වන්නේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ය. මේ දෙපාර්ශ්වයම ඒ බලපත‍්‍ර කළුකඩයේ විකුණති. එවැනි රාජ්‍ය නිලධාරියෙකුගේ බලපත‍්‍රයක වටිනාකම රුපියල් මිලියන 2 ක් පමණ වන අතර මන්ත‍්‍රීවරයෙකුගේ බලපත‍්‍රයක වටිනාකම රුපියල් මිලියන 3 ක් පමණ වන්නේය. ඉස්සර මේ බලපත‍්‍ර නිකුත් කෙරුණේ අවුරුදු 10 කට එක් වරකි. දැන් එය, මේ වසරේ ජුනි මාසයේ සිට, අවුරුදු 5 කට වරක් වශයෙන් තවත් පහසු කොට තිබේ. මේ ක‍්‍රමය නිසා, එක පැත්තකින් ආණ්ඩුවට එන ආදායමක් නැතිව ගියේය. අනිත් පැත්තෙන්, සැබෑ රාජ්‍ය නිලධාරියා සඳහා අරමුණු කළ සහනයක්, වෙනත් පිරිසක් අතට ගියේය. දැන්, පෞද්ගලික වාහන ආනයනය සීමා කිරීමට මහ බැංකුව තීරණය කොට ඇති තත්වය තුළ, මුදල් අමාත්‍යාංශය මේ තීරුබදු රහිත වාහන බලපත‍්‍ර ක‍්‍රමය අත්හිටුවා තිබේ. ඒ, රාජ්‍ය සේවකයන්ට මාස 6 කටත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අවුරුද්දකටත් වශයෙනි.

එහෙත් සෑම මන්ත‍්‍රීවරයෙකුම පාහේ මේ වන විට තමන්ගේ බලපත‍්‍රය පාවිච්චි කොට ඇති තත්වයක් තුළ මුදල් අමාත්‍යාංශයේ අත්හිටුවිල්ල ඔවුන්ට බලපාන බවක් පෙනෙන්ට නැත. රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ගත්තත්, ඔවුන්ගෙන් බොහොමයක් දෙනා දැනටමත් එය පාවිච්චි කොට ඇත. මේ වනාහී, අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමකි.

ප‍්‍රශ්නයේ වලිගයට නොව, මූලයට අමතන්න

මෙවැනි පියවරවලින් කෙරෙන්නේ වෙළඳපොළට යම් සංඥා නිකුත් කිරීම පමණි. එය, ප‍්‍රශ්නයේ මුලට නොගොස් අගකින් අල්ලා ගැනීමකි. ආණ්ඩුව ගත යුතුව ඇති වඩාත් යෝග්‍යතම පියවර වන්නේ, අයවැය තුළ සකසුරුවම ඇති කර ගැනීමයි. එනම්, එක පැත්තකින් නිරර්ථක සහ සෝබන වියදම් කපා හැරීම සහ අනිත් පැත්තෙන් ආදායම් මාර්ග වැඩි කර ගැනීමයි. මීට අදාළව කලින් මා ලියු ලිපි පෙලකදී, 2016 සිටි මුදල් අමාත්‍යවරයාගේ අවධානය එක කාරණයකට යොමු කරවා තිබේ. ආණ්ඩුවේ අයවැය තුළ පවතින කාන්දුව වලක්වා ගැනීම, ‘අයවැය මුට්ටියේ සකසුරුවමක’ සංකේතයකින් එහිදී මම දැක්වූයෙමි. වර්තමාන මුදල් ඇමතිවරයාටත් ඒ දෙයම කිව යුතුව තිබේ.

මහ බැංකුව ගන්නා පියවර ආණ්ඩුව මගින් සවිබල ගැන්විය යුතුය

රුපියලේ අගය ස්ථාවර කර ගැනීම මහ බැංකුවට පමණක් තනියෙන් කළ හැකි දෙයක් නොවේ. මහ බැංකුවේ එම උත්සාහයට ආණ්ඩුව උපකාරී විය යුතුව තිබේ. එය කළ හැක්කේ, ආණ්ඩුවේ හැම අංශයකින්ම අරපරෙස්සම ප‍්‍රගුණ කිරීමෙනි. එසේ කිරීමට තවමත් ප‍්‍රමාද නැත.

(මේ ලිපියේ සඳහන් වන, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්’ ලබාගෙන ඇති ආධාර අපට ලැබී ඇත්තේ එස්.ඞී.ආර්. වශයෙන් හැඳින්වෙන මුදල් අනුපාතිකයට අනුගතවයි. එහි විනිමය අගය ගණනය කෙරෙන්නේ, ප‍්‍රධාන මුදල් වර්ග 5 ක් එකට ගෙන, අගය කිරීමෙනි. ඒවා නම්, ඇමරිකානු ඩොලරය, යුරෝව, බි‍්‍රතාන්‍ය පවුම, ජපාන යෙන් සහ චීන රෙන්මින්බි ය.)

2018 සැප්තැම්බර් 25 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Fate Of The Rupee: Need For Addressing Issues At Root නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

දුමින්ද සමග රේනෝ සිල්වා එල්ලීම 

$
0
0

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

පසු ගියදා භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ ඇපිල් නඩුව අවසන් විය. එම නඩු තීන්දුවට අනුව එහි විත්තිකරුවන් වන දුමින්ද සිල්වා ප්‍රමුඛ හතර දෙනෙකුට මරණීය දණ්ඩනය ස්ථිර කළ අතර එහි විත්තිකරුවෙකු වූ හිටපු පොලිස් නිලධාරියා නිදොස් කොට නිදහස් කළේය. බැලු බැල්මට එම නඩු තීන්දුව සාධාරන එකකි. මන්ද අදාල දිනයේ මාරාන්තික ගැටුමක් ඇතිවී තිබේ. ඉන් හතර දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත. ඇසින් දුටු සාක්ෂි අනුව විත්තිකරුවන් එම ස්ථානයේ රැදී සිට එයට සහභාගී වී තිබේ. ඔවුන්ටද මරණීය තුවාල සිදුව තිබේ. ඒ අනුව ඔවුන් වැරදිකරුවන් කොට ලංකාවේ මහාධිකරණයත්, ශ්‍රේෂ්ඨාධිකරණයත් දඩුවම් නියම කොට තිබේ. නමුත් මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ එම ඇපිල් නඩුව අසන දින වල රටේ ජන මතය හැසුරුණු ආකාරය හා ඉන්පසු තත්ත්වය මෙන්ම දුමින්දගේ පවුලේ වර්තමාන ඉරණම සිදුවූ ආකාරයයි. මට දුමින්ද සිල්වා මුලින්ම දකින්නට ලැබෙන්නේ 2004 වසරේ ඔක්තොම්බර් මාසයේ දිනක රවී කරුණානායක මහතාට අයත් බත්තරමුල්ලේ නිවසේදීය. 2004 එක්සත් ජාතික පක්ෂ බලය සහිත ආණ්ඩුව එවකට ජනාධිපතිතුමිය විසින් විසිරවීමෙන් පසුව පොළොන්නරුවේ නාම යෝජනා සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවකට වසන්ත සේනානායක (විදේශ රාජ්‍ය ඇමති) හමුවීමට රවී මන්ත්‍රීතුමාට අවශ්‍යව තිබුණි. එම දුරකථන ඇමතුම වසන්තට ලැබෙන විට ඔහුත්, මමත් වාහනයක සිරිකොත සිට බත්තරමුල්ල දෙසට ගමන් කරමින් තිබුණි. අපි මන්ත්‍රීතුමාගේ නිවසට ඇතුල් වනවිට නිවස ඉදිරිපස මීට පෙර අපි දැක නැති කඩවසම් තරුණයෙකු වාඩිවී සිටියේය. රවී කරුණානායක විසින් අපිට ඔහු හදුන්වාදුන් අතර ඔහු සාර්ථක ව්‍යාපාරික පවුලක අයෙක් බවත්, එක්සත් ජාතික පක්ෂයට බැදී මෙවර මැතිවරණයට තරග කිරීමට අපේක්ෂා කරන බවත් කියා සිටියේය. එමෙන්ම ඔහුව කඩුවෙල ආසනයෙන් ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කරන බව කීවේය. කඩුවෙල ආසනයේ සංවිධායක ආචාර්ය කොඩිතුවක්කු හා මා අතර දැඩි ගුරු ගෝල සම්බන්ධයක් තිබූ අතර එතුමා හැමවිටම මට කරුණාවන්ත වූ නායකයෙක් විය. එබැවින් එවෙලේම එතුමා හට දුරකථන ඇමතුමක් ගත් මා විසින් සිද්ධිය වාර්තා කළේය. 2004 දුමින්දගේ නාම යෝජනාව නොලැබුන අතර 2007 දී පළාත් සභාවට ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්විය.

පසුව පියවරෙන් පියවර ඉහල ගිය ඔහු සීමාවක්, විනයක් නැති දේශපාලන බල පොරයට වැටුණි. ඔහු මුරුංගා අත්තේ තැබීමට ඕනෑ තරම් හුදී ජනයා සිටියේය. ඔහු විසින් අසීමාන්තිකව මුදල් වියදම්කළ අතර ප්‍රචාරය ඕනෑ තරම් ලැබුණි. දේශපාලන ගමනේ අතරමගදී ඔහුට ගෝඨාභය හමු වන අතර බලය යනු කෙතරම් බලවත් ආයුධයක් ද යන්න ඔහු හදුනාගන්නේ එහිදීය. ඉන් පසු අවසානය කවුරුත් දන්නේය. ඔහු බල දේශපාලනයේ ගොදුරක් බවට පත්විය. නමුත් දුමින්දගේ දේශපාලනය එම පවුලේ සියලුම දෙනා අර්බුදයට යවා ඇත්තේය.

විශේෂයෙන් එම පවුලේ දක්ෂයෙකු වූ රේනෝ සිල්වා හා ඔහුගේ මාධ්‍ය හැසිරීම මේ මොහොතේ රටේ මිනිසුන් ප්‍රශ්න කරමින් තිබේ. ඔහු විසින් මාධ්‍ය මෙහෙයවීමට මුදල් ලබාදුන් බවටද ප්‍රචාරය වේ. නමුත් අප මෙය කියවිය යුත්තේ ඔහුගේ පැත්තේ සිටය. මේ රටේ බොහෝ ආයතන දූෂිතය. නිලධාරීන් හා දේශපාලකයින් තක්කඩියන්ය. (සාක්ෂි අනවශ්‍යය. දිනපතා මම අත්විදිමි) සමාජය ඊටත් වඩා අන්ත අවුල්ය. මෙවන් රටක සාර්ථක ව්‍යාපාරිකයෙක් වන රේනෝ සිල්වා ඔහුගේ බාල සොහොයුරා බේරාගැනීමටත්, තම පවුලේ නම්බුව බේරා ගැනීමටත් මුළු ජීවිත් කාලයේම උපයා ගත් දේ පරදුවට තබයි. නඩු තීන්දුව දුන් දවසේ මේ ඔහු ගැන මම විසින් මගේ පෞද්ගලික සමාජ ජලා ගිණුමට තැබූ සටහනයි. මිනිසුන් බොහෝ දේ කියා තිබුණි. නමුත් ඔහු සාධාරන බව කියූ අය අති විශාල බහුතරයකි.

සහෝදරයා සම්බන්ධ ඔහුගේ ප්‍රේමයේ අර්ථයෙන් ගත්විට රේනෝ සිල්වා සියයයට සියයක් නිවැරදිය. ඔහු සාමාන්‍ය ගැමියෙක් හෝ මිනිසෙකු වූවානම් මෙම තත්ත්වයට මුහුණ දෙනුයේ මීට වඩා බොහෝ අසරණවය. නමුත් ඔහු මෙහිදී ශක්තිමත්ව නමුත් එක්තරා දුරකට අසරණව මුහුණ දුන්නේය. ඔහුගේ අසරණ බවද මේ රටේ කණ්ඩායමකගේ ඉරිසියාවට ලක්වන්නේ නම් බලවත් රේනෝ ඩි  සිල්වා යනු අපි සියල්ලම බියවිය යුත්තෙකි. අපි ඔහුගේ සහෝදරයා කෙරෙහි වූ ප්‍රේමයට ඔහු එල්ලීමට යෝජනා නොකර ඉමු.

කෙසේ වෙතත් රේනේ සිල්වා කියන්නනේ සුදු කඩවසම් ප්‍රසන්න දක්ෂ මිනිහෙකි. ඔහු තනියම හදපු සමාගම් ගානක මිනිස්සු 500 ක් විතර ඉහල වැටුප් වලට සේවය කරන අතර දුමින්ද දේශපාලනය පටන් ගන්නට පෙර සිටම ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට ගොඩ නැගී තිබුණි. මේ රටේ හැම අස්සක් මුල්ලකම සමාජ අසාධාරනය පැතිරී තිබියදී අපි ඔහුගේ ක්‍රියාව විවේචනය කිරීමට පෙර අප කළ යුතු වන්නේ අපේම පපුවට තට්ටු කොට බැලීමයි. තමන්ගේ බාල සහෝදරයා ඉමක් කොනක් නොපෙනෙන කරදරයක රෝගීව වැටී සිටියදී ඔහුට දැනෙන හැගීම හිරුනිකාට දැනෙන්නේද එලෙසමය. මෙවැනි අවුල් සහගත සමාජයක අප රේනෝ සිල්වාගෙන් විතරක් හරි දේ පතන්නේ ඇයි. අඩුම තරමින් ඔහු තමාගේ සහෝදරයාට තදින් ආදරය කරයි. ඔහු වෙනුවෙන් තමන් මෙතෙක් උපයාගත් සියල්ල පරදුවට තැබීමට සූදානම්. ඒ නිකම්ම නොව පරදින බව දැන දැනයි.

Print Friendly, PDF & Email

යුක්තිය පසිඳලීමට අත්වැලක් වීම

$
0
0

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මෑතකදී රටේ පවතින සමථ මණ්ඩල සේවාව ප‍්‍රශංසාවට ලක්කොට තිබුණි. එය අගේ කටයුතු වුවත්, ඒ මගින් පෙන්නුම් කරන අධිකරණ පද්ධතියේ ව්‍යුහාත්මක ප‍්‍රශ්න සමථයකට පත්කර ගැනීමට මෙතෙක් අපොහොසත්ව තිබීම බරපතල කාරණයකි.

මාධ්‍ය මගින් වාර්තා කොට තිබුණු පරිදි, මේ වසරේ අධිකරණ අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, 2016 සැප්තැම්බර් මස අවසන් වන විට අවසන් කොට නොතිබූ නඩු කටයුතු 750,000 ක් තිබුණි. එයින් බහුතරය හෙවත් 535,000 ක් නඩු ගොඩ ගැසී තිබුණේ මහේස්ත‍්‍රාත් උසාවිවල ය. අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන පරිදි, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 3,486 ක් ද, අභියාචනාධිකරණයේ නඩු 4,817 ක් ද, සිවිල් අභියාචන මහාධිකරණවල නඩු 5,890 ක් ද, මහාධිකරණවල නඩු 16,811 ක් ද, දිස්ත‍්‍රික් අධිකරණවල නඩු 167,945 ක් ද, මහේස්ත‍්‍රාත් අධිකරණවල නඩු 535,644 ක් ද, කම්කරු උසාවිවල නඩු 5048 ක් ද, ගොඩ ගැසී තිබුණි.

මේවා සංඛ්‍යාත්ම වශයෙන් ගත් විට පවා අති විශාල ය. එහෙත් ඒ සංඛ්‍යාවන් පසුපසින් පවතින, යුක්තිය අපේක්ෂාවෙන් සිටින මනුෂ්‍යයන්ගේ පීඩාව ඊට වඩා අති මහත් ය. දූෂණයට පාත‍්‍ර වූ කාන්තාවකගේ, ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ මවකගේ, ණයක් පියවා ගැනීමට සිටින ව්‍යාපාරිකයෙකුගේ සහ උරුමයක් අපේක්ෂාවෙන් සිටින දරුවෙකුගේ සිත් තැවුල සහ පීඩාව, මේ සංඛ්‍යා ලේඛනවල බරට වඩා ගැඹුරු ය. අධිකරණ පද්ධතිය ඉදිරියට නොයෑම යනු මේ සියලූ මිනිසුන්ගේ මිනිස් අපේක්ෂා පාගා දැමීමකි.

නඩු මෙසේ ගොඩගැසීමේ ප‍්‍රශ්නය විසඳීම සඳහා දශක කිහිපයක් තිස්සේ ආණ්ඩු උත්සාහ කොට ඇත. එක පැත්තකින්, අලූතෙන් විනිසුරුවරුන් බඳවා ගැනීමෙන් ද, මෑතකදී සිට, බරපතල නඩු දිනපතා ඇසීමේ ක‍්‍රමවේදයක් ඇති කර ගැනීමෙන් ද එම උත්සාහයන් ගෙන තිබේ. අධිකරණ පද්ධතියේ පවතින අසතුටුදායක තත්වයේ තරම, ඇතැම් මහ පරිමාණ දූෂණ ක‍්‍රියා පිළිබඳව මේ ආණ්ඩුව පටන් ගත් නඩුවල අලස ප‍්‍රගතියෙන් මැනවින් පෙන්නුම් කෙරේ. ඒ අරභයා ඇති කෙරෙන කලකිරීම කෙතෙක් ද යත්, මේ පමාව පිළිබඳ කාරණයේ ඇති බරපතල කම ජනාධිපතිවරයාට පවා දැනී, ප‍්‍රශ්නයට තාවකාලික විසඳුමක් වශයෙන් එවැනි නඩු ඉක්මණින් ඉවරයක් කිරීම සඳහා විශේෂ අධිකරණ පිහිටුවීමටත් මේ වන විට පියවර ගෙන තිබේ.

අලූතින් පිහිටුවන අධිකරණ මොන තරම් සාර්ථක වුවත් නැතත්, පවතින අධිකරණ පද්ධතිය තුළ පවතින අඩුපාඩුවල වගකීම එවැනි අධිකරණ පිහිටවූ පමණින් අවසන් වන්නේ නැත. දුර්වල අධිකරණ පද්ධතියක් තුළ පවතින අඩුපාඩු වනාහී විශේෂ අධිකරණ පිහිටුවීමෙන් විසඳිය හැකි දේවල් නොවේ. එසේම, ඒ මගින් ඉහතින් කී මිනිසුන්ගේ දුක් පීඩා එක රැුයකින් දුරු කිරීමත් කළ නොහේ. වසරකට, සාමාන්‍යයෙන් සිවිල් සිද්ධීන්ට සම්බන්ධ නඩු කටයුතු 2000 කට වැඩි ප‍්‍රමාණයක් සමථ මණ්ඩල වෙත දැනටත් ඉදිරිපත් කරනු ලැබේ. අධිකරණය මගින් හෝ පොලීසිය මගින් මෙසේ සමථ මණ්ඩල වෙත ඉදිරිපත් කරන නඩු කටයුතුවලින් සියයට 40 ක් පමණ අවසානයක් කොට විසඳනු ලැබේ. සුපුරුදු අධිකරණ ක‍්‍රියාවලියෙන් සිදුවන කාර්ය භාරය සමග සසඳන විට මෙය වැදගත් සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නකි.

අධිකරණවල ගොඩගැසී ඇති ඉහත සඳහන් නඩු සංඛ්‍යාව ඒ තරම් මට්ටමකින්වත් පවතින්නේ, ඊට සමගාමී සමථ මණ්ඩල ක‍්‍රියාකාරීත්වයකුත් මෙසේ පවතින බැවිනි. එම සමථ මණ්ඩල ක‍්‍රමය දැන් වෙනත් දියුණු වෙමින් පවතින රටවල් තුළ ද ක‍්‍රියාත්මක කිරීමට පටන්ගෙන තිබේ. ඉතිං, එවැනි සමථ මණ්ඩල ක‍්‍රියාවලියක් සාර්ථකව ගෙන යාමට සමත්ව සිටින ශ‍්‍රී ලංකාවට, විධිමත් අධිකරණ පද්ධතියක් සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇත්තේ මන්ද යන්න ප‍්‍රශ්නයකි.

දියුණු රටවල, සාමාන්‍යයෙන් ගත් විට, ජනගහනයෙන් 50 දෙනෙකුට එක් විනිසුරුවරයෙකු බැගින් සිටී. එහෙත් ලංකාවේ මේ තත්වය තවම පවතින්නේ ඉතා පසුගාමී තත්වයකයි. සමථ මණ්ඩල සමන්විත වන්නේ ස්වේච්ඡුා සේවකයන්ගෙන් වන අතර, විධිමත් අධිකරණ විනිසුරුවරුන්ව පුහුණු කිරීමත්, එම සේවාව ආකර්ශනීය මට්ටමකින් පවත්වා ගැනීම සඳහා ඉහළ වැටුප් සහතික කෙරෙන වෘත්තීය මට්ටමකට එම සේවාව ගෙන ඒමත් අවශ්‍ය කෙරේ. එය සමථ මණ්ඩල ක‍්‍රමය තරම් ලෙහෙසි පහසු දෙයක් නොවේ. අනිත් අතට, විධිමත් අධිකරණ ඉදිරියට පැමිණෙන නඩු වඩාත් සංකීර්ණ ඒවා ය. එවැනි නඩු විසඳීම සඳහා අවශ්‍ය කෙරෙන සාක්ෂි විභාග කිරීම, නීතිය අර්ථකථනය කිරීම වැනි කාර්යයන් සඳහා බොහෝ කාලයක් ගතවෙයි. එසේ වුවද, වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ අභියෝග ජය ගනිමින් සිටියදී ශ‍්‍රී ලංකාවට තවම එසේ කළ නොහැකි වී ඇත්තේ මන්ද යන්න ප‍්‍රශ්නයකි.

දේශපාලන ක්ෂේත‍්‍රයේ දූෂණ ක‍්‍රියා පිළිබඳ නඩු විභාග පැත්තකින් තිබ්බත්, පැටලිලි සහගත අධිකරණ පද්ධතියක් තිබීම සහ නඩුහබ බේරුම් කිරීමේ මන්දගාමීත්වය නිසා ආර්ථික ක්ෂේත‍්‍රය තුළට ආයෝජන ගෙන්වා ගැනීමත් දුෂ්කර කෙරේ. ආණ්ඩුව විසින් දැනට ගොඩනගමින් පවතින අලූත් මූල්‍ය නගරය පිළිබඳ ව්‍යාපෘතිය, බේරුම්කාරක මධ්‍යස්ථානයක් වශයෙන් අනාගතයේ කටයුතු කිරීමට ඉඩ ඇතත්, ඒ සඳහා තව බොහෝ කාලයක් ගත වෙනු ඇත. ඒ දක්වා, ආයෝජන දිරිමත් කිරීම සඳහා යම් අතරමැදි නීති ක‍්‍රියාවලියක් සකසා ගත යුතුව තිබේ. ‘ව්‍යාපාර කිරීමේ පහසුව සලසන’ ලෝක බැංකු නිර්ණායක සූචිය තුළ රටක් වශයෙන් ලංකාව ඉහළට යාමට නම්, ආයෝජන පරිසරයකට හිතකාමී වන අන්දමේ නීති ක‍්‍රියාවලියක් සකසා ගත යුතුව තිබේ.

ඒ සඳහා, ආණ්ඩුව පැත්තෙන් ගත් විට, මීට වඩා අරමුදල් සම්පාදනය කර දීමත්, තව තවත් විනිසුරුවරුන් පුහුණු කිරීමත්, පටලැවිලි නැති, සරළ නීතිරීති ඇති කර ගැනීමත් අත්‍යාවශ්‍ය කෙරේ. ඒ සියල්ලටමත් වඩා වැදගත් වන්නේ, ඒවා නිසි වේලාවට ක‍්‍රියාවේ යෙදවීමයි.

*2018 ඔක්තෝබර් 8 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ “Supporting Justice” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

යුක්තිගරුක වෛද්‍යවරුන් ඉදිරියේ ජ​’පුර​ රෝහලේ සභාපති සහ අධ්‍යක්‍ෂ පරාදවේ!

$
0
0

චින්තිකා ද සිල්වා

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ විසින් රෝහල් මණ්ඩලයේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා නීතිවිරෝධී ලෙස ඉවත් කර සිය හෙන්චය්යන් තිදෙනෙකු ඒ වෙනුවට පත් කර ගැනීමට ගත් ප්‍රයත්නයක් අද දින ව්‍යර්ථ වූ බවට කලම්බු ටෙලිග්‍රාෆ් වෙත වාර්තා වෙයි. විශේෂඥ රැස්වීමක් කැඳවූ සභාපති වරයා රෝහල් ඉතිහාසයේ පෙර නොවූ විරු ලෙස “සෞඛ්‍ය අමාත්‍ය වරයා මෙම විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා ඉවත් කර වෙනත් විශේෂඥවරුන් තිදෙනෙකු පත් කරන ලෙස තමාට නියෝග කළ බව” ව්‍යාජ ලෙස පවසමින් එසේ කිරීමට තැත් කර ඇත. කිසිදු අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් නැති සුසිත සේනාරත්න නමැති වෛද්‍ය නිලධාරියා 2015 වසරේ සිට රෝහලේ අධ්‍යක්ෂක කාර්යාලය කිසිදු පරිපාලනමය පදනමකින් තොරව අත් පත් කර ගෙන සිටියි. මෙම ව්‍යාජ “පත් වීම” කෝප් කමිටුවෙන් සහ අධිකරණයේදී අභියෝගයට ලක්ව තිබේ. මෙම නීති විරෝධී “පත් වීමට” විශේෂඥ වෛද්‍යවරුන් වන කනිෂ්ක ඉන්ද්‍රරත්න, මාධව කරුණාරත්න සහ ප්‍රභාත් අඹවත්ත යන අය දිගින් දිගටම විරෝධය පල කරමින් සිටිති.

කහඳලියන්ගේ, සේනාරත්න සහ සේනාරත්න​

කහඳලියනගේ: ව්‍යාජවිසුරුවන්නා”!

අද දින පැවැත්වූ රැස්වීමේ දී කහඳලියනගේ සාවද්‍ය ප්‍රකාශයක් කරමින් පෙන්වන්නට උත්සාහ කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල් මණ්ඩලය විසුරුවාහැරිය බවයි. කිසිදු ලිඛිත සාක්ෂියකින් තොරව මෙම සාවද්‍ය ප්‍රකාශය නිකුත් කළ කහඳලියනගේ තව දුරටත් බොරු කියමින් උත්සාහ කළේ තමාට ගැති විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු මණ්ඩලය තුළට රිංගවා ගැනීමටය. මෙහිදී 30 කට අධික විශේෂඥ වෛද්‍යවරුන් එක්සත්ව පවසා ඇත්තේ මෙවැනි පරිපාලන දාමරිකකම් තමන් නොපිළිගන්නා බවත්, සභාපති සහ අධ්‍යක්ෂක වහාම රැස්වීම් ශාලාවෙන් ඉවත්ව යා යුතු බවත්ය. මොවුන්ගේ විරෝධය හමුවේ මෙම පුද්ගලයන් ශාලාවෙන් ඉවත්ව ගිය බව වාර්තා වෙයි.

සේනාරත්නට තර්ජනයක්: යුක්තිය වෙනුවෙන් පෙනී සිටි විශේෂඥ වෛද්‍යවරුන් 

සුසිත සේනාරත්න නමැති ව්‍යාජ රෝහල් අධ්‍යක්ෂකවරයා ගේ “පත්වීම” අභියෝගයට ලක් කෙරෙන නඩුවක් අධිකරණයේ ගොනු කර ඇති අතර එහි විභාග කිරීම ඔක්තෝම්බර් මස 23 වන දාට යෙදී ඇත. කහඳලියනගේ ගේ මෙම උත්සාහය එම නඩු විභාගයට පෙර මෙම අවංක විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා රෝහල් මණ්ඩලයෙන් ඉවත් කිරීමය. එයට ප්‍රධාන හේතුව නම් උක්ත නඩු විභාගයේදී මෙම විශේෂඥ වෛද්‍ය වරුන් තිදෙනා පෞද්ගලික නීතිඥයකු මාර්ගයෙන් රෝහල් මණ්ඩලයේ මතයට පිටුපා 23 න වන දින මෙම නීති විරෝධී පත්වීම ට එරෙහිව කරුණු දැක්වීමට නියමිතව තිබීමය. ව්‍යාජ ලේඛන සැකසීම, අධිකරණයට සහ රජයට සාවද්‍ය කරුණු දැක්වීම, අධිකරණය නොමග යැවීමට තැත් කිරීම, අධිකරණ තීන්දු හෑල්ලු වන ආකාරයෙන් ඒවා ක්‍රියාත්මක කිරීම කඩාකප්පල් කිරීම ආදී අක්‍රමිකතාවයන්ගේ කෙල පැමිණි කහඳලියනගේ සිය වෘත්තීය ජීවිතය පුරාවටම එවැනි අක්‍රමිකතා සඳහා ප්‍රසිද්ධ පුද්ගලයෙකි. කෙටියෙන් කියතොත් ඔහු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ව සිටි අවධ්යෙහි වංචනික ලෙස පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරමින් සිටියදී  ඔහුව ඉන් ද නෙරපා දමන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුව රෝහල් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ව්‍යාජ අධ්‍යක්ෂක සුසිත සේනාරත්නගේ “පත්වීමෙහි” නීතිවිරෝධී භාවය මත රෝහල් මණ්ඩල රැස්වීම් වලට ඔහු සහභාගී වීම අධිකරණය නියෝග CA WRIT 184/2018 මගින් තහනම් කර ඇත. 

ඉහත විශේෂඥ වෛද්‍ය වරුන් තිදෙනා හැරුණු විට මෙම මණ්ඩලයේ අන් සියල්ලන් වනාහී දේශපාලන ගැත්තන්ය. මොවුන් නමින් මහාචාර්ය ජනක ද සිල්වා, ඉංජිනේරු චමත් ද සිල්වා, ගණකාධිකාරී නන්ද ලලිත් සේනානායක, ආර් සේරසිංහ (ලලිත් වීරතුංග සිල් රෙදි වංචාවේ සැකකරු) සහ කහඳලියන්ගේ වෙති. රෝහල් මණ්ඩලය විසින් රඳවා වෙන ඇති නීතිඥයා වන මනෝහර සිල්වා මහතාට එක වරකට පෙනී සිටීමට රෝහල් මුදලින් රුපියල් ලක්ෂ 4 ක් වැය කරමින් මොවුන් නීති විරෝධී පත්වීමක් රකිති. ඉහත නම් සඳහන් විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා මෙසේ රෝහලේ මුදල්, ඇමැතිවරයකුගේ ගැත්තෙකු වෙනුවෙන් වැයකිරීමට දිගින් දිගටම විරෝධය දක්වා ඇත. එමෙන්ම ව්‍යාජ අධ්‍යක්ෂකවරයා රැකීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීම, තීරණ ගැනීම කල් මැරීම, අධිකරණයට සහ රජයට ව්‍යාජ කරුණු දැක්වීම ආදී සියලු අකටයුතු කම් වලටද සිය විරෝධය දක්වා ඇත.

කහඳලියනගේ විසින් පාර්ලිමේන්තු පනතක් උල්ලංඝනය කිරීම

ශ්‍රී ජයවර්ධනපුර රෝහල ස්ථාපිත කරන ලද 1983 අංක 54 දරන පාර්ලිමේන්තු පනතෙහි ඉතා පැහැදිලි ලෙස රෝහල් මණ්ඩලයට විශේෂඥ වෛද්‍යවරුන් පත් කිරීම එහි 3 (a) (iv) වගන්තිය යටතේ දක්වා ඇත. “විශේෂඥ වෛද්‍යවරුන්, තමන් විසින් තෝරාපත්කර ගන්නා සාමාජිකයා තිදෙනෙක්” ගෙන් රෝහල් මණ්ඩලය සමන්විත විය යුතු බව එහි පැහැදිලිව දැක්වෙයි. රෝහල් මණ්ඩලයේ බහුතරය නීති විරෝධී කටයුත්තක් කරද්දී ඊට එරෙහි වීම හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් රෝහල් මණ්ඩලයෙන් ඉවත් කිරීමට බලයක් ඇමතිවරයා වෙත පවරා නැත. තවද විශේෂඥ වෛද්‍යවරුන් අතරින් ඔවුන් රෝහල් මණ්ඩලයට පත් කර ගත යුත්තේ කවුරුන්ද යන්න තෙරණය කිරීමට බලයක්ද ඇමතිවරයා සතු නොවෙයි.

අඳුරු සෙවනැලි අතර සැඟවුණු වංචනිකයින්

කලම්බු ටෙලිග්‍රාෆ් වෙත වාර්තා වන ආකාරයට විවිධ වරදාන ලබා දෙමින් කහඳලියනගේ සහ සුසිත සේනාරත්න විසින් මෙල්ල කරගත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙක් රෝහල් මණ්ඩලයට අනියම් ලෙස රිංගා ගැනීමට මාන බලමින් සිටිති. මොවුන් ව එසේ මල්ල කරගැනීමේ මෙවලම් ලෙස භාවිතා කර ඇත්තේ විවිධ පරිපාලනමය, මුල්‍යමය සහ පෞද්ගලික වරදාන ලබා දීමයි. ටෙන්ඩර් ප්‍රදානයේදී වර දාන ලබා දීම, එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන්ට නීති විරෝධී වරදාන ලබා දීම, ඖෂධ ව්‍යාපාරිකයන්ගේ ගේ අනුග්‍රහයෙන් මෙරට සහ විදේශ වල සංචාරය සඳහා අසීමිත ලෙස  නිවාඩු අනුමත කිරීම, අයතා ලෙස ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට අනුබල දීම සහ අයථා පෞද්ගලික සේවයට ඉඩ සලසා දීම ආදියයි. මෙම විශේෂඥ වෛද්‍යවරුන් අතරින් එක් අයෙක් මාස ගණනාවකින් සිය සායනයට පැමිණ නැති අතර ඉතා දරුණු ජීවිත අවදානමකදීවත් රෝගියා වෙත නොපැමිණෙන අතර එම කටයුත් සියල්ල සිදු කරවා ගනු ලබන්නේ පශ්චාද් උදාධි පුහුණු වෛද්යවරුන් වෙතිනි.

උද්ගතව ඇති දේශපාලනිකරණය හේතුවෙන් නමින් කතා කිරීමට අකමැති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් කලම්බු ටෙලිග්‍රාෆ් වෙත අදහස් දක්වමින් පැවසුයේ “එක වරම රෝහල් මණ්ඩලය විසුරුවිම නඩුවක් විභාගවන අතරතුර අධිකරණයට කෙරෙන අපහාසයක් වන්නට පුළුවන්. මෙම ව්‍යාජ අධ්‍යක්ෂකවරයා රෝහල් මණ්ඩලය පත්වී ඇත්තේ ඇමතිවරයාගේ පත් කිරීමක් ලෙස මිස රෝහල් අධ්‍යක්ෂකවරයා ලෙස නොවෙයි. රෝහල් මණ්ඩලය විසිරුවොත් ඔහුගේ පත් වීමද අවසන්. සුසිත සේනාරත්න නමැති පුද්ගලයාට ලැජ්ජාවක් නැහැ. ඔහු මෙම නීතිවිරෝධී පත් වීමේ එල්ලී සිටින්නේ කූඩැල්ලෙක් වගෙයි”

සුසිත සේනාරත්නගේ පත් වීම පිළිබඳව ඉහත ප්‍රකාශය සනාත කරවන ඔහුගේ පත්වීමේ ලිපිය පහත පළවේ:

පසුගිය ලිපි:

දූෂණයේ දොවොල: දිනකට මිලියන 4ක් පාඩු ලබන ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල

පරපෝෂිතයන්ගේ පාලනය: ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල

Print Friendly, PDF & Email

ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය බැංකුවල වගකීම

$
0
0

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

ජනාධිපති නියෝගයකින් මහජන බැංකුවේ, ලංකා බැංකුවේ සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරි බව නිවේදනය වී ඇත.

බොහෝ රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල 2015 ජනවාරි 08 වෙනසින් පසුව පත් කරන ලද එ්වාය. සාමාන්‍යයෙන් මෙම පත්කිරීම් වසර 3 ක කාලයක් සඳහා වලංගුවන අතර අදාල අමාත්‍යංශ වෙනස්වීමේදී නව අමාත්‍යවරුන් එ්වායේ වෙනස්කම් සිදු කරනු ලැබේ. 2015 අගෝස්තු මාසයේදී මහා මැතිවරණයකින් පසුව ආණ්ඩු වෙනසක්ද සිදු විය. එහෙත් බොහෝ රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල එ් අයුරින්ම තවදුරටත් පැවතුන අතර ප‍්‍රධාන රාජ්‍ය බැංකු දෙකේ එය එසේම විය.

අතරතුර කාලයේදී රටේ ආන්දෝලනාත්මක තත්ත්වයකට පත් වූ සිද්ධීන් හා අවස්ථා කීපයකටම ලංකා බැංකුවත් මහජන බැංකුවත් සම්බන්ධ විය. ශ‍්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර අවුල පිළිබඳ ලංකා බැංකුවේ ප‍්‍රබල සම්බන්ධතාවයක් හෙලිදරව් විය. 2015 පළමු බැඳුම්කර මගඩිය සඳහා දැනට චෝදනා ලැබ සිටින පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමට විනාඩි කීපයක් ඇතුලතදී ඉල්ලූම් කළ බිලියන 13.0 ක පහසුකමක් ලංකා බැංකුවේ භාණ්ඩාගාර අංශයෙන් සලසා දුන් බව හෙළිදරව් විය. දුරකථන පණිවිඩයකින් කරන ලද ඉල්ලීමකට ප‍්‍රතිචාර දැක්වීමෙන් මහ බැංකුවේ ටෙන්ඩර් අංශයෙන් දුරකථන මගින් ටෙන්ඩර් වැසීමේ කාලය විනාඩි 10 කින් දීර්ඝ කරවා ගෙන පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගම වෙනුවෙන් ඉතා ඉහල පොලී අනුපාතයකට බැඳුම්කර ලංසුවක් ලංකා බැංකුව ඉදිරිපත් කළ බව ඔප්පු වී ඇත.

බැංකුව නමින් ලංසු තබා ඉතා අඩු මිලකට ලබාගත් බැඳුම්කර දින දෙකක් ඇතුලතදී ආන්තීය සුළු ලාභයක් යටතේ පර්පෙචුවල් ටෙ‍්‍රසරිස් සමාගමට ලංකා බැංකුව පවරා දුන් බවද හෙළිදරව් විය. මෙය රාජ්‍ය බැංකුවක් හැටියට බරපතල ප‍්‍රශ්නකාරී ලෙසින් කරන ලද ගණුදෙනුවක් බවට පෙනී ගිය නමුත් එම වගකීමට සරිලන ක‍්‍රියා මාර්ගයක් බැංකුව පාර්ශවයෙන් ගෙන ඇති බවක් වාර්තා වී නැත.

තවත් අවස්ථාවකදී 2016 මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුතුවකට පෙර එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටි රවී කරුණානාරයක මහතා ලබා දූන් උපදෙස් අනුව රාජ්‍ය බැංකු සභාපතිවරුන් හා විධායක නිලධාරීන් ලංසු ඉදිරිපත් කර ඇත. මෙයද මහ බැංකු බැඳුම්කර පිළිබද ජනාධිපති කොමිසන් සභා විභාගයේදී හෙලිදරව්වූ කාරණයකි. දේශපාලන බලපෑම යටතේ විවිධ ණයදීම් හා සාමාන්‍ය ව්‍යාපාරික සුපරික්ෂාවන් ඉක්මවන හා අවදානම් සහිත මූල්‍ය පහසුකම් සැපයු අවස්ථා ගණනාවක් පිලිබඳව ලංකා බැංකුව වගකිව යුතුව ඇත.

මහජන බැංකුවේ තත්ත්වය මෙයට වඩා බරපතල අයුරින් අහිතකර ලෙස ක‍්‍රියාත්මකව ඇති බවට වාර්තා වේ. දිගින් දිගටම සාධාරණ හා යුක්තිසාධනයකින් තොරව අතිවිශාල ගෙවීම් කරමින් කොන්ත‍්‍රාත් සේවකයින් යොදා ගනිමින් විශාල මුදල් සම්භාරයක් මහජන බැංකුවට පාඩු කර ඇත. කොන්ත‍්‍රාත් සේවකයින් ප‍්‍රධාන බැංකු ධාරාවට අනිසි ලෙසින් අනුයුක්ත කරමින් විවිධ මාදිලියේ තනතුරු වල රාජකාරියේ යොදවමින් ඔවුනට හිඟ මුදල්, ප‍්‍රසාද දීමනා, විශේෂ දීමනා හා අමතර ප‍්‍රතිලාභ ඇතුලත් වන මුළු වටිනාකම වසරකට රුපියල් බිලියන කීපයක් ඉක්මවන වියදම් ප‍්‍රමාණයක් මහජන බැංකුව විසින් දිගටම සිදුකර ඇත.

මෙම කොන්ත‍්‍රාත් නිලධාරීන්ගේ අනුමැතිය හා වගකීම යටතේ ලබා දී ඇති ණය හා වෙනත් පහසුකම් විශාල ප‍්‍රමාණයක් අක‍්‍රමික ගණයට වැටී තිබේ. සමහර ගණුදෙනු බැලූ බැල්මටම අවිධිමත් ලෙසින් කරන ලද එ්වා බව පැහැදිලි වේ.
ජනමාධ්‍ය හරහා මහජන අවධානය යොමු වූ වෙනත් මහජන තොරතුරු අතර ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා බිලියන 2ක් ඉක්මවන ආයෝජනයක් සම්බන්ධයෙන් පසුගිය දිනවල විශාල ආන්දෝලනයක් පැවතුන අතර බැංකුව මිලියන 10 ක් පමණ වැය කොට පුවත්පත් නිවේදන නිකුත් කරමින් ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක යෙදුන බවද අපට මතක ඇත. පාර්ලිමේන්තුවත්, කෝප් කමිටුවත් වරින් වර මෙම ප‍්‍රශ්න මතුකල අතර, අග‍්‍රාමාත්‍ය කාර්යාල මට්ටමින් හා අමාත්‍යංශ මට්ටමින් විවිධ පරීක්ෂණද පවත්වන්නට යෙදුනි. එම ගණුදෙනුවල අපහැදිලි භාවය ගැනත්, සැක සහිත හා දූෂිත යයි සැලකිය හැකි කරුණු ඇතිි බවත් බැංකු සේවක වෘත්තීය සංගම් පෙන්වා දුන් අවස්ථාවලදී බැංකුව එයට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීමටත් නඩු පැවරීමටත් කටයුතු කර ඇත.

දුම්රිය කෞතුකාගාරයක් සම්බන්ධ වැය ශීර්ෂයක් පිළිබඳවද , අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ බලපෑම් යටතේ අවිධිමත් ලෙසින් විශාල ණය පහසුකම් ලබා ගැනීමක් පිළිබඳවද පසුගිය දිනවල මහජනයා අතර කථාබහට ලක් වී තිබුණි. මහජන බැංකුවේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්ද පිළිගත හැකි ප‍්‍රගතියක් වාර්තා නොවූ අතර බැංකුව ස්ථාපිත කිරීමේ අරමුණු වලින් මුළුමනින්ම පාහේ වෙනස් වී ඇති බවද පැහැදිලි වී තිබේ. වාර්ෂික ලාභ වශයෙන් ඉපයෙන මුදල් රජයට හා රාජ්‍ය අංශයේ ආයතනවලට ලබා දෙන පහසුකම් වලින් කෙරෙන ඉපයීම් වන අතර, සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවල නිරතවීමෙන් බැංකුව ලබන ලාභ ප‍්‍රතිශතය ඉතා අල්ප වී ඇත. බැංකුවේ ද්‍රවශීලතා අවශ්‍යතාවයන් පවත්වා ගැනීම සඳහා 1992 පටන්ම දිගින් දිගටම මහ භාණ්ඩාගාරයෙන් අරමුදල් සපයා දීමට සිදුව ඇත. සේවක විශ‍්‍රාම අරමුදල් වලින් පවා ණයට ගැනීමට පසුගිය කාලයේ බැංකුවට සිදු වී ඇත.

මහජන බැංකුව පසුගිය දෙවසර තුළ සාටෝපකාරී අලංකාරයන් සඳහාත්, ගණුදෙනුකාරයින් අතරින් ඉතා සුළු ප‍්‍රතිශතයක් අරමුණු කරගත් නවීකරණ සහ තාක්ෂණ සේවා සඳහාත් විශාල මුදල් සම්භාරයක් වැය කර ඇත. එම ව්‍යාපෘති වල ඵලාදායීත්වය පිළිබඳව නිසි ඇගයීම් නොමැතිව මුදල් වැය කිරීමේ අවශ්‍යතාවය මුල් කරගෙන සිදුකර ඇති බව පෙනී ගොස් ඇත. එ්වාට අදාල සේවා හා කොන්ත‍්‍රාත් පිටුපස මහා පරිමාණ දූෂණ පවතින බවට මතයක් ගොඩනැගී ඇත.
රටේ ආර්ථික වර්ධනයට ප‍්‍රධාන රාජ්‍ය බැංකු දෙක ප‍්‍රබල දායකත්වයක් ලබාදිය යුතුව ඇත. එ්වා ස්ථාපිත කිරීමේ පනත් වල සඳහන් අරමුණු වලද එම අපේක්ෂාවන් පිළිබඳව පැහැදිලිව සඳහන් වී ඇත. එහෙත් පසුකාලීන ක‍්‍රියාකාරීත්වයන් තුළින් පෙනී යන්නේ එම ප‍්‍රධාන අරමුණු වලින් රාජ්‍ය බැංකු බැහැර වී ඇති බවක්ය. රජයට හා රාජ්‍ය පාලිත ආයතන වලට ණය පහසුකම් සලස්වා දීමෙන් ලබන ආදායම මත රැුඳී සිටිමින් වෙනත් ව්‍යාපාරික හා සංවර්ධන කටයුතු වලින් ඉවත් වූ පහසු මඟකට රාජ්‍ය බැංකු ව්‍යාපාරය යොමු වී තිබේ.

මේ අතර ශ‍්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය සම්බන්ධයෙන් පවත්නා තත්ත්වයද මොනව අයුරකින්වත් පිළිගත හැකි ලෙසට වර්ධනය වී ඇති බවක් නොපෙනේ. 1978 සිට මේ දක්වා ගමන් මග ඉතාමත් අසතුටුදායක වූවකි. ආරම්භයේ දී රටේ ආර්ථිකය විවෘත කිරීමේ ප‍්‍රතිපත්තිය ඇතුළත නව ආයෝජන කලාප සහ ආයෝජකයින් දිරි ගැන්වීමේ නීති හා රෙගුලාසි ලිහිල් වීම නිසා ක්ෂණික සතුටුදායක වර්ධනයක් දක්නට තිබූ නමුත් පසු කාලීනව එය ප‍්‍රමාණවත් ලෙසින් ඉදිරියට යාමක් පෙන්නුම් කර නැත. වරින් වර එයට පත් කරන ලද පුද්ගලයින්ගේ සීමිත හා අදක්ෂ දායකත්වය නිසාත්, ඇතැම් අවස්ථාවලදී දූෂිත ක‍්‍රියාවලට පෙළඹීමේ ප‍්‍රවණතාවය නිසාත් එසේ සිදු වී ඇත.

අද ආයෝජන මණ්ඩලය විදේශීය හෝ දේශීය ආයෝජන දිරි ගන්වන ආයතනයක් හැටියට ක‍්‍රියාත්මක වීම වෙනුවට ආයෝජන පාලන පොලිසියක් බවට පත්ව ඇත. විශාල මුදල් ආයෝජන සහිතව අප රටට ව්‍යාපාර සඳහා පැමිණීමට බලාපොරොත්තු වන විදේශීය ව්‍යාපාරිකයින්ට සංග‍්‍රහශීලී වාතාවරණයක් ඇති කිරීමට එම ආයතනය අපොහොසත් වී ඇත. රජය කොතරම් දුරට ආයෝජන දිරිගැන්වීමේ ආකල්පයන් යහපත් දිසාවට වර්ධනය කර ගත්තද ආයතනයේ මුහුණුවර එම ආකල්පයට සරිලන සේ වෙනස් නොවීම පවතී. ආයෝජන සඳහා උපයෝගී කරගත හැකි ඉඩම් හා වෙනත් සම්පත් පිළිබඳව නිසි තොරතුරු, දත්ත හා වාර්තා දැනටත් මෙම ආයතනය සතුව නැත. එනිසා එය මුළුමනින්ම වෙනසකට භාජනය වූ ආයතනයක් බවට පත්විය යුතුය.

මෙම සියලූම කරුණු අනුව ජනාධිපතිවරයා විසින් එ්වායේ අධ්‍යක්ෂ මණ්ඩල විිසුරුවා හැරීමටත් නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කරවීමටත් ගෙන ඇති පියවර මෙන්ම පසුගිය කාලයේ අක‍්‍රමිකතාවයන් හා අවිධිමත් කාය ර්‍්‍ය පටිපාටින් පිළිබඳව සොයා බලා නිවැරදි කර ගැනීමේ පියවරක් වශයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමත් අතිශයින් වැදගත් බව සඳහන් කරමු. ඒ අතර එම ඉවත් කිරිම සම්බන්ධයෙන් පල වු ප‍්‍රවෘතිය සත්‍යයක් නම් ඵය සාමාන්‍යයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයක් නිල කාලය අවසානයේදි අහොසි විමක් නොවන බවක්ද ගම්‍ය වේ.

Print Friendly, PDF & Email

දකුණු ආසියාවේ දරිද්‍රතාව ඉවරයක් කිරීමේ කාරිය ඉවරයක් කර ගැනීම

$
0
0

හාර්ට්විග් ෂාෆර් –

‘‘අවුරුදු හතරක පුතෙක් මට ගමේ ඉන්නවා. අනාගතේ එයාට හොඳ ජීවිතයක් සලසලා දෙන එක තමයි මගේ පරමාර්ථය’’ ඩැකා නුවර සීග‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතින එක් ඇඟළුම් කම්හලක සේවය කරන 19 වැනි හැවිරිදි ෂාර්මින් හාක්තීර් කීවාය. බංග්ලාදේශයේ තව දහස් ගණනක් වන දිළිඳු පවුලක කාන්තාවන්ගෙන් කෙනෙකු වන ඈ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන තම ගම හැරපියා රටේ අග නගරයට පැමිණ සිටින්නේ වඩා හොඳ ආදායම් මාර්ගයක් ඔස්සේ තමාගේ පවුලේ අනාගතය සමෘද්ධිමත් කර ගැනීම සඳහා ය.
දිළිඳු කම දුරලීමේ වාර්ෂික දිනය ඊයේට යෙදී තිබුණි. එවැනි දවසක, ෂාර්මින්ගේ දුක්බර කතාව, බංග්ලා දේශයේ තවත් එවැනි දහසකුත් එකක් ගැහැනුන්ගේ පමණක් නොව, දකුණු ආසියාවේ තවත් දස දහස් ගණන් පවුල්වල අන්ත දරිද්‍රතාව පසුගිය වසර 25 ක කාලය තුළ අත්කර ගත් ආර්ථික වර්ධනය තුළින් යම් මට්ටමකින් ජය ගැනීමට හැකි වී තිබීමේ කතාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් කර ගැනීම වැදගත් ය.

ඒ සම්බන්ධයෙන් අප සතුව ඇති දත්ත විශේෂිත වැදගත්කමකින් යුක්ත වෙයි. දකුණු ආසියාවේ අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන, දිනකට ඩොලර් 1.90 කට අඩු ආදායමක් ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2013 දී මිලියන 275 ක් විය. එම සංඛ්‍යාව 2015 දී මිලියන 216 දක්වා පහළ ගියේය. 1990 දී එම ප‍්‍රමාණය වුණේ මිලියන 536 කි.

ඊටත් වඩා වැදගත් කාරණයක් තිබේ. දකුණු ආසියාවේ ජනගහනයෙන් දරිද්‍රතාවයේ පහළම සියයට 40 ක ජනතාවකගේ ආදායම් මට්ටම 2010-2015 කාලය තුළ සියයට 2.6 කින් ඉහළ ගොස් තිබේ. සමස්ත ලෝක ජනගහනයේ පහළම සියයට 40 ට අයත් තීරුවේ සාමාන්‍ය ආදායම් වර්ධනය මේ කාලය තුළ වැඩි වී ඇත්තේ සියයට 1.9 කිනි. ඒ අනුව බලන කල, දකුණු ආසියාව ඒ අංශයෙන් වැඩි වර්ධනයක් ලබා තිබේ.

එසේම, ලෝක පරිමාණව ගත් විට, දරිද්‍ර ජනතා සංකේන්ද්‍රණය වැඩියෙන්ම පැවති කලාපය වුණේ දකුණු ආසියාවයි. 2012 වන විට උප-සහරා අප‍්‍රිකා මහද්වීපයට මාරු විය. අනිත් අතට, තනි රටක් වශයෙන් ගත් විට අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන වැඩිම ජනතාවක් සිටි ඉන්දියාව ඉදිරි කාලයේදී ඒ අංශයෙන් දෙවැනි තැනට පත්ව නයිජීරියාව පළමු තැනට පත්වීමට නියමිත ය.

මේ අනුව, දකුණු ආසියාව මෙතෙක් පැමිණ ඇති දුර විශාල ය. එසේම, අන්ත දරිද්‍රතාව මුළුමණින් දුරලීම සඳහා එම කලාපයට තව යාමට ඇති ඉදිරි දුරත් අපේ සැලකිල්ලට යොමු විය යුතුය. දිළිඳු කම සමහර අංශවලින් මුල් බැසගෙන ඇති තරම දෙස බලන විට එය අවසානයකට පත්කර ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වන බව කිව යුතුය. විශේෂයෙන් ග‍්‍රාමීය අංශය එහිදි කැපී පෙනෙයි. එසේම, ප‍්‍රචණ්ඩකාරී ගැටුම් සහිත රටවල් සේම ඉතා දුර්වල ආයතන පද්ධති සහිත රටවල්වල දරිද්‍රතාව දුරලීමත් ලේසිපාසු නැත.

2015 සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන්දියාවේ දිළිඳු ජනගහනය මිලියන 176 කි. මෙය රටක් වශයෙන් ගත් විට ලෝකයේ වැඩිම දිළිඳු ජනගහනයක් ඇති රටයි. තවත් විදිහකින් කිවහොත්, මුළු ලෝකයේම දිළිඳු ජනගහනයෙන් කාලකට ආසන්න ප‍්‍රමාණයක් වෙසෙන්නේ ඉන්දියාවේ ය. අන්ත දරිද්‍රතාව සම්බන්ධයෙන් ගතහොත්, උප-සහරා අප‍්‍රිකා මහද්වීපයේ පවතින දරිද්‍රතාව තරම්, සාමාන්‍ය වශයෙන් ගත් විට ඉන්දියාව නරක නැති බව ඇත්ත. එහෙත් එරට ජනගහනයේ අති විශාලත්වය නිසා සමස්ත දිළින්දන්ගේ සංඛ්‍යාව ඉන්දියාවේ අධික ය.

මේ අතර, දකුණු ආසියාවේ දිනකට ඩොලර් 1.90 කට අඩු ආදාමක් ලබන මිනිසුන්ගේ සංඛ්‍යාව සහ පරිමාණය කැපී පෙනෙන ආකාරයෙන් පහළ ගොස් ඇතත්, දිනකට ඩොලර් 3.20 ට අඩු ආදායමක් ලබන මිනිසුන්ගේ ප‍්‍රමාණය 1990-2015 කාලය තුළ එම කලාපයේ අඩු වී ඇත්තේ සියයට 8 කින් පමණි. ඊට හේතුව, අධික ජනගහන වර්ධන වේගයක් ද මේ කලාපයේ තිබීමයි. ඒ අනුව, 2015 දී දකුණු ආසියාවේ සියයට 49 ක් ජීවත් වුණේ දිනකට ඩොලර් 3.20 කට අඩු ආදායමකිනි. සියයට 80 ක් ජීවත් වුණේ දිනකට ඩොලර් 5.50 කට අඩු ආදායමකිනි.

මේ සියල්ලෙන් දැක්වෙන්නේ දිළිඳු කම පිළිබඳ සංඛ්‍යාත්මක විස්තරයකි. එහෙත් ජනතාවකගේ දිළිඳු කම තක්සේරු කළ යුතු නිර්ණායකය ආදායම පමණක්ම නොවේ. මිනිසුන්ගේ ජීවන සුභසිද්ධිය සඳහා තවත් බොහෝ අංශ බලපායි. අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව සහ මූලික අවශ්‍යතා සපයා ගැනීම සඳහා රටක ඇති පහසුකම් වැනි දේවල් ඊට අඩංගු වෙයි. උදාහරණයක් වශයෙන්, යමෙකු දිනකට ඩොලර් 1.90 කට හෝ 3.20 කට වැඩි ආදායමක් ලැබුවත්, එම පුද්ගලයාට ජල පහසුකම්, සෞඛ්‍ය පහසුකම් හෝ අධ්‍යාපනය සහ විදුලිය වැනි පහසුකම් නැත්නම් ඔහු හෝ ඇය දිළින්දෙකි. ඇත්ත වශයෙන්ම ගතහොත්, පිළිගත් මට්ටමක පානීය ජලය නැති, සනීපාරක්ෂක පහසුකම් නැති, විදුලිය නැති දකුණු ආසියාතික පවුල් සංඛ්‍යාව, ඉහතින් කී ආදායමට අනුකූල දිළින්දන්ගේ සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි ය. දකුණු ආසියාවේ ගෙවල් පහකින් එකකට විදුලිය නැත. මේ සියල්ල එකට ගෙන සලකා බැලූ විට, දකුණු ආසියාවේ රටවල් පහක දරිද්‍රතාවයේ සාමාන්‍ය මට්ටම, ඇස් මට්ටමට වඩා දෙගුණයකටත් වැඩියෙන් ඉහළ යයි. එහි අදහස වන්නේ, දකුණු ආසියාවේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නංවා ගැනීමේ අභියෝගය හිතනවාට වඩා බරපතල බව ය.

2030 වන විට දකුණු ආසියාවේ දරිද්‍රතා මට්ටම සියයට 3 දක්වා අඩු කර ගැනීමට අපේක්ෂා කෙරේ. එම ඉලක්කයට ළඟා වුණත්, සමස්ත කලාපයක් වශයෙන් දකුණු ආසියාව ඉහත කී අනිත් අංශවලින් වර්ධනයක් අත්කර නොගත්තොත්, බොහෝ ජනතාවකගේ ජීවන තත්වයන් පවතිනු ඇත්තේ අසතුටුදායක තත්වයක ය. ඒ නිසා, දරිද්‍රතාව ජය ගැනීමේ බොහෝ දුරක් මේ වන විට අප පැමිණ ඇතත්, ඒ ගමනේ අවසාන භාගය ජය ගැනීම බරපතල අභියෝගයක් වශයෙන් අප ඉදිරියේ පවතී.

ඒ පිම්මත් පැනීමට නම්, වඩ වඩාත් ආයෝජන අවශ්‍ය කරන්නේය. විශේෂයෙන් මිනිස් ප‍්‍රාග්ධනය ගොඩනගා ගැනීමට නම්, සියලූ ජනතා කොටස් ඇතුළත් කර ගැනෙන වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම අත්‍යාවශ්‍ය වනු ඇත. කාන්තාවන් සඳහා පවතින අවස්ථා වැඩි දියුණු කිරීමත්, සියල්ලන් සඳහා වන අධ්‍යාපන අවසථා සහ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කර ගැනීමත් එහිදී වැදගත් වෙයි. මෙය, එක රැුයකින් අත්කර ගත හැකි ජයග‍්‍රහණයක් නොවේ. ඒ කෙරෙහි නිරන්තරයෙන් අප තත්පර විය යුතුය. ෂාර්මින් අක්තාර් සහ ඇගේ පවුලටත්, සමස්ත දකුණු ආසියාතික ජනතාවටත් දීප්තිමත් සහ වඩාත් ඵලදායී අනාගතයක් ගොඩනැගීම සඳහා වන අපේ ප‍්‍රයත්නයන් එක දිගට අත් නොහැර පවත්වාගෙන යා යුත්තේය.

*2018 ඔක්තෝබර් 18 වැනි දා ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ “Finishing the Job of Ending Poverty In South Asia” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email
Viewing all 2982 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>